IMG-LOGO

2024 ඔක්තෝබර් මස 18 වන සිකුරාදා


අදින් ඇරැඹෙන්නේ කඨින පිංකම් සමයයි

කඨිනස්ස අත්ථාර මාසෝ

ජානි තබ්බෝති
වස්සානස්ස පච්ඡිමෝ මාසෝ
ජානි තබ්බෝ

වස්සාන සෘතුවෙහි අවසාන මාසය කඨිනත්ථාර කාලය වශයෙන් දත යුතුය.

(පරිවාර පාලිය)

ඇසළ පුණු  පොහෝ දිනයෙහි පොහෝ පවුරුණු සිදුකොට ඇසළ අව පෑළවිය දිනයෙහි පෙර වස් එළැඹි සියලු‍‍ භික්ෂූන් වහන්සේ අදට යෙදෙන වප්පුර පොහෝ දිනයෙහි වස් පවාරණය කිරීම ශාසනික නියමයයි. එය මහා පවාරණය නමින් ද හැඳින්වේ. මෙතැන් සිට ඉල්පුර පොහෝ දිනය දක්වා වූ කාල සීමාව කඨිනාස්ථර කාලය  හෙවත් චීවර මාසය යනුවෙන් හැඳින්වේ.

උපසම්පදා භික්ෂූන්වහන්සේ වස් විසූ සියලු‍‍ විහාරස්ථානවල කඨින චීවර පූජා කෙරේ. මෙම උතුම් චීවර පූජාව  සිවුරු ඇතිරීම වසර 2600 කට අධික ඉතිහාසයකට හිමිකම් කියයි. ලක් වැසි ජනතාව වසර 2300 ඉක්ම වූ කාල පරාසයක සිට මෙම උතුම් පින්කම සඳහා යොමුව, මහත් ශ්‍රද්ධාවෙන් යුතුව සිදුකරන අයුරු දැක ගත හැකිය.

අතීතයේ  විසූ රජවරුන් අතර මහා පරාක්‍රමබාහු රජතුමා අසූ මහාශ්‍රාවක පූජාවක් ලෙස එක්දිනක ස්ථාන අසූවකදී අසූනමක් පමණ වූ තෙරවරුන් සඳහා කඨින චීවර පූජාවන් පිදීමේ මහා පින්කමක් පිළිබඳව සඳහන් වේ. එමෙන්ම සවෙනි පැරකුම්බා නිරිඳුන්ද ත්‍රී සිංහලයෙහිම වස් විසූ භික්ෂූන් වහන්සේ සඳහා කඨින චීවර පූජා පැවැත් වූ බව සඳහන්ය. එසේම කීර්ති ශ්‍රී රාජසිංහ, රාජාධි රාජසිංහ ආදී බොහෝ රාජ රාජ මහාමාත්‍යවරුන් මෙම උදාර පින්කම මහත් ශ්‍රද්ධාවෙන් හා ගෞරවයෙන් යුතුව සිදුකොට ඇති අයුරු අපේ ඉතිහාසය මඟින් අනාවරණය වේ.

මහ පින්කමෙහි ආරම්භය සිදුවන්නේ අදින් තෙමසකට පෙරදීය. එනම් ඇසළ පුර පොහෝ දිනයෙහි ආරම්භව එතැන් සිට ගෙවී ගිය මාස කිහිපය ඇතුළත ඒ ඒ විහාරස්ථානවල වස් වැසවීම සඳහා මූලික දායකත්වය ලබාගත් දායක දායිකාවන් ඇතුළු සෙසු දායකවරුන් ද දිනපතා තම විහාරස්ථානවල විවිධ පූජා පින්කම් සිදුකරන ලද ආකාරය ප්‍රකට වූවකි. බුද්ධ පූජා, බෝධි පූජා ධර්ම දේශනා ආදී විවිධ පින්කම් සංවිධානය කරන ලද්දේ, ඒවායෙහි නියැළුණේ මෙම මහා පින්කමෙහි පරිවාර පින්කම් වශයෙනි. කඨිනත්ථාර කාලය හෙවත් චීවර මාසය ඇතුළත සිදු කළ යුතු මෙම මහා පින්කම ජනවහරෙහි වස් පින්කම, කඨින මහා පින්කම යනුවෙන් නම් කොට තිබේ. මේ මහා පින්කමෙහි ඇති ශක්තිමත් බව, අකම්ප්‍ය බව, නොබිඳෙන බව, ස්ථාවර බව, “කඨින”යන වචනයෙහි ගැබ්ව ඇති අතර මහා ගරු පුණ්‍ය ක්‍රියාවක් ලෙස ධර්මයෙහි විස්තර කෙරේ. එපමණක් නොව ලොව්තුරා බුදුවරයන් වහන්සේද මේ සඳහා සහභාගිව ඇතිවා සේම, උන්වහන්සේගේ මහත් වර්ණනාවටද ලක්ව ඇති මහා පින්කමකි. මෙහි ඇති සුවිශේෂත්වය වන්නේ මිල මුදල් තිබූ පමණින් හෝ තමා කැමැති දිනයක හෝ මාසයක දී කළ හැකි පින්කමක් නොවීමය. විහාරස්ථානයක කළ හැකි වන්නේ වසරකට එක් කඨින දානමය පින්කමක් පමණි. අට මහා පින්කම් ලෙස අපේ ධර්මයෙහි හඳුන්වා දෙන ප්‍රධාන පුණ්‍යකර්ම නම් කිරීමේ දී “කඨින ට්ඨපරික්ඛාරං....” යනාදී වශයෙන් කඨින පූජා පින්කම එහි ප්‍රමුඛතම පින්කම ලෙස හඳුන්වා දී ඇති අතර අටපිරිකර පූජාව, සංඝාවාස පූජාව, බුදුපාමොක් මහා සඟනට දන්දීම, ධර්ම පුස්තක ලියවීම, කෙත්වතු පූජාව, බුද්ධ ප්‍රතිමා කරවීම, වැසිකිළි කරවා පූජා කිරීම යනාදිය සෙසු පින්කම් ලෙස දක්වා ඇත.

කඨින චීවර මහා පින්කම පිළිබඳ ජනවහරෙහි එන ප්‍රකට උපමාවක් ද ඇත. චෛත්‍යයක් සාදවා එහි කොත පැළඳවීමට මෙම මහා පින්කම සමාන කිරීම එම උපමාවය. තෙමසක් මුළුල්ලේ සිදු කරන ලද ඉහත සඳහන් පරිවාර පින්කම් චෛත්‍යයේ ඉදිකිරීම්වලට සමාන වන අතර වැඩ නිම වූ සෑ රදුන්ගේ කේතු පිලන්දනය, එහි නිමාව සනිටුහන් කරන අසිරිමත් අවස්ථාව වේ. කඨින චීවර පූජා පින්කම් ද එයට සමාන කර ඇත්තේ එය එක් දිනකින් කළ නොහැකි, ජන සමූහයකගේ ඒක රාශීවීමෙන් සිදුකළ යුතු දුර්ලභ ගණයේ අසිරිමත් පින්කමක් වීම නිසාය.

එක් විහාරස්ථානයක, එක් වසරක සිදුකළ හැක්කේ එක් කඨින පින්කමක් පමණක් සේම, එම විහාරස්ථානයේම වස් විසූ, වස් ශික්ෂා පදය ආරක්ෂා කළ භික්ෂුවක් හැර වෙනත් භික්ෂුවකට කඨින චීවරයක් පිළිගැනීමට හිමිකම් නොලැබේ.

භික්ෂු සංඝයා විෂයෙහි පූජා කරන කඨින වස්ත්‍රයෙන් සකස් කරන ලද චීවරය සීමා මාලකයක දී අදාළ ඉහත සුදුසුකම් සපුරා ඇති භික්ෂුවකට බහුතර භික්ෂු සංඝයාගේ අනුමැතියෙන් පැවරීම සිදුකරනු ලැබේ. ඒ අනුව කඨින චීවරලාභී  භික්ෂුවකට විනය ප්‍රඥප්තීන් කීපයක් සීමිත කාලයක් තුළ ලිහිල්ව භාවිත කිරීමේ පඤ්ච විධ  ආනිසංසයක් ලැබෙන බවද විනය ග්‍රන්ථවල සඳහන් වේ. කඨින චීවර දානමය මහා පින්කම සිදුකරන දායක දායිකාවන්ට ද සාමාන්‍ය චීවර දහසක් හෝ ඉන් වැඩි ප්‍රමාණයක් හෝ පූජා කිරීමෙන් ලද නොහැකි මහා කුසල ස්කන්දයක් මෙම එකම කඨින චීවර පූජාවකින් ලැබිය හැකිවීම මෙහි ඇති අසිරිමත් බවට සාධකයකි. තුන් සිවුරෙන් එක් සිවුරක් සඳහා අවශ්‍ය අලු‍‍ත් වස්ත්‍රයක් හෝ මසා නිමකොට ඇති චීවරයක් කඨින චීවර දානය වශයෙන් පූජා කළ හැකි බව සඳහන්ය.                 විහාරස්ථානයකට අවශ්‍ය විවිධගරු, ලඝු භාණ්ඩ කඨින චීවර පූජාව සමඟ පූජා කිරීම සඳහා ද බොදුනුවන් පුරුදුව ඇත. මෙම මහා කඨින පූජාවට සම්බන්ධව කෙරෙන එම පිරිකර පූජාවන් අතර එදින පූජා කරන ඉතා සුළු පරිත්‍යාගයකින් පවා කඨින ආනිසංස ලැබෙන බව සඳහන් වන අතර ආනන්තරිය පාපකර්මය වැනි මහා පාපකර්ම හැර සාමාන්‍ය පව් කම්වල බරපතළ බව අඩු කිරීමටද මෙම මහා පින්කම සමත්වන බව ධර්මයෙන් ප්‍රකාශිතය.

අප දැක ඇති ලාඕසය, කාම්බෝජ, තායිලන්ත බුරුම සහ වියට්නාම ජාතික බෞද්ධයන් සිදුකරන මෙම මහා පින්කම තමන්ට ආවේණික පිළිවෙළකට අනුව ඊට අදාළ පාලි වාක්‍ය ආදිය ද ඔවුන් විසින්ම ප්‍රකාශ කරමින් සිදුකරන අයුරු ඉතා විචිත්‍ර බව සඳහන් කළ යුතුව  ඇත. නගරයෙහි මහා මන්දිරයෙහි සිට ඈත එපිට ගම්මානවල කුඩා පැල්පත දක්වා බොදුනුවන් එකසේ උනන්දුවෙන් සිදු කෙරෙන මෙම මහා පින්කම එදවස අප විසින් දැක ඇත්තේ වෙනස් වූ ආකාරයකටය. පූජා කිරීමට නියමිතව වස්ත්‍රය අලු‍‍තින්ම සකස් කළා මතු නොව සකස් කරන ලද නියමිත වූ වස්ත්‍රය ගම් පියස පුරා රැගෙන ගොස් බොහෝ දෙනාගේ පූජාවට ලක් කොට හිමිදිරියේ හේවිසි හඬින් හා මහා සාදු නාදයෙන් යුතුව විහාරස්ථානයට ගෙන විත් පූජා කරන සාමූහික පින්කමක් ලෙස ප්‍රකටය.

වප්පුර පොහෝ දිනය වූ අදින් කඨිනත්ථාර සමය ඇරැඹෙනවා පමණක් නොව බුද්ධ චරිතයෙහි මෙන්ම ශාසන ඉතිහාසයෙහි ද වැදගත් සිදුවීම් රාශියක් සිදුවී ඇති බව අනාවරණය වේ. තථාගතයන් වහන්සේ සක් දෙවිඳුන්ගේ පඬුපුල් අසුනෙහි වස් වසා වැඩ හිඳ වස් පවාරණය කොට සංකස්ස නගරද්වාරයට වැඩමවා තීර්ථක මං බිඳීම සඳහා යමා මහපෙළහර  දැක්වීම සහ එම අසිරියෙන් ප්‍රමුදිත මෙතේ බෝ සත් තුමා නියත විවරණ  ලැබ පැවිදි වූයේ ද අදවන් දිනයක දීය.

එමෙන්ම සැරියුත් මහ රහතන් වහන්සේ ප්‍රඥාවන්ත භික්ෂූන් අතරින් අග තනතුරු ලැබීම ද මෙදින සිදුවූ අතර ශ්‍රී මහා බෝධීන් වහන්සේ සහ සඟමිත් තෙරණිය වැඩමවා ගැනීම සඳහා මහා අරිට්ඨ කුමරු ප්‍රධාන රාජකීය දූත පිරිස ධර්මාශෝක රජුට සංදේශයක් රැගෙන පිටත්ව ගොස් ඇත්තේ ද වප්පුර පොහෝයක දීය. පසු කාලීනව පැවිද්දට පත් මහා අරිට්ඨ මහා රහතන් වහන්සේ සිදුකරන ලද විනය සංගායනාව වප් පුර පොහො දිනෙක සිදු කොට ඇත. මහා අසිරිමත් සිද්ධීන් ද සැලකිල්ලට ගනිමින් ඉදිරියේ සිදුවන කඨින මහා පින්කම්වලටද සහභාගීවෙමින් සසරින් එතෙරවීම සඳහා තව තවත් උත්සාහවත් විය යුතු බව අවධාරණය කළ යුතුව ඇත.

(***)



අදහස් (0)

අදින් ඇරැඹෙන්නේ කඨින පිංකම් සමයයි

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

පොරොන්දු අමතක දේශපාලනය
2024 ඔක්තෝබර් මස 18 181 1

“හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ” යනුවෙන් ලංකාවේ ප්‍රකට ගැමි වහරක් තිබේ. එහි තේරුම නම් බීජයක් සිටුවීමෙන් පසු ඉන් පැළයක් හටගන්නා මූලිකම අවස්ථාවේ දී අදාළ පැළය


යක්ෂ පරම්පරාවේ අවසන් නවාතැන - යක්කුරේ
2024 ඔක්තෝබර් මස 17 158 0

යක්කුරේ යනු මෙරට යක්ෂ පරම්පරාව ජීවත්වූ අවසන් ගම්මානයයි. අද යක්කුරේ කියා හඳුන්වන්නේ එදා යක්ෂ පරම්පරාව සිටි නියම ගම නොවේ. ඉහළ යක්කුරේ සහ පහළ යක්කුරේ ලෙස


අදින් ඇරැඹෙන්නේ කඨින පිංකම් සමයයි
2024 ඔක්තෝබර් මස 17 26 0

ඇසළ පුණු පොහෝ දිනයෙහි පොහෝ පවුරුණු සිදුකොට ඇසළ අව පෑළවිය දිනයෙහි පෙර වස් එළැඹි සියලු‍‍ භික්ෂූන් වහන්සේ අදට යෙදෙන වප්පුර පොහෝ දිනයෙහි වස් පවාරණය කිරීම


මන්ත්‍රී පදවියට සුදුස්සන් අවශ්‍ය ඇයි?
2024 ඔක්තෝබර් මස 17 35 0

රටක ප්ර ජාතන්ත්රමවාදී පාලන ක්රබමය ශක්තිමත්වීම සම්බන්ධයෙන් ශක්තිමත් ආණ්ඩු පක්ෂකයක පැවැත්ම අත්යතවශ්ය වන අතරම, පාර්ලිමේන්තු ප්රීජාතන්ත්රමවාදය තහවුර


සැරින් සැරේ තැනින් තැන මතුවන වාහන
2024 ඔක්තෝබර් මස 16 2417 0

ඉකුත් රජය මැති ඇමැතිවරන් ඇතුළු ප්‍රභූවරුන්ට ලබාදී තිබූ මෝටර් වාහන හතු පිපෙන්නාක් මෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ රථ ගාලේ සහ විවිධ ස්ථානවලින් මතුවීම ආර


ආර්ථිකයට ලෝක බැංකු පණිවිඩය
2024 ඔක්තෝබර් මස 16 861 1

ශ්‍රී ලංකාව සම්බන්ධ ඉතා වැදගත් වාර්තාවක් ලෝක බැංකුව විසින් මේ මස 10 වැනිදා ප්‍රකාශයට පත් කරන ලදී. ශ්‍රී ලංකා සංවර්ධනයේ නව තත්වය 2024 අනාගතය දක්වා විවෘත කිර


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 7 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 632 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 499 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site