2015 ජනවාරි 8 වැනිදා ශ්‍රී ලාංකික ඡන්දදායකයන්ගෙන් ලක්ෂ හැට දෙකක් ඡන්දය භාවිත කළේ පැවැති රාජපක්ෂ පාලනය වෙනස් කිරීමටය. ඊට උතුර දකුණ කියා භේදයක් නොවිණි. රටේ සියලු ප්‍රදේශවල පුරවැසියෝ ඒ තීරණයට දායක වූහ. මේ පාලන වෙනසින් එදා ඒ ජනයා අපේක්ෂා කළේ පුද්ගල වෙනසක් පමණක් නොවේ. පුද්ගලයා හා බැඳුණු ප්‍රතිපත්ති, ක්‍රියාමාර්ග හා වැඩපිළිවෙළේ ද වෙනසකි. මේ මූලික අපේක්ෂා සමඟ දේශපාලනිකව සෘජුවම බද්ධ වූයේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා හා අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණයි. 2015 අගෝස්තු මහ මැතිවරණයේ දී පාර්ලිමේන්තුවේ බහුතර බලයක් කිසියම් ආකාරයකට එක්සත් ජාතික පෙරමුණට ලැබුණේ ද එකී වැඩපිළිවෙළෙහි දිගුවක් අරමුණු කරගෙනය. මේ මැතිවරණ දෙකේ දීම රටේ සක්‍රීය පුරවැසි ජනයා මැදිහත්වීම් කළේ සුවහසක් අරමුණු හද දරාගෙනය. එහෙත් ඒ අරමුණු මුදුන්පත් වී දැයි මේ වනවිට සමාජයෙහිම මතුව ඇත්තේ ප්‍රශ්නාර්ථයකි. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා විධායක ජනාධිපතිවරයාගේ බලතල යම් ආකාරයකට අඩු කිරීමට හැකි වුව ද එය ප්‍රායෝගිකව භාවිත යථාර්ථයක් වී දැයි යන ප්‍රශ්නය මතුවීම ද ඊට එක් හේතුවක්ව තිබේ. එසේම 2015 ප්‍රමුඛ සටන් පාඨයක් වූ දූෂණය වංචාව මැඬලීමට ද නිශ්චිත ක්‍රියාමාර්ග නොදැකීම ද එයට තවත් හේතුවකි.
කෘෂිකර්මය, සෞඛ්‍ය, අධ්‍යාපනය, ප්‍රවාහනය ආදී වශයෙන් රටේ ප්‍රධාන ක්‍ෂේත්‍රවල පැවැති තත්ත්වයට වඩා යහපත් තත්ත්වයක් තවමත් පුරවැසියන්ට දකින්නට නැත. අධික බදු බර ද එසේ ය. පීඩාකාරී වටපිටාව වෙනසක් නොවුණ ද එදා එක් වූ යහපාලන ආණ්ඩුව දෙකට කැඩී එකිනෙකාට කරගන්නා චෝදනාවල ද ප්‍රතිචෝදනාවල ද අඩුවක් නම් නැත. ආණ්ඩුවක් තිබේ ද යන ප්‍රශ්නය රට හමුවේ මතුව තිබෙන්නේ එහෙයිනි. එසේ වුව ද උද්ගතව ඇති තත්ත්වය හමුවේ යහපත් සමාජ වෙනසක් වෙනුවෙන් සියලු ම පුරවැසියන්ට ඇත්තේ අත්හළ නොහැකි වගකීමකි. ආචාර්ය එන්.එම්. පෙරේරා වැනි පරිණත දේශපාලකයන් විද්වතුන් මෙවැනි දේශපාලන අනර්ථ ගැන අනතුරු ඇඟවූයේ විධායක ජනාධිපති ධුරය හඳුන්වා දෙමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කරන අවස්ථාවේ දීම ය. විවිධ වාමාංශික හා ප්‍රගතිශීලී බලවේග විධායක ජනාධිපති ධුරයේ අනතුර ගැන මත පළ කරමින් විරෝධය දැක්වුව ද එදා පැවැති ජයවර්ධන ආණ්ඩුව ඒ හඬට කන් දුන්නේ නැත. පාර්ලිමේන්තුවේ හයෙන් පහක අසීමිත බලයෙන් දෑස් අන්ධව සිටි ජයවර්ධන මහතා විමතිකයන් සත පහකට ගණන් නොගැනීමෙන් නොනැවතී සිය පක්ෂයේ ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් දින රහිත ඉල්ලා අස්වීමේ ලියුම් පවා ගත්තේ ය. ඉන්පසුව 1980 ජූලි වර්ජනය මර්දනයෙන් ද 1983 කළු ජූලිය නිර්මාණයෙන් ද ආරම්භ කළ ඒකාධිපති ගමන දේශපාලන පක්ෂ තහනම් කරමින් උතුරේත් දකුණේත් ගිනි ඇවිළෙන රාජ්‍යයක් බවට පත් කළ ද නිමක් නොවී ය. 1987 දී සිය කැබිනට් මණ්ඩලයේ මතය පවා නොවිමසා ඉන්දු-ලංකා ගිවිසුම අස්සන් කිරීම ද පක්ෂයේ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය පවා ප්‍රශ්න කිරීමට ලක් කළේ ය. 1978 විරෝධයෙන් ඔබ්බට ගොස් වසර දහයක් යද්දී 1988 වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂිකාව වූ සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ මැතිවරණ පොරොන්දුවක් බවට විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම පත්වූයේ එහෙම ය.
එහෙත් ඒ ජනාධිපතිවරණයෙන් බලය ලබාගැනීමට ඇයට හැකි වුණේ නැත. 1994 ජනාධිපතිවරණයේ දී ශ්‍රී.ල.නි.ප. අපේක්ෂිකාව වූ ඇයගේ දියණිය චන්ද්‍රිකා කුමාරණතුංගගේ ද මැතිවරණ පොරොන්දුවක් බවට එය නැවත පත්වුණේ ඒ අනුව ය. ජාතිය ගලවා ගැනීමේ පෙරමුණෙන් ඉදිරිපත් වූ ජනාධිපති අපේක්ෂකයාට චන්ද්‍රිකා කුමාරණතුංග ලිඛිතව පොරොන්දු වුණේ වසරක් ඇතුළත එනම් 1995 ජූලි මාසය වන විට විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බවට ය. එම පොරොන්දුව යටපත් වූවා පමණක් නොව නැවත වරක් තරග කරන තැනකට ද ඇය තල්ලු වූවාය. ඇයගේ අනුප්‍රාප්තිකයා වූ මහින්ද රාජපක්ෂගේ දේශපාලන හැසිරීම ද ඊට කිසි ලෙසකින් වෙනස් නොවීය. විධායක ජනාධිපති ධුරය අහෝසියේ පොරොන්දු දේශපාලන ඉතිහාසයේ වඩාත් තීව්‍ර ලෙස එය ප්‍රකාශයට පත්කරනු ලැබුවේ මෛත්‍රීපාල සිරිසේන මහතා විසිනි. තමා නියෝජනය කළ දේශපාලන පක්ෂයෙන් අභිනිෂ්ක්‍රමණය කළ හා දේශපාලන පක්ෂයක් නැති තැනැත්තකු හැටියට ඔහුගේ අතින් මේ කටයුත්ත වේ යැයි අප ද ඇතුළුව ඒ මොහොතේ රටේ සාතිශය බහුතර ඡන්දදායකයෝ සිතූහ. විධායක ජනාධිපති ධුරය අහෝසියෙන් රටේ සකල දෝෂ නිවාරණය වේ යැයි මුග්ධ සිතුවිල්ලක නොසිටිය ද සැලකිය යුතු සමාජ, ආර්ථික ප්‍රශ්න ගණනකට පිළිතුරු සපයාගත හැකි ප්‍රජාතන්ත්‍රවාදී පරිසරයක් නිර්මාණය කරගත හැකි යැයි විශ්වාස කළහ. සාපේක්ෂව අප ඔහු ගැන සිතුවේ නිදහස් මතධාරී මධ්‍යස්ථ පුද්ගලයකු යැයි කියා ය. එහෙත් අද වනවිට ඔහුගේ පොරොන්දුව ද තවත් දේශපාලන පොරොන්දුවක් බවට සීමා වී අප දකින්නේ නැවතත් ජනාධිපති අපේක්ෂකයකු වීමේ සූදානම ය.
ජනතා විමුක්ති පෙරමුණ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ අරමුණෙන් 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කරන්නේ මේ පසුබිමේ ය. පොදුවේ ගත්කල ඊට අනෙක් දේශපාලන පක්ෂවලට විරුද්ධ විය නොහැකි තත්ත්වයක් ද අපි දකිමු. ඊට හේතුව නම් මේ සෑම දේශපාලන පක්ෂයක් ම විවිධ අවස්ථාවල විධායක ජනාධිපති ධුරය අහෝසි කළ යුතු ය යන ස්ථාවරය ගැනීම ය. විශේෂයෙන් ම විධායක ජනාධිපති ධුරයේ නිර්මාතෘවරයා වුව ද එක්සත් ජාතික පක්ෂය මේ වනවිට සිටින්නේ එය අහෝසි කළ යුතු ය යන ස්ථාවරයේ ය. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මියට ද තමා නියෝජනය කළ මතයෙන් බැහැර විය නොහැකි ය. මහින්ද රාජපක්ෂ මහතාට ද මෛත්‍රීපාල සිරිසේන මහතාට ද මේ දහම පොදු ය. ඒ අනුව විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට මතවාදී වශයෙන් සමාන්තර අදහස් ඇති දේශපාලන පරිසරයක් මේ වනවිට තිබෙන බව පැහැදිලි ය. ඉතින් දිගු කලකට පසු නිර්මාණය වූ මේ පරිසරයේ දී ද විධායක ජනාධිපති ධුරය අහෝසි කෙරෙන්නේ නැති නම් පුරවැසියකු හැටියට මා සිතන්නේ මේ රටට එහි අනිටු පල විපාක විඳින්නට නුදුරු අනාගතයේ නිසැකයෙන් ම සිදුවනු ඇති බව ය.
උතුරු නැගෙනහිර තිස් අවුරුදු යුද්ධයෙන් මේ රටේ ජනතාව ඕනෑවටත් වඩා බැට කෑහ. එනිසා රට නැවතත් කිසියම් හෝ ආකාරයක යුද්ධයකට පෙළඹවීම වැළැක්වීම අද දවසේ පුරවැසියන්ගේ ප්‍රධාන කාර්යයකි. යුද්ධයක දී සියලු මිනිසුන්ට ගෙවන්නට සිදුවන මිල බොහෝ ම වැඩි ය. ඒ මිල හුදෙක් භෞතික දේපළවලින් මැනිය නොහැකි අභ්‍යන්තර ආත්මීය වන්දියකි. නැවත කිසිදා මේ රටට නොඑන්නේ ය යන අදහසින් ලක්ෂ ගණනක ජනතාවක් විදේශවල ජීවත්වන්නේ ඒ මිලෙහි කොටසක් වශයෙනි. රටක් දියුණුවට කටයුතු කළ යුතු ජන කොටස් වාර්ගිකයන් වශයෙන් දෙකට බෙදී එකිනෙකා සැකකරමින් දුක්ඛිත ජීවිත ගතකරන්නේ ඒ මිලෙහි කොටසක් වශයෙනි. මේ සියලු දුක්ඛදෝමනස්සවලට මූල සාධකයක් වූ විධායක ජනාධිපති ධුරය අහෝසි කර සමස්ත ශ්‍රී ලාංකිකයන්ට ගෞරවනීය ජීවිතයක් ගත කළ හැකි පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට පිවිසිය යුතු යැයි අප කියන්නේ එහෙයිනි. අප මතු සඳහන් කළ පරිද්දෙන් විධායක ජනාධිපති ධුර අහෝසියෙන් රටේ සකල දෝෂ නිවාරණය නොවුණ ද ප්‍රධාන සමාජ, ආර්ථික ප්‍රශ්නවලට සාධාරණ විසඳුමක් සොයාගැනීම සඳහා යම් ප්‍රවේශයක් විවර වනු ඇත.
රටට තද පාලකයකු ඕනෑ යැයි ප්‍රවාදයක් ද දැන් කාලයක් තිස්සේ ඇසේ. මේ මතය ඉදිරිපත් කරන ඇතැමුන්ගේ කතා අසන මට නිතැතින් ම සිහිවන්නේ පංචතන්ත්‍රයේ කතාවකි. ඊට අනුව විලක වැසි මැඩියන්ට තිබූ විශාල ප්‍රශ්නයක් වූයේ තමන්ට ප්‍රබල රජකු නැති කම ය. මේ දුකෙන් තැවුණු මැඩියන් දෙවියන්ට කන්නලව් කරන්නට වූයේ තමන්ට ප්‍රබල රජකු දෙන්න යැයි කියා ය. මැඩියන්ගේ මෝඩ කන්නලව්ව හමුවේ දෙවියන් කළේ ලී කොටයක් විලට දැමීම ය. පාවෙන ලී කොටය හමුවේ මුල දී කුතුහලයෙන් බැලූ මැඩියන් පසුව ඒ මතට නැඟ උසුළු විසුළු කර නැවතත් කන්නලව්ව පටන්ගත්තේ තමන්ට අවශ්‍ය දැඩි රජකු යැයි කියා ය. දෙවියන් එවර දිය නයෙකු විලට දැමූ අතර දිය නයා දිනපතා මැඩියන් එකිනෙකා තම ආහාරයට ගත්තෙන් නැවතත් කන්නලව්වක් ඇසුණේ නැත. තද පාලකයකුගේ ආගමනයෙන් අපේ ජීවිත කතා මේ මැඩියන්ගේ විපතට වඩා වෙනස් මඟක් ගනී යැයි ප්‍රජාතන්ත්‍රවාදයේ මුලකුරු හඳුනන කිසිවකු විශ්වාස කරන්නේ නැත. ලෝකයේ වටිනාකම් තීරණය වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය මත ය. අනෙක් අතට තනි පුද්ගලයන් මුල් කරගත් බල කඳවුරු නිර්මාණය කර ගැනීමෙන් අපේ රටේ ප්‍රශ්නවලට විසඳුම් ලැබෙන්නේ නැත. මෙහි වැදගත් ම කරුණ නම් තනි පුද්ගලයන් උත්කර්ෂයට නංවන තැනැත්තන්ගේ සැඟවුණු න්‍යාය පත්‍රයි. වරදාන, වරප්‍රසාද හා බැඳුණු සිය පෞද්ගලික ජීවිත පරිසාධනයෙන් ඔබ්බට රටක් ගැන හැඟීමක් මේ තැනැත්තන්ට නැත. ප්‍රබල තනි පාලකයකු ඉල්ලන දේශපාලන ව්‍යාපාරයේ නිරුවත් යථාර්ථය එයයි.
දශක හතරක් පුරාවට රටේ පැන නැගි ප්‍රධානතම සමාජ, දේශපාලන, ආර්ථික ප්‍රශ්න රැසක මුල තිබෙන්නේ විධායක ජනාධිපතිවරුන් විසින් ගනු ලැබූ අමනෝඥ තීන්දු ය. කිසියම් හෙයකින් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයක් පැවැතියේ නම් එකී ප්‍රශ්නවලට මුල පිරූ අත්තනෝමතික තීන්දු රැසක් ආපිට හරවන්නට ඉඩ තිබුණේ ය. රටක යහපැවැත්මට ශක්තිමත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මෙන් ම සාමූහික තීන්දු ගැනීමේ බහුත්වවාදී පාලන තන්ත්‍රයක් ද තිබිය යුතු ය. භාරත දේශයේ රාජ උපදේශකයකු වූ කෞටිල්‍ය හෙවත් චානක්‍ය යනු අධිරාජ්‍යවාදය ඉහළින්ම වර්ණනා කළ තැනැත්තෙකි. චන්ද්‍රගුප්ත, බින්දුසාර හා අශෝක යන අධිරාජ්‍යයන් විසින් පුළුල් කරනු ලැබූ මෞර්ය අධිරාජ්‍යයේ බල ව්‍යාපෘතියේ න්‍යායධරයා වූයේ කෞටිල්‍යය. එකී කෞටිල්‍ය පවා තම අර්ථශාස්ත්‍රයේ දී අවධාරණය කළේ රාජ්‍යය නමැති ආයතනය තනි පාලනයකට නතුවීම සම කළ හැක්කේ තනි රෝදයකින් රථයක් ධාවනය කිරීමට බව ය. පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයක සෙවණැල්ලක්වත් නොපැවැති ඒ යුගයේ පවා කෞටිල්‍ය නිර්දේශ කළේ රාජ්‍ය පාලනයට සමූහයක් සිටිය යුතු බව ය. ඉතින් තනි රෝදයේ රථයකට ගමනක් නැති බව මේ තැනැත්තන් දැන්වත් තේරුම්ගත යුතු ය.
විධායක ජනාධිපති ධුරයේ අහෝසිය ගැන සාකච්ඡාවක් යන අතරේ ම ඊළඟ ජනාධිපතිවරණය හා එහි අපේක්ෂකත්වය ගැන ද අදහස් පළවෙමින් තිබේ. එහි ප්‍රමුඛ මාතෘකාවක් වී ඇති එක් කරුණක් නම් එජනිස අපේක්ෂකත්වයට ගෝඨාභය රාජපක්ෂ නම්කරන්නේ ද යන්නයි. එහෙත් එය විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ සාකච්ඡාවේ අවසානාත්මක තැනකට පැමිණීමක් යැයි අපි නොසිතමු. අනෙක් අතට ඔහු එසේ ඉදිරිපත් වන වටපිටාවක් පැවැතිය ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පාර්ශ්වයේ අපේක්ෂාව වී තිබෙන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ද තරග කිරීම ය යන්න අපට බැහැර කළ නොහැකි ය. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ද මේ තරග භූමියෙන් පහසුවෙන් බැස යන බවක් දකින්නට ද නැත. ඒ අනුව සන්ධානයේම එක් පාර්ශ්වයක් වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගෝඨාභය රාජපක්ෂ නිර්දේශ කරන විට එක ම කණ්ඩායම හමුවේ ප්‍රබල බෙදිල්ලක් ඇතිවීම නොවැළැක්විය හැකි ය. විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ දේශපාලන සාකච්ඡාවේ ඊළඟ පියවර ගැන අපට තීරණය කරන්නට වෙන්නේ මේ කාරණා ද සැලකිල්ලට ගනිමිනි. විශේෂයෙන් ම මෛත්‍රීපාල සිරිසේන මහතාට පොදු අපේක්ෂකයකු හැටියට සහාය දැක් වූ පිරිස් එවැනි ඉදිරිපත්වීමක දී නැවත සහාය දක්වනු ඇතැයි මම නම් නොසිතමි. ඉතා වැදගත් ම කරුණ වන්නේ විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බවට පොරොන්දු දී ඒවා කඩ කළ පිරිස්වලට නැවත බලය දෙන්නේ දැයි සිවිල් සමාජයෙන් මේ වනවිට නැගෙන ප්‍රශ්න කිරීම ය. කෙසේ වෙතත් මේ කතාබස්වලින් මෛත්‍රීපාල සිරිසේන, ගෝඨාභය රාජපක්ෂ හා එජාපය නියෝජනය කරමින් රනිල් වික්‍රමසිංහ හෝ කරු ජයසූරිය හෝ වෙනත් අපේක්ෂකයකු වශයෙන් දැනට පෙනෙන තරගකරුවන් ගණන තුනක් බව පැහැදිලි ය. යම් හෙයකින් මෙහි ඊළඟ පියවර නොවැළැක් විය හැකි ජනාධිපතිවරණයක් නම් එවැනි වටපිටාවක වමේ බලවේග ද විද්වතුන් හා උගතුන් මුල් කරගත් සිවිල් සමාජයේ ද මැදිහත්වීමෙන් තවත් අපේක්ෂකයකු ද ඉදිරිපත් වීම අනිවාර්ය බව අප ද අවධාරණය කළ යුතු ය. ඒ අනුව එහි ප්‍රතිඵලය එකී ජනාධිපතිවරණය නිසැකයෙන් ම සිවු කොන් සටනක් වීම ය. මේ සිවු කොන් සටනේ මැතිවරණ ප්‍රතිඵලය වනු ඇත්තේ ඒ එකදු අපේක්ෂකයකුටවත් 50% ඉක්මවන ඡන්ද සංඛ්‍යාවක් ලබාගැනීමට නොහැකි වීම ය. එනිසා මේ කිසිදු දේශපාලන කඳවුරකට සරලමතිකව ගණන් හදා තීන්දු තීරණ ගන්නට බැරි බව අවසන සිහිකට යුතු ය.
සටහන- බිඟුන් මේනක ගමගේ
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
මේ වන විට මැතිවරණ ප්‍රතිඵල ලැබෙමින් තිබේ. සත්‍ය වශයෙන්ම ඡන්දය දැමීමට ගිය ප්‍රතිශතය කෙසේ වෙතත් මෙවර මැතිවරණයට පෙර කාලය තුළ නම් ජනතාව අතර උනන්දුවක් තිබු
ජනාධිපති අනුර කුමාර දිසානායක වගකීම දරන එක් විෂයක් වන්නේ කෘෂිකර්මාන්තයයි. අනෙක් අතට ආහාර සුරක්ෂිත භාවය හා සෞඛ්‍ය වැනි කෘෂිකර්මයට සම්බන්ධ ඒ මත රැඳුණු ව
පාර්ලිමේන්තු මහ මැතිවරණය ලබන බ්‍රහස්පතින්දාය. සති අන්තය වන විට අලුත් ආණ්ඩුවකි. අලුතින් තේරී පත්වන මහජන නියෝජිතයන් අතුරින් කැබිනට් මණ්ඩලය තෝරා ගැනෙනු
තොරතුරු සහ සත්‍ය අතර පරතරයක් ඇත. විවිධ මාධ්‍ය ඔස්සේ ලැබෙන තොරතුරු අති විශාලය. මෙම තොරතුරුවලින් සැලකිය යුතු කොටසක් ඇත්ත නොවේ. ගල් යුගයේ සිට කෘත්‍රිම බුද
අගමැති හරිනි අමරසූරිය මහත්මිය විසින් පසුගිය දා කරන ලද ප්‍රකාශයක් අතිශයින්ම මා සිත් ගත්තේ ය. ඇය ප්‍රකාශ කර තිබුණේ තමන්ට ඉතා අවම ආරක්ෂකයන් අවශ්‍ය වුවද එ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සිවුකොන් සටනක පුනරාගමනය
වික්‍රම Tuesday, 19 March 2019 05:49 AM
චන්දන මහතාණෙනි පසුගිය අවුරුදු ගණන තුල ඔබ වැනි අයගේ ලිපි කතා බොහොමයක් කියවා ඇත්තෙමි. දැනට පවතින දුෂිත යාන්ත්‍රණය උඩු යටි නොකර පැලැස්තර දැමීමෙන් මෙම රට ගොඩ නැගිය නොහකි බව සක් සුදක් සේ පැහැදිලිය. එම නිසාමයි බහුතර මිනිසුන් මේ රටට විනයක් ඇති කල හැකි නායකයෙක් සොයන්නේ සම්ප්‍රදායික දේශපාලන යාන්ත්‍රනය තුල එවැන්නක් කල හැක්කෙක් බිහි නොවනු ඇත . මේ රටට පළමුව විනය අවශ්‍ය අතර දෙවනුව ප්‍රජාතන්ත්‍රවාදය ගැන සිතිය හැක
Karu Wednesday, 20 March 2019 04:39 PM
අපට නම් පේන්නේ වත්මන් ජනාධිපතිවරයා තමා ඉදිරිපත් වීම ගැන ඒ තරම් කැමැත්තක් නොදක්වන බවය.