IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


බුද්ධි තොරතුරු කෙරෙහි නිසි සැලකිල්ලක් දක්වමු

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට කිසියම් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වනු ඇතැයි සඳහන් කරමින් ලැබුණු ඊමේල් පණිවුඩයක් හේතුවෙන් එම ගුවන් තොටුපොළේ සහ මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ආරක්ෂාව තර කර තිබේ. මෙම හෝඩුවාව තහවුරු කළ එකක් නුවූවද පූර්ව ආරක්ෂක පියවරක් ලෙස එම පියවර ගත් බව අපගේ ලංකාදීප පුවත්පතට පොලිසියේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයකු ප්‍රකාශ කර තිබිණි.

ගුවන් තොටුපොළට ප්‍රහාරයක් එල්ල විය හැකි බවට තොරතුරක් ලැබීමට දින ගණනාවකට පෙර නාරාහේන්පිට පෞද්ගලික රෝහලක වැසිකිළියක තිබී අත් බෝම්බයක් හමු විය. එම බෝම්බය රැගෙන ආ බවට සැක කෙරෙන ඉදිකිරීම් සමාගමක සේවකයෙක් පසුව අත්අඩංගුවට ගනු ලැබීය. එම සැකකරු ත්‍රිකුණාමලය උප්පුවේලි ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණයකු බවද ඔහු එම රෝහලේ භූමියේ ඉදිකිරීම් කටයුතුවලට සම්බන්ධවීමට කොළඹට පැමිණ ඇත්තේ දින 12කට පෙර බවද කොළඹ අපරාධ කොට්ඨාසය හෙළි කර තිබිණි. එම සැකකරුගේ සහෝදරියක එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ක්‍රියාකාරිනියකව සිටි බවට තොරතුරක් ලැබී ඇති බවද සඳහන් වෙයි.

මේ අතර කොඩිකාමම් ප්‍රදේශයේ වත්තක ළඳු කැලෑවක තිබී කිලෝ 15ක් පමණ බරැති පීඩන බෝම්බයක් සහ ක්ලේමෝ බෝම්බයක් පෙරේදා සොයාගත් බව වාර්තාවිය.

බෝම්බ පුපුරා යාම් සහ ගුවන් තොටුපොළවලට ත්‍රස්ත ප්‍රහාර එල්ල වූ අතීතයක් අපට තිබිණි. එය දශක තුනක් යුද්ධයක් දක්වා දිව ගියේ අප කාටත් නොදැනීමය. ඊමේල් පණිවුඩ, බෝම්බ සොයන උපකරණ, හදිසියේ එල්ල වන ත්‍රස්ත ප්‍රහාර පිළිබඳ දැනුමක් නොතිබූ අවධියකින් එම යුද්ධයේ ආරම්භය සිදුවෙද්දී මේ ආකාරයේම පූර්ව අනතුරු ඇඟවීම් සිදුවිය. සඟවා තිබූ පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනීම මෙන්ම තැන තැන අටවා තිබූ කුඩා ප්‍රමාණයේ බෝම්බ පුපුරා යාම්ද සිදුවිය. ඒ වනවිට උතුරේ තැන තැන අවි ගත් කල්ලි මගින් මිනිස් ඝාතනද ඇරඹී තිබිණි. අවසානයේ මහා යුද්ධයක් දක්වා ත්‍රස්ත ක්‍රියා පරිවර්තනය වූයේ එම මග සලකුණු ඔස්සේය.

නාරාහේන්පිට රෝහල් භූමියකින් අත් බෝම්බයක් හමුවීම සහ ගුවන් තොටුපොළට එල්ල විය හැකි ත්‍රස්ත ප්‍රහාරයක් පිළිබඳ ඊ මේල් ලැබීම එවැනි මහා යුද්ධයක පෙර නිමිති විය හැකි යැයි අප කලබල විය යුතු නැත. එහෙත් එවැනි සිදුවීම් පිළිබඳ කිසිම සැලකිල්ලක් නොදක්වා කටයුතු කිරීමද සුදුසු නැත. එය අවදානම අවතක්සේරු කිරීමක් බව කිව යුතුය. අප කොරහේ කිඹුලන් නොදැකිය යුතු වුවද ජාතික ආරක්ෂාවට එල්ල විය හැකි සියලු‍ තර්ජන පිළිබඳ සොයා බැලීම අනතුරට පෙර අවදානම හඳුනා ගැනීමකි. පූර්ව අනතුරු ඇඟවීම් පිළිබඳව ප්‍රමාණවත් අවධානයක් යොමු නොකිරීමේ විපාක පාස්කු ප්‍රහාරය මගින් මුළු රටටම කදිම පාඩමක් උගැන්වීය. ඒ බව මෙහිදී සිහිපත් කළ යුත්තේ නරක වෙලාවට මෝල් ගහත් පත්තු වීමට ඉඩ තිබෙන බැවිනි.

නාරාහේන්පිට රෝහල් භූමියේ වැඩපොළක සිටි බෝම්බය ගෙනා බවට සැක කරන තරුණයා උප්පුවේලියේ තරුණයකු වීම හේතුවෙන් ඔහු කොටියකු යැයි සිතා කටයුතු කිරීමද අවශ්‍ය නැත. එසේම මෙය එල්.ටී.ටී.ඊ.ය යළි පණ ගන්වන කුමන්ත්‍රණයක කොටසක් බවට එක්වරම අර්ථ දැක්වීමද නිෂ්ඵලය. අවශ්‍ය වන්නේ නිශ්චිත කාලයකදී පුපුරා යන ආකාරයට සූක්ෂම ලෙසට බෝම්බයක් සකස් කිරීමට තරම් උවමනාවක් එම තරුණයාට ඇතිවූයේ මන්දැයි සොයා බැලීමය. එය කාගේ හෝ කොන්ත්‍රාත්තුවක් දැයි දැනට කෙරෙන පොලිස් විමර්ශනවලදී හෙළිවනු ඇත. ඔහු පිළිබඳ සියලු‍ තොරතුරු හෙළිකර ගැනීම මේ සිද්ධියේ සැබෑ වැරදිකරුවන් නීතියේ රැහැනට හසුකර ගැනීමටත් එය ත්‍රස්ත කුමන්ත්‍රණයක් දැයි හරිහැටි සොයා ගැනීමටත් උපකාරී වනු ඇත.

රටේ ප්‍රධාන ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වැනි මර්මස්ථානයකට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කරන බවට ඊ මේල් පණිවුඩයක් එවීම තහවුරු කළ නොහැකි ඔත්තුවක් වුවද ඒ පිළිබඳ සියලු‍ තොරතුරු හෙළි කර ගැනීමද ඉතා වැදගත් වෙයි. පාස්කු ප්‍රහාරයට පෙර එවැන්නක් සිදු කරනු ලබන බවට ලැබුණු තොරතුරු කෙරෙහි ප්‍රමාණවත් තරම් සැලකිල්ලක් නොදැක්වීම හේතුවෙන් අහිංසක කතෝලික බැතිමතුන් සිය ගණනකට තම ජීවිතවලින් වන්දි ගෙවීමට සිදුවූ බව මෙහිදී සිහිපත් කළ යුතුය. පාස්කු ප්‍රහාරයට වසර කිහිපයකට පෙර සිටම ත්‍රස්ත ප්‍රහාරයක පෙරනිමිති පහළ විය. මාවනැල්ලේ බුදු පිළිම කැඩීමේ සිද්ධිය, සහරාන්ලා අන්තවාදී මත පතුරුවා හරින බවට තොරතුරු, වවුනතිව්හිදී පොලිස් නිලධාරීන් ඝාතනය කර ගිනි අවි පැහැර ගැනීම සහ පුත්තලමේ ලැක්ටෝවත්ත ඉඩමක තිබී පුපුරණ ද්‍රව්‍ය කිලෝ 100ක් හමුවීම සහ මඩකලපුවේ මෝටර් සයිකලයක් පුපුරුවා හැරීම ඒ අතර ප්‍රධාන විය.

එහෙත් එවකට පැවැති යහපාලනය මේ කිසිදු බුද්ධි තොරතුරක් තඹේකට මායිම් කළේ නැත. බුදු පිළිම කැඩීමේ සිද්ධිය පිළිබඳ පොලිසියට තොරතුරු දුන් හිටපු ප්‍රබල ඇමැතිවරයකුගේ සම්බන්ධීකරණ නිලධාරියකු හිසට වෙඩි තබා දරුණු තුවාල කළත් එම සැකකරුවන්ට එරෙහි පියවර ගැනීමට තරම් කොන්දක් එම රජයට තිබුණේ නැත. මේ සියල්ලේ ප්‍රතිඵලය පාස්කු ප්‍රහාරය විය. යළිත් එවැනි තත්ත්වයක් ඇතිකිරීමට දරන උත්සාහය මුලදීම වළක්වා ගත හැකි වන්නේ ලැබෙන බුද්ධි තොරතුරු කෙරෙහි ප්‍රමාණවත් අවධානයක් යොමු කිරීමෙන් පමණි.

යුද්ධය නිමවීමෙන් පසුව ගෙවී ගිය කාලය තුළදී උතුරු නැගෙනහිර ප්‍රදේශවලින් තරුණ තරුණියෝ විශාල සංඛ්‍යාවක් කොළඹ ඇතුළු තදාසන්න නගරවලට සංක්‍රමණය වී සිටිති. ඔවුන් බොහෝ දෙනා කුමක් හෝ රැකියාවක නිරතව සිටින අතර සමහරු ව්‍යාපාර පවත්වාගෙන යති. තවත් පිරිසක් එතෙර රැකියා බලාපොරොත්තුවෙන් තාවකාලික රැකියාවක හෝ අධ්‍යාපන කටයුත්තක හෝ නියැලී සිටිති.

එක් පුද්ගලයකු කළ වැරැද්දකට මේ සියලු‍ දෙනා සැකකරුවන් විය යුතු නැත. යුද්ධයේ විනාශයෙන් තෙම්පරාදු වී සිටින එම තරුණ තරුණියන් යළිත් එවැනි තත්ත්වයකට රට ඇදී යනවාට කැමැති වනු ඇතැයි අපි කිසිසේත් නොසිතමු. එහෙත් එසේ නොසිතන ත්‍රස්තවාදය ලෙයට එක්වූ එකකු දෙන්නකු හෝ සිටිය හැකි බවද ගින්නක් ඇවිළීමට එක ගිනි කූරක් පමණක් සෑහෙන බවද කවදාවත් අමතක කළ යුතු නැත.

(***)



අදහස් (0)

බුද්ධි තොරතුරු කෙරෙහි නිසි සැලකිල්ලක් දක්වමු

ඔබේ අදහස් එවන්න

 

 
 

කතුවැකිය

බලවත් විපක්ෂයක් අවශ්‍ය ඇයි?
2024 ඔක්තෝබර් මස 07 1336 0

අලුත් පාර්ලිමේන්තුවක් සඳහා ලබන නොවැම්බර 14 වන දින ඡන්දය දිය යුතුය. ඡන්දය දිය යුත්තේ ජනාධිපති අනුර කුමාර දිසානායකට ශක්තිමත් ආණ්ඩුවක් ලබා දීමට යැයි ඇතැම


ජ්‍යෙෂ්ඨ පුරවැසි තැන්පතු පොලිය තවත් වැඩිකළ නොහැකි ද?
2024 අගෝස්තු මස 08 823 1

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා ගෙවමින් තිබූ විශේෂ පොලී අනුපාතිකය කාලක් තිස්සේ ගෙවීම අත්හිටුවා තිබිණි. එම ගෙවීම නැවත ක්‍රියාත්මක කිරීම සඳ


ජනපතිවරණ මුදල් නාස්ති කරන්න දෙනු එපා
2024 අගෝස්තු මස 07 344 0

මැතිවරණ උණුසුම රළ නගමින් තිබේ. රටේ ප්‍රධාන පුරවැසියා තෝරා පත්කර ගන්නා මැතිවරණය වන හෙයින් උණුසුම තියුණුය. මෙම ජනාධිපතිවරණයේ දී රටේ පුරවැසියෝ 17,140,354 ක් ඡන


ගුරු සමාජය කිලිටිකරන ගුරු ද්‍රෝහීන් පිටමං කරමු
2024 අගෝස්තු මස 06 750 0

සමාජය විවිධය. විසමය. එමෙන්ම එය විෂෙන් පිරුණකි. වැඩිහිටියාට පෞද්ගලික අත්දැකීම් ඇසුරෙන් ද සමාජ සිදුවීම් ඇසුරෙන් ද තම තම නැණ පමණින් එය අවබෝධ කර ගැනීමේ හැක


දැයට සමයට වස්තුවක් වූ අපේ පොඩි හාමුදුරුවෝ
2024 අගෝස්තු මස 05 368 0

සසුනඹර පොබ කළ අති ශෝභමාන සංඝ පීතෘවරයාණන් වහන්සේ නමක ලෙස දෙස් විදෙස් පතළ මහා කීර්ති කදම්බයෙන් අනූන බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝ නායක, කොළඹ ගංගාරාම විහාරා


දේශපාලක නම කෙ​ලෙසීමට ගැත්තන්ට ඉඩදෙනු එපා
2024 අගෝස්තු මස 03 477 1

රුපියල් ලක්ෂ පහළොවක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් බව කියන වෙළෙඳ හා සමුපකාර රාජ්‍ය අමාත්‍ය සතාසිවම් වියලේන්දිරන් මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු යැයි ක


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 348 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 261 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 414 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site