(*** දසුන් රාජපක්‍ෂ)
වරින් වර ලංකාවට පැමිණ ඉස්ලාම් අන්තවාදී දේශන පැවැත්වූ විදේශීය දේශකයන් සීයයකට අධික පිරිසක් පිළිබඳ බුද්ධි තොරතුරු තමාට වාර්තා වූ බව හිටපු ජාතික බුද්ධි ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් කපිල හෙන්දාවිතාරණ මහතා පාස්කු ඉරු දින මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්‍ෂි ලබාදෙමින් ඊයේ (8 වැනිදා) ප්‍රකාශ කළේය.
මෙම ජනාධිපති කොමිසම අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ විශේෂ කාර්යාලයේදී ඊයේ (8 වැනිදා) රැස්විය.
එහිදී රජයේ නීතිඥ ඇසූ ප්‍රශ්නවලට හිටපු ජාතික බුද්ධි ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් කපිල හෙන්දාවිතාරණ මහතා මෙසේ පිළිතුරු දුන්නේය.
රජයේ නීතිඥ:- රාජ්‍ය බුද්ධි කාර්යාංශයේ ඔබ සේවය කළ කාලයේ ආගමික අන්තවාදයන් ගැන බුද්ධි තොරතුරු හොයන ඒකකයක් තිබුණාද?
සාක්‍ෂිකරු:- මට ඒ ගැන මතකයක් නැහැ. මා එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදී සංවිධානයේ මර්දන කටයුතු සිදු කළ ඒකකයේ බුද්ධි අංශ කටයුතු සිදුකරමින් සිටි නිසා.
රජයේ නීතිඥ:- ඔබ යුද හමුදා බුද්ධි අධ්‍යක්‍ෂ ධුරයේ කටයුතු කර තිබේද?
සාක්‍ෂිකරු:- 2000 වසරේදී මා යුද හමුදා බුද්ධි අධ්‍යක්‍ෂ ලෙස පත් කෙරුණා. 2005 වසරේදී කලාපීය බුද්ධි කටයුතු සිදුකිරීමට මා තායිලන්තයට යැව්වා. ඉන්පසු 2006 වසරේ දී එවකට ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා කළ දැනුම්දීමක් මත නැවත ලංකාවට පැමිණියා.
රජයේ නීතිඥ:- ඔබ යුද හමුදා බුද්ධි අංශයේ සිටියදී ආගමික අන්තවාදය ගැන බුද්ධි තොරතුරු වාර්තා වුණාද?
සාක්‍ෂිකරු:- අපේ විශේෂ අවධානය යොමු වී තිබුණේ එල්.ටී.ටී.ඊ. සංවිධානය සම්බන්ධයෙන්.
රජයේ නීතිඥ:- යුද හමුදා බුද්ධි ප්‍රධානියා වශයෙන් සේවය කිරීමෙන් පසු ඔබ ජාතික බුද්ධි ප්‍රධානියා බවට පත් වුණා. එම පත්වීම ගැන පැහැදිලි කරන්න.
සාක්‍ෂිකරු:- 2006 ඔක්තෝබර් 3 වැනිදා සිට මා ජාතික බුද්ධි ප්‍රධානියා වුණේ යුද හමුදාවෙන් විශ්‍රාම ගැනීමෙන් පසුවයි. මාගේ සේවය තවදුරටත් අවශ්‍යව තිබුණු නිසා ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා මා හට ජාතික බුද්ධි ප්‍රධානී තනතුර සම්පාදනය කර දුන්නා.
විනිසුරු මඬුල්ල:- යුද හමුදාවෙන් විශ්‍රාම ගත්තේ යම් කලකිරීමක් ඇති වූ නිසාද?
සාක්‍ෂිකරු:- නෑ. කලකිරීමක් තිබුණේ නෑ. විශ්‍රාම අරන් නැවත යුද හමුදාවේ සේවයට පැමිණීම මදිකමක් ලෙස මට දැනුණා. මගේ පුද්ගලික අදහසක් මතයි මා විශ්‍රාම ගත්තේ.
රජයේ නීතිඥ:- ජාතික බුද්ධි ප්‍රධානී තනතුර පිහිටුවීමෙන් පසු එහි පළමු ප්‍රධානියා වුණේ ඔබද?
සාක්‍ෂිකරු:- ඔව්. මට කාර්යාලයක් සහ අනිකුත් කටයුතු සම්පාදනය කර දුන්නා. යුද හමුදා නිලධාරීන් හය දෙනකු සහ කාර්ය මණ්ඩලයක් මට හිටියා. එහි සිටි සියලු දෙනා බුද්ධි අංශ නිලධාරීන්.
රජයේ නීතිඥ:- එම තනතුරේ වගකීම කුමක්ද?
සාක්‍ෂිකරු:- බුද්ධි කටයුතු සම්බන්ධීකරණය කිරීම මගේ ප්‍රධාන කාර්යය වුණා. ලංකාවේ ස්ථාපිත යුද හමුදා, නාවික හා ගුවන් හමුදා බුද්ධි අංශ, රාජ්‍ය බුද්ධි සේවය, ජාතික බුද්ධි සේවය, පොලිස් විශේෂ කාර්යාංශය, බස්නාහිර පළාත් බුද්ධි කාර්යාංශය, රහස් පොලිසිය, ත්‍රස්ත මර්දන ඒකකය හා විශේෂ කාර්යය බළකායට අයත් බුද්ධි අංශවලින් ලබාගන්නා බුද්ධි තොරතුරු සම්බන්ධීකරණය කිරීම මගේ ප්‍රධාන වගකීම.
මෙහිදී අපි කොටි පරාජය කිරීමට අදාළ බුද්ධි තොරතුරු මෙහෙයුම් කටයුතු දියත් කළා. අන්තර්ජාතික වශයෙන් බුද්ධි තොරතුරු සම්පාදන කටයුතු ද එහිදී සිදු කෙරුණා.
රජයේ නීතිඥ:- විදේශීය බුද්ධි තොරතුරු සම්පාදනය කළේ කෙසේද?
සාක්‍ෂිකරු:- සමහර රටවල අපේ බුද්ධි නිලධාරීන් ස්ථානගත කොට සිටියා. සමහර රටවල බුද්ධි අංශ සමග අපේ සම්බන්ධතා තිබුණා. තානාපති කාර්යාල හරහා විදෙස් බුද්ධි ඒජන්තයන් සමඟද අපි කටයුතු කළා. විදෙස් බුද්ධි තොරතුරු සම්බන්ධීකරණය කිරීම හරහා එවකට 2009ට පෙර කොටි සංවිධානය ආයුධ මිලදී ගන්නා ආකාර හා රටවල් සම්බන්ධයෙන් බුද්ධි තොරතුරු රැසක් අනාවරණය කර ගැනීම මගින් යුද්ධය දිනීමට ලොකු පිටිවහලක් වුණා.
රජයේ නීතිඥ:- බුද්ධි තොරතුරු සම්බන්ධීකරණය කළේ කෙසේද?
සාක්‍ෂිකරු:- දේශීය හා විදේශීය බුද්ධි තොරතුරු හුවමාරු කරගත්තා. එකල සෑම අඟහරුවාදාවකම බුද්ධි අංශයන්ගේ තොරතුරු සම්බන්ධීකරණ හමුවක් පැවැත්වූවා. සියලු බුද්ධි ඒකකවල ප්‍රධානීන් එයට අනිවාර්යෙන් සහභාගි විය යුතු බව එවකට ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා දැනුම් දී තිබුණා.
රජයේ නීතිඥ:- ජාතික බුද්ධි ප්‍රධානී තනතුර ස්ථාපිත කළේ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය යටතේද?
සාක්‍ෂිකරු:- ඔව්. ඊට අදාළ අමාත්‍ය මණ්ඩල සන්දේශයක් සකස් කර තිබුණා.
රජයේ නීතිඥ:- බුද්ධි තොරතුරු සම්බන්ධීකරණ රැස්වීමට සම්බන්ධ නොවී ආරක්‍ෂක ලේකම්ට බුද්ධි තොරතුරු දැනුම්දී එම රැස්වීමට සහභාගි නොවී සිටීමට බුද්ධි අංශ ප්‍රධානීන්ට හැකියාව තිබුණාද?
සාක්‍ෂිකරු:- එහෙම තත්ත්වයක් එවකට තිබුණේ නැහැ. මගේ අනුදැනුම මත සියලු දේවල් සිදුවුණා.
රජයේ නීතිඥ:- බුද්ධි තොරතුරු හුවමාරු නොකර සිටීමේ හැකියාවක් බුද්ධි ප්‍රධානීන්ට තිබුණාද?
සාක්‍ෂිකරු:- ජාතික බුද්ධි ප්‍රධානී තනතුර ඇතිකිරීමට පෙර එහෙම තත්ත්වයක් තිබුණා. බුද්ධි අංශ අසාර්ථකව තිබුණේ තනි තනිව කටයුතු කිරීම නිසයි. මගේ තනතුර හරහා එම අසාර්ථකත්වය නැති වී ගියා.
රජයේ නීතිඥ:- ජාතික ආරක්‍ෂාවට සිදුවිය හැකි තර්ජන එහිදී හඳුගැනීමක් කරනවාද?
සාක්‍ෂිකරු:- ලැබෙන බුද්ධි තොරතුර මතයි එය තීරණය වන්නේ. බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග මා හෝ ආරක්‍ෂක ලේකම්වරයා මඟින් බුද්ධි අංශ ප්‍රධානීන්ට දැනුම් දීමක් කරනවා. නැවත රැස්වනවිට එම ක්‍රියාමාර්ගවල ප්‍රගතිය ඔවුන් වාර්තා කළ යුතුයි.
රජයේ නීතිඥ:- ටොප් සීක්‍රට් බුද්ධි තොරතුරක් රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියකු සමග බෙදාගන්නවා නම් එය සිදු කළ හැක්කේ කෙසේද?
සාක්‍ෂිකරු:- ටොප් සීක්‍රට් ලිපියක් ලැබුණු විට අපි ඒ ලිපිය රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියාට යවන්නේ නෑ. අන්තර්ගතය හා අවශ්‍ය තොරතුරු පමණයි ඒ නිලධාරීන් සමඟ හුවමාරු කරගන්නේ.
ජාතික ආරක්‍ෂාවට තර්ජනයක් වන අතිශය රහසිගත තොරතුරක් දන්වා සිටින විට හෝ හුවමාරු කරගන්නා විට හමුවී ඒ පිළිබඳ සාකච්ඡා කිරීමයි වඩා යෝග්‍ය.
රජයේ නීතිඥ:- ආරක්‍ෂක ලේකම් හා ජනාධිපතිවරයා සමග ඔබ දැරූ රාජකාරිමය සම්බන්ධතාව කෙළෙසද?
සාක්‍ෂිකරු:- ඕනෑම වේලාවක ආරක්‍ෂක ලේකම්වරයාට තොරතුරු දැනුම්දිය හැකි ලෙස පහසුකම් සකසා තිබෙනවා. ජනාධිපතිවරයා ආරක්‍ෂක මණ්ඩලයේදී හමුවෙනවා. ආරක්‍ෂක ලේකම් කරන දැනුම්දීම් මත ජනාධිපතිවරයාට අවශ්‍ය බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් දැනුම්දිය හැකියි.
රජයේ නීතිඥ:- ජාතික බුද්ධි ප්‍රධානී බුද්ධි තොරතුරු ගබඩාවක් පවත්වාගෙන යනවද?
සාක්‍ෂිකරු:- නැහැ. විශේෂයෙන් පවත්වාගෙන යන්නේ නැහැ. අනිකුත් බුද්ධි අංශ ලබාදෙන බුද්ධි තොරතුරු මතයි මා පදනම් වන්නේ. ඒවා සම්බන්ධීකරණය කිරීම තමයි මූලික වශයෙන් සිදුවන්නේ.
රජයේ නීතිඥ:- බුද්ධි අංශයෙන් බුද්ධි තොරතුරු ලබා දීමේදී බාධා තිබේද?
සාක්‍ෂිකරු:- පාස්කු ඉරුදින මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය ඍජුව ජාතික ආරක්‍ෂාවට බලපෑ නිසා සියලු බුද්ධි අංශ ඊට අදාළ බුද්ධි තොරතුරු දැනගත යුතුව තිබුණා.
ඒ සම්බන්ධයෙන් ක්‍රියා කර නැතිනම් කොතනක හරි අඩුවක් තිබෙනවා. පාස්කු ඉරිදා ප්‍රහාරය වැනි දේවල් ඍජුව බලපාන්නේ ජාතික ආරක්‍ෂාවටයි. අනික් අතට එය ත්‍රස්තවාදී ප්‍රහාරයක් බව කෙළින්ම පැවසිය හැකියි.
රජයේ නීතිඥ:- ජාතික ආරක්‍ෂාවට සම්බන්ධ වගකීම පැවරී තිබෙන්නේ කාටද?
සාක්‍ෂිකරු:- එය තිබෙන්නේ ජනාධිපතිවරයා සතුවයි. ඊට වගවිය යුත්තේ ආරක්‍ෂක ලේකම්වරයා.
රජයේ නීතිඥ:- ඇයි එලෙස පවසන්නේ?
සාක්‍ෂිකරු:- බුද්ධි තොරතුරු ගැන නිවැරදි ලෙස ජනාධිපතිවරයා දැනුම්වත් කළේ නැතිනම් ඊට සම්බන්ධ ක්‍රියාව වළක්වා ගැනීමට නොහැකියි. ක්‍රියාමාර්ග ගැනීමට ජනාධිපතිවරයාගේ උපදෙස් ලැබිය යුතුයි. එකල කොටින් සමග පැවැත්වූ යුද්ධයේ සියලු බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් ජනාධිපතිවරයාව දැනුම්වත් කළා.
රජයේ නීතිඥ:- ඔබ මුස්ලිම් අන්තවාදයට අදාළ තොරතුරු සොයාගත්තේ කොයි ආකාරයෙන්ද?
සාක්‍ෂිකරු:- පියවර කිහිපයකින් සිදු වුණා. ඊට අදාළ විදේශීය බුද්ධි තොරතුරු ලබා ගැනීමේ කටයුතු සම්පාදනය කෙරුණා. මුස්ලිම් අන්තවාදී කටයුතු ගැන සෙවීමට වෙනමම හමුදා බුද්ධි ඒකකයක් හරහා විශේෂ නිලධාරීන් යොදවා තිබුණා.
ලංකාවේ පිරිසක් සිරියාවට ගොස් ඇති බව අපි දැනගත්තා බුද්ධි තොරතුරු මඟින්. එක් අයෙක් මුස්ලිම් අන්තවාදී ක්‍රියාවල යෙදී මියගොස් ඇති බව එහි සඳහන්ව තිබුණා.
රජයේ නීතිඥ:- ඔවුන්ට අමතරව ලංකාව තුළ වාර්තා වූ අන්තවාදී කටයුතු මොනවාද?
සාක්‍ෂිකරු:- අපට තවත් තොරතුරු ලැබුණා. විදේශීය රටවල සිට විටින් විට මෙරටට පැමිණ මුස්ලිම් අන්තවාදී දේශන පවත්වන දේශකයන් පිරිසක් ගැන අපට වාර්තා වුණා. අන්තවාදී දේශකයන් සියයකට වැඩිය ලංකාවට ඇවිත් තිබෙනවා.
ලංකාවට පැමිණ සිටි විදෙස් අන්තවාදී දේශකයන් පසුපස අපේ බුද්ධි නිලධාරීන් ගියා. ඔවුන් කළ දේශන අන්තවාදය පෝෂණය කරන බව පෙනී ගිය නිසා බොහෝ දෙනෙක් මෙරටින් පිටුවහල් කළා.
ලංකාවට නැවත වරක් එවැනි දේශකයන් පැමිණිය හැකිනම් ඒ අවකාශයන් ගැනද අපි බුද්ධි අංශ හරහා සොයා බැලුවා.
රජයේ නීතිඥ:- පිටුවහල් කළ දේශකයන් කුමන ජාතිකයන්ද?
සාක්‍ෂිකරු:- බොහෝ අය ඉන්දීය ජාතිකයන්.
රජයේ නීතිඥ:- විදේශීය අන්තවාදී දේශකයන් ගෙන්වා ගැනීමට කටයුතු කර තිබුණු පුද්ගලයන් ගැන අනාවරණය වුණාද?
සාක්‍ෂිකරු:- විශේෂ පුද්ගලයකු ගැන සඳහන් කිරීමට අපහසුයි. අබ්දුල් රාසික් නමැත්තෙක් ගැන වාර්තා වුණා.
රජයේ නීතිඥ:- ආරක්‍ෂක මණ්ඩලය කැඳවා සිටින්නේ නැතිනම් එහි වගකීම යන්නේ කාටද?
සාක්‍ෂිකරු:- ආරක්‍ෂක මණ්ඩලය කැඳවා ජාතික ආරක්‍ෂාවට බලපාන තොරතුරු ගැන දැනගැනීමේ වගකීම තිබෙන්නේ ජනාධිපතිවරයාට. ඒ වගේම ආරක්‍ෂක ලේකම්ටද වගකීමක් තිබෙනවා.
විනිසුරු මඬුල්ල:- බොදු බල සේනාව ගැන බුද්ධි අංශ වෙත පැමිණිලි ලැබුණාද?
සාක්‍ෂිකරු:- බොදු බල සේනාව හා මුස්ලිම් ඇතැම් ආගමික නායකයන් අතර යම් ගැටීමක් තිබුණා. බොදු බල සේනාව අන්තවාදී ක්‍රියා කරන බව ද අපට නිරීක්‍ෂණය වී තිබුණා.
විනිසුරු මඬුල්ල:- පාස්කු ඉරුදින මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කිරීමට එක් හේතුවක් ලෙස ඥානසාර හිමියන් බොදු බල සේනාව හරහා සිදුකළ ක්‍රියාවන් ගැන සහරාන් හෂීම් සඳහන් කර තිබුණා. ඒ ගැන පහදන්න.
සාක්‍ෂිකරු:- සහරාන්ගේ අනික් දේවල් දෙස බලනවිට ඥානසාර හිමිගේ ක්‍රියා සහ ඔවුන්ගේ ප්‍රහාරය අතර සම්බන්ධයක් නැති බව පැහැදිලි වෙනවා යැයි කියා සිටියේය.
ඉන්පසු මෙම ජනාධිපති කොමිසම හමුවේ සාක්‍ෂි දුන් යුද හමුදා බුද්ධි සේවයේ විශේෂ සාක්‍ෂිකරුවෙක් මෙසේ පැවසීය.
රජයේ නීතිඥ:- මඩකළපුව සහ අම්පාර සිදුවූ ඉස්ලාමීය හා හින්දු අන්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් ඔබ බුද්ධි තොරතුරු රැස් කළාද?
සාක්‍ෂිකරු:- ඔව්. තනි තනිව හා කණ්ඩායම් වශයෙන් එක්වී ඔවුන් අන්තවාදී ක්‍රියාවල නිරතවීමට පසුබිම සකස් කර ගනිමින් සිටින ආකාරය නිරීක්‍ෂණය වුණා. මුස්ලිම් අන්තවාදී කණ්ඩායම් බොහෝ ප්‍රමාණයක් මඩකළපුව කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක වූවා. හින්දු අන්තවාදී පිරිස් ගැනද සොයා බැලීමක නිරත වූවා.
රජයේ නීතිඥ:- ඉස්ලාම් අන්තවාදී සංවිධානවල නම් මොනවාද?
සාක්‍ෂිකරු:- සමහර නම් විවෘතව හෙළි කළ නොහැකියි. දාරුල් අදර්, ජාතික තවුහිද් ජමාද් සංවිධානය වැනි දැනට අනාවරණයවී තිබෙන නම් ගැන සඳහන් කළ හැකියි.
රජයේ නීතිඥ:- මෙම බුද්ධි තොරතුරු ඔබට වාර්තා වුණේ කොයි කාල වකවානුවකද?
සාක්‍ෂිකරු:- 2011 වසරේ සහ 2012 වසරේදී මා නැගෙනහිර ක්‍රියාන්විත රාජකාරියේ යෙදෙමින් එම බුද්ධි තොරතුරු රැස් කළා.
2011 වසරේ ජුනි මාසයේ සිට නැගෙනහිර පළාතේ බොහෝ ප්‍රදේශවල මුස්ලිම් ජනතාව අතර නොසන්සුන්කාරී තත්ත්වයන් නිතරම ඇති වුණා. ග්‍රීස් යකා නැමැති බොරු යකකු මුස්ලිම් අන්තවාදී කණ්ඩායම් මඟින් සමාජ මාධ්‍ය ජාලා සහ ට්විටර් ගිණුම් උපයෝගී කරගෙන පතුරුවා තිබූ අසත්‍ය ප්‍රචාරයක් නිසා මුස්ලිම් ප්‍රජාව කලබල වන බව නිරීක්‍ෂණය වුණා.
පාරවල්වල ටයර් දමා ගිනි තබා නොසන්සුන්කාරී ලෙස මුස්ලිම් කණ්ඩායම් හැසිරුණා. රජය අපහසුතාවට පත් කිරීමේ අරමුණින් අන්තවාදී පිරිසක් සිදු කළ බොරු ප්‍රචාරයන් නිසා මුස්ලිම් ජනතාව එලෙස හැසිරෙන බව අනාවරණය වුණා.
රජයේ නීතිඥ:- අන්තවාදී ක්‍රියා සිදු කළ පුද්ගලයන්ගේ නම් අනාවරණය වුණාද?
සාක්‍ෂිකරු:- පාස්කු ඉරුදින ප්‍රහාරය එල්ල කළ සහරාන් හෂීම් හා තවත් කිහිපදෙනෙක් ගැන අනාවරණය වුණා.
රජයේ නීතිඥ:- සහරාන් කළ අන්තවාදී ක්‍රියා මොනවාද?
සාක්‍ෂිකරු:-වර්ග කිලෝමීටර් හතරක ඉඩක ඉතා අසාමාන්‍ය ලෙස මුස්ලිම් පල්ලි විශාල ප්‍රමාණයක් තිබෙනවා. ඔය අතරින් ඇතැම් පල්ලිවලට සහරාන්ලා ආගමික මතවාද නිසා නිතර නිතර පහරදීම් සිදුකර තිබුණා.
සහරාන්ලා සමාජ ජාලා බොහෝ ප්‍රමාණයක් භාවිතා කර තිබුණා. සමහර ට්විටර් ගිණුම්වල තිස්දහසකට අධික ජාල මිතුරු සම්බන්ධතා (ෆලෝවර්ස්) තිබුණා. එහිදී මා මොහොමඩ් නියාස් නැමැති පුද්ගලයකු සම්බන්ධයෙන්ද අවධානයෙන් සිටියා.
රජයේ නීතිඥ:- නියාස් දැනට ජීවතුන් අතර නැතිද?
සාක්‍ෂිකරු:- සයින්දමරදු ප්‍රදේශයේ නිවෙසක් තුළ සිදුවූ වෙඩි තැබීමකදී පුද්ගලයන් දාහත්දෙනකු සමඟ මොහොමඩ් නියාස් මියගොස් ඇති බව දැන ගැනීමට ලැබුණා.
රජයේ නීතිඥ:- පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය සිදුවූ පසු හදිසියේ නුඹව කොළඹට කැඳවූයේ ඇයි?
සාක්‍ෂිකරු:- පාස්කු ප්‍රහාරයෙන් දින තුනකට පසු අන්තවාදී ක්‍රියාවන් සිදුකරන මුස්ලිම් කණ්ඩායම් සම්බන්ධයෙන් තොරතුරු ලබාගැනීම සඳහා මට හමුදාපතිවරයාගෙන් කැඳවීමක් ලැබුණා යැයි සඳහන් කළේය.
මෙම ජනාධිපති කොමිසම අද (9 වැනිදා) යළි රැස්වේ.
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව මගින් විකාශය කළ ’’ඉරා අඳුරු පට’’ නැමැති වැඩසටහන හදිසියේ අතරමග නතර කිරීම තුළින් එම ආයතනය එම වැඩසටහනේ ප්‍රේක්ෂකයින් වූ නි
සම්පූර්ණයෙන්ම මුහුණු ආවරණය කළ ආරක්ෂිත හිස් වැසුම් පලඳින යතුරුපැදිකරුවන්ට එරෙහිව නීතිමය පියවර නොගන්නා ලෙස නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයා වෙත උප
ශ්‍රී ලංකාවේ ප්‍රථම නියෝජ්‍ය පොලිස්පතිනිය ලෙස පසුගියදා උසස් වීම් ලද බිම්ශානී ජාසිංහ ආරච්චි මහත්මියගේ එම උසස් වීම බල රහිත කරන ලෙස ඉල්ලා ජ්‍යේෂ්ඨ පොල
මාස 11ක් වයසැති පුතාට සහ අවුරුදු තුනක් වයසැති තම දියණියට වස පෙවූ 28 හැවිරිදි මවක් මාර්තු 01 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස දඹුල්ල වැඩබලන මහේස්ත්‍රා
මියගිය සිය පුත්‍රයා කොවිඩ් ආසාදිත දැයි නිශ්චිතව දැන ගැනීම සඳහා යළිත් වරක් පී.සී.ආර්. පරීක්‍ෂණයට ලක් කරන්නැයි ඉල්ලා ඉදිරිපත් කළ පෙත්සමේ වගඋත්තරකරුවන්
මාතර පුහුල්වැල්ල මධ්‍ය මහා විද්‍යාලයේ විනය භාර ආචාර්යවරයා විසින් සිසුවෙකුගේ කනට ගසා බරපතල හානි කිරීමෙන් එම සිසුවාගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඉස්ලාම් අන්තවාදී දේශකයන් 100ක් සැරින් සැරේ ලංකාවට ආවා
ranjith Thursday, 09 July 2020 11:07 PM
ඕනෙම මොන්ටිසෝරි ළමයෙකුටත් තේරෙනවනේ මේ ප්‍රහාරයට ප්‍රධාන ලෙස වගකිව යුත්තේ එවකට රට පාලනය කරපු නායකයින් කියලා... ඊට අමතරව රජයේ නිලධාරීන් ඊට පහළින් ඇති නායකයෝ බේරිලා අනික් අය ගැන විතරක් හොයනවා. වෙනරටවල නම් නායකයින් ඉල්ලා අස්වෙනවා... මේ රටේ නැවත ඡන්දෙ ඉල්ලනවා.