IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


විදුලි මණ්ඩලේ තිත්ත කතාව

තරිඳු ජයවර්ධන සහ බිඟුන් මේනක ගමගේ

[email protected] / [email protected]

විදුලිය අත්‍යවශ්‍ය සාධකයක් බවට පත්ව ඇත. එවැනි යුගයක විදුලි මාෆියාව නිසා මසකට රුපියල් කොපමණ අපතේ යනවාදැයි මාසික විදුලිබිල ගෙවද්දී කිසිවකුත් සිතන්නේ නැත. නීතියට පිටින් සිදුවන විදුලි ගනුදෙනු නිසා මහජන මුදල් කෝටි ප්‍රකෝටි ගණනින් නිස්කාරණේ වැය වන බව බොහෝ දෙනෙක් නොදනිති.  මෙවර සත්‍ය ගවේෂණ විශේෂාංගයෙන් ඉදිරිපත් කරන්නේ එහි එක් පැතිකඩක් ගැනයි.

විදුලිබල මණ්ඩලයට අයත් බලාගාරවලින් ජනනය වන විදුලි ප්‍රමාණයේ ගැටලු මතුවෙද්දී රටේ විදුලිය විසන්ධි නොවී අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා පෞද්ගලික බලාගාරවලින් විදුලිය මිලදී ගනියි. එලෙස පෞද්ගලික බලාගාරවලින් විදුලිය මිලදී ගත යුතු වන්නේ හිතුමතේට නොව විදුලිබල පනතේ සඳහන් ප්‍රතිපාදන අනුව ටෙන්ටර් ක්‍රියාවලීන් අනුගමනය කරමිනි. විදුලිය මිලදී ගැනීමක දී සෘජුව සම්බන්ධ වන ආයතන කිහිපයක් වේ. පළමු ආයතනය ලංකා විදුලිබල මණ්ඩලයයි. දෙවැනි ආයතනය විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයයි. තුන් වැනි ආයතනය මහජන උපයෝගීතා කොමිෂන් සභාවයි. සෑම මිලදී ගැනීමක් සඳහාම කැබිනට් අනුමැතිය ලැබුණු පසු ඊට මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ ද අනුමැතිය ලබා ගත යුතුය.

එලෙස විදුලිය මිලදී ගැනිම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය ඒස් ඇඹිලිපිටිය නම් පෞද්ගලික බලාගාරය සමඟ 2003 වසරේ මාර්තු 09 වැනි දා   ගිවිසුම් ගත වූයේ වසර 10ක් සඳහා විදුලිය මිලදී ගැනීම සඳය. එම ගිවිසුම අනුව විදුලි ඒකකයක් සඳහා වන මිල තීරණය වූයේ අදාළ පෞද්ගලික බලාගාරය සඳහා එම සමාගම ආයෝජනය කළ සම්පූර්ණ මුදලද ඊට එකතු වන පරිදිය. පෞද්ගලික බලාගාරය ආරම්භ කිරීමට ආයෝජනය කළ මුදලද ඊට එකතු කළේ ගිවිසුම් කාලය අවසන්වීමෙන් පසු එම බලාගාරය රජයට පවරා ගැනීමේ අරමුණෙනි. ඊට හේතුව ඒ වන විට එහි ආයුකාලය වසර 20ක් බවට ඇස්තමේන්තු කර තිබුණු හෙයිනි.

ඒ අනුව විදුලි ඒකකයක් සඳහා රුපියල් 29ක් බැගින් ලංකා විදුලිබල මණ්ඩලය එස් ඇඹිලිපිටිය පෞද්ගලික සමාගමට ගෙවීය.   වසර 10ක ගිවිසුම් කාලය අවසන් වෙද්දී බලාගාරය ඉදි කිරීමට ආයෝජනය කළ මුදලද සමාගමට ගෙවා තිබිණි. එය ආසන්න වශයෙන් කෝටි 300කි. ගිවිසුම අවසන් වීමෙන් පසු 2015 වසරේ අප්‍රේල් 06 වැනි දා එම බලාගාරයෙන් විදුලිය මිලදී ගැනීම නතර කරන ලදී. එස් ඇඹිලිපිටිය ගැන ඊළඟට කතාව පටන් ගන්නේ 2016 වසරේ සිටය.

2016 මාර්තු 18 වැනි දා විදුලිබල විෂය භාර අමාත්‍යවරයා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරමින් ගිවිසුම් කාලය ඉකුත්වී ඇති පෞද්ගලික විදුලි බලාගාර මිලදී ගැනීමට ඉල්ලීමක් කළේය. එම සමාගම් තුන අතර එස් ඇඹිලිපිටිය සමාගම ද විය. කල් ඉකුත් වූ පෞද්ගලික බලාගාර විදුලිබල මණ්ඩලය ගිවිසුම් දීර්ඝ නොකිරීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බවද මෙම ගිවිසුම් මත විදුලිය මිලදී ගැනීමේදී ලංවිමට ඉහළ මිලක් ගෙවන්නට සිදුවන බවට චෝදනා එල්ලවන බව ද අමාත්‍යවරයා කැබිනට් පත්‍රිකාවේ සඳහන් කර තිබේ. එම කැබිනට් පත්‍රිකාවෙන් පසු අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද  සාකච්ඡා කමිටුවකින් එස් ඇඹිලිපිටිය සහ අනිත් බලාගාර   මිලදී ගැනීම සඳහා ඒවායේ හිමිකරුවන් සමඟ සාකච්ඡා කිරීමට තීරණය විය. 

එම කමිටුවේ සභාපති වූයේ විදේශ රැකියා අමාත්‍යාංශයේ ලේකම්වරයා ය. විදුලිබල අමාත්‍යංශයේ ලේකම්, ලංවිම සාමාන්‍යාධිකාරී සහ එහි අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් ද කමිටුවේ සාමාජිකයෝ වූහ.

අදාළ කමිටුව සමාගම් තුන මිලදී ගැනීමේ සාකච්ඡාවලට අමතරව එස් ඇඹිලිපිටිය සමාගමෙන් යළිත් වරක් විදුලිය මිලදී ගැනීම ගැන ද සාකච්ඡා කළ අතර   හදිසි විදුලිය මිලදී ගැනීමකට අවසර ඉල්ලමින් 2016 මාර්තු 29 වැනි දා අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් විය. ඒ වන විට වසරක කාලයක් සඳහා හදිසි මිලදී ගැනීමක් අවශ්‍ය නොවූවද වසරක කාලයක් සඳහා එස් ඇඹිලිපිටිය සමාගම සමඟ ගිවිසුම් ගත වීමට අවසර ඉල්ලා තිබුණු අතර ඊට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබිණි. ඒ අනුව ගිවිසුම යටතේ ප්‍රාග්ධන ගෙවීම්වලින් සියයට 5ක් පමණක් අඩු කිරීමට තීරණය වූයේ මෙම සමාගමෙන් 2004 සිට 2015 දක්වා විදුලිය මිලදී ගැනීම වෙනුවෙන් සම්පූර්ණ ප්‍රාග්ධන වියදමටත් වඩා වැඩි මුදලක් ගෙවා තිබියදී ය. විදුලි ඒකකයක මිල තීරණය වූයේ ප්‍රාග්ධන වියදම, ජනන වියදම ආදී තවත් නිර්ණායක කිහිපයක් එකතු වීමෙනි.

ඒ අනුව වසරක කාලයක් සඳහා එස් ඇඹිලිපිටිය සමාගමෙන් විදුලිය මිලදී ගැනීමට ඉල්ලමින් ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරීවරයා 2016 අප්‍රේල් පළමු වැනි දා මහජන උපයෝගීතා කොමිෂන් සභාවට ලිපියක් යැවූ අතර මහජන උපයෝගීතා කොමිෂන් සභාව අප්‍රේල් හත් වැනි දා ඊට පිළිතුරු ලිපියක් යොමු කළේය. එස් ඇඹිලිපිටිය බලාගාරයෙන් වසරක කාලයක් සඳහා විදුලිය මිලදී ගැනීමට ලංකා විදුලිබල මණ්ඩලය කළ ඉල්ලීම සාධාරණීකරණය කළ නොහැකි බව කොමිෂන් සභාව පෙන්වා දී තිබිණි. ශ්‍රී ලංකා විදුලිබල පනතේ 43 වැනි වගන්තිය අනුව විදුලිය මිලදී ගැනීමේදී ටෙන්ටර් කාර්ය පටිපාටිය අනුගමනය කළ යුතුය. මෙම මිලදී ගැනීමට එය අදාළව එය ක්‍රියාත්මක වූයේ නැත.  

2015 වසරෙන් පසු යළිත් ජනන කටයුතු සිදු කිරීමට එස් ඇඹිලිපිටිය සමාගම ජනන බලපත්‍රයක් ඉල්ලා තිබුණු අතර ඊට ප්‍රතිචාර ලෙස මහජන උපයෝගීතා කොමිෂන් සභාව දැනුම් දුන්නේ ජනන බලපත්‍රයක් ලබා දිය නොහැකි බවයි. ඊට හේතුව ලෙස සඳහන් කර තිබුණේ විදුලිබල පනතට අනුව මෙගාවොට් 25ට වැඩි බලාගාර සඳහා ජනන බලපත්‍රයක් පිරිනැමීමට නම් එම බලාගාරයේ අයිතියෙන් යම් කොටස් ප්‍රමාණයක් රජයට අයත් බව මහා බණ්ඩාගාරය විසින් ප්‍රකාශ කරනු ලැබ තිබිය යුතු බවයි.  

2009 අංක 20 දරණ ශ්‍රී ලංකා විදුලිබල පනත සහ 2013 අංක 31 දරන ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධන) පනත අනුව මෙගාවොට් 25 ඉක්මවා ශ්‍රී ලංකාවේ විදුලි උත්පාදනය කිරීම පිණිස බලපත්‍රයක් ඉල්ලා සිටීමට සුදුසුකම් ලැබිය හැක්කේ එක්කෝ විදුලිබල මණ්ඩලයටය. නැතිනම් පළාත් පාලන ආයතනයකටය. එසේ නැති නම් 2007 අංක 07 දරණ සමාගම් පනත යටතේ සංස්ථාගත කරන ලද සහ මුදල් විෂය භාර අමාත්‍යවරයාගේ එකඟත්වය ඇතිව භාණ්ඩාගාර ලේකම්වරයා විසින් තීරණය කරනු ලැබිය හැකි කොටස් ගණනක හිමිකම් ඇති රාජ්‍ය සංස්ථාවක්,  රජය විසින් කොටස්වලින් සියයට පනහකට වඩා වැඩි කොටස් ප්‍රමාණයක් දරනු ලබන සමාගමක් හෝ එවැනි සමාගමක පාලිත සමාගමකටය. එස් ඇඹිලිපිටිය යනු පූර්ණ වශයෙන් පෞද්ගලික බලාගාරයක් බව ද කොමිසම සඳහන් කර තිබිණි.  

මහජන උපයෝගීතා කොමිෂන් සභාවෙන් නිකුත් කරන ජනන බලපත්‍රයක් නැතිව බලාගාරයේ ජනන කටයුතු සිදු වෙද්දී 2016 දෙසැම්බර් 29 වැනි දා නැවත වරක් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් වූයේ එස් ඇඹිලිපිටිය සමාගමෙන්  සහ වෙනත් සමාගම් දෙකකින් තවත් වසරක කාලයක් සඳහා විදුලිය මිලදී ගැනීමටය. ඒ නියමිත ටෙන්ඩර් කාර්ය පටිපාටියට පරිබාහිරව යමිනි. 

එම කැබිනට් පත්‍රිකාව සම්බන්ධයෙන් සිය නිරීක්ෂණ ඉදිරිපත් කරන මුදල් අමාත්‍යවරයා සඳහන් කරන්නේ වියළි කාලගුණ තත්ත්වය අප්‍රේල් මාසය දක්වා පමණක් පැවැතිය හැකියැයි අපේක්ෂා කරන බැවින් වසරක කාලයක් සඳහා විදුලිය මිලදී ගැනීමේ ගිවිසුම දීර්ඝ කිරීම ලංකා විදුලිබල මණ්ඩලයට අතිරේක පිරිවැයක් වනු ඇතිබවයි.  එම නිසා පළමු මාස හයක කාලය සඳහා පමණක් විදුලිය මිලදී ගැනීමේ ඇති හැකියාව සලකා බලන ලෙසයි,  මෙම කැබිනට් පත්‍රිකාවේ සඳහන් විදුලි බලාගාර තුන මිලදී ගැනීමට කැබිනට් මණ්ඩලය දැනටමත් තීරණය කර ඇති බැවින් අදාල සාකච්ඡා අවසන්කොට ගිවිසුම් තුන අවලංගු කළහොත් ලංකා විදුලිබල මණ්ඩලයේ වැය බර අඩු වනු ඇති හෙයින් විදුලි බලාගාර තුන මිලදී ගැනීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීමට පියවර ගත යුතු බවත් මුදල් අමාත්‍යවරයා 2017 ජනවාරි මස නව වැනි දා සිය නිරීක්ෂණ ඉදිරිපත් කරමින් සඳහන් කර තිබේ. 

කෙසේ වෙතත් 2016 වසරේ දී වසරක කාලයක්  සඳහා මෙන්ම 2017 වසරේදී තවත් වසරක කාලයක් සඳහා ද එස් ඇඹිලිපිටිය සමාගමෙන් විදුලිය මිලදී ගත්තේ තරගකාරී ටෙන්ඩර් ක්‍රමයෙන් බැහැරව යමිනි. 

තරගකාරී ටෙන්ඩර් ක්‍රමවේදයෙන් බැහැරව  විදුලිය මිලදී ගැනීම් සිදු කළ හැක්කේ ශ්‍රී ලංකා විදුලිබල පනත අනුව අවස්ථා කිහිපයකදී පමණි. එනම් විිදේශීය ස්වෛරී රාජ්‍යයකින් ශ්‍රී ලංකා රජයට ලැබෙන පිරිනැමීමක් කැබිනට් මණ්ඩලයෙන් අනුමත කළහොත් හෝ කැබිනට් මණ්ඩලය විසින් නිශ්චය කරනු ලැබිය හැකි හදිසි අවස්ථාවක දී හෝ පමණි. විදුලිබල පනතට අනුව  කැබිනට් මණ්ලයෙන් හදිසි අවස්ථා තත්ත්වයක් ලෙස සඳහන් කරනු ලැබිය හැක්කේ එක්කෝ ජාතික ව්‍යසනයකදී හෝ එසේ නැතිනම් ප්‍රධාන උත්පාදන පිරියතක විදුලි බලය ක්‍රියා විරහිත වීම දීර්ඝ කාලීනව බලපාන කාලයක දී හෝ පමණි. එවැනි අවස්ථාවකදී කැබිනට් මණ්ඩලයේ තීරණයෙන් පසු   මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය ඇතිව විදුලිය මිලදී ගත හැකිය.  2016 සහ 2017 වසරවල කියන්නට තරම් බරපතල ව්‍යසනයක් හෝ දීර්ඝ කාලීනය බලාගාර අක්‍රීය වීමක් මහජන උපයෝගීතා කොමිසම නිරීක්ෂණය කර නැත.
එස් ඇඹිලිපිටිය බලාගාරය සමඟ ගිවිසුම් දීර්ඝ කිරීම මීට පෙර කැබිනට් තීරණවලට හා විදුලිබල පනතෙහි 43 වැනි වගන්තියට පටහැනි බව ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලිය මිලදී ගැනීම් අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සුජීව අබේවික්‍රම මහතා සිය ප්‍රධානියා වන සම්ප්‍රේෂණ අංශයේ අතිරේක සාමාන්‍යාධිකාරීට 2018 පෙබරවාරි පස් වැනි දා ලිඛිතව දැනුම් දුන්නේ ලංවිම සාමාන්‍යාධිකාරීට ද පිටපතක් සහිතවය. 

කරුණු මෙසේ වෙද්දී 2018 මාර්තු 15 දැනැතිව යළිත් වරක් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත්   වන්නේ එස් ඇඹිලිපිටිය ඇතුළු බලාගාර සමඟ ඇති ගිවිසුම තවත් වසර තුනකින් දීර්ඝ කිරීම සඳහාය. ඒ තරඟකාරී ටෙන්ඩර් කාර්ය පටිපාටියෙන් බැහැරව විදුලිය මිලදී ගැනීමේ ක්‍රියාවලියටය.  ඒ අනුව 2015 අප්‍රේල් හය වැනිදායින් ගිවිසුම් කාලය අවසන් වූ එස් ඇඹිලිපිටිය සමාගමෙන් විවෘත ටෙන්ටර් ක්‍රියාවලියෙන් බැහැරව යමින් හදිසි මිලදී ගැනීම් ලෙස සඳහන් කරමින් 2016 සිට 2021 දක්වා ගිවිසුම් දීර්ඝ කළ කාලය වසර පහකි. 
 මෙම ක්‍රියාවලිය පනතේ 43 වැනි වගන්තියට පටහැනි බැවින් සහ පනතේ නව වැනි වගන්තිය උල්ලංඝනය වන බැවින් විදුලි ජනන බලපත්‍රයක් ලබා දීම මහජන උපයෝගීතා කොමිෂන් සභාව දිගින් දිගටම ප්‍රතික්ෂේප කළේය. 

මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ ජනන බලපත්‍රය හා නියමිත අනුමැතිය නැතිව 2018 අප්‍රේල් මස පස් වැනි දා නැවත වරක් වසර තුනක් සඳහා එස් ඇඹිලිපිටිය සමාගම සමඟ ගිවිසුම් අත්සන් කරන්නේ මුල් ගිවිසුම යටතේ දැනටමත් ගෙවා ඇති සමාගම ආයෝජනය කළ මුදල්  නැවත ගෙවීමට ලංකා විදුලිබල මණ්ඩලය එකඟ වෙමිනි. එම ගාස්තු සංශෝධනය විය යුතු බව ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලිය මිලදී ගැනීම් අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සුජීව අබේවික්‍රම මහතා සිය ප්‍රධානීන්ට ලිඛිතව දැනුම් දුන්නේය. 

එස් ඇඹිලිපිටිය බලාගාරයෙන් විදුලිය මිලදී ගැනීමේ ගිවිසුම වසර තුනකට දීර්ඝ කිරීමෙන් පසු අප්‍රේල් මාසය සඳහා ගෙවීම් කිරීමට අදාල අයපත ලැබිණි. අප්‍රේල් මාසයේ දින 22ක කාලයක් සඳහා බලාගාරයට ගෙවිය යුතු වූ මුදල රුපියල් කෝටි 85කට ආසන්න විය. රුපියල් කෝටි 85ක ගෙවීම නිර්දේශ කරන්නැයි අතිරේක සාමාන්‍යාධිකාරීවරයා විදුලිය මිලදී ගැනීම් අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සුජීව අබේවික්‍රම මහතාට ලිඛිතව දැනුම් දුන්නේය. මෙම ගිවිසුම නීති විරෝධී හෙයින් එම ගෙවීම නීති විරෝධී බව සුජීව අබේවික්‍රම මහතා ලිඛිතව දැනුම් දුන්නේය. සිදු වුණේ අනෙකකි. ගිවිසුමේ නීත්‍යනුකූලභාවය ගැන නීතිපති උපදෙස් ලැබීමටත් පෙර සුජීව අබේවික්‍රම මහතාගේ වැඩ තහනමට ලක් කර එම තනතුර සඳහා වෙනත් කෙනකු පත් කර ගෙවීම අනුමත කර ගැනීමට බලධාරීහු කටයුතු කළහ. 

මේ අතර පසුගිය අගෝස්තු හත් වැනි දා පැවැති පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ දී ද මේ ගැන සාකච්ඡාවට බඳුන් විය. වසර 10කට විදුලිය මිලදී ගැනීමේ ගිවිසුම අවසන් වුවත් එස් ඇඹිලිපිටිය බලාගාරය විදුලිබල මණ්ඩලය යටතට පවරා ගැනීමකින් තොරව ටෙන්ඩර් කිරීමකින් ද තොරව විදුලිය මිලදී ගැනීම සම්බන්ධයෙන් එම කාරක සභාව ප්‍රශ්න කර තිබිණි. 

එහි දී විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශයේ ලේකම්වරයා කාරක සභාවට කරුණු ඉදිිපත් කරමින් කියා ඇත්තේ බලාගාරයේ වටිනාකම සම්බන්ධයෙන් රජයේ තක්සේරුකරුවන් මගින් තක්සේරුවක් ලබා ගත් බවත්, එය රුපියල් මිලියන 2370ක් වූ බවත්ය. මේ සම්බන්ධයෙන් විදුලි බලාගාර හිමිකරු රුපියල් මිලියන 2635ක වටිනාකමක් ඉදිරිපත් කළ බවත්, එම වෙනස රුපියල් මිලියන 300කට ආසන්න වූ බවත් ප්‍රකාශ විය. 

 රජයේ තක්සේරුකරුගේ මිලට එහි හිමිකරු එකඟ නොවූ බව ද එනිසා දකුණු පළාත තුළ පැවැති විදුලිබල අවශ්‍යතාවය සලකා බලා බලාගාරය මිලදී ගැනීමට කටයුතු කරන තෙක් මාස හයකට විදුලිය මිලදී ගැනීමට අනුමැතිය හිමවූ බව ද විදුලිබල ලේකම්වරයා දන්වා තිබේ. කෙසේ වෙතත් 2016 වසරටත් 2017 වසරටත් අවස්ථා දෙකකදී නැවත අලුත් කළ බවත්, විදුලි බලාගාරය මිලදී ගැනීමට වඩා උත්පාදන විදුලිය මිලදී ගැනීමේ ගිවිසුම දීර්ඝ කිරීම යෝග්‍ය බවට විදුලිබල මණ්ඩලය නිර්දේශ කර ඇති හෙයින් මෙය 2018 අප්‍රේල් මස සිට තවත් වසර තුනක් සඳහා දීර්ඝ කරන ලද බවත් විදුලිබල ලේකම්වරයා දැනුම්දී ඇත.

මේ පිළිබඳ සොයා බලද්දී අනාවරණය වී ඇත්තේ බලාගාරය මිලදී ගන්නවාද එසේ නැතිනම් වසර තුනකට දීර්ඝ කරනවාද යන්න සොයා බලා නිර්දේශ වාර්තාවක්  සකස් කර ඇති බවයි. ඒ අනුව වසර තුනක් තුළ ගෙවිය යුතු ආයෝජන වටිනාකමෙහි වර්තමාන ශුද්ධ අගය (කැපෑසිටි චාර්ජ්) රුපියල් මිලියන 11.92ක් බවත්, වසර පහක් තුළ ගෙවිය යුතු කැපෑසිටි වටිනාකමේ ශුද්ධ වර්තමාන අගය රුපියල් මිලියන 18.24ක් ලෙසත් ගණන් බලා තිබිණි. ඒ අනුව නිර්දේශ තුනක් ඉදිරිපත් කර ඇති අතර පළමු නිර්දේශය නම් වසර තුනට අඩුවෙන් මෙම බලාගාරයෙන් විදුලිය මිලදී ගන්නේ නම් ගිවිසුම දීර්ඝ කිරීම වාසිදායක බවයි. වසර තුනට වැඩියෙන් විදුලිය මිලදී ගන්නේ නම් බලාගාරය මිලදී ගැනීම වාසිදායක බවත්, වසර පහකට ගිවිසුම් ගත වන්නේ නම් ගිවිසුම් කාලය අවසානයේ වටිනාකමක් රහිතව ලබාගාරය විදුලිබල මණ්ඩලයට පවරා ගැනීම සුදුසු බවත් නිර්දේශ කර තිබේ.

බලාගාරයෙන් විදුලිය මිලදී ගැනීමේ දී කැපෑසිටි වටිනාකම ලෙස ඒකකයට රුපියල් 1.29ක් බැගින් මසකට රුපියල් මිලියන 76ක් ගෙවා ඇති බවත්, මේ අනුව ගණනය කිරීමේ දී වසර තුනක් සඳහා එම වටිනාකම රුපියල් මිලියන 2736ක් වන බවත් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව නිරීක්ෂණය කර ඇත. බලාගාරයේ හිමිකරු විසින් බලාගාරය අලෙවි කිරීමට එකඟ වූ වටිනාකම වන රුපියල් මිලියන 2635 ඉක්මවා කැපෑසිටි වටිනාකම ලෙස පමණක්   (විදුලි ඒකකයට මිල නැතිව)  අතිරේක රුපියල් මිලියන 101ක් අදාල සමාගමට විදුලි බල මණ්ඩලයෙන් ගෙවීමට නියමිතය. 

හොඳම කාරණය එන්නේ ඊළඟටය. ඉහතින් කතා කළේ එස් ඇඹිලිපිටිය බලාගාරයෙන් විදුලිය මිලදී ගැනීම සඳහා පසුගිය අප්‍රේල් මාසයේ දී වසර තුනකට ගිවිසුම දීර්ඝ කීරීමේ තත්ත්වය ගැනයි. වසර 10ක මුල් ගිවිසුම අවසන් වූ පසු ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව එම සමාගමෙන් විදුලිය මිලදී ගැනීම ආරම්භ කළේ 2016 වසරේ බව මීට පෙරද සඳහන් කළෙමු. ඒ අනුව 2016, 2017 යන වසර දෙක සහ 2018 සිට 2021 දක්වා වසර තුනක කාලයද ගත් විට සම්පූර්ණ කාලය වසර පහකි.

බලාගාරයේ හිමිකරු විසින් බලාගාරය අලෙවි කිරීමට එකඟ වූ වටිනාකම   රුපියල් මිලියන 2635කි. මසකට රුපියල් මිලියන 76ක් බැගින් 2016 සිට 2021 සඳහා කාලයේ කැපෑසිටි වටිනාකම ලෙස පමණක් (ජනන ඒකක මිල නැතිව) අදාල බලාගාරය හිමි සමාගමට ගෙවන සහ ගෙවීමට ඇති මුදල ආසන්න වශයෙන් රුපියල් මිලියන 4560කි. එනම් සමාගම සඳහා එහි හිමිකරු ඉදිරිපත් කළ මිලට වඩා රුපියල් මිලියන 1925ක් හෙවත් රුපියල් කෝටි 192ක් කැපෑසිටි වියදම ලෙස පමණක් වැඩිපුර ගෙවීමට රජයට සිදුවේ.   2016 වසරේ දී මුල් කැබිනට් තීන්දුව අනුව අදාල සමාගම ලංකා විදුලිබල මණ්ඩලයට පවරා ගත්තා නම් මෙම රුපියල් කෝටි 192  සහ තවත් කෝටි ගණනක් ඉතිරිකර ගැනීමේ අවස්ථාව තිබිණි.

විශේෂ කරුණ නම් 2004 වසරේ 2015 වසර දක්වාත් 2016 සිට 2021 වසරේ මෙම ගිවිසුම අවසන් වන තෙක් අදාල සමාගමට ආයෝජනය වියදම් ලෙස ගෙවා සහ ගෙවීමට ඇති මුළු මුදල රුපියල් කෝටි 756කට ආසන්න වීමයි. එනම් සමාගමේ වටිනාකමට වඩා රුපියල් කෝටි 493ක් ලංකා විදුලි බල මණ්ඩලයෙන් එම සමාගමට ගෙවන්නේ කැපෑසිටි වටිනාමක ලෙසය. කෝප් කමිටුව නිරීක්ෂණය කර ඇත්තේ බලාගාරය හිමි ආයනයේ වාර්ෂික වාර්තාවට අනුව ඇඹිලිපිටිය බලාගාරයේ විදුලිය අලෙවි කිරීමෙන් සමාගම 2016 වසරේදී රුපියල් බිලියන 1.1ක එනම් රුපියල් කෝටි 110කට වැඩි ලාභයක් උපයා ඇති බවයි. මේ කෝටි 110 යනු ලංකා විදුලිබල මණ්ඩලයට ඉතිරිකර ගත හැකිව තිබූ මුදලකි. 

සමාගම මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය ලබා දී වසර දෙකකට අධික කාලයක් ගත වුවද මේ කතා කරන මොහොත තෙක් අදාල සමාගම මිලදී ගෙන නැති අතර තවමත් කෝටි ගණනින් රජයේ මුදල් අදාල සමාගමට ගෙවමින් ඇත්තේ මහජන උපයෝගීතා කොමිසම සඳහන් කරනා අන්දමට විදුලිබල පනත ද උල්ලංඝනය කරමිනි. අත යටින් ගනුදෙනු සිදුකිරීම නිසා මෙවැනි තත්ත්වයක් උදාවීදැයි බැලීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැනි ස්වාධීන ආයතනයකට දුන්නා නම් සත්‍ය එළියට එනු ඇත. 

(ඇතැම් තොරතුරු ලබා ගත්තේ තොරතුරු  පනත ඇසුරෙන් කළ ඉල්ලීම් අනුවය)

 



අදහස් (2)

විදුලි මණ්ඩලේ තිත්ත කතාව

Ahinsaka paribogikaya Thursday, 18 October 2018 02:46 PM

ලැජ්ජයි. තමන්ගේ හදවතට තට්ටු කොට අහන්න මේ කරන දෙය හරිද කියා. ඔබලා නිදහස් අධ්‍යාපනයෙන් දියුණුව ලබා රටට සේවය කරනු වෙනුවට, බඩගොස්තරවාදී වීමෙන් කවදා හෝ විපාක විඳීට සිදුවනු ඇත. .

:       0       14

Sriyani Mangalika Monday, 22 October 2018 12:10 PM

මම ඒ 4 ප්‍රමාණයේ කමෙන්ට් එකකුත් දැම්මා... මම ෆේස්බුක් එකේ පෝස්ට් කළා.

:       0       0

ඔබේ අදහස් එවන්න

කොලම

අලුත් දැක්මක නව යුගයක ආරම්භය
2024 සැප්තැම්බර් මස 30 256 0

නිදහසට පසු යුගය තුළ ශ්‍රී ලාංකික දේශපාලන ඉතිහාසයේ පළමු වතාවට සාම්ප්‍රදායික වම හෝ දකුණ හෝ බලයට එන දේශපාලනය වෙනුවට අලුත් බලවේගයක් නිර්මාණය වී තිබේ. ඉකුත


මීළඟ පොරය කොයිබටද?
2024 සැප්තැම්බර් මස 27 828 0

මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත


​දැක්මක ගමනක ජයග්‍රහණ
2024 සැප්තැම්බර් මස 13 774 4

හිටපු මැලේසියානු අගමැති මහතීර් මොහොමඞ් ලෝකප්‍රකට වූයේ ඇයිදැයි ඔබ දන්නවා ද? ඒ අන්කිසිවක් නිසා නොව, ඔහු ඔහුගේ ම ක්‍රමයට මැලේසියාව සංවර්ධනය කොට යළි බිමදැ


විකල්ප තේරීම් ඕනෑද?
2024 සැප්තැම්බර් මස 09 619 2

නිදහසින් පසු මෙරට පැවැත්වූ සහ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණ අතරින් මෙවර පැවැත්වෙන්නේ තීරණාත්මක එකකි. මෙවර අපේක්ෂකයෝ තිස්අට දෙනෙක් ඉදිරිපත්ව සිටිති


ජනපතිවරණ සාකච්ඡා තේමාව
2024 සැප්තැම්බර් මස 06 268 0

ජනාධිපතිවරණයට තවත් ඇත්තේ දින 15ක් පමණ කාලයකි. තැපැල් ඡන්දය පාවිච්චි කිරීම අදින් අවසන් වීමට නියමිතය. සාපේක්ෂක වශයෙන් මෙවර ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා ක


බදු ගෙවන්නන් බිත්තියට හිරකිරීම
2024 සැප්තැම්බර් මස 02 869 0

දැනට පවතින බදු අභියාචනා පටිපාටියට සංශෝධන ගෙන ඒම සඳහා මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට 2024.07.22 දින කැබිනට් අනුමැතිය හිමි වූ බව ටික දිනකට ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38704 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25429 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 284 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 967 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 338 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site