IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


නිමක් නැති අර්බුද

දේශපාලන අර්බුදය යම් දුරකට සමනය වී ඇතත්, එය සම්පූර්ණයෙන්ම නිමාවට පත් වී නැත. රනිල් වික්‍රමසිංහ ඉකුත් ඉරිදා අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දීමෙන් පසුව සඳුදා පස්වරුවේ කැබිනට් මණ්ඩලය පත්කිරීමට ඔහු පළමුව තීන්දු කර තිබුණ ද එය සාර්ථක වූයේ නැත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ආණ්ඩුවේ සහායට එක්වන මන්ත්‍රීවරුන් පිළිබඳව තීන්දුවක් ගැනීමට කාලය අවශ්‍ය හෙයින් සඳුදා කැබිනට් මණ්ඩලය පත්කිරීමට එක්සත් ජාතික පෙරමුණට නොහැකි විය. ඉන්පසුව තීන්දු වූයේ පසු දින එනම් අඟහරුවාදා පෙරවරුවේ කැබිනට් මණ්ඩලය පත් කිරීමටය. “අඟහරුවාදා උදේ කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙනවා. අඟහරුවාදා පස්වරුවේ පාර්ලිමේන්තු රැස්වීමට යන්නේ අලුත් ඇමැතිවරුන්” යැයි එජාප ජ්‍යෙෂ්ඨයෝ කිහිප දෙනෙක්ම කීහ. එයද ඉටු වූයේ නැත. “අගමැතිකම දෙන්න බැහැ බැහැ කිය කියා ඉඳලා දවස් පනහක් නාස්ති වුණා. පස්සේ අමාරුවෙන් ගත්තා. දැන් කැබිනට් මණ්ඩලයට ශ්‍රීලනිප ඇමැතිවරුන් ගන්නේ නැති වගක් කියනවා. මෙහෙම ගියොත් ජනාධිපතිවරයා තවත් මාසයක් විතර නාස්ති කරාවි” යැයි එජාපයේම මන්ත්‍රීවරු ඊයේ පෙරේදා චෝදනා කළෝය. “ඇමැති මණ්ඩලය පත් කිරීමත් බාලගිරි දෝෂය වගේ කල්ගියොත් ප්‍රශ්න තව තවත් වැඩි වෙනවා” යැයි ද තවත් පිරිසක් සඳහන් කළහ. කෙසේ වෙතත් ඊයේ ඊට විසඳුමක් ලැබිණ.

ඒ එක්සත් ජාතික පක්ෂයේ ඇමැතිවරුන් 29 දෙනෙකු ජනාධිපතිවරයා ඉදිරියේ දිව්රුම් දීමත් සමගය. මෙවර ඇමැතිවරුන් දිව්රුම් දුන්නේ ජනාධිපති කාර්යාලයේ කාමරයක් ඇතුළතය. ඒ ඒ ඇමැතිවරුන් වෙන වෙනම කැඳවා ජනාධිපතිවරයා ඉදිරියේ දිව්රුම් දීමට සැලසුම් කර තිබුණේ ජනාධිපතිවරයාගේ නියෝගයක් මත යැයි ද පැවසේ. ජනාධිපතිවරයා එසේ කළේ විරෝධය දැක්වීමක් ලෙස යැයි ද ඇතැම්හු කියති.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඉකුත් අඟහරුවාදා රාත්‍රියේ ජනාධිපතිවරයාගේ නිල නිවසේදී රැස්වූයේය. දේශපාලන අර්බුදය යම් සන්ධිස්ථානයකට පැමිණ රනිල් වික්‍රමසිංහ නැවත අගමැති ධුරයට පත් වූ පසුව රැස්වූ ප්‍රථම මධ්‍යම කාරක සභා රැස්වීම ද එය වීම විශේෂත්වයකි. ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව උණුසුම් ස්වරූපයක් ගත්තේය. වෙනදා මෙන් ජනාධිපතිවරයාත්, මධ්‍යම කාරක සභිකයනුත් අතර සුහදතාවයක් දකින්නට තිබුණේ නැත. මධ්‍යම කාරක සභාව අතරමැදදී දයාසිරි ජයසේකර අදහස් දක්වන්නට පටන් ගත්තේය. ඔහු සභාව ඇවිස්සෙන සුළු යෝජනාවක් ඉදිරිපත් කළේය. “ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ආණ්ඩුවට ගියා. එහෙම යන්න බැහැ. ඔවුන්ට එරෙහිව විනය පියවරක් ගන්න ඕනේ” දයාසිරි තරමක් තද ස්වරූපයෙන් ප්‍රකාශ කළේය. දයාසිරිගේ කතාව දුමින්ද දිසානායකට සහ මහින්ද සමරසිංහට දිරෙව්වේ නැත. “කොහොමද එහෙම කියන්නේ. අපට ඒ වගේ දෙයක් කරන්න බැහැ. එහෙම නම් පොහොට්ටුවට ගියපු අයටත් එරෙහිව විනය පියවර ගන්න ඕනේ” යැයි දුමින්ද දිසානායක කීවේය. මහින්ද සමරසිංහ ද දුමින්දගේ සහායට පැමිණියේය. මධ්‍යම කාරක සභිකයින් විවිධ අදහස් පළකරද්දී විටෙක එය ගාලගෝට්ටියක තත්ත්වයට පත්වූයේය. අවසානයේදී ජනාධිපතිවරයා සිය ස්ථාවරය ප්‍රකාශ කළේය. “අපේ පක්ෂයෙන් ආණ්ඩුවට ගියපු කාටවත් මම ඇමැතිකම් දෙන්නේ නැහැ” ජනාධිපතිවරයා කීවේය. දුමින්ද දිසානායක තවදුරටත් අදහස් දක්වමින් සිය දුක්ගැනවිල්ල ද කීවේය.

“මගේ තාත්තාට රාජපක්ෂ ආණ්ඩුවෙන් නොයෙකුත් කෙණහිලිකම් වුණා. මම මීට ඉහත අවස්ථා ගණනාවකදී මේ දේවල් විස්තර සහිතව ප්‍රකාශ කරලා තිබෙනවා. ජනාධිපතිතුමා තීන්දු තීරණ කිහිපයක්ම පසුගිය දිනවල ගත්තා. ඒ කිසිම අවස්ථාවක අපට මුකුත් කිව්වේ නැහැ. අඩුම තරමින් මේ වගේ තීන්දුවක් ගන්න බවක්වත් අපි දන්නේ නැහැ. මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයට පත්කිරීම, ඔහු ඉල්ලා අස්වීම, පාර්ලිමේන්තුව විසුරුවා හැරීම වගේ දේවල් අපි දන්නෙත් ඒවා වුණාට පස්සේ. අපි ඒ ගැන දැනගත්තේ ජනමාධ්‍යයෙන්” යැයි දුමින්ද දිසානායක ජනාධිපතිවරයාට වක්‍රව චෝදනාවක් කළේය. මීට අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රතිසංවිධානය කිරීමේ වැඩකටයුතු පිළිබඳව ද මධ්‍යම කාරක සභාවේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කළේය. ලබන ජනවාරි මාසයේදී දිවයිනම ආවරණය වන පරිදි සාමාජික ප්‍රවර්ධන වැඩසටහනක් දියත් කිරීම, පක්ෂය ප්‍රතිසංවිධානය කිරීම, බිම් මට්ටමේ ශාඛා සංවිධාන ප්‍රතිසංවිධානය කිරීම ආදී කටයුතු ගැන ද ශ්‍රීලනිප මධ්‍යම කාරක සභිකයෝ සාකච්ඡා කළහ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අභ්‍යන්තර අර්බුදය ද මේ වන විට තරමක් උත්සන්න වෙමින් තිබෙන බව වාර්තා වේ. “ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨයන් මහින්ද රාජපක්ෂ මහත්තයා මෛත්‍රීපාල ජනාධිපතිවරයාගේ ආණ්ඩුවේ අගමැති ධුරය බාරගන්නවාට කැමැති වුණේ නැහැ. ඔහුට අගමැති ධුරය බාරගන්නා ලෙස බල කළේ වෙනත් සුළු දේශපාලන පක්ෂවල නායකයින්. මේ නිසා පොදුජන පෙරමුණේ පිරිස් මත ගැටුමක් හදාගෙන තිබෙනවා” යැයි පොහොට්ටු පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙක් ප්‍රකාශ කළේය. කෙසේ වෙතත් එම පක්ෂයේ ආරංචි මාර්ග සඳහන් කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ද ප්‍රතිසංවිධානය කිරීමේ කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙන බවය. ඉදිරියේදී පැවැත්වෙන ඕනෑම මැතිවරණයකට මුහුණදීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සූදානම් කිරීමේ අරමුණින් එම පක්ෂය ද ලබන ජනවාරියේ සිට පක්ෂ ප්‍රවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

මේ අතර දේශපාලන අරගලය ජයගැනීමෙන් පසුව එක්සත් ජාතික පක්ෂය ද යම් ප්‍රවර්ධනයක් ලබා තිබෙන බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෝ ප්‍රකාශ කරති. “අපි ගෝල්ෆේස් එක සෙනඟින් පිරෙව්වා. අපට සමහරු අභියෝග කළා. අපි අභියෝගය බාර ගත්තා” යැයි මහලේකම් අකිල විරාජ් කාරියවසම් ප්‍රකාශ කරයි. මහලේකම්වරයා සඳහන් කරන්නේ ලබන වසරේ ආරම්භයේ සිටම එක්සත් ජාතික පක්ෂය ද ප්‍රවර්ධනය කිරීම ආරම්භ කරන බවය. ඉදිරියේදී මැතිවරණ සියල්ල ජය ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් කරන බව ද ඒ සඳහා වැඩපිළිවෙළක් පවතින බව ද අකිල විරාජ් කාරියවසම් සඳහන් කරයි. එජාපයට ඉදිරියේදී අලුත් සංවිධායකවරුන් පිරිසක් පත් කිරීමට නායකත්වය තීන්දු කර තිබෙන බවද එජාප ආරංචි මාර්ග සඳහන් කරයි.

එක්සත් ජාතික පෙරමුණ මුලදී තීරණය කර තිබුණේ නැවතත් මුලින් තිබුණු ආකාරයේ ජාතික ආණ්ඩුවක් හැදීමටය. ජාතික ආණ්ඩුවක් හැදීමට නම් දේශපාලන පක්‍ෂ දෙකක් අතර ලිඛිත ගිවිසුමක් තිබිය යුතුය.  රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා සාකච්ඡා කර තිබුණේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සමග ජාතික ආණ්ඩුවක් හැදීමටය. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඉකුත් මහ මැතිවරණයේදී එක්සත් ජාතික පෙරමුණ යටතේ තරග කළේය. ඔවුන්ගේද ඡන්ද සලකුණ වූයේ අලියාය. එහෙත් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ “ගස” ලකුණ යටතේ එක් මන්ත්‍රීවරයෙක් මඩකළපුවට තරග කළේය. ඔහු අලි සහීර් මව්ලානාය. ඔහු පාර්ලිමේන්තුව නියෝජනය කරන ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ එකම මන්ත්‍රීවරයාය.

එක් මන්ත්‍රීවරයකු පමණක් සිටින ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සහ එක්සත් ජාතික පෙරමුණ අතර ගිවිසුමකින් අනතුරුව “එක්සත් ජාතික පෙරමුණ ජාතික ආණ්ඩුව” නමින් ආණ්ඩුවක් පිහිටුවීම අගමැතිවරයාගේ අදහස වී තිබුණද එය සාර්ථක වූයේ නැත. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ දහනව වැනි සංශෝධනයට අනුව කැබිනට් මණ්ඩලය උපරිම තිස් දෙනෙකුට සීමා විය යුතුය. යම් අවස්ථාවක ජාතික ආණ්ඩුවක් හදන්නේ නම් පමණක් කැබිනට් ඇමැතිවරුන්ගේ සංඛ්‍යාව 45 දක්වා වැඩිකර ගත හැකිය. අගමැති රනිල් වික්‍රමසිංහට අවශ්‍ය වී තිබුණේ ජාතික ආණ්ඩුවකටත් වඩා ඇමැති මණ්ඩලය වැඩිකර ගැනීමය. එසේ නොවුණහොත් අමාත්‍ය ධුර බලාපොරොත්තුවෙන් සිටින මන්ත්‍රීවරුන්  ආණ්ඩුව තුළ රඳවා ගැනීම අසීරුවන බව අගමැතිවරයා දැන සිටියේය. ජාතික ආණ්ඩුවක් පිළිබඳ කතා කනින් කොනින් පැතිර යද්දී අනුර කුමාර දිසානායක ඊට ප්‍රතිචාර දක්වන්නට පටන් ගත්තේය. “දහනව  වැනි සංශෝධනයට වසන්වෙලා ඒකෙන් රිංගන්න ඉඩදෙන්න බැහැ. මේ හදන්නේ කැබිනට් එක ලොකු කර ගන්න. මේ වේලාවේ ජාතික ආණ්ඩුවක් හදන එක සදාචාරාත්මක නැහැ” ආදී වශයෙන් අනුර දිසානායක දේශපාලන ප්‍රහාරයක් එල්ල කළේය. කෙසේ වෙතත් අවසානයේදී ජාතික ආණ්ඩු සංකල්පයද ලත් තැනම ලොප් වූයේය. රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ඇතුළු එක්සත් ජාතික පෙරමුණේ නායකයින් අවසානයේ තීන්දු කළේ තිස් දෙනෙකුගෙන් යුත් කැබිනට් මණ්ඩලයක් පත් කිරීමටය.

 යහපාලන ආණ්ඩුව පැවති සමයේදී එක්සත් ජාතික පෙරමුණට කැබිනට් ඇමැති ධුර තිස් දෙකක් තිබිණ. එජාපයෙන් තීන්දුකර තිබුණේ මෙවර රවි කරුණානායකට සහ රංගෙ බණ්ඩාරට කැබිනට් ඇමැති ධුර ලබාදීමටය. එසේ වුවහොත් ඇමැති ධුර සංඛ්‍යාව 34 දක්වා වැඩිවෙන අතර අගමැතිවරයා කීවේ සිය කැමැත්තෙන් කාට හෝ ඇමැති ධුර බාර නොගෙන සිටිය හැකි බවය. එහෙත් කිසිවෙකුත් ඊට එකඟ වූයේ නැත. එවිට මලික් සමරවික්‍රම කීවේ “අගමැතිතුමනි මම අයින් වෙන්නම්” කියාය. මලික් එසේ කී විට ඔහුගේ සහායට තවත් කෙනෙක් ඉදිරිපත්  වූයේය. ඒ මනෝ ගනේෂන්ය. මනෝ කීවේ “මමත් බාර නොගෙන ඉන්නම්”  කියාය. එසේ  කීවද මනෝ ගනේෂන් ඇමැතිකමක් අපේක්‍ෂා කරමින් සිටින බව ද ඔහුට හිතවත් දේශපාලනඥයෙක් කීවේය.  අවසානයේදී මනෝ ගනේෂන්ට තිබූ ඇමැතිධුරයට අමතරව හින්දු ආගමික කටයුතුද එක්කර තිබිණ. මලික්ටද ඇමැති ධුරයක් හිමිවිය. අගමැතිවරයා යෝජනා කර තිබුණ ද රංගෙ බණ්ඩාරට සහ සරත් ෆොන්සේකාට ඇමැති ධුර හිමිවූයේ නැත. ඔවුන්ට ඇමැති ධුර ලබාදීම ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කර තිබිණ.

 මේ අතර ඇමැති ධුර ලබාදීම සම්බන්ධයෙන් පැවැති සාකච්ඡාවේදී නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස යෝජනාවක් කළේය. “හොරු ආයෙත් ගත්තොත් ප්‍රශ්න මතුවෙනවා. දූෂණ වංචාවලට සම්බන්ධ අයට ඇමැතිකම් දෙන්න එපා. එහෙම වුණොත් අපට මේ ගමන යන්න වෙන්නේ නැහැ” යැයි සජිත් කී කතාවට සභාවෙන් ප්‍රතිචාරයක් හිමි වූයේය. සජිත් අදහස් දක්වද්දී තවත් එජාප මන්ත්‍රීවරුන් දෙදෙනෙක්  රහසින් අදහස් හුවමාරු කරගත්හ. “සජිත් ඔය ගහන්නේ රවිට. රවි සජිත් අතර සීතල ගැටුම තාමත් තියෙනවා” යැයි එම මන්ත්‍රීවරු කීහ. කෙසේ වෙතත් නව කැබිනට් මණ්ඩලය ඊයේ දිව්රුම් දුන් අතර රවි කරුණානායකට කැබිනට් ඇමැති ධුරයක් හිමිවිය. තවත් දේශපාලන ආරංචි මාර්ගයකින් සඳහන් වූයේ රවි කරුණානායක අග්‍රාමාත්‍යවරයා හමුවී තමාට නැවත මුදල් ඇමැතිකම ලබාදෙන ලෙස ඉල්ලීම් කර තිබූ බවය. එහෙත් අග්‍රාමාත්‍යවරයා රවිගේ ඉල්ලීම ප්‍රතික්‍ෂේප කර තිබුණේය. ලැබුණු ඇමැති ධුරය පිළිබඳව රවි කරුණානායක සතුටට පත්ව නැත. ‘රවි ඉල්ලුවේ මුදල් ඇමැතිකම. ඒක නොලැබුණු නිසා ඔහු සෑහීමට පත්ව නැහැ. විදුලිබල ඇමැතිකම මට දුන්නට මම ඒක ගත්තේ නැතැයි රවි මට කිව්වා’ යැයි හිතවතකු පවසා තිබිණ.

මේ අතර මංගල සමරවීර මුලදී මුදල් ඇමැති ධුරය බාර ගත්තේ එතරම් කැමැත්තකින් නොවන බව සඳහන් වී තිබිණ. එහෙත් මංගල සමරවීර පසුව මුදල් ඇමැති ධුරයේ කටයුතු කැමැත්තකින් කරගෙන ගියේය. කෙසේ වෙතත් මංගලට මෙවරත් මුදල් ඇමැති ධුරය හිමිවිය. පොලිසිය අයත් වන නීතිය හා සාමය පිළිබඳ ඇමැතිවරයෙක් ඊයේ පත්වූයේ නැත. එම විෂය ජනාධිපතිවරයා යටතේ තබාගෙන තිබේ. මේ අතර රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැති ධුර ජනාධිපතිවරයාගේ විදේශ සංචාරයෙන් පසුව සිදුකරනු ඇතැයි පැවසේ. පෞද්ගලික සංචාරයක් සඳහා ජනාධිපතිවරයා ඊයේ පස්වරුවේ විදේශ ගත විය.

කැබිනට් අමාත්‍යවරුන් පත් කර ඔවුනට අයත් විෂයන් බෙදා දුන්නද අවශ්‍ය ආකාරයට ආයතන බෙදා වෙන් කිරීමේ බලතල ජනාධිපතිවරයා සතුය. ජනාධිපතිවරයාට අවශ්‍ය නම් කිසියම් ඇමැතිවරයකුට යම් ආයතනයක් පවරා නොදී සිටීමේ හැකියාවද පවතින බව නීති විශාරදයෝ පෙන්වා දෙති. මීට අමතරව ජනාධිපතිවරයාට දහනව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් අමාත්‍යාංශ දෙකක් පමණක්  පවරාගත හැකිය. වර්තමාන ජනාධිපතිවරයාට පමණක් බල පැවැත්වෙන පරිදි ආරක්‍ෂක අමාත්‍ය ධුරයත් මහවැලි අමාත්‍ය ධුරයත් ජනාධිපති බාරයේය. දහනව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව වර්තමාන ජනාධිපතිවරයාගෙන් පසුව ධුරයට පත්වන ජනාධිපතිවරයාට ලබාගත හැක්කේ ආරක්‍ෂක අමාත්‍ය ධුරය පමණි. මේ අතර ඒ ඒ අමාත්‍යවරුන්ගේ විෂයන් හා අයත්වන ආයතන සඳහන් ගැසට් නිවේදනය අද හෙටම පිටවනු ඇතැයි පැවසේ.

ඇමති ධුර අවුලෙන් පසුව තවත් ගැටලුවකට මුහුණදීමට ජනාධිපතිවරයාටත් අගමැතිවරයාටත් සිදුවී තිබේ. ඒ පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායක ධුරය සම්බන්ධයෙන් ඇති වී තිබෙන දේශපාලන අවුලය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් ඉවත්ව ඇති බවත් ඔහු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගෙන ඇති බවටත් තර්ක කරමින් දෙමළ ජාතික සන්ධානය විපක්‍ෂ නායක ධුරය ඉල්ලා සිටියි. දෙමළ ජාතික සන්ධානයේ සහායට එක්සත් ජාතික පක්‍ෂයත් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයත් එකතු වී සිටී. මේ අතර ජවිපෙ නායක අනුර දිසානායක සඳහන් කර ඇත්තේ විපක්ෂ නායක ධුරය එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමිවීම සාධාරණ බවය.

කෙසේ නමුත් පාර්ලිමේන්තුව තුළ තවත් දේශපාලන ආරවුලක් දුරදිග නොයවා සමනය කරගැනීමට ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් කටයුතු නොකළහොත් ඒ ප්‍රශ්නයද අධිකරණයට යෑමේ වැඩි ඉඩක් පවතින බවට ද දේශපාලන විචාරකයෝ මත පළකරති.  

හිටපු ජනාධිපතිවරයා තවදුරටත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරයකු බව සඳහන් කරමින් මහ ලේකම් මහින්ද අමරවීර ඊයේ කතානායකවරයාට ලිපියක් බාර දී තිබිණ. විපක්ෂ නායක ධුරය සම්බන්ධ අවසන් තීන්දුව ඇත්තේ කතානායකවරයා අතය.

 



අදහස් (0)

නිමක් නැති අර්බුද

ඔබේ අදහස් එවන්න

කොලම

​දැක්මක ගමනක ජයග්‍රහණ
2024 සැප්තැම්බර් මස 13 762 4

හිටපු මැලේසියානු අගමැති මහතීර් මොහොමඞ් ලෝකප්‍රකට වූයේ ඇයිදැයි ඔබ දන්නවා ද? ඒ අන්කිසිවක් නිසා නොව, ඔහු ඔහුගේ ම ක්‍රමයට මැලේසියාව සංවර්ධනය කොට යළි බිමදැ


විකල්ප තේරීම් ඕනෑද?
2024 සැප්තැම්බර් මස 09 614 2

නිදහසින් පසු මෙරට පැවැත්වූ සහ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණ අතරින් මෙවර පැවැත්වෙන්නේ තීරණාත්මක එකකි. මෙවර අපේක්ෂකයෝ තිස්අට දෙනෙක් ඉදිරිපත්ව සිටිති


ජනපතිවරණ සාකච්ඡා තේමාව
2024 සැප්තැම්බර් මස 06 268 0

ජනාධිපතිවරණයට තවත් ඇත්තේ දින 15ක් පමණ කාලයකි. තැපැල් ඡන්දය පාවිච්චි කිරීම අදින් අවසන් වීමට නියමිතය. සාපේක්ෂක වශයෙන් මෙවර ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා ක


බදු ගෙවන්නන් බිත්තියට හිරකිරීම
2024 සැප්තැම්බර් මස 02 866 0

දැනට පවතින බදු අභියාචනා පටිපාටියට සංශෝධන ගෙන ඒම සඳහා මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට 2024.07.22 දින කැබිනට් අනුමැතිය හිමි වූ බව ටික දිනකට ප


ඡන්දයේදී ජනතා අපේක්ෂා
2024 අගෝස්තු මස 30 249 0

ජනාධිපතිවරණයක දී සාමාන්‍යයෙන් අප නොදකින තත්වයක් මෙවර දැකගත හැකි ය. එනම් මෙවර ඡන්දදායකයන්ගෙන් අති බහුතරයක් තාමත් තම ඡන්දය ගැන තීන්දුවක් ගෙන නොමැති වී


ඡන්දයෙන් ජනතා අයිතිය සුරැකීම
2024 අගෝස්තු මස 26 297 2

දින නියමයක් නොමැතිව කල් දමා තිබූ පළාත් පාලන මැතිවරණය හැකි ඉක්මනින් පවත්වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා මැතිවරණ කොමිසමට නියෝග කළේය. ඒ අනුව ඉදිරි දිනය


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 20417 15

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 18458 1



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 100 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 303 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 163 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site