IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


රට වනසන භයානක බලවේග

පනස් හයේ පෙරැළියට පදනමක් වූයේ පංච මහා බලවේගයයි. සඟ, වෙද, ගුරු, ගොවි හා කම්කරු යන බලවේගය නිදහස් ශ්‍රී ලංකාවේ ගමන් මඟ තීරණය කරන දැවැන්ත කාර්ය භාරයක නිරත විය. කාලයාගේ ඇවෑමෙන් බලවේග වෙනස් වී තිබේ. මහා සංඝරත්නයට හිමි තැන අභියෝගයට ලක්ව ඇත. වෙදකම යනු චැනල් ව්‍යාපාරයකි. ගුරුවරයෝ දුර්ලභයහ. ගුරු භූමිකාව ටියුෂන් සමඟ මිශ්‍ර වී තිබේ. ගොවියා ගේ ජීවන අන්දරය ඛේදවාචකයකි. කම්කරුවන් යනුවෙන් කොටසක් නැත. කෙටියෙන් අර්ථ දක්වන ලද නමුත් මෙම සංකේත බරපතළ සමාජ සංකීර්ණතාවලට ගොදුරු වී තිබේ. පරමාර්ථ වෙනස් වී ඇත. පරාර්ථකාමීත්වය වෙනුවට ආත්මාර්ථකාමී ලක්ෂණ මතු වී තිබේ. දියුණුව එය නොවේ. තාක්ෂණ යුගයේ සිදු වූ වර්ධනයක් යැයි දැක්විය නොහැකිය. පැවැත්ම දරුණු පරිහානියකට පත්වීමේ ඛේදවාචකය පෙන්නුම් කරයි. අලුත් පංච මහා භයානක බලවේග රට වෙලා ගෙන තිබේ. දශක හයක ඇවෑමෙන් ස්වර්ණමය යුගයක සිට පරිහානියක් දක්වා පැවැත්ම කැඳවන්නට සමත් වී ඇති විනාශකාරී බලවේග හඳුනාගත යුතුය.

භයානක බලවේග පහක් නම් කිරීම:

වත්මන් ජන සමාජයේ පැවැත්ම නරක පැත්තට හරවන්නට සමත්ව ඇති භයානක බලවේග ගණනාවක් තිබේ. එයින් පහක් වෙන් කළ හැකිය. ඒවා නූතන පංච මහා බලවේග ලෙස නම් කිරීම සුදුසුය. සදාචාරයෙන් පොහොසත්, යුක්තිගරුක සමාජයක් බිහිකරන ව්‍යායාමය පරාජය කරන්නට මෙම පස් වැදෑරුම් භයානක බලවේගවලට හැකියාව ලැබී ඇත. ප්‍රජාතන්ත්‍රවාදයේ උසස් ලක්ෂණ මගින් හෝ ස්ථිර ප්‍රතිපත්ති වලින් විශාල වෙනස්කම් රට තුළ ඇති කළ හැකිය යන විශ්වාසයක් අපට තිබේ. ක්‍රමය වෙනස් කරන ආකාරය ගැන සාකච්ඡා කෙරේ. අවසානයේ දී භයානක බලවේග පහක් එදිනෙදා පැවැත්ම පාලනය කරන්නට සමත්ව ඇත. 

භයානක පංච මහා බලවේග වශයෙන් හැඳින්විය හැකි අංශ කවරේද? මත්පැන් හා මත්ද්‍රව්‍ය ජාවාරම එකකි. මිනිස් ජාවාරම අනෙකකි. ක්‍රමයෙන් යැපෙන රාජ්‍ය තන්ත්‍රය තුන්වැනි බලවේගයයි. පාතාලය හා අන්තවාදය අනෙක් බලවේග දෙක වශයෙන් නම් කළ හැකිය. මෙකී නූතන භයානක බලවේග නම් කිරීමේ දී ඒවායේ අනුපිළිවෙළ හෝ ඒවා වෙනුවට අලුතින් එකතු කළ හැකි අංශ කෙරෙහි ප්‍රශ්න ඇති බව සැකයක් නැත. එකක් ලෙස වෙන්කර දැක්විය නොහැකි අන්දමට එකිනෙකා හා බැඳී ජාලයක් බවට පත්ව තිබේ. මෙම අංශ රට අගාධය කරා අවතීර්ණ කරන්නේ කෙසේද යන කාරණය කොටස්වලට වෙන් කර සාකච්ඡා කළ යුතුය. විනාශයක තරම එයින් අවබෝධ කරගත හැකිය. 

මත්පැන් හා මත්ද්‍රව්‍ය ජාවාරම විශාල විනාශයක් ඇති කර තිබේ. මෑත කාලීන සිද්ධි එය තහවුරු කරයි. ඉතාම දක්ෂ මිනිසුන් විශාල විනාශයක ගොදුරක් වී තිබේ. අවදානම පෙනි පෙනී, දඬුවම ගැන කිසිම අවදානමක් රහිතව මෙකී ජාවාරමට නැඹුරුවීම විශේෂයෙන් සලකා බැලිය යුතු කරුණකි. ජාවාරම්කරුවන්ට ඉතාම පහසුවෙන් බාධක මැඬගෙන ව්‍යාපාර කරගෙන යන්නට පසුබිමක් රට තුළ තිබේ. එකිනෙකා හා බැඳුණ, එකිනෙකා හා යැපෙන කණ්ඩායම් අතර බේරුම් කරගත නොහැකි තරමේ ගැටුමකින් හැර ව්‍යාපාරවලට බාධාවක් නැත. සාමාන්‍ය පුරවැසියකු බේබද්දකු වශයෙන් හංවඩු ගැහෙන රටක මත්පැන් හෝ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෝ මැති ඇමැතිවරුන් හා රජයේ නිලධාරීන් හා තද මිත්‍රකම් පවත්වති. ආරක්ෂක අංශ සමඟ සම්බන්ධතා තිබේ. රට වැසියන් ඉහළින් සිතන පුද්ගලයන්ගේ සාදවල අනුග්‍රාහකයෝ වී සිටිති. නීතිය හා යුක්තිය ගැන ජනතාව විශ්වාසයක් තබන්නේ කෙසේද?

මිනිස් ජාවාරම ක්‍රම දෙකකින් සිදුවෙයි. එකක් මුදල් අයකරගෙන බෝට්ටුවලින් වෙනත් රටකට පැටවීමය. ශ්‍රී ලංකාව මිනිස් ජාවාරම ගැන කුප්‍රකටය. අනෙක කවර ක්‍රමයකින් හෝ රට හැරයාමය. එය ද ජාවාරමකි. දියුණු රටකට ගැළපෙන සේ කඩදාසි සකස් කරගනිති. වීසා අයැදුම් කරන්නට හේතු සොයා ගැනේ. රටින් පිටත්ව වෙනත් රටක තාවකාලික හෝ ස්ථිර පුරවැසිභාවය ගැනීමෙන් පසු සිංහලයන්ගේ අයිතිය ගැන කතාකිරීම ආරම්භ කරති. රට ගැන කැක්කුමකින් ක්‍රියා කරති. අතිශය දුක්ඛිත ජීවිත ගත කරමින් මවුබිමේ ජීවත්වන වැසියන්ට වඩා ජාතිකාභිමානයක් ඇති බව පෙන්වති. රට වෙනුවෙන් වැඩ කරන්නට හැකි ඉතාම දක්ෂ මානව සම්පත රටට අහිමි වී තිබේ. ලංකාවේ දී විවිධ ක්ෂේත්‍රවල ඉහළින් සිටි පුද්ගලයෝ රටින් බැහැර වී සිටිති. ලෝකයේ වෙනත් රටක් දියුණු කරන්නට කැප වෙති. කන්ටේනරයක හිරවී, බෝට්ටුවලින් දේශ සීමා වලින් පැන යවන ජාවාරම හා කැමැත්තෙන්ම රට හැර යන පිරිස ද රටට භයානක අනාගතයක් ඉතිරි කර තිබේ.

අක්‍රමිකතාවලට මුල පවතින ක්‍රමයයි:

පවතින ක්‍රමයෙන් යැපෙන මැති ඇමැතිවරු සහ නිලධාරීහු රටට බරපතළ විනාශයක් වී සිටිති. එය මතු පිටින් පෙනෙන්නේ නැත. දූෂණ හා වංචා එක කොටසකි. වැඩ කරන්නට නොදෙන, ඒකාධිකාරය හදන, අවහිර කරන සහ තමන්ට කැමැති අයට පමණක් ඉඩ දෙන රාජ්‍ය යාන්ත්‍රණය අපරාධයකි. ඉතිහාසය පුරා සිදුවූ සිද්ධි අදටත් සිදුවෙයි. පුරවැසියන්ට සමාන, සාධාරණ අවස්ථා ජනතාව ආණ්ඩුවකින් අපේක්ෂා කරයි.  ජනතාව ඉල්ලන දේ පවතින ක්‍රමයෙන් ලැබෙන්නේ නැත. දේශපාලකයෝ හා නිලධාරීහු ඒවා තමන්ගේ බලතල වලට යටත් කරගෙන සිටිති. දේශපාලනඥයෝ හා නිලධාරීහු දූෂිත අකටයුතුකම් වල නිරතව සිටිති. අකාර්යක්ෂම හා අදූරදර්ශීය. රටට වෙනත් හානියක් අවශ්‍ය නැති තරමට එය දරුණු බව අවබෝධ කරගත යුතුය. අලුතින් හිතන, අලුතින් යමක් කරන්නට වෑයම් කරන පුරවැසියන්ට ඉඩක් නැති සමාජ ක්‍රමයකින් රට දියුණු කරගත හැකිද? ශ්‍රී ලංකාවේ ක්‍රමය මගින් බිහිකරන දූෂිත හා අක්‍රමිකතා තත්ත්වය ගැන ජාත්‍යන්තරයේ ප්‍රකටය. සංවර්ධන ව්‍යාපෘති වලින් අති විශාල නාස්තියක් සිදුවෙයි. දූෂණ හා අක්‍රමිකතා නැති කරන අරමුණ සහිත බලවේග වශයෙන්  රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන ව්‍යුහයක් තිබේ. ඒවායේ කටයුතු ද විනිවිද පෙනෙන ස්වභාවයක නැත. 

සන්නද්ධ පාතාලය පංච මහා භයානක බලවේගයේ තීරණාත්මක එකකි. පාතාල නායකයන්ගේ ජීවිත කතාව විචිත්‍රය. අයුක්තිය හා අසාධාරණය මැඬගෙන නැගී තිබේ. ආරක්ෂක හා දේශපාලන අංශ සමග මැනවින් සබඳතා ඇත. පාතාලයේ අපරාධකරුවන්ට දේශපාලනඥයන් යනු මාළුවන්ට වතුර මෙනි. කල්ලි නඩත්තු කරමින් සන්නද්ධව හැසිරෙන අපරාධකරුවන් සංවිධානාත්මකය. නූතන තාක්ෂණික යුගයේ පාතාලය මැඬ පැවැත්වීම අපහසු නැත. එහෙත් බලය සඳහා පාතාලය අවශ්‍යය. සෑම මැතිවරණයක් පාසා පාතාලය අවස්ථා හදා ගනී. බලයේ සිටින ඕනෑම පක්ෂයකට සම්බන්ධතා තිබේ. එය ජනතාවට රහසක් නොවේ. 

අවසාන වශයෙන් අන්තවාදය ප්‍රබල කාරණයකි. ජාතිය, ආගම, ආර්ථිකය හෝ ජාත්‍යන්තර සම්බන්ධතා ආදී වශයෙන් ඕනෑම ක්ෂේත්‍රයක මධ්‍යස්ථ භාවය තිබිය යුතුය. ශ්‍රී ලංකාව වැනි කුඩා රටකට සාමය හා සංහිඳියාව හැර අනෙක් මඟක් නැත. මධ්‍යස්ථභාවය වැදගත්ය. එහෙත් අන්තවාදය නඩත්තු වන ආකාරයක් පෙනේ. ජාතික හෝ ආගමික වශයෙන් අන්තවාදය තුළින් ක්‍රමය හසුරුවන අවස්ථා ඇත. අන්තවාදය ඇති කරන්නෝද දේශපාලනඥයෝය. ආණ්ඩු ඒවාට වක්‍රව ඉඩ ලබා දෙයි. ජාතිකවාදය ප්‍රශ්නයක් නොවේ. රටට ජාතිකවාදයක් නැත. ජාතිකවාදය රට එකමුතු කරන එක අරමුණකට ගොනු කළ හැකි දර්ශනයකි. එහෙත් ජාතිවාදය තිබේ. එයින් සමාජය බෙදා වෙන්කර ඇත. අනෙකා කෙරෙහි සැකය හෝ අවිශ්වාසය වැඩි කරන හේතුවකි. අන්තවාදී අදහස්වලින් ජයගත් රටවල් ලෝකයේ නැත. 

එකට සම්බන්ධ වන ධනය හා බලය:

ධනය හා බලය මත පංච මහා භයානක බලවේගවල නැඹුරුවක් තිබේ. බලවේග එකතු වෙන්නේ ධනය හා බලය සඳහාය. රටේ කොතැනකින් හෝ ධනය කොල්ලකන තැනකට බලය සම්බන්ධය. බලය ඇති පාර්ශව වලින් අති බහුතරයකට පංච මහා භයානක තත්ත්ව හා නොනිල සම්බන්ධයක් ඇත. 

ඡන්දය මෙහෙයවන යාන්ත්‍රණයක් ආණ්ඩුවේ ඇති නමුත් ඡන්දය ඉල්ලන අපේක්ෂකයන්ට ධනය හා බලය සහිත පංච මහා භයානක බලවේගය අවශ්‍යය. එය මෑත කාලීන ඡන්ද ව්‍යාපාරවල පොදු ලක්ෂණයකි. මත්පැන් මත්ද්‍රව්‍ය වලින් උපයන ධනය නැති ඡන්ද ව්‍යාපාර නැත. ඒවායේ පාතාල නායකයෝ සිටිති. පාතාලයට ගෙවන්නේ මත්ද්‍රව්‍ය කළු සල්ලිය. මිනිස් ජාවාරම් කරන්නෝ ද, ඡන්දයෙන් පසු ක්‍රමයක් හදා ගෙන රට පනින්නට හදන පිරිස ද සිටිති. ඒවා කරගෙන යන පිරිස ඡන්ද ව්‍යාපාරවලට ධනය යොදවති. ප්‍රචාරක කටයුතුවල සිට කෑම සපයන්නාට ද ගෙවන්නේ මෙම අපිරිසිදු මුදල්ය. විශාල ධනයක් රහිතව ඡන්දයක් කරන්නට හැකියාවක් නැත. රාජ්‍ය තන්ත්‍රයේ බලය ද එයට එකතු වෙයි. ධනය කොල්ල කෑමට ඇති අවස්ථා නිලධාරීහු දනිති. බලයට එන්නට කලින් ඒවා අවස්ථා වශයෙන් පෙන්වති. ඡන්දයෙන් පසු පවුලේ සාමාජිකයෝ හා මිතුරු කැළ ආයතන බෙදා ගනිති. නිලධාරීන් හෝ දේශපාලනඥයන් හැම දෙනකුම වරදකරුවන් කළ නොහැක. රාජ්‍ය සේවයට බැඳෙන නිලධාරීහු  ගෞරවනීය අදහසකින් රැකියාවට එති. සියලු දේශපාලනඥයන් දූෂිත යැයි කිව නොහැකිය. බලයට එන්නේ අවංක, යහපත් අදහස් සහිතවය. අවසානයේ වැඩි සියලුම දෙනාම පාහේ එක රැළක කොටස් කරුවෝ බවට පත් වෙති. යහපත් අය නැතිවා නොවේ. ඔවුන්ට මතු වෙන්නට ඉඩක් දෙන්නේ නැත. එහෙයින් අලුත් අදහස් ඇති යහපත් පිරිස ක්‍රමයට එකතු නොවේ. අභාග්‍යය එයයි. ශ්‍රී ලංකාවේ ආර්ථිකය භංග වී ඇති අන්දම බරපතළ ඛේදවාචකයකි. රජයට අයත් ධනය පොදු මහජනතාවගේ වස්තුවයි. ඒවා ආරක්ෂා කර වර්ධනය කිරීම මැති ඇමැති හා නිලධාරීන්ගේ වගකීමකි. සමහර රාජ්‍ය නිලධාරීන් සමඟ එකතු වී ඇති මැති ඇමැතිවරුන් ඒවා විනාශ කර ඇති අන්දම පුදුම සහගතය.

මෙම ලිපියෙන් සාකච්ඡා කරන කරුණු ජනතාවට රහසක් නොවේ. ශ්‍රී ලංකාවේ පැවැත්ම ජරා ජීර්ණ වී ඇති බව ඔවුහු දනිති. වෙනසක් කරන බව ඉඳූරා ප්‍රකාශ කර බලයට පත්වන දේශපාලනඥයෝ අන්තිමේ දී පංච මහා භයානක බලවේග වල කොටස්කරුවෝ වෙති. සමහර විට එය දැනෙන අතර තවත් සමහර අවස්ථාවක එය නොදැන ඇති කරගන්නා විලංගුවකි. මනාප ක්‍රමය, දිස්ත්‍රික්කයකට තරග කරන්නට සිදුවන මැතිවරණය හා ජයග්‍රහණය කරන්නට ආයෝජනය කළ යුතු මුදල තක්සේරු කරන කිසිවකුට මෙකී බලවේග වලින් ගැලවීමක් නැත. බලය අල්ලාගැනීමට අවශ්‍ය කරන මෙම පංච මහා භයානක බලවේග එයින් පසුව බලය පවත්වාගෙන යන්නට නඩත්තු කෙරේ. ඡන්දදායකයන්ට හමුවිය නොහැකි මැති ඇමැතිවරුන් පාතාල නායකයන්ට අවනතවන අවස්ථා බහුලය. මත්පැන් හෝ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දේශපාලනය හා සම්බන්ධය. මේවා කෙළවරක් දකින්නේ කෙසේද?

බින්දුවෙන් නැවත පටන් ගැනීම:

අලුත් සමාජයක් ගොඩ නැගීම සඳහා බින්දුවෙන් ආරම්භ කිරීම හැර අන් මඟක් නැත. ඉහළ සිට පහළට ගලාගෙන එන සංවර්ධනයේ ප්‍රතිලාභ අතරමග දී කොල්ලකන මෙම භයානක පස් වැදෑරුම් අංශවලින් රට තුළ දුප්පත්කම වැඩිවී තිබේ. අපනයනය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට දහ තුනක මටට්මේ ඇති රටක ප්‍රමාණයට වඩා ධනයක් සමාජයේ එක්තරා කොටසක් අත පවතී. මහ පාරේ ඇති වාහනවල තරම පෙන්වන්නේ එයයි. උපයාගත් ආකාරය පෙන්විය නොහැකි ධනයෙන් තැනූ විශාල මාළිගා අභ්‍යන්තරය හුවා දක්වයි. ජනතාවගේ දුෂ්කරතා ඉහළ ගොස් ඇත. අසාධාරණ අවස්ථා ගැන ජනතාවට දැනෙන්නේ නැති තැනට පත්ව ඇත. සාමාන්‍ය පුරවැසියන් අසරණ, හඬක් නැති පිරිසක් බවට පත්වීම අභාග්‍යයකි. දේශපාලන නායකයන් මේවා නොදන්නවා නොවේ. මෙම අයුක්තිය වෙනස්කරන බවට පොරොන්දු දී බලයට පත්වෙති. බලයට පත් වීම හා එය පවත්වාගෙන යාම විශාල භායානක පසුබිමකය. ක්‍රමයට කොටුවන දේශපාලකයෝ ආපසු නොහැරෙති.

ලෝක ඉතිහාසය තුළ මෙවැනි සහයෝගීතා අලුත් දේවල් නොවේ. මහා දූෂිත බලවේග හා ක්‍රමය වෙනස් කරන්නට ඉඩ නොදෙන තද නිලධාරී පාලන ලෝකයේ කොතැනත් තිබී ඇත. හොඳින් හෝ නරකින් පවතින ක්‍රමය සම්පූර්ණයෙන්ම වනසා අලුතින් එකක් බිහිකරන්නට මෙකී තත්ත්වය හඳුනාගත් ඇතැම් නායකයෝ කල්පනා කළහ. ජනතාවට තේරුම් කර දී ජනතාව සමඟ එකතු වී පැවැත්ම වෙනස් කරන්නට සමත් වූ නායකයෝ රටවල් ගොඩ නැඟූහ. විනාශ වූ රටවල් නැවත ගොඩ ගැනීමට බින්දුවෙන් පටන් ගන්නට තැත් කළ අවස්ථා ද තිබේ. කැමරුජ් ගරිල්ලා ව්‍යාපාරය පවතින සමාජ ව්‍යුහය විනාශ කර අලුතින් ආරම්භ කිරීමට උත්සාහ කළේය. ලෝකය අනුමත කළේ නැත. ප්‍රංශ විප්ලවයේ දී බින්දුවෙන් ආරම්භ කිරීමට සූදානම් විය. චීනයේ හිටපු නායක මාවෝ සේතුං සංස්කෘතික විප්ලවයකින් එය කරන්නට වෑයම් කළේය. ඒවා නොගැළපෙන හෙයින් අසාර්ථක විය. ශ්‍රී ලංකාව වෙනුවෙන් අලුත් මාවතක් තෝරා ගත යුතුය. අනර්ථකාමී වැඩ පිළිවෙළ නුසුදුසුය. 

පංච මහා භයානක බලවේග වලින් රටට කරන හානිය දේශපාලන පක්ෂ සංවාදයට ලක් කළ යුතුය. මැරකම, දූෂණය හෝ අයුක්තිය අරභයා මෙකී අංශ පෙළගැසෙන ආකාරය මැනවින් වටහා ගැනීම වැදගත්ය. පවතින ක්‍රමය වසා ගෙන ඇති අන්ධකාර බලවේග මොනවාදැයි විමර්ශනය කළ යුතුය. ජනතාව යුක්තිය හා සාධාරණත්වය ඉල්ලා සිටින ස්ථාන තිබේ. ආගමික ස්ථානය, අධිකරණය හෝ ජනමාධ්‍ය ඒ අතර ඇත. එකී අංශවලට පවා නරක කාන්දු වී තිබේ. ජනතාවගේ සාධාරණ අභිමතාර්ථ සාක්ෂාත් කරන්නට අසමත් වී ඇත. ඉහළ සිට පහළටම නරක් වී ඇති දේහය අලුත් කරන්නට නම් නිර්භීත ආත්ම ශක්තිය ඇති නායකත්ව බිහිකරගත යුතුය. දේශපාලනයේ පමණක් නොව සෑම ක්ෂේත්‍රයකම අලුතින් හිතන, අලුත් අදහස් ඇති නායකයන්ගෙන් සමන්විත විය යුතුය. යල්පැන ගිය හා ජරා ජීර්ණ ක්‍රමය වසාගෙන ඇති පංච මහා භයානක බලවේග වලින් ගැලවී ක්‍රියා කළ හැකි පුද්ගලයන් නායකත්ව අයිතිය භාරගත යුතුව තිබේ. පංච මහා භයානක අංශවල රූකඩ බවට පත්වන දේශපාලනයක් රටට අවශ්‍ය නැත. දේශපාලකයන්, නිලධාරීන් හෝ ආරක්ෂක අංශ ප්‍රධානීන් පලක් රහිතය. ක්‍රමය පීරා පිරිසිදු කරන බින්දුවෙන් ආරම්භ කරන ගමන ප්‍රමා ද කළ යුතු නැත. එවැනි ක්‍රමානුකූල අවශ්‍යතාවක් තුළින් පොදු ජන සමාජය පිළිගත් අලුත් ව්‍යුහයක් හැදිය හැකිය. 

මෙම ලිපිය ගැන ඔබගේ අදහස [email protected] ලිපිනයට යොමු කරන්නේ නම් මැනවි.    

 



අදහස් (3)

රට වනසන භයානක බලවේග

smn Friday, 22 February 2019 05:25 AM

කවුරු කවුරුත් ඉතා ගැඹුරින් සිතා බැලිය යුතු හරවත් ලිපියක්...රටට යහපත් නායකත්වයක් අවශ්‍යව ඇති මේවගේ කාල පරාසයක හොඳ තීන්දුවක් ගැනීමේ වගකීම පැවරී තියෙන්නේ මහජනතාව වන අප වෙතයි....මුලින්ම කළ යුතුව ඇත්තේ අප සිත්සතන්තුල අරක් ගෙන රජකරන වහල් බැමි සියල්ලම කඩා සිඳ බිඳ දැමීමයි.

:       0       0

sena Saturday, 23 February 2019 02:13 PM

ලිපියේ සාහිත්‍යමය අගයක් විනා ප්‍රායෝගික කිසිවක් නැහැ. කොහොම නමුත් ධනාත්මකයි (ඇත්ත ලියලා තියෙනවා) එක රැයකින් රටක් වෙනස් කරන්න බැහැ. වෙනස් කරපු හැම රටකම වුනේ අවුරුදු කීපයක් ඇතුළත තිබුණාට වඩා තත්වය නරක වීමයි. මට නම් පේන විදිහට අපේ සිවිල් සමාජය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ජනමාධ්‍ය මිනිස්සුන්ගේ බුද්ධි මට්ටම ඉහළට ගෙන්න කිසිවක් කරන්නේ නැහැ. මේ දෙක නිවැරදි වුනොත් අපිට පුළුවන් මේ තියන ක්‍රමය තුළින්ම ක්‍රමානුකුලව වඩාත් හොඳ ක්‍රමයකට යන්න ක්‍රමය ටිකක් දිගයි.. නමුත් ඡන්ද දායකයා බුද්ධිමත්ව හිතලා ඡන්දය පාවිච්චි කරන තැනට අපි ගේන්න ඕනේ.. දැනට පේන්න තියෙන එකම විදිහ එ්කයි.

:       0       0

anura Monday, 25 February 2019 07:43 PM

මෙම සංකල්පය අසම්පූර්ණ එකකි. එහි ඉංජිනේරුවන්, විද්‍යාඥයන්,දාර්ශනිකයන්, කලාකරුවන්, හා මාධ්‍යවේදීන් නොමැත. කවුරු හරි එම කාලයට ගැලපෙන සංකල්පයක් ඉදිරිපත් කළා කියා සදාකාලිකව එය කරපින්නාගෙන යායුතු නැත. කාලය සමග සෑම දෙයක්ම වෙනස් වේ. එය අවබෝධ නොවන අයට ලෝකය වෙනස් වන විට කම්පාවක් ඇති වේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

කොලම

​දැක්මක ගමනක ජයග්‍රහණ
2024 සැප්තැම්බර් මස 13 762 4

හිටපු මැලේසියානු අගමැති මහතීර් මොහොමඞ් ලෝකප්‍රකට වූයේ ඇයිදැයි ඔබ දන්නවා ද? ඒ අන්කිසිවක් නිසා නොව, ඔහු ඔහුගේ ම ක්‍රමයට මැලේසියාව සංවර්ධනය කොට යළි බිමදැ


විකල්ප තේරීම් ඕනෑද?
2024 සැප්තැම්බර් මස 09 614 2

නිදහසින් පසු මෙරට පැවැත්වූ සහ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණ අතරින් මෙවර පැවැත්වෙන්නේ තීරණාත්මක එකකි. මෙවර අපේක්ෂකයෝ තිස්අට දෙනෙක් ඉදිරිපත්ව සිටිති


ජනපතිවරණ සාකච්ඡා තේමාව
2024 සැප්තැම්බර් මස 06 268 0

ජනාධිපතිවරණයට තවත් ඇත්තේ දින 15ක් පමණ කාලයකි. තැපැල් ඡන්දය පාවිච්චි කිරීම අදින් අවසන් වීමට නියමිතය. සාපේක්ෂක වශයෙන් මෙවර ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා ක


බදු ගෙවන්නන් බිත්තියට හිරකිරීම
2024 සැප්තැම්බර් මස 02 866 0

දැනට පවතින බදු අභියාචනා පටිපාටියට සංශෝධන ගෙන ඒම සඳහා මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට 2024.07.22 දින කැබිනට් අනුමැතිය හිමි වූ බව ටික දිනකට ප


ඡන්දයේදී ජනතා අපේක්ෂා
2024 අගෝස්තු මස 30 249 0

ජනාධිපතිවරණයක දී සාමාන්‍යයෙන් අප නොදකින තත්වයක් මෙවර දැකගත හැකි ය. එනම් මෙවර ඡන්දදායකයන්ගෙන් අති බහුතරයක් තාමත් තම ඡන්දය ගැන තීන්දුවක් ගෙන නොමැති වී


ඡන්දයෙන් ජනතා අයිතිය සුරැකීම
2024 අගෝස්තු මස 26 297 2

දින නියමයක් නොමැතිව කල් දමා තිබූ පළාත් පාලන මැතිවරණය හැකි ඉක්මනින් පවත්වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා මැතිවරණ කොමිසමට නියෝග කළේය. ඒ අනුව ඉදිරි දිනය


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 19788 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 96 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 291 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 152 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site