IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


මැතිවරණයට පෙර වේදනාත්මක සමයක්

පාර්ලිමේන්තු මැතිවරණයට තරග වදින අපේක්ෂකයින් සදහා මැතිවරණ කොමිසම විසින් එළැඹෙන මැයි මස 3 වැනිදා අංක ලබාදීමට නියමිතය. එය මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයන් ආරම්භ කිරීමට හැකියැයි දෙන සංඥාවක් ලෙස සැළකිය හැකි වුවත්, යථාර්ථය එයින් වෙනස්ය. එවැනි තත්ත්වයක අපේක්ෂකයින් හමුවේ නිර්මානය වන්නේ උභතෝටිකයකි.

අංක ලබාදීමට අමතරව, රැස්වීම් සහ ජනහමු පැවැත්වීම සම්බන්ධයෙන් මාර්ගෝපදේශනයන් නිකුත් කිරීමට මැතිවරණ කොමිසම කටයුතු කරනු ඇතැයි ද අපේක්ෂිතය.

මුද්‍රිත මාධ්‍යවලට අදහස් දැක්වීමෙන් සහ මාධ්‍ය හමුවලට එක්වීමෙන් වැළකී සිටියත්, මැතිවරණ කොමිසමේ සභාපති දේශප්‍රිය මහතා රූපවාහිනී සාකච්ඡා ගණනාවකට මෙම සතියේ සහභාගී විය. එම බොහෝ සාකච්ඡා ජාතික තලයේ රූපවාහිනී නාළිකාවලට ලබාදුන් ඒවා නොව එවන් දීර්ඝ සාකච්ඡාවකින් කොටසක් ගෙන එය සංස්කරණය කොට යූ-ටියුබ් වෙබ් අඩවියට වීඩියෝ දර්ශන ලෙස එක් කරන එක් එක් පුද්ගලයින්ට ලබාදුන් සාකච්ඡා වීම විශේෂය.

මෙවන් කෙටි වීඩියෝ පටවලට මෑත කාලයේ ඉහළ ජනප්‍රියතාවයක් හිමිව තිබෙන බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා හදුනාගෙන සිටින සෙයකි. විශේෂයෙන්ම රටේ පවත්නා වාතාවරණය හමුවේ මුද්‍රිත මාධ්‍යවල නිශ්පාදන කටයුතු නැවැත්වීමට සිදුව තිබෙන සහ ඒ හමුවේ ඔවුන්ට ඊ-පේපර් සහ වෙබ් අඩවි ඔස්සේ පුවත් ප්‍රචාරණය කිරීමට සිදුව තිබෙන තත්ත්වයක් ඇතිව තිබෙන බව මෙහිලා සදහන් කළ යුතු වේ. එවන් තත්ත්වයක් තිබියදී මෙවන් කෙටි වීඩියෝ පට පහසුවෙන්ම ජනගත කළ හැකි අතර, ඒවාට පිවිසීමේ පහසුකම ලබාදෙන ස්මාර්ට් ජංගම දුරකතනයන් අදවන විට බොහෝ දෙනා අත ඇත.

පිටස්තර පාර්ශවයන්ට පිවිසීමේ හැකියාව අවහිර කර ඇති සූම් වැනි සේවාවන් හරහා දෘෂ්‍ය සම්මන්ත්‍රණ (වීඩියෝ කොන්ෆරන්ස්) තාක්ෂණය ඔස්සේ විදෙස් රටවල වෙසෙන බොහෝ ශ්‍රී ලාංකිකයෝ සංවාදවලට එක්වෙමින් සිටිති. එම සේවාවේ ආරක්ෂක පිරිවිතරයන් යාවත්කාල කිරීමට සූම් නිර්මාපකයින් මේ වනවිට කටයුතු කරමින් සිටී.

එවන් එක් සම්මුඛ සාකච්ඡාවක දී, වරක් ඔහුගේ මිතුරෙක් වූ මැතිවරණ කොමිසමේ සාමාජික රත්නජීවන් හූල් සමග ඇතිව තිබෙන නොමනාපය සම්බන්ධයෙන් මතු කැරුණු ප්‍රශ්න දේශප්‍රිය මහතා විසින් මඟ හරින ලදි. එහිදී විමැසුනු ප්‍රශ්න සහ ලැබුණු පිළිතුරු සැළකිල්ලට ගැනීමේදී මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගේ වර්තමාන ස්ථාවරය වඩා හොදින් පැහැදිලි කරගත හැකිය.

ප්‍රශ්නය - මැතිවරණය ජූනි මස 20 වැනිදා නොපැවැත්වෙනු ඇති බවට සහ මෙම දිනය සහතික කර නොමැති බවට කටකතා පළවෙනවා?

පිළිතුර - නැහැ. මැතිවරණය ජූනි මස 20 වැනිදා පැවැත්විය යුතු බවට අප තීරණය කර තිබෙනවා. අප එය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඕනෑම මැතිවරණයක යම් අවිනිශ්චිතතාවයක් තිබෙනවා. ඒ නිසයි අපට මැතිවරණයක් කල්දමන්නට බලය හිමිවෙලා තිබෙන්නේ. මැතිවරණ කොමිසමේ සාමාජිකයන් තිදෙනාට එම තීරණ ගැනීමේ බලය හිමියි.

ප්‍රශ්නය - ඔබ සහ කොමිසමේ සාමාජික හූල් අතර ඉතාම දරුණු ලෙස අදහස් අතර වෙනස්කම් පවතින බවට වාර්තා වෙනවා. ඔබේ අදහස්?

පිළිතුර - අපි අතර කිසිම ගැටලුවක් නැහැ. අදහස් අතර වෙනස්කම් අපි අතර තිබෙනවා. ඒ කොහොමවුනත්, අපි හැම වෙලාවකම වාගේ තර්ක කරන දෙන්නෙක්. පාර්ලිමේන්තු මැතිවරණය ජූනි මස 20 වනිදා පැවැත්වෙන බව සදහන් වුනු නිවේදනයට අපි තුන්දෙනාම අත්සන් තැබුවා. මැතිවරණ කොමිසමට පත්කර තිබෙන සාමාජිකයන් තිදෙනාට එකිනෙකාට වෙනස් අදහස් තිබෙන එක ස්වභාවිකයි.

ප්‍රශ්නය - එහෙම නම් ඔබේ ඇතැම් අභ්‍යන්තර සංවාදයන් ප්‍රසිද්ධ වේදිකාවට පැමිණෙන එක ගැන අදහස් දක්වනවා නම්?

පිළිතුර - අපි එදිනෙදා කාරණා ගැන එළියේ අදහස් දක්වන්නේ නැහැ. මහාචාර්ය හූල් පවා එසේ කරන්නේ නැහැ. කොහොමවුනත් ඔහු ඔහුගේ අදහස් ගැන පුවත්පත්වලට ලිපි ලියන අයෙක්. ඔහුගේ අදහස් සහ ක්‍රියාවන් ගැන ඔබ ඇසිය යුත්තේ ඔහුගෙන් මිස මගෙන් නොවෙයි.

ප්‍රශ්නය - ඔබ පාර්ලිමේන්තු මැතිවරණය ජූනි 20 වැනිදාට පවත්වන්නට තීරණය කළේ එදිනටම ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ 71 ක් වැනි උපන්දිනය යෙදී තිබෙන නිසා ද?

පිළිතුර - උපන්දිනයක් කියන්නේ පවුලේ අය දන්නා දෙයක්. අපි දේශපාලඥයින්ගේ උපන්දින මතක තබාගෙන ඉන්නේ නැහැ. අපි කොයිම අවස්ථාවකවත් උපන්දින සුභපැතුම් යවන්නේ නැහැ.

මැතිවරණ කොමිසමේ අභ්‍යන්තර ගැටුම් අද වන විට ජනතාවට රහසක් නොවේ. නමුත් ජූනි මස 20 වැනිදා මැතිවරණය පැවැත්වීමට එකඟවීම හරහා මැතිවරණ පැවැත්වීමට දින නියම කිරීමේ අධිකාරිය ඔවුන් සතු බව මැතිවරණ කොමිසම තහවුරු කර ඇත. ඒ නයින් ගත්කළ, මෙම දිනයේ මැතිවරණය පැවැත්වීමට නොහැකි තත්ත්වයක් පැවතියහොත් වෙනත් දිනයක් ඒ වෙනුවෙන් නිවේදනය කැරෙනු ඇත. කෙසේවුවත්, අපේක්ෂකයින් වෙනුවෙන් අංක නිකුත් කිරීම ඇතුලුව ඒ වන විට පවතිනු ඇත්තේ සම්පූර්ණයෙන්ම වෙනස් වාතාවරණයකි.

බස්නාහිර පළාතේ ඇදිරි නීතිය ලිහිල් කිරීමට ගෙන තිබුණු තීරණයෙන් පියවරක් පසුපසට ගැනීමට රජයට සිදුවිය. රජය ගෙන තිබූ තීරණය හමුවේ නැවත රාජකාරි කටයුතු ආරම්භ කිරීමට රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශයේ ආයතන කිහිපයක්ම සැළසුම් කර තිබිණ. කෝවිඞ්-19 ආසාදිතයන් සංඛ්‍යාවේ ක්ෂණික වැඩිවීමක් ඒ සියල්ලට නැවතීමේ තිත තැබුවේය. ජනතාවට ඔවුන්ගේ සාමාන්‍ය කටයුතුවල නියැලීම සදහා යම් පමණකින් හෝ ඇදිරි නීතිය ලිහිල් කිරීමේ තත්ත්වයක් ඇතිදැයි මෙම සතියේ විවිධ නිලධාරීන් හා රැස්වීම් පවත්වමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විමසුමට ලක් කළේය. අවදානම් සහගත යැයි කොළඹ දිස්ත්‍රික්කයේ හදුනාගෙන තිබෙන ප්‍රදේශයන් මෙම ලිහිල් කිරීම්වලට අදාළ නොවනු ඇත.

කෝවිඞ්-19 වසංගත තත්ත්වය අරබයා වූ විවිධ සිදුවීම් පසුගිය සිකුරාදා ජනපති කාර්යාලය ප්‍රකාශයට පත්කළේය. පහත දැක්වෙන්නේ එහි සංක්ෂිප්තයකි.

2019 දෙසැම්බර්

චීනයේ වූහාන් ප්‍රදේශයෙන් පළමු කෝවිඞ්-19 ආසාදිතයා වාර්තා විය.

2020 ජනවාරි මැද වන විට

වෛරසය සම්බන්ධයෙන් චීන රජය ලෝකයට අනතුරු ඇගවූයේය.

2020 ජනවාරි 26

සෞඛ්‍ය අමාත්‍යංශය, ත්‍රිවිධ හමුදාවන්, පොලිසිය, බුද්ධි අංශ සහ වෙනත් ආයතනයන් එක්තැන් කරමින් ජාතික කාර්යසාධන බලකාය පිහිටැවිණ. වසංගත තත්ත්වයට පාලනය කිරීමට ගතයුතු පියවර සම්බන්ධයෙන් රජයට උපදෙස් ලබාදීම ඔවුන්ගේ මූලික රාජකාරිය විය.

2020 ජනවාරි 27

ශ්‍රී ලංකාවේ පළමු කෝවිඞ්-19 ආසාදිතයා වාර්තා විය. ඇය මෙරට සංචාරය සදහා පැමිණ සිටි චීන ජාතික කාන්තාවකි.

2020 පෙබරවාරි 01

චීනයේ වූහාන්හි අධ්‍යාපනය හැදැෑරීමේ කටයුතුවල නිතරව සිටි ශ්‍රී ලංකා පුරවැසියන් 34 දෙනෙක් නැවත මෙරටට ගෙන්වාගැනීම සදහා විශේෂ ගුවන්යානයක් පිටත් කර හැරිණ. මෙරටට ගොඩබැසි වහාම ඔවුන්ව නිරෝධායන කටයුතු වෙනුවෙන් දියතලාව හමුදා කදවුර වෙත යොමුකිරීමට පියවර ගන්නා ලදී. එමගින්, වෛරසය ශ්‍රී ලංකාවේ පැතිරීම වළක්වා ගැනිණ.

2020 පෙබරවාරි 10

ඉතාලිය, කොරියාව සහ ඉරානයේ සිට මෙරටට පැමිණෙන්නන් නිරෝධායන මධ්‍යස්ථානයකට යොමුකිරීමට තීරණය කෙරිණ.

2020 පෙබරවාරි 16

ශ්‍රී ලංකාවට පැමිණෙන සියලුදෙනා නිරෝධායනය කළ යුතු බවට තීරණය කෙරිණ.

2020 පෙබරවාරි 19

ජනවාරි මස 27 වැනිදා කොරෝනා ආසාදිතයෙක් ලෙස හදුනාගත් චීන ජාතික කාන්තාව සම්පූර්ණ සුවය ලබා චීනය බලා පිටත්ව ගියා ය.

2020 මාර්තු 11

කෝවිඞ්-19 ආසාදිත පළමු ශ්‍රී ලංකා ජාතිකයා හදුනාගැනිණ. ඔහු අයි.ඩී.එච්. රෝහලට ඇතුළත් කෙරිණ. එතැන් සිට දිනපතාම පාහේ ආසාදිතයන් හදුනාගැනුණු අතර, ඔවුන්ගෙන් 38 දෙනෙක්ම විදේශයන්හි සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනයට ලක්වෙමින් සිටියෝ වූහ. එයින් පසුව නිරෝධායන මධ්‍යස්ථානවල සිටි තවත් 79 දෙනෙක් කොරෝනා ආසාදිතයන් ලෙස හදුනාගැනිණ. විවිධ මාර්ගවලින් කෝවිඞ්-19 වෛරසය ආසාදනයව තිබූ පුද්ගලයින් 139 දෙනෙක් නිරෝධායන මධ්‍යස්ථානවලට පිටතින් සොයාගැනීමට හැකිවිය.

2020 මාර්තු 12

සියලුම පාසල්, විශ්වවිද්‍යාල සහ අධ්‍යාපන ආයතනයන් වසා දැමිණ. පාසල් සහ විශ්වවිද්‍යාලයන් භෞතික වශයෙන් වසා දැමුණේ වුවත්, නිවසේ සිට අධ්‍යාපන කටයුතුවල නිරතවීම සදහා අවශ්‍ය පහසුකම් සැළසීම වෙනුවෙන් වෙනම කාර්යසාධක බලකායක් පිහිටැවිණ

2020 මාර්තු 18

ගුවන්තොටුපලට යානා පැමිණීම නවතා දැමිණ. ඉන්දියාවේ අතරමංව සිටි වන්දනාකරුවන් 900 දෙනෙක් ගෙන්වා ගැනීම සදහා විශේෂ ගුවන් යානයක් යැවිණ. ඔවුන්ව නිරෝධායන මධ්‍යස්ථානවලට යොමු කෙරිණ.

2020 මාර්තු 20

දිවයින පුරා බලපැවැත්වෙන පරිදි ඇදිරි නීතිය පැනැවිණ.

2020 මාර්තු 27

රජය සේවකයන් වෙනුවෙන් මාර්තු 20 සිට 27 දක්වා නිවසේ සිට වැඩකරන පළමු සතිය ප්‍රකාශයට පත් කෙරිණ.

මාර්තු 27 වැනිදා සිට මේ දක්වා ගෙවී තිබෙන කාලයේ කෝවිඞ්-19 වෛරසය ආසාදනයවීම නිසා පුද්ගලයින් 7 දෙනෙක් ශ්‍රී ලංකාවට අහිමිව තිබේ. නව ආසාදිතයන් දිනපතාව හමුවෙමින් තිබෙන අතර, ඔවුන් සමග මුලු ආසාදිතයන්ගේ සංඛ්‍යාව දිනපතාම පාහේ ඉහළ යමින් පවතී. ඒ අතරවාරයේම, සුවය ලබන්නන්ගේ සංඛ්‍යාව දිනපතාම පාහේ ඉහළ යමින් පවතී,

ආර්ථික කටයුතු වෙනුවෙන් පිහිටුවා තිබෙන දෙවන කාර්යසාධන බලකායක ප්‍රධානියා ලෙස සිය විශේෂ දූත බැසිල් රාජපක්ෂ මහතා පත්කිරීමට ජනපති ගෝඨාභය මහතා පියවර ගෙන තිබේ. මෙම කාර්යසාධන බලකායේ සාමාජිකයෝ පහත අය වෙති.

නන්දලාල් වීරසිංහ (නියෝජ්‍ය අධිපති - ශ්‍රී ලංකා මහබැංකුව), ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා (ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී - හමුදාපති), සී.ඩී.වික්‍රමරත්න (වැඩබලන පොලිස්පති), විශ්‍රාමික මේජර් ජනරාල් ශාන්ත දිසානායක (සභාපති - පාරිභෝගික කටයුතු අධිකාරිය), ජේ.ඒ.නුෂාඞ් එම්. පෙරේරා (සභාපති - ලංකා සතොස), සුසන්ත රත්නායක (සභාපති - ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය), ජයන්ත ද සිල්වා (සභාපති - ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ආයතනය), හිමාලි ප්‍රනාන්දු (සභාපතිනී - ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය), ජයම්පති මොල්ලිගොඩ (සභාපති - ශ්‍රී ලංකා තේ මණ්ඩලය), ප්‍රභාත් සුභසිංහ (සභාපති - අපනයන සංවර්ධන මණ්ඩලය), ඒ.විමලවීර (කම්කරු කොමසාරිස් ජනරාල්), එස්.සින්ගපුලි (සමූපකාර සංවර්ධන ජනරාල්), විශ්‍රමික රියර් අද්මිරාල් ආනන්ද පීරිස් (අධ්‍යක්ෂ ජනරාල් - සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව), විශ්‍රාමික මේජර් ජනරාල් විජිත රවිප්‍රිය (අධ්‍යක්ෂ ජනරාල් - ශ්‍රී ලංකා රේගුව), බන්දුල තිලකසිරි (අධ්‍යක්ෂ ජනරාල් - ජනාවාස සංවර්ධන දෙපාර්තමේන්තුව), සංජය මොහොට්ටාල (අධ්‍යක්ෂ ජනරාල් - ශ්‍රී ලංකා ආයෝජන සංවර්ධන මණ්ඩලය), විශ්‍රාමික මේජර් ජනරාල් සුදන්ත රණසිංහ (අධ්‍යක්ෂ ජනරාල් - ආපදා කළමණාකරන මධ්‍යස්ථානය), මහේෂ් ගම්මන්පිල (අධ්‍යක්ෂ - පොහොර ලේකම් කාර්යාලය), බුද්ධික මඩිහහේවා (ප්‍රධාන කළමණාකාර - ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව), රොහාන් සෙනෙවිරත්න (අතිරේක ප්‍රධාන කළමණාකාර - ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය), මනෝ සේකරම් (අධ්‍යක්ෂ, මණ්ඩල සාමාජික - ශ්‍රී ලංකා තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ ආයතනය), විශ්‍රාමික මේජර් ජනරාල් සුමේධ පෙරේරා, සන්ජීව ගුණවර්ධන (විධායක නිලධාරී - ඊ.බී.ක්‍රීසි සහ සමාගම), සමන්ත කුමාරසිංහ (හිමිකරු - නේචර්ස් සීක්‍රට්), මහේෂ් අමලීන් (සභාපති - මාස් හෝල්ඩින්ග්ස්), රවී ලියනගේ (සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී - ද කින්ග්ඩම් ඔෆ් රයිගම්), පද්මලාල් විතානගේ (කළමණාකාර අධ්‍යක්ෂ - සන්මිට් සමූහ ව්‍යාපාරය), එස්.බී.සෙනෙවිරත්න (විශ්‍රාමික මහා භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්)

අගමැතිවරයාගේ ලේකම්වරයා ඇතුලු, මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන, මහාමාර්ග සහ අධිවේගී මාර්ග, මහජන පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන, වැවිලි කර්මාන්ත සහ අපනයන කෘෂිකර්ම, කර්මාන්ත සහ සැපයුම් ජාල කළමණාකරන, විදුලිබල සහ බලශක්ති, කාන්තා සහ ළමා සහ සමාජ ආරක්ෂණ, මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග සහ දුෂ්කර පළාත් සංවර්ධන, ජලසම්පාදන සහ නිවාස පහසුකම්, ආරක්ෂක, අභ්‍යන්තර වෙළදාම්, ආහාර ආරක්ෂණ සහ පාරිභෝගික සුභසාධන, යන අමාත්‍යංශවල ලේකම්වරුන් ද මෙම කමිටුවට ඇතුළත්ය.

විවිධ පාර්ශවකරුවන්ගේ අදහස් විමසීමෙන් අනතුරුව නව මූලෝපායක් සකස් කිරීමට මෙම කාර්යසාධක බලකාය කටයුතු කරනු ඇති බව රජයේ ආරංචි මාර්ග පැවසුවේය. මාරාන්තික වෛරසයෙන් ආර්ථිකයට එල්ල කර තිබෙන බලපෑම හමුවේ උද්ගතව තිබෙන විරැකියා තත්ත්වය ඇතුලු ඇතැම් බටහිර ආසියාතික රටවල වාසය කරන ශ්‍රී ලංකා පුරවැසියන් මුහුණදීමට සිදුව තිබෙන අයහපත් වාතාවරණයද මෙම කාර්යසාධක බලකායේ අවධානයට ලක්වනු ඇත.

කෙසේවෙතත්, විවිධ ක්ෂේත්‍රයන් නියෝජනය කරන වෙළද සභා මෙම කාර්යසාධක බලකායට ඇතුළත් කර නොමැත. මීට පෙර අවස්ථාවක අගමැති රාජපක්ෂ මහතා විසින් සාමාජිකයන් 40 දෙනෙකුගෙන් යුත් කාර්යසාධක බලකායක ප්‍රධානීත්වයට බැසිල් රාජපක්ෂ මහතා පත් කිරීමට පියවර ගත්තේය. ලොක්ඩවුන් වාතාවරණය යටතේ ආහාර නිසි පරිදි බෙදා හැරෙන බව තහවුරු කිරීම, කෘෂිකර්මය සහ කර්මාන්ත ක්ෂේත්‍රය නැවත සාමාන්‍ය තත්ත්වයට පත්වන බව සහතික කරනු වස් අවශ්‍ය පියවර ගැනීම සහ අත්‍යාවශ්‍ය සේවා ක්‍රියාකාරී තත්ත්වයේ පවත්වාගැනීම මෙම කාර්යසාධක බලකායට පැවරුණු රාජකාරි විය. පළාත් මට්ටමින් මෙම කාර්යයන් අදාළ පරිදි දියත් කැරෙන බව විමසුමට ලක්කිරීම පවරා ඇත්තේ එම එක් එක් පළාත්වල ආණ්ඩුකාරවරුන්ටය.

ඉදිරි සති කිහිපය රජයේ නායකයින්ට අතිශය අභියෝගාත්මක වනු ඇති බවට සැකයක් නැත. රට නැවත සාමාන්‍ය තත්ත්වයට පත්කර පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්විය හැකි වාතාවරණයක් ඇතිකරීමට ඔවුන්ට එක් අතකින් සිදුවනු ඇත.

පසුගිය සදුදා නොසිතූ ලෙස කෝවිඞ්-19 ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ යාම හමුවේ එම සියලුම සැළසුම් අවලංගු කිරීමට ඔවුන්ට සිදුවිය. අනෙක් පසින්, විපක්ෂය, පාර්ලිමේන්තුව කැදවිය යුතුව තිබෙන බවට ක්‍රමයෙන් පීඩනය එල්ල කරමින් සිටී. පාර්ලිමේන්තු මැතිවරණය ජූනි මස 20 වැනිදා පැවැත්වෙන බවට මැතිවරණ කොමිසම නිකුත් කළ ගැසට් නිවේදනය අභියෝගයට ලක්කරනු වස් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට යාමටද ඔවුන් සූදානම්ය. මැතිවරණය ප්‍රමාද වන තරමටම, ඒ දක්වා ගෙවීමට තිබෙන කාලය රජයට වේදනාත්මක වනු ඇත.

සන්ඬේ ටයිම්ස් දේශපාලන විශ්ලේෂක කලම්බු ටෙලිග්‍රාෆ් හි පළවු ලිපියක් බැහැර කරයි. එහි සංස්කාරකවරයා වෙත කරුණු පැහැදිලි කරන ලෙස දන්වා එන්තරවාසියක්ද යවයි.

ලන්ඩනය පදනම්ව ක්‍රියාත්මක වන කලම්බු ටෙලිග්‍රාෆ් වෙබ් අඩවිය තමා අපකීර්තියට පත්කැරෙන පරිදි සහ තමා පිළිබද ද්වේෂ සහගත ලෙස, වාර්තා කිහිපයක් පළකර ඇතැයි සන්ඬේ ටයිම්ස් දේශපාලන විශ්ලේෂක සිය නීතිඥවරුන් හරහා එම වෙබ් අඩවිය වෙත එන්තරවාසියක් යවා ඇත. 2020 අප්‍රේල් මස 22 වැනිදා එම වෙබ් අඩවියේ පළවූ මාධ්‍යවේදී ඉක්බාල් අතාස් සම්බන්ධයෙන් පළවූ වාර්තාවක් ද ඉහත වාර්තා අතරට ඇතුළත්ය.

ඉක්බාල් අතාස් මහතා වෙනුවෙන් පෙනී සිටින ඬේවිඞ් බෙන්සන් සොලිසිටර්ස් ආයතනය කලම්බු ටෙලිග්‍රාෆ්හි සංස්කාරකරවරයා වන උවිදු කුරුකුලසූරිය වෙත ලිපියක් යොමුකරමින්, ඉහත වාර්තාවෙන් කර තිබෙන චෝදනා අතාස් මහතා ප්‍රතික්ෂේප කරන බවත්, ඔහුගෙන් ලබාගත් බවට සාවද්‍ය ලෙස සදහන් කර ඇති තිර රූපයක් (ස්ක්‍රීන් ෂොට්) එම වාර්තාව සමග ප්‍රසිද්ධ කර තිබෙන බවත් වුවමනාවෙන්ම ඒ මහතාගේ වෘත්තිමය ප්‍රතිරූපයට පහරක් එල්ල කර තිබෙන බවටත් චෝදනා කර තිබේ.

සන්ඬේ ටයිම්ස්හි උපදේශක කර්තෘවරයකු ලෙස සහ දේශපාලන සංස්කාරක ලෙස කටයුතු කරන අතාස් මහතා, තමන් කෙරෙහි ද්වේෂ සහගත ලෙස සකස් කර තිබෙන වාර්තා කිහිපයක්ම එම වෙබ් අඩවිය ඔස්සේ ප්‍රසිද්ධියට පත්කර තිබෙන බව පැවසුවේය. එක්සත් රාජධානියේ නීති ප්‍රකාරව ලියාපදිංචියක් සහ ලිපියනයක් අවශ්‍ය වුවද මෙම වෙබ් අඩවිය ක්‍රියාත්මක වෙමින් තිබෙන්නේ ඒ කිසිවක් නොමැතිවය.

එම වෙබ් අඩවියේ පළකර තිබෙන වාර්තාවලට අදාළව කිසිදු ලිපිගොනුවක් හෝ සටහන් හෝ හුවමාරු කරගැනීමට අතාස් මහතා කටයුතු කර නැති බව ඔහුගේ නීතිඥවරුන් විසින් කුරුකුලසූරිය වෙත දැනුම් දෙන ලද අතර එම වාර්තාව සාවද්‍ය බව ඔවුන් වැඩිදුරටත් පවසා තිබේ.

වාර්තාවේ සදහන් සටහන සිය සේවාදායකයා සකස් නොකළ බවත්, එය එකිනෙකා අතර හුවමාරු කරගැනීමට හෝ ඔහු කටයුතු කර නොමැති බවත් බි්‍රතාන්‍ය නීති ආයතනය පවසා තිබේ. වෙබ් අඩවියෙන් නගා තිබෙන චෝදනාව ඔප්පු කිරීමට වෙනත් වාර්තාගත හෝ වෙනත් සාක්කි නොමැති බවත්, එම වාර්තාවෙන් දක්වන්නේ කිසියම් වාර්තාවකින් ගත් තිර රූපයක් බවත්, එය පැහැදිලි සාක්කියක් ලෙස ගත නොහැකි බවත්, ඔවුන් පෙන්වා දී තිබේ.

වාර්තාවේ පළකර තිබෙන තිර රූපයෙන් එම රූපය ගෙන තිබෙන්නේ කුමන අන්දමේ වාර්තාවකින් ද, යන්න පැහැදිලි නොකරයි. එම වාර්තාවේ සදහන් වන කිසිදු ලියවිල්ලක් හෝ සටහනක් සම්පාදනය නොකළ බව අපගේ සේවාදායකයා අවධාරණය කරයි, නීතිඥ සමාගම එම ලිපියේ සදහන් කර ඇත.සිදුවූ අගතියට ස්ටර්ලින් පවුල් 30,000ක වන්දියක් ද ඔවුන් ඉල්ලා තිබේ.

මෙසේ පළකර තිබෙන වාර්තාවට වෙනත් වාර්තාවන්ද ඇමිණීමට ගෙන තිබෙන උත්සාහයෙන් කලම්බු ටෙලිග්‍රාෆ් සහ උවිදු කුරුකුලසූරියට, අතාස් කෙරේ පවතින ද්වේෂ සහගත ආකල්පය පැහැදිලි වන බව, අතාස්ගේ නීතිඥවරු පවසති.

ද සන්ඬේ ටයිම්ස් ඇසුරිනි

සැකසුම : කෝවිද ගුණසේකර



අදහස් (9)

මැතිවරණයට පෙර වේදනාත්මක සමයක්

Dasun Thursday, 30 April 2020 12:31 PM

සමහරු කිඹුල් කදුලු හලනවා දැකලා තියෙනවද?

:       0       6

ලියනගේ Thursday, 30 April 2020 01:28 PM

වර්තමාන පාර්ලිමේන්තුව නැවත කැදවිය හැක්කේ මහා මැතිවරණයකින් පසු පාර්ලිමේන්තුවේ බහුතරයේ කැමැත්තෙන් අගමැතිවරයා වූ රනිල්ටද ? නොඑසේනම් ජනාධිපතිවරණයෙන් පසු අගමැතිවරයා වූ මහින්දටද ? මහින්ද මෙවැනිම ආකාරයටම 2018-10-26 අගමැතිවරයා වුයේය.. පාර්ලිමේන්තුවට 225 කැදවනවා වෙනුවට අරලියගහ මන්දිරයට මන්ත‍්‍රීවරුන් කැදවුවත් විපක්ෂයේ කිසිවකු එහි නොයා යුතුවේ...

:       218       203

silvaThursday, 30 April 2020 03:57 PM

2015 ජනවාරියේදී රනිල් අගමැතිකම ගත්තේද දින 100 ආණ්ඩුව කියා මාස 7 - 8ක් (දින 200ක් පමණ) ආණ්ඩුවක් කරේද ඔය විදිහටම නියම බලයක් නැතුවය. ඔය කියන තරම් රනිල්ලා සුදුත් නැත, මහින්දලා කළුත් නැත.

:       371       547

vinivida Friday, 01 May 2020 08:28 PM

අරලියගහ මන්දිරයට මන්ත‍්‍රීවරුන් කැදවුවත් විපක්ෂයේ කිසිවකු එහි නොයා යුතු වන්නේ කවුරු ගෙන්වා ගත්තද රාජපක්ෂ පවුලේ සහෝදරයන් සියලුදෙනා එක්ව සියලු තීන්දු තීරණ ගනිද්දී අනෙක් සියලු දෙනාටම උඩ බලාසිටීමට සිදුවේ. එහි යාම කාලය නාස්ති කිරීමක් මිස වෙන කිසිවක් නොවේ. ලෝකයේ වෙනත් රටවල් නායකයන් තීන්දු තීරණ ගනු ලබන්නේ බුද්දීමත්ව උවත් අනේ අපේ රටේ එසේ නොවේ. 225 පහම පාර්ලිමේන්තුවට යාමට කිසිදු අවශ්‍ය තවක් නොමැත. මේවැනි අර්බුද අවස්ථාවකදී පාර්ලිමේන්තුව කැදවන්නේ කෙසේද කියා ඇමෙරිකාව, බ්‍රිතාන්‍ය, ජපානය, කැනඩාව වැනි ලංකාවට ආධාර දෙන රටවල තානාපතිවරුන් හෝ මහා කොමසාරිස්වරුන් කැදවා උපදෙස් ලබාගැනීමට රජයට හැකියාව තිබේ. ලංකාවට කොපමණ විදේශ අදාර ලැබුනේද කියා විදේශ තානාපති අංශවලින් තොරතුරු ලබාගැනීමට විපක්ෂයේ මන්ත්‍රීලාට ද හැකියාව තිබේ. මේ අතර වාරයේ බන්දුල ගුණවර්ධන ඇමතිවරයා covid-19 සහ ඩෙංගු උවදුර සම කිරීමට ගන්නා උත්සාහයෙන්ම පෙනී යන්නේ රජය මැතිවරණයක් සදහා කොපමණ උනන්දුවක් දක්වන්නේද යන්න වේ. මෙවර රටේ ජනතාව බිල්ලටදී පැවැත්වීමට සුදානම් වන මැතිවරණය සියලු ශ්‍රී ලාංකිකයන් විසින් වර්ජනය කළ යුතුවේ.

:       379       386

මහින්ද දේශප්‍රිය Friday, 01 May 2020 02:17 AM

මේ සියල්ලම කුමන්ත්‍රණයකි. මහින්ද දේශප්‍රියගේ ස්වාධීන භාවයේ ලොකු ගැටළු සහගත බවක් පසුගිය ජනාධිපතිවරණයේදී පැහැදිලිව ප්‍රදර්ශනය වූ අතර, මෙවර මැතිවරණය සදහා දෙනලද දිනය ගෝඨාභයගේ උපන්දිනයම වූ ජුනි 20 වීම අහබුවක් නොවනබව බොහෝදෙනාගේ විශ්වාසයයි.

:       0       0

චන්දිම Friday, 01 May 2020 02:52 AM

චන්ද්‍රිකාගේ අතකොලුවක්වූ කොටි කල්ලියට සම්බන්ධ අය පවා අද මැතිවරණ කොමිසම අවුලෙන් අවුලට පත් කරමින් සිටී. මුලින්ම කල යුත්තේ මොවුන්ව පන්නා දැමීමයි. මොවන් රටටම ශාපයක්.

:       0       0

de silva Friday, 01 May 2020 03:47 AM

ඔය 225 අවශ්‍ය නම් රැස් ඕනේ නම් පාර්ලිමේන්තුවේ මිසක් අරලියගහ මන්දිරයේ නොවේ .

:       0       0

Kumar Monday, 04 May 2020 03:49 PM

මැතිවරණයක් අවශ්‍යද? අගමැතිතුමාට හැකිනම් පාර්ලිමේන්තුවේ අනුමැතිය නැතිව ඕනෑම කටයුත්තකට මුදල් වෙන්කරන්න, මැතිවරණයක් අවශ්‍ය නැහැ. අයිය මුදල් වෙන්කරනවා මල්ලි අනුමතකරනවා. කිසිම වැඩක් නැති මන්ත්‍රිලට වියදම්කරන මුලුමුදලම ඉතිරි වෙනවනෙ. දෙන්නට බයවෙන්න දෙයක් නැහැනේ සෑම රාජ්‍ය ආයතනයකම ලොක්කෝ විශ්‍රමගිය යුදහමුදා සෙනවියෝ නිසා. රටට සෑම දෙයක්ම සිදුවෙන්නේ ජනාධිපතිතුමාගේ පිනටනෙ....

:       2       55

bayya Monday, 18 May 2020 03:48 AM

කොරෝනා ජයගත් විදිය ගැන පම්පෝරි ගහන උත්තමයො කියල දෙනවද, කව්ද කොරෝනා වලට මේ රටට එන්න ඉඩදුන්නෙ කියල..? වෛද්‍යවරු සහ විපක්ෂය දිගින් දිගටම අනතුරු අඟවද්දි උද්දච්ඡ කමින් ඔලුව උදුම්මගෙන ආණ්ඩුව විසුරුවල නාමයෝජනා කැදෙව්වා. ඒක කරගන්න ඕන නිසා රට ඉබාගාතෙ ඇරිය. මරණ සංඛ්‍යාව අඩු තමයි. ඒත් ලක්ෂ ගනනක් මිනිස්සුන්ගෙ රැකියා නැතිවෙලා. දරුවන්ගෙ අධ්‍යාපන කටයුතු අඩාලවෙලා. වියට්නාමෙ වගේ ජනතාව ගැන හිතන පාලකයො හියනම් අපිත් අද කරදරයක් නැතිව ජීවත්වෙනවා. මෙවා බයියන්ට නොතේරෙන එක තමයි කරුමෙ.

:       37       0

ඔබේ අදහස් එවන්න

Covid19

නව කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ පැතිරෙයි
2024 සැප්තැම්බර් මස 18 2297 1

එක්ස්.ඊ.සී ලෙස නම් කර ඇති දෙමුහුම් කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ රටවල් පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බවත් ඉතාමත් ඉක්මණින් එක්ස්.ඊ.සී ප්‍රධාන ප්‍ර


අ’පුරෙන් කොරෝනා මරණයක්
2023 දෙසැම්බර් මස 29 1189 1

කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.


අලුත්ම කොවිඩ් 19 ප්‍රභේදය: ’එරිස්’
2023 අගෝස්තු මස 07 2803 0

නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.


කොවිඩ් අවදානම නැවතත්
2023 මැයි මස 01 965 1

කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.


කොවිඩ් මරණ තවත් 5 ක්
2022 අගෝස්තු මස 29 747 1

‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.


කොවිඩ් ආසාදිතයන් 114 ක්
2022 අගෝස්තු මස 25 952 0

‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38560 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25376 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 275 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 927 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site