IMG-LOGO

2025 අප්‍රේල් මස 03 වන බ්‍රහස්පතින්දා


පඹයන්ට රට ඇන්දවීම

කොළඹ විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා හා 
රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයන අංශයේ
ධම්ම දිසානායක

කුඹුර රකින්නෝ පඹයෝය. ඒ, කුරුල්ලන් ගෙනි. සිව්පාවුන් පඹයන් ට බය නැත. ඇතැම් කුරුල්ලන් ද පඹයන් ට බිය නැති බව පෙනෙන්නේ ඔවුන් සමහර විට පඹයාගේ හිස මත සිට විවේක ගන්නා අයුරු දැකගත හැකි නිසා ය. බොහෝ සතුන් එකවරම පඹයා ට රැවටුණත් ඒ සුළු මොහොතකට පමණි. මොහොතකින් පඹයා පඹයෙක් ම වන බව පෙනෙන්නේ ඔවුන් පඹයා ගැන වගේ වගක් නැතුව ආ කාරිය කරගෙන යන නිසා ය. කෙසේ වෙතත් කුඹුර රැකීමෙන් පඹයාට නම් කිසි පලක් නැත. අව්වට වේළුණා වැස්සට තෙමුණා සුළඟට කැරකුණා පමණි. පඹයාගේ පැවැත්ම හෝ නො පැවැත්ම තීරණය කරන්නේ පඹයා නොව කුඹුරු හෝ වගා හිමියා ය. තමාගේ පැවැත්ම හෝ නො පැවැත්ම පිළිබඳ තීරණය කිරීමට පඹයාට නොහැකි ඔහු සතු නියත හිස්කම නිසා ය. ඒ නිසා ඇවැසි කලට පාවිච්චි කිරීමත් නො ඇවැසි කල වීසිකර දැමීම හෝ ගිනි තැබීමත් පඹයාගේ ඉරණම ය. ඉරණම ඉරාගෙන ඉදිරියට ආ පඹයන් ගැන තොරතුරු ඉතිහාසයේ නැත.

සාප්පුවල තිබෙන්නේ ඩමි ය. Dummy යන ඉංග්‍රීසි වචනයේ සිංහල පරිවර්තනය පඹයා යන්න වුවත් සාප්පුවල ඇති ඒවාට ඩමි මිස පඹයන් කියා කියන්නේ නැත. ඒ නිසා අපේ පඹයා සහ ඉංග්‍රීසි ඩමියා අතර සංස්කෘතික වශයෙන් ලොකු වෙනසක් තිබේ. ඒක හරියට ‘සැලෝන් එක’ සහ ‘සැලුන් එක’ අතර ඇති වෙනස වගේ ය. එහෙත් සමානකම් බොහෝය. පඹයාට මෙන්ම ඩමියාට ද හිතක් නැත. ජීවයක් නැත. එනම් හිතන්න මතන්න බැරිය. ජීවිතයක් නැත. අව්වැසි හුළං දැනෙන සිතක් ගතත් නැත. එනම් සිත කය නැත. මේ දෙදෙනාගේ ම පැවැත්ම සහ ජීවිතය මෙන්ම අඳින පළඳින හැටි, හැඩවැඩ, ස්වරූපය, සිටිය යුත්තේ කොතැනද, සේවය කළ යුත්තේ කාටද, කොයි වෙලාවට ද යනාදී සියල්ල තීරණය කරන්නේ පඹයා හෝ ඩමියා නොව වෙනකෙකු ය.


පඹයාට වඩා ඩමියා සීතල සාප්පුවල සුවදායක ජීවිතයක් ගතකරන බව පෙනුණත් ඒ දෙගොල්ලෝම ඒ සුවය හෝ දුක දැනෙන වුන් නොව සිත කය දෙකම නැති පඹයෝ ය, ඩමියෝ ය. ඕනෑ තැනකින් ගලවන්න, අතපය වෙන් කරන්න, ඇඳගෙන ඉන්න ඇඳුම් ගලවන්න අලුත් ඇඳුම් අන්දන්න සමහරවිට නිර්වස්ත්‍රව තියන්න උපරිම බලය සහ අයිතිය ඇත්තේ පඹයන් ට සහ ඩමියන් ට නොවේ. ඒ උපරිම අයිතිය ඇත්තේ ඔවුන් හරහා තම අපේක්ෂා ඉටුකර ගන්නන්ට ය. මෙවර ලිපිය, මිනිසුන් මානවහරණයට නැතහොත් නො මිනිස්කරණයට ලක්කොට ඇති සමාජයක් පිළිබඳව ය. එනම් පඹකරණයට සහ ඩමිකරණයට ලක්කොට ඇති අපේ රටේ ජන සමාජය පිළිබඳව ය.


මානවවාදී ප්‍රගමනයක් සඳහා ඇවැසි, මිනිසුන් හෝ මිනිස් සමාජය සතු නිර්මාණාත්මක බුද්ධිය නවලිබරල් සහචර වෙළෙඳ පොළ අරමුණු විසින් විනාශ කරන බව තේරුම් ගැනීමට දැන් ලෝක උදාහරණ අවැසි නැත. මේ වෙළෙඳ පොළ අරමුණු වෙනුවෙන්ම පෙනී සිටින්නන් සහ එය මෙහෙයවන්නන් විසින් මෙරට සමස්ත සමාජයම අශ්ලීල කොට ඇත. පරිභෝජනවාදයේ වහලුන් බවට පත්කොට ඇත. වෙළෙන්දන් සහ ඔවුන්ට අතරමැදිකම් කරන ප්‍රචාරණ ආයතන විවිධාකාරයේ නිර්මාණාත්මක සටකපටකම් යොදා ගනිමින් යෝජනා කරන, හඳුන්වා දෙන භාණ්ඩ හා සේවා කිසිදු වග විභාගයකින් තොරව මිලට ගන්නා, හිතත් නැති ඒ නිසාම සංවේදී ගතකුත් නැති පඹයන් සහ ඩමියන් බවට මෙරට ජන සමාජය පත් වී ඇත. නිපදවන ඕනෑම දෙයක් ගිල්ලවිය හැකි මැෂින් බවට සහ ඇන්දවිය හැකි සහ පැළඳවිය හැකි පඹයන්, ඩමියන් සහ බාබි ගර්ල්ලා බවට ජන සමාජය පත්කිරීම වෙළෙඳ පොළට සේම දේශපාලනයට ද කරල පැසීමට හේතුකාරක වී ඇත.


ද්‍රව්‍යාත්මක නිෂ්පාදන මාර්ග මත ආධිපත්‍යය පතුරුවා ඇති සහචර ධනවාදී වෙළෙඳ පොළකාරයන් මානසික නිෂ්පාදන මාර්ග මත ද සිය අධිපත්‍යය පතුරුවා ඇත. දේශපාලනයේදී මේ රටේ ජනයා නැවත නැවත වරද්දා ගන්නේ මෙකී ආධිපත්‍යය විසින් ජන සමාජය අනුවණ කොට පඹයන් සහ ඩමියන් බවට පත්කොට ඇති නිසාය. කන්නේ, බොන්නේ, කරන්නේ මොනවද යන්න වගේම හිතන්නේ මොනවද යන්නත් තීරණය කරන්නෝ මේ සහචරයෝ ය. ඉතින් දැන් අප ඉදිරිපිට ඇත්තේ අප ඇත්තටම “අප” වන්නේ කෙසේද? කවදා ද? යන අභියෝගය ය.


අප සැබෑවටම අප වීමට නම් පළමුව මේ සහචරයන්ගෙන් ගැලවිය යුතු ය. ටිකක් මොළය පාවිච්චි කළහොත් එය අපහසු නැත. එහෙත් සමාජය තුළ පැළපදියම් කොට ඇති සහචර ක්‍රමයෙන් ගැලවීම ඒ තරම් පහසු නැත. මන්ද 1977 සිට මුල් අද්දවා ඇති ඒ ක්‍රමය ස්ව කැමැත්තෙන්ම අදහන පිළිපදින ආගමක් බවට පත් වී, මිනිසුන්ගේ හද සන්තානයේ ගැඹුරටම කා වැදී ඇති නිසාය. මේ වනවිට දිගු ඉතිහාසයක් ඇති සාම්ප්‍රදායික ආගම්වල ද උත්තරීතර මහා පොදු ආගම බවට ‘වෙළෙඳාගම’ පත් වී තිබීමෙන් එහි බරපතළකම වටහා ගත හැකිය. මෙරට වෙළෙඳාම සහ දේශපාලනය යනු දැන් වනවිට දෙකක් නොව එකකි. පවතින මේ ව්‍යසනකාරී දේශපාලනයෙන් ගැලවීමට නම් මේ දේශපාලනය-දේශපාලකයන් සහ සහචර වෙ​ළෙඳාම යන දෙකටම එරෙහිව එක මිටට එක ලෙස ට සිට ගත යුතුය. විරුද්ධ විය යුතුය.


කලක සිට දේශපාලකයන් සහ දේශපාලනය ගැන කළ විචාර සහ විවේචනවලට වෙනස්ව මා මෙවර ලිපියෙන් අප ගැන විමසීමට උත්සාහ කරන්නේ ඇයිද යන ගැටලුව ඔබට පැනනගිනු ඇත. එසේ කරන්නේ කරුණු කීපයක් නිසාය. මේ ආකාරයේ රටට සමාජයට සහ මහපොළොවට වග නොකියන පාලකයන්, වෙළෙන්දන් වනාහි අපේ පඹකමේ සහ ඩමිකමේ පලයක් ය යන්න පළමු කරුණයි. අපේ පඹකම සහ ඩමිකම වනාහි මේ පාලක-වෙළෙඳ එකමුතුව විසින් ඉතා සූක්‍ෂමව ඇති කළ එකක් වීම දෙවන කරුණයි. මේ පාලක-වෙළෙඳ හවුල පරදවා ශීලාචාර පොදු ජනවාදී සමාජයක් ඇතිකර ගැනීමට නම් අප පත්වී ඇති පඹ-ඩමි දෛවය ගැඹුරින් අවබෝධ කරගත යුතුය යන්න තෙවැනි කරුණයි. පඹ-ඩමි ඉරණම ඉරාගෙන ඉදිරියට නොගියොත් මේ පාලක-වෙළෙඳ හවුල් රටක් තබා මහපොළොවක්වත් අහසක්වත් ඉතිරි නොකරන බව පෙන්වා දීම හතරවැනි කරුණයි.


අප පඹයන් නම් දේශපාලකයන් එසේ නොවන්නේ දැයි ගැටලුවකට ද ඔබ මුහුණ දෙනු ඇත. ඔවුහු ද පඹයෝ සහ ඩමියෝ ය. එහෙත් ඔවුන්ට අන්දවන්නේ, පළඳවන්නේ සහ ඔවුන් සිටින තැන් තීරණය කරන්නේ අප නොව ඔවුන් පඹයන් ලෙස පාවිච්චි කරන රට නොරට වෙළෙන්දන් සහ බලවතුන් ය. මේ අර්බුදයේ මුල එතැනය. හේතුව එතැනය. ඒක එහෙම වුණත් මිහිතලයේ අසරණයන් බවට පත් වී සිටින්නේ අපය. ගැටලු කීපයක් දෙස අපේ අවධානය යොමු කරමු. 

පළාත් සභා යනු වැඩකට කමකට නැති ආයතන පද්ධතියක් බව ඇත්තක් වුවත් නිසි කලට ඒවායේ ඡන්ද විමසීම් නොතියන්නේ ඒ නිසා නොව පෙබරවාරි කහ එළිය (රතු එළියක් යැයි භාර ගැනීමට අකමැති නම්) රතු එළියක් වේ ය යන බිය නිසාම ය. එසේ නොමැති නම් මාඕ සේතුංගේ පා ගමන මෙන් ප්‍රාදේශීය ආණ්ඩු, පළාත් සභා හරහා මධ්‍යම ආණ්ඩු බලය ලබා ගැනීම දක්වා එන ආණ්ඩු විරෝධයේ ගමන වළක්වාලීමේ උපායක් ලෙසය. අවුරුදු තුනකට ආසන්න කාලයක් ප්‍රාදේශීය ආණ්ඩු ඡන්ද විමසීම කල් දැම්මේද ඔය අරමුණින්මය. ඉන් නෙළාගත් අස්වැන්න පළාත් සභා ඡන්ද විමසීම් නොතැබීමට ප්‍රධාන හේතුවක් ය.

හැම දෙයකටම බදු අය කළාට විරුද්ධ විය යුතු නැත. එහෙත් අයකරන බදුවලින් කරන්නේ කුමක්ද කියා අප දැනගත යුතුය. මේ සා විශාල බදු අය කරමින් ඒ බදු ආදායමෙන් මෙරට පොදු ජනයාට ලබාදුන් සහනයක් හෝ සෙතක් නැත. පොදු දේපළ සහ මූල්‍ය අවභාවිතය, තම තම සබඳතා පමණින් පොදු දෑ බෙදා ගැනීම මිස නාස්තිය සහ දූෂණය වැළැක්වීමට ආණ්ඩුව මැදිහත් වන්නේ නැත.
හතර පෝයට නිවාඩු ගත් සමාජයක්, සති අග දවස් දෙකක නිවාඩු ලබා දී මසකට දින අටක් නිවාඩු ගන්නා තැනකට ගෙනා​ෙවා් සුද්දෝය. එහෙත් සත්‍යය ඊට වඩා වෙනස් ය. මෙරටේ මිනිසුන් දින අටක් නොව හතර පෝය නොව පෝයදාටත් වැඩ ය. එක්කෝ ඉස්කෝලේ ය. (බෞද්ධ පාසල්වල පවා පෝය දාට මොකක් හෝ වැඩක් ය). නැත්නම් ටියුෂන් පන්තියේ ය. එක්කෝ ප්‍රයිවට් චැනලින් ය. එහෙමත් නැත්නම් විශ්වවිද්‍යාලයේ ය. නැත්නම් මහ පාරේ ය. නිවාඩුවක් නැතිව තුන්සිය හැටපස් දවසේ ම උදයක් හවසක් සති අගක් පෝයක් නැතිව වැඩ කරන මිනිසුන්ගේ ජීවිතය හරිනම් කොතරම් සමෘද්ධිමත් එකක් විය යුතුද? එහෙත් ඔවුන් ගෙවා දමන්නේ කායික සහ මානසික වශයෙන් අතිශය දුෂ්කර ජීවිත ය.

දඹුල්ලේ එළවළු ටොන් ගණනින් අලෙවි කර ගැනීමට බැරිව වීසි කරද්දී කොළඹ එළවළු මිල ගණන් අහස උසට නැඟ ඇත. එළවළු හිඟයක් නිර්මාණය කර ඇත. ඩොලරය අහස උසට නගිද්දී රුපියල මස්තබාල්දු වී ඇත. කෝකටත් එකම බෙහෙත දෙන ග්‍රාමීය රෝහල් රට පුරා තිබෙන පසුබිමක සුපිරි රෝහල් පිළිබඳ ඇඩ්වර්ටීස්මන්ට් බලා හූල්ලන ජනයා තව තවත් රෝගී වන්නෝය. පරිසරය රැකීම ජනාධිපතිවරයා යටතේ තිබියදීත් බීම කොම්පැණි, සුපිරි වෙළෙඳ සල්, සියලු ද්‍රව්‍ය සහ ද්‍රව නිෂ්පාදකයෝ සහ වෙළෙන්දෝ ටොන් ලක්ෂ ගණනින් පොලිතින් සහ ප්ලාස්ටික් මහ පොළොවට එකතු කරන්​නෝය. ඒවායේ වගකීම (කොම්පැනි සහ වෙළෙන්දන් අධි ලාභ ලබද්දී) එනම් පරිසරය පිරිසිදුව තියා ගැනීමේ වගකීම මහජනයාට භාර දෙන්නේ ය.

මේ සියල්ල සහ මෙතැන නොකී තවත් බොහෝ දෑ මෙසේ සිදුවන්නේ අප පඹයින් සහ ඩමියන් නිසාය. කළ යුත්තේ කුමක්ද? පළමුව, මේ වෙළෙන්දන් සහ පාලකයන් අප පඹයන් සහ ඩමියන් බවට පත්කොට ඇති බව තේරුම් ගනිමු. දෙවනුව, අප නැවත මිනිසුන් වීමට නම් පඹකරණය ට සහ මානවහරණය ට එරෙහිව පෙළ ගැසෙමු. තෙවනුව අලුත් මානව සමාජයකට ගැළපෙන්නන් අපගේ නියෝජිතයන් බවට පත් කරගනිමු. සිව් වෙනුව, ජනතාව බුද්ධිමත් වනතුරු හෝ බුද්ධිමත් අය ජනතාව වෙනතුරු මානව සමාජයට දුක් කම්කටොලුවලින් නම් නිමාවක් නැත යන්න අවසාන වශයෙන් වටහා ගත යුතුමය. නොනැවතී ඉදිරියට.



අදහස් (2)

පඹයන්ට රට ඇන්දවීම

Ananda Monday, 29 October 2018 07:11 AM

1000% ඇත්ත.

:       0       0

chaminda Monday, 29 October 2018 07:12 AM

හොඳ ලිපියක් ... !!!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

කොලම

ජනමතය උරගා බැලීමක්
2025 මාර්තු මස 28 259 0

මෙවර කිවිදා දැක්ම ලියන්නේ පළාත් පාලන මැතිවරණයට නාමයෝජනා භාර දී ඇති කාලයකය. පළාත් පාලන මැතිවරණය අවසාන වරට පැවැත්වුණේ 2018 වර්ෂයේදීය. ඒ පැවැත්වූයේත් නියම


ආර්ථ්ක නවෝදයකට යා යුතු මග
2025 මාර්තු මස 24 209 0

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව 2024 වසරේදී මෙරට ආර්ථිකය සියයට 5.4කින් වර්ධනය වී තිබේ. එය සුවිශේෂ වන්නේ වසර කිහිපයක් තිස්සේ ආර්ථිකය සං


හොරුන් ඇල්ලීමේ නාටක
2025 මාර්තු මස 21 393 1

අත්අඩංගුවට ගැනීම ම දඬුවමක් වන තැනට අද ලංකාවේ නීති පද්ධතිය පහත වැටී තිබීම අප බරපතළ ලෙස සැලකිල්ලට ගත යුතු කරුණකි. පුද්ගලයකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනා


ආරක්ෂාව නිදහස විවරණයක්
2025 මාර්තු මස 17 150 1

ඉතිහාසයේ ආරම්භයේ සිටම ශිෂ්ටාචාර වේගයෙන් වෙනස්වන තත්වය සහ ප්‍රමුඛතා හරහා සමාජයේ මූලික අවශ්‍යතා දෙකක් වන ආරක්ෂාව සහ නිදහස යන දෙක අතර නිවැරදි සමතුලිතතා


සතුරු දඩයමේ දේශපාලනය
2025 මාර්තු මස 14 1100 4

මේ දිනවල රටේ මතුවෙමින් පවතින දේශපාලනය තේරුම් ගැනීමත් තරමක් අපහසුය. ආණ්ඩුවේ අවධානය යොමු වී තිබෙන්නේ පුදුම සහගත ගැටලුවලටය. අය – වැය පිළිබඳ පාර්ලිමේන්තු


රට යන ගමන නිවැරැදිද?
2025 මාර්තු මස 10 1276 4

වත්මන් ආණ්ඩුව පැති දෙකකින් අසාර්ථක බව මගේ තක්සේරුවයි. එකක් දේශපාලනික පැතිකඩයි. ජරාජීර්ණ වූ දේශපාලන ක්‍රමය වෙනස් කිරීම සඳහා අවශ්‍ය ව්‍යවස්ථානුකූල ප්‍


මේවාටත් කැමතිවනු ඇති

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 246 0
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 812 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 788 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

Our Group Site