ගිරිඋල්ල පුස්කොළදෙණිය රිල්ඔලුව ප්‍රදේශයේ කොරෝනා ආසාදිත 20 හැවිරිදි තරුණයකුගේ තොරතුරු සෙවීමට ඔහුගේ නිවෙසක ගිය දඹදෙණිය කලාප බාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ මුහුණට කෙළ ගසා පහරදීමට තැත් කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ එම තරුණයාගේ පියා මෙම 17 වැනිදා දක්වා බන්ධනාගාරගත කරන ලෙසට කුලියාපිටිය මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු ජනනි එස්. විජේතුංග මහත්මිය නියෝග කළ බව සඳහන් පුවතක් අප පුවත්පත ඊයේ වාර්තා කළේය. අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයා නාරම්මල ප්‍රදේශයේ පදිංචිකරුවකු බවත් බිරිඳගෙන් හා පුතුගෙන් වෙන්වී ජීවත්වන ඔහු කොරෝනා ආසාදිත පුතු බැලීමට එම නිවෙසට ගොස් සිටියදී මෙම සිද්ධිය වී ඇති බවත් අප ප්‍රවෘත්තියේ වැඩිදුරටත් සඳහන්ය.
අප පුවත්පත මුල් පුවතෙන් වාර්තා කර තිබුණේ කොරෝනා රෝගීන්ගෙන් වාට්ටු පිරී ඉතිරි ගොස් ඇති බවත් රෝගීන් ඇඳන් යටත් කොරිඩෝවලත් වැතිරී සිටින බවත්ය. එම නිසාම රෝහල් ගණනාවක හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති බවය. රටේ හෙට දවස සම්බන්ධයෙන් බිහිසුණු චිත්‍රයක් එම පුවතෙන් දැකිය හැකිය. කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව සුනාමියක් මෙන් එකවරම මතුවීමේ අනතුරුදායක තත්ත්වයක් ඇති විය හැකි බව සෞඛ්‍ය විශේෂඥයෝ පෙන්වා දෙති.
රට මුහුණ දී සිටින ඉරණමෙන් රට ගලවා ගැනීමේ වගකීම සෑම පුරවැසියකුම ඉදිරිපිට තිබේ. එහිදී සෑම පුරවැසියකුටම වෙන්වූ වගකීම් පංගුවක් තිබේ. එක් පුරවැසියකුගේ අවකල් ක්‍රියාවක් හේතුවෙන් මුළු රටම කොරෝනා වගුරක් බවට පත්විය හැකිය. එහෙයින් මෙම තත්ත්වය අමතක කර කටයුතු කිරීමට කිසිවකුට අයිතියක් නැත. එම වගකීම අමතක කර කටයුතු කරන යම් පුරවැසියකුවේ නම් සමූහ ඝාතන චෝදනාව යටතේ හෝ උපරිම දඬුවමකට යටත් කළ යුතුය.
අවධාරණය කළ යුතු ප්‍රධානම කාරණාවක් තිබේ. එනම් මෙම කොරෝනා මාරාන්තික වයිරසය ඉදිරිපිට මෙරට සෞඛ්‍ය අංශ අප්‍රමාණ කැපවීමකින් කටයුතු කරන බවය. වෛද්‍යවරුන් හෙද හෙදියන්, සාත්තු සේවක සේවිකාවන් මෙන්ම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මෙහිදී ඉටු කරන කාර්යභාරය සමනොළ ගිරි හිසටත් ඉහළින්ය. විශේෂයෙන්ම මෙම කොරෝනා මාරාන්තික වයිරසය සියවසකට පමණ පසුව පැමිණි වසංගතයකි. එහෙයින් මේ සම්බන්ධයෙන් පූර්ව අවබෝධයක් කිසිවකුට නැත. එහෙත් සෞඛ්‍ය අංශ මේ මොහොතේ දී නොබියව පසු නොබා නැගී සිටියහ. තමන්ගේ ජීවිතය ගැන නොසිතා අනුන්ගේ ජීවිත වෙනුවෙන් කැපවී සිටිති. මඝ මානවක පරපුරේ ඒ බෝසත් මිනිසුන්ට මුළු මහත් ජාතියේම ප්‍රණාමය හිමි විය යුතුය.
සෞඛ්‍ය අංශ එම කැපවීම සිදු කරනු ලබන්නේ ඒ සඳහා සකස් කළ සුමට මාර්ගයක යමින් නොවේ. දඹදෙණිය කලාප බාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා මුහුණ දුන් ආකාරයේම සිදුවීමකට බණ්ඩාරගම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පිරිසක් මෙයට පෙර අටුලුගම දී මුහුණ දුන්හ. ආසාදිතයා රෝහල කරා රැගෙන යෑමට පැමිණි එම නිලධාරීන්ට සිදු වූයේ එම ආසාදිතයාගේම කෙළ ප්‍රහාරයකට ලක්වීමටය. විවිධ ත්‍රාඩයන්ගේ මැර ප්‍රහාරවලට ලක්වී රෝහල් ගත වීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට සිදුවීමේ අනුවේදනීය පුවත් ද වරින්වර වාර්තා විය. ඊයේ පෙරේදා වාර්තා වූයේ ‘‘මුහුණු ආවරණය පැළ ඳ ගන්නයි’’ උපදෙස් දුන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට එම පුද්ගලයා උදැල්ලකින් පහර දුන් බවය.
‘බල්ලෙකු අප සපා කෑ විට අප බල්ලා සපා නොකන්නේයි යනුවෙන් කියමනකි. ශිෂ්ටත්වය යනු එයය. එහෙයින් අශිෂ්ට පුරවැසියන්ගේ අවකල් ක්‍රියා ඉදිරිපිට ශිෂ්ට ජනයා කම්පා නොවෙති. කලබල නොවෙති. ඒ සියල්ල උපේක්ෂාවෙන් යුතුව දරා ඉවසති. එහෙත් අශිෂ්ටයන්ගේ අමනුස්සකම් අධමගති කිසිදු පැකිළීමකින් තොරව හෙළා දැකිය යුතුය.
සමාජයේ විවිධ පුද්ගලයෝ සිටිති. ඕනෑම සමාජයක ජීවත්වන සාමාජිකයකු එම සමාජයට ගැළපෙන ආකාරයට තම ඇවතුම් පැවතුම් සකස් කර ගත යුතුය. එම සමාජයේ පොදු සම්මතයන්ට නීති පද්ධතියට ආචාර ධර්මවලට යටත් විය යුතුය. සමාජානුයෝජනය යන්නෙන් දැක්වෙන්නේ ද එයයි. එහෙත් එසේ සමාජානුයෝජනය නොවන පිරිස් සිටිති. සමාජයට නොගැළපෙන පොදුවේ ගර්හාවට පිළිකුලට ලක්වන ඇවතුම් පැවතුම් මතු වන්නේ එබන්දන්ගෙනි. එබන්දන් ස්වයං විනයට යටත් නොවන්නේ නම් අල්ලා දඬු කඳේ ගැසිය යුතුය.
සෞඛ්‍ය අංශ හා ආරක්ෂක අංශ මේ මොහොතේ දුර්මුඛ වන්නේ නම් එහි ඒකාන්ත ප්‍රතිඵලය වන්නේ කොරෝනා මර්දන මෙහෙයුම් බිඳ වැටීමය. එවිට සිදුවන්නේ මුළු රටම කොරෝනා ආකරයක් බවට පත්වීමය. රට එබඳු තත්ත්වයකට පත් වුවහොත් එමගින් කිසිවකුට ගැලවුමක් නැත. රෝහල් ගණනාවක් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති බව වාර්තා වීමෙන් පැහැදිලි වන්නේ රට සෙමින් නමුත් එම බියකරු දිශාවට ගමන් කරමින් තිබෙන බවය. එය වළක්වා ගැනීමට නම් සියලුම පුරවැසියන් තමන්ගේ වගකීම නිසි පරිදි ඉටුකළ යුතුය.
(***)
අලුත් පාර්ලිමේන්තුවක් සඳහා ලබන නොවැම්බර 14 වන දින ඡන්දය දිය යුතුය. ඡන්දය දිය යුත්තේ ජනාධිපති අනුර කුමාර දිසානායකට ශක්තිමත් ආණ්ඩුවක් ලබා දීමට යැයි ඇතැම
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා ගෙවමින් තිබූ විශේෂ පොලී අනුපාතිකය කාලක් තිස්සේ ගෙවීම අත්හිටුවා තිබිණි. එම ගෙවීම නැවත ක්‍රියාත්මක කිරීම සඳ
මැතිවරණ උණුසුම රළ නගමින් තිබේ. රටේ ප්‍රධාන පුරවැසියා තෝරා පත්කර ගන්නා මැතිවරණය වන හෙයින් උණුසුම තියුණුය. මෙම ජනාධිපතිවරණයේ දී රටේ පුරවැසියෝ 17,140,354 ක් ඡන
සමාජය විවිධය. විසමය. එමෙන්ම එය විෂෙන් පිරුණකි. වැඩිහිටියාට පෞද්ගලික අත්දැකීම් ඇසුරෙන් ද සමාජ සිදුවීම් ඇසුරෙන් ද තම තම නැණ පමණින් එය අවබෝධ කර ගැනීමේ හැක
සසුනඹර පොබ කළ අති ශෝභමාන සංඝ පීතෘවරයාණන් වහන්සේ නමක ලෙස දෙස් විදෙස් පතළ මහා කීර්ති කදම්බයෙන් අනූන බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝ නායක, කොළඹ ගංගාරාම විහාරා
රුපියල් ලක්ෂ පහළොවක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් බව කියන වෙළෙඳ හා සමුපකාර රාජ්‍ය අමාත්‍ය සතාසිවම් වියලේන්දිරන් මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු යැයි ක
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
උදව්වට ආවාම පහරදෙන අපේම අමනුස්ස මිනිස්සු