IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


ජපනුන්ගේ බෝම්බ කොළඹට වැටුණ හැටි

එක් දහස් නවසිය හැත්තෑ එකේ අප්‍රේල් මස පස් වැනිදා ජනතා විමුක්ති පෙරමුණේ සන්නද්ධ කැරුල්ල ආරම්භව එය රටපුරා පැතිරී ගොස් අවසානයේ පරාජයට පත්විය. එයට පෙර එවැනි අත්දැකීමක්  මෙරට ජනසමාජයට අත්විඳීමට සිදුව නොතිබුණ නිසාත් ජ.වි.පෙ ප්‍රබල දේශපාලන බලවේගයක් වශයෙන් අදටත් ක්‍රියාත්මක වන නිසාත් එම සිදුවීම ඓතිහාසික සිද්ධියක් ලෙස මෙරට බොහෝ දෙනා සලකති. ධනවාදී පාලන තන්ත්‍රයට සහ  ශක්තිමත් රාජ්‍යයට එරෙහිව  යුද වැදී තම වටිනා ජීවිතය පරිත්‍යාග කළ ධෛර්යවන්ත සහ නිර්භීත තරුණ තරුණියන් දහස් ගණනක් අනුස්මරණය කිරීමද එදිනට සිදුවන බව ජ.වි.පෙ. පවසයි.


මෙම සිදුවීම නිසා ලංකාවේ අප්‍රේල් පස්වැනිදාට යෙදී තිබුණු බොහෝ සිදුවීම් අපේ ජන සමාජයට අමතකව ගිය බවක් යමෙකුට මෙනෙහි වුවොත් එයද  අස්වාභාවික නොවනු ඇත. අපේ මෙම ප්‍රයන්තය වර්තමාන සමාජයේ වැඩි අවධානයකට ලක් නොවන ඓතිහාසික සිදුවීමක් යළි පාඨක මතකයට යොමු කිරීමය. මෙම ත්‍රාසජනක සිදුවීමට අපේ රටට මුහුණ දීමට සිදුවූයේ 1942 අප්‍රේල් 05 වැනිදාය. ලංකාවට කිසිදු අන්දමකින් ආදළ නොවන කාරණයක් සම්බන්ධයෙන්  අපේ රට මේසා දරුණු අභියෝගයකට මුහුණ පෑමට සිදුවීම දෛවයේ සරදමක් බඳු කරුණක් විය.


එවකට හිරු නොබසින අධිරාජ්‍යය යැයි විරුදාවලි ලබා තිබුණු බි්‍රතාන්‍යයේ යටත් විජිත සමූහයේ තවත් එක් කොලනියක් වශයෙන් මෙරට පාලනය  වෙමින් තිබුණි. පෙර පැවති බි්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ සහ එම නියෝජිතයන්ගේ ඍජු පාලනයෙන් මිදී මෙරට සර්වජන ඡන්ද බලයද ප්‍රදානය කර ඩොනමෝර් ආණ්ඩු  ක්‍රමය ක්‍රියාත්මකව තිබුණි. ජනයාගේ ඡන්දයෙන් තෝරා ගත් රාජ්‍ය මන්ත්‍රණ සභාවේ  නියෝජිතයන් ගෙන් සමන්විත කොමිටි  හතක සභාපතිවරුන් වූ ඇමතිවරුන්ගේ යෝජනා අනුව නොයෙක් පෙරළි කාරී ප්‍රතිසංස්කරණ සිදුවෙමින් පැවතුනි. කෘෂිකර්ම ඇමති ඩී. ඇස්. සේනානායක මහතාගේ නායකත්වයෙන් රජරට වැව් අමුණු ප්‍රතිසංස්කරණය කරමින් ගොවි ජනපද පිහිටුවීම ඉන් එක් ව්‍යාපාරයකි. රටේ සියලු දරුවන්ට නිදහස් අධ්‍යාපනය ලැබීමේ පහසුකම් සැලසිය යුතු යැයි සංවාදයක් ගොඩනැගී තිබුණි. එසේම මේ රටට පූර්ණ නිදහස ලැබිය යුතුයැයි ද වගකීමේ ආණ්ඩුවක් ලැබියයුතු යැයිද මෙරට ජන නායකයෝ ඉල්ලීම් කරමින් සිටියහ. එයටත් එහා ගිය රැඩිකල් මත දැරූ දේශපාලන කාණ්ඩායම්ද බිහිව තිබුණි.

 

 

මෙම වකවානුව වනවිට ජාත්‍යන්තර  කරළියේ නොයෙකුත් වෙනස්කම් සිදුවෙමින් පැවතුනි. පළමු ලෝක මහා සංග්‍රාමයේ පරාජයෙන් සහ වර්සේල්ස් ගිවිසුම අනුව නව රාජ්‍ය ගොඩනැගීමේදී විශාල භූමි ප්‍රදේශයක් අහිමිවීමෙන් අවමානයට පත්ව නොසතුටින් සිටි ජර්මනිය ඇඩොල්ෆ් හිට්ලර් නමැති නව නායකයෙකු යටතේ නැවතත් අළු ගසාදමා පෙරට එමින් සිටියාය. පෙර ජර්මනියට අයත්ව තිබී මෙතෙක් චෙකොස්ලෝවැකියාවට ඈඳන ලද සුඩෙටන්ලන්තය නමැති ප්‍රදේශය තමනට අවශ්‍ය බව හිට්ලර් ප්‍රකාශ කළේය. මෙය සාමයෙන් විසඳා ගැනීමට අපේක්ෂා කළ බි්‍රතාන්‍ය අගමැති නෙවිල් චෙම්බර්ලේන් හිට්ලර් සමග සාකච්ඡාවක් පවත්වා එම අර්බුදය නිමා කර ගත්තේ එම ප්‍රදේශයේ කොටසක් හිට්ලර්ට ලබාදීමෙනි. ඉන්පසු හිට්ලර් හැරුණේ පෝලන්තය දෙසටය. එහි ඩැන්සිග් නගරයේ සිට වොර්පෝ දක්වා තීරය තමාට ලැබිය යුතුයැයි ජර්මනිය පෝලන්තයට තර්ජනාත්මකව දක්වා සිටියාය. කලින් සාකච්ඡාවලදී එළඹුණු  එකඟතාව කඩකරමින් 1930 මාර්තු මාසයේදී හිට්ලර්ගේ හමුදාවෝ චෙකොස්ලෝවේකියාව ආක්‍රමණය කර ඒ රට යටත් කර ගත්හ. එතැනින් නොනැවතුණු  ජර්මානුවෝ පෝලන්තයද ආක්‍රමණය කළහ. තවදුරටත් බලා සිටිය නොහැකි තැන 1939 සැප්තැම්බර් 05 වැනි දින මහා බි්‍රතාන්‍යය ජර්මනියට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කළාය. එම පියවර අනුගමනය කරමින් ප්‍රංශයද ජර්මනියට එරෙහිව යුද්ධ ප්‍රකාශ කළ අතර දෙවැනි ලෝක මහා සංග්‍රාමය ආරම්භ විය. 1940 වනවිට ජර්මනිය, නෝර්වේ, ඩෙන්මාර්ක්, බෙල්ජියම, ඕලන්දය ආදී රටවල් අල්ලා ගැනීමට ජර්මනිය සමත් වූවාය. අනතුරුව ප්‍රංශයද යටත් වූ බව කියවුණි.


ප්‍රංශය බිඳවැටෙනවාත් සමග ජර්මනියට පක්ෂව මුසෝලිනීගේ නායකත්වයෙන් ඉතාලියද යුද්ධයට එක්වූවාය. ප්‍රංශය යටතේ පැවති ඉතාලි ප්‍රාදේශීය රාජ්‍යයන් වූ  නීස්, සැවෝයි, කෝර්සිකා ආදිය අල්ලා ගැනීමට ඉතාලිය සටනට පිවිසියාය. ජර්මනිය සහ ඉතාලිය පෙරමුණු දෙකකින් යුද වදින මොහොතේ ඒ වනවිට මැන්චුරියානු යුද්ධය ජයගෙන චීනය පරදවා සිටි ජපානයද  රණකාමී මුහුණුවරක් ගෙන සිටියාය. කලක් මුළුල්ලේ ආසියානු කලාපයේ බලවතා වීමේ සිහිනය දකිමින් සිටි ජපානය හිට්ලර්ට සහමුලින්ම පක්‍ෂව ආසියාවෙන්  යුද බිමට පිවිසියාය. ඒ අනුව 1941 දෙසැම්බර් මස 7 වැනිදා ජපාන හමුදා ඇමරිකා එක්සත් ජනපදයට අයත් හවායි දූපතේ පර්ල් වරායට පහරදීමෙන් ඓතිහාසික වරදක් සිදුකළාය. එමෙන්ම හොංකොං දූපත, පිලිපයින් දූපත්, සිංගප්පූරුව, මලයාවේ විශාල කොටසක් මෙන්ම බුරුමය  (වත්මන් මියන්මාරය) ජපනුන් විසින් අල්ලා ගැනීම නිසා ආසියාවේ සහ පැසිෆික් කලාපයේ බොහෝ රටවල් යටත් කරගෙන සිටි බි්‍රතාන්‍යය ඉමහත් කම්පනයට පත්විය. ඊළඟට ඉන්දියාවට හෝ ඕස්ටේ්‍රලියාවට ජපන් ප්‍රහාර  එල්ලවනු අතැයි බි්‍රතාන්‍යයෝ  බියට පත් වූහ. 
මෙම පසුබිම හේතුකොට ගෙන ඉන්දියන් සාගරයේ ආරක්‍ෂාව පිළිබඳව  විශේෂ අවධානයක් යොමු කිරීමට බි්‍රතාන්‍ය පාලනයට සිදුවිය. එවකට බි්‍රතාන්‍ය හිරු නොබසින අධිරාජ්‍යයේ සිහසුන හෙබවූ හයවැනි ජෝර්ජ් රජුගේ ඥාති සොහොයුරෙකු මෙන්ම රාජකීය නාවික හමුදාවේ අද්මිරාල්වරයෙකුද වූ මවුන්ට් බැටන් සාමිවරයා අග්නිදිග ආසියාවේ මිත්‍ර හමුදා භාර ප්‍රධාන අණ දෙන නිලධාරි ලෙස බි්‍රතාන්‍ය ආණ්ඩුව විසින් පත් කර එවනු ලැබීය. ඔහුගේ මූලස්ථානය පිහිටුවනු ලැබුවේ ශ්‍රී ලංකාවේ පේරාදෙණිය උද්භිද උද්‍යානයේය. එමෙන්ම මේ රටේ යුද කටයුතු මෙහෙයවීම සඳහා සර් ජ්‍යොප්‍රි ලේටන් නමැති බි්‍රතාන්‍ය ජාතික නිලධාරියෙකු පත්කර සිටි අතර ලංකාවේ අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ලෙස සර් ඔලිවර් ගුණතිලක මහතා පත්කර සිටියේය. දක්‍ෂ සහ බුද්ධිමත් පුද්ගලයෙකු වූ සර් ඔලිවර්ගේ ස්ථානෝචිත ප්‍රඥාව නොවන්නට ශ්‍රී ලංකාවාසී ජනතාවට  මහත් දුෂ්කරතාවන්ට මුහුණපාන්නට සිදුවනු නිසැක බව තතු දත්තෝ ප්‍රකාශ කළහ.


1939දී යුද්ධය යුරෝපයේදී ආරම්භ වුවත් වසර දෙකක් පමණ යන තුරු එහි කිසිම බපෑමක් ලංකාවට දැනුණේ නැත. නාවික ගමනා ගමනයට බාධා ඇතිවීම නිසා යම් යම් ද්‍රව්‍යවල හිඟයක් හැර වෙනත් පීඩාවක් ලංකාවාසීන්ට දැනෙන්ට තිබුණේ නැත. එවකට ආණ්ඩුකාර සර් ඇන්ඩෘ කොල්ඩිකොට්ගේ නියෝගය පරිදි ඔලිවර් ගුණතිලක සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව භාරගෙන යුද්ධය නිසා ජනතාවට මුහුණ දෙන්නට සිදුවිය හැකි ගැටලුවලට විසඳුම් සපයන්නට වූවේය. බඩු හිඟය නිසා කළුකඩය ශක්තිමත්වීම වැළැක්වීම සඳහා සමුපකාර වෙළඳසැල් ජාලයක් ඇති කිරීම සිදුවිය. සෑම දෙනාටම සාධාරණව තිබෙන බඩු ප්‍රමාණය බෙදාදීම සඳහා සලාක ක්‍රමයක් පිහිටුවනු ලැබීය. හදිසි ආක්‍රමණයක් සිදුවුවහොත් ආරක්‍ෂක පියවරයන් ගත යුතු ආකාරය ගැන දැනුවත් කිරීම් රටපුරා සිදුකළේය. හැකි සෑම ස්ථානයකම ආරක්‍ෂක අගල් කැප්පවීය - අනතුරු හැඟවීම් ලද වහාම එම අගල් තුළට දිවගොස් සැඟවීමට උපදෙස් දෙන ලදී. ආහාර හිඟයට මුහුණ දීම සඳහා අල බතල හැකි පමණින් වගා කිරීමට උපදෙස් දෙන ලදී. සහල් හිඟයට විකල්පයක් වශයෙන් බජිරි නම් වූ කටුක ධාන්‍ය වර්ගයක් හඳුන්වා දෙන ලදී.


මෙවැනි පසුබිමක් තිබියදී ජපන් හමුදාවෝ ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ අතිවිශාල කොටසක් අල්ලා ගැනීමට සමත් වූහ. ඔහු නොපමාව ලංකාවද ආක්‍රමණය කරනු ඇතැයි යන බිය සැවොම අවබෝධ කර ගත්හ. ආණ්ඩුව හමුදා සූදානම් කළේය. බි්‍රතාන්‍යයන්ගේ යටත් විජිත පාලනය විචේචනය කරන එමෙන්ම බි්‍රතාන්‍යයේ යුද ප්‍රයත්නයට සහාය නොදක්වන දේශපාලන  බලවේග නීති විරෝධී කර ඒවායේ නායකයන් සහ සාමාජිකයන් අත්අඩංගුවට ගැනීමට නියෝග පනවන ලදී.  

 

එහි ප්‍රතිඵලයක් වශයෙන් ලංකා සමසමාජ පක්ෂය නීති විරෝධී යැයි ප්‍රකාශ කෙරුණු අතර එහි ප්‍රධාන නායකයන් වූ ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා, ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා, පිලිප් ගුණවර්ධන සහ එඞ්මන්ඞ් සමරක්කොඩි යන අය සිරභාරයට ගෙන බෝගම්බර බන්ධනාගාරයේ රඳවා තබනු ලැබීය. තවත් බොහෝ අනුගාමිකයෝ සිරභාරයට ගත්හ. සමහරු පැන ගියහ. තවත් අය සැඟවුණහ.


1942 අප්‍රේල් මුල සතිය වනවිට ශ්‍රී ලංකාවට ජපන් ආක්‍රමණයක් එල්ලවීම නිසැක බව දැනෙන්නට විය. ඈත මුහුදේ ආරක්‍ෂක කටයුතුවල නියැළෙන බි්‍රතාන්‍ය නෞකා වෙතින්ද එවැනි සංඥා ලැබෙන්නට විය. අප්‍රේල් 05 වැනිදා උදාවිය. එදින ඉරිදා දිනයකි. ක්‍රිස්තු භක්තිකයන් තමන්ගේ ඉතා පූජනීය දිනයක් ලෙස සලකන කිතු සමිඳාණන් මළවුන්ගෙන් උත්ථානය ලැබුවායැයි කියැවෙන පාස්කුව යෙදී  තිබුණේ එදිනටය. පෙර දිනයේ ඔත්තු  ගුවන් යානා  මගින් අද්මිරාල් ලේටන්ට වාර්තා කර තිබුණේ ජපන් ප්‍රහාරක නැව් කණ්ඩායමක් කොළඹ බලා පැමිණෙමින් තිබෙන බවය. එම නැව් කොළඹට යාත්‍රා කිරීමට පෙර ඒවායේ තිබෙන ගුවන් යානා  පැමිණ නගරයට බෝම්බ හෙළනු ඇතැයි ලේටන්, ඔලිවර් ඇතුළු බලධාරීහු නිගමනය කළහ. ගැටලුව වූයේ පසු දිනට යෙදී ඇති පාස්කු දිනයේ දේවස්ථාන කරා යන බැතිමතුන්ගේ ගමන වැළැක්වීමට උපදෙස් නිකුත් කරනවාද යන්න ගැනය. 


ඔලිවර් එක හෙළාම කියා සිටියේ එවැනි දැනුම්දීමක් නොකළ යුතු බවයි. එයින් ජනයා අනිසි බියකට පත්වන නිසා ඔලිවර් මෙම පියවර ගෙන තිබුණි. මේ ගැන ආණ්ඩුකාර සර් ඇන්ඩෘ කොල්ඩිකොට්ගේ උපදෙස් පවා ඔලිවර් පිළිගත්තේ නැත. කලින් තොරතුරු ලැබීම නිසා අවශ්‍ය පියවර බොහොමයක් ගැනීමට ඉඩ ලැබුණි. ගුවන් හමුදාව සිටියේ සූදානමෙනි. වරායේ තිබුණු නැව් බොහොමයක් ඉන් ඉවත් කරන ලදී. අප්‍රේල් 05 වැනිදා උදේ  හතයි පනහට ජපන් සතුරු ගුවන් යානා කණ්ඩායම් කීපයක්  කොළඹ ගුවන් තලයට ඇතුළු විය. එක කණ්ඩායමකට පහ බැගින් ගුවන් යානා කණ්ඩායම් බොහෝ ගණනක් මෙරටට පැමිණෙමින් තිබුණි. ඒවා කොළඹින් ඇතුළුවී රත්මලාන ගුවන් තොටුපළ දෙසට ගමන් කළ බව වාර්තා වූවේය.


ප්‍රථම ප්‍රහාරය එල්ල වූවේ කොළඹ වරායටය. ඒ වනවිට නැව් බොහෝ ගණනක් ඉවත් කර තිබුණු නිසා හානි සිදුවූවේ නැව් දෙකකට පමණි. වරායේ නවතා තිබුණු යුද්ධ නැවක් වූ ‘ටෙනඩෝස්’ හා බඩු ප්‍රවාහන නෞකාවක් වූ ‘හෙක්ටර්’ද බෝම්බ ප්‍රහාරයෙන් දියේ ගිලී ගියේය. වරායේ  ඉංජිනේරු අංශය බෝම්බ වැටීමෙන් මුළුමනින්ම විනාශ විය. කොළඹ ජනයාගෙන් බොහෝ දෙනෙකු සිටියේ පාස්කු දේව මෙහෙයට සහභාගි වෙමින් දේවස්ථාන තුළය. එහෙයින් ජීවිත හානි අවම විය. ඈත මුහුදේ ගමන් කරමින් සිටි කොන්වෝල් සහ ඩෝවෙස්ටර් යන යුද්ධ නෞකා දෙක ද ප්‍රහාරය නිසා සයුරේ ගිලී ගියේය. දෙවැනි ප්‍රහාරය එල්ල කෙරුණේ අංගොඩ මානසික රෝහලටය. එය වැරදීමකින් සිදුවූවක් බව කියනු ලැබේ. රෝහල මත තනා තිබූ විශාල චිමිනිය නිසා එය විදුලි බලාගාරයකැයි යන වැරදි අවබෝධය නිසා එම ප්‍රහාරය ජපනුන් විසින් එල්ල කළ බව පැරණි වාර්තාවන්හි දැක්වේ. කෙසේ වුවත් අහිංසක රෝගීන් පනස් දෙනෙකුගේ පමණ ජීවිත මෙම අත්වැරදීම නිසා අහිමි විය. තවත් තිස් පස් දෙනෙක් වූ සාමාන්‍ය වැසියෝද දිවි පිදූහ. මෙම ආක්‍රමණය සඳහා ජපන් ගුවන් යානා අසූ පහක බළ ඇණියක් ලංකාවට ඇතුළු වූ බව කියනු ලැබේ. ඒ අතරින් ආපසු යාමට සමත්වූයේ ගුවන් යානා පනස් හතරක්  පමණි. ඉතිරි සියල්ල මෙරට ක්‍රියාත්මක වූ බි්‍රතාන්‍ය රාජකීය ගුවන් හමුදාව විසින් වෙඩි තබා බිම හෙළා තිබුණි. විනාශ වූ සතුරු ගුවන් යානා ගණන තිස් එකක් වීම විශාල ජයග්‍රහණයක් ලෙස සලකන ලදී.


ජපන් බෝම්බ ප්‍රහාරය සිදුවීමත් සමග කොළඹ වාසී ජනතාව පිටිසරට පලායාම  ආරම්භ කළේ නැවතත් පහරදීමක් සිදුවෙතැයි යන භීතියෙනි. යාන වාහන ඇති අය එමගින්ද  කරත්ත හිමිකරුවෝ කරත්තයෙන්ද අනෙක් ඇත්තෝ අතට ගත හැකි සුළු බඩු භාණ්ඩ යමක් රැගෙන ජීවිතාරක්‍ෂාව පතා සිය නෑසියන් සොයා පලා ගියහ. කොළඹ නගරය ජනයාගෙන් හිස්විය. කොළඹ ප්‍රධාන පාසල්ද ඈත පෙදෙස්වලට ගෙන යන ලදි. ආනන්ද විද්‍යාලය මතුගමටද නාලන්දා විද්‍යාලය මිනුවන්ගොඩටද ශාන්ත තෝමස් විද්‍යාලය බණ්ඩාරවෙල ගුරුතලාවටද ආදී වශයෙන් ආරක්‍ෂාව පතා සංක්‍රමණය වන ආකාරය දක්නට ලැබුණි. 


ආක්‍රමණයක් යළිත් සිදුවේදැයි බියෙන් කොළඹ ජනයාගෙන් බහුතරයක් පලා ගියද ඊළඟ ප්‍රහාරය එල්ල වූවේ ත්‍රිකුණාමලය වරායටය. එය කොළඹ පහරදීමට වඩා සාර්ථක  වූ බවක් පෙනුණි. එච්. එම්. එස්. හර්මිස් යුද නෞකාවද  තවත් තෙල් නැව් දෙකක් ද බෝම්බ පහරවලින් මුහුදු බත් විය. ත්‍රිකුණාමලය රේගු කාර්යාල සංකීර්ණය මුළුමනින්ම විනාශ වූ අතර වරායටද බරපතළ හානි සිදුවිය. එම නගරයේ රාජකාරි කටයුතු කරමින් සිටි සියලුම සේවකයෝ පලා ගියහ. ඒ නිසා රජයේ කාර්යාල පාළුවට ගොස් තිබුණි. පරිපාලනය අකර්මණ්‍ය වූවේය. නගරය නිහඬ දූපතක් බවට පත්වූ බව කියනු ලැබේ.


කොළඹ නගරයේ බහුතර ජනතාව නගරය හැර දමා පිටිසර ජීවත්වන ඥාති මිත්‍රාදීන් සොයා පලාගිය බව මුලින්ද සඳහන් කළෙමි. එහෙත් සුළුතරයක් මිනිස්සු එහි රැඳී සිටියහ. වෙළඳ ප්‍රජාවද පැනගොස් සිටි නිසා බරපතළ ආහාර හිඟයක් මතුවිය. කොළඹ තොග වෙළෙඳාම මේ වනවිට බොහෝ සෙයින්ම අයත් කර ගෙන සිටියේ ඉන්දියානු ජාතිකයින් විසිනි. ඔව්හු ඉන්දියාවට පලාගොස් සිටියහ. මෙහිදී අත්‍යවශ්‍ය කොමසාරිස් වශයෙන් ඔලිවර් ගුණතිලක මහතා දැඩි තීරණයක් ගත්තේය. සියලුම ආහාර තොග ගබඩා බලයෙන් විවෘත කර එම ද්‍රව්‍යයන් මහජනයාට ලබාදීමට කටයුතු කළේය. එමෙන්ම කොළඹ නගරයේ සිල්ලර වෙළඳසැල් ද විවෘත කර ඒවා පවත්වාගෙන යාමට ජනයාට නියම කළේය. පදික වේදිකාවේ සිටි පිටස්තර පුද්ගලයෝ ද මේ අනුව ඉහළම තලයේ ව්‍යාපාරිකයන් බවට පත්වූහ. කොළඹ සිංහල ව්‍යාපාරික පන්තියක් බිහිවීමට මූලික පදනම වැටුණේ ඒ අයුරිනි. වසර ගණනාවකට පසු යුද බිය පහව ගොස්  රට සාමාන්‍ය තත්ත්වයට පත්වූ පසු පලා ගිය සමහර තොග ව්‍යාපාරිකයෝ මෙරටට ආපසු පැමිණියහ. ඒ තම ව්‍යාපාරික කටයුතු නැවත ආරම්භ කිරීමේ රිසියෙනි. එහෙත් ඒ වනවිට ඒවාට  වෙනත් අයිතිකරුවන්  පත්ව සිටියහ. රජය අලුත් මුදලාලිලා වෙනුවෙන් පෙනී සිටි නිසා පැරණි හිමිකරුවන්ට සිදුවූයේ ආපසු ඉන්දියාවට යාම හෝ අලුතෙන් ව්‍යාපාර ඇරඹීමටය.


අප්‍රේල් 05 වැනිදා තවත් බරපතළ සිදුවීමක් ක්‍රියාත්මක වෙමින් තිබුණි. යම් හෙයකින් කොළඹට ජපන් ප්‍රහාරයක් එල්ල වුවහොත් යුද්ධයට සහාය නොදෙන ලෙසත්, රටට නිදහස දෙන තුරු බි්‍රතාන්‍යයන් වර්ජනය කරන ලෙසත් උද්ඝෝෂණය කරමින් සිටි සමසමාජ නායකයන් මරා දමනු ඇතැයි සැකයක් එම පක්‍ෂය තුළ මතුව තිබුණි. එම පක්‍ෂයේ ප්‍රධාන නායකයන් මේ වනවිට සිටියේ සිර අඩස්සියේ නිසා මෙය ඉතා පහසුවෙන් සිදුකළ හැකියැයි ඔව්හු තීන්දු කළහ. එනිසා ප්‍රධාන සමසමාජ නායකයන් හතර දෙනා සිරගෙදරින් පැනයාමට සැලසුම් සකස් විය. එම සිරකරුවන් හතර දෙනා භාරව සිටි සොලමන්ස් නමැති බන්ධනාගාර නිලධාරියාද මෙම හිරකරුවන් හතර දෙනා වන ඇන්. ඇම්., පිලිප්, කොල්වින් සහ එඞ්මන්ද රථයක නැගී කොළඹ බලා එමින් සිටියහ. ඒ වනවිට යුද සූදානමක් වශයෙන් හමුදා භට පිරිසක් කැලණි ගඟේ වික්ටෝරියා පාලමේ බෝම්බ සවි කරමින් සිටියහ.


පාලමෙන් වාහන ගමනා ගමනය තාවකාලිකව නවත්වා තිබුණි. මෙම රථයටද එහි නවතන ලෙස පොලීසිය අණ කළේය. බෝම්බ සවිකර නිමවන තුරු ටික වේලාවක් එහි රැඳී සිටින ලෙස අණ ලැබුණි. යුද්ධ කාලයේ සාමාන්‍යයෙන් සිදුවන ආකාරයට සෑම තැනම විදුලිය නිවා අඳුරු කර තිබීම සිරකරුවන්ගේ වාසනාවක් විය. “එහෙනම් අපි තේ ටිකක්වත් බොමු” යි කී රියැදුරු අසුනේ සිටි රොබට් ගුණවර්ධන මහතා වහනය මදක් පිටුපසට ගත්තේ පොලිස් නිලධාරීන්ගේ අවධානයෙන් මිදීමටය. ටික වේලාවකින් අන්තරායෙන් මිදුණු සමසමාජ නායකයෝ කොළඹ නගරයට ඇතුළු වූහ. පසුව ඔවුහු ඉන්දියාවට පලා ගියහ. යුද්ධය අවසන් වන තුරු ඔවුන් වාසය කළේ  එරට සැඟවීගෙනය. ඇන්. ඇම්. විශ්වනාත් නමින් බැංකු කළමනාකරුවෙකු ලෙසත් පිලිප් සහ කුසුමා යුවළ ගුරුසාමි මහතා සහ මහත්මිය ලෙසත්  වෙස්වළාගෙන සිටි බව කියනු ලැබේ. රොබට් ගුණවර්ධන මහතා ප්‍රසාද් නමැති ව්‍යාපාරිකයෙකු මෙන් සිටි අතර විවියන් විජය ලක්‍ෂ්මි ලෙසද පෙනී සිටියහ.


ඇමරිකා ජනාධිපති හැරි ටෲමන්ගේ නියමය පරිදි 1945 අගෝස්තු 06 වැනි දින ජපානයේ හිරෝෂිමා නගරයට හෙළන ලද පරමාණු බෝම්බ නිසා යුද්ධයේ අවසාන ඉරණම තීණ්දු විය. ඒ වනවිට ජර්මනිය සහ ඉතාලිය යටත්ව තිබුණි. එහෙත් ජපානය පරාජය පිළිගෙන යටත්වීමට කැමති වූවේ නැත. එහෙත් පරමාණු බෝම්බ දෙක නිසා සිදුවූ හානිය දරාගැනීමට ජපාන රාජ්‍යයට නොහැකි විය. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් 1945 සැප්තැම්බර් 02 වැනිදා ටෝකියෝ වේලාවෙන් පෙරවරු දහයයි තිහට ඇමෙරිකා එක්සත් ජනපදයට අයත් ‘මිසෝරි” යුද්ධ නෞකාවේදී ජපානය මිත්‍ර පක්‍ෂයට යටත්වීමේ ලියවිල්ලට අත්සන් තැබීමත් සමග ලෝක ඉතිහාසයේ ඉතාමත් බිහිසුණු යුද්ධය ලෙස සැලකෙන දෙවැනි ලෝක මහා සංග්‍රාමය අවසන් විය.


එම යුද්ධයෙන් අනෙකුත් බොහෝ රටවලට සිදුවූ තරම් හානියක් ලංකාවට සිදු නොවූ බව සත්‍යයකි. එහෙත් ලාංකිකයන්ගේ සුළු සංඛ්‍යාවක් හෝ එහිදී මියගියහ. දේපල ද විනාශ විය. ඒ එකද ජීවිතයක් නැවත ලබා දිය නොහැක. එසේ නම් කෝටි ගණනක් වූ අනෙක් රටවල විනාශ වූ ජීවිත ගැන කිව හැක්කේ කුමක්ද? එනිසා සමස්ත මිනිස් ප්‍රජාවගේ යුතුකම වන්නේ යුද බිය ඇති නොවන අයුරින් කටයුතු කිරීම බව නොවළහා අවබෝධ කරගත යුතුය.

 

 

 

 

සෝමසිරි වික්‍රමසිංහ



අදහස් (0)

ජපනුන්ගේ බෝම්බ කොළඹට වැටුණ හැටි

ඔබේ අදහස් එවන්න

Diyatha News

රට රත් කළ ඇඟ බද්ද
2020 මාර්තු මස 28 12299 2

අද ලංකාවේ හැමදාම හැම තැනම විවිධ ඉල්ලීම් දිනා ගැනීම සඳහා පොදු ජනතාව මෙන්ම රාජ්‍ය සේවකයින් ද වැඩ වර්ජන හා උද්ඝෝෂණ පවත්වති. ඔවුන්ගේ මේ උද්ඝෝෂණ වලින් වැඩි


ජේ.ආර්.ගෙන් ඇන්.ඇම්.ට චරිත සහතිකයක්
2020 මාර්තු මස 14 6834 1

මිත්‍රවරුනි දේශපාලනය සඳහා තිබිය යුතු ලොකුම සුදුසුකම් දෙක තමයි බුද්ධිය හා අත්දැකීම්. හොරුන්ට මැරයන්ට දේශපාලනය කරන්න බෑ. මේ පාර යටියන්තොට ආසනේට පෙරේරල


ප්‍රභාකරන්​ගේ පළමු උණ්ඩයට බිලිවූ යාපා පටුනේ පළමු පුරවැසියා
2020 මාර්තු මස 14 14540 1

දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය (LTTE) විමුක්තිය උද‌ාකර ගැනීම සඳහා තෝරා ගෙන තිබුණු ඝාතන සංස්කෘතියේ පළමු බිල්ල වූයේ දෙමළ ජාතිකයෙකි. ඔහු එවකට අගමැතිනි සි


බත් දුන් පියා නූලෙන් දිවි ගලවා ගත් හැටි
2020 මාර්තු මස 14 14941 4

ලංකාවේ දෙවැනි අගමැති ඔහුය. ඔහුගේ පියා ලංකාවේ ප්‍රථම අගමැතිය. ඔහු තුන් වරක් ලංකාවේ අගමැති ධුරය හෙබවූවේය. 1911 වසරේ ඉපදී 1973 දී එනම් 62 හැවිරිදි වියේදී මියගිය ත


ජෝන්ට ඇටවූ මර උගුල්
2020 මාර්තු මස 14 2799 0

කුල භේදය සම්බන්ධයෙන් උගුරට හොරා බෙහෙත් බීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළ ජෝන් කොතලාවලට තවත් වරක් අපූරු ඇබැද්දියක් සිදුව තිබේ. වරක් ඔහුට ආධාර කළ උසස් යැය


මැතිසබය ගෙදර යැවීමේ පුරාණයෙන්
2020 මාර්තු මස 14 445 0

පසුගිය නොවැම්බර මස 16 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජයග්‍රහණය ලැබීමෙන් පසුව මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධුරයට පත්කර රජයක් පිහිට


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14545 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 128 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 93 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 138 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site