අලුත් පාර්ලිමේන්තුවක් සඳහා ලබන නොවැම්බර 14 වන දින ඡන්දය දිය යුතුය. ඡන්දය දිය යුත්තේ ජනාධිපති අනුර කුමාර දිසානායකට ශක්තිමත් ආණ්ඩුවක් ලබා දීමට යැයි ඇතැම්හු කියති. “ශක්තිමත්” යැයි අදහස් දෙකකි. එක් අදහසක් වන්නේ, යන්තම් බහුතර බලයක් නොව, කිසිදු හේතුවක් මත නොවැටෙන තරමේ බහුතරයක් ඇති ආණ්ඩුවකි. අනෙක “තුනෙන් දෙකක” බහුතර බලයක් සහිත ආණ්ඩුවක් ගැන කතාව ය. තුනෙන් දෙකක බහුතර බලය කුමක් සඳහා දැයි ඇසූ විට “වෙනසක් කිරීම” සඳහා යැයි කියති.
ආණ්ඩුවේ කටයුතු සඳහා තුනෙන් දෙකක බලයක් තිබිය යුතු යැයි තර්ක කෙරෙන්නේ විපක්ෂයක් හැම විටම ආණ්ඩුවට විරුද්ධව ඡන්දය දිය යුතු යැයි සිතන සමාජයක ය. එසේ නොවන්නේ නම්, සාමාන්‍ය බහුතරයකින් අලුත් පාලනයක් ඇති කළ නොහැකිද? එය තීන්දු වන්නේ ඒ කියන්නාවූ “වෙනස කුමක්ද?” යන්න අනුවය. දූෂණයෙන් තොර රටක් හැදීමට අවශ්‍ය “රාජ්‍ය ප්‍රතිසංස්කරණ” සඳහා යැයි කියූ විට, කිසිවකුට ඊට විරුද්ධ විය නොහැක. ආණ්ඩුවට තුනෙන් දෙකක බහුතර බලයක් නොතිබුණත් එය කළ හැක්කකි. එහෙත් එවැනි “වෙනසකට” කිසිදු වැඩපිළිවෙලක් කොතැනකවත් නැති විට, දේශපාලන පක්ෂයකට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් ලබා දීමේ ඇත්ත අවදානමක්ද ඇත.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනෙහිද “රාජ්‍ය ප්‍රතිසංස්කරණ” ඇතුළත්ව ඇත. ඒ යෝජනා අතර, මේ ජාවාරම්කාර ආර්ථිකය සඳහා වන කම්කරු නීති සංශෝධනද ඇත. වෙනසක් සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ පාර්ලිමේන්තුවේ බහුතරයකින් තීන්දු කරන්නට පෙර, විවෘත සමාජ සංවාදයක් තුළ ඒවා තීන්දු විය යුත්තේ, හොඳ නරක තෝරා ගැනීමේ අයිතිය තිබිය යුත්තේ ජනතාවට වන බැවිනි. ඒ පාරදෘශ්‍යභාවය ආණ්ඩුවට බාර වන වගකීමක් වුවත් එය එසේ විවෘතව සිදුවන බවට සහතික කර ගැනීම විපක්ෂයේ වගකීමකි. ඊළඟ පාර්ලිමේන්තුවේ විපක්ෂය ගැන කතාවට තව හේතු ඇත. ඒ ගැන කතාව මෙලෙසින් ආරම්භ කළ හැකිය. ලැබූ ඡන්ද ප්‍රතිශතය සියයට 42 ක් වූ නිසා මාලිමාවේ අනුර කුමාර දිසානායක වැඩි ඡන්දයෙන් ජනාධිපති ධුරයට පත් වූවත් ඔහුගේ නායකත්වයෙන් වන ජාතික ජන බලවේගයෙහි ආර්ථික පිළිවෙත සියයට 17 ක් ඡන්ද ලැබුණු රනිල් වික්‍රමසිංහගේ ආර්ථික පිළිවෙත යැයි මම කිහිප වර කියා ඇත්තෙමි.
ඒ ගැන නැවත දීර්ග විවරණයකට නොගොසින් කෙටියෙන් කියන්නේ නම්, “ජනාධිපති අපේක්ෂක” ලෙස අනුර කුමාර දිසානායක යෝජනා කළේ වික්‍රමසිංහ පාලනය විසින් ජා.මූ. අරමුදල සමග අත්සන් කරන ලද ගිවිසුමෙහි බදු අය කිරීම් වඩා ජනතාවාදී වෙනසකට ලක් කිරීමක් ගැන ය. විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන කියුවේ ඒ කොන්දේසි ලිහිල් කළ හැකිදැයි කතා කරන බවය. ඒ සඳහා ජා.මූ. අරමුදල විසින් කරනු ලැබූ “ශ්‍රී ලංකාවට ණය දරා ගැනීමට අවශ්‍ය විශ්ලේෂණය” (Debt Sustainability Analysis) නැවත කළ යුතු යැයි කීවේය. ඒ ස්ථාවරය - ජා.මූ. අරමුදලේ යෝජනා ජනතාකරණය කිරීම ජාතික ජන බලවේගයේ “පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්” මැයෙන් වූ මැතිවරණ ප්‍රකාශනයෙහි 105 වැනි පිටුවෙහිද සඳහන්වේ. ජා.මූ. අරමුදලේ වැඩපිළිවෙළට විකල්පයක් ඔවුන් සතු නොවූයෙන් ඔවුන්ට අවශ්‍ය වූයේ මාලිමා ආණ්ඩුවක් රනිල් වික්‍රමසිංහ මෙන් ජා.මූ. අරමුදල කියන්නං වාලේ වැඩ නොකරන බව රටට ඒත්තු ගැන්වීමටය.
ජනාධිපතිවරණයට පෙර කතා එසේ වූවත් ඊළඟ නොවැම්බර 14 වැනි දිනට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්දදායකයන් සැවොම, ජා.මූ. අරමුදල සහ ජනාධිපති අනුර කුමාරගේ මාලිමා ආණ්ඩුව අතරවන ගනුදෙනුව නිවැරදිව තේරුම් ගත යුතුය. නව ජනාධිපති අනුර කුමාර දිසානායක සියලු වැදගත් තනතුරු සඳහා තම හිතවතුන්, විශ්වාසවන්තයන් පත් කරද්දී, මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ සහ මහ භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන දෙපළ පමණක් ඒ තනතුරු වල තබා ගත්තේ ඇයි දැයි තේරුම් ගත යුතුය. නන්දලාල් වීරසිංහ සහ මහින්ද සිරිවර්ධන දෙපළ ඒ තනතුරු වලට එකම දින, 2022 අප්‍රේල් 08 වැනි දින පත් කරනු ලැබුවේ, ඊළඟට රනිල් වික්‍රමසිංහ ජනාධිපති ලෙස පත් කෙරෙන බවක් කිසිවකු නොසිතු දේශපාලන පෙරැළියක ආරම්භයේදී ය.
ඒ දෙදෙනම, මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති තනතුරු වල සිටියදී සේවයෙන් නිදහස්වී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉන්දියාව, බංගලාදේශය, ශ්‍රී ලංකාව හා භූතානය ආවරණය කෙරුණු වොෂිංටන් මූලස්ථානයේ පූර්ණකාලීන තනතුරක් වන “විකල්ප විධායක අධ්‍යක්ෂ” තනතුරෙහි සේවය කළ දෙපළකි. ඔවුන් පුරුදු පුහුණුවී ඇත්තේ ජා.මූ. අරමුදලේ චින්තන රාමුවට අනුව කටයුතු කිරීමටය. ඔවුන් දෙදෙන ඒ තනතුරු සඳහා තේරෙන්නේ ශ්‍රී ලංකාණ්ඩුව සමග ජා.මූ. අරමුදල ගෙන යන්නාවූ සාකච්ඡාවලදී ලංකාණ්ඩුවේ ඒ තනතුරු දෙක, ජා.මූ. අරමුදලට අතිශය වැදගත් තීරණාත්මක තනතුරු දෙකක් වන හෙයිනි. ජනාධිපති අනුර කුමාර ඒ තනතුරුවල ඒ දෙදෙන තබා ගන්නේද ඒ නිසාම ය. ජනාධිපතිවරණයට පෙර කියූ කතා ජනාධිපති ලෙස දිවුරුම් දුන් විගස වෙනස් වන බැව් ඒ පත්වීම් මගින් අනාවැකි කීවකි. එවැනි මාලිමා ආණ්ඩුවකට තුනෙන් දෙකක බලයක් ලබා දීම, වික්‍රමසිංහ ආණ්ඩුවකට තුනෙන් දෙකක බලයක් ලබා දීම වැනිය.
තවත් කාරණාවක් කිව යුතුය. ජා.මූ. අරමුදලේ මාර්ගෝපදේශ අනුව ආර්ථිකය හැසිරවීම, වෙනත් රටවල අත්දැකීම්ද ගත් විට, සමාජ සංවර්ධනයක් සඳහා වන ආර්ථික ගමනක් නොවේ. එය නාගරික වෙළෙඳපොළ ප්‍රසාරණයක් සමග වන මධ්‍යම පන්තිකයන්ගේ පාරිභෝගික සමාජයක, ජාවාරම්කාරයන් ලාභ උපයන ආර්ථික ආකෘතියකි. එබැවින් ලබන වසරේදී ආර්ථික පීඩනයට හසුවන සමාජයේ පහළ ස්ථර සඳහා තද කෙරෙන පටි මඳක් ලිහිල් කිරීමට ආණ්ඩුව උත්සාහ ගත්තද, ඒවා තාවකාලික කෙටි පියවර වනු ඇත. ජා.මූ. අරමුදල එවැනි සහනදායි පියවර සඳහා ඉඩ තබන්නේ නැත. ණය ආපසු ගෙවීමේ ඔවුන්ගේ යෝජනා පදනම් වන්නේ ජාතික නිෂ්පාදන ආර්ථිකයක් වෙත යොමු කිරීමකට නොවේ. දේශීය වියදම් කප්පාදු කිරීමෙන් හා බදු වැඩි කිරීමෙන් එකතු කර ගන්නා මුදලින් ණය සහ පොලී ගෙවීමටය. උදාහරණයක් ගතහොත් ජා.මූ. අරමුදලට අනුව ඔවුන්ගේ විස්තීරණ ණය පහසුකම් යටතේ වන වසර 04 ක වැඩසටහන අවසන් වූ පසු අප, 2028 සිට වාර්ෂිකව ණය සහ පොලී ගෙවිය යුතු ය. ගෙවිය යුතු ඒ ණය සහ පොලී ගණන් බලා ඇත්තේ දළ ජාතික නිෂ්පාදනයෙන් (ද.ජා.නි) සියයට 04.5 ක් වශයෙනි. අපගේ වාර්ෂික ආදායම් වන “වැට්” හා වෙනත් බදු හා තීරු ගාස්තු ආදායම් සමග දේශීය වියදම් කප්පාදුවෙන් ඉතිරි කර ගන්නා ආදායම් සියල්ලද ගත් විට, ද.ජා.නි සියයට 04.5 ක් යනු වාර්ෂික ආදායමෙන් සියයට 30 ක් හෝ ඊට වැඩි මුදලකි. එවිට, සෘජු හා වක්‍ර බදු වලින් මෙන්ම සුභ සාධන කප්පාදු වලට හසුව ආර්ථික පීඩනයට නතු වන ජනතාවට ඉතිරි වන්නේ මොනවාද?
පසුගිය සතියේ ඔක්තෝම්බර 02 - 04 දිනවල ලංකාවට ජා.මූ. අරමුදලේ ආසියානු පැසිපික් කලාපයේ අධ්‍යක්ෂ ක්‍රිෂ්ණ ශ්‍රීනිවාසන්ගේ ප්‍රධානත්වයෙන් පැමිණි නියෝජිතයන් සමග ජනාධිපති දිසානායක සහ මහ බැංකුවත් මහ භාණ්ඩාගාරයත් දීර්ඝ වශයෙන් සාකච්ඡා කළහ. ඒ සම්බන්ධයෙන් ඔක්තෝම්බර 04 වැනි දින ජා.මූ. අරමුදල නිකුත් කළ නිවේදනයෙහි සඳහන් වන්නේ “බලධාරීන් විසින් ප්‍රතිසංස්කරණ නොකඩවා කර ගෙන යාමට දක්වන කැපවීම, අප උනන්දු කරවන්නකි” යනුවෙනි. එදිනම මහ භාණ්ඩාගාරය නිකුත් කළ නිවේදනයෙන් කියන්නේ, ජනාධිපතිවරණයට දින දෙකකට කලින් සැප්තැම්බර 19 වැනි දින ජනාධිපති වික්‍රමසිංහ කඩිමුඩියේ එකඟවූ “ණය ඉලක්ක වැඩසටහන” සහ “ප්‍රතිපත්තිමය එකඟතා” කොන්දේසි අනුමත කරන බවත් ඒ එකඟතා අනුව ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීමට සූදානම් බවත් ය. ඉන් කියන්නේ ජා.මූ. අරමුදල විසින් සකස් කළ වික්‍රමසිංහ පාලනය පිළිගත් ආර්ථික පිළිවෙත කිසිදු වෙනසක් නොමැතිව, ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආණ්ඩුවේද ආර්ථික පිළිවෙත වන බවය.
ජන ජීවිතයට සීමා පැනවෙන එවැනි නගර කේන්ද්‍රීය ජාවාරම්කාර වෙළෙඳපොළක අර්බුද හමුවේ ආර්ථික පියවර ක්‍රියාත්මක කෙරෙන්නේ මර්දනකාරී අණ පනත් සමග වන බලහත්කාර බලයක් සමගින් යැයි අලුතින් කීමට අවශ්‍ය නොවේ. එනිසා ජා.මූ. අරමුදලේ වැඩසටහන එලෙසින්ම බාර ගන්නා ආණ්ඩු පාලනයකට, පාර්ලිමේන්තු මැතිවරණයකින් ස්ථාවර බහුතර බලයක් ලබා දීමේ අවනඩුවක්ද ඇත. ඔවුන් ජා.මූ. අරමුදල හා එකඟ වන්නේ මේ අර්බුද සඳහා ඔවුන්ට ඔවුන්ගේම වූ විසඳුම් නොමැති හෙයින් ය. අප තවමත් ඉන්නේ අර්බුද සඳහා අලුතින් විසඳුම් සොයන්නට බල කෙරෙන දේශපාලන හිඩැසක ය. එවැනි දේශපාලන හිඩැසක සමාජ ආර්ථික අර්බුද ඔස්සේ ගමන් යාමට, අසීමිත බලයක් ඇති ආණ්ඩු පත් කළ යුත්තේ මන්දැයි අප අපෙන්ම ඇසිය යුතුය. ආණ්ඩුව කවරෙකුගේ වූවත් ජනාධිපති කවරෙකු වූවත් ආණ්ඩු පාලනය සමාජයට වග කියන්නාවූ පාලනයක් ලෙස තබා ගැනීම අත්‍යවශ්‍ය වන්නකි. ඒ සඳහා අවශ්‍ය වන්නේ ශක්තිමත් බලසම්පන්න ආණ්ඩුවකට වඩා, ශක්තිමත් ජනතාවාදී විපක්ෂයකි.
එනිසාම විපක්ෂය ගැන නොකියා මෙය අවසන් කළ නොහැක. අපට අවශ්‍ය වන්නේ දකුණේ සිංහල විපක්ෂයක් නොවේ. ආණ්ඩුව සමග සුහදව වැඩ කරන්නට සූදානම් යැයි කියන්නාවූ විපක්ෂයක්ද නොවේ. අපට අවශ්‍ය වන්නේ මීට පෙර නොවුණු උතුර-දකුණ එකමුතු වූ ජාතික නියෝජනයක් සහිත ජනතාවාදී විපක්ෂයකි. අපට අවශ්‍ය වන්නේ ජා.මූ. අරමුදලේ යෝජනා මත පාර්ලිමේන්තුවෙහි සම්මත කිරීමට ඉදිරිපත් කෙරෙන සියල්ලත් ආණ්ඩුවේ ප්‍රතිසංස්කරණ යෝජනා සියල්ලත් සිංහල-දෙමළ-මුස්ලිම් සමාජ හමුවේ සංවාදයකට තබන්නා වූ ජාතික විපක්ෂයකි. පාරදෘශ්‍යභාවය හා සමාජයට වග වීම මග හරිමින් තීන්දු කෙරෙන ආණ්ඩුකරණ පියවර ඇතොත් ඒවා අභියෝග කරන්නාවූ ජාතික විපක්ෂයකි. එනිසා අපට අවශ්‍ය වන්නේ පාර්ලිමේන්තුවෙහි කෑ කෝ ගසන, පාර්ලිමේන්තුවට කොටු වූ විපක්ෂයක් නොවේ. අපට අවශ්‍ය වන්නේ ආණ්ඩුකරණයේ සියලු හිතුවක්කාර දෝස පාර්ලිමේන්තුවෙන් එළියට ගෙනෙන, ජන සහභාගිත්වයක් වෙනුවෙන් මැදිහත්වන සක්‍රීය ප්‍රජාතන්ත්‍රවාදී විපක්ෂයකි.
එනිසා මෙදා පාර්ලිමේන්තු මැතිවරණය තීරණාත්මක මැතිවරණයකි. මෙදා පාර්ලිමේන්තු මැතිවරණය අන් කවරදාකවත් අවධානයක් යොමු නොකළ “විපක්ෂයේ කාර්ය භාරය හා වගකීම” මැතිවරණ ව්‍යාපාරයෙහි ඉස්මතු කරන්නාවූ මැතිවරණයකි. මෙය නුහුරු නුපුරුදු කතාවකි. සැබෑය. එයට හේතුව, අප පත්ව ඉන්නේද නුහුරු නුපුරුදු සන්දර්භයක වින්දිතයන් ලෙසින් වීම ය. මෙය ජනාධිපති අනුර කුමාරට බහුතර බලයක් සමගවන පාර්ලිමේන්තුවක් ලබා දෙන මැතිවරණයකි. එවගේම, ඒ ආණ්ඩුව ජනතාවට වග කියන්නාවූ ආණ්ඩුවක් ලෙස තබා ගැනීමේ ජාතික වගකීම ඉටු කළ හැකි ජනතා විපක්ෂයක් පාර්ලිමේන්තුවෙහි ස්ථාපිත කරන්නේ කෙසේද යන උභතෝකෝටිකයට මෙවර ඡන්දදායකයා තල්ලු කෙරෙන මැතිවරණයකි. නුහුරක් අවුලක් දැනෙන්නේ එතැනය.
(*** කුසල් පෙරේරා)
අලුත් පාර්ලිමේන්තුවක් සඳහා ලබන නොවැම්බර 14 වන දින ඡන්දය දිය යුතුය. ඡන්දය දිය යුත්තේ ජනාධිපති අනුර කුමාර දිසානායකට ශක්තිමත් ආණ්ඩුවක් ලබා දීමට යැයි ඇතැම
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා ගෙවමින් තිබූ විශේෂ පොලී අනුපාතිකය කාලක් තිස්සේ ගෙවීම අත්හිටුවා තිබිණි. එම ගෙවීම නැවත ක්‍රියාත්මක කිරීම සඳ
මැතිවරණ උණුසුම රළ නගමින් තිබේ. රටේ ප්‍රධාන පුරවැසියා තෝරා පත්කර ගන්නා මැතිවරණය වන හෙයින් උණුසුම තියුණුය. මෙම ජනාධිපතිවරණයේ දී රටේ පුරවැසියෝ 17,140,354 ක් ඡන
සමාජය විවිධය. විසමය. එමෙන්ම එය විෂෙන් පිරුණකි. වැඩිහිටියාට පෞද්ගලික අත්දැකීම් ඇසුරෙන් ද සමාජ සිදුවීම් ඇසුරෙන් ද තම තම නැණ පමණින් එය අවබෝධ කර ගැනීමේ හැක
සසුනඹර පොබ කළ අති ශෝභමාන සංඝ පීතෘවරයාණන් වහන්සේ නමක ලෙස දෙස් විදෙස් පතළ මහා කීර්ති කදම්බයෙන් අනූන බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝ නායක, කොළඹ ගංගාරාම විහාරා
රුපියල් ලක්ෂ පහළොවක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් බව කියන වෙළෙඳ හා සමුපකාර රාජ්‍ය අමාත්‍ය සතාසිවම් වියලේන්දිරන් මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු යැයි ක
බලශක්ති ක්ෂේත්‍රයේ ගෝලීය ප්‍රමුඛයා වන සයිනෝපෙක්, කොළඹ සහ බීජිංහි බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ තවත් සුවිශේෂී ස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
බලවත් විපක්ෂයක් අවශ්‍ය ඇයි?