IMG-LOGO

2024 නොවැම්බර් මස 28 වන බ්‍රහස්පතින්දා


විධායක ජනපති ක්‍රමය පිළිලයක්ද

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් චේතනාන්විතවම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් සමහර විධායක තීන්දු තීරණ ගන්නා බවට  එල්ල වන චෝදනා දිනෙන් දිනම වර්ධනය වෙමින් ඉදිරියට ගමන් කරන ආකාරය රටේ දේශපාලන ක්‍ෂේත්‍රය තුළ නිරන්තරයෙන්ම දැකිය හැකි දෙයක් බවට පත්ව ඇත. ජනාධිපතිවරයාට එරෙහිව මෙම චෝදනාව එල්ල වූයේ අද ඊයේ නොවේ. එම චෝදනාව ප්‍රථමවරට එල්ල වූයේ 2018 වර්ෂයේ ඔක්තෝම්බර් මාසයේදී ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අගමැතිවරයෙකු පත්කිරීම සහ ඉවත් කිරීම පිළිබඳව දැක්වෙන ප්‍රතිපාදනවලට එරෙහිව යමින් ඒ වනවිට නීත්‍යානුකූලව තේරීපත්ව ආණ්ඩුබලය මෙහෙයවමින් සිටි රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා තනතුරෙන් පහකොට මහින්ද රාජපක්‍ෂ අගමැති තනතුරට පත් කළ අවස්ථාවේදීය. 

දෙවනවරට එම චෝදනාව එල්ල වන්නේ 2018 වර්ෂයේ නොවැම්බර් 09 දින ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරිය අවස්ථාවේදීය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය පිළිබඳ විශාරදයන් සහ දේශපාලන විචාරකයන් මෙම සිදුවීම් දෙකම හඳුන්වා  දුන්නේ ජනාධිපතිවරයා විසින් චේතනාන්විතවම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් විධායක බලතල අත්තනෝමතික සහ හිතුවක්කාරී ලෙස භාවිත කළ අවස්ථා ලෙසය. ජනාධිපතිවරයාගේ ව්‍යවස්ථා විරෝධී මෙම ක්‍රියා හේතුවෙන් රට තුළ පැන නැඟුණ බරපතළ දේශපාලන අර්බුදය නිරාකරණය කරගත හැකිවූයේ එක් අතකින් අධිකරණය එයට මැදිහත් වී ජනාධිපතිවරයාගේ විධායක ක්‍රියා ව්‍යවස්ථා විරෝධී බව ප්‍රකාශ කරමින් එම ක්‍රියාවල බලාත්මකභාවය නිෂේධ කිරීම හේතුවෙන්ය. අනෙක් අතින් ප්‍රජාතන්ත්‍රවාදයට ළැදි සිවිල් සමාජ ක්‍රියාකාරිකයන් ගෙනගිය අරගලය හේතුවෙන්ය. මෙයට අමතරව කරු ජයසූරිය කථානායකවරයාගේ නායකත්වයෙන් ව්‍යවස්ථාදායකය ජනාධිපතිවරයාගේ අත්තනෝමතික විධායක නියෝග පිළිපැදීම ප්‍රතික්‍ෂේප කරමින් ව්‍යවස්ථාදායකයේ ස්වාධීනත්වය සහ උත්තරීතරභාවය ආරක්‍ෂා කරගැනීම වෙනුවෙන් කරන ලද ගෞරවනීය සටන හේතුවෙන්ය. අවසාන වශයෙන් ව්‍යවස්ථා අර්බුදයෙන් වැඩියෙන්ම බැටකෑ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා ප්‍රජාතන්ත්‍රවාදී යහපාලනය ආරක්‍ෂා කොට පවත්වා ගෙනයාම සඳහා සපයන ලද නොසැලෙනසුලු දෘඩ නායකත්වය හේතුවෙන්ය. 

එම සිදුවීම් දෙකෙන් ජනාධිපතිවරයා පාඩමක් ඉගෙන ගත් බවක් දක්නට නැත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන අයුරින් විධායක තීන්දු තීරණ ගැනීම ඔහු විසින් දිගින් දිගටම කරගෙන ආ අතර මෙම ව්‍යවස්ථා විරෝධී ක්‍රියා හේතුවෙන් පැනනැඟී ඇති අලුත්ම අර්බුදය වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ තීරණය නොසලකා හරිමින් තම අභිමතය අනුව ජනාධිපතිවරයා විසින් අභියාචනාධිකරණයේ සභාපති ධුරයට විනිශ්චයකාරවරයෙකු පත්කිරීමට දරමින් සිටින උත්සාහයයි. මාධ්‍ය වාර්තාවලට අනුව ජනාධිපතිවරයා විසින් අභියාචනාධිකරණයේ සභාපති ධුරයට නම් කරන ලද විනිශ්චයකාරවරිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් තෙවරක්ම ප්‍රතික්‍ෂේප කර ඇත. මෙම අවස්ථා තුනෙහිදීම ජනාධිපතිවරයා කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ තීරණය නොසලකා හරිමින් අදාළ විනිශ්චයකාරවරිය පත්කරන මෙන් යළි යළිත් ඉල්ලා සිටිමින් ඇය අභියාචනාධිකරණයේ වැඩ බලන සභාපතිවරයා ලෙස පත් කිරීමය. ජනාධිපතිවරයාගේ මෙම පත්කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි වන බව ඒ සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කරන නීතිවේදීන්ගේ මතය වේ. මෙම අර්බුදය කොතරම් දුර දිගට ගොස් තිබෙනවාද  කියතහොත් පසුගිය සතියේදී නීතිවේදීන් සිවු දෙනෙකු එම තීරණයට එරෙහිව ශ්‍රෙෂ්ඨාධිකරණය ඉදිරියේ මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කරමින් කියා සිටයේ ජනාධිපතිවරයාගේ ක්‍රියාව හේතුවෙන් තමන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී තිබෙන බවය. 

ව්‍යවස්ථානුකූල පාලනය ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණයේ පදනම වේ. මෙයින් අදහස් කරන්නේ රාජ්‍ය පාලන කටයුතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පදනම් කොටගෙන පවත්වා ගෙන යාමය. මේ අනුව ප්‍රජාතන්තවාදී පාලන ක්‍රමයක පැවැත්ම සඳහා අවශ්‍යයෙන්ම තිබිය යුතු කොන්දේසියක් වන්නේ පාලිතයන් මෙන්ම පාලකයන්ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව කටයුතු කිරීමය. ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූල නීතිය සලකනු ලබන්නේ රටේ මූලික නීතිය ලෙසය. මෙයින් අදහස් කරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූල නීතිය රටේ නීති පද්ධතියේ උත්තරීතර නීතිය වන බව සහ අනෙක් සෑම නීතියක්ම පවතින්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූල නීතියට යටත්ව බවය. අනෙක් අතට ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් තුළ අනෙක් නීති පැනවිය යුත්තේ කෙසේද යන්න පිළිබඳව මඟ පෙන්වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූල නීතිය මගිනි. මෙයින් අදහස් කරන්නේ ව්‍යවස්ථාදායකය පනවන නීති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූල නීතියට අනුකූල විය යුතුය යන්නය. එසේ නොවන නීති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි වන අතර එවැනි නීතිවල බලාත්මකභාවය එම හේතුව නිසාම නිශේධනය වේ. 

මෙම කරුණුවලින් පෙනී යන්නේ ව්‍යවස්ථානුකූල පාලන ක්‍රමයක් තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූල නීතිය අති විශේෂ නීතිමය බලධාරිත්වයක් දරන බවය. එම හේතුව නිසාම අනෙක් නීති වෙනස් කරන ආකාරයට හෝ සංශෝධනය කරන ආකාරයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූල නීතිය වෙනස් කළ නොහැකි අතර ඒ සඳහා අති විශේෂ ව්‍යවස්ථානුකූල ක්‍රියාපටිපාටියක් අනුගමනය කිරීම අවශ්‍ය වේ. එම පටිපාටිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේම දැක්වෙන අතර එයට පටහැනි අයුරින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීමට ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් තුළ මහජනතාවට හෝ පාලකයන්ට බලය නොමැත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූල නීතිය දරන මෙම සුවිශේෂී තත්ත්වය නිසාම එම නීතිය අර්ථකථනය කිරීම පිළිබඳ වගකීම සෑම ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් තුළම පවරා තිබෙන්නේ රටේ අධිකරණ ආයතන පද්ධතියේ ඉහළම සහ උත්තරීතරම අධිකරණය වන ශ්‍රේෂ්ඨාධිකරණයටය. එය සලකනු ලබන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය සතු තනි සහ අනන්‍ය බලයක් ලෙසය.

මෙම පැහැදිලි කිරීම කළේ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූල නීතියට හිමි තත්ත්වය කුමක්ද යන්න පෙන්වා දීම සඳහාය. එම කරුණුවලින් පැහැදිලි ලෙසම පෙනී යන්නේ ප්‍රජතන්ත්‍රවාදී ආණ්ඩුකරණය සාර්ථකව සහ කාර්යක්‍ෂමව පවත්වා ගෙන යාමට නම් විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය යන ආයතන ත්‍රිත්වය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූල නීතියටම අනුකූලවම පමණක් ඒවාට පැවරී ඇති බලතල හා කාර්යයන් ක්‍රියාවට නැංවිය යුතු බවය. ආණ්ඩුකරණයේදී මෙම ආයතන තුන සමහර අවස්ථාවලදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන අයුරින් ක්‍රියාකරන ආකාරය දැකිය හැකි වුවද එම තත්ත්වය නිරන්තරයෙන්ම දැකිය හැකි වන්නේ විධායකය ආශ්‍රිතවය. 

හේතුව එක් අතකින් රාජ්‍ය බලය මෙහෙයවීමේ ප්‍රධානම සහ වැදගත්ම ආයතනය විධායකය වීමය. අනෙක් අතින් අාණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පවරා දී තිබෙන බලයෙන් පමණක් සෑහීමට පත්වීමට බොහෝවිට විධායක බලතල ක්‍රියාවට නංවන පුද්ගලයා හෝ පුද්ගලයන් අකමැති වීමය. තිබෙන බලයෙන් තෘප්තිමත් නොවීම සහ බලය තව තවත් අයත් කර ගැනීම සඳහා බලය පසුපස හඹායාම මිනිසුන්ගේ භෞතික පැවැත්මේ මූලික ලක්‍ෂණයක් වේ. එහෙත් ප්‍රශ්නය වන්නේ සාමාන්‍ය මිනිසෙකු බලය පසුපස හඹා යාමෙන් වියහැකි හානියට වඩා සිය දහස් ගුණයකින් වැඩි හානියක් විධායකය බලය පිටුපස හඹා යාමෙන් සිදුවිය හැකි බවය. විධායකය බලය පිටුපස හඹා යනවිට සිදුවන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණයේ පදනම ලෙස සලකන මූලික නීතිය උල්ලංඝනය වීමය. එහි අවසාන ප්‍රතිඵලය වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය වළපල්ලට ගොස් විධායක ආඥාදායකත්වයක් බිහිවීමය. සුදුවෑන් සංස්කෘතිය ආණ්ඩුකරණයේ පදනම බවට පත් වීමය. මෙයින් එක් දෙයක් පැහැදිලි වේ. එනම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම විධායක බලතල මෙහෙයවන පුද්ගලයකුට කළහැකි බරපතළම අපරාධය වන බවය. මෙම අපරාධයේ ප්‍රතිඵලය වන්නේ විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය යන ආයතන ත්‍රිත්වය අතර ගැටුම් ඇතිවීමය. එහි ප්‍රතිඵලය වන්නේ ආණ්ඩුකරණය අවිනිශ්චිත තත්ත්වයකට පත්වීමය. ආණ්ඩුකරණය අවිනිශ්චිත වූ විට රටේ දේශපාලන ක්‍රමය, ආර්ථික ක්‍රමය සහ සමාජ ක්‍රමය අර්බුදය කරා යාම වැළැක්විය හැකි නොවේ. මෙම අර්බුදය අවසාන විය හැක්කේ රට තුළ විධායක ආඥාදායකත්වයක් බිහිවීමෙන්ය. එය ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණයේ පමණක් නොව මොන්ටෙස්කියු නමැති ප්‍රංශ ජාතික දේශපාලන දාර්ශනිකයා ප්‍රකාශ කළ පරිදි සෑම දෙයකම අවසානය වනු ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම බරපතළ අපරාධයක් ලෙස සලකන්නේ එබැවිනි. අද මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට එල්ල වී තිබෙන්නේ මෙම බරපතළ චෝදනාවය. එම නිසයි මෙම ප්‍රශ්නය ජාතික ප්‍රශ්නයක් බවට පත්ව තිබෙන්නේ.  

මෙයට ප්‍රථමයෙන්ද සඳහන් කළ පරිදි කුමන ආණ්ඩුක්‍රමයක් තුළ වුවද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් අත්තනෝමතික සහ හිතුවක්කාරී ලෙස විධායකය කටයුතු කිරීමට පෙලඹීම අහඹු දෙයක් නොවේ. එය සාමාන්‍ය දෙයක් වේ. මේ හේතුවෙන් ව්‍යවස්ථානුකූල පාලනයක් පවත්වා ගෙනයන රටවල් ආශ්‍රිතව දැකිය හැකි ලක්‍ෂණයක් වන්නේ විධායකය අත්තනෝමතික වීම වළක්වාලීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින්ම යම්යම් සීමා බන්ධන පනවා තිබෙන ආකාරයයි. නිදසුන් ලෙස ශ්‍රී ලංකා ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 19 වන ව්‍යවස්ථා සංශෝධනය යටතේ අන්තර්ගත කළ 33 වගන්තියේ (අ) අනු වගන්තිය පෙන්වා දියහැක. එම වගන්තියේ සඳහන් වන ආකාරයට ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පැවරෙන එක් කාර්යයක් වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුගමනය කරන බවටද, ආරක්‍ෂා කරන බවටද වගබලා ගැනීමය. එම වගන්තියේම (ඇ) අනු වගන්තියෙන් කියවෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සහ 5 - 7 (අ) වගන්තියේ සඳහන් ආයතනවල නිසි ක්‍රියාකාරිත්වය පහසුකරලීම ජනාධිපතිවරයාගේ කාර්යයක් සහ වගකීමක් වන බවය. අද ජනාධිපතිවරයාට චෝදනා එල්ල කරන අය කියා සිටින්නේ ජනාධිපතිවරයා මෙම වගන්ති දෙක චේතනාන්විතවම උල්ලංඝනය කරමින් හිතුවක්කාරී සහ අත්තනෝමතික ලෙස විධායක තීන්දු තීරණ ගන්නා බවය. මෙම හේතුවෙන් විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය යන ආයතන ත්‍රිත්වය අතර ගැටුම් ඇති වී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අර්බුදයක් පැනනැගී තිබෙන බවය. මෙහි ප්‍රතිඵලය ලෙස ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය බරපතළ අර්බුදයකට මුහුණ දී තිබෙන බවය. 

මෙම අර්බුදය දිග් ගැස්සීම මගින් පෙනී යන්නේ ජනාධිපතිවරයාගේ හැසිරීම පාලනය කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ අන්තර්ගත විධිවිධාන කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවය. එසේනම් ඉතුරුව ඇත්තේ තවත් එක් ආයුධයක් පමණක්ය. එනම් දෝෂාභියෝගයක් සම්මත කිරීම මගින් ජනාධිපතිවරයා තනතුරෙන් ඉවත් කිරීමය. එහෙත් එය මිහිතලය මත ඉර හඳ පවතින තාක්කල් කළහැකි දෙයක් නොවේ. හේතුව එය ලෝකයේ දැනට පවතින අපහසුම සහ අමාරුම දෝෂාභියෝගී ක්‍රියාවලිය වීමය. එවැනි යෝජනාවක් සම්මත කිරීම නොව කෙටුම්පත්කොට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පවා අතිශයින්ම අපහසු කාර්යයක් වේ. එබැවින් ඒ පිළිබඳව කථා කිරීම පවා නිශ්ඵල කාර්යයක් වේ. මෙයින් පෙනී යන්නේ බලයට පත්වන ජනාධිපතිවරයෙකු ධුර කාලය නිල වශයෙන් අවසන් වීමට ප්‍රථමයෙන් තනතුරෙන් ඉවත් කිරීම කිසිසේත්ම කළහැකි කාර්යයක් නොවන බවය. 

බලයට පත්වන ජනාධිපතිවරු මෙම තත්ත්වය හොඳින්ම දනිති. එක් අතකින් බලන විට බලයට පත්වන ජනාධිපතිවරුන් ඉවක් බවක් නැතිව බලය පාවිච්චිකිරීමට  පටන් ගන්නේ අාණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින්ම නිලයට සපයා ඇති මෙම දැඩි ස්ථාවරභාවය හේතුකොට ගෙනය. මේ අනුව බලන විට පෙනී යන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින්ම ජනාධිපතිවරුන්ට අත්තනෝමතික වීම සඳහා අනියම් ආකාරයෙන් මාර්ගය පාදා දී තිබෙන බවය. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින බරපතළම ප්‍රතිවිරෝධතාවක් ලෙස මෙය හඳුන්වා දියහැක.

එසේනම් පවතින තත්ත්වය තුළ විධායක අත්තනෝමතිකභාවය පාලනය කළ හැක්කේ කෙසේද යන ප්‍රශ්නය මෙහිදී මතු වේ. පවතින තත්ත්වය තුළ මෙම වගකීම මුළුමනින්ම පැවරී තිබෙන්නේ අධිකරණයටය. අධිකරණයට  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ භාරකරු සහ ආරක්‍ෂකයා වශයෙන් පැවරී තිබෙන උත්තරීතර කාර්යභාරය නිදහස් සහ අපක්‍ෂපාතී ලෙස මුදාහරින ප්‍රමාණය මත ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණයේ අනාගත පැවැත්ම රඳා පවතින බව අමුතුවෙන් සඳහන් කළයුතු නොවේ. එහෙත් මෙම අපේක්‍ෂාව මුළුමනින්ම යථාර්වාදී එකක් හැටියට නොසැලකිය යුතුය. හේතුව අධිකරණ තීන්දුවලට පවා ගරු නොකරමින් ක්‍රියා කිරීමට සමහර අත්තනෝමතික පාලකයන් පෙලඹීමය. එබැවින් අවසාන විසඳුම විය යුත්තේ කුමක්ද? මේ සම්බන්ධයෙන් පවතින එකම විසඳුම වන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමය. ඒ සඳහා ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම පදනම් කරගත් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයන අංශයේ හිටපු මහාචාර්ය 
එම්.ඕ.ඒ. ද සොයිසා



අදහස් (17)

විධායක ජනපති ක්‍රමය පිළිලයක්ද

Deepal Nirosh Friday, 22 March 2019 10:25 AM

විධායක ජනාධිපති ක්‍ර‍මය රටට පිළිලයක් ලෙස කරන අර්ථකතනය වැරදියි. 13වන ව්‍යවස්ථා සංශෝධනය හරහා අප රටට හඳුන්වා දුන් පළාත් සභා ක්‍ර‍මය ක්‍රියාත්මක වන්නේ විධායක ජනාධිපතිවරයාගේ මෙහෙයවීම යටතේ... විධායක ජනාධිපති ක්‍ර‍මය වෙනස් කළ යුත්තේ ඒ සියළු ව්‍යවස්ථා වගන්ති සංශෝධනය කෙරෙන පූර්ණ ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාවලියක් මගින්... එය ක්ෂණිකව කළ හැකි කාරියක් නොවේ. අනික් කරුණ නම් ඔක්තෝබර් 26 දින ජනාධිපතිවරයා එපරිදි හෝ ආණ්ඩු පරිවර්ථනයක් නොකළේ නම් අහිතකර 20වන ව්‍යවස්ථා සංශෝධනය මෙලහට අනුමත වී අවසන්...

:       162       5

මාවිල්මඩ වජිර හිමි Sunday, 24 March 2019 07:39 AM

1978 ජේ.ආර්. ජයවර්ධන විධායක ජනාධිපති ධුරය හඳුන්වා දුන් අවස්ථාවේ ශ්‍රීලනිප, ජවිපෙ හා වමේ පක්ෂද මහාචාර්ය සරත්චන්ද්‍ර වැනි විද්වතුන් කලාකරුවන්ද මාදුළුවාවේ සෝභිත හිමි වැනි මහා සංඝරත්නයද ඊට තම බලවත් විරෝධය දැක්වුහ. 1987 දී 13 වන සංශෝධනය මගින් පළාත්සභා හඳුවාදුන් පසුවද බලයට පැමිණි චන්ද්‍රිකා, මහින්ද හා මෛත්‍රිපාල ජනාධිපතිවරුන් සියලුම දෙනාගේ ප්‍රමුඛතම මැතිවරණ පොරොන්දුව වුයේ විධායක ජනාධිපතික්‍රමය අහෝසි කරන බවයි. එහෙත් බලයට පත් වූ පසු එම ධුරයේ ඇති අත්තනෝමතික බලයට ගිජු වී ඔවුන් සියලුම දෙනා එම පොරොන්දුව අමතක කර දමන ලදී.

:       0       180

BamunuarachchiSunday, 24 March 2019 02:10 PM

ඔබ හරියට හරි. එහෙනම් අපිට යුද්ධය කරන්නත් බැහැ. ජෙප්පෝ භය වෙලා ඉන්නේ ඝෝඨාභය ජනාදිපති වුණාම ඔවුන්ට එල්ලෙන්න වැල් හොයන්න වෙන හින්දා...

:       140       2

NissankaMonday, 25 March 2019 05:07 AM

ගෝඨාභය ජනාධිපති වෙන්නේ හීනෙන් තමයි. සිංහල බෞද්ධ ඡන්ද 65%ක් ගත්තත් අඩු තරමින් සුළු ජාතික ඡන්ද 30% වත් ගන්න බැරි කෙනෙකුට ජනාධිපතිවරණය දිනන්න බැහැ. මහින්දට 2014 රාජ්‍ය බලය තියාගෙනත් දිනන්න බැරි වුනේ ඒ නිසයි. අනිත් පැත්තෙන් පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් නොවුනොත් ඔවුන්ටත් පළමු වටයෙන් දින්නන්න බැහැ. එවිට ජයග්‍රාහකයා තීරණය වෙන්නේ ඔබ කියන ජෙප්පොන්ගේ දෙවෙනි ඡන්දයෙන් බව අමතක කරන්න එපා...

:       2       138

BamunuarachchiMonday, 25 March 2019 09:24 AM

ජනාධිපති උන දවසට මම පිරිස සමග ඔබ සොයා එන්නම්

:       112       0

NissankaTuesday, 26 March 2019 11:47 AM

හොඳයි බමුණු, අපි එදාට මුණ ගැහෙමු. පිරිස කීයක්ද කියලා කිව්වොත් මට කෑම ලැස්ති කරලා තියන්න පුළුවන්.

:       0       33

ධනුෂ්කTuesday, 26 March 2019 02:17 PM

අනික මේ ලෝකේ යුද්ධ දිනලා තියෙන්නේ ජනාධිපතිවරු ඉන්න රටවල් විතරද? මම අහනවා ඔබෙන් ඇයි එහෙනම් අනික් විධායක ජනාධිපති වරුන්ට බැරි වුනේ. එමෙන්ම මම තර්ක කරනවා. එ් මොහොතේ මහින්ද මහතා ජනාධිපති නෙමෙයි අගමැති වෙලා හිටියත් යුද්ධය දිනන්න පුලුවන් කියලා. ඒ මොහොතේ රට ඇතුලේ වගේම රටන් පිටත් යුද්ධය ඉවර කරන්න ලොකු සහයෝගයක් තිබුනා. එහෙම නැතුව පුලුවන්ද ජාතියන්තර මුහුදේ තියන නැව් වලට ගහන්න. ඉන්දියාව තම ගුවන් සීමාව පවා අපේ ගුවන් හමුදාවට දුන්නා. රේඩාර් දුන්නා.

:       0       0

kule Friday, 22 March 2019 06:09 PM

1977 ප්‍රථම තිබූ රජයන් සහ 1977 සිට පැවැති රජයන් දෙස බැලීමේදී එදා ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තුවකුත් උගත් අවංක දේශපාලන නායකයින් සහ මන්ත්‍රීලා සිටියා. එදා සියලු තීරණ තීන්දු ගත්තේ ප්‍රජාතන්ත්‍රවාදීවයි... අද කෝටි ගණනකට මන්ත්‍රීකම වෙන්දේසි වෙනවා. ඒ තුච්ච අත්දැකීම අපි පසුගිය දිනක අත්වින්දා. ඒ නිසා ස්ථීර රටක පැවැත්මට විධායක ජනාධිපති ක්‍රමය තිබිය යුතුයි.

:       48       19

PerakumSunday, 24 March 2019 08:53 AM

කෝටි ගණනකට මන්ත්‍රීකම වෙන්දේසි වෙන එක වළක්වන්න තමයි ව්‍යවස්ථාව සංසෝධනය විය යුත්තේ. කෝ ඉතින් ගෙම්බෝ පැනීම වළක්වන්න කවුරුත් කැමති නැහැනේ... එහෙම කරලා දිස්ත්‍රික්කයට නැතුව අපේ කොට්ඨාසයට මන්ත්‍රී කෙනෙක් පත්වෙනවා නම් පක්ෂේ නොබලා සුදුස්සෙක් අපේ නියෝජිතයා හැටියට පත්කර ගන්නවනේ. ඒත් ඒක හීනයක් පමණයි..!

:       23       130

daya Saturday, 23 March 2019 02:30 AM

මේ වෙලාවේ ව්‍යවස්ථා වෙනස් කිරීම නොවෙයි ඕනේ වැඩ කරන්න. එන්.ජි.ඕ බලවත් වෙලාවේ වැඩේ භයානකයි. ජනපති ක්‍රමය ඉවත් කරන්නේ නම් වැඩකට නැති පළාත් සභා ඉවත් කලයුතුයි අර 225 ට ඒවායේ පාලන බලය ගියොත් සාමාන්‍ය පෙළ අසමත් 94 ඉන්න දුෂිත පුද්ගලයින් මුදලට වැඩ කරාවි. එවිට රටවල් 9 බිහිවෙනවමයි.

:       60       12

Sanath Kandy Sunday, 24 March 2019 07:49 AM

ලංකාවේ පළාත්සභාවලට වඩා පුළුල් බලතල සහිත ප්‍රාන්ත ආණ්ඩු ඇති ඉන්දියාවේ රාජ්‍ය නායකයා වන්නේ නාමික ජනාධිපතිවරයාය. ජවිපෙ විසින් යෝජිත 20 වන සංශෝධනයට අනුව පළාත් සභා සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සතු බලතල කිසිවක් අහෝසිවන්නේ නැත. පුද්ගලාභිවන්දනය ආත්මයකොට ගත් වහල් මානසිකත්වයකින් යුත් පිරිසකට පමණක් දැන් මේ ප්‍රජාතන්ත්‍රවාදයට හානිදායක විධායක ජනාධිපති ධුරය අවශ්‍ය වී ඇත.

:       1       115

BamunuarachchiSunday, 24 March 2019 02:34 PM

ඉන්දියාවේ පුළුල් බලතල සහිත ප්‍රාන්ත ආණ්ඩුවල විශාලත්වයයි, මේ රටේ මේ හුන්ඩු වගේ තිබෙන පළාත්වලයි සංසන්දනයක් කරන්නකෝ... ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය ලංකාව මේ දෙගුණයක් ලොකුයි,.. වර්ග කි.මි 130060ලොකුයි. එවන් විශාල ප්‍රාන්තයකට බලතල හිමිවීම සාධාරණයි. ලංකාවේ පළාත් සභාවක දල විශාලත්වය වර්ග කි.මි 7290 කි. මේවාට මහා ඇමතිවරු පත්කර මොවුන්ට වෙනවෙනම බලතල දීම ජනතාව තම අතින් සියදිවි නසා ගැනීමක්ය. මේ ක්‍රමයට දෙමළුන් කැමතිය. එය රට කෙලින්ම ෆෙඩරල් වීමකි.

:       56       2

Sanath KandySunday, 24 March 2019 04:29 PM

මාතෘකාවට අදාලව අදහස් දක්වන්න. අඥානභාවය ප්‍රදර්ශනය නොකර. මම කිසි විටෙකත් පළාත්සභා අනුමත කර නැහැ. මම ප්‍රකාශ කළේ එතරම් විශාල බලතල සහිත ප්‍රාන්ත ආණ්ඩු ඇති ඉන්දියාවේත් විධායක ජනාධිපතිවරයෙක් නැති බවයි.

:       1       70

BamunuarachchiMonday, 25 March 2019 09:19 AM

මම අදහස් පල කලේ ඔබේ අදහසට සමගාමීවයි එය තෝර බේරා ගන්න බැරි තරම් ඔබ මෝඩයෙක්ද?

:       107       1

DAYAMonday, 25 March 2019 02:26 AM

දැන් ඉන්න 225ට පළාත් සභා පාලනය ගියහොත් මුදලට ඕනෙම දෙයක් කර රට කඩනු ඇත.

:       15       1

Bamunuarachchi Sunday, 24 March 2019 02:07 PM

"ඒ වනවිට නීත්‍යානුකූලව තේරීපත්ව ආණ්ඩුබලය මෙහෙයවමින් සිටි රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා තනතුරෙන් පහකොට මහින්ද රාජපක්‍ෂ අගමැති තනතුරට පත් කළ අවස්ථාවේදීය." එය අත්‍යාවශ්‍යයෙන්ම සිදුවිය යුතු දෙයක්... ජනාධිපති එයට හේතු පෙන්වුවා. ඔබ ඒ පෙන්වූ හේතු ගැන කතා නොකරයි... ඉහත දැක්වූ අදහස ලියන්නේ ජනාධිපති බලතල නොතිබුණා නම් මේ ගොබ්බයො මෙරටට ජාත්‍යන්තර අධිකරණයකුත් ලබාගෙන... එජාපෙ නමැති ජාතිය මේ රටේ තිබෙනතුරු ජනාධිපතිට බලතලත් මෙ රටේ තිබිය යුතුයි. නොතිබුණා නම් අපි යුද්ධයත් පරාදයි.

:       66       2

Vijitha Monday, 25 March 2019 03:31 AM

මෙම ප්‍රකාශය හරිද? "ජනාධිපතිවරයාගේ හැසිරීම පාලනය කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ අන්තර්ගත විධිවිධාන කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවයි "මට නම් හිතෙන්නේ "ආණ්ඩුවේ වැරදි හැසිරීම පාලනය කිරීමට ජනාධිපතිවරයාගේ බලතල ප්‍රමාණවත් නැති බවයි.

:       26       2

ඔබේ අදහස් එවන්න

කොලම

මාලිමාවේ ජයෙන් ඔබ්බට
2024 නොවැම්බර් මස 22 1124 3

මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්


එදා - මෙදා දේශපාලක අමුතු කතා
2024 නොවැම්බර් මස 15 962 5

මේ වන විට මැතිවරණ ප්‍රතිඵල ලැබෙමින් තිබේ. සත්‍ය වශයෙන්ම ඡන්දය දැමීමට ගිය ප්‍රතිශතය කෙසේ වෙතත් මෙවර මැතිවරණයට පෙර කාලය තුළ නම් ජනතාව අතර උනන්දුවක් තිබු


සහල් මිල ප්‍රශ්නයට විසඳුමක්
2024 නොවැම්බර් මස 11 748 0

ජනාධිපති අනුර කුමාර දිසානායක වගකීම දරන එක් විෂයක් වන්නේ කෘෂිකර්මාන්තයයි. අනෙක් අතට ආහාර සුරක්ෂිත භාවය හා සෞඛ්‍ය වැනි කෘෂිකර්මයට සම්බන්ධ ඒ මත රැඳුණු ව


අලුත් මැතිසබේ නව මන්ත්‍රීන්ගේ අභියෝග
2024 නොවැම්බර් මස 08 445 0

පාර්ලිමේන්තු මහ මැතිවරණය ලබන බ්‍රහස්පතින්දාය. සති අන්තය වන විට අලුත් ආණ්ඩුවකි. අලුතින් තේරී පත්වන මහජන නියෝජිතයන් අතුරින් කැබිනට් මණ්ඩලය තෝරා ගැනෙනු


යුගයට ගැළපෙන දේශපාලනය
2024 නොවැම්බර් මස 04 419 0

තොරතුරු සහ සත්‍ය අතර පරතරයක් ඇත. විවිධ මාධ්‍ය ඔස්සේ ලැබෙන තොරතුරු අති විශාලය. මෙම තොරතුරුවලින් සැලකිය යුතු කොටසක් ඇත්ත නොවේ. ගල් යුගයේ සිට කෘත්‍රිම බුද


මැතිවරණ පොරොන්දු සීමා නීතියක්
2024 නොවැම්බර් මස 01 2405 7

අගමැති හරිනි අමරසූරිය මහත්මිය විසින් පසුගිය දා කරන ලද ප්‍රකාශයක් අතිශයින්ම මා සිත් ගත්තේ ය. ඇය ප්‍රකාශ කර තිබුණේ තමන්ට ඉතා අවම ආරක්ෂකයන් අවශ්‍ය වුවද එ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 563 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 766 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2147 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site