පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සමඟ ජාතික බුද්ධි සේවය ශක්තිමත් කිරීම ගැන විශාල සංවාදයක් හටගෙන තිබේ. විසල් විනාශයකින් කෙළවර වුවද මහාපරිමාණ ජාතික අර්බුදයකට තල්ලුවීමට පෙර දෙනෙත් විවර කරගැනීමට එමගින් ජාතියක් හැටියට අපට අවස්ථාව උදා වී තිබේ. විශේෂයෙන්ම යුද්ධාවසානය හා ඉන්පසු කාලය වනවිට මෙරට සන්නද්ධ බුද්ධි අංශවලට දුන් වැදගත්කම පහළ යෑම මේ තත්ත්වයට බලපෑ බව පැහැදිලිය. රටක් හැටියට අප දශක ගණනක් තිස්සේ අත්දුටු බිහිසුණු ත්‍රස්ත ප්‍රහාරත් එයින් ගැලවීමට සන්නද්ධ බුද්ධි අංශයේ ක්‍රියාකාරිත්වය මැදිහත් වූ ආකාරයත් විමසුවහොත් ඒ ගැන යම් අදහසක් ඇතිකරගත හැකිය. එනිසා සන්නද්ධ බුද්ධි අංශ ක්‍රියාකාරිත්වය ආසන්න අඩ සියවසක කාලයේදී ජාතික ආරක්ෂාවට මහත් පිටුබලයක් වූ ආකාරය ගැන රටවැසියන් දැනගැනීම වැදගත් වනු ඇත.
1979 දී උතුරේ ත්‍රස්තවාදය වර්ධනය වීගෙන එනවිට ජනපති ජේ.ආර් ජයවර්ධනට එය මහත් හිසරදයක් විය. ජනාධිපති ජයවර්ධන මහතා බි්‍රගේඩියර් තිස්ස වීරතුංග මහතාට දෙමළ සටන්කාමින් මර්දනය පවරා ඒ සඳහා ඔහුට මාස හයක කාලයක් ලබා දුන්නේය. සැබැවින්ම යුද විෂයට අනුව ත්‍රස්තවාදයක් මර්දනයට කිසිදු රාජ්‍ය පාලකයෙකුට එවැනි නිශ්චිත කාලයක් දිය නොහැකිය. එහෙත් ජයවර්ධන ජනාධිපතිවරයා බි්‍රගේඩියර් තිස්ස වීරතුංග මහතාට කීවේ 1979 දෙසැම්බර් 31 වැනිදා එය මර්දනය කළ බවට තමාට වාර්තා කරන හැටියටය. ජනාධිපතිවරයා කී ආකාරයටම වීරතුංග මහතා ද ත්‍රස්තයන් මර්දනය කළ බව වාර්තා කළේය. එහෙත් සැබැවින්ම සිදුවුණේ කුමක් ද? අදාළ හමුදා මෙහෙයුම්වලදී ත්‍රස්තයන් අල්ලාගන්නට ඔහුට නොහැකිවීමය. මෙහෙයුම් හමුවේ ත්‍රස්තයන් කළේ ඉන්දියාවට පැනයාමය. ත්‍රස්තයන්ගේ ක්‍ෂේමභූමිය වුණේ ඉන්දියාවය. මේ සමඟ උතුරේ කලබල නතර වූ අතර වීරතුංග මහතා ජයවර්ධන ජනාධිපතිවරයා හමුවේ ආචාර කොට කීවේ මගේ වැඬේ කළා (My tast is OK) කියාය. එහෙත් එසේ කියා මාස දෙකක් යන්නට වුණේ නැත. නැවතත් වාර්තාවන්නට වූයේ බැංකු කොල්ලකෑම් පොලිස් නිලධාරින් ඝාතනය කිරීම්ය. සාර්ථක හමුදා මෙහෙයුමක් උදෙසා සාර්ථක බුද්ධි අංශයක් අවශ්‍ය බව තේරුම්ගත්තේ මේ සමඟය. ජාතික ආරක්ෂාව සඳහා බුද්ධි අංශයක් පිහිටුවීම සිදුවන්නේ ඒ අනුවය.
බුද්ධිය යනු සාමාන්‍ය ව්‍යවහාරයේදී තේරුම්ගන්නේ දැනීම යන අර්ථයෙනි. එහෙත් සන්නද්ධ බුද්ධි අංශ යන්නෙහිදී එයින් අරුත් ගැන්වෙන්නේ රටට සතුරු පක්ෂ පිළිබඳ දැනුමයි. සතුරු පක්ෂ, ඔවුන්ගේ සංවිධාන ශක්තිය, සතුරු භූමිය, ක්‍රියාකාරිත්වය, සන්නද්ධ බලය, නායකත්වයේ විශේෂ ගුණාංග, ප්‍රහාරක ක්‍රම ආදී සකල අංශ ගැන සෙවීමේ රාජකාරිය පැවරෙන්නේ සන්නද්ධ බුද්ධි අංශයටය. සන්නද්ධ හමුදාවලට අවශ්‍ය තොරතුරු ලැබෙන්නේ එමගිනි. ආරම්භයේදී එල්.ටී.ටී.ඊ සංවිධානයට එරෙහිව ක්‍රියා කිරීමේදී විධිමත් සන්නද්ධ බුද්ධි අංශයක් තිබුණේ නැත. පොලිස් බුද්ධි අංශයක් පැවැතිය ද එය ප්‍රමාණවත් නොවුණේ ක්‍රියාකාරිත්වයෙන් එය සන්නද්ධ බුද්ධි අංශයෙන් වෙනස් වූ බැවිනි. පොලිස් බුද්ධි අංශයේදී (SIS) බොහෝවිට සිදුවන්නේ තොරතුරු ගැනීම හා සැපයීමය. සන්නද්ධ බුද්ධි අංශය ඊට බොහෝ වෙනස්ය. එය විසල් පරාසයක පැතිරී සිටී. සන්නද්ධ බුද්ධි අංශය තොරතුරු සැපයීම හා සමානවම ඊට අනුකූලව ක්‍රියා කරයි. උදාහරණයකට ගත්තොත් ත්‍රස්ත සැකකරුවකු ගැන ආරංචියක් ලද විට අදාළ තොරතුර බලධාරින්ට ප්‍රදානය කිරීමෙන් පසු අත පිසදාගන්නට සන්නද්ධ බුද්ධි අංශයට නොහැකිය. ඔවුහු අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමෙන් පසු ලැබෙන තොරතුරු මත තවත් සැකකරුවන් හෙළි කරගෙන ඔවුන් ද අත්අඩංගුවට ගනිති. එය ක්‍රියාවලියකි.
1980 දී බුද්ධි අංශය සංවිධානය සිදුවූයේ මේජර් ලයනල් බලගල්ල (පසුව හමුදාපති ලුතිනන් ජනරාල් ලයනල් බලගල්ල) මහතාගේ යටතේය. සන්නද්ධ බුද්ධි අංශයේ පියා වශයෙන් ලුතිනන් ජනරාල් ලයනල් බලගල්ල සලකන්නේ එහෙයිනි. දෙමළ ත්‍රස්ත සංවිධාන පළමු වරට සන්නද්ධ ප්‍රහාරයක් පොලිස් ස්ථානයකට එල්ල කිරීමත් සමඟ සන්නද්ධ බුද්ධි අංශ ද ක්‍රියාත්මක වූහ. ඇත්තවශයෙන්ම එල්.ටී.ටී.ඊ සංවිධානයේ පළමු සාමාජිකයා ඝාතනයට ලක්වුණේ ද සන්නද්ධ බුද්ධි අංශය මගිනි. ඒ 1982 නොවැම්බර් 24 වැනි දින ඝාතනයට ලක් වූ ශංකර්ය. එල්.ටී.ටී.ඊ සංවිධානය මහවිරු සැමරුමක් ප්‍රකාශයට පත්කළේ මේ ශංකර් සිහිකරන්නටය. චාල්ස් ඇන්තනි නමැති එල්.ටී.ටී.ඊ නායකයා ඝාතනය කරනු ලැබුවේ ද සන්නද්ධ බුද්ධි අංශයේ කුඩා මෙහෙයුම් මගිනි. ප්‍රභාකරන් තම දෙටු පුත්‍රයාට චාල්ස් ඇන්තනි යන නම තැබීමෙන් පෙනෙන්නේම ඔහු එල්.ටී.ටී.ඊ සංවිධානයට කෙතරම් වැදගත් පුද්ගලයකුද යන්නයි. පසුව ප්‍රභාකරන් ඉන් නොනැවතී චාල්ස් ඇන්තනී නමින් බළකායක් ද හැදුවේය. 1980 දී කුඩා ඒකකයක්ව පැවැති සන්නද්ධ බුද්ධි අංශය තරමක් විශාල වූයේ 1986 දීය. 1987 වනවිට එහි සාමාජිකත්වය සිය ගණනකට වර්ධනය විය. බුද්ධි අධ්‍යක්ෂක මණ්ඩලයක වර්ධනීය තත්ත්වයට ආවේ 1989 දීය. බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලයට අමතරව 1990 දී බුද්ධි බළකායක් ද පිහිටුවීය. එවක ජාතික ආරක්ෂක ඇමැති ලලිත් ඇතුලත්මුදලි මහතාගේ ඉල්ලීම අනුව ඊට අදාළ ගැසට්ටුවට අස්සන තබා නෛතික බලය පවරමින් අවශ්‍ය දේශපාලන නායකත්වය ඊට දෙනු ලැබුවේ හිටපු ජනපති රණසිංහ ප්‍රේමදාස මහතා විසිනි.
උතුර සහ නැගෙනහිර දෙමළ අන්තවාදයත් දකුණේ තත්කාලීනව හටගත් ජනතා විමුක්ති පෙරමුණේ කැරැල්ලටත් එකවර ක්‍රියාකාරී වූයේ මේ සන්නද්ධ බුද්ධි අංශයයි. ඉන්පසුව පිළිවෙලින් පැමිණි 1,2,3 හා 4 යන ඊළාම් යුද්ධ සියල්ලේදීම සන්නද්ධ බුද්ධි අංශයේ වර්ධනයත් කැපවීමත් ජාතික ආරක්ෂාවට ගෙනදුන්නේ ඉමහත් ශක්තියකි. සන්නද්ධ බුද්ධි අංශයේ ක්‍රියාකාරිත්වය ලංකාව පුරා ජනතාව අතරේ ප්‍රචලිත වන්නට වූයේ ඒ සමඟය. ඉන්පසුව 1998 දී තවත් බුද්ධි බළකායක් පිහිටු වූ අතර 2009 දී ඊළාම් යුද්ධ අවසන් වනවිට බුද්ධි බළකා තුනක් පිහිටුවා තිබුණි. ඉන්පසුව ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත එය සංඛ්‍යාත්මකව හතක් දක්වා වර්ධනය විය. යුද්ධය අවසන් වූ පසුව නිර්මාණය වන සංකූලතා ව්‍යර්ථ කිරීමට බුද්ධි අංශ ප්‍රසාරණයේ අවශ්‍යතාව ඊට හේතු විය. මේ වනවිට අලුතින් තවත් බුද්ධි බළකායක් පිහිටුවීමට නියමිතය.
බුද්ධි අංශ පිහිටුවීමේදී විදේශීය පුහුණු උපදේශකයන් ලංකාවට ගෙන්වීමට ජේ.ආර්.ජයවර්ධන මහතාගේ අනුග්‍රහය ලැබිණි. වසර ගණනක් තිස්සේ ලංකාවේ රැඳී සිටි ඔවුහු සන්නද්ධ බුද්ධි අංශයට හොඳ පුහුණුවක් දුන්හ. එසේ ආරම්භක පුහුණුව ලද සන්නද්ධ බුද්ධි අංශයට අද වනවිට පුහුණු පාසලක් ද හිමිය. ලංකාවේ ප්‍රථම බුද්ධි පාසල එයයි. මෙම පුහුණු පාසලේදී ත්‍රිවිධ හමුදාවට අමතරව පොලිසියට ද පුහුණුව ලබා දේ. ජාතික ආරක්ෂාවට අදාළ වන රාජකාරියට අවශ්‍ය දැනුමත් ශක්තියත් ලැබෙන්නේ එතැනිනි. සන්නද්ධ බුද්ධි අංශය මෙසේ කාලානුරූපව ප්‍රසාරණය වෙද්දී ඊට මුහුණදීමට සිදු වූ අභියෝග ද නැතිවා නොවේ. ඊට හේතු වූයේ ද සාමාන්‍ය බුද්ධි තොරතුරු ඒකකවලට ඔබ්බෙන් ගොස් මෙහෙයුම් කිරීමට සන්නද්ධ බුද්ධි අංශය යොමුවීමය. කෙටියෙන් කිවහොත් රටේ ජන ජීවිතයට ජාතික ආර්ථිකයට හානිකර ත්‍රස්තයන් විනාශ කරන ප්‍රහාරක මෙහෙයුම් දියත් කිරීමට සිදුවීමය. තොරතුරු ගැනීමත් ඒ අනුව ප්‍රහාර එල්ලකිරීමත් සමගාමීව සිදුවිය. මෙම ක්‍රියාවලිය සන්නද්ධ නොවූ පොලිස් බුද්ධි අංශයට කිරීම ද අපහසුය. ඊට එක් උදාහරණයක් මෙසේ දැක්විය හැකිය. 1993 දී එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීහු ජනපති රණසිංහ ප්‍රේමදාස මහතා ඝාතනය කළහ. මෙය සිදුවූයේ කොළඹදීය. එතැනින් ආරම්භ වූ ප්‍රහාරය ප්‍රභූ ඝාතන වැලක් බවට පරිවර්තනය වන්නට වැඩි කාලයක් ගතවුණේ නැත. මේ සියලු ඝාතන සිදුවූයේ කොළඹදීය. ප්‍රහාරකයන් පැමිණ තිබුණේ එක්කෝ නැගෙනහිරිනි. නැත්නම් උතුරෙනි. සන්නද්ධ බුද්ධි අංශයට සිය නිරීක්ෂණ අනුව තීරණාත්මක් තීන්දුවක් ගැනීමට සිදුවිය. ඒ, ප්‍රහාරකයන් මෙන්ම ඔවුන්ගේ භූමියට ඇතුළු වී සතුරු නායකයන් වැනසීම ද ඊට අයත්ය.
මේ සංකල්පය හැඳින්වෙන්නේ දිගු දුර විහිදුම් (Long Range Reconnaissance Patrol (LRRP)) යනුවෙනි. 2002 වසරේදී අවිචාරවත් ලෙස ත්‍රස්තයන් හමුවේ නිරාකරණය කෙරුණේ අතුරුගිරිය මිලේනියම් සිටි නිවාස සංකීර්ණයෙහි එසේ පවත්වාගෙන ගිය සන්නද්ධ බුද්ධි අංශයේ ආරක්ෂක නිවස්නයකි. එහෙත් දේශපාලනයට බැල මෙහෙවරකම් කළ පුද්ගලයන් කීප දෙනෙකුගේ තර්කය වූයේ මිලේනියම් සිටි ආරක්ෂක නිවස්නය පිහිටුවූයේ එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ වේදිකාවකට ප්‍රහාර එල්ලකිරීමට කියාය. සෑම රාජ්‍ය ආයතනයකම මෙන් ඊට මුල් වූයේ ආරක්ෂක අංශවල ද සිටි බලයට කෑදර පුද්ගලයන් අතලොස්සකි. ප්‍රතිඵලය වූයේ ශ්‍රී ලංකා යුද හමුදා ඉතිහාසයේ සිදුවූ විශාලතම පාවාදීම බවට මිලේනියම් සිටි සිද්ධිය පත් වී සන්නද්ධ බුද්ධි අංශයේ එඩිතර කීර්තිමත් නිලධාරින් රැසක්ම ජාතියට අහිමි වීමය. ඒ අනුව කරන්දෙනියේ පිහිටි සන්නද්ධ බුද්ධි අංශයේ රෙජිමේන්තු මධ්‍යස්ථානයට අනුයුක්තව සේවය කළ 68 දෙනෙක් ඝාතනය කරනු ලැබූහ. ඒ 68 දෙනා අතරෙහි දෙමළ ජාතිකයෝ 28 ක් ද මුස්ලිම් ජාතිකයෝ 2 ක් ද වූහ. සාමාන්‍යයෙන් එල්.ටී.ටී.ඊය සිය මරාගෙන මැරෙන ප්‍රහාරකයන් යොමුකරන්නේ ප්‍රභූ ඝාතන ඉලක්කවලටය. එහෙත් මෙම සන්නද්ධ බුද්ධි අංශ සාමාජිකයන් ඝාතනය සඳහාම එල්.ටී.ටී.ඊය මරාගෙන මැරෙන බෝම්බකරුවන් භාවිත කරමින් කියාපෑවේ සන්නද්ධ බුද්ධි අංශය විනාශ කිරීමේ වැදගත්කමයි. සටන් විරාමයක් පැවැති සමයක් නිසාත් සන්නද්ධ බුද්ධි බළකා ඉල්ලීම් නොසලකා හැරුණු නිසාත් ප්‍රතිප්‍රහාරවලට යන්නට අවස්ථාවක් ද නොවීය.
මෙවැනි පාවාදීම් හමුවේ පවා සන්නද්ධ බුද්ධි අංශය නතර කරන්නට සතුරු බලවේගවලට හැකිවුණේ නැත. අවසන් ඊළාම් යුද්ධයට දැවැන්ත දායකත්වයක් දක්වමින් විශාල කැපකිරීමක් කරන්නට හැකිවූයේ ඒ අනුවය. මේ සියලු කැපකිරීම්වලට සන්නද්ධ බුද්ධි අංශයට හැකියාව ලැබුණේ හුදු තොරතුරු හුවමාරුවකින් ඔබ්බෙහි ක්‍රියා කිරීමට ඊට හැකියාව ලැබුණු නිසාය. සතුරාගේ අවි, කඳවුරු, සැපයුම් මාර්ග, නාවික පද්ධතිය සන්නද්ධ බුද්ධි අංශයේ දැඩි නිරීක්ෂණයට ලක්වෙමින් මිත්‍ර හමුදා අතට පත්වන්නේ මේ අතරේය. අවසාන යුද්ධයේදී එල්.ටී.ටී.ඊයේ පාවෙන අවි ගබඩාවලට නාවික හමුදාව විසින් ප්‍රහාර එල්ල කරනු ලැබුවේ යුද හමුදා සන්නද්ධ බුද්ධි අංශයේ තොරතුරු මතය. මේ ගැන විවිධ පිරිස් විවිධ මත දක්වා ඇතත් සැබෑව එයයි. ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා මහතා විසින්ම මේ බව ලංකාදීප පුවත්පතට දුන් සම්මුඛ සාකච්ඡාවකින් පසුගියදා තහවුරු කරනු ලැබ තිබිණි. 2003 සිට දිගටම මේ ප්‍රහාර එල්ල කෙරිණි. කුඩා නෞකා කීපයක් තබාගෙන එහිදී නාවික හමුදාව කළ සේවය අතිවිශාලය. මේ තොරතුරු බොහෝමයක් සන්නද්ධ බුද්ධි අංශ ස්වයංව ක්‍රියාකාරිත්වයෙන් ලබාගත් ඒවා මිස විදෙස් බුද්ධි අංශවලින් ලබාගත් ඒවා නොවේ. සතුරන්ගේ සංඥා පද්ධතිවලට ඇතුලු වී ගුප්ත සංඥා හඳුනාගැනීමට තරම් 2004 වනවිට සන්නද්ධ බුද්ධි අංශය කාර්මික අතින් සීඝ්‍ර දියුණුවක් අත්පත් කරගෙන තිබීම ඊට බොහෝ බලපෑවේය.
අවසන් යුද්ධයේදී ගුවන් හමුදාව වාර තුන්දහස් ගණනකදී බංකර්, කඳවුරු වශයෙන් එල්.ටී.ටී.ඊ සතුරු ඉලක්කවලට බෝම්බ ප්‍රහාර එල්ල කළේය. මේ ඉලක්ක සියල්ල දෙනු ලැබුවේ ද සන්නද්ධ බුද්ධි අංශය විසිනි. ජනතාව දන්නා ප්‍රකට උදාහරණයක් ඊට දැක්විය හැකිය. ඒ, එල්.ටී.ටී.ඊ සංවිධානයේ දේශපාලන අංශ නායක තමිල් චෙල්වම්ගේ මරණයයි. චෙල්වම් ඝාතනය වූයේ ගුවන් හමුදාව විසින් එල්ල කරන ලද කෆීර් ප්‍රහාරයකිනි. ඒ ගුවන් ප්‍රහාරයේදී බෝම්බය හරියටම පතිත වන්නේ චෙල්වම් සිටි ගොඩනැගිල්ලටමය. ඊට අමතරව වටපිටාවේ කිසිදු ගොඩනැගිල්ලකට බෝම්බ ප්‍රහාර එල්ලවූයේ නැත. හේතුව නිසි වේලාව හා ස්ථානය රැගත් නිවැරැදි ඉලක්කයයි. යුද්ධයකදී භූමි සිතියම් යනු වැදගත් සාධකයකි. විශේෂයෙන්ම හමුදා කාලතුවක්කු ප්‍රහාරවලට මේ සිතියම අතිශය වැදගත්ය. එහෙත් කලක් තිස්සේම හමුදාවල භාවිතයට ගැනුණේ දෝෂ සහිත සිතියමකි. නවීන ශිල්පීය උපක්‍රම භාවිත කර නවීන භූමි සිතියමක් සකස් කරනු ලැබුවේ සන්නද්ධ බුද්ධි අංශය විසිනි. මේ නිසා නිසි ඉලක්කවලට කාලතුවත්තු ප්‍රහාර එල්ල කිරීමට හැකි විය.
2006 දී අවසන් ඊළාම් යුද්ධය ආරම්භ කරන විට යාපනය අල්ලාගැනීමට එල්.ටී.ටී.ඊය විශාල සැලැස්මක් තිබුණේය. එහෙත් එල්.ටී.ටී.ඊයට සිය අරමුණු සාර්ථක කරගැනීමට හැකි නොවුණේ අදාළ සැලසුම් 2005 දීම හෙළිකරගැනීමට යුද හමුදා සන්නද්ධ බුද්ධි අංශ සමත් වූ නිසාය. යුද හමුදාපති හැටියට සරත් ෆොන්සේකා මහතා එම තොරතුරු මත ආරක්ෂක පද්ධතියේ දුර්වලතා මැකෙන සේ ප්‍රතිසංස්කරණ සිදුකළේය. 2006 අගෝස්තු 11 වැනිදා එල්.ටී.ටී.ඊය සිය සැලැස්මට අනුව පහර දුන්නත් දින දෙකක් ඇතුළත එය මුළුමනින්ම මැඩලීමට යුද්ධ හමුදාව සමත් විය. ඒ සියල්ලට පදනම් වූයේ බුද්ධි තොරතුරුය. එදා යාපනය අර්ධද්වීපය නැවත එල්.ටී.ටීය අතට පත්වුණි නම් ඇතැම්විට අද අපට රටක් නැතිවන්නට ඉඩ තිබිණ. මේ බොහෝ දේ ජනතාව අතර ප්‍රකට තොරතුරු නොවේ. මේ කාරණා මේ ලෙසින් හෝ දක්වන්නේ ජාතික ආරක්ෂාව උදෙසා සන්නද්ධ බුද්ධි සේවයක ඇති වැදගත්කම රටටත් රට කරවන නායකයන්ටත් කියා පෑමටය.
සන්නද්ධ බුද්ධි අංශයකට ඇති ජාතික වැදගත්කමට ඇති හොඳ ගෝලීය නිදසුනක් නම් මොසාඞ් සංවිධානයයි. මොසාඞ් යනු හුදු බුද්ධි අංශයක් පමණක් නොවේ. එය සැලකිය හැක්කේ ඊශ්‍රායලයේ ආරක්ෂකයා හැටියටය. අද වනවිට රටක් හැටියට ශ්‍රී ලංකාවට ඇති තර්ජන දෙස බැලීමේදී ජාතික බුද්ධි සේවාවලට දිය යුතු තැන අංක එක බව පැහැදිලිය. රටක ස්ථාවරභාවය සඳහා ශක්තිමත් ආණ්ඩුවක් තිබීම අත්‍යවශ්‍යය. ඉන්පසුව ශක්තිමත් ආර්ථිකයක් හා සන්නද්ධ හමුදාවක් අත්‍යවශ්‍යය. ඊට අලුතින් එකතු වූ සාධකය ශක්තිමත් බුද්ධි අංශයක් තිබීමයි. ලෝක ඉතිහාසයෙහි බුද්ධි අංශ ආරම්භයේදී ඒවාට ඒ තරම් ලොකු වැදගත්කමක් ලැබුණේ නැත. බුද්ධි අවශ්‍යතාවේ අගය මහා පරිමාණයෙන් රාජ්‍යයට දැනෙන්නට ගත්තේ දෙවැනි ලෝක යුද්ධයෙන් පසුවය. මේ යුද්ධවලදී බුද්ධිය ඉදිරියෙන්ම සිටීම ඊට හේතුවයි. බුද්ධිය යන අංශය නැතිවම බැරි නායකයකු වූයේ දෙවැනි ලෝක යුද්ධයේදී ජයග්‍රාහී පක්ෂය නියෝජනය කළ එංගලන්ත අගමැති වින්ස්ටන් චර්චිල්ය. වර්තමානයෙහි ලිබරල් බටහිර රාජ්‍ය පවා සිය ආර්ථිකය සුරක්ෂා කරගෙන පාලනය වන්නේ මේ බුද්ධි අංශවලට පිංසිදුවන්නටය. එනිසා අසීමාන්තික ලිබරල් නිදහස රටකට උරුම කරනු ඇත්තේ කවර ඉරණමක්ද යන්න ගැන දැන්වත් අප තේරුම් ගත යුතුව ඇත. යුද දාර්ශනික සංසු පැවසුවේ “ඔබ සතුරා ගැන දන්නේ නම් ඔබ(හමුදාව) ගැන දනී. ඔබ ඔබ ගැන දන්නේ නම් යුද්ධ රාශියක වුවත් ජය නියතය” කියාය. එසේම “ ඔබ ඔබ ගැන දන්නා නමුත් සතුරු හමුදාව ගැන නොදන්නේ නම් එවැනි අවස්ථාවක ඔබ කරන සෑම යුද්ධයකදීම අත්වන්නේ පරාජය” යැයි කියාය. තුන් වැනි අවස්ථාවේදී ඔහු කියන්නේ “ ඔබ සතුරා ගැන දන්නා නමුත් ඔබ ගැන නොදන්නේ නම් ඔබට නිරන්තරයෙන් අත්විඳින්නට සිදුවන්නේ පරාජය” යැයි කියාය. ඉතින් පාස්කු ඉරිදා එල්ල වූ ඉස්ලාම් අන්තවාදීන්ගේ ප්‍රහාරයේ බිහිසුණු බවින් අපට විශාල වශයෙන් සන් කරන්නේ ජාතික බුද්ධි සේවාවේ ශක්තිමත් කිරීමේ අත්‍යවශ්‍යතාව මිස අනෙකක් නොවේ.
විශේෂ ලියුම්කරුවකු විසිනි
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
මේ වන විට මැතිවරණ ප්‍රතිඵල ලැබෙමින් තිබේ. සත්‍ය වශයෙන්ම ඡන්දය දැමීමට ගිය ප්‍රතිශතය කෙසේ වෙතත් මෙවර මැතිවරණයට පෙර කාලය තුළ නම් ජනතාව අතර උනන්දුවක් තිබු
ජනාධිපති අනුර කුමාර දිසානායක වගකීම දරන එක් විෂයක් වන්නේ කෘෂිකර්මාන්තයයි. අනෙක් අතට ආහාර සුරක්ෂිත භාවය හා සෞඛ්‍ය වැනි කෘෂිකර්මයට සම්බන්ධ ඒ මත රැඳුණු ව
පාර්ලිමේන්තු මහ මැතිවරණය ලබන බ්‍රහස්පතින්දාය. සති අන්තය වන විට අලුත් ආණ්ඩුවකි. අලුතින් තේරී පත්වන මහජන නියෝජිතයන් අතුරින් කැබිනට් මණ්ඩලය තෝරා ගැනෙනු
තොරතුරු සහ සත්‍ය අතර පරතරයක් ඇත. විවිධ මාධ්‍ය ඔස්සේ ලැබෙන තොරතුරු අති විශාලය. මෙම තොරතුරුවලින් සැලකිය යුතු කොටසක් ඇත්ත නොවේ. ගල් යුගයේ සිට කෘත්‍රිම බුද
අගමැති හරිනි අමරසූරිය මහත්මිය විසින් පසුගිය දා කරන ලද ප්‍රකාශයක් අතිශයින්ම මා සිත් ගත්තේ ය. ඇය ප්‍රකාශ කර තිබුණේ තමන්ට ඉතා අවම ආරක්ෂකයන් අවශ්‍ය වුවද එ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
බුද්ධි අංශය ‘මොසාඞ්’ පාරේ යා යුතු ද
max Monday, 29 April 2019 04:51 AM
බුද්ධි අංශ අඩපන කල පාලකයන් විසින් විශේෂයෙන්ම කියවිය යුතු ඉතාමත් කාලෝචිත සාරගර්භ ලිපියක්. ස්තුති ලංකාදීප.
RaveendraMonday, 29 April 2019 12:27 PM
max මයා වෙත, ඇත්තෙන්ම ඔබ අදහස් නිවැරදියි. ගැටලුව තියෙන්නේ මොවුන්ට මෙය කියෙව්වත් පහත් බව නිසා වැඩේ බරපතලකම තේරෙයිද කියලා... හොඳම උදාහරණය මිලේනියම් සිටි එකට වූ දේ... හැබැයි මේ කට්ටිය බටහිරෙන් කිව්වොත් නාන්න තුවාය ඇඳගෙන ඔවුන් කියන ඕනෑම තැනක ඔලුවෙන් හිටගනියි...