IMG-LOGO

2025 අප්‍රේල් මස 03 වන බ්‍රහස්පතින්දා


මහජන ආරක්ෂාව අනතුරේ

මිලේනියම් චැලේන්ජ් ගිවිසුම, පාස්කු ප්‍රහාරය ගැන වූ කාරක සභා නිර්දේශ, ජාත්‍යන්තර බලපෑම්වල ඇත්ත, උතුරේ දේශපාලන යෝජනා, අනුරට දෙන ඡන්දය ගෝඨාභයට දෙන ඡන්දයක් ද, අනුර ජනපති වුණොත් අගමැති වන්නේ කවුද හා ජාතික ජනබලවේගයේ ආණ්ඩුකරණ උපක්‍රම ගැන මෙවර සඳුදා හමුවෙන් අදහස් දක්වන්නේ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී ලාල්කාන්ත මහතායි.

ප්‍රශ්නය - මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම කඩිමුඩියේ අස්සන් නොකරන්නැයි පාර්ශ්ව ගණනකින් විරෝධය පළ කළත් ආණ්ඩුව කියන්නේ එය අස්ථාන බියක් බවයි. ජාතික ජනබලවේගයට මේ ගැන ඇත්තේ කවර ස්ථාවරයක්ද?

පිළිතුර- ජාතික ආරක්ෂාව පිළිබඳ කාරණය මුදුනට අරගෙන ඒමේ උත්සාහයක නිරතවන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයගෙ පාර්ශ්වයයි. හේතුව ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම් නිසා එයාට දේශපාලනිකව වාසියක් ගැනීම අරමුණු කරගැනීමයි. එහෙම නැතිව ජාතික ආරක්ෂාව පිළිබඳ රටේ බරපතළ ප්‍රශ්නයක් ඇත්තේ නෑ. කවර රටකින් හෝ පැමිණ අපේ රට හමුදා ආක්‍රමණයක් කිරීමක් හෝ 1987 යූ.එන්.පී පාලන සමයේ ඉන්දියාවට ගිවිසුමකින් මේ රට පාවාදීමේ තත්ත්වයක් වැනි දේශපාලන වටපිටාවක් නිර්මාණය වෙලත් නෑ. පාර්ලිමේන්තුවටවත් දන්වන්නේ නැතිව 1987දී ඉන්දු ලංකා ගිවිසුම අස්සන් කළා අපට මතකයි. ඒ අනුව උතුරු නැගෙනහිර භූමියට ඉන්දියානු හමුදාව ආවා. රටේ ලොකු අර්බුදයක් ඇතිවුණා. ඒක ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක්. ඒ වගේම අභ්‍යන්තරිකව ගත්තත් රට බෙදාගැනීම ඉලක්ක කරගත් දේශපාලන ක්‍රියාවලියක් හෝ ත්‍රස්තවාදී ක්‍රියාවලියක් ඇත්තේ නෑ. එනිසා ජාතික ආරක්ෂාව පිළිබඳ තේමාව කරලියට ගේන්නේ ගෝඨාව උඩට ගන්න තියෙන ඕනෑකමට මිස වෙන මොකටවත් නෙවෙයි. ඒ සාකච්ඡාවට සරත් ෆොන්සේකා මහත්තයත් හරි කැමැතියි. මම මේ රටේ ආරක්ෂාව බාර අරගෙන වැඩ කළොත් තමයි ජාතික ආරක්ෂාව බේරාගන්න පුළුවන් යැයි කියන්න එයත් හරි ආසයි. ඒක හමුදා මානසිකත්වයයි. හමුදා නිලධාරීන් දේශපාලන කරලියට පැමිණීම නිසා ඇති වූ තත්ත්වයක්. හැබැයි රටේ මහජන ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් නම් තියෙනවා.

ප්‍රශ්නය - ඔබ කියන ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයයි මහජන ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයයි අතර වෙනස මොකද්ද?

පිළිතුර- හිටපු ගමන් සිංහල අන්තවාදී කල්ලියක් මුස්ලිම් ප්‍රජාව ඉලක්ක කරගත් ප්‍රහාර එල්ලකරනවා. ඒ වගේම මුස්ලිම් අන්තවාදී කල්ලියක් කතෝලික ජනතාව ඉලක්ක කරගෙන ප්‍රහාරයක් එල්ල කළා. එක් එක් ජන කණ්ඩායම්වල මේ අන්තවාදී ක්‍රියා විසින් මහජන ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් මතුවෙලා තිබෙනවා. මහජන ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නය විසඳීමට නම් ජාතික සමගිය ගොඩනැගිය යුතුයි. ජාතික සමගිය ගොඩනගනවාය කියන එක තුවක්කු බටවලින් හෝ හමුදා කටවලින් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක ඊට වඩා අවබෝධාත්මක මානුෂීය ක්‍රියාවක්. මේ අස්සන් කළ ගිවිසුම ගැන ඇත්තම තත්ත්වය නිරාවරණයට පුළුල් කතිකාවක් අවශ්‍යයයි. වැදගත් වෙන්නේ මුලින් කරන්න යන දේ රට ඉදිරියට දාලා පාර්ලිමේන්තුවට දාලා ප්‍රබල සාකච්ඡාවකින් පසුව ගිවිසුම්වලට යෑමයි. කනගාටුවට කාරණය වන්නේ ගිවිසුම අස්සන් කළාට පසුව සාකච්ඡා නිර්මාණයට කටයුතු කිරීමයි.

ප්‍රශ්නය - පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වූ පාර්ලිමේන්තු තේරීම් කාරක සභා වාර්තාවෙනුත් ආරක්ෂාව ගැන විශේෂ අනාවරණ සිදුවුණත් ජනාධිපතිවරයා එය පිටුදකිද්දී විපක්ෂයේ ඇතැම් කණ්ඩායම් ප්‍රශ්න කළේ එහි විශ්වසනීයභාවය ගැනයි. කාරක සභාවේ එක් නියෝජිත පාර්ශ්වයක් හැටියට මේ විග්‍රහ හා පිටුදැකීම් ගැන කියන්නේ මොකක්ද?

පිළිතුර - මෙතන මූලික වන්නේ මේ කාරක සභාවට කැඳවන ලද අය දෙන ලද උත්තර මත සකසන ලද වාර්තාවක් වීමයි. මේක මේ කාරක සභාවේ කතාවක් නෙවෙයි. එහි සටහන් වෙන්නේ සාක්ෂි දුන් අයගේ ප්‍රකාශයි. ඒවා මතින් ඇතිකරගත හැකි නිගමනයි. මෙවැනි වාර්තාවක් නිකුත් කළාම ඒකත් දේශපාලනිකව අර්ථනිරූපණය කිරීම අපේ රටේ සාමාන්‍ය දෙයක්. එහෙත් අපි ඒ වාර්තාව දෙස බැලිය යුත්තේ විනිශ්චයකරුවන්ගේ ප්‍රකාශනයක් හැටියට නෙවෙයි. ඒක වුණත් පුළුල් ලෙස සාකච්ඡාවට ගන්න පාර්ලිමේන්තුවට පුළුවන්. මොනවා වුණත් ජනාධිපතිවරයාගේත් ආරක්ෂාව හා බැඳුණු වගකිවයුත්තන්ගේත් වගකීම නිසි පරිදි ඉටු වෙලා නෑ කියලා අපි පිළිගන්න ඕනෑ. එහෙම ඉටුවෙන තත්ත්වයක් තිබුණා නම් අප්‍රේල් 21 ප්‍රහාරය වලක්වාගැනීමට හොඳටම ඉඩකඩ තිබුණු බව ජනතාව දන්නවා.

ප්‍රශ්නය - ජනාධිපතිවරණය ආසන්න වෙද්දී ඇමෙරිකානු, ඉන්දීය හා චීන වශයෙන් මතුවන දේශපාලන කඳවුරු බෙදීමක් හා ඒවාට අපේක්ෂකයන් පාක්ෂික බවට වූ විවේචනයක් මතුව තිබෙනවා. ජාතික ජන බලවේගයේ විදෙස් ප්‍රතිපත්තිය අනුව මේ ජාත්‍යන්තර දේශපාලන ආරාවුල ලිහාගන්නේ කොහොමද?

පිළිතුර - විවිධාකාරයේ බලපෑම් අපේ රටට තිබෙන බව අපි පිළිගන්න ඕනෑ. ඉන්දියාව හා ඇමෙරිකාව ගත්තමත් ඔවුන්ගේ න්‍යාය පත්‍රවලට අනුව අපේ රටේ කටයුතුවලට නිරන්තරයෙන් අතපොවලා තිබෙනවා. මෙවැනි වෙලාවල අපේ රටේ ආර්ථිකයට, සමාජ ජීවිතයට ඒගොල්ලන්ගේ පැත්තෙන් කරන බලපෑම අනිවාර්යයෙන්ම කරනවාමයි. කවුරු හරි එහෙම නෑ කියනවා නම් ඒක බොරුවක්. ඒ බලපෑමෙන් මිදිලා අපේ ස්වාධීනත්වය තියාගෙන ඒ අයත් එක්ක කරන ගනුදෙනුවත් පවත්වාගන්නේ කොහොමද කියලා මේ රටේ දේශපාලකයොත් මහජනතාවත් දැනගන්න ඕනෑ. අපේ රටේ දේශපාලන ඉතිහාසය දිහා හැරිලා බැලුවාම බලයට ආපු අය මේ එකේක කඳවුරු සරණ ගිය බව අපි කවුරුත් දන්නවා. ජේ.ආර්. ජයවර්ධනගෙ කාලෙ අපේ රටේ තනිකරම අරගෙන ගියේ ඇමෙරිකන් ප්‍රතිපත්තියට ඕනෑ විදියට. අවසානයේදී ඒකෙම ප්‍රතිඵලයක් විදියට මේ රට ඉන්දියාවට පාවාදෙන්න ඔහුටම සිද්ධ වුණා. 1988-1989 කියන්නේ ඒ පාවාදීමට එරෙහිව මේ රටේ පැන නැගුණු අරගලය. ජනතාව මේ පිළිබඳව වැටහීමෙන් ඉන්න ඕනෑ. හේතුව ඇමෙරිකාවෙම පුරවැසියෙකුත් මේපාර ජනාධිපතිවරණයට ඉල්ලනවා. ඔහු තාමත් ගිවිසුම් මගින් ඇමෙරිකාවත් සමඟ බැඳී සිටින කෙනෙක්. ඔහුගේ පවුල්වල අය තාම ජීවත්වෙන්නේ ඇමෙරිකාවේ. ඇමෙරිකාවට අනන්‍ය වූ ඇමෙරිකානු පුරවැසියකු වූ එක කකුලක් ඇමෙරිකාවේ තබාගෙන සිටින අපේක්ෂකයෙක් රටේ ජනාධිපති කරන්න දඟලන දැඟලිල්ල දිහාම බැලුවාම තවත් මොන බුද්ධිමය සංවාදද කියලා එක පැත්තකින් හිතෙනවා. ඒ කඳවුරේම අය තමයි වැඩිපුරම ඇමෙරිකානු ආක්‍රමණ, ඇමෙරිකානු බලපෑම පිළිබඳව සාකච්ඡා කරන්නේ. ඇත්තටම ගෝඨාභය වෙනත් දේශපාලන පක්ෂයක අපේක්ෂකයකු විදියට පැමිණියා නම් ඔය විමල් වීරවංශ, උදය ගම්මන්පිල, ඒ වටා පෙලගැහිලා ඉන්න සංවිධාන මොන තරම් කුලප්පු වෙලා දඟලනවද කියලා බලන්න තිබුණා. ඇමෙරිකන්කාරයෙක් කරේ තියාගෙන ඒ ගොල්ලම ඇමෙරිකානු බලපෑම් ගැන කතා කිරීම හරිම විහිළු සහගතයි. එහෙත් මේ යුගයේ ආක්‍රමණවලට වඩා ගිවිසුම් වැනි යටින් කරන ගනුදෙනුවලින් අපේ පාලකයෝ බලයට එන්න තිබෙන වුවමනාවට කරන්නේ මොනවද කියලා විමසිලිමත් වෙන්න ඕනෑ.

ප්‍රශ්නය - ප්ලොට්, ටෙලෝ, ඊ.පී.ආර්.එල්.එෆ් ඇතුලු දේශපාලන පක්ෂවල එකමුතුවෙන් දකුණේ ජනාධිපති අපේක්ෂකයන්ට යම් දේශපාලන යෝජනාවලියක් ඉදිරිපත් වුණා. ඉන්පසුව තැපැල් ඡන්දය අවස්ථාවේ දෙමළ ජනතාවට යම් මාර්ගෝපදේශ දෙන තත්ත්වයකුත් දෙමළ දේශපාලන නායකත්වයෙන් සිදුවුණා. ජනාධිපතිවරණය ජයගැනීමට උතුරේ ඡන්ද බලපෑම තීරණාත්මක තත්ත්වයක මේ දේශපාලන යෝජනා ජාතික ජනබලවේගය සැලකිල්ලට ගන්නවාද?

පිළිතුර -  උතුරේ ප්‍රභූ දේශපාලනයක් තිබෙනවා. ටී.එන්.ඒ නියෝජනය කරන්නේ ඒ ප්‍රභූ දේශපාලනය. මේ ප්‍රභූ දේශපාලනය විසින් උතුරේ සාමාන්‍ය ජනතාව දැඩි පීඩාවකට පත්කරලයි තිබෙන්නේ. දකුණේ හා නැගෙනහිර වගේම තමයි. ඔවුන් ආණ්ඩු එක්ක සම්බන්ධ වුණා. ගිවිසුම් ගැහුවා. ආණ්ඩු රැක්කා. එහි ප්‍රතිපලයක් විදියට ඇත්තටම මේ දෙමළ දේශපාලන ව්‍යාපාර ගැන උතුරේ ජනතාව සිටින්නේ කලකිරීමෙන්. දකුණේ රනිල්ලාට රාජපක්ෂලාට වගේම උතුරේත් මහපොළොවේ දැවැන්ත විරෝධයක් මේ ප්‍රභූ දේශපාලනඥයන්ට තිබෙනවා. ඒ විරෝධය සමනය කරගැනීමට කළමනාකරණය කරගැනීමට හා නැවතත් ඒ ජනතාව තමන්ට ඇඳ බැඳගැනීමට ඔවුන් මේ මොහොතේ ජාතිවාදී අන්තවාදී ස්වරූපයකින් කටයුතු කරනවා. එහෙම නොකර ඒ අයට දෙමළ සමාජය තුළ ප්‍රතික්ෂේප නොවී ඉන්න අමාරුයි. රට බෙදන කතා, ඊලාම්වාදී කතා, වෙනම පාලන කතා වැඩි වැඩියෙන් ඉදිරියට ගැනීමට ඔවුනුත් බලනවා. මේක එවැනි සමයක්. ඒ අර්ථයෙන් තමයි අපි ඕක දිහා බලන්න ඕනෑ. ඉතා පැහැදිලිව ඕක දෙමළ දේශපාලකයන් දෙමළ සමාජය රැවටීම ඉලක්ක කරගෙන කළ වැඩක්. දෙමළ දේශපාලකයන්ගෙන් මේ අයුරින්ම බරපතළ බෙදුම්වාදී අන්තවාදී යෝජනා මීට පෙරත් සන්නද්ධ අරගල නැති යුගයේත් ඉදිරිපත් වෙලා තිබෙනවා. හැබැයි ඒවා යථාර්ථයක් වුණේ නෑ. ඒවායින් වුණේ ජනවර්ග අතර සැකයක් දුරස්ථභාවයක් නිර්මාණය කරලා මානසිකව බෙදිලා විසිරිච්ච එක විතරයි. මේ ඉදිරිපත් කරලා තිබෙන යෝජනාවලිය ජාතික සමගියට අතිශයින්ම බාධාකාරියි. එනිසා ඒ යෝජනාවලිය කිසිදු දේශපාලන ව්‍යාපාරයක් බාරගනීවි කියලා අපි විශ්වාස කරන්නේ නෑ. අපි නම් බාරගන්නේ නෑ.

ප්‍රශ්නය - අනුර කුමාර දිසානායකට දෙන ඡන්දයක් කියන්නේ ගෝඨාභය රාජපක්ෂට දෙන ඡන්දයක් යැයි කතාවක් නිර්මාණය වී තිබෙනවා. රාජපක්ෂ විරෝධී මෙන්ම ජ.වි.පෙ හිතෛශී කඳවුර නියෝජනය කළ පිරිස් පවා මේ තර්කය ගේන ආකාරය දකින්න පුළුවන්. වාමාංශික අර්ථයෙන් ප්‍රධාන ප්‍රතිවිරෝධය ගෝඨාභය කියා සිතන්නැයි ඔවුන් ජාතික ජනබලවේගයට කරන ආරාධනය පිළිගන්නවද?

පිළිතුර -  ඔය ප්‍රධාන ප්‍රතිවිරෝධය කියන කාරණය රාජපක්ෂ පිලෙන් ගන්නේ වෙනත් අර්ථනිරූපණයක් දීලා. ඔය සජිත්ට පහුගිය කාලේ පතුරු යන්න ගහපු මාධ්‍යවේදීන් හා ටයිකෝට් දාන මහත්තුරුම තමයි දැන් සජිත්ව බදාගෙන ඉන්නේ. ඔය සිවිල් සංවිධාන හා ඔය කියන මතය දරන උගත්තු බුද්ධිමත්තු කියන්නේ මේ මොහොතේ එක්තරා ආකාරයකට ත්‍රස්තවාදය පතුරුවන පිරිසක්. ජනතාව බියට පත්කරලා ඡන්ද කිරීම ත්‍රස්තවාදී ක්‍රියාවක්. දැන් අද ඒගොල්ලන් ගෝඨාභය නමැති බිය මතුකරලා තමයි ඡන්ද කරන්නේ. ඒක පැහැදිලිවම ත්‍රස්තවාදයක්. අපි ඒ අයට කියන්නේ සජිත්ගෙ ප්‍රතිපත්ති, සජිත්ගේ වටිනාකම හෝ සජිත් දිනුවොත් කරන දේ ගැන කියලා ඡන්දෙ කරන්න කියලයි. එහෙම කරන්න ඒ මහත්තුරුන්ට බෑ. සජිත් අපේක්ෂකයකු හැටියට එනවා යැයි කී මොහොතේ පටන් ඔය බලඇණිය සජිත්ට පතුරු යන්න ගැහුවා. ගහලා ඉවර වෙලා කරූව ගේන්න තමයි බැලුවේ. ඒක බැරි වුණාට පස්සේ සජිත් ළඟට පල්ලම් බැහැලා. ඒත් සජිත් ගැන සමාජයේ ගැඹුරු සාකච්ඡාවක් ගන්න බැරි නිසා ගෝඨා ආවොත් අපිව කනවෝ කියාගෙන ඡන්ද ව්‍යාපාරයක් කරගෙන යනවා. ඒක ත්‍රස්තවාදයක්. ඒ ගොල්ලො කියන්නෙ ඒ වුණාට තමන් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදීන් කියලයි. අපට කියන්න තියෙන්නෙ මෙච්චරයි. අපි ගන්නෙ අපේ ඡන්ද. සජිත් ගනීවි සජිත්ගෙ ඡන්ද. ගෝඨා ගනීවි ගෝඨගෙ ඡන්ද. ඒ අනුව දිනන පරදින එක තීරණය වේවි. අපට අපේ ඡන්ද ගන්න තිබෙන අයිතියට පහරදීමම ප්‍රජාතන්ත්‍ර විරෝධීයි. ඒ ගොල්ලන්ට ඕනෑ ගෝඨාව පෙන්නලා මේ පවතින ජඩ සමාජ, දේශපාලන සංස්කෘතිය ඉදිරියට ගෙනියන්නයි. මොකද ඒ ගොල්ලන්ගෙ වටිනාකමයි පැවැත්මයි තිබෙන්නෙත් මේ ජඩ ක්‍රමය මත. එනිසා මිනිසුන් භීතියට පත්කර ඡන්ද කිරීම කවර ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණයක්ද කියලා ඒ අයම පැහැදිලි කරන්න ඕනෑ. මම නම් ඔවුන්ව පිළිකුලෙන් හෙලා දකිනවා.

ප්‍රශ්නය - සජිත් ජනපති වුණොත් රනිල් අගමැති යැයි කියද්දී ගෝඨාභය ජනාධිපති වුණොත් මහින්ද අගමැති යැයි කියනවා. අනුර ජනාධිපති වුණොත් කවුරු අගමැති වේවි ද?

පිළිතුර - මෙහෙමයි. රනිල් වික්‍රමසිංහ හෝ මහින්ද රාජපක්ෂ අගමැති කිරීම නොකිරීම කියන සාකච්ඡා මතුවෙලා තිබෙන්නේ මේ ඡන්ද ඉලක්ක කරගෙන වගේම ඒ ඒ දේශපාලන පක්ෂ ඇතුළේ තිබෙන දේශපාලන අර්බුද කළමනාකරණය කරගැනීම ඉලක්ක කරගෙනයි. එක්සත් ජාතික පක්ෂය ඇතුලේ සජිත් හා රනිල් කියලා දෙපිලක් ඇති බව කවුරුත් දන්නවා. ඊළඟට මහින්දගෙ අනාගතයට මොකද වෙන්නේ කියන එකට පොහොට්ටුවේ සාමාජිකයෝ බරපතළ අර්බුදයක ඉන්නේ. ගෝඨා ඇවිත් මහින්දටත් පයින් ගහලා යාවිද කියන ප්‍රශ්න එම කඳවුරේත් තිබෙනවා. මොකද රාජපක්ෂ මහත්තයගෙ දේශපාලනය පවත්වාගෙන යන්න හා එය උඩට ගන්න ඕනෑ කරන පිරිසක් පොහොට්ටුවෙත් ඉන්නවා. ඒ අය ගෝඨාට කැමැති නෑ. ඒ නිසා පොහොට්ටුවෙත් ගැටුමක් තිබෙනවා. ඉතින් අපේ ජාතික ජනබලවේගය ඇතුළේ එහෙම ගැටුම් නෑ. එවැනි ගැටුමක් නැති නිසා එවැනි අරමුණකින් මෙවැනි ප්‍රකාශ කරන්න අපිට ඕනෑකමක් නෑ.

ප්‍රශ්නය - 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් පසුව ආණ්ඩුකරණයේදී විශාල වැඩකොටසක් පැවරෙන්නේ අගමැති ප්‍රමුඛ කැබිනට්ටුවටයි. ජනපති හැටියට පත්වන අපේක්ෂකයාට ජාතික ප්‍රශ්න විසඳීමේදී ආණ්ඩුකරණයට සම්බන්ධ වීමට සිදුවන්නේ කැබිනට්ටුව හරහායි. ජාතික ජනබලවේගය ආණ්ඩුකරණයට සම්බන්ධ වන්නේ කොහොමද?

පිළිතුර - ජනාධිපතිවරණය ඉවර වෙන විදිය අනුව තමයි කාටත් එතැනින් එහා ක්‍රියාවලිය ගණන් හදන්න වෙන්නේ. කවුරු හරි ජනාධිපතිවරණයෙන් පසුව දේශපාලන කළමනාකරණය ගැන කියනවා නම් ඒ කියන කතා හරියට සුනාමියක් ආවොත් කියලා ළමයින්ට ලියන්න දෙන රචනා වාගේ තමයි. එතැනින් එහාට දේශපාලනය ගමන් කරන්නේ ජනාධිපති එන්නේ 50% අරගෙනද, නැත්නම් දෙවැනි මනාපය ගැනලාද, ඡන්ද බෙදී යන ආකාර, අනෙකුත් දේශපාලන කණ්ඩායම් හැසිරෙන ආකාරය කෙසේද කියන කාරණාත් එක්කයි. ඇත්තටම ගත්තොත් 16 වැනිදා වනතුරු මේ ඉදිරි දින දොළහේත් මේ රටේ දේශපාලන කණ්ඩායම් විවිධ බලවේග එහාට මෙහාට චලනය වීමේ ඕනෑ තරම් ඉඩ තිබෙනවා. ඒ ලංකාවේ දේශපාලනයේ හැටි. මේ එහාට මෙහාට කට්ටි පනින දේශපාලනය නිසා දේශපාලනය පිළිබඳ ස්ථාවර මතයක් ජනතාවටවත් සමාජයටවත් හදාගන්න බෑ. එනිසා යම් පුද්ගලයෙක් ජනාධිපති වුණාට පස්සේ තමයි එතැන් සිට බලය සඳහා කරන කටයුතු කාට වුණත් තීරණය කරන්නට වෙන්නේ. ඉන් මෙහා කියන කතා ඔක්කොම අවිද්‍යාත්මකයි.

සංවාද සටහන
බිඟුන් මේනක ගමගේ



අදහස් (0)

මහජන ආරක්ෂාව අනතුරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

කොලම

ජනමතය උරගා බැලීමක්
2025 මාර්තු මස 28 275 0

මෙවර කිවිදා දැක්ම ලියන්නේ පළාත් පාලන මැතිවරණයට නාමයෝජනා භාර දී ඇති කාලයකය. පළාත් පාලන මැතිවරණය අවසාන වරට පැවැත්වුණේ 2018 වර්ෂයේදීය. ඒ පැවැත්වූයේත් නියම


ආර්ථ්ක නවෝදයකට යා යුතු මග
2025 මාර්තු මස 24 209 0

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව 2024 වසරේදී මෙරට ආර්ථිකය සියයට 5.4කින් වර්ධනය වී තිබේ. එය සුවිශේෂ වන්නේ වසර කිහිපයක් තිස්සේ ආර්ථිකය සං


හොරුන් ඇල්ලීමේ නාටක
2025 මාර්තු මස 21 397 1

අත්අඩංගුවට ගැනීම ම දඬුවමක් වන තැනට අද ලංකාවේ නීති පද්ධතිය පහත වැටී තිබීම අප බරපතළ ලෙස සැලකිල්ලට ගත යුතු කරුණකි. පුද්ගලයකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනා


ආරක්ෂාව නිදහස විවරණයක්
2025 මාර්තු මස 17 151 1

ඉතිහාසයේ ආරම්භයේ සිටම ශිෂ්ටාචාර වේගයෙන් වෙනස්වන තත්වය සහ ප්‍රමුඛතා හරහා සමාජයේ මූලික අවශ්‍යතා දෙකක් වන ආරක්ෂාව සහ නිදහස යන දෙක අතර නිවැරදි සමතුලිතතා


සතුරු දඩයමේ දේශපාලනය
2025 මාර්තු මස 14 1100 4

මේ දිනවල රටේ මතුවෙමින් පවතින දේශපාලනය තේරුම් ගැනීමත් තරමක් අපහසුය. ආණ්ඩුවේ අවධානය යොමු වී තිබෙන්නේ පුදුම සහගත ගැටලුවලටය. අය – වැය පිළිබඳ පාර්ලිමේන්තු


රට යන ගමන නිවැරැදිද?
2025 මාර්තු මස 10 1276 4

වත්මන් ආණ්ඩුව පැති දෙකකින් අසාර්ථක බව මගේ තක්සේරුවයි. එකක් දේශපාලනික පැතිකඩයි. ජරාජීර්ණ වූ දේශපාලන ක්‍රමය වෙනස් කිරීම සඳහා අවශ්‍ය ව්‍යවස්ථානුකූල ප්‍


මේවාටත් කැමතිවනු ඇති

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 317 1
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 863 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 806 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

Our Group Site