රට පුරා මහත් ආන්දෝලනයකට ලක් වී අධ්‍යාපනයට සම්බන්ධ වෘත්තීය සමිති වීදි සටන්වලට යොමුකෙරුණු කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත විවාදයට ගැනීම කල් තැබීමට රජයට සිදු වී තිබේ. පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගනිමින් රජය ඒ පිළිබඳ විවාදය කල් තැබූ බවද සඳහන්ය.
කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා අදාළ විවාදය කල් තැබූ බව සඳහන් කළේ කොතලාවල පනතට හවුල්කාර පක්ෂවල සහාය ලබාගැනීමේ වැඩපිළිවෙළක් තිබේදැයි මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයට පිළිතුරක් වශයෙනි. මෙහිදී විමතියට කරුණක් වන්නේ පක්ෂ ගණනාවකින් සැදුම්ලත් වත්මන් ආණ්ඩුව මෙරට විශ්වවිද්‍යාල පද්ධතියට මෙන්ම නිදහස් අධ්‍යාපනයටද එක සේ වැදගත් වන කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය වැනි පනතක් කෙටුම්පත් කරන අවස්ථාවේදී ඊට සෙසු පක්ෂවල අදහස් ලබා නොගැනීමය. රටේ උසස් අධ්‍යාපනයට විශාල බලපෑමක් සිදු කළ හැකි පනත් කෙටුම්පතක් සම්පාදනයේදී ආණ්ඩුවේ සියලු පක්ෂවල අදහස් ලබාගැනීමේ වැදගත්කම තේරුම් නොගැනීම ආණ්ඩුව තුළ පවා ව්‍යාකූල තත්ත්වයක් ඇතිකර තිබේ. එසේ නොවන්නට පනත් කෙටුම්පත නියමිත පරිදි අද (06) විවාද කොට සම්මත කර ගැනීමට රජයට හැකියාව තිබිණි.
කොතලාවල විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත සකස් කරද්දී රජයේ හවුල්කාර පක්ෂවලින් යෝජනා සහ අදහස් ලබා නොගැනීම නිසා එම ඇතැම් පක්ෂවලට පනත් කෙටුම්පත පවතින ආකාරයට සම්මත කර ගැනීමට තමන්ගේ සහාය නොලැබෙන බවට ප්‍රකාශ නිකුත් කිරීමට පවා සිදුවිය. තවත් පක්ෂ කිසිවක් ප්‍රකාශ නොකර සිටියත් ඔවුන්ගේ පක්ෂ ඇතුළේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් විවිධ මතභේද හටගෙන තිබිණි. සම කැබිනට් ප්‍රකාශකවරයා සඳහන් කළේ 2007 වසරේදී පිහිටුවූ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට අදාළ පනත් කෙටුම්පත් සියල්ල එක් පනතක් කිරීම නව පනත මගින් සිදුවන බවත් ඒ ගැන ඉතා ඵලදායී හා විධිමත් සාකච්ඡාවක් සිදුවනු ඇති බවත්ය. එවැනි සාකච්ඡාවක් පනත සකස් කිරීමට පෙර සිදු නොවීමේ පල විපාක දැන් ඇස් පනාපිට පෙනෙන්නට තිබේ.
ආණ්ඩුවට දැඩි පීඩනයක් එල්ල කරමින් පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප්‍රධාන පක්ෂ සියල්ලම පනත් කෙටුම්පත පවතින ආකාරයෙන් සම්මත කිරීමට දැඩි විරෝධය පළ කරමින් උද්ඝෝෂණ සිදු කරන අතර විශ්වවිද්‍යාල ආචාර්යවරුද ශිෂ්‍ය සංගම්ද වීදි සටන්වලට බැස සිටිති. ගුරු - විදුහල්පති වැටුප් සටනේ එක් සටන් පාඨයක් බවටද කොතලාවල පනතට එරෙහිවීම සඳහන් වෙයි. ඒ අතරවාරයේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම තුළදී රජයේම ජ්‍යෙෂ්ඨ මැති ඇමැතින් කිහිප දෙනකුද පනතට සංශෝධන අවශ්‍ය බව සඳහන් කර තිබේ. රටටම බලපාන ඉතා වැදගත් පනතක් කෙටුම්පත් කිරීමේදී ආණ්ඩුවේම පාර්ශ්වකරුවන්ගේ අදහස් විමසිය යුතු බව අමතක කිරීම නැතහොත් ගණන් නොගැනීම මේ කෙටුම්පත් ගින්නට පිදුරු දැමීමක් වී තිබේ. මෙරට උසස් අධ්‍යාපනය තුළ කාලානුරූපව සිදුවිය යුතුව තිබෙන ප්‍රතිසංස්කරණද මේ අනුව පසෙකට තල්ලු වී යාම මෙහි ලොකුම අවාසියයි.
විශ්වවිද්‍යාල අධ්‍යාපනය යනු රටේ බුද්ධිමත් දූ දරුවන්ගේ අනාගතය සඳහා දොර හැරදීමක් වන අතරම එය නිදහස් සහ රටට අනාගතයේ විවෘත චින්තකයන් බිහි කරන විවෘත අදහස් පෝෂණය කරන ප්‍රධාන උල්පත බව විද්වත්හු පිරිසක් ප්‍රකාශ කරති. ඒ සඳහා මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය තවත් දියුණු කරමින් හෙට දවසේ අභියෝග ජයගත හැකි විද්වත් පරපුරක් නිර්මාණය කරගත යුතු බවද ඔවුන් දරන අදහසය. එසේම රටක හමුදාව සහ පොලීසිය වැනි ආරක්ෂක අංශ සාමාජිකයන්ට උසස් අධ්‍යාපන අවස්ථා තිබිය යුතු බවත් ඒ සඳහා කවර රජයක් විසින් වුවද නිසි පහසුකම් සැපයිය යුතු බව විවාදයකින් තොරව තමන් පිළිගන්නා බවත් මේ විද්වත්හු ප්‍රකාශ කරති. එහෙත් හමුදා විනය යටතේ සිවිල් සිසුන්ද හික්මවන්නට යාමෙන් නියෝග පිළිගන්නා පිරිසක් බිහිවීම මිස නිදහස් චින්තකයන් බිහි නොවන බවද ඔවුහු පෙන්වා දෙති.
එහෙත් මෙරට උසස් අධ්‍යාපනයට අවශ්‍ය සියලු සුදුසුකම් සපුරා තිබුණත් රාජ්‍ය විශ්වවිද්‍යාල තුළ ප්‍රමාණවත් ඉඩ පහසුකම් නොමැති වීමෙන් සරසවි අධ්‍යාපනය අහිමි වන බුද්ධිමත් සිසුන්ගේ ඉහළ අධ්‍යාපන අයිතිය රැකදීමද මොනම ආණ්ඩුවක වුවද වගකීමක් බව පෙන්වා දීමට අපි කැමැත්තෙමු. දැනට සිදුවන්නේ හැකියාවක් ඇති මාපියන් මුදල් වැය කර ඔවුන් එතෙර විශ්වවිද්‍යාලවලට යොමුකිරීමය. එයින් සිදුවන්නේ මෙරට මුදලින් වෙනත් රටවල විශ්වවිද්‍යාල පොහොසත් කිරීමකි. ලොවේ ඇතැම් ධනවත් රටවල පවා විදෙස් සිසුන්ගෙන් උපයා ගනු ලබන ආදායම ඉතා විශාල බව සංඛ්‍යාලේඛන අධ්‍යයනය කිරීමෙන් තේරුම් ගත හැක. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් අනුමත නිසි ප්‍රමිතියකට අනුව බිහිවන පෞද්ගලික විශ්වවිද්‍යාල මේ සඳහා හොඳ පිළිතුරක් බව අපගේ විශ්වාසයයි. එහෙත් එය සිදුවිය යුත්තේ රාජ්‍ය විශ්වවිද්‍යාලවල සිසුන්ගේ අයිතීන්වලට කිසිදු අගතියක් සිදු නොවන ආකාරයට බවද අවධාරණය කරමු. සරසවි සිසුන් කොතලාවල පනතට මේ තරම් දැඩි විරෝධයක් දක්වන්නේ ඇයිද යන්න යථාර්ථවාදීව තේරුම් ගැනීම ආණ්ඩුවේ වගකීමක් වන්නේ එබැවිනි.
ලෝකයේ ඇතිවන නව ප්‍රවණතාවන්හි පදනම ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස පමණක් නොවේ. සියලු සිසු දරුවන්ට උසස් අධ්‍යාපනය ලැබීමට තිබෙන අයිතිය රැකදීමද නව ප්‍රවණතාවක් බව ලොව පුරා රටවල් උසස් අධ්‍යාපනයට මංපෙත් විවර කර ඇති ආකාරය දෙස බැලීමෙන් තේරුම් ගත හැක. අපට තිබෙන කනගාටුව කොතලාවල පනත විනිවිදභාවයකින් තොරව හදිසියේ සම්මත කිරීමට උත්සාහ නොගෙන ඒ ගැන සියලු පාර්ශ්ව සමඟ පුළුල් සහ ඵලදායී සංවාදයක් ඇතිකර ගැනීමට ආණ්ඩුව අපොහොසත් වීම ගැනය.
(***)
අලුත් පාර්ලිමේන්තුවක් සඳහා ලබන නොවැම්බර 14 වන දින ඡන්දය දිය යුතුය. ඡන්දය දිය යුත්තේ ජනාධිපති අනුර කුමාර දිසානායකට ශක්තිමත් ආණ්ඩුවක් ලබා දීමට යැයි ඇතැම
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා ගෙවමින් තිබූ විශේෂ පොලී අනුපාතිකය කාලක් තිස්සේ ගෙවීම අත්හිටුවා තිබිණි. එම ගෙවීම නැවත ක්‍රියාත්මක කිරීම සඳ
මැතිවරණ උණුසුම රළ නගමින් තිබේ. රටේ ප්‍රධාන පුරවැසියා තෝරා පත්කර ගන්නා මැතිවරණය වන හෙයින් උණුසුම තියුණුය. මෙම ජනාධිපතිවරණයේ දී රටේ පුරවැසියෝ 17,140,354 ක් ඡන
සමාජය විවිධය. විසමය. එමෙන්ම එය විෂෙන් පිරුණකි. වැඩිහිටියාට පෞද්ගලික අත්දැකීම් ඇසුරෙන් ද සමාජ සිදුවීම් ඇසුරෙන් ද තම තම නැණ පමණින් එය අවබෝධ කර ගැනීමේ හැක
සසුනඹර පොබ කළ අති ශෝභමාන සංඝ පීතෘවරයාණන් වහන්සේ නමක ලෙස දෙස් විදෙස් පතළ මහා කීර්ති කදම්බයෙන් අනූන බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝ නායක, කොළඹ ගංගාරාම විහාරා
රුපියල් ලක්ෂ පහළොවක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් බව කියන වෙළෙඳ හා සමුපකාර රාජ්‍ය අමාත්‍ය සතාසිවම් වියලේන්දිරන් මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු යැයි ක
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කොතලාවල පනත සකසද්දී අදහස් නොගැනීමේ විපාක