ප්‍රදේශයේ වැදගත් අන්දමින් ජීවත්වන රජයේ සේවයේ නියුතු පවුලකි. බිරිය පාසල් ගුරුවරියකි. ස්වාමියා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයෙකි. ඔවුනට වයස අවුරුදු 11ක පුතෙකි. දුවණියට අවුරුදු 09යකි. ගුරුවරියක් වුවද විවාහ වු දින සිට බිරිය ස්වාමියා අමතන්නේ අයියා කියාය. ස්වාමියා ඇය අමතනු ලබන්නේ ද නංගී කියාය.
බිරියගේ මල්ලීගේ විවාහ උත්සවය නාගරික හෝටලයක ඉහළින් සංවිධානය කර තිබූ අතර නෑදෑ හිතමිතුරන්ටත් ප්‍රභූ පැලැන්තියේ අයටත් ආරාධනා කර තිබුණි. පවුලේ ඥාතීහු මනාව හැද පැළඳ සිටි අතර මෙම යුවළ ද දරු දෙදෙනා ද කැටුව මෙම උත්සවයට සහභාගිවී සිටියහ.
මංගල කටයුතු ආරම්භ කිරීම සඳහා කෙටි වේලාවක් තිබූ නිසා පැමිණි පිරිස සතුටු සාමීචියේ යෙදී සිටියහ. ඒ අතර අවුරුදු 11 පුතා සහ අවුරුදු 09 දුවණිය ගැන විමසීම ප්‍රධාන මාතෘකාව බවට පත්ව තිබිණි.
පුතා ගැන කතාබහ කරමින් සිටියදී වයස අවුරුදු 11 පුතා “මමත් කවදා හරි කසාද බඳින්නේ මේ මගේ නංගීමයි නංගීමයි කියමින් නේද නංගී” කියා ඇයගේ අත අල්ලා ගත්විට ඇය ද එයට නිසි ප්‍රතිචාර දැක්වුයේ නොදන්නාකමින් වුවද සුන්දර සිනාවකිනි.
එය කන වැකුණු සියල්ලන් විමතියෙන් යුතුව දරුවන් දෙදෙනා දෙස බලා සිටියදී අයෙක් පවසා ඇත්තේ “පුතේ නංගිලා කසාද බඳින්නෑ” කියාය. එවිට දරුවා “ඇයි අපේ තාත්තත් තාත්තගේ නංගිනේ කසාද බැඳලා තියෙන්නේ” යැයි දරුවා ක්‍ෂණිකව කී නිසා පියාත් මවත් නිරුත්තරව බිම බලා ගත්හ.
(රිකිල්ගස්කඩ - ටී.ඇම්. සෝමපාල)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොද ලිපියක් .තවත් සමහරු ස්වාමිය බිරිද ව ආමන්ත්‍රණය කරන්නේ\'අම්මි\' කියල . බිරිද ස්වාමියට කියන්නේ තාත්ති කියල. (ම)
අැයි සමහරුන්ට ඉපදෙන ළමයි දුවලා පුතාලත් නෙමෙයිනෙ. අක්කිලා මල්ලිලානේ. (නි)
උමතුසන් වර්ෂාව ළඟම එන බවට සලකුණු. ලැබුණු මිනිස් දිවියෙන් සතුන් ලෙස ජීවත්වීම (නි)
මේවා තනිකරම සමාජ සමයං. මළ කෝළං. මළ විකාර. (බ)
පුතා මගේ මහත්තයට ඒයි කියල කතා කරපු දවසේ ඉදල මාත් මහත්තයට තාත්ත කියල ළමය ඉස්සරහ කතා කරන්න පටන් ගත්ත. (බ)
මව හා පියා දරුවන් ඉදිරියේ හැසිරියයුතු වන්නේ ඔවුන්ට ආදර්ශයක් වියයුතු ආකාරයට මිසක ඔවුන්ට විහිලු නරක ආදර්ශ සපයන ආකාරයට නොවේ. එසේ නොහැසිරී ඔවුන් දරුවන්ගෙන් සාරධර්ම අපේක්ෂා කරනවා නම් එය කවදාවත් නොවන දෙයක් හැටියට පෙනේ. අද කාලේ ගොඩාක් අම්මලා තාත්තලා ඉබේම අම්මලා තාත්තලා වෙච්ච අය මිස හොඳට උගත්කම් ලබලා දරුවන් හදන්න ඕනෑ කියලා හිතලා දරුවන් වදාපු සහ හදාපු අය නොවන නිසා මෙවැනි දේවල් සමාජයේ සිදුවීම එතරම් අරුමක්ද නොවේ. (නි)
අපේ ගෙවල් ළඟ දෙන්නෙකුත් කතා කරගන්නේ මෙහෙම තමයි (නි)
හැබෑවටම අයියලා නංගිලාද අඹුසැමි ඇසුරු පවත්වන කාලෙක ඒ වගේ අධර්මිෂ්ඨකම රජයන සමාජයක නියම අඹුසැමියන් කතාබහට පමණක් අයියා නංගි කියා ඇමතීම පුදුමකුත් නොවෙයි. වැඩිකල් යන්න ඉස්සර වෙලා බුදුහාමුදුරුවන්ගේ කාලේ කොසොල් රජ්ජුරුවෝ දැකපු හීන හැබෑවෙන දවස් අපට දැකගත හැකිවේවි. මේවා නතර කරන්න බැහැ. (නි)
පවු ඒ පොඩි එකා! (නි)
පුංචි කාලේ ඉඳන් දන්නා කියන සමහරු තරුණ වයස අවම ආදරේ කරලා විවාහ වෙනවා. පුංචි කාලේ ඉඳන් අයියා නංගි කියපු පුරුද්දට විවාහයෙන් පස්සෙත් ඒ වචනෙම පාවිච්චි වෙනවා. වැදගත් වෙන්නේ ඔවුන් දරුවන් සමඟ ආදරෙන් සතුටෙන් ජීවත්වෙන එක මිසක් අම්මි කියනවද ,ඒයි කියනවද, නංගි කියනවද , වස්තුව කියනවද, රත්තරන් කියනවද කියන එක නෙමෙයි (නි)
මම නම් මෙතන කිසිම වැරද්දක් දකින්නේ නෑ. අපිත් පොඩිකාලේ ඔය වගේ දේවල් අනන්තවත් කියල තියෙනවා නොදන්නා කමට. අනිත් එක මම බදින්න ඉන්න කෙනාටත් මම කතා කරන්නේ නංගි කියල. මොකද මම එයාව පොඩි කාලේ ඉදන්ම දන්නවා. පස්සේ ආදරේ කලේ. ඉතින් දැන් අපි බැන්දා කියලා නංගි, අයියා කියන එක නවත්වන්න ඕනද ??? මේ පොඩි එකා නොදන්නා කමට කියපු දෙයක්නේ.. (ර)
මේ පොඩි එකා කියලා තියෙන්නේ නොදන්නා කමට. කසාද බැඳපු ලොකු ඈයෝ කියන්නේ දැන දැනම. ඒකයි මෙතන වෙනස. (හේ)
හොඳ ලිපියක් (ර)