IMG-LOGO

2025 අප්‍රේල් මස 30 වන බදාදා


බදු සහන දීලා දිරවාගන්න බැරිවේවි

බැඳුම්කර වෝහාරික විගණන වාර්තාව, 19 වැනි සංශෝධනයේ අනාගතය, විධායක ජනාධිපතිධුර සාකච්ඡාව, බදු කප්පාදුව, ජනපතිගේ නව ආදර්ශ, මැතිවරණ කොමිසමේ අවුල, සිංහල බෞද්ධ බලවේගය හා මහමැතිවරණයට ජ.වි.පෙ. සූදානම ගැන මෙවර සඳුදා හමුවෙන් අදහස් දක්වන්නේ කෝප් කමිටුවේ හිටපු සභාපති ජ..වි.පෙ. පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතායි.

ප්‍රශ්නය:- බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් වෝහාරික විගණන වාර්තාව කෝප් කමිටුවෙන් විවෘත කිරීමට පැය කීපයක් තිබියදී පාර්ලිමේන්තුව වාරාවසාන කළේ යැයි යම් චෝදනාවක් ආණ්ඩුවට එල්ල වී තිබෙනවා. නව ජනාධිපතිවරයකු පත්වීමෙන් පසුව පාර්ලිමේන්තුව වාරාවසාන කිරීම අනපේක්ෂිත තත්ත්වයක් ද?

පිළිතුර:- මහ බැංකු බැඳුම්කරයේ වෝහාරික විගණන වාර්තාව අපට ලැබුණේ නොවැම්බර් 27 වැනිදා. මගේ වගකීම වුණේ පාර්ලිමේන්තුව කැඳවන පළමු වැනි දිනයේදීම එය ඉදිරිපත් කිරීමයි. ලංකා ඉතිහාසයේ විශාලතම මූල්‍ය කොල්ලය වූ බැඳුම්කර වංචාවට සම්බන්ධවූවන්ට දඬුවම් දීම මේ ආණ්ඩුව බලයට පත්වීමේදී ප්‍රධාන සටන් පාඨයකුත් වුණා. මේ වෝහාරික විගණන වාර්තාවේ ඊට අදාළ සාක්ෂි විශාල සංඛ්‍යාවක් අදාළ බව විශ්වාස කරනවා. මේවා අධිකරණ කටයුතුවලට යොදාගත හැකි නිසා කෝප් කමිටු සාමාජිකයන් පමණක් පරිහරණය කර රහස්‍ය ලේඛන හැටියට තබාගන්නැයි නීතිපතිතුමාගේ නිර්දේශයක් තිබුණා. කාරක සභාවට ඉක්මනින්ම එය යොමුකිරීමට මම කටයුතු කළේ ඒ නිසයි. එහෙත් වාරාවසාන කිරීමේ දිනය යෙදී තිබුණෙත් එදාටමයි. මේ දෙක අතරේ අන්තර්සම්බන්ධයක් තිබෙනවාදැයි මම දන්නේ නෑ. වාරාවසාන කිරීම දිනයකින් හෝ කල් ගියා නම් අපට මේ වාර්තාවල තිබෙන්නේ මොනවද කියලා බලලා ඒකට ඊළඟට ගත යුතු පියවර සම්බන්ධයෙන් තීරණයක් ගත හැකිව තිබුණා. සරලව ගත්තාම උදේ දහයට අපි රැස්වෙලා දවල් දොළහෙන් පසුව වාරාවසාන කළත් ඇති. දැන් අලුත් කෝප් කමිටුවක් පත්කරලා එය බැලිය යුතුයි. දැන් මේ වාර්තා විවෘත කිරීමට කෝප් කමිටු සාමාජිකයන් කියලා කට්ටියක් නෑ.

ප්‍රශ්නය:- එහෙම නම් නව කෝප් කමිටුවට මෙම වාර්තා පිරික්සා ඊළඟ පියවර ගතහැකියි නේද?

පිළිතුර:- කෝප් කමිටු ලේඛනාගාරයේ මෙම ලියවිලි ආරක්ෂිතව තිබෙනවා. එනිසා පැහැදිලිවම නව කෝප් කමිටුවට එය පිරික්සා බැලිය හැකියි. එහෙත් නව කාරක සභාවක් පත්කරලා ඔවුන් මෙය විමර්ශනයට යන කාලයේදී බොහෝවිට වියහැක්කේ පාර්ලිමේන්තුව විසුරුවාහැරීමයි. මොකද මාර්තු දෙවැනිදා වනවිට පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ හැකියාවක් ජනාධිපතිවරයාට ව්‍යවස්ථානුකූලව ලැබෙනවා.   

ප්‍රශ්නය:- ඒ කියන්නේ මීට විකල්පයක් නැහැ කියන එකද?

පිළිතුර:- එක විකල්පයක් තිබෙනවා. මෙම වාර්තා කෝප් කමිටුවට වගේම විෂය භාර ඇමැති හැටියට මුදල් ඇමැතිවරයාට මෙම වාර්තා ලබාගෙන අවශ්‍ය පියවර ගත හැකියි. මුදල් ඇමැති හැටියට අගමැති මහින්ද රාජපක්ෂ මහතාට මේ ලේඛන ලබාගැනීමට සම්පූර්ණ බලය තිබෙනවා. ඊට අමතරව මෙම නිර්දේශ ක්‍රියාත්මක කිරීමට විශාල ජනවරමකුත් තිබෙනවා. එනිසා කෝප් කමිටුවේ හිටපු සභාපති හැටියට මගේ ඉල්ලීම වන්නේ නැවත පාර්ලිමේන්තුව රැස්වන තුරු නොසිට මුදල් ඇමැතිවරයා හැටියට අවශ්‍ය පියවර ගන්න කියලයි. මොකද රනිල් වික්‍රමසිංහ ගජමිතුරන් ආරක්ෂා කරනවා කියලා චෝදනාවක් තිබුණා. දැන් බැඳුම්කරයට රනිල් වික්‍රමසිංහගේ සම්බන්ධය හෙළිකරලා අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරුවෙන් ගෙන්වලා කඩිනමින් නීතිය ක්‍රියාවේ යොදන්න ඔවුන්ට පුළුවන්. බැඳුම්කරයට සම්බන්ධ අයට තරාතිරම නොබලා දඬුවම් කරන්න දැන් බාධාවක් නෑ. දැන් කෝඳුරු තෙල් හත්පට්ටයක් හොයන්න ඕනෑ නෑ.

ප්‍රශ්නය:- අපරාධ පරීක්ෂණවලදී සිදුවීම්වලට සම්බන්ධ නැති පුද්ගලයන් වරදේ පටලවන හා ඊට ආධාර දෙන අයගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමේ අරමුණෙන් ජනාධිපති කොමිසමක් පත්කිරීමේ සූදානම ගැන මාධ්‍ය වාර්තා පළ වුණා. අපරාධ පරීක්ෂණ ගැන විශාල දේශපාලන සාකච්ඡාවක් ඇති රටක එවැනි පියවරකට ගියහොත් කවර බලපෑමක් වේවිද?

පිළිතුර:- මොන කාරණාවක් අරභයා මෙවැනි සූදානමක් තිබෙනවාදැයි අපට පැහැදිලි නෑ. ඒත් බැලූ බැල්මටම පෙනෙන්නේ පැමිණිලිකාරයා විත්තිකාරයා වෙන තත්ත්වයක් වුණත් නිර්මාණය වෙන්න පුළුවන්. උදාහරණයකට බැඳුම්කර ගනුදෙනුව ගැන කෝප් කමිටුවේ හෙළිදරව් පැත්තකට ගිහින් ඒවා හෙළිදරව් කළ අපිව වුණත් වැරැදිකාරයෝ වෙන්න පුළුවන්. සමහර විට නිරපරාදේ අනෙක් අයට අපරාධ චෝදනා කළ අය බවට අපිව පත්වෙන්න වුණත් පුළුවන්. ගොරක දඩ මස් වෙලා දඩ මස් ගොරකා වෙන වැඩක් වෙන්නත් පුළුවන්.

ප්‍රශ්නය:- තුනෙන් දෙකක පාර්ලිමේන්තු බලයක් ලැබුණොත් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය වෙනස් කරන බව ජනාධිපතිවරයා ‘ද හින්දු’ පුවත්පතට ප්‍රකාශයක් කර තිබුණා. 19 සංශෝධනයකට යන්නට ජනතා විමුක්ති පෙරමුණ ඉඩ දෙනවද?

පිළිතුර:- 19 යටතේ ජනාධිපති හා අගමැති පක්ෂ දෙකක දෙන්නෙක් වුණාම ස්වාභාවිකවම ගැටලුවක් මතුවුණා. රනිල් වික්‍රමසිංහ හා මෛත්‍රීපාල සිරිසේන මහත්වරුන්ගේ බල තුලනය බිඳ වැටුණාම අපි ඒක දැක්කා. හැබැයි දැන් එහෙම විය යුතු නෑ. මොකද ජනාධිපතියි අගමැතියි දෙන්නාම දැන් එකම පැත්තෙ. ඊට අමතරව මල්ලියි අයියයි. මහින්ද රාජපක්ෂ මහතාට තිබුණු පිළිගැනීමෙන් ගෝඨාභය මහතාට ජනවරමක් ලැබුණා. ගෝඨාභය මහතාගේ ජනවරමෙන් මහින්ද මහතාට පිළිගැනීමක් ලැබුණා. දැන් බාධාවක් තිබෙනවා නම් ඒ ගෝඨාභය මහත්තයට මහින්ද මහත්තයා නිසා වැඩ කරගෙන යන්න බැරිවීමක් විය යුතුයි. ඕනෑ නම් ගෙදරදි කතා කරගන්නම පුළුවන්. ඒ මදි නම් කැබිනට් එකේදි කතා කරගන්න පුළුවන්. ඒත් බැරි නම් පාර්ලිමේන්තුවෙදිත් පුළුවන්. දැන් තමයි හොඳටම වැඩකරන්න පුළුවන්. දැනුත් බැරි නම් එකම සාධකය මහින්ද රාජපක්ෂ. ඔය ආණ්ඩුව ඇතුළෙ මහින්ද රාජපක්ෂ මහත්තයටත් ගෝඨාභය මහත්තයා හැර වෙන බාධාවක් තියෙන්නත් බෑ.

ප්‍රශ්නය:- 20 වැනි සංශෝධනයක් ඉදිරිපත් කළ පක්ෂයක් හැටියට 19 යේ එවැනි සංශෝධනයකට සූදානමක් ආවොත් ජ.වි.පෙ. බර තියන්නේ කොහාටද? විධායක ජනාධිපති ධුරය අහෝසි කරන පාර්ලිමේන්තු ආණ්ඩුවකටද?

පිළිතුර:- දැන් නම් විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමේ සාකච්ඡාව යළි එනවා යැයි හිතන්නත් අමාරුයි. ඊට අවශ්‍ය කරන වාස්තවික දේශපාලන වටපිටාවක් නෑ කියලයි මට හිතෙන්නේ. එහෙම අවස්ථාවක් තිබුණා. මහින්ද මහතාට තරග කරන්න නීත්‍යනුකූල බලයක් නෑ. මෛත්‍රීපාල මහත්තයට තනියෙන් බෑ. රනිල් මහත්තයට දිනන්න බෑ. ඒ නිසා ඒ තුන් දෙනාටම අපේක්ෂකයන් විය නොහැකි නමුත් බලය පිළිබඳ අපේක්ෂා අත්හරින්නත් බැරි තත්ත්වයක් තිබුණා. විධායක ජනාධිපතිධුරයේ හානිකර බව කියලා ඒ අවස්ථාව පාවිච්චි කරලා ඊට ඇණ ගහලම අවසන් කරන්නයි අපි හැදුවේ. ඒ යථාර්ථය දැන් ඉක්ම ගිහින්. සහරාන්ලගෙ ප්‍රහාරය විසින් ඒ තත්ත්වය වෙනස් කළා. දැන් කවුරු හරි විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීම තමයි සුදුසුම කියලා කියනවා නම් ඒක මොළේ අමාරුව සහිත ප්‍රකාශයක් බවටයි පත්වෙන්නේ.

ප්‍රශ්නය:- බදු වර්ග රැසක් කප්පාදු කිරීමට ජනාධිපතිවරයා ගත් රැඩිකල් තීන්දුවෙන් හිර වී තිබූ ආර්ථිකයට තල්ලුවක් ලැබී ඇතැයි ආර්ථික විද්‍යාඥයන්ම කියනවා. මේ ගැන ඔබේ අදහස මොකද්ද?

පිළිතුර:- ආර්ථිකයේ තිබෙන අර්බුදයත් සමග මැජික් පෙන්වන්න බෑ. ආණ්ඩුව ජනතාවට මැජික් ගැන බලාපොරොත්තු දුන්නොත් පෙරළා එය පාරාවළල්ලක් වෙන්නෙත් ආණ්ඩුවටමයි. ආණ්ඩුවට පුළුවන් නම් බදු අඩුකරන්න, ණය නොගෙන ණය වාරික හා පොලී ගෙවන්නත් ආණ්ඩුවට පුළුවන් වෙන්න ඕනෑ. මොකද ඊළඟට එන්නේ බදු අඩුකරන්න පුළුවන් ආණ්ඩුවක් ණය ගන්නේ මොකටද කියන ප්‍රශ්නයයි. එනිසා ආර්ථිකය මේ මොහොතේ කළමනාකරණය කළයුත්තේ සිහිබුද්ධියෙන් විනා මනස්කාන්ත සිහිනවලින් නෙවෙයි. ඉන්ටවල් එකේ අපායට ගිය මිනිහට අයිස් ක්‍රීම් එකක් දුන්නාම හිතෙන්නේ කලින් ආවෙ නැත්තෙ ඇයි කියලනෙ. මේ මැතිවරණ සමය කියන්නෙත් අපායෙ ඉන්ටවල් වගේ. දඬුවම් නෑ. මේ බදු සහනත් එහෙමයි. ඕවා නැවත ගෙවන්න වෙන්නේ දිරවගන්න බැරි විදියට. මේ රජයේ ආර්ථික සැලැස්ම වැදගත්. ජනවරම ලැබුණු ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව තිබෙන යෝජනා මාලාව. මම හිතන්නේ ජනතාව ඒක අමාරුයි කියලා අහකදාන එකක් නෑ. ජනතාව ඒකට මුහුණ දෙන්න ඕනෑ. මොකද ඒක ජනතාව ඡන්දය දීලා අනුමත කරපු දෙයක්.

ප්‍රශ්නය:- කාර්ය මණ්ඩල, නිල රථ, ආරක්ෂකයන් සංඛ්‍යාත්මකව කප්පාදු කරමින් මුදල් නාස්තිය වලක්වා ගැනීමට ජනාධිපතිවරයා පුද්ගලයකු හැටියට යම් කැපකිරීමක් කළා. ජනාධිපතිවරයාගේ නව ආදර්ශයට ජනතාවගෙන් යම් ඇගයීමකුත් ලැබී තිබෙනවා. මේ අලුත් තත්ත්වය ඔබ දකින්නේ කොහොමද?

පිළිතුර:- ඡායාරූප වෙනුවට රාජ්‍ය ලාංඡනය යොදන්නැයි උපදෙස් දීම, වීදි අලංකරණය, පරිසරය පිරිසිදු කිරීම, විදේශ සංචාරවලට තමන්ගෙ පිරිවරට වෙනම ගුවන් යානා වෙන්කිරීමේ සංස්කෘතිය වෙනස් කිරීම ආදිය ඇත්තටම හොඳයි. වැදගත් වෙන්නේ ඒවා අඛණ්ඩවම ක්‍රියාවට නැගීම සහ ආණ්ඩුවේ අනෙක් අයත් ඒවා ඒ විදියටම අනුගමනය කිරීමයි. උදාහරණයකට ජනාධිපතිතුමා තමන්ට වාහන දෙකක් ඇතියි කියනකොට අගමැතිතුමයි අනෙක් ඇමැතිවරුයිත් ඒකම කියනවද? නැත්තන් ඒක පරස්පරයක්. ජනාධිපතිතුමාගෙ අභිලාශය ඇමැති මණ්ඩලය පහළොවක් තියාගෙන යෑම. ඒත් සමහරුන්ට රෑ එළිවෙනකනුත් නියෝජ්‍ය ඇමැතිකමේ ඉන්න අමාරුයි. රෑට නියෝජ්‍ය ඇමැති. උදේට රාජ්‍ය ඇමැති. ජනාධිපතිතුමා සාටකේ නොදා පෙන්වන්න හදන්නේ තමා පවුල් පාලනේ දිගුවක් නෙවෙයි කියලයි. හැබැයි එතකොට චමල් රාජපක්ෂ කැබිනට් ඇමැතිකමත් අරගෙන රාජ්‍ය ඇමැතිකමත් ගන්නවා. විෂයන් බෙදාගනිද්දි කැබිනට්ටුවෙන් බාගයක්ම නැවතත් පවුලටමයි බෙදාගෙන තිබෙන්නේ. විද්‍යාත්මක කියන ඇමැති මණ්ඩලේ විදුලිබලයි බලශක්තියි එකට තියන්න බැරි තරමට අවිද්‍යාත්මක වෙද්දී ජනාධිපතිතුමා සාටකේ බෙල්ලෙ දානොගැනීම පමණක් ප්‍රමාණවත් වෙන්නේ නෑ. මාස තුනකට ඉවසන්න බැරි මිනිස්සු මහමැතිවරණෙන් පස්සෙ කොහොම වේවිද කියලා මිනිස්සු හිතන එක අසාධාරණ නෑනේ. මේ රටේ මිනිස්සු ජාතික ආරක්ෂාව හා විනයගරුක පාලනයක් ගැන හිතලයි ගෝඨාභය මහත්තයට මේ බලය දුන්නේ. ඒ බලයේ ඇති ජන මතය හරියට අවබෝධ කර නොගත්තොත් ඉතිහාසයේ හැම පාලකයකුටම වුණා වගේ ඛේදජනක ඉරණමකට මේ පාලකයනුත් ජනතාව විසින්ම තල්ලු කරාවි.

ප්‍රශ්නය:- බහුතර සිංහල බෞද්ධ ඡන්දවලින් මෙවර ජනවරම නිර්මාණය වූ බව කියද්දී එ.ජා.පය පවා බෞද්ධ පදනම ගැන නැවත සොයන්න පටන්ගෙන තිබෙනවා. ජ.වි.පෙ මේ ගැන කොච්චර විමසිලිමත් ද?

පිළිතුර:- මේක සිංහල බෞද්ධ බලවේග විසින් නිර්මාණය කළ ජනමතයක්. ඒක නෑ කියන්න බෑ. ඒක තමයි ඇත්ත. භික්ෂූන් වහන්සේලා ඊට දැවැන්ත කාර්යභාරයක් කළා. හැබැයි ජනාධිපතිවරණයෙන් පස්සේ ජනාධිපතිවරයාගේ වගකීම වන්නේ මුළු රටේම ජනතාවගේ ජනාධිපතිවරයා වීමයි. මම ඡන්දෙ නුදුන්නට එතුමා දැන් මගෙත් ජනාධිපති. යුද්ධය අවසන් කළාට පස්සෙ මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුව අමතා කිව්වේ දැන් සුළු ජාතික කියලා කට්ටියක් නෑ කියලයි. භාවිතේ එහෙම නොවුණට ඒක හරිම රාජ්‍යතාන්ත්‍රිකයි. ඒත් දිවුරුම් දෙමින් ගෝඨාභය මහතා කළ ප්‍රකාශය රාජ්‍යතාන්ත්‍රික නෑ. ඒක තේරුම්ගිය නිසාද මංදා වෙනත් අවස්ථාවක මේක සිංහල බෞද්ධයන්ගේම රට යැයි කියන්න බෑ කියලා වෙනත් අවස්ථාවක කිව්වා. ඕක අපේ කටින් කියවුණා නම් බරපතළ ප්‍රකාශයක් වුණත් ජනාධිපතිතුමාගේ කටින් කියවුණ නිසා බරපතළ එකක් වුණේ නෑ.    

ප්‍රශ්නය:- මේ සිංහල බෞද්ධ ප්‍රබෝධය සමග වමේ පක්ෂයක් වූ ජ.වි.පෙ. මහමැතිවරණයට මුහුණ දෙන්නේ කොහොමද? ජනපතිවරණ පසුබෑම සමග පාර්ලිමේන්තු නියෝජනයක් ලබාගැනීම තවත් දුෂ්කර නොවේවිද?

පිළිතුර:- ජනාධිපතිවරණයෙදි ගෝඨාභය ඒම නොඒම අතර සටනක් නිර්මාණය වුණත් පාර්ලිමේන්තු මැතිවරණයකදි පත්කරගන්නේ එක් පුද්ගලයෙක් පමණක් නෙවෙයිනෙ. විශේෂයෙන්ම මිරිස් කුඩු ගහගන්න පිහිවලින් ඇනගන්න කුණුහරුප කියාගන්න ජනතාවට එපා වූ පාර්ලිමේන්තුවක්නෙ පහුගිය කාලෙ තිබුණේ. තමන් යවපු නියෝජිතයන්ගේම අධ්‍යාපන සුදුසුකම් මුදල් උපැයීම් ගැන ප්‍රශ්න කළේ ජනතාවමනේ. ජනතාව දෙසීය විසිපහම එපා කිව්වෙ ඒ පාර්ලිමේන්තුව දිහා බලලයි. ඉතින් අපි කියන්නේ තමන්ගෙ හඬ ඉදිරිපත් කරන්න, ප්‍රශ්න ඉදිරිපත් කරන්න, ඇත්ත කතා කරන්න, වංචනිකයන් හෙළිදරව් කරන්න, නාස්තිය නතර කරන්න ජනතාවට අවශ්‍ය නම් ප්‍රබල විපක්ෂයක් නිර්මාණය කරන්න. ඒ ප්‍රබල විපක්ෂයේ භූමිකාවට මේ රටේ ජනතාව ඊළඟ මහමැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය තෝරන්නේ නෑ කියලයි අපි හිතන්නේ. මොකද එ.ජා.පය ඒක ඔප්පු කරලා පෙන්නුවා. ඉතින් ප්‍රබල විපක්ෂයක් වෙනුවෙන් ජනතාව පාර්ලිමේන්තුව ඇතුලේ ජ.වි.පෙට ශක්තියක් දේවි යැයි අපි හිතනවා. ජ.වි.පෙට ජනාධිපතිවරණයෙදි ඡන්ද අඩු වූ නිසා පාර්ලිමේන්තුවෙනුත් මේ හය දෙනාම එලවලා දාමු කියලා දැන් මතයක් හදනවනෙ. ඒකෙන් ජනතාවට ලැබෙන වාසිය මොකද්ද? අපි හය දෙනා පාර්ලිමේන්තුවෙන් එලෙව්වාම ජනතාවගෙ ණය බර බදු බර අඩු වෙනවා නම් බඩු මිල අඩු වෙනවා නම් රට සුඛිතමුදිත වී ජනතා ප්‍රශ්න විසඳෙනවා නම් මම කියන්නේ කිසි ප්‍රශ්නයක් නෑ. අපිව තියාගන්න ඕන නෑ.

සංවාද සටහන - බිඟුන් මේනක ගමගේ



අදහස් (6)

බදු සහන දීලා දිරවාගන්න බැරිවේවි

සෙනෙවිරත්න Monday, 09 December 2019 04:28 PM

දැන් මේ කතාවට ප්‍රතිචාර ලෙස 3%, ජාතික ලැයිස්තුවේ මන්ත්‍රී, ලපයා, පුංචි අම්මා, ඊළඟ පාර්ලිමේන්තුවේදී එක්කෙනෙක්වත් එන්නේ නැහැ. රතු අලි පැටව් වගේ බුද්ධිමත් අදහස් ප්‍රකාශ කරමු. මෙතැනදී ජවිපයට කියන්න තියෙන්නේ මා මැරුවත් පොළව සූර්යයා වටේ කරකැවෙනවා කියලා කියපු කතාව..

:       270       337

Warnakulasuriya Tuesday, 10 December 2019 01:17 AM

සෙනෙවිරත්න මහතා, මෙතන කතා කරන්නේ වර්තමාන දේශපාලන තත්ත්වයයි. පුංචි අම්මා කෙනෙක් එයට අදාළ කර ගැනීම මඟින් ඔබේ දේශපාලන දැනීම කාටත් අවබෝධ වෙනවා. දැනට පාර්ලිමේන්තුවේ සිටින හොඳම මන්ත්‍රීවරු කිහිපදෙනා ජනතා විමුක්ති පෙරමුණේ අය බව ඔබ නොදන්නේද? ඔවුන්ට බලයක් නොලැබීම ඔවුන්ගේ ගැටළුවක් නොවන අතර එය ඔබ වැනි පුරවැසියන්ගේ වහල් මානසික තත්ත්වය මත පවතින්නකි.

:       810       651

කුමාරWednesday, 11 December 2019 04:58 AM

පීඩනයට පත්වෙලා ඉන්න ජනතාවට බදු බර වැඩි කරන්න කියල කියන්න ජවිපෙට ලැජ්ජාවක් නැද්ද? හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා ජනතාවගෙ ඡන්දෙන් ප්‍රතික්ෂේපවූ කෙනෙක් බව අමතකද ? විජේවීරයන් තැනූ පක්ෂයේ අරමුණුවලට පයින් ගසා මාක්ස්වාදය බැහැර කර ධනවාදී මාවතේ ගමන් කරමින් ජාවාරම් කප්පම් සහ ඩීල් මගින් කළු සල්ලි උපයමින් හොඳම මන්ත්‍රීවරුන් වන්නේ කෙසේද ?

:       261       315

rohana Tuesday, 10 December 2019 03:07 AM

ඔයාලත් බදු ගහන්න කියන ප්‍රතිපත්තිය...

:       38       36

ananada Tuesday, 10 December 2019 03:05 PM

හොඳම මන්ත්‍රීන් හය දෙනා? සමහරුන්ට පේන හැටි

:       123       103

jayantha Tuesday, 17 December 2019 10:54 PM

දේශපාලන කුහකයො

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

කොලම

අධිකරණයට අපහාස: නීතිය - නව පනත විමර්ශනයක්
2025 අප්‍රේල් මස 29 71 0

ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් පවත්වාගෙන යාම සඳහා ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය යන ආයතන තුන පැවතිය යුතු අතර ඒවායේ බලතල ස්වාධීනව පවත්වාගෙන යාම


ඉහළින් ගිලිහුණු උළෙල
2025 අප්‍රේල් මස 25 947 5

මෙවර අලු‍ත් අවුරුදු උළෙල විශේෂයක් ගත්තේ ය. ඒ අන් කවරදාකවත් නොදුටු පරිදි රාජ්‍ය සහ මෙරට මහා සංස්කෘතික මංගල්‍ය අතර සම්බන්ධය ගිලිහී යාම ය. මෑත ඉතිහාසයේ සෑ


නව ලොවට නව සංවර්ධන ආකෘතියක්
2025 අප්‍රේල් මස 21 233 0

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සියලු‍ රටවලට අප්‍රේල් 05 වැනි දා සිට බලපාන ලෙස ඔවුන්ගේ ආනයන තීරු බදු සියයට 10 දක්වා ඉහළ දැමීමේ නිල විධානයකට මෙම අප්‍රේල් 02 වන දි


භාරත ආසියා මොඩලය
2025 අප්‍රේල් මස 18 251 0

සිංහල හා හින්දු අලුත් අවුරුදු උණුසුම තවමත් පහව ගොස් නැත. කුමන ආර්ථික ගැටලුකාරිත්වයක් තිබුණත් අපේ රටේ ජනතාව අලුත් අවුරුද්දට සූදානම් වූයේ ඒ සියලු අගහිඟ


ට්‍රම්ප් අභියෝගය ට්‍රම්ප්ටම
2025 අප්‍රේල් මස 07 1978 2

2025 අප්‍රේල් 2 වැනිදා, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, රටවල් 90කින් පමණ එක්සත් ජනපදයට ආනයනය කරන සියලු‍ම භාණ්ඩ සඳහා සියයට 10ක මූලික තීරුබදු ඇතුළුව ආන


පොරොන්දුවල අතරමං වූ ආණ්ඩුව
2025 අප්‍රේල් මස 04 953 5

ජනාධිපතිවරයා පළාත් පාලන ඡන්දය ඉලක්කගත කර සිදුකරන ලද කතා කීපයක් අසා සිටි මෙම ලියුම්කරුට හැඟී ගියේ ඔහුගේ හඬ ජවය දැන් දැන් දුර්වල වී ඇති බවයි. එහි විශ්වාස


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 137 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 36 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1073 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site