IMG-LOGO

2025 අප්‍රේල් මස 28 වන සඳුදා


වැටත් නියරත් ගොයම් කා නම්

ජයතිලක ද සිල්වා

අද අපි යළිත් අධ්‍යාපනය ගැන කතා කරමු. එහෙත් ඒ එහි වෙනත් පැත්තක් ගැන ය. බොහෝ දෙනා කතා නොකරන පැත්තක් ගැන ය. එතෙකුදු වුව එය වැදගත් පැත්තකි. පාලකයන්ට මෙන් ම අධ්‍යාපනඥයන්ට ද අමතක ව ඇති පැත්තකි. ඔවුන් විසින් නොසලකා ඇති පැත්තකි.

ඒ කිමෙක් ද? අන් කිසිවක් නොව පෙරපාසල් හෙවත් පූර්ව - ප්‍රාථමික අධ්‍යාපනය යි. ශ්‍රී ලංකාවෙහි අධ්‍යාපනය බාලාංශයෙහි සිට විශ්වවිද්‍යාලය දක්වා නිදහස් යැයි බොහෝ විට බොහෝ දෙනා, විශේෂයෙන් ම පාලක දේශපාලකයෝ කියා සිටිත්. ඒ ඇත්තක් ද? නැත. කිහිප අතකින් ම එය සාවද්‍ය ය.

නිදහස් අධ්‍යාපනයෙන් නොමිලයේ සපයන අධ්‍යාපනය යන වැටැහීමක් ගෙන දේ නම් එය ඇත්තක් නො වේ. දැනට අධ්‍යාපන පිරිවැයෙන් රජය සපයන්නේ සියයට 40කට මඳක් වැඩි ප්‍රමාණයක් වන අතර මවුපියන් දරන පිරිවැය මුළු පිරිවැයෙන් සියයට 60කට ආසන්න ය.

නිදහස් අධ්‍යපනයෙන් ස්වාධීන අධ්‍යාපනයක් සැපැයෙන්නේ යැයි ද කිව නොහැකි ය. මන්ද යත් එය ඇතැම් සමාජ කාණ්ඩවල බලපෑමට ලක් ව ඇති හෙයිනි. එම බලපෑම් නිසා ඉතිහාසය පවා වැරැදි අර්ථ කථනයනට පාත්‍ර ව තිබේ.

අනෙක් අතට ඉහත සඳහන්  පුද්ගල​යෝ අධ්‍යාපනයෙහි වපසරිය සීමා කරඇත්තාහ. පෙරපාසල් අධ්‍යාපනයක් ගැන ඔවුහු සඳහන් නො කරත්. ඇත්තට ම උපදින හැම දරුවකු ගේ ම අධ්‍යාපනය පටන් ගන්නේ ඉපදී මඳ වෙලාවකිනි. අලුත උපන් දරුවා පළමුවෙන් ම අධ්‍යාපනය ලබන්නේ පවුලෙන් අසල් වැසියන්ගෙන් සහ ප්‍රජාවෙනි. ඔහු අධ්‍යාපනය සොයා යයි.

අධ්‍යාපනඥයන්ට අනුව ළදරු කාලය මොළයෙහි කැපී පනෙන සංවර්ධනයක් සහිත ය. එම කාලය තුළ දරුවා ගේ බුද්ධිමය, භාවමය සහ කායික ශක්‍යතා සංවර්ධනය වන අතර ඔහු ගේ හෝ ඇය ගේ අභිරුචි සහ භාවිතාව ද සංවර්ධනය වෙයි. පෙරපාසල් අධ්‍යාපනයෙන් දරුවා පාසල් අධ්‍යාපනයට හුරු කරනවා පමණක් නො වේ, එයින් දරුවා ගේ සමස්ත ජීවිතය ම නිශ්චය වෙයි.

එක්සත් ජාතීන් ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක සහ සාංස්කෘතික සංවිධානය (යුනෙස්කෝ) විසින් නිදහස් වූත් සියල්ලන් ම ඇතුළත් වන්නා වූත් සාධාරණ වූත් පූර්ව ප්‍රාථමික අධ්‍යාපනය රජයෙහි ඉලක්කය විය යුතු යැයි නිර්දේශ කරනු ලැබ ඇත. ඒ අනුව එය රජයේ වගකීමකි. එයින් රජය සෙසු පාර්ශ්ව බැහැර කළ යුතු යැයි කියැවෙන්නේ නැත. පෞද්ගලික අංශය සහ සිවිල් සමාජය බැහැර කැරෙන්නේ නැත. එහි අර්ථය රජය විසින් නියාමන යාන්ත්‍රණය සාදනු ලැබීම මෙන් ම ව්‍යවස්ථා සම්පාදනය, සම්බන්ධීකරණ ක්‍රියාවලිය, අධ්‍යාපනයෙහි ගුණය හා අන්තර්ගතය, ගුරු පුහුණුව සහ ඔවුන් ගේ සේවා තත්ත්ව ආදිය සහතික කළ යුතු බව ය. එසේම එයින් පළාත්පාලන ආයතන හෝ රාජ්‍ය ආයතන විසින් හෝ පෙරපාසල් පවත්වා ගැනීම බැහැර කරනු ලබන්​​ෙන් ද නැත.

නිදසුනක් වශයෙන්, කසක්ස්තානය සහ බ්‍රසීලය යන රටවල විශ්වීය පෙරපාසල් අධ්‍යාපනය පවතී. බ්‍රසීලයෙහි එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කරන ලද මූලික අයිතියක් වන අතර අධිකරණය එය සුරැකීමෙහි ක්‍රියාකාරී ව නිරත ය. මවුපියෝ අවශ්‍ය විට එහි පිහිට පතති. ලබති.

මහජන චීනයෙහි පෙරපාසල් අධ්‍යාපනය රජයේ වගකීමක් සේ පිළිගෙන ඇත. එහි පෙරපාසල් දෙවර්ගයෙකි. අවුරුදු තුනට අඩු දරුවන් සඳහා ළදරු නිවාස සහ අවුරුදු 4 - 6 දරුවන් සඳහා බාලාංශ ය. පළමු වර්ගය විශේෂයෙන් පුහුණු කරන ලද හෙදියක භාරයෙහි පවත්නා අතර දෙවැනි වර්ගය පුහුණු ගුරුවරුන් යටතේ පවතී. පළමු වර්ගය සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ වන අතර දෙවැනි වර්ගය අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ය. පළමු වර්ගයෙහි අධ්‍යාපන වැඩපිළිවෙළ ද මෙහෙයවන්නේ අධ්‍යාපන අමාත්‍යාංශය යි.

ටැන්සානියාවෙහි සියලු පෙරපාසල් ගුරුවරුන් ම රජය විසින් පුහුණු කරනු ලබයි. ඔවුන්ට පත්වීම් දෙන්නේ සහ ඔවුන් බෙදා හරින්නේත් රජය යි. ඔවුන් ගේ වැටුප් රජයෙන් ගෙවනු ලැබේ. මෙම ගුරුවරුන් සේවය කරන්නේ පළාත් පාලන ආයතන විසින් පවත්වා ගෙන යනු ලබන පෙරපාසල් හි ය.

නිදහස් වූත් සියල්ලන් ම ඇතුළත් වන්නා වූත් සාධාරණ වූත් පූර්ව - ප්‍රාථමික අධ්‍යාපනයක් සහතික කිරීමට ශ්‍රී ලංකාවට දිගු ගමනක් යාමට සිදු වෙයි. මෙහි පෙර පාසල් අධ්‍යාපනය ජාවාරම්කාර සහ හුදු මුදල් හඹා යන පිරිස්වල සහ ආධුනිකයන් ගේ ග්‍රහණයට ලක් ව ඇත. එහි අධ්‍යාපනයෙහි ගුණය හා සන්ධාරය මෙන් ම ගුරුවරුන් ගේ සුදුසුකම් පිළිබඳ කිසිදු නියාමනයක් නැත. අය කරන ගාස්තු ද සීමා රහිත ය. සාධාරණත්වය සහතික කරනු වෙනුවට එයින් අසාධාරණය වැඩි වෙයි. ඇතැම් පෙරපාසල් කරනුයේ දරුවා ගේ පෞරුෂ වර්ධනය නොසලකා පාසල් අධ්‍යාපනයට ඔහු හෝ ඇය හුරු කැරීම පමණකි. බහුතරය ගුණයෙන් බාල වන අතර ගුණාත්මක පෙරපාසල් ඇත්තේ අල්පයකි.

ශ්‍රී ලංකා රජය පෙරපාසල් අධ්‍යාපනයට එය සතු වගකීම අත් හැරිය යුතු නැත. මන් ද යත්, යහපත් පුරවැසියන් බිහි කැරීමට එය ද දායක වන හෙයිනි. යුනෙස්කෝ සංවිධානය නිර්දේශ කැරැ ඇති අනිවාර්ය වූත් නිදහස් වූත් සියල්ලන් ම ඇතුළත් වන්නා වූත් සාධාරණ වූත් පූර්ව - ප්‍රාථමික අධ්‍යාපනයක් සහතික කැරීමට ආර්ථික දුෂ්කරතා පවත්නා බව ඇත්තකි. එහෙත් ප්‍රනවෝත්පදක අඩු පිරිවැය මාධ්‍ය තුළින් සහ ප්‍රජාවෙහි සහභාගිත්වයෙන් නියමිත කාලයක් තුළ සැලැකිය යුතු ජයග්‍රහණ අත්පත් කැරැ ගත හැකි ය. එමඟින් ලැබෙන ගම්‍යතා​​ෙවන් ඉලක්කය සපුරා ගත හැකි වනු ඇත.

ඇතැම් අප්‍රිකානු රටවල පෙරපාසල් සඳහා පාසල් ගොඩනැගිලි ​​ෙයාදාගෙන ඇත එය එතරම් යෝග්‍ය නැති වුව ද එයින් පෙරපාසල් අධ්‍යාපනයෙහි කැපී පෙනෙන ව්‍යාප්තියක් වූ බව යුනෙස්කෝව කියයි. ශ්‍රී ලංකාවෙහි සාංස්කෘතික හා ඉතිහාසමය අත්දැකීම් අනුව පෙරපාසල් සඳහා පන්සල් ඇතුළු ආගමික සිද්ධස්ථාන, ප්‍රජා ශාලා ආදිය පහසුවෙන් භාවිතා කළ හැකි ය. ස්වේච්ඡා ගුරුවරුන් පවා කෙටි පුහුණුවකින් පසු බඳවා ගැනීමට ද සප්‍රාමාණික බුද්ධිමය සම්පත් මෙරට ඇත.

ගුරු පුහුණුව ඇතුළු පෙරපාසල් පවත්වා ගැනීම පිළිබඳ මඟ පෙන්වන නියාමන යාන්ත්‍රණයක් රජයේ මැදිහත්වීමෙන් පිහිටු විය යුතු ය. අධ්‍යාපනය පළාත් සභා විෂයයක් හෙයින් මෙම කාර්යය පළාත්බද ව වුව කළ හැකි ය. ඇතැම් විට එය වඩා අඩු වියදමෙන් මෙන් ම පළාතෙහි විශේෂතා ද සැලැකිල්ලට ගෙන කළ හැකි වන්නට පිළිවනි. බොහෝ රටවල මෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට සෞඛ්‍ය හා පළාත් පාලන අමාත්‍යාංශ සමඟ එක් ව පෙරපාසල් පාලනය කළ හැකි.

වර්තමානයෙහි අධ්‍යාපනයෙහි අන් ක්ෂේත්‍රවල මෙන් ම පෙරපාසල්වල ද අය කරන ගාස්තු ප්‍රමිතියකින් තොර ය. නගරබද පෙරපාසල් අති විශාල ගාස්තු අය කරයි. ඇතුළත් වීමෙහි ගාස්තු ඇතැම් අවස්ථාවල රුපියල් 50,000 හෝ ඊටත් වැඩිතර ය. මාසික ගාස්තු රුපියල් 30,000ක් පමණ ය. ගාස්තු අධිකතර වුව ද අධ්‍යාපනයෙහි ගුණාත්මකභාවය හෝ සත්කාරය ඊට අනුරූපී වන්නේ නැත. ගුරුවරුන් සහ සහායකයන් සඳහා සුදුසුකම් ප්‍රමිතියකට යටත් නැත. සාමාන්‍ය පෙළ සමත් උද්යෝගී ඕනෑම තරුණියකට ආරම්භක ප්‍රාග්ධනයක් ඇත්නම් පෙරපාසලක් පටන්ගත හැකි ය.

ඇතැම් රටවල පෙරපාසල් අධ්‍යාපනයෙහි රුචිකර අංගයක් වන්නේ මවුපිය අධ්‍යාපනය යි. බොහෝ විට මවුපියෝ දරුවන් ඇතිදැඩි කැරීම ගැන මනාව දැනුම්වත් නො වෙත්. ඔවුන් ගේ පෞරුෂ වර්ධනයට කුමක් කළ යුතු දැයි නො දනිත්.

මෙරට ග්‍රාමීය ප්‍රදේශවල ඇතැම් මවුපියෝ ඉංග්‍රීසි භාෂාවෙන් දරුවනට පෙරපාසල් අධ්‍යාපනය සැපැයීමට වෙහෙසෙති. එය කොතරම් වැඩදායක ද යන්න ප්‍රශ්නයකි. එක්සත් ජාතීන්ට අනුව කුඩා දරුවනට විදේශීය භාෂාවක් හඳුන්වා දිය යුතු වන්නේ ප්‍රාථමික අධ්‍යාපනයෙහි දෙවැනි වසරෙන් පසු ව ය. දරුවන් මවු බස හොඳින් ග්‍රහණය කළ පසු වඩා පහසුවෙන් දෙවැනි බසක් උගන්නා බව විශේෂඥ මතය යි.

අධිකාරීන් විසින් ජයග්‍රහණ ගැන පුරසාරම් දෙඩීම නතර කැර සිය වරද නිවරද කැරැ ගන්නට උත්සුක වන්නේ නම් මැනැවි. එහි දී පෙරපාසල් අධ්‍යාපනයේ වගකීම භාරගන්නටත් ඒ සඳහා අවශ්‍ය පියවර ගන්නටත් වහාම ඉදිරිපත් විය යුතු ය. නො එසේ නම් වැටත් නියරත් ගොයම් කන තත්ත්වයකට ජනතාව පත් වේවි.



අදහස් (0)

වැටත් නියරත් ගොයම් කා නම්

ඔබේ අදහස් එවන්න

 

 
 

කොලම

ඉහළින් ගිලිහුණු උළෙල
2025 අප්‍රේල් මස 25 829 2

මෙවර අලු‍ත් අවුරුදු උළෙල විශේෂයක් ගත්තේ ය. ඒ අන් කවරදාකවත් නොදුටු පරිදි රාජ්‍ය සහ මෙරට මහා සංස්කෘතික මංගල්‍ය අතර සම්බන්ධය ගිලිහී යාම ය. මෑත ඉතිහාසයේ සෑ


නව ලොවට නව සංවර්ධන ආකෘතියක්
2025 අප්‍රේල් මස 21 230 0

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සියලු‍ රටවලට අප්‍රේල් 05 වැනි දා සිට බලපාන ලෙස ඔවුන්ගේ ආනයන තීරු බදු සියයට 10 දක්වා ඉහළ දැමීමේ නිල විධානයකට මෙම අප්‍රේල් 02 වන දි


භාරත ආසියා මොඩලය
2025 අප්‍රේල් මස 18 250 0

සිංහල හා හින්දු අලුත් අවුරුදු උණුසුම තවමත් පහව ගොස් නැත. කුමන ආර්ථික ගැටලුකාරිත්වයක් තිබුණත් අපේ රටේ ජනතාව අලුත් අවුරුද්දට සූදානම් වූයේ ඒ සියලු අගහිඟ


ට්‍රම්ප් අභියෝගය ට්‍රම්ප්ටම
2025 අප්‍රේල් මස 07 1978 2

2025 අප්‍රේල් 2 වැනිදා, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, රටවල් 90කින් පමණ එක්සත් ජනපදයට ආනයනය කරන සියලු‍ම භාණ්ඩ සඳහා සියයට 10ක මූලික තීරුබදු ඇතුළුව ආන


පොරොන්දුවල අතරමං වූ ආණ්ඩුව
2025 අප්‍රේල් මස 04 951 5

ජනාධිපතිවරයා පළාත් පාලන ඡන්දය ඉලක්කගත කර සිදුකරන ලද කතා කීපයක් අසා සිටි මෙම ලියුම්කරුට හැඟී ගියේ ඔහුගේ හඬ ජවය දැන් දැන් දුර්වල වී ඇති බවයි. එහි විශ්වාස


ජනමතය උරගා බැලීමක්
2025 මාර්තු මස 28 321 0

මෙවර කිවිදා දැක්ම ලියන්නේ පළාත් පාලන මැතිවරණයට නාමයෝජනා භාර දී ඇති කාලයකය. පළාත් පාලන මැතිවරණය අවසාන වරට පැවැත්වුණේ 2018 වර්ෂයේදීය. ඒ පැවැත්වූයේත් නියම


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1004 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 432 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 581 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site