IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


මහතැන් වට්ටා පොඩ්ඩන් රැකීම හරිද

සටහන - බිඟුන් මේනක ගමගේ    

රටේ ආර්ථිකය හා ඉදිරි ගමන සම්බන්ධයෙන් දේශපාලන ලෝකයේ තිබෙන්නේ පෑහිය නොහැකි විවාදයකි. අර්බුදය හමුවේ එකිනෙකාට ඇඟිල්ල දිගු කළ ද සෑම දෙයකම අවසන් ප්‍රතිඵලය පොදු ජනතාවටය. මේ වනවිට දළ දේශීය ආදායම ඩොලර් 3900ක් යැයි කියති. එහි නවතම අගය 4000 යැයි උපකල්පනය කළ ද සත්‍යය නම් මේ රටෙහි දරිද්‍රතාවෙන් පීඩාවට පත් මිනිසුන් සැලකිය යුතු සංඛ්‍යාවක් ජීවත් වීමය. වේල් තුනක් කුස පුරවාගන්නට බැරි මිනිසුන්ගේ ප්‍රතිශතය රටේ ජනගහනයෙන් 20%කට වැඩිය. තවත් 50% ක ජන කොටසක් සිටින්නේ සිය එදිනෙදා ජීවිත පහසුවෙන් ගතකළ හැකි තත්ත්වයක නොවේ. 

අධ්‍යාපනය, ප්‍රවාහනය, නිවාස ආදී මූලික අවශ්‍යතාවලට ඔවුනට ඇති ප්‍රවේශය සතුටුදායක නැත. මේ නිසා රටේ දියුණුව තීරණය වන්නේ බදු පිළිවෙතට වඩා ඇති වත්කම් රැකගනිමින් නැති වත්කම් ඇතිකරගන්නා තැනකට කටයුතු සම්පාදනය කිරීමෙනි. බදු ප්‍රතිපත්තිය සැකසීම අපහසු දෙයක් නොවේ. එයින් තීරණය වෙන්නේ කාගෙන් ගෙන කාට දෙනවාද යන්නයි. අප බරපතළ අවධානය යොමුකළ යුත්තේ රටේ වත්කම් දියුණු කරගැනීම සම්බන්ධයෙනි. 

මෙහිදී දේශීය ව්‍යාපාරිකයන්ට අතහිත දීම රජය බරපතළ ලෙස සැලකිල්ලට ගත යුතු කරුණකි. දේශීය ව්‍යාපාරවලට ලෝක වෙළෙඳපොළේ ගොස් තරග කිරීමට හැකි වාතාවරණයක් නිර්මාණය කරදීම රාජ්‍ය වගකීමකි. එමෙන්ම අපේ දුප්පත් මිනිසුන් මහන්සියෙන් උපයාගන්නා වත්කම්වලින් කොපමණ ප්‍රතිශතයක් විදේශවලට ගලායන්නේදැයි සෙවිය යුතුය. බහුජාතික සමාගම්වලින් සූරාකන වෙළෙඳපොළ වෙනුවට දේශීය ව්‍යවසායකයන්ගේ වෙළෙඳපොළ ප්‍රසාරණය කරන්නේ කෙසේදැයි සිතිය යුතුය. ව්‍යවසායකයන් නිපැයුම්කරුවන් දිරිමත් කළ යුතුය යන්න කලක තිස්සේ කියන කතාවකි. නව නිපැයුම් නව තාක්ෂණය ගැන උනන්දු වීම මෙන්ම සේවා වෙනුවට සන්නාම විකුණන තැනට අප යා යුතුය. සැබැවින්ම ඒ සම්බන්ධයෙන් මගේ විරුද්ධත්වයක් නැත. එහෙත් පැවැති ආණ්ඩු කිසිවක් නොකළේම ලංකාවෙන් ජගත් කරළියට ගොස් තරග කරන විශාල පරිමාණයේ සමාගම්වලට පවතින තත්ත්වය තුළ ක්‍රියාත්මක විය හැකිද යන්න නොසෙවීමය. 

නව ව්‍යවසාය සම්බන්ධයෙන් ඇතැම්විට ජනමාධ්‍ය මගින් ඇතිකරන ප්‍රචාරණය නිසා අප ඇතිකරගන්නේ යථාර්ථයෙන් ඔබ්බට ගිය සිහිනය. නව ව්‍යවසායකයන්ගේ බිහිවීම නරක දෙයක් නොවේ. එහෙත් කතරගමින් බිහිවන ව්‍යවසායකයකු කෙටි කලෙකින් චීනයට, ඇමෙරිකාවට, සිංගප්පූරුවට අභියෝග කරන මට්ටමට පත්වනු ඇතැයි අපට ප්‍රායෝගිකව සිතිය නොහැකිය. එහෙත් ජෝන් කීල්ස්, හේලීස්, එයිට්කන් ස්පෙන්ස්, ලාෆ් වැනි සමාගමකට ඊට ඇති ඉඩකඩ වැඩිය. හැකියාව, දක්ෂතාව, ව්‍යාපාරික ඥානය මෙන්ම අත්දැකීම් ආදිය ඊට බලපායි. ප්‍රතිපත්ති සම්පාදකයන් වැඩි බරක් තැබිය යුත්තේ එවැනි සමාගම් දිරිමත් කරන්නටය. එහෙත් දැන් සිදුවන්නේ එවැනි සමාගම්වලින් හැකි තරම් සාරය උරාගැනීමය. එවැනි සමාගම්වල ප්‍රතිආයෝජන ප්‍රමාණය වැඩිකරගැනීමට ආණ්ඩුවලට ඇති සැලසුම් මොනවාද? ප්‍රතිපත්ති සම්පාදකයන් මෙතෙක් ඔවුන් සම්බන්ධයෙන් අනුගමනය කළ පියවර මොනවාද? රටෙහි ආර්ථික වශයෙන් නව ජීවනයක් ඇතිකිරීමට නම් බලධාරීන් මේ ප්‍රශ්නවලට පිළිතුරු සොයාගත යුතුය. 

රටක ආර්ථිකයෙහි ප්‍රසාරණයට විදෙස් ආයෝජනවලින් සැපයෙන්නේ නොමඳ පිටුබලයකි. එහෙත් ආයෝජන සමස්තයක් වශයෙන් විදේශීය වුවහොත් අපේ රටට ලැබෙන ප්‍රතිලාභය වනු ඇත්තේ රැකියාවලින් ලැබෙන අගය පමණි. එම ප්‍රතිලාභය ලැබෙන්නේ දේශීය ව්‍යාපාරවලට තිබෙන වෙළෙඳපොළේ පරිමාව අහුරා නම් එය ශුද්ධ ලාභයක් බවට පත්වන්නේ නැත. ඇත්ත වශයෙන්ම එයින් ප්‍රතිඵලයක් නැත. රජයක් හැටියට සුබසාධනය, සෞඛ්‍ය, අධ්‍යාපනය, මාර්ග සංවර්ධනය වෙනුවෙන් මුදල් කොහෙන් ලබාගන්නේ ද යන්න සැලකිල්ල යොමුකිරීමේ දී ප්‍රධානතම ප්‍රශ්නයක් නොවේ. දේශපාලකයන් කළ යුත්තේ රටේ ආර්ථිකය ගොඩනැංවීමය. දේශපාලකයන්ගේ ක්‍රියාකාරකම් මනිනා එකම මිනුම නම් රටේ ආර්ථිකය වෙනුවෙන් පවතින ප්‍රතිපත්ති සහ ආර්ථිකය දියුණු කර ඇති ප්‍රමාණයයි. රටේ පවතින සියලුම ප්‍රශ්නවලට අවසානයේ දී බලපාන්නේ ආර්ථිකයයි. දේශපාලකයන්ගේ යොමු, දැක්ම හා උදේ සිට රෑ වනතුරු ක්‍රියාකාරකම් කේන්ද්‍ර විය යුත්තේ ඒ දෙසටය. 

මහා පරිමාණ ව්‍යාපෘති ඔස්සේ යටිතල පහසුකම් සංවර්ධනය කරන්නේ රටේ කාර්යක්ෂමතාව වැඩි කිරීමටය. කාර්යක්ෂමතාව වැඩිකරගැනීමට නම් අප පෙර කතා කළ කාරණා ගැන ප්‍රතිපත්තිමය වශයෙන් බර තැබීමක් අවශ්‍ය වේ. ඒ නිසා යටිතල පහසුකම් දියුණු කළ විට විදේශ ආයෝජකයන් පැමිණ ඒ සියල්ලේ වාසිය ගන්නේ නම් දේශීය ව්‍යාපාරිකයාට ඵලක් නැත. උදාහරණයකට දක්ෂිණ අධිවේගී මාර්ගය ඉදිකිරීම ගමු. එයින් ඍජුව ඉලක්ක වන ගාල්ල වැනි නගරයක සංචාරක ක්‍ෂේත්‍රයෙහි පෙරළිකාර වෙනසක් වීමට අධිවේගය බලපා තිබේ ද? නොඑසේම හෝටල්කරුවන් කීප දෙනෙකු සංඛ්‍යාත්මකව වැඩි වී මහා පරිමාණ හෝටලයක් දෙකක් පමණක් ඉදි වී තිබේද? කර්මාන්ත වශයෙන් අලුතින් ආරම්භ කළ දේ කුමක් ද? අප ගැඹුරින් සිතිය යුතු දේ මේවාය. රටේ නිෂ්පාදන ක්‍රියාවලිය තීව්‍ර නොවී සිදුකරන ප්‍රදර්ශනාත්මක දේවලින් ඵලක් නැත. 

දීර්ඝ කාලීන ප්‍රතිපත්ති ඔස්සේ රට සංවර්ධනය කිරීමට නොහැකිව තිබෙන්නේ අපේ රටේ පවතින දේශපාලන අස්ථාවරභාවය හා දේශපාලන සංස්කෘතිය නිසාය. රාජ්‍ය යනු ආණ්ඩු නොවේ. ආණ්ඩු වෙනස් වුවද රාජ්‍ය ප්‍රතිපත්ති ස්ථිරසාරව පැවතිය යුතුවේ. එහෙත් ලංකාවේ රාජ්‍ය ප්‍රතිපත්තිවලට ජාතික ප්‍රතිපත්තියක් නැත. ආණ්ඩු වෙනස් වන වාරයක් පාසා ප්‍රතිපත්ති ද වෙනස් වේ. එය එපමණකින් නොනැවතී එකම ආණ්ඩුවේ කැබිනට් සංශෝධනයක් සිදු වූ පමණින් පවා ඇමැතිවරයා සමඟ ප්‍රතිපත්ති වෙනස් වේ. අවුරුදු දහයක පමණ කාලයක් උදෙසා ගත් තීන්දුව මාස දෙක තුනකින් වෙනස්වීමට මේ දේශපාලන අස්ථාවරභාවය බලපායි. නිවැරැදි ප්‍රතිපත්ති සම්පාදනය මෙන්ම ඒවා දීර්ඝ කාලීනව පවත්වාගෙන යාම දේශපාලකයන්ගේ මූලික වගකීමකි.

ක්‍ෂේත්‍රයක සංවර්ධනයට බුද්ධිමතුන් අවැසිය. මා මෙහිදී බුද්ධිමතුන් යන්නෙන් අදහස් කරන්නේ හුදු ආචාර්ය මහාචාර්ය පදවි දරන්නෝ නොවෙති. යම් ක්‍ෂේත්‍රයක ඇති හසළ අත්දැකීම් ඔස්සේ රටට වැඩක් කළ හැකි පිරිස්ය. රට තුළ වැඩ පටන්ගෙන වැඩ පෙන්වා ව්‍යාපාර සාර්ථක කරගෙන රටට විශාල ආදායමක් ලබාදෙන එවැනි වැඩකාරයෝ මේ රටේ කොතෙක් වෙති. ඔවුහු ඒ ක්‍ෂේත්‍රවල ප්‍රායෝගිකවම නියුතු වූවෝය. විභාග සමත් කර විශ්වවිද්‍යාලවලට පිවිසි පමණින් ප්‍රායෝගික දැනුම ලැබෙන්නේ නැත. ඔවුන්ට යම් න්‍යායාත්මක දැනුමක් තිබිය හැකි වුව ද වැඩක දී වැඩි බරට යොදාගත හැකිවන්නෝ ප්‍රායෝගික ක්‍රියාකාරකම්වල නියුතුවූවෝය. දේශපාලකයන් ප්‍රශ්න අසා සාකච්ඡා කර ඔවුන්ගේ සහාය සම්මුතිකාමීව ලබාගැනීම වටී. 

ශ්‍රී ලංකාවේදී රැකියා වෙළෙඳපොළට ඇතුළු වන පුද්ගලයන්ට නියමාකාරයෙන් පාවිච්චි කිරීමට ව්‍යාපාර ලෝකයේ අවස්ථා අඩුය. ඊට හේතුව එම අවස්ථා වර්ධනය වන ආකාරයට ප්‍රතිපත්ති සම්පාදනය නොවීමය. ඒ සඳහා භාණ්ඩ හා සේවා අංශ දියුණු කළ යුතුය. අප වැඩි වශයෙන් උත්සාහ කළ යුත්තේ ශ්‍රී ලාංකිකයන්ට අවස්ථාව සැලැසීමටය. මේ වනවිට ලංකාවේ ඉහළ පරිමාණයේ රැකියාවලට පැමිණෙන විදේශිකයන්ගේ ප්‍රතිශතය ඉහළ ගොස් තිබේ. මසකට රුපියල් ලක්ෂ තිහ හතළිහක් පමණ උපයන රැකියාවල නිරත විදේශිකයන්ගේ සංඛ්‍යාව ගැන බැලුවොත් ඔබ පුදුම වනු ඇත. එසේ වන්නේ ඇයි? එම රැකියාවලට සුදුස්සෝ ලංකාවේ සිටිති. ප්‍රශ්නය වී තිබෙන්නේ එම රැකියා ඉලක්ක කරගත් ප්‍රතිපත්තිමය රාමුවක් සකස් කර නොතිබීමය. ආයෝජකයන් පැමිණිය ද ලාංකිකයන්ට රුපියල් තිස් හතළිස් දහසේ වැටුප් දී ලක්ෂ ගණන්වල වැටුප් තල සහිත රැකියා පිටරැටියන්ට ගලා යනවා නම් එහි අර්ථයක් නැත. මේවා නීති හෝ රෙගුලාසි මගින් කොන්දේසි ආකාරයෙන් කළ යුතු දේ නොවේ. ඊට ඇති එකම මග ප්‍රතිපත්තිමය පිවිසුමම පමණි.
ශ්‍රී ලංකාවේ සමාජයීය හා ආර්ථික කඩාවැටීමේ හරස්කඩක් හැටියට අපේ අධ්‍යාපන ක්‍රමය හැඳින්විය හැකිය. සැබැවින්ම විය යුත්තේ රාජ්‍ය අධ්‍යාපනය ආරක්ෂා කරගනිමින් දුප්පත් දරුවන්ට අධ්‍යාපනයේ අයිතිය තහවුරු කරන අතර අධ්‍යාපන ක්‍රමය ලිබරල්කරණයයි. ලෝකය සමඟ තරග කිරීමට නම් අප පෞද්ගලික විශ්වවිද්‍යාලවලටත් ඉඩ දිය යුතුය. අධ්‍යාපනයේ තත්ත්වය සම්බන්ධයෙන් වගකීම දරන්නා හැටියට අධ්‍යාපනය නියාමනය කිරීමේ අයිතිය රජය සතු විය යුතුය. ඉතිහාසය, භූගෝලය, සමාජ අධ්‍යයනය ආදී විෂය නොව රටකට අගය නිර්මාණය කළ හැකි ලෝකයට අදහස්, භාණ්ඩ, සේවාවලින් තරගයක් දිය හැකි කණ්ඩායමක් බිහිකිරීම අපේ ඉලක්කය විය යුතුය. නීතිවේදීන්, ඉංජිනේරුවන්, තාක්ෂණවේදීන්, ගණකාධිකාරීන් ආදීන් විදේශ රැකියා වෙළෙඳපොළට ඉලක්ක කරගැනීමට උත්සාහ කළ යුතුය. අපේ අධ්‍යාපන ක්‍රමයේ තත්ත්වය නරක නැත. එහෙත් වෛද්‍ය අධ්‍යාපනය පතා අද වනවිට ලාංකික දරුවන් යන්නේ චීනයටය. නේපාලයටය. බංගලාදේශයටය. මේ රටවලට වඩා අධ්‍යාපනයෙන් උසස් තැනක සිටියදීත් එසේ දරුවන් පිරිසක් රටින් පිටමං වෙන්නේ ඇයි? ඒ අන් කිසිවක් නොව කුහකකමය. පළමුව කළයුත්තේ මේ චින්තනය වෙනස් කරගැනීමය. එසේ නොවන තාක්කල් අපට සැමදා කරන්නට සිදුවන්නේ ප්‍රතිපත්ති ගැන කතා කරමින් දුප්පත්කම බදා වැළඳගෙන සිටින්නටය. 
අපට රටක් හැටියට ප්‍රගතිය කරා යන්නට දුෂ්කර වී ඇති තවත් බාධකයක් නම් ජනප්‍රිය මිථ්‍යා මතය. අපි ශ්‍රී ලංකාවේ භූගෝලීය පිහිටීම, ස්වාභාවික සම්පත්, වාසනාව, පරිසර සුන්දරත්වය ගැන කතා කරමින් සිටිමු. ඒවා වර්ණනා කරමු. ඇතැම්විට මේ වර්ණනාව අතිශයෝක්තියක් කරා යන අතර එය විසින් සිදුකරනු ලබන්නේ අප යථාර්ථයෙන් ඈත් කරවීමය. මේ සියලුම කාරණා සම්බන්ධයෙන් තරගයක් ඇති බව අප අමතක කළ යුතු නොවේ. උදාහරණයකට උණවටුන, ආරුගම්බේ, පාසිකුඩා යනු ලොව හොඳම මුහුදු වෙරළ යැයි ශ්‍රී ලාංකිකයන් හැටියට අප සිතන්නට කැමැතිය. එහෙත් ලෝක යථාර්ථය වන්නේ තවත් රටවල් රැසක මෙවැනිම සුන්දර වෙරළ තීර ඇති බවය. පරිසර සුන්දරතාව ගැන උදම් අනන අප පරිසර දූෂණය හමුවේ සිටින්නේ මුනිවත රකිමිනි. එවැනි කාරණා සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය එළැඹුමක් අපට නැත. 

අද වෙළෙඳපොළ ආර්ථිකයෙන් තොරව ආර්ථිකය ගොඩනැඟීම ගැන කතා කිරීමත් කාලය නාස්ති කිරීමකි. ස්වාභාවික සම්පත් මතම යැපී ආර්ථිකය වර්ධනය කළ හැකි වටපිටාවක් අපට නැත. සෑම අංශයකින්ම අපට පාවිච්චි කරන්නට වෙන්නේ වෙළෙඳාමය. ඛනිජ තෙල් නැත්නම් සංවෘත ආර්ථික තිබුණු හැම රටක්ම අද වනවිට කඩා වැටිලාය. කෝටි දෙකකට අධික ශ්‍රී ලාංකිකයන්ට සුරක්ෂිත ජීවිතයක් දීමට නම් වෙළෙඳපොළ ආර්ථිකය හරහා වත්කම් වැඩිකරගැනීම අනිවාර්ය සාධකයකි. අප යන්නේ තරගකාරිත්වය ගැන නොසිතා අප සතු දේවල් වර්ණනා කරන්නන් වාලේ වර්ණනා කරමින් යන ගමනකි. ලෝකයම අද වනවිට වෙළෙඳපොළකි. දිනෙන් දිනම වෙළෙඳපොළ තරගය උග්‍ර වෙමින් පවතී. යථාර්ථය එයයි. මේ වනවිටත් අප සිටින්නේ තරගයෙන් පරාද වෙලාය. අපට එයින් ගොඩ එන්නට බැරිද? සැබැවින්ම බැරිකමක් නැත. ඒ සඳහා පළමු පියවර නම් අප දැනටමත් පරාද වී ඇති බව පිළිගැනීමය. එය නොපිළිගන්නා තාක් ගොඩඑන්නට සැලසුමක්වත් සකස් කළ නොහැකිය. 

 



අදහස් (0)

මහතැන් වට්ටා පොඩ්ඩන් රැකීම හරිද

ඔබේ අදහස් එවන්න

කොලම

මාලිමාවේ ජයෙන් ඔබ්බට
2024 නොවැම්බර් මස 22 1118 3

මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්


එදා - මෙදා දේශපාලක අමුතු කතා
2024 නොවැම්බර් මස 15 962 5

මේ වන විට මැතිවරණ ප්‍රතිඵල ලැබෙමින් තිබේ. සත්‍ය වශයෙන්ම ඡන්දය දැමීමට ගිය ප්‍රතිශතය කෙසේ වෙතත් මෙවර මැතිවරණයට පෙර කාලය තුළ නම් ජනතාව අතර උනන්දුවක් තිබු


සහල් මිල ප්‍රශ්නයට විසඳුමක්
2024 නොවැම්බර් මස 11 746 0

ජනාධිපති අනුර කුමාර දිසානායක වගකීම දරන එක් විෂයක් වන්නේ කෘෂිකර්මාන්තයයි. අනෙක් අතට ආහාර සුරක්ෂිත භාවය හා සෞඛ්‍ය වැනි කෘෂිකර්මයට සම්බන්ධ ඒ මත රැඳුණු ව


අලුත් මැතිසබේ නව මන්ත්‍රීන්ගේ අභියෝග
2024 නොවැම්බර් මස 08 445 0

පාර්ලිමේන්තු මහ මැතිවරණය ලබන බ්‍රහස්පතින්දාය. සති අන්තය වන විට අලුත් ආණ්ඩුවකි. අලුතින් තේරී පත්වන මහජන නියෝජිතයන් අතුරින් කැබිනට් මණ්ඩලය තෝරා ගැනෙනු


යුගයට ගැළපෙන දේශපාලනය
2024 නොවැම්බර් මස 04 419 0

තොරතුරු සහ සත්‍ය අතර පරතරයක් ඇත. විවිධ මාධ්‍ය ඔස්සේ ලැබෙන තොරතුරු අති විශාලය. මෙම තොරතුරුවලින් සැලකිය යුතු කොටසක් ඇත්ත නොවේ. ගල් යුගයේ සිට කෘත්‍රිම බුද


මැතිවරණ පොරොන්දු සීමා නීතියක්
2024 නොවැම්බර් මස 01 2404 7

අගමැති හරිනි අමරසූරිය මහත්මිය විසින් පසුගිය දා කරන ලද ප්‍රකාශයක් අතිශයින්ම මා සිත් ගත්තේ ය. ඇය ප්‍රකාශ කර තිබුණේ තමන්ට ඉතා අවම ආරක්ෂකයන් අවශ්‍ය වුවද එ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 563 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 765 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2147 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site