IMG-LOGO

2025 අප්‍රේල් මස 30 වන බදාදා


බදු අඩු කළාට ජනතාවට වාසියක් නෑ

එ.ජා.ප. අර්බුද නිමක් නැති ද? පක්ෂ නායකත්ව කතා, සන්ධාන නායකත්වයට පසු බැහැලා ද? කෘත්‍යාධිකාරී මණ්ලඩයෙන් ඉවත් කිරීම්, ඉදිරි මහ මැතිවරණ සූදානම, ආණ්ඩු බලය තිබූ කාලයේ ජනතාව අමතක වුණා ද? යනාදී කරුණු සම්බන්ධයෙන් කුරුණෑගල දිස්ත්‍රික් එ.ජා.ප. පාර්ලිමේන්තු මන්ත්‍රී සහ විපක්ෂයේ නියෝජ්‍ය ප්‍රධාන සංවිධායක ජේ.සී. අලවතුවල මහතා දැක්වූ අදහස් මෙවර සඳුදා හමුවෙන් මෙසේ එළිදක්වමු.

ප්‍රශ්නය:- ජනපතිවරණ පරාජයෙන් පසු එ.ජා.ප.ය. දිගින් දිගටම නායකත්ව අර්බුදයක පැටලී සිටිනවා. විසඳුමක් පේන්න නැති ද?

පිළිතුර:- මැතිවරණ පරාජයකින් පසු පොඩි පොඩි ගැටලු මතුවෙනවා. මේ වනවිට සජිත් ප්‍රේමදාස මහත්මයාට විපක්ෂ නායක ධුරය ලබා දී තිබෙනවා. ඒ වගේම එක්සත් ජාතික පෙරමුණ හැටියට දැවැන්ත පෙරමුණක් ලෙසින් මහ මැතිවරණයට ඉදිරිපත් වෙන්න බලාපොරොත්තු වෙනවා. මේ පෙරමුණේ නායකත්වය සජිත් ප්‍රේමදාස මහත්මයාට ලබාදීමට එ.ජා.ප. නායකයා කටයුතු කර තිබෙනවා. මේ පෙරමුණ හදන්නේ සියලු දෙනා එකතු කරගෙනයි. ඒ අනුව තිබෙන ප්‍රශ්න ඉතා ඉක්මනින් විසඳේවි. මහ මැතිවරණයෙන් ආසන 113ක් ලබා ගැනීමේ අරමුණ කරා යන්න හැකි වේවි කියා මම විශ්වාස කරනවා.

ප්‍රශ්නය:- එ.ජා.ප. අර්බුදයට අද විසඳුම්, හෙට විසඳුම් ආදී වශයෙන් කිව්වත් විසඳුම් ලැබුණේ නැහැ. හරියට බාලගිරි දෝෂය වගේ. එවැනි තැනක ඔබ කියන කතාව ප්‍රායෝගික ද?

පිළිතුර:- ප්‍රශ්න නැහැ කියා මම කියන්නේ නැහැ. ප්‍රශ්න තිබෙනවා. වත්මන් ආණ්ඩුව ජනතාවට පීඩනය ගෙන දෙන ප්‍රශ්න රාශියක් ඇති කර තිබෙනවා. ආණ්ඩුවට මාස දෙක පසු වනවිට ජනතාවට ජීවත් වීමට නොහැකි තරමට ජීවන බර වැඩි වෙලා. රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප් කප්පාදු කරලා. විශ්‍රාමිකයන්ට ජනවාරියේ සිට ලැබෙන්නට තිබූ දේවල් චක්‍රලේඛ මගින් කප්පාදු කර තිබෙනවා. අපි බෙහෙත් මිල අඩු කළා. ඒත් දැන් පැනඩෝල් පෙත්තේ ඉඳන් මිල දෙතුන් ගුණයකින් වැඩි වෙලා. සෑම පැත්තකින්ම ජනතාව පීඩාවට පත්වන වටපිටාවක් ගොඩනගා අවසන්. අපේ පක්ෂයේ ප්‍රශ්න තිබෙන බව ඇත්ත. රටේ මොන තත්ත්වය තිබුණත් අප්‍රේල් මාසයේදී මහ මැතිවරණයට මුහුණ දෙන්න වෙනවා. කාටත් පිළිගත හැකි විසඳුමකට අපි යන්න ඕන.

කෙටි කාලයකදී ශීඝ්‍රයෙන් අප්‍රසාදයට පත්වන රජය බවට වත්මන් රජය පත්ව තිබෙනවා. ඒ නිසා පක්ෂයේ ප්‍රශ්න අඩු වැඩි වශයෙන් විසඳගෙන පත්ව සිටින පීඩනයෙන් ජනතාව මුදාගන්න අපි එකතු වෙන්න ඕන කියන මතයට මන්ත්‍රී බහුතරය පැමිණ සිටිනවා.

ප්‍රශ්නය:- පක්ෂ නායකත්වය බලෙන් හෝ ගැනීමේ සටනකට කොටසක් අවතීර්ණ වී සිටියා. දැන් එය සන්ධාන නායකත්වය දක්වා පසුබැහැලා ද?

පිළිතුර:- පසුබැසීමක් නෙමෙයි. ඕනෑම දෙයක අරමුණක් තිබෙනවා. ඒ අරමුණු සියල්ල ජය ගන්න බැරි වුවත් යම් යම් එකඟතා මත ඉදිරියට යන්න වෙනවා. ඒ කටයුත්ත ජනතාව වෙනුවෙන් අපි කරන්න ඕන. විපක්ෂය එකමුතුව, ශක්තිමත්ව ඉදිරියට ගියේ නැත්නම් ජනතාවට ඇති පීඩනය තව තවත් වැඩි වෙනවා. දැනට සිටින පක්ෂවලට අමතරව තවත් පක්ෂ ගණනාවක් අපේ සන්ධානයට එක්වීමට සූදානම්. එහෙම නැතිව රාජපක්ෂ පවුල් පාලනයට එරෙහිව කටයුතු කරන්න අමාරුයි. ජනාධිපතිවරණයේදී මේ අය පොරොන්දු ගණනාවක් ජනතාවට දුන්නා. ඒ එක පෙරොන්දුවක්වත් ඉටු කරනවා තබා ඒවා ගැන කතා කරන්නවත් කවුරුත් නැති තැනට අද පත්වෙලා. අපේ පාලන කාලයේ අත්‍යවශ්‍ය භාණ්ඩ මිල යම් ස්ථාවර තැනක තබාගෙන සිටියා. පොරොන්දු ඉටු කිරීම කෙසේ වෙතත් පසුගිය නොවැම්බර් 16 දක්වා පැවැති තත්ත්වයෙන්වත් ජනතාව පීඩාවට පත් නොකර ඉදිරියට යන්න කියලයි අපි කියන්නේ.

ප්‍රශ්නය:- එ.ජා.ප. කෘත්‍යාධිකාරී මණ්ඩලය අලුතෙන් පත්කර තිබෙනවා. අජිත් පෙරේරා, ෆොන්සේකා, රෝසි ඇතුළු හතරදෙනකු ඉවත් කරලා. මේ වෙන්නේ මොකක් ද?

පිළිතුර:- ඒ අය ඉවත් කිරීම ගැටලුවක්. ඉදිරියේදී මේවා සාකච්ඡා කර විසඳගන්න ඕන. මේ වෙලාවේ වෙන්න ඕන කවුරුවත් ඉවත් කිරීම නෙමෙයි. ආණ්ඩුවට විරුද්ධව සියලු දෙනාම එකතු කරගැනීමයි. අපි දැන් පහර ගසන්න ඕන ආණ්ඩුවටයි.

ප්‍රශ්නය:- අරවා කරන්න ඕන, මේවා කරන්න ඕන කියා දැන් ඔබලා කියනවා. වසර හතර හමාරක් රට පාලනය කරද්දී ඕවා පෙනුණේ නැති ද? ජනතාව මතක් වුණේ නැති ද?

පිළිතුර:- වසර හතර හමාරකදී විශාල වැඩ කොටසක් අපි ජනතාවට කළා. ඒක නැහැ කියන්න බැහැ. හැබැයි අපි කළ දේවල් මාධ්‍යයෙන් ජනතාව අතරට ගියේ නැහැ. රාජ්‍ය සේවක වැටුප් දෙගුණයක් එහා යන තැනට අපි ගෙනාවා. නිදහසින් පසු වෙනත් කිසිදු ආණ්ඩුවකට මේ වැඬේ කරන්න බැරි වුණා. විශ්‍රාමිකයන්ගේ වැටුප් විෂමතා හැකිතාක් නිවැරැදි කර දුන්නා. විශ්‍රාමිකයන් 580,000කගේ අසමානතා ඉවත් කර පසුගිය දෙසැම්බර් වනවිට සහන සලසා දුන්නා. ජනවාරියේ තවත් කොටසකට විශ්‍රාම වැටුප් වැඩි වීමට තිබුණා. නව චක්‍රලේඛ නිතුක් කර දැන් ඒවා නවත්වලා. අපි කියන්නේ වහාම මේවා ගෙවන්න කියලයි. මේවාට අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කර තිබුණා. පරිපාලන සේවා සහ විධායක ශ්‍රේණි නිලධාරීන්ට අපි අනුමත කර ගෙවීමට කටයුතු කර තිබූ දීමනා වැඩි කිරීමත් මේ ආණ්ඩුවෙන් නවත්වලා. රාජ්‍ය නිලධාරීන් සහාය දුන්නේ වත්මන් ආණ්ඩුවට. ජනවාරි මාසයේ සිටම එහි ප්‍රතිවිපාක විඳීමට රාජ්‍ය සේවකයන්ට සිදු වෙලා.

බලයට ඒමට පෙර මේ අය වැඩියෙන්ම කතා කළේ රණවිරුවන් ගැනයි. අපට තදබල විවේචන එල්ල කළා. රණවිරුවන්ගේ විශ්‍රාම වැටුපෙන් ලැබුණු මුදල්වලින් රුපියල් 15,000 දක්වා පසුගිය මාසයේ පටන් කප්පාදු කරලා. මේ අසාධාරණයට විරුද්ධව නැගී සිටින්න විපක්ෂයක් ලෙස අපි ලෑස්තියි. එදා ලොකු ලූනු මිල ගැන කතා කළා. අද මිල කොහොම ද? රතු ලූනු සොයා ගන්නත් නැති තරම්. සහල් මිල අහස උසට ගිහින්. ප්‍රශ්න රාශියක් මැද්දෙන් අපි මෙවැනි ජීවන බරක් ජනතාව පිට පැටෙව්වේ නැහැ. සහල් මිල වැඩි වුණේ සහල් මාෆියාව නිසා. මේ මාෆියාවේ සියලු දෙනා ආණ්ඩුවට විවිධාකාරයෙන් උදව් කරන අයයි. බදු අඩු කළාට ජනතාවට ලැබුණු වාසියක් නැහැ. ඒවා ලැබුණේු ආණ්ඩුවට උදව් කළ ධනපතීන් කිහිපදෙනකුට ද? මේ ආණ්ඩුවෙන් ජනතාවට වෙච්චි සෙතක් නෑ.

ප්‍රශ්නය:- ඔබ ඔහොම චෝදනා කළාට ආණ්ඩුව පසුගිය කාලයේ ගත් තීන්දු තීරණ ජනතා ප්‍රසාදයට ලක්වුණා. ඒවා ඔබලාට පෙන්නේ නැති ද?

පිළිතුර:- චිත්‍රපටයක් නැරැඹුවාම ටික වෙලාවක් යනතෙක් පොඩි චූන් එකක ඉන්න පුළුවන්. හැබැයි ටික වෙලාවකින් සාමාන්‍ය ජීවිතයට මුහුණ දෙන්න වෙනවා. අපි නැරැඹුවේ චිත්‍රපටයක් කියා එවිට සිතෙනවා. එවැනි සංදර්ශන ටිකක් ආණ්ඩුව පෙන්වමින් සිටිනවා. ජනාධිපතිතුමා රාජ්‍ය ආයතනවලට යනවා. සොයා බලනවා. මේවා නරක නැහැ. හැබැයි එහෙම කළාට ජනතාවගේ සැබෑ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. සැබෑ ප්‍රශ්න අමතක කරන්න විවිධ දේ කරනවා. රන්ජන්ගේ හඬපටවලට මාධ්‍යයේ පුළුල් ප්‍රචාරයක් ලැබෙනවා. මේවා ටික කාලයකට හොඳයි. හැබැයි මේවායෙන් ජනතාවට සැලැසෙන සෙතක් නැහැ. සැබෑ ජනතා ප්‍රශ්න උග්‍රවෙමින් තිබෙනවා. ගම් මට්ටමෙන් කළ සංවර්ධන වැඩවලට මුදල් ගෙවීම පවා පැහැර හරිමින් සිටිනවා. එවැනි බංකොලොත් තත්ත්වයකට ආණ්ඩුව පත්වෙලා. එදා අපි ආණ්ඩුව ගන්නා විට ප්‍රශ්න ගණනාවක් තිබුණත් ජයග්‍රහණ රාශියක් රටට ලබා දුන්නා. ජී.එස්.පී. ප්ලස් ලබා ගැනීම, යුරෝපා මත්ස්‍ය තහනම ඉවත් කරගැනීම, ලක්ෂ පහකට සමෘද්ධිය දීම, මහපොළ ශිෂ්‍යාධාරය 5000ක් කිරීම ඉන් කිහිපයක්. මේවා ගැන ජනතාව දැනුවත් වුණා ද කියන ප්‍රශ්නය තිබෙනවා.

ප්‍රශ්නය:- ඔය මොන දේ කළා කිව්වත් අවසානයට ජනතාවගෙන් ප්‍රතික්ෂේප වුණා නේද?

පිළිතුර:- අපේ අවාසනාවට සිද්ධි කිහිපයක් වුණා. සහරාන්ගේ සිද්ධිය එයින් එකක්. ජනාධිපතිවරණ පරාජය එයට විශාල බලපෑවා. මහ බැංකු බැඳුම්කර සිද්ධිය තවත් එකක්.සියලුම මාධ්‍යවලින් ඉතිහාසයේ වැඩිම ප්‍රචාරයක් ලැබුණෙත් එයටයි. මේ සිද්ධිය ගැන වෝහාරික විගණන වාර්තාව පිට වී තිබෙනවා. මහ බැංකු හොරුන්ට දඬුවම් කිරීම මේ ආණ්ඩුවේ ප්‍රධාන පොරොන්දුවක්. වෝහාරික වාර්තාව එළියට දානවාට විරුද්ධවයි මේ ආණ්ඩුව කටයුතු කළේ. 2005 සිට සිදු වූ පාඩුවත් 2015න් පසු වූ පාඩුවත් මේ වාර්තාවේ සඳහන්. වැඩිම පාඩුව සිදුව තිබෙන්නේ 2015ට පෙර කාලයේ. එය හෙළිවේවි කියන බිය නිසා මේ අය වෝහාරික විගණන වාර්තාව එළිදක්වනවාට විරුද්ධ වුණා. ඒ කොහොම වුවත් මේ පාඩු සිදු කළ සියලු දෙනාට විරුද්ධව අවශ්‍ය කටයුතු කරන්න දැන් ජනාධිපතිට පුළුවන්.

ප්‍රශ්නය:- ඔය වාර්තාව සකස් කළේ බැඳුම්කර වංචාවට හවුල් බවට චෝදනා නැගෙන හිටපු මහ බැංකු අධිපතිට හිතවත් ආයතනයකින් බවට විවේචන තිබෙනවා. එහෙම නම් මේ කර ඇත්තේ හොරාගෙ අම්මාගෙන් පේන ඇහීමක් නේද?

පිළිතුර:- නැහැ. මෙවන් වාර්තාවක් සැකැසීමට විශේෂඥ දැනුමක් අවශ්‍යයි. ලෝකය පිළිගත් ආයතනයක් තමන්ගේ නම සවුත්තු කර ගන්න බොරුවට වාර්තා හදන්නේ නැහැ. මේ වාර්තාව හදලා තිබෙන්නේ ලෝකයේ තිබෙන හොඳම ආයතනයකින්. නොයෙක් දේ කියන්න පුළුවන්. ඔය චෝදනා කරන අය වෙන වාර්තාවක් සකසා සසඳන්න පුළුවන්. එහෙම නැතුව තමන්ට තිබෙන චෝදනාවලින් ගැලවෙන්න විවිධ කතා කීම විහිළුවක්. කටට එන දේවල් නොකියා මේ ආයතනය කොහොම එකක් ද කියා සොයා බලන්න පුළුවන්. අවශ්‍ය වැරැදිකරුවන්ට දඬුවම් කිරීමයි.

ප්‍රශ්නය:- ඔබලා කොතරම් චෝදනා එල්ල කළත් වසර හතර හමාරක් විනාශ කළ රට මාස දෙකකින් වෙනස් කරන්න පුළුවන් ද කියන තර්කය ආණ්ඩුව ඉදිරිපත් කරනවා. ඒ ගැන කියන්නේ මොකක් ද?

පිළිතුර:- ආණ්ඩුව අලුතෙන් මොකුත් කරන්න ඕන නැහැ. දීපු පොරොන්දු ඉටු කරන්න අවශ්‍යත් නැහැ. පසුගිය නොවැම්බර් මාසයට පෙර මේ රටේ යම් තත්ත්වයක් පැවැතුණානේ. අඩු ගණනේ මිනිස්සු කාලා බීලා සිටියනේ. ඒ තත්ත්වයට රට පත්කරන්න. මොකද දැන් තිබෙන තත්ත්වය ඊට වඩා භයානකයි. ජනතාව තව තවත් පීඩාවට පත්කරන්න එපා කියලයි අපි කියන්නේ.

ප්‍රශ්නය:- ජනපතිවරණයෙන් ඇදවැටුණු එ.ජා.ප.ය ඉදිරි මහ මැතිවරණයෙන් 113 ඉක්මවා යන්න කතා කරන අතරේ ආණ්ඩුව තුනෙන් දෙකේ බලයක් ගැන කියනවා. ඔබලාගේ අරමුණ ඉටුවේ ද?

පිළිතුර:- අපි මහ මැතිවරණයට එන්නේ දැවැන්ත සන්ධානයකින්. අපේ පක්ෂය දෙකට තුනට කැඩෙයි කියා බොහෝ දෙනෙක් සිතනවා. ඒක එහෙම වෙන්නේ නැහැ. ඉතාම කෙටි කාලයකින් දැවැන්ත අසාර්ථකත්වයක් පෙන්නුම් කර තිබෙන ආණ්ඩුවට විරුද්ධව ඉදිරි මාස දෙක තුනේදී 113 ඉක්මවා යන මන්ත්‍රී සංඛ්‍යාවක් ලබාගන්න තත්ත්වයට පෙළගැසෙන්න අපේ සන්ධානයට පුළුවන්. මේ ජනාධිපති, ආණ්ඩුව පත්කරගන්න තරුණයන් විශාල පිරිසක් ඡන්දය දුන්නා. ඒ වගේම නිර්පාක්ෂික විශාල පිරිසකුත් සිටියා. මේ සියලු දෙනාගේ බලාපොරොත්තු අද කඩාවැටිලා. අලුත් බලාපොරොත්තු ඇතිව ආණ්ඩුව පිහිටෙව්වත් දැන් තිබෙන්නේ 2015ට පෙර තිබූ පාලනයමයි. රාජ්‍ය ආයතන, අමාත්‍යාංශවලින් සියයට හැටක් පාලනය කරන්නේ රාජපක්ෂ පවුලෙන්. ඉදිරියට තවත් මේවා තවත් වැඩි වේවි. චෝදනා ගණනාවක් එල්ල වී ඇති අය ප්‍රධාන ස්ථානවල ඇමැතිකම් කරනවා. ජනාධිපතිවරණයේදී ඡන්දය දුන් තරුණ සහ නිර්පාක්ෂික කොටස් ඉදිරි මහ මැතිවරණයේදී දිනා ගන්න රාජපක්ෂ කඳුවරට ලේසි වෙන්නේ නැහැ. මේ සියලු දෙනා ආකර්මණ්‍ය වන ආකාරයට ඉදිරි මහ මැතිවරණයේදී 113 ඉක්මවා යන ගමන සාර්ථක කරගන්න අපි ලෑස්තියි.

ප්‍රශ්නය:- තරුණ පරපුර ආණ්ඩුවෙන් ඈත් වී ඇති බව ඔබ කිව්වත් රැකියා විරහිත උපාධීධාරීන් පනස්දහසකට සහ අඩු ආදායම්ලාභීන් ලක්ෂයකට රැකියා දීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටිනවා. ඒ නිසා ඔබලා කියන තරම් වැඬේ ලේසි වෙයි ද?

පිළිතුර:- රැකියා දෙන්න උපාධිධාරීන් පනස්දහසක් නැහැ. මොකද අපි 2015 දී ඒ දක්වා සිටි සියලු උපාධිධාරීන්ට රැකියා දුන්නා. ඒ සංඛ්‍යාව 25,000ක්. 2016 දක්වා අභ්‍යන්තර උපාධිධාරී රැකියා දුන්නා. ඒ අනුව බැලුවාම වැඩිම වුණොත් උපාධිධාරීන් 30,000ක් පමණ රැකියා පෝලිමේ ඇති. ඒ අයට රැකියා දෙනවා නම් අපිත් සතුටුයි. අඩු සුදුසුකම් ඇති ලක්‍ෂයකටත් රැකියා දෙන බව කිව්වත් ඕවා දෙන්නේ කවද්ද? දැනට රැකියා කරන අයගේ වැටුප් ගෙවාගන්න බැරි නම්, මේ අයගේ වැටුප් වැඩිවීම් නවත්වා තිබෙනවා නම් අලුතෙන් අය අරගෙන වැටුප් ගෙවන්නේ කොහොම ද? මෙහෙම ඡන්ද ගුණ්ඩු දී ජනතාව රවටන්නේ ඇයි? විශ්‍රාමිකයන්ට ජනවාරි සිට දීමට තිබූ වැටුප් වැඩිවීම් චක්‍රලේඛ මගින් නවත්වන්නේ ඇයි? රැකියා ලබාදීමට අපි විරුද්ධ නැහැ. හැබැයි ඊට කලින් දැන් සිටින අයගේ වැටුප් වැඩිවීම් ලබාදෙන්න.

ප්‍රශ්නය:- 19 වැනි සංශෝධනය අහෝසි කිරීමට ආණ්ඩුව සූදානම් වෙනවා. මේ සංශෝධනය සැකැසූ අය වගේම හිටපු ජනපතිත් එය දැඩිව විවේචනය කරනවා. එ.ජා.ප. ස්ථාවරය කුමක් ද?

පිළිතුර:- 19 වැනි සංශෝධනයේ ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ ගණනාවක් තිබෙනවා. හැබැයි එය අංගසම්පූර්ණයි කියා මම විශ්වාස කරන්නේ නැහැ. සංශෝධනය විය යුතු තැන් තිබෙනවා. අධිකරණය ස්වාධීනව කටයුතු කළ ආකාරය අපි දැක්කා. විධායක ජනපතිටවත් ව්‍යවස්ථාව උල්ලංඝනය කර වැඩ කරන්න බැහැ කියන කාරණය ඔප්පු කළේ අධිකරණයේ ස්වාධීනත්වය නිසයි. 18 වැනි සංශෝධනය තිබූ කාලයේ අගවිනිසුරු ඉවත් කළ හැටි අපි දැක්කා. ව්‍යවස්ථාදායකයට අධිකරණයට ඇඟිලි ගසන්න විධාකයටවත් බැරි බව ඔක්තෝබර් 26 වැනිදා පෙන්නුම් කළා. ඒ 19 තිබූ නිසයි. රටට අවශ්‍ය එයයි. මේවා නැති තැන ඒකාධිපතිත්වයක් නිර්මාණය වෙනවා. ජනතාවගේ අයිතීන් සුරැකෙන්න 19න් සැකසූ පරිසරය අවශ්‍යයි. වැරැදි තිබේ නම් ඒවා හදා ගැනීම කාගේත් වගකීමක්. එවන් තැනක අපි ඉන්නවා. එසේ නැතිව 19 පසුපසට ගෙන යන තැනකට, නැවත ඒකාධිපතිත්වයක් ගොඩනැගෙන තැනකට මේ රට ගෙන යන්න අපි සූදානම් නැහැ.

සාකච්ඡා කළේ චමින්ද මුණසිංහ



අදහස් (2)

බදු අඩු කළාට ජනතාවට වාසියක් නෑ

Kumar Monday, 03 February 2020 04:39 PM

ලංකාවේ නව රජය පත්කළේ බඩුමිල අඩු කරන්න නොවේ.., ත්‍රස්තවාදීන්ගෙන් ආරක්ෂා වෙන්නයි. අාහාර වලට දමා තිබෙනවට අඩුකරලා නැතිවග දන්නේ නැද්ද?

:       2       28

Lahiruchandra1993 Sunday, 01 August 2021 01:11 PM

පක්ශෙ ගැන තමයි කතා කරන්න ඕනි. විපක්ශෙ මොන දෙයක් කතා කරන්නද. රටට ආදරේ කරන පුරවැසියෙක් විදිහට කියන්නෙ. රට සංවර්දනය කොරන්ඩ බැරිනම් රට නොකා ඉන්න. මිනිස්සුන්වත් කනව රටත් කනව. මේ ඇටේ දැන් මුතු ඇටයක් නෙවෙයි. මංකොල්ල කාරයොන්ගෙ අඩවියක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

කොලම

අධිකරණයට අපහාස: නීතිය - නව පනත විමර්ශනයක්
2025 අප්‍රේල් මස 29 94 0

ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් පවත්වාගෙන යාම සඳහා ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය යන ආයතන තුන පැවතිය යුතු අතර ඒවායේ බලතල ස්වාධීනව පවත්වාගෙන යාම


ඉහළින් ගිලිහුණු උළෙල
2025 අප්‍රේල් මස 25 964 5

මෙවර අලු‍ත් අවුරුදු උළෙල විශේෂයක් ගත්තේ ය. ඒ අන් කවරදාකවත් නොදුටු පරිදි රාජ්‍ය සහ මෙරට මහා සංස්කෘතික මංගල්‍ය අතර සම්බන්ධය ගිලිහී යාම ය. මෑත ඉතිහාසයේ සෑ


නව ලොවට නව සංවර්ධන ආකෘතියක්
2025 අප්‍රේල් මස 21 233 0

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සියලු‍ රටවලට අප්‍රේල් 05 වැනි දා සිට බලපාන ලෙස ඔවුන්ගේ ආනයන තීරු බදු සියයට 10 දක්වා ඉහළ දැමීමේ නිල විධානයකට මෙම අප්‍රේල් 02 වන දි


භාරත ආසියා මොඩලය
2025 අප්‍රේල් මස 18 251 0

සිංහල හා හින්දු අලුත් අවුරුදු උණුසුම තවමත් පහව ගොස් නැත. කුමන ආර්ථික ගැටලුකාරිත්වයක් තිබුණත් අපේ රටේ ජනතාව අලුත් අවුරුද්දට සූදානම් වූයේ ඒ සියලු අගහිඟ


ට්‍රම්ප් අභියෝගය ට්‍රම්ප්ටම
2025 අප්‍රේල් මස 07 1978 2

2025 අප්‍රේල් 2 වැනිදා, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, රටවල් 90කින් පමණ එක්සත් ජනපදයට ආනයනය කරන සියලු‍ම භාණ්ඩ සඳහා සියයට 10ක මූලික තීරුබදු ඇතුළුව ආන


පොරොන්දුවල අතරමං වූ ආණ්ඩුව
2025 අප්‍රේල් මස 04 953 5

ජනාධිපතිවරයා පළාත් පාලන ඡන්දය ඉලක්කගත කර සිදුකරන ලද කතා කීපයක් අසා සිටි මෙම ලියුම්කරුට හැඟී ගියේ ඔහුගේ හඬ ජවය දැන් දැන් දුර්වල වී ඇති බවයි. එහි විශ්වාස


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 172 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 47 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1078 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site