නවක වදය පිළිබඳව කතා කරන්නට සිදුවීමත් විශාල වදයකි. කොන්දේසි විරහිතව අතහැරිය දැමිය යුතු පිටුදැකිය යුතු නවක වදය යළි යළිත් විශ්වවිද්‍යාල පද්ධතිය තුළින් අසන්නට ලැබීම කනගාටුවට හේතුවක් මිස අගය කළ හැකි සිද්ධියක් නොවන බව සරසවි සිසුන් තම දේශපාලන දඩයම් බිමේ ගොදුරු බවට පත් කරගන්නා දේශපාලන ඔස්තාර්ලා කවදාවත් තේරුම් ගන්නේ නැත. එහි ප්‍රතිඵලය සරසවිවල නවක සිසුන් සේම ජ්‍යෙෂ්ඨ සිසුන් ද එක සේ පීඩාවට පත්වීමය.
පේරාදෙණිය සරසවියේ පසුගියදා සිදු වූ නවක වද සිද්ධිය මේ අතුරින් බරපතළ ගණයේ සිදුවීමක් බව සඳහන් කළ යුතුය. එහි කෘෂි විද්‍යා පීඨයේ නවක සිසුන්ට වධහිංසා පැමිණවීම පිණිස නිවෙසක් පවා කුලියට ගෙන තිබිණි. සිසුන් අටදෙනකු හට ලබාදී ඇති නවක වදයේ ප්‍රතිඵලය වී ඇත්තේ එම සිසුන් පිරිසම රෝහල් ගත කිරීමට සිදුවීමය. ඒ පිළිබඳව සැකපිට පේරාදෙණිය පොලිසිය අල්ලා ගන්නා ලද සිසුන් පහළොස් දෙනකු අත්අඩංගුවට ගත්තේය. පසුව ඔවූහු රිමාන්ඞ් බාරයට පත්වූහ.
නවක සිසුන් අමානුෂික ලෙස නවක වදයට ලක් කෙරෙන්නේ සරසවි බිමේ දී නොවේ. සරසවි භූමිය තුළ නවක වදය අධෛර්යමත් කිරීම සඳහා පියවර ගණනාවක්ම ගෙන තිබීම හේතුවෙන් තමන් ජ්‍යෙෂ්ඨයන් යැයි කියා ගන්නා විකෘති වූ මනසකින් යුත් සිසුන් විසින් නවක වදය ලබාදීම සිදුකරන්නේ එක්කෝ නේවාසිකාගාර ඇතුළේය. නැතහොත් පෞද්ගලික නවාතැන් පොළවලදීය. නේවාසිකව නොසිටින සිසුන්ට දැඩි ලෙස බලපෑම් කරමින් ඔවුන් තාවකාලිකව හෝ නවාතැන් පොළවලට බලහත්කාරයෙන් ගෙන්වා ගැනීමට ජ්‍යෙෂ්ඨයෝ කටයුතු කරති. පේරාදෙණියේ සිදුවීමේදී නවක වදය සඳහාම නිවෙසක් කුලියට ගෙන තිබීමෙන් එය කොතරම් සංවිධානාත්මකව සිදු කෙරුණු ජඩ වැඩක්දැයි පැහැදිලි වෙයි.
නවක වදය ලබාදීම සඳහාම හිඳගල ප්‍රදේශයේ නිවෙසක් මාස දෙකකට කුලියට ගැනීම සරසවි බලධාරීන්ගේ පමණක් නොව සියලු_ දෙනාගේ අවධානයට ලක්විය යුතු කාරණාවකි. නවක වදය සඳහා “වධකාගාරයක්” කුලියට ගැනීමට මුදල් යොදවන, සැලසුම් සහගතව ක්‍රියා කරන ශිෂ්‍ය කණ්ඩායම්වලට වෙනත් කඩාකප්පල්කාරී ක්‍රියා සඳහා ද වාසස්ථාන කුලියට ගැනීමට ක්‍රියා කිරීම මහා කජ්ජක් නොවන බැවිනි. සරසවි සිසුන් සඳහා නිවෙස් කුලියට ලබාදෙන ඒවායේ අයිතිකරුවන් ද තමන් ලබාදෙන නිවෙස් තුළ සිදුවන්නේ කුමක්දැයි විමසිල්ලෙන් සිටීම අවශ්‍යය. අඩුම වශයෙන් නවක වද සිදුවීමකදී ශිෂ්‍යයන් දැඩි අනතුරකට මුහුණදීමට පෙර ඔවුන් ගලවා ගැනීමට හෝ එයින් රුකුලක් ලැබෙනු ඇත.
නවක වද මානසිකත්වයෙන් පෙළෙමින් පරපීඩක මනෝභාවයට පත්ව සිටින ‘ජ්‍යෙෂ්ඨයන්’ යැයි කියාගන්නා සිසුන් ගලවා ගැනීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම ද මෙහිදී පෙන්වාදිය යුතුය. තම අයිතිවාසිකම් වෙනුවෙන් මහපාරට බැස පොලිසියේ කඳුළු ගෑස් කමින්, ජල ප්‍රහාරවලට මුහුණ දෙමින් ඔළු පලාගෙන සටන් කරන ශිෂ්‍ය ක්‍රියාකාරීහු නවක වද සිද්ධීන් හේතුවෙන් නවක සිසුන්ගේ අධ්‍යාපනයට සිදුවන හානිය ගැන වචනයක් කතා නොකරති. මාධ්‍ය සාකච්ඡාවක් තැබුවොත් එහිදී කතා කරන්නේ නවක වදයක් කිසිදු සරසවියක සිදුනොවන ගාණටය. එහෙත් නවක වදයේදී සිදුවන කායික සහ මානසික පීඩා හේතුවෙන් සිසු සිසුවියන් සරසවි හැරයන අවස්ථා හැම වසරකදීම වාර්තා වෙයි. නවක වදයට උඩගෙඩි දෙන ශිෂ්‍ය සංවිධානවලට ද, ඔවුන්ට උපදෙස් සහ ආධාර, අනුබල ලබාදෙමින් තම කාඩරය හදාගැනීමට සරසවි බිම තෝතැන්නක් කරගැනීමට කටයුතු කරන දේශපාලන ක්‍රියාකාරිකයන්ටද එවැනි සිදුවීම් ගාණක් නැත. ශිෂ්‍යයන් උගෙන නොගත්තත් නවකවදය හේතුවෙන් ඔවුන් බරපතළ අනතුරුවලට මුහුණ දුන්නත් කමක් නැත. තමන්ගේ අදහස ඉටුවන්නේ නම් ඔවුන්ට ප්‍රමාණවත්ය.
නවක වදය අද සමාජය කොතරම් පිළිකුල් කරන්නේද යන්න සොයා බැලීමට මහා ලොකු සමීක්ෂණ අවශ්‍ය නැත. පේරාදෙණිය සිද්ධිය සම්බන්ධයෙන් අන්තර්ජාලයේ සඳහන් වන අදහස් කියවා බැලීම පමණක් ප්‍රමාණවත්ය. නවක වදය යනු නිදහස් අධ්‍යාපනයේ මූලික අංගයක් වශයෙන් ද සරසවි සංස්කෘතියට අනුගතවීමට ලබාදෙන අත්වැලක් හැටියට ද හඳුන්වා දෙන “සංවිධානවලට” සරසවියෙන් එළියේ තිබෙන පිළිගැනීම එයින් පැහැදිලිවම කියවා ගත හැකිය. නවක වදය යනු අලුත් ලෝකය පිළිගන්නා ප්‍රගතිශීලී, අර්ථවත් ක්‍රියාවක් නොව, පිටුදැකිය යුතු අවරගණයේ පසුගාමී චින්තනයක වලිගයක් පමණක් බව දැනටමත් අවබෝධ කරගැනීම අවශ්‍යය.
පසුගිය වසරේදී කැලණිය සරසවියේ නවක වද සිද්ධියක් අධිකරණය හමුවට ගියේ නවක සිසුවියක විසින් කරන ලද පැමිණිල්ලක් හේතුවෙනි. එහිදී නවක වදය දුන් බවට හඳුනාගනු ලැබූ සිසු පිරිසට මාස කීපයක් රිමාන්ඞ් භාරයේ සිටීමට සිදුවිය. පේරාදෙණියේ සිසු පිරිස ද නවක වදය ලබාදුන් බවට හඳුනාගැනීමට හැකි වුවහොත් ඔවුන්ට එරෙහිව ද නීතිය ක්‍රියාත්මක වීම අවශ්‍යය. ජ්‍යෙෂ්ඨ සිසුන්ගේ පමණක් නොව නවක සිසුන්ගේ ද මූලික අයිතිවාසිකම් රැකදීම බලධාරීන්ගේ වගකීමය.
නව කොරෝනා වයිරසයට එරෙහිව ශ්‍රී ලංකා ආණ්ඩුව ගෙන ඇති ක්‍රියාමාර්ග සාර්ථක යැයි හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ “වියෝන්” ප්‍රවෘත්ති සේවය
සයිටම් ප්‍රශ්නය ජාතික ගැටලුවක් වන තරමට දිග්ගැස්සෙමින් තිබේ. ඒ වෙනුවෙන් කතා නොකරන එකම සරසවියක්වත් දැන් නැත. වෛද්‍ය වෘත්තියට සහ වෛද්‍ය අධ්‍යාපනයට
නවක වදය පිළිබඳව කතා කරන්නට සිදුවීමත් විශාල වදයකි. කොන්දේසි විරහිතව අතහැරිය දැමිය යුතු පිටුදැකිය යුතු නවක වදය යළි යළිත් විශ්වවිද්‍යාල පද්ධතිය තුළින්
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර බැංකු ගිණුම්වල තැන්පත් කරන රුපියල් ලක්ෂ 15ක මුදලක් වෙනුවෙන් සියයට 15ක ඉහළ පොලියක් ගෙවීමට රජය තීරණය කර තිබේ. එය ප්‍රසංශා කටය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
නවක වධකයන්ට නීතියෙන් පාඩමක් දෙමු