ශ්රී ලංකාවේ ජනතාව, ත්‍රිවිධ හමුදාව මෙන්ම පොලිසිය යනු වසර තිහක් පුරා පැතිරුණු දීර්ඝකාලීන යුද අත්දැකීමකට භාජන වූවෝය. එවැනි සමාජයක සංවිධානාත්මක ත්‍රස්ත ක්‍රියාවකට ඇති ඉඩකඩ අඩුය. එහෙත් අප්‍රේල් 21 වැනිදා කෙටි කාල සීමාවකදී කිතුණු දේවස්ථාන ප්‍රමුඛ කරගනිමින් ස්ථාන අටක පිපිරීම් සිදුවන්නේ එහෙව් රටකය. එසේ නම් අපට කොතැනක හෝ වැරැදී තිබේ. මේ වරද වහා වහා නිවැරැදි කරගැනීමට කටයුතු නොකිරීම තවත් විසල් විපතකට මං කියනු ඇත. ඉතින් දැන් අපට කරන්නට සිදුවන්නේ යුද්ධය අවසන් වී වසර දහයක ඇවෑමෙන් අපේ ශේෂ පත්‍රය කුමක්දැයි ආපසු හැරී බැලීමක් කිරීමය. කවර අතින් අර්ථකථනය කළ ද අප්‍රේල් 21 ප්‍රහාරය යනු නරුම ක්‍රියාවකි. විසල් ඛේදවාචකයකි.
මේ ඛේදවාචකය ගැන කතා කරන මත දක්වන ඇතැම්හු සිදුවීමේ වගකීම විවිධ පාර්ශ්වවලට පවරති. එහිදී ප්‍රමුඛ පාර්ශ්වයක් වී තිබෙන්නේ පොලිසියයි. එහෙත් අපේ නිරීක්ෂණය අනුව නම් මෙහිදී නිලධාරීන් කිසියම් බුද්ධි තොරතුරු ප්‍රදානයක් කර තිබේ. කිසිවක් දන්වා නැතැයි කිව නොහැකිය. එහෙත් බුද්ධි අංශ ක්‍රියාකාරිත්වයේදී අතිශය වැදගත් වන කරුණක් ගැන මේ පිරිස් කතා නොකරති. ඒ නම් තොරතුරු විශ්ලේෂණයයි. තොරතුරක් ඕනෑම පාර්ශ්වයකින් ඕනෑම පාර්ශ්වයකට ගලා යා හැකිය. එහෙත් එය සන්නිවේදනය වූ පමණින් බුද්ධි තොරතුරක් බවට පරිවර්තනය වන්නේ නැත. එය බුද්ධි තොරතුරක් වීමට නම් ප්‍රාමාණිකයන් මගින් එය නිවැරැදිව විශ්ලේෂණය විය යුතුය. නැතිනම් එය හුදෙක් තොරතුරක් පමණි. අප්‍රේල් 21 ප්‍රහාරයට අදාළ දැනුවත්කිරීම්වලදී අප දකින ප්‍රධාන අඩුලුහුඬුකම මෙයයි.
නියෝජ්‍ය පොලිස්පති ප්‍රියලාල් දසනායක මහතා ජාතික තව්හිත් ජමාන් නමැති සංවිධානයේ නායක මොහොමඞ් සහරාන් නමැත්තාගේ මූලිකත්වයෙන් කෙරෙන මරාගෙන මැරෙන ප්‍රහාරයක් ගැන තමා යටතේ ඇති අංශවලට දැනුම් දී තිබෙන්නේ පසුගිය අප්‍රේල් 11 වැනිදාය. ප්‍රහාරය එල්ල වුණේ අප්‍රේල් 21 වැනිදාය. සැබැවින්ම එය හුදු ප්‍රහාරයක් නොව ස්ථාන අටක දී වූ පිපිරීම් නවයක් ලෙසින් වූ ප්‍රහාර මාලාවකි. මේ කිසිදු තැනකදී ත්‍රස්තයන්ට විනාශකාරී ඉලක්ක කරා යාමට කිසිවක් බාධා වුණේ නැත. මෙමගින් ගම්‍ය වන්නේ පහුගිය කාලයේ රටේ උද්ගත වූ තත්ත්ව සමඟ පොලිසියත් බුද්ධි තොරතුරු අංශත් සෑම දෙයක්ම දෙස බලා ඇත්තේ ඉතා සැහැල්ලුවෙන් බවය. එනිසා පළමුවෙන්ම විමසිය යුත්තේ පොලිසිය සිය රාජකාරිය හරියාකාරව කළේද යන්නයි. ප්‍රහාරවලින් පසු හෙළිවන තොරතුරු අනුව මේ ත්‍රස්තයන් ස්ථාන කීපයකදීම සූදානම් වී තිබේ. එහෙත් ඒ කිසිම තැනක් ගැන හෝඩුවාවක් අදාළ අංශවලට ලැබී නැත. එසේ සිදුවූයේ කෙසේද? විමසිය යුතු පැනය එයයි. එයින් නොකියා කියන්නේ මෙතෙක් කලක් භූමියේ තොරතුරු ලබාගැනීමට අදාළ අංශවලට පැවැති ශක්තිය හීන වී ඇති බවය.
නියෝජ්‍ය පොලිස්පති ප්‍රියලාල් දසනායක මහතා අදාළ තොරතුරු වාර්තා කර තිබෙන්නේ තමාගේ යටතේ ඇති අංශ පහකටය. ඒවා ප්‍රභූ ආරක්ෂක අංශය (VIP security).ඇතැමුන් අසන්නේ අසවල් අසවල් අංශවලට ඔහු එය දැන්වූයේ නැත්තේ ඇයිද කියාය. අදාළ නිලධාරියාට තම රාජකාරිමය වපසරියෙන් එපිට වැඩ කරන්නට බැරිය. ඉන් අනතුරුව වැඩපිළිවෙළ ගැන අපට විමසන්නට වෙන්නේ ලියකියවිලි පරිහරණය කිරීමේ ක්‍රමවේදය (Corresponding system) ගැනය. තොරතුරු අදාළ අංශවලට දන්වන ක්‍රමවේද ද තිබේ. ‘රහසිගතයි’ ‘ඉතා හදිසියි’ ආදී වශයෙන් ඒවායේ උධෘත යොදන්නේ නිකමටම නොවේ. ඉතින් දැන් සෙවිය යුත්තේ මේ තොරතුරු ප්‍රදානය සිදුවූයේ අදාළ අවශ්‍ය උපදෙස් සමඟද කියාය. අනෙක් අතට නියෝජ්‍ය පොලිස්පතිවරයා තොරතුරු අදාළ අංශවලට යවා ඇති බව පැහැදිලිය. එහෙත් ඉන්පසුව එයට පෙරළා ප්‍රතිචාර ලැබුණේදැයි ඔහු සොයා තිබේද? යැවූ තොරතුරුවලට ගත් පියවර කුමක්දැයි ඔහු දැනුවත්ද? උදාහරණයකට තොරතුරු දැනුම්දීමක් කර නිශ්චිත දින ගණනකින් එයට ගත් පියවර නැවත වාර්තා කරන්නැයි දන්වයි. මෙහිදී එම වැඩපිළිවෙළ ඒ ආකාරයෙන් සිදුවී තිබේද? ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකුට සිය කනිෂ්ඨයන්ට තොරතුරු ලබා දී තමාගේ කාරිය අවසන් යැයි අත පිසදාගත නොහැකිය. ඊට ගත් පියවර මොනවාදැයි පහළ නිලධාරීන් මෙම නියෝජ්‍ය පොලිස්පතිවරයාට වාර්තා කළ යුතුය. වාර්තා නොකළේ නම් ඒ මන්දැයි නියෝජ්‍ය පොලිස්පතිවරයා පෙරළා විමසිය යුතුය. ඒ අනුව අප්‍රේල් 11 සිට 21 දක්වා දින දහයේදී ලියකියවිලි පරිහරණය කෙරුණු ආකාරයෙන් ද රාජකාරි නිසියාකාරව සිදුවී තිබේදැයි සෙවිය හැකිය.
බෝම්බයක් නිෂ්පාදනය යනු ආවාට ගියාට කළ හැකි දෙයක් නොවේ. ඊට ද විශේෂඥ ඥානයක් තිබිය යුතුය. ඒවා එකලස් කරගැනීමට ද යම් සංවිධාන ශක්තියක් තිබිය යුතුය. එසේ බලද්දී මේ ත්‍රස්තයන් සිය විනාශකාරී වැඩ ටික කරදරයක් නැතිව කරගෙන තිබේ. මගේ මතය හැටියට මෙම ප්‍රහාරවලට භාවිත කර ඇති පුපුරන ද්‍රව්‍ය අල්ක්වයිඩා හා අයි.එස්.අයි.එස් යන ජාත්‍යන්තර ත්‍රස්තවාදී සංවිධාන භාවිත කරන ඒවාය. එල්.ටී.ටී.ඊ. සංවිධානය සාමාන්‍යයෙන් පාවිච්චි කළේ ටී.එන්.ටී (Trinitrotoluene) හා ඒ.එන්.එක්ස් ෆෝ(ANX 4) ආදී පුපුරන ද්‍රව්‍යයි. මෙම බෝම්බ ප්‍රහාරකයන් පාවිච්චි කර ඇත්තේ ටී.ඒ.ටී.පී(Triacetone triperoxide (TATP)) නමැති පුපුරන ද්‍රව්‍යයයි. ටී.ඒ.ටී.පී යනු ටී.එන්.ටී හා ඒ.එන්.එක්ස් ෆෝට වඩා විනාශකාරී හා බලවත් පුපුරන ද්‍රව්‍යයකි. කොළඹ කොච්චිකඬේ පල්ලියේ බෝම්බ ප්‍රහාරයේදී එහි වහල ගැලවී විනාශ වූ ආකාරය එහි බිහිසුණු බවට හොඳම සාක්ෂියයි. එම හානිය ටී.එන්.ටී. යොදාගෙන කරන්නට අඩුම තරමින් කිලෝග්‍රෑම් 20 ක පමණ පුපුරන ද්‍රව්‍ය අවශ්‍යයය. එහෙත් මරාගෙන මැරෙන බෝම්බකරුවා එල්ලාගෙන ආ ගමන් බෑගයේ ප්‍රමාණය අනුව ටී.ඒ.ටී.පී නමැති පුපුරන ද්‍රව්‍යය මෙයට යොදාගන්නට ඇත්තේ කිලෝග්‍රෑම් 8-6 අතර ප්‍රමාණයකැයි උපකල්පනය කළ හැකිය. මේ වනවිට පිපිරීම්වලින් සිදු වූ ජීවිත හානි සංඛ්‍යාවෙන් 300 ඉක්මවා ඇත. මෙයින් පෙනෙන්නේ ද භාවිත කළ පුපුරන ද්‍රව්‍යයේ වූ විනාශකාරිත්වයේ තරමයි. අනෙක් අතට මෙම ප්‍රහාර මාලාවේ වැදගත්ම කාරණය වන්නේ ඒවා මරාගෙන මැරෙන ගණයට වැටීමයි. එල්.ටී.ටී.ඊ. සංවිධානයට මරාගෙන මැරෙන ප්‍රහාරකයකු නිර්මාණය කරගැනීමට දිගු කාලයක් ගත විය. එල්.ටී.ටී.ඊයේ පළමු මරාගෙන මැරෙන ප්‍රහාරකයා හැටියට සැලකෙන්නේ 1987 ජූලි 05 වැනිදා නෙල්ලිඅඩි කඳවුරට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කළ කපිතාන් මිලර් නමැත්තාය. එහෙත් මෙකී ත්‍රස්ත කණ්ඩායම සිය පළමු ප්‍රහාරය ආරම්භ කරන්නේම මරාගෙන මැරෙන ප්‍රහාර මාලාවකිනි. එනිසා සිතනවාට වඩා තත්ත්වය බරපතළ බව සිහියේ තබාගැනීම පළමු කොටම කටයුතු කළ යුතුය.
මෙය එක් කණ්ඩායමකට එල්ල වූ ප්‍රහාරයක් නොවේ. සමස්ත රටට ජාතියට එල්ල වූ ප්‍රහාරයකි. මෙම ප්‍රහාර පසුපස ඇත්තේ ආගමික උමතුවකි. එය පැහැදිලිවම අන්තවාදයකි. මේ ආගමික උමතුවට එරෙහිව සිංහල, දෙමළ, මුස්ලිම් නායකයන් වහාම එකතු විය යුතුය. විශේෂයෙන්ම ඉස්ලාම් ආගමික නායකත්වය රට වෙනුවෙන් පෙරට ආ යුතුය.
යුද බිමේ සැලකිය යුතු කලක් රාජකාරි කරමින් නැගෙනහිර පළාතේ දී ත්‍රස්තයන්ට එරෙහිව සටන් වැදුණු ඉතිහාසය මේ අවස්ථාවේදී මට සිහිවේ.
එදා නැගෙනහිර මුසල්මානු ජන කොටස්වල ආරක්ෂාව උදෙසා අප සියලු දෙනා සටන් වැදුණේ ජීවිත කැප කරමිනි. ඒ කැප කිරීමේදී අපට ජාති ආගම් භේදයක් තිබුණේ නැත. එදා කුඩා දරුවන්ව සිටි පිරිස් සිය ජීවිත ආරක්ෂා කරගෙන අද වනවිට ආත්මඝාතක බෝම්බකරුවන් බවට පරිවර්තනය වී සිටීම ගැන ක්‍රියාන්විතයේ සක්‍රීය වූ නිලධාරියකු හැටියට මම අවංකවම කම්පා වෙමි. දිවා රෑ නොබලා අප ජීවිත කැප කළේ මෙවැනි ඉරණමක් වෙනුවෙන් දැයි යන පැනය මසිතට නැඟේ. එල්.ටී.ටී.ඊයට සන්නද්ධ වීමට අදාළ දේශපාලන න්‍යායක් තිබුණේය. ඔවුහු වෙනම රටක් ඉල්ලා සිටියහ. ඒ වෙනුවෙන් දේශපාලන තර්ක විදහා පෑහ. එහෙත් මේ විනාශය කුමක් ද? එහි පදනම කුමක්ද? මේ ප්‍රහාරයෙන් මියගිය බහුතරය දෙමළ කිතුණුවෝය. මෙය ආගමික උමතුවක් බව පැහැදිලි එනිසාය. බලධාරීන් නිසියාකාරව මේ ක්‍රියාවලිය අධ්‍යයනය කළ යුතුය.
මෙම සිද්ධිය පමණක් නොව සමස්තයක් වශයෙන් ගත්ත ද පොලිසිය ඇතුළු ආයතන රැසක් අර්බුදයට ගොස් තිබේ. පරාභවයකට ලක්ව තිබේ. පොලිස්පතිවරයා ඇතුළු පොලිසියේ ජ්‍යෙෂ්ඨතම නිලධාරින් කීප දෙනකුටම පසුගිය කාලයේදී විනය ගැන ප්‍රශ්න මතුවිය. එහෙත් ඒවාට ගත් පියවරක් නැත. සිදුවීමකට පසු සිදුවීමක් වශයෙන් සමාජයෙහි ආන්දෝලන ඇතිවූවද ඒවා විවේචනවලින් ඔබ්බට ගියේ නැත. අද රටක් හැටියට අප භුක්ති විඳින ප්‍රතිඵලවලට මේ තත්ත්වය ද හේතු වූ බව කනගාටුවෙන් වුව කිව යුතුය.
පොලිසියේ පරිහානියේ දිග පළල පෙන්වන හොඳම කරුණක් හැටියට බරපතළ ගණයේ සෑම සිදුවීමක් පිළිබඳ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාරදීමට සිදුවීම දැක්විය හැකිය. පොලිසිය යනු අපරාධ පරීක්ෂණ කාර්ය පැවැරී ඇති ආයතනයයි. එය පොලිසියේ ප්‍රධාන රාජකාරියක් ද වෙයි. එහෙත් දැන් දැන් සිදුවන්නේ කුමක් ද? දරාගත නොහැකි තරමට බරපතළ ගණයේ සිදුවීම් සියල්ල පාහේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කර පිට පැටවීමයි. අපරාධ නඩු විධාන සංග්‍රහයට, දණ්ඩ නීති සංග්‍රහයට අනුව විමර්ශන කර සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමේ හැකියාව සෑම පොලිස් නිලධාරියකුටම තිබියදී සියල්ල සී.අයි.ඩීය මත පැටවීමෙන් ගම්‍ය වන්නේ කුමක් ද?
ආරක්ෂක අමාත්‍යංශය මතු නොව සියලුම පරිපාලන අංශවල වගකිව යුතු පුටුවලට පත්විය යුත්තෝ ප්‍රාමාණික දැනුමක් ඇති මිනිස්සුය. පුද්ගල දැනහැඳුනුම්කම් මත රටේ මර්මස්ථානවල ප්‍රධාන තනතුරු පිරිනැමීම කිසිසේත්ම රාජ්‍යතාන්ත්‍රික ගුණයක් නොවේ. ඒ බව දැන්වත් වටහාගැනීමට පාලකයන් පැණසර විය යුතුය. මේ අප අත්දකින ඛේදනීය සිදුවීම් ඒ දැන හැඳුනුම්කම්වල ප්‍රතිඵල යැයි කීව ද වරදක් නැත. විෂය නොදන්නා මිනිසුන් රාජ්‍ය ආරක්ෂාව වැනි අතිශය බරපතළ හා සංවේදී විෂයවල මුල් පුටුවලට පත්කිරීම යනු පුද්ගලයකු දෙන්නකු නොව සමස්ත ජාතියක් පිටින් අනතුරේ හෙළන වැඩකි. දේශීය මෙන්ම විදේශීය පාඨමාලා සිය ගණන්වලට සහභාගී වූ යුද පිටියේ ක්‍රියාන්විතයේ සක්‍රීය වූ විශිෂ්ට නිලධාරීහු ඕනෑ තරම් මේ රටේ සිටිති. ප්‍රතිපත්ති සම්පාදකයන් රට කරවන්නන් ඒ මිනිසුන්ගේ හසළ අත්දැකීම් රටේ දියුණුවටත් සුරක්ෂාවටත් යොදාගැනීමට නම්‍යශීලී විය යුතුය. එහෙත් නීතිය හා සාමය අමාත්‍යංශවල හෝ ආරක්ෂක අමාත්‍යංශවලදී එවැනි ප්‍රාමාණිකයන් අපට අද දකින්නට නැත. ඒ වෙනුවට ඒවායේ අප දකින්නේ අත්දැකීමක් හෝ පුහුණුවක් නැති පිරිසකි.
එදා එල්.ටී.ටී.ඊ සංවිධානයේ දරුණු ප්‍රහාර හමුවේ පවා ආරක්ෂක මණ්ඩලය රැස්වෙද්දී අපට වැඩ කිරීමට ස්ථිර අධිෂ්ඨානයක් තිබුණේය. ඊට අවශ්‍ය දේශපාලන නායකත්වය දුන්නේ වෙන කවුරුවත් නොව මහින්ද රාජපක්ෂ මහතාය. ජනාධිපතිවරයා හැටියට මහින්ද රාජපක්ෂ මහතාට ඒ සඳහා ස්ථිර දේශපාලන අධිෂ්ඨානයක් ද තිබුණේය. යුද හමුදාව පැත්තෙන් සරත් ෆොන්සේකා මහතාත් නාවික හමුදාව පැත්තෙන් වසන්ත කරන්නාගොඩ මහතාත් ගුවන් හමුදාව පැත්තෙන් රොෂාන් ගුණතිලක මහතාත් සහභාගී වූ අතර පොලිස් දෙපාර්තමේන්තුවේ නියෝජනය විටින් විට වෙනස් වෙද්දී පොලිස් විශේෂ කාර්ය බළකාය වෙනුවෙන් මම එය නියෝජනය කළෙමි. එදා අප අපේ රාජකාරිය නිවැරැදිව වටහාගෙන සිටි අතර 2005 දී බලයට පත් වනවිට මහින්ද රාජපක්ෂ මහතාට තිබූ ලොකුම ශක්තිය වුණේ මේ ආරක්ෂක මණ්ඩලයයි. ත්‍රස්තවාදය මැඬ නිදහසේ හුස්ම ගන්නට රටක් හැටියට අපට එදා හැකිවුණේ හරි තැන හරි මිනිසුන් සිටි නිසාය. දේශපාලන විරසකකම් පංගුපේරු නිසා රටක් ජනතාවක් විපතට පත් වේ නම් එය අතිශය සංවේගජනක පුවතකි. වත්මන් රාජ්‍ය නායකයන්ටත් මේ අර්බුදයට පිළියම් සෙවීමට අවශ්‍ය නම් පළමුවෙන්ම කළයුත්තේ හරි තැනට හරි මිනිසුන් යෙදීමය. අවංක වුවමනාවක් ඇත්නම් ඒ සඳහා තවමත් පමා නැත.
සටහන - බිඟුන් මේනක ගමගේ
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
මේ වන විට මැතිවරණ ප්‍රතිඵල ලැබෙමින් තිබේ. සත්‍ය වශයෙන්ම ඡන්දය දැමීමට ගිය ප්‍රතිශතය කෙසේ වෙතත් මෙවර මැතිවරණයට පෙර කාලය තුළ නම් ජනතාව අතර උනන්දුවක් තිබු
ජනාධිපති අනුර කුමාර දිසානායක වගකීම දරන එක් විෂයක් වන්නේ කෘෂිකර්මාන්තයයි. අනෙක් අතට ආහාර සුරක්ෂිත භාවය හා සෞඛ්‍ය වැනි කෘෂිකර්මයට සම්බන්ධ ඒ මත රැඳුණු ව
පාර්ලිමේන්තු මහ මැතිවරණය ලබන බ්‍රහස්පතින්දාය. සති අන්තය වන විට අලුත් ආණ්ඩුවකි. අලුතින් තේරී පත්වන මහජන නියෝජිතයන් අතුරින් කැබිනට් මණ්ඩලය තෝරා ගැනෙනු
තොරතුරු සහ සත්‍ය අතර පරතරයක් ඇත. විවිධ මාධ්‍ය ඔස්සේ ලැබෙන තොරතුරු අති විශාලය. මෙම තොරතුරුවලින් සැලකිය යුතු කොටසක් ඇත්ත නොවේ. ගල් යුගයේ සිට කෘත්‍රිම බුද
අගමැති හරිනි අමරසූරිය මහත්මිය විසින් පසුගිය දා කරන ලද ප්‍රකාශයක් අතිශයින්ම මා සිත් ගත්තේ ය. ඇය ප්‍රකාශ කර තිබුණේ තමන්ට ඉතා අවම ආරක්ෂකයන් අවශ්‍ය වුවද එ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
තොරතුරු සැහැල්ලුවට ගත්තේ ඇයි
Pradeep Friday, 26 April 2019 02:28 PM
මේ පැහැදිලි කිරීමට ඔබට මාගේ ප්‍රණාමය.. නිසි තැන නිසි පුද්ගලයන් නොමැතිකමයි අද පවතින ගැටළුව..
විජිත් Friday, 26 April 2019 07:33 PM
මෙතුමා ගැන මම හොඳින්ම දන්නවා. දක්ෂ රගර් ක්‍රීඩකයෙක්..., ඊටත් වැඩිය දක්ෂ රණවිරුවෙක්. නිමල් ගුණතිලක මහතාගෙන් පසුව එස්.ටී.එෆ් කොමඩාන් හෙවත් අණදෙන නිලධාරියා ලෙස කොටි සමග මුහුණට මුහුණලා සටන් කොට උන්ව විනාශ කල විශිෂ්ට ගනයේ රණවිරුවෙක්. මෙතුමාගේ මේ ලිපියෙහි අන්තර්ගතය තේරුම් ගැනීමට අපේ රටේ පාලකයින්ට බුද්ධිය පහළවේවා... එහෙත්.. මොලේ හිසේ නැති 225ක් වන මෝඩ ඌරු රැලට මේවා කෙසේ වැටහේවිද?
saman Saturday, 27 April 2019 04:06 AM
ඔබතුමාගේ පැහැදිලි කිරීම අගෙයි. දේශපාලකයන් මෙය වටහා නොගැනීම ජාතියේ ඛේදවාචකයයි
Deepal Nirosh Saturday, 27 April 2019 07:57 AM
තොරතුරු සැහැල්ලුවට ගත්තේ රජයේ නිලධාරී්න් බව ඇත්ත. ඒත් ආරක්ෂක ලේකම්, පොලිස්පති ඇතුළු සියළු රජයේ නිලධාරීන්ගේ රාජකාරිය පවත්නා රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමයි. ඔවුනොවුන් මෙම පුවත සැහැල්ලුවට ගත්තේ පවතින රජයේ ප්‍රතිපත්තියට අනුවයි. මොකද වත්මන් රජය ජාතික ආරක්ෂාව කියන කාරණය තම ප්‍රමුඛතා ලැයිස්තුවේ 4 හෝ 5 වැනි ස්ථානවලටයි ස්ථානගත කර තිබුණේ...
Sriyani Mangalika Saturday, 27 April 2019 07:11 PM
මෙම නිලධාරීන් බුද්දිමත් අය. හොඳට කල්පනකරන්න. මෙය ඉතා සැලකිය යුතු කාරණයක්. ප්‍රබල පුද්ගලයෙක් හෝ දෙදෙනෙක් මෙම කරුණු උවමනාවෙන් වසන් කර ඇති බව පැහැදිලිව පෙනෙනවා. මේ වෙද්දී මැරුණු පුද්ගලයන් ගණන පුදුම සහගත ලෙස සීයකින් අඩුවෙලා. මේ වෙලාවෙත් බුර්කව තහනම් කරන්න අදි මදි කරනවා
Kumar Monday, 29 April 2019 02:30 AM
බුද්ධි අංශයේ දෑ ගණනකට ගත්තානම් සිංගප්පුරු ගමන අහකදමන්න වෙනවනේ. කලකට පෙර රෝමයේ අදිරාජයා රෝම නගරය දැවෙන කොට වයලිනයක් වාදනය කලාලු. ලංකාවෙත් නීරෝ කෙනෙක් ඉන්නවද.
visvan Monday, 29 April 2019 05:47 AM
පොලිසිය දිගටම පරීක්ෂණ වරුන්ට සහකාර පොලිස් අදිකාරී උසස්වීම් නොදී කෙලින්ම ගත්ත ම මෝඩ යන් තරග කරන්නේ පොලිස්පති වන්න. පොලිසියේ බිම්මට්ටම පිළිබඳ දැනීම් නැති පරීක්ෂක වරුන් කලකිරීම්වලට පත්වීම බරපතල කරුණකි.