IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


ඩොලර් ඉතිරිකර ගැනීමට තානාපති කාර්යාල අඩුකරමු

රටේ ආර්ථිකය ඉතා අභියෝගාත්මක තලයකට වැටීම නිසා අප ඉදිරියේ පවතින්නේ වඩාත් අවදානම් සහගත තත්ත්වයකි. ජූලි මාසය වනවිට රටේ ඉතිරිව තිබුණේ ඩොලර් බිලියන දෙකයි දශම අටක පමණ විදේශ සංචිතයකි. රටට අත්‍යවශ්‍ය ඉන්ධන, ඖෂධ හා ආහාර ගෙන්වා ගන්නට එය ප්‍රමාණවත් වූයේ ඊළඟ සති 6ට පමණකි. ඊට සේවාද එක් වූ විට එය ප්‍රමාණවත් වූයේ යාම්තමින් සති පහකට පමණකි.

අගෝස්තු මාසයේදී ලැබුණු ඩොලර් මිලියන 787 ක විශේෂ ගැණුම් හිමිකම් (SDR) සහ බංග්ලාදේශයෙන් ලැබුණු ඩොලර් මි. 150 ක හුවමාරු ණය (SWAP) පහසුකම් සමග අගෝස්තු මස අගදී එය ඩොලර් බිලියන 3.6 කට සමීප විය. අත්‍යවශ්‍ය ඉන්ධන, ඖෂධ හා ආහාර ආනයනය කරන්නටත්, වෙනත් සේවා ආනයනයටත් එය සෑහෙන්නේ යාම්තමින් සති හතකට පමණි.

ඩොලර් හිඟය නිසා ආනයනකරුවන්ට සති දෙකකට වඩා කාලයක් පොරොත්තු ලේඛනවල රැඳී බලා ඉන්නට සිදුවී තිබේ. දැනටමත් වෙළඳ පොළේ  ආනයනය කරන ඇතැම් ඖෂධ හිඟවී පවතී. ඉන්ධන ගෙන්වා ගැනීමද සීමා කරන්නට සිදු වුවහොත් වාහන ගමනා ගමනය පමණක් නොව ජාතියේ ඉදිරි ගමනද එක තැන ඇණ හිටීම වළක්වා ගත නොහැකිය. කෘෂිකර්මය ආශ්‍රයෙන්ද දැන් අප පසුවන්නේ අත්හදා බැලීම් කරන කාලයකය. රසායනික පොහොර ආනයනය නවතා දමා කාබනික ගොවිතැනට ක්ෂණිකව යොමුවීම නිසා ඉදිරි කන්නවලදී ලැබෙන අස්වැන්න පිළිබඳව වැඩි විශ්වාසයක් තැබිය නොහැකි බවටද මත පළවෙමින් තිබේ. මේ වනවිට අපට අපනයන ආදායම් හෙවත් විදේශ විනිමය ලබා දෙන තේ නිෂ්පාදනයද පහත වැටී ඇති බව වාර්තාවේ.

2022 වසර සඳහා අයවැය සකස් කරන්නට සූදානම් වන මේ කාලයේදී ඉදිරි කාලය තුළ කපා හැරිය යුතු රාජ්‍ය වියදම් මොනවාදැයි නැවත සලකා බැලීම වඩාත් යෝග්‍යවේ.

2021 අයවැයෙන් විදේශ සේවා දූත මෙහෙවර උදෙසා වෙන් කරන ලද මුදල රු. බිලියන 11 කි. ඉදිරි වර්ෂයේදී කොවිඩ් 19 වසංගතය මර්දනය සඳහා මුදල් වැය කළ යුතුව තිබියදී මේසා විශාල මුදලක් විදේශ සේවා දූත මෙහෙවර උදෙසා වැය කිරීම සාධාරණද යන්න මේ අවස්ථාවේ විමසා බැලීම උචිත යයි හැඟේ. කොවිඩ් 19 මර්දන කටයුතු ඉදිරියේ කළ යුතුව තිබියදී සෞඛ්‍ය සේවා සඳහා 2021 වසරට වෙන් කොට තිබුණේ රුපියල් බිලියන 18 කි.

විදේශ සේවා දූත මෙහෙවරේ යෙදී සිටින නිලධාරීන්ට වැටුප් ගෙවීම් සහ වෙනත් වියදම් දැරිය යුත්තේ ඩොලර් වලිනි. එනිසා එය විදේශ විනිමය වැය වන කටයුත්තකි. ඩොලරයක කළු කඩ මිල රු. 260 දක්වා ඉහළ ගොස් ඇති මේ කාලයේ ඩොලරයට රුපියල් 190 ගණනේ ගණන් බැලුවත් රුපියල් බිලියන 11ක් යනු ඇමරිකන් ඩොලර් මිලියන 58 කි. එය බංග්ලාදේශයෙන් ගත් හුවමාරු ණයෙන් තුනෙන් එකකට මදක් වැඩි ගණනකි.

විදේශ දූත මෙහෙවර කටයුතු ආශ්‍රිත ඵලදායීබව නොසලකා අප ඒ සඳහා මුදල් වෙන් කළ යුතුද? වෙනත් ධනවත් රටවල් ආදර්ශයට ගෙන අප මෙම වියදම් අඩුකරගත යුතු නොවේද? ගෝලීය ගනුදෙනුවල ඉතා සක්‍රීය ලෙස යෙදෙන අප නිතරම උදාහරණයට ගන්නා සිංගප්පූරුවේ තානාපති සබඳතා පවත්වන්නේ රටවල් 36ක් සමග පමණකි. ශ්‍රී ලංකාව මේ වනවිට රටවල් 54ක් සමග ඍජු දූත මෙහෙවර සම්බන්ධතා පවත්වන බව විදේශ අමාත්‍යාංශයේ වෙබ් අඩවිය පරීක්ෂා කිරීමෙන් තහවුරු වේ. අප්‍රිකානු රටවල් ගත් විට ශ්‍රී ලංකාව දූත මෙහෙවර සම්බන්ධතා 6ක් පවත්වද්දී සිංගප්පූරුව එකී සම්බන්ධතා පවත්වන්නේ රටවල් 2ක් සමග පමණකි. යුරෝපා රටවල් 13ක් සමග ශ්‍රී ලංකාව තානාපති සබඳතා පවත්වද්දී සිංගප්පූරුව එකී සම්බන්ධතා පවත්වන්නේ රටවල් 5ක් සමග පමණකි.

විදේශ දූත මෙහෙවර සම්බන්ධතා කටයුතු පිළිබඳ පුහුණුව ලත්, ඒ උදෙසා අවශ්‍ය දැනුමෙන් හෙබි බුද්ධිමත් නිලධාරීන් කී දෙනෙක් මේ වනවිට එකී මෙහෙවරේ යෙදී සිටිත්ද යන්න විමසා බැලිය යුතු කරුණකි. ඇත්තෙන්ම මේ වනවිට තානාපති තනතුරු උදෙසා පත්වීම් ලබා ඇත්තේ ඉහත කී සුදුසුකම් සහිත හත් අට දෙනෙකි. තානාපති තනතුරු ලද බොහෝ දෙනා ඒවා ලබා ඇත්තේ දේශපාලන හිතවත්කමටයි. බලයට එන්නට සහාය දීම නිසා ප්‍රති උපකාරයක් ලෙස විදේශ තානාපති තනතුරලත් උදවියගෙන් බලාපොරොත්තුවිය හැකි ඵලදායී සේවාව කුමක්ද? යම් සේවාවක ඵලදායීතාව විමසා ඊට අදාල වියදම් තීරණය කිරීම අතිශය මූලික කාරණයකි. අපගේ විදේශ සේවාව කළගුණ සැලකීම උදෙසා පුද්ගලයන් පත් කරන තැනට වැටී ඇත්නම් එය වහාම නිවැරදි කළ යුත්තකි.

තානාපති සේවාවක් හෝ විදේශ රටක මහකොමසාරිස් ධුරයක් යනු ජාත්‍යන්තර අවධානයට ලක්වන තනතුරකි. විදේශ තානාපතිවරයකු කෙතරම් භාරධුර ලෙස හා තීක්ෂණ අයුරින් අදහස් පළ කළ යුතුද යන්න අමෙරිකානු තානාපතිනිය ඇලෙයිනා බී. ටෙප්ලිට්ස් පුවත්පත් සම්මුඛ සාකච්ඡාවකට පිළිතුරු දෙන ආකාරය අධ්‍යයනය කිරීමෙන් උගත හැකිවේ. විදේශ සේවා දූත මෙහෙවරකට මෑතකදී පත්වීම් ලැබූ ශ්‍රී ලාංකීය නිලධාරියකු තතන තතනා අදහස් පළ කරන රූපවාහිනී තිරයක දසුන් මේ දිනවල වට්ස්අප් ඔස්සේ සරදමට ලක්වෙමින් සංසරණය වෙමින් පැවතීම කනගාටුදායක තත්ත්වයකි. ඔවුනට වාර්ෂිකව වැය කරන ඩොලර් මිලියන 58 න් එක් මිලියනයක් හෝ වැය කොට ඔවුන් පුහුණු කළහොත් ජාතියේ ගරුත්වය රැක ගත හැකිය.

අප රටේ 2019 වසරේ දළ ජාතික නිෂ්පාදිතය ඇ.ඩො.බි. 84ක් වූ අතර එම වසරේ ඒක පුද්ගල දළ ජාතික නිෂ්පාදිතය ඇ.ඩො.බි. 3853 කි. සිංගප්පූරුවේ එම වසරේ දළ ජාතික නිෂ්පාදිතය ඇ.ඩො. 372 ක් වූ අතර, ඒ.පු.ද.ජා. නිෂ්පාදිතය ඇ. ඩොලර් 65233 කි. එවන්වූ සිංගප්පූරුව දූත මෙහෙවර සම්බන්ධතා පවත්වන්නේ රටවල් 36ක් සමගයි. අප රටවල් 54 ක් සමග එම සම්බන්ධතා පවත්වන අතර අප රට තුළ ඇත්තේ විදේශ රටවල් 41ක ධූත මෙහෙවර කාර්යාල පමණකි.

අපගේ විදෙස් තානාපති කාර්යාල සහ මහ කොමසාරිස් කාර්යාල සියල්ල ශ්‍රී ලංකාවට ප්‍රයෝජනවත් කාර්යභාරයක් ඉටු නොකරන ඒවා බව අපි නොකියමු. රටට ඉතා ඵලදායී තානාපති කාර්යාල ගණනාවක් පවතී. එහෙත් බොහොමයක් කාර්යාල නමට පමණක් පවත්වාගෙන යමින් ආණ්ඩුවේ බලවත් පුද්ගලයන්ගේ හිතවතුන්ට ඩොලර්වලින් වැටුප් ගෙවන රැකියා ලබාදෙන මධ්‍යස්ථාන බව අකමැත්තෙන් වුවද කිව යුතුය. ඇතැම් අවස්ථාවල මැති ඇමැතිවරුන්ගේත් ඔවුන්ගේ සමීප ඥාතීන්ගේත් දූ දරුවන්ට වැඩිපුර අධ්‍යාපනය ලබාදීමට හෝ විදෙස් රටකින් උපාධි සහතිකයක් හෝ ලබාගැනීමට හෝ පහසුකම් සපයන නවාතැන්පොළ වශයෙන් ඒවාට ක්‍රියා කිරීමට සිදුවෙයි. මේ සියලු කටයුතු වෙනුවෙන් වැය කෙරෙන්නේ මෙරට බදු ගෙවන ජනතාවගේ මුදල්ය.

ලොවේ ඇතැම් රටවල් මේ වනවිට ආර්ථික හේතු පදනම් කර ගනිමින් තානාපති කාර්යාල වසා දැමීමට පියවර ගනිමින් සිටී. මහජනතාවගේ බදු මුදලින් ආණ්ඩුවේ ඥාති මිත්‍රාදීන්ට පහසුකම් සලසන තානාපති කාර්යාල වසා දැමීමෙන් ශ්‍රී ලංකාවට කිසිදු අවැඩක් සිදු නොවූවත් ඩොලර් මිලියන ගණනක් ඉතිරි කර ගැනීමට හැකිවන බව පෙන්වාදීමට කැමැත්තෙමු.

(***)



අදහස් (8)

ඩොලර් ඉතිරිකර ගැනීමට තානාපති කාර්යාල අඩුකරමු

amila Monday, 20 September 2021 02:45 PM

දේශපාලකයන්ට බල කරමුහොරකම් කරලා විදේශ රටවල සඟවලා තියෙන මුදල් ආපහු අරන් එන්න කියලා...

:       0       9

senaTuesday, 21 September 2021 05:04 AM

ලෝකයේ රටවල පිහිටුවා තිබෙන්නා වූ විදේශ තානාපති සහ දූතසේවා සහ සියලු තානාපති අංශ මගින් ලංකාවට කිසිඳු ප්‍රතිලාභයක් ලබාගැනීමට නොහැකි නම් එම දූත සේවා සියල්ල තවකාලිකව හෝ වසදැමිය යුතුවේ. ලංකාව නමට පමණක් බොහෝ රටවල් සමග දුතසේවාවන් පවත්වාගෙන යාම නොකළ යුතුවේ. විදේශ රටවල සිටින ශ්‍රී ලාංකිකයින්ගේ අනුපාතය අනුව විදේශ දූතසේවා පවත්වාගෙන යාම කළයුතුවේ. මෙම ලිපියෙහි සඳහන් සියල්ල සත්‍ය වේ...

:       0       3

Deepal Nirosh Monday, 20 September 2021 04:11 PM

ඉතා කාලීන යෝජනාවක්, රටේ විදේශ සේවය ඇත්ත වශයෙන්ම ක්‍රියාත්මක වන්නේ පවතින රජයේ හිතවතුන්ට හෝ ආධාර කළවුන්ට හෝ රැකියා උත්පාදනයට හා ඔවුන්ගේ දූ දරුවනට විදේශ අධ්‍යාපන පහසුකම් සලසන ආයතන වශයෙන්...

:       1       8

RaveendraTuesday, 21 September 2021 06:40 AM

ඔබගේ අදහස් ඉතාමත්ම නිවැරදියි. දශක කීපයක සිටම විදේශ සේවය යනු ඒ ඒ රජයන්වලට අදාළ හැත්ත බුරුත්ත සිය පවුල් සමග මහජන මුදලින් සැප විඳින වසා භූමියක්ය...

:       0       3

දිසා.....ගම්පහ. Wednesday, 22 September 2021 03:54 PM

අමාත්‍යවරුන්ගේ දූ පුතුන් හෝ ඥාති හිතමිත්‍රාදීන් නොව තානාපතිවරුන් සහ තානාපති කාර්යාලයන්හි ප්‍රධාන තනතුරු සඳහා යොමු කළ යුත්තේ විදේශ සේවාවේ පළ පුරුදු නිලධාරින්ය. එසේ නොවීම රටේ ජනතාවගේ කරුමයයි.

:       0       3

බණ්ඩාර Wednesday, 22 September 2021 06:16 PM

පසුගිය දශකය තුළ රාජපක්ෂ පවුලේ අය හම්බකරපු මුදලින් 10% ක් රජයට දුන්නා නම් මේ ආර්ථික අර්බුදය විසඳාගන්න තිබුණා.

:       0       3

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 23 September 2021 11:01 AM

ලිපියෙහි අන්තර්ගත අදහස් සියල්ල සත්‍ය ඒවා වෙයි. ඒ වගේම අපේ රටේ දේශපාලන ඇත්තන් තමන්ගේ නෑදෑ හිතවතුන් මිතුරන් ඔවුන්ගේ දූ දරුවන් තානාපති කාර්යාල සඳහා යැවීමේදී නිසි පරිදි සුදුසුකම් නැතත්, ඔවුනට එම දොරටු විවර වේ. මේ සඳහා ඔවුන් ලබන වැටුප් හා වරප්‍රසාද වෙනුවෙන් පෙරළා ලංකාවට ඔවුන්ගේ සේවයක් හරිහැටි සිදුනොවේ. එබැවින්, ඒවන් තානාපති අංශ තෝරා ඔවුන් සේවයෙන් නෙරපිය යුතුය. නිසි සුදුසුකම් සහිත අය ඒ සඳහා පත්කළ යුතුය. මේ සියළු දේ සපුරාගත හැකි වුවත්, රටේ දේශපාලකයන් හා ඔවුන්ගේ සහචරයන් රටේ රුධිරය උරා බීම වැනි රටේ සම්පත් හා මුදල් හොරකම් කිරීම දැන් හෝ මින් ඉදිරියට හෝ නතර නොකරන්නේ නම්, අන් කුමන දේ කළත්, වැඩක් නම් නොවේ.

:       0       1

sampath Thursday, 23 September 2021 11:53 PM

තානාපති සම්බන්ධතා පලදායිව යොදා ගත්තොත් මේ අර්බුධය විසදගන්න පුළුවන්.

:       0       0

ඔබේ අදහස් එවන්න

කතුවැකිය

ජ්‍යෙෂ්ඨ පුරවැසි තැන්පතු පොලිය තවත් වැඩිකළ නොහැකි ද?
2024 අගෝස්තු මස 08 695 1

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා ගෙවමින් තිබූ විශේෂ පොලී අනුපාතිකය කාලක් තිස්සේ ගෙවීම අත්හිටුවා තිබිණි. එම ගෙවීම නැවත ක්‍රියාත්මක කිරීම සඳ


ජනපතිවරණ මුදල් නාස්ති කරන්න දෙනු එපා
2024 අගෝස්තු මස 07 222 0

මැතිවරණ උණුසුම රළ නගමින් තිබේ. රටේ ප්‍රධාන පුරවැසියා තෝරා පත්කර ගන්නා මැතිවරණය වන හෙයින් උණුසුම තියුණුය. මෙම ජනාධිපතිවරණයේ දී රටේ පුරවැසියෝ 17,140,354 ක් ඡන


ගුරු සමාජය කිලිටිකරන ගුරු ද්‍රෝහීන් පිටමං කරමු
2024 අගෝස්තු මස 06 601 0

සමාජය විවිධය. විසමය. එමෙන්ම එය විෂෙන් පිරුණකි. වැඩිහිටියාට පෞද්ගලික අත්දැකීම් ඇසුරෙන් ද සමාජ සිදුවීම් ඇසුරෙන් ද තම තම නැණ පමණින් එය අවබෝධ කර ගැනීමේ හැක


දැයට සමයට වස්තුවක් වූ අපේ පොඩි හාමුදුරුවෝ
2024 අගෝස්තු මස 05 318 0

සසුනඹර පොබ කළ අති ශෝභමාන සංඝ පීතෘවරයාණන් වහන්සේ නමක ලෙස දෙස් විදෙස් පතළ මහා කීර්ති කදම්බයෙන් අනූන බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝ නායක, කොළඹ ගංගාරාම විහාරා


දේශපාලක නම කෙ​ලෙසීමට ගැත්තන්ට ඉඩදෙනු එපා
2024 අගෝස්තු මස 03 415 1

රුපියල් ලක්ෂ පහළොවක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් බව කියන වෙළෙඳ හා සමුපකාර රාජ්‍ය අමාත්‍ය සතාසිවම් වියලේන්දිරන් මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු යැයි ක


ජාත්‍යන්තර ජාවාරමුන් රටට ඇතුළුවෙද්දී විමසිලිමත් වෙමු
2024 අගෝස්තු මස 02 173 0

ජාත්‍යන්තර ජාවාරම්කරුවන්ගේ තිප්පොළක් බවට අප රට පත්ව තිබේද යන ප්‍රශ්නය අහම්බයකින් පැනනැගුණක් නොව එකක් පසුපස එකක් වශයෙන් වාර්තා වන සිදුවීම් හරහා තාර්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18702 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 91 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 281 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 147 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site