IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


මෛත්‍රීපාල සිරිසේන ඔසවාගෙන ගොස් සභාවෙන් දොට්ට දැමූ හැටි

 (තරිඳු ජයවර්ධන)

පාර්ලිමේන්තු කටයුතු අතරතුර ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා සභා ගැඛෙන් ඉවත් කිරීම  සහ සතියක් පාර්ලිමේන්තුව තහනම් කිරීම   පසුගිය සතියේ වැඩි කතාබහකට ලක් විය. අතීතයේ පාර්ලිමේන්තුව තහනම් කැරුණු මන්ත්‍රීවරුන් අතර වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද සිටින බව මාධ්‍ය වාර්තා කළේය.මේ මෛත්‍රීපාල සිරිසේන මහතා පොලිසිය යොදවා සභා ගැඛෙන් ඉවත් කළ කතාවයි.

ඒ 1993 වසරයි. මෛත්‍රීපාල සිරිසේන මහතා එවකට විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විය. එක්සත් ජාතික පක්ෂ පාලනය අවසන් කළ යුතුය යන මතයේ සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් අතර සිරිසේන මහතා ද පෙරමුණ ගත්තේය.

මෛත්‍රීපාල සිරිසේන මහතා ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට විවාධයකට අරාධනා කළේ මේ අතරේය. එජාපයේ කෙරුවාව ගැන කතා කරන්නට තමා සූදානම් බව මන්ත්‍රීවරයා කියා තිබිණි.

එවකට කෘෂිකර්ම සංවර්ධන හා පර්යේෂණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළේ එච්. ජී. පී. නෙල්සන් මහතාය. ඔහු එම අභියෝගය බාර ගත් අතර ඒ ගැන අවස්ථා කිහිපයක දී මෛත්‍රීපාල සිරිසේන මහතා සමග ලිපි ද හුවමාරු කර ගත්තේය. නමුත් විවාදය පවත්වන ස්ථානය ගැන එකඟත්වයකට පැමිණීමට දෙදෙනාටම නොහැකි විය.

පොළොන්නරුවේ ශාලාවක එම විවාදය පැවැත්විය යුතු බවට රාජ්‍ය ඇමැති නෙල්සන් මහතා කියද්දී මෛත්‍රීපාල සිරිසේන මහතා කීවේ ප්‍රසිද්ධ ස්ථානයක විවෘත වේදිකාවක සංවාදය පැවැත්විය යුතු බවයි.

‘පොළොන්නරුවේ විවාදයට ශ්‍රීලනිප මන්ත්‍රී ඇවිත් නෑ‘  හිසින් එක්තරා පුවත්පතක 1993 පෙබරවාරි 22 වැනි දා සදුදා ප්‍රවෘත්තියක් පළ වූයේ සංවාදය ගැන කතා බහ යන අතරතුරය.

පාර්ලිමේන්තුවේ එවකට කතානායක ලෙස කටයුතු කළේ එම්. එච්. මොහොමඩ් මහතා ය. පුවත්පතේ පළ වූ ප්‍රවෘත්තිය ගැන කරුණු පැහැදිලි කිරීමට සඳහා මෛත්‍රීපාල සිරිසේන මහතා කතානායකගෙන් අවස්ථාවක් ඉල්ලා සිටි අතර ඊට අවසර ලැබිණි. ඒ 1993 වසරේ පෙබරවාරි මස 24 වැනි දා ය. උදේ 9.10ට මෛත්‍රීපාල සිරිසේන මහතා පෞද්ගලික කරුණු පැහැදිලි කිරීම ආරම්භ කළේය.

‘1993 පෙබරවාරි මස 22 සදුදා පුවත්පතක මුල් පිටුවේ පළ කර තිබූ ‘පොළොන්නරුවේ විවාදයට ශ්‍රීලනිප මන්ත්‍රී ඇවිත් නෑ‘ යන සිරත්සලය යටතේ ප්‍රවෘත්තියට ඔබතුමාගේ අවධානය ගෞරවයෙන් යොමු කරවමි. එම වාර්තාවේ සදහන් කරන ලද විවාදය සදහා රාජ්‍ය ඇමති ගරු නෙල්සන් මහතා සහ මා අතර මසක පමණ කාලයක සිට ලිපි හුවමාරු විය. එහෙත් මේ සදහා ස්ථානය පිළිබදව දෙදෙනාගේ එකඟත්වයක් නොවීය.

ගරු රාජ්‍ය ඇමැති නෙල්සන් මහතා ශාලාවක් තුළ මෙම විවාදය කළ යුතු බව ප්‍රකාශ කළ අතර මා ප්‍රකාශ කළේ ප්‍රසිද්ධ ස්ථානයක විවෘත වේදිකාවක විවාදය සිදු කළ යුතුය බවයි. එහෙත් පෙබරවාරි මස 22 සඳුදා පුවත්පතක සඳහන් වන්නේ පොළොන්නරුවේ ධවල මන්දිරිය නැමැති ශාලාව තුළ විවාදය කිරීමට නියම වූ බවත්, නියමිත දින දී ශ්‍රීලනිප සාමාජිකයන් විසින් නිල් පාට බැනර් සහ පෝස්ටර් එම ස්ථානයේ ප්‍රදර්ශනය කර තිබූ අතර මා නොපැමිණි බවයි.

ශාලාවක් තුළ මෙම විවාදය කිරීමට මුල සිටම මගේ එකඟත්වයක් නොවූ බැවින් පුවත්පතේ ඉහත ප්‍රවෘත්තිය සම්පූර්ණයෙන් අසත්‍යයකි. පුවත්පත මෙම ප්‍රචාරය කළ ආකාරයටම පෙබරවාරි 22 දින උදේ ප්‍රවෘත්ති විකාශනයෙන් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවත් මෙම සිද්ධි පිළිබඳව විකාශනය කළේය. 1993 පෙබරවාරි 21 දින පොළොන්නරුව නව නගරයේ ධවල මන්දිරයේ පැවැතියේ එක්සත් ජාතික පක්ෂයේ රුස්වීමකි. මා අභියෝග කළ විවාදය නොවේ. ඒ අනුව පුවත්පත හා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව ක්‍රියා කළ ආකාරයෙන් මහජනයා නොමග ගොස් ඇති බැවින් එම ප්‍රවෘත්තිය මගේ දේශපාලන ජීවිතයට අපහාසයක් හා කැළලක් සිදු කරනු ලැබ ඇත.‘ යැයි කී සිරිසේන මහතා එම ප්‍රවෘත්තිය ගැන පරීක්ෂණයක් පවත්වන ලෙසත් කතානයකවරයාගෙන් ඉල්ලා සිටියේය.

එසේම මෙහිදී අපක්ෂපාතීව කටයුතු කළ ලංකාදීප පුවත්පතට සහ තවත් පුවත්පතකට මන්ත්‍රීවරයා සිය ස්තුතිය පුද කළේය.

ඉන් පසු නැගී සිටි කෘෂිකර්ම සංවර්ධන හා පර්යේෂණ රාජ්‍ය අමාත්‍ය එච් ජී පී නෙල්සන් මහතා මෛත්‍රීපාල සිරිසේන මන්ත්‍රීවරයාගේ ප්‍රකාශයට පිළිතුරු දීමට අවස්ථාව ඉල්ලා සිටියේය. මෛත්‍රීපාල සිරිසේන මහතා කළේ පෞද්ගලික කරුණු පැහැදිලි කිරීමක් බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක රිචර්ඩ් පතිරණ මහතා කීවේය.

මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කතාවට අවසර දී ඇති බව කී කතානායකවරයා මේ ගැන සාකච්ඡා කිරීමට නිල කාමරයේදී තමා හමු විය හැකි බව නෙල්සන් රාජ්‍ය අමාත්‍යවරයාට දැනුම් දුන්නේය.

‘මම හිතනවා ගරු ඇමැතිතුමාට වෙලාව දිය යතු බව.‘ යැයි කියමින් රනිල් වික්‍රමසිංහ මහතා නැගී සිටි අතර කතානායකවරයා දැනුම් දුන්නේ ඇමැතිවරයාට උත්තර දීමට පසු දිනය ලබා දෙන බවයි.

පසු දිනය 1993 පෙබරවාරි මස 25 වැනි දාය. උදෑසන 9ට සුපුරුදු පරිදි පාර්ලිමේන්තුව රැස් විය. ඒ කතානායක එම් එච් මොහොමඩ් මහතාගේ ප්‍රධානත්වයෙනි. වයඹ පළාත් සභාවේ සංචාරක කාර්යංශ ප්‍රඥප්ති කෙටුම්පත සහ උපදේශක කාරක සභා වාර්තා පිළිගැන්වීමෙන් පසු එළඹියේ එච් ජී පී නෙල්සන් මහතාගේ පෞද්ගලික කරුණු පැහැදිලි කිරීමයි. ඒ ඊට පෙර දින පොළොන්නරු දිස්ත්‍රික් මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා කළ ප්‍රකාශය ගැනය.  උදෑසන 9.02ට පමණ නෙල්සන් රාජ්‍ය අමාත්‍යවරයා නැගී සිට සිය කරුණු පැහැදිලි කිරීම ආරම්භ කළේය.

‘කතානායකතුමනි, 1993 පෙබරවාරි 24 වැනි දා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු මෛත්‍රීපාල සිරිසේන මහතා පොළොන්නරුවේ විවාදය පිළිබඳව කළ පෞද්ගලික කරුණු පැහැදිලි කිරීමට පිළිතුරු වශයෙන් මාගේ පිළිතුරු ප්‍රකාශනය මා අද ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා.‘ යැයි කියමින් නෙල්සන් මහතා කතාව ආරම්භ කළේය.

‘ගරු කතානායකතුමනි, 1993 ජනවාරි 16 වන දින පුවත්පතක මෛත්‍රීපාල සිරිසේන ගරු මන්ත්‍රීතුමාගේ ප්‍රකාශනයක් සඳහන්වී තිබුණා. එහි සඳහන් වෙලා තිබුණා, වසර පහළොහක යූඑන්පී කෙරුවාව පිළිබ`දව නිතර නිතර පම්පෝරි ගහන යූඑන්පී එකේ මන්ත්‍රීවරුන් හතර දෙනාටම තමන් මුහුණ දීමට සූදානම් බවත් ඒ සඳහා දිනයක් වේලාවක් සහ ස්ථානයක් ඉක්මනින් දන්වා එවන ලෙසත්. ඒ අනුව මම එතුමාට පිළිතුරු යැව්වා ‘ඔබතුමාගේ ඉල්ලීම අනුව ඕනෑම තැනකදී අපි විවාදය ආරම්භ කිරීමට සූදානම්.‘ කියා. ඒ අනුව මෛත්‍රීපාල සිරිසේන ගරු මන්ත්‍රීතුමා ප්‍රකාශ කර තිබුණා අපි කියන ඕනෑම තැනකට එන්න පුලූවන්ය කියා.‘ යැයි රාජ්‍ය අමාත්‍ය නෙල්සන් මහතා කියාගෙන යද්දී මෛත්‍රීපාල සිරිසේන මහතා නැගී සිට එය සම්පූර්ණ අසත්‍යයත් බව ප්‍රකාශ කළේය.

එය අසත්‍යයක් නොවෙයි කියා රාජ්‍ය ඇමැති කියද්දී මෛත්‍රීපාල සිරිසේන මහතා ඊට එරෙහිව කතා කළ අතර සභාවේ ගාලගෝට්ටිය වැඩි විය.

සියලූ දෙනා නිශ්ෂබ්ද වන ලෙස දැනුම් දුන් කතානායකවරයා මෛත්‍රීපාල සිරිසේන මහතාට සිය අසුනෙන් වාඩි වෙන ලෙස කීවේය.

‘ශාලාවක් තුළදී මේ විවාදය පවත්වමු කියලයි මම කිව්වේ. ඔබතුමා කියන්නේ සම්පූර්ණ අසත්‍යයක්.‘ මෛත්‍රීපාල සිරිසේන මහතා යළි කීවේය.

රාජ්‍ය ඇමැති එච් ජී පී නෙල්සන් මහතා යළි කතාව ආරම්භ කළේ සභාවේ ඝෝෂා මධ්‍යයේය.

‘මෛත්‍රීපාල සිරිසේන ගරු මන්ත්‍රීතුමා යූඑන්පී කෙරුවාව පිළිබඳ නිතර නිතර පම්පෝරි ගහන යූඇන්පී මන්ත්‍රීවරුන් සිව් දෙනාට පම්පෝරිය නවතා තමන් විවාදයකට එන්න කිව්වව අවස්ථාවෙදි එතුමාට මම කිව්වා, එතුමා ඒ ප්‍රකාශය කළ සමූපකාර මන්දිරයේම අපි ඒ විවාදය පවත්වන්න සූදානම් කියා. ‘ යැයි රාජ්‍ය ඇමැතිවරයා කියාගෙන යද්දී මීළඟට බාධා කළේ මෛත්‍රීපාල සිරිසේන මහතා නොව කතානායකවරයා ය.

‘ඔබ කළ යුත්තේ ප්‍රකාශයක්. කතාවක් නොවෙයි.‘ කතානායරවරයා ඇමැතිවරයාට අවවාද කළේය.

‘එතුමාගේ අභියෝගයට පිළිතුරු වශයෙන් මම විවාදය පවත්වමුයි කියා එතුමාට අපි කියා යැව්වා. ඇත්ත වශයෙන්ම මා මේ විවාදයට ඒ තරම් උනන්දුවක්...‘අමාත්‍යවරයාට වාක්‍ය අවසන් කිරීමට පෙර කතානායක යළි අවවාද කළේය. ‘මේක විවාදයක් නොවේ. පෞද්ගලික කරුණු පැහැදිලි කිරීමක්.‘ අවස්ථා දෙක තුනකදීම රාජ්‍ය අමාත්‍යවරයාට කතාවක් නොකර සිය ප්‍රකාශනය කියවන ලෙස කතානායක දැනුම් දුන්නේය.

රාජ්‍ය අමාත්‍යවරයා යළි කතාව ආරම්භ කර මද වේලාවක් යද්දී දිගින් දිගටම බාධා කිරීම් පැමි‚යේය. රාජ්‍ය ඇමැතිගේ කතාවට දිගින් දිගටම බාධා කරද්දී කතානායක කීවේ ඔහු කරන්නේ ප්‍රකාශයක් කියවීම පමණක් බැවින් විවාදයක් අනවශ්‍ය බවයි.

බාධා කිරීම් මැද සිය කතාව අවසන් කරමින් රාජ්‍ය ඇමැති එච් ජී පී නෙල්සන් මහතා කීවේ මෛත්‍රීපාල සිරිසේන මහතා සම්බන්ධයෙන් පුවත්පතක සහ ගුවන්විදුලියේ පළ වූ පුවත් සත්‍ය බවයි.

පොළොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා නැගී සිටියේය. ‘අද දවල් 12 වන තුරු මම කතා කරනවා.‘ කියමින් සිරිසේන මහතා කතාව ආරම්භ කළේය. ඔහුගේ කතාව විටෙක වේගවත් විය. විටෙක හැඟීම් බර විය.

‘කරුණාකර වාඩි වෙන්න. ඔබ කියන සියලූ දේ හැන්සාර්ඩ් වාර්තාවෙන් ඉවත් කරනවා.‘ කතානායකවරයා කීවේය.

එහෙත් මෛත්‍රීපාල සිරිසේන මහතා නිහඬ නොවූ අතර දිගින් දිගටම කතා කරගෙන ගියේය. ‘කරුණා කර ඔබ වාඩි වෙන්න. නැත්නම් ඉවත් කරන්නද?‘ කතානායක වරයා විමසුවත් සිරිසේන මහතා සිය කතාව නැවැත්වූයේ නැත.  ආණ්ඩු පක්ෂයේ විරෝධතා මැද විපක්ෂයේ ජයඝෝෂා හා අත්පොලසන් මැද සිරිසේන මහතා නොනවත්වා කතා කරන්නට විය. ඔහු කරන සියලූ කතා හැන්සාර්ඩ් වාර්තාවෙන් ඉවත් කරන ලෙස කතානායකවරයා නියෝග කළේය.

මූලාසනයේ අනට අකීකරුවෙමින් දිගින් දිගටම කතා කළ මෛත්‍රීපාල සිරිසේන මහතා සභාවෙන් ඉවත් කිරීමට   ‘නම් කිරීමේ යෝජනාවක්‘ ගෙන එන ලෙස කතානායක එම් එච් මොහොමඩ් මහතා දැනුම් දුන්නේය.

ඒ අනුව පාරිසරික හා පාර්ලිමේන්තු කටයුතු ඇමැතිවරයා මෙන්ම ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ද වූ එම් වින්සන්ට් පෙරේරා මහතා ස්ථාවර නියෝග අංක 72 යටතේ නම් කිරීමේ යෝජනාව ගෙන ආවේය.   ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු එම යෝජනාව අත් උස්සා අනුමත කළහ. එසේ අනුමැතිය ගනිද්දී ද මෛත්‍රීපාල සිරිසේන මහතා දිගින් දිගටම කතා කරන්නට විය.

මේ සඳහා ‘නමින්‘ ඡන්දය විමසන ලෙස විපක්ෂයේ ප්‍රධාන සංවිධායක රිචර්ඩ් පතිරණ මහතා ඉල්ලීමක් කළේය. ඒ අනුව බහුතරය හිමි ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රීවරු නැගී සිට යෝජනාව අනුමත කළහ.  මෛත්‍රීපාල සිරිසේන මහතා දිගින් දිගටම කතා කරද්දී විපක්ෂ මන්ත්‍රීවරු ඔහුට සහයෝගය දක්වමින් අත්පොළසන් දුන්හ.

මන්ත්‍රීවරයා සභා ගැඛෙන් ඉවත් කරන ලෙස වේත්‍රධාරීට නියෝග කළ කතානායකවරයා ඔහු ඉවත් කරන තෙක් පාර්ලිමේන්තුව කල් තැබීය.

‘රට කාපු ආණ්ඩුව ඉල්ලා අස්විය යුතුයි.‘, ‘ජනතාව වෙනුවෙන් දිවි පුදනවා.‘ යැයි මෛත්‍රීපාල සිරිසේන මහතා නොනවත්වා කතා කරද්දී උදේ 9.40ට පමණ වේත්‍රධාරී අබේසිංහ මහතා සභාවේ ප්‍රධාන දොරටුවෙන් පොලිස් නිලධාරීන් 15 දෙනකු සමග පැමිණියේය.

මෛත්‍රීපාල සිරිසේන මහතා සභාවෙන් ඉවත් වී නොගිය නිසා පොලිස් නිලධාරීහු ඔහු බලහත්කාරයෙන්ම ඔසවාගෙන සභා ගැබෙන් ඉවත් කළහ. 



අදහස් (6)

මෛත්‍රීපාල සිරිසේන ඔසවාගෙන ගොස් සභාවෙන් දොට්ට දැමූ හැටි

ධම්ම Friday, 17 March 2017 03:33 AM

ඒ කාලේ ඉඳලම හොඳ කතා කාරයෙක් තමයි මෙතුමා. හඳුන්නෙත්තිගේ මල් පැපොල් කතාව හොඳට ගැලපෙනවා.

:       151       132

Senarath Sunday, 19 March 2017 10:51 AM

පම්පෝරි නම් තියෙනවා, එ්ත් වැඩ නම් නොමැත. මේ කතා කියල දවස ගෙවුවට රටට වෙන සෙතකුත් නැත, මිනිසුන්ගේ කුසගින්නට හෝ වකුගඩු ලෙඩේට වෙන සෙතකුත් නොමැත. දවසින් දවස රට අගාදෙට යනවා. පාතාලයෝ රට ගිල ගන්නවා. දේශපාලකයෝ මහා බැංකුව කොල්ල කනවා, විදේශිකයෝ ඩොලර් ආපසු ගෙනියනවා , කෝ මේවට විසදුම් ?

:       98       297

sanjeewa Monday, 20 March 2017 08:44 AM

කවුරුවත් නැද්ද? මුළු ආණ්ඩුවම එලෝලා දාන්න? රටත් ගමත් ඉවරේටම ඉවරයි.

:       228       295

sameera Monday, 20 March 2017 08:23 PM

අද රට ඉස්සරහට ගෙනියන්න තියෙන ලොකුම බාදාව මහින්ද මහත්තයාගේ කකුලෙන් ඇදීමයි. මහින්ද මහත්තය දේශපාලනයෙන් ඉවත් කිරීමට බල කිරීමට රටම එකා වගේ පෙළගැහෙමු.

:       268       113

Chanak Los Angeles Tuesday, 21 March 2017 01:19 AM

දේශපාලකයෝ පාතාලේ වගේ හැසිරෙන රටකට ඉතින් දෙවියන්ගේම පිහිටයි . පාර්ලිමේන්තුවෙන් එලියට ඇදලා දාන එවුන් ගෙන මෝඩයන් නම් ඔවුන් හරි කෙරුමන් කියා හිතනවා ඇති ..

:       0       6

chandra weerasinghe Tuesday, 21 March 2017 11:58 PM

තාමත් කයිය ගහ ගහ මිනිස්සු රවටනවා මිසක් වැඩ කෝ? මේ තියෙන තත්වය දැක්කම තව ප්‍රබාකරන් කෙනෙකුත් ලෙහෙසියෙන්ම ඇතිවෙලා උතුර නැගෙනහිර කඩා ගනීවි!! චන්ද්‍ර වීරසිංහ

:       18       135

ඔබේ අදහස් එවන්න

කොලම

​දැක්මක ගමනක ජයග්‍රහණ
2024 සැප්තැම්බර් මස 13 761 4

හිටපු මැලේසියානු අගමැති මහතීර් මොහොමඞ් ලෝකප්‍රකට වූයේ ඇයිදැයි ඔබ දන්නවා ද? ඒ අන්කිසිවක් නිසා නොව, ඔහු ඔහුගේ ම ක්‍රමයට මැලේසියාව සංවර්ධනය කොට යළි බිමදැ


විකල්ප තේරීම් ඕනෑද?
2024 සැප්තැම්බර් මස 09 614 2

නිදහසින් පසු මෙරට පැවැත්වූ සහ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණ අතරින් මෙවර පැවැත්වෙන්නේ තීරණාත්මක එකකි. මෙවර අපේක්ෂකයෝ තිස්අට දෙනෙක් ඉදිරිපත්ව සිටිති


ජනපතිවරණ සාකච්ඡා තේමාව
2024 සැප්තැම්බර් මස 06 268 0

ජනාධිපතිවරණයට තවත් ඇත්තේ දින 15ක් පමණ කාලයකි. තැපැල් ඡන්දය පාවිච්චි කිරීම අදින් අවසන් වීමට නියමිතය. සාපේක්ෂක වශයෙන් මෙවර ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා ක


බදු ගෙවන්නන් බිත්තියට හිරකිරීම
2024 සැප්තැම්බර් මස 02 866 0

දැනට පවතින බදු අභියාචනා පටිපාටියට සංශෝධන ගෙන ඒම සඳහා මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට 2024.07.22 දින කැබිනට් අනුමැතිය හිමි වූ බව ටික දිනකට ප


ඡන්දයේදී ජනතා අපේක්ෂා
2024 අගෝස්තු මස 30 249 0

ජනාධිපතිවරණයක දී සාමාන්‍යයෙන් අප නොදකින තත්වයක් මෙවර දැකගත හැකි ය. එනම් මෙවර ඡන්දදායකයන්ගෙන් අති බහුතරයක් තාමත් තම ඡන්දය ගැන තීන්දුවක් ගෙන නොමැති වී


ඡන්දයෙන් ජනතා අයිතිය සුරැකීම
2024 අගෝස්තු මස 26 297 2

දින නියමයක් නොමැතිව කල් දමා තිබූ පළාත් පාලන මැතිවරණය හැකි ඉක්මනින් පවත්වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා මැතිවරණ කොමිසමට නියෝග කළේය. ඒ අනුව ඉදිරි දිනය


වැඩි දෙනා කියවූ පුවත්



ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 16913 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 84 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 267 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 134 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site