IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


අද චණ්ඩි පාට්දාන එදා දමිළ තිරේ බොළඳ පෙම්වතිය

 

 

ඇය ගස් වටේ දුවන නටන බොළඳ පේ‍්‍රමවන්තියකි. ඊට බාධා, අකටයුතුකම් කරන දුෂ්ඨයකු ද වෙයි. දෙදෙනාම වරින් වර එකිනෙකාට දොස් පවරා ගන්නේ ද හේතුවක් ඇතිවය. මේ නාඩගම හඳුන්වන්නේ ජයලලිතා කරුණානිධි නාඩගම ලෙසිනි.

මුලින්ම හැඳින්වූ පරිදි මේ නාඩගමේ බොළඳ පේ‍්‍රමවන්තිය වන්නේ තමිල්නාඩු ප‍්‍රාන්තයේ මහ ඇමැතිනි ජයලලිතාය. දුෂ්ඨයා ලෙස රඟනුයේ හිටපු තමිල්නාඩු මහ ඇමති හා ඞී.එම්.කේ. පක්ෂ නායක මුත්තුවේල් කරුණානිධිය. තිර රචනය, නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය මෙන්ම සංස්කරණය ද ඔවුන්ගේමය.

ඔවුන් දෙදෙනාම මෙලෙස වළිකන්නේ තමිල්නාඩු රජ කිරුළ දරන්නටය. මේ කිරුළ සිය හිස මත රඳවාගන්නට ඉකුත් දශක කිහිපයක සිටම බල අරගලයක නිරත මොවුන් දෙදෙනාගේ ඉලක්කයන් බොහෝ විට එක සමානය. කෝටි හැටකට වැඩි ජනගහනයක් සිටින ඉන්දියාවේ තමිල්නාඩු ප‍්‍රාන්තය තුළ ජීවත්වන හරි අඩක්ම දරිද්‍රතාවය නමැති මඩ වගුරේ එරී සිටින විට ඔවුන් දෙදෙනාම ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ සුබ සිද්ධිය පැතීම හාස්‍ය ජනක එකක් බව සෑම දෙනාටම ඒත්තු ගැන්වී තිබේ.

ජයලලිතා

මාස දෙකකට වැඩි කාලයක සිට කරළියේ එළිදැක්වෙන ජයලලිතා කරුණානිධි නාඩගම ආරම්භ වූයේ ශ්‍රී ලංකාවට එරෙහිව ඇමෙරිකානු යෝජනාවලිය ජිනීවා මානව හිමිකම් කවුන්සිල සැසිවාරයට ඉදිරිපත් වීම හරහාය.එම යෝජනාවලියට පක්ෂව ඉන්දියාව සිය ඡුන්දය භාවිතා කරන තෙක් කරුණානිධි දැමූ සෙල්ලම් අපමණය. ඉන්දියාවේ පාලක කොංග‍්‍රසයේ සිටි සිය ඞී.එම්.කේ. පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 18 දෙනා එම සභාගයෙන් ඉවත් කරගත්තේ කරුණානිධිගේ පටු අරමුණු වෙනුවෙනි. එල්ටීටීඊ හිතවාදී සුළු සංවිධාන ලවා ලාංකික භික්ෂූන්ට පහරදීම් ද ඒ අතරේ වෙති.

ශ්‍රී ලංකාවට එරෙහිව නැෙඟන තමිල්නාඩුවේ ගෝරනාඩු ඉකුත් පෙබරවාරි මස අග සිට මාර්තු 22 වැනිදා තෙක් පවත්වාගෙන ගියේ ඞී.එම්.කේ  පක්ෂ නායක කරුණානිධිගේ මෙහෙයවීමෙනි. මීළඟ තමිල්නාඩු මහ ඇමතිවරයා වීමේ අපේක්ෂා මුදුන්පත් කර ගැනීමට වළිකන මේ වයෝවෘද්ධ පුද්ගලයා සිය පෞද්ගලික න්‍යාය පත‍්‍රය තුළ අවශ්‍ය ලකුණු දා ගෙන හමාරය.

දැන් එළැඹ ඇත්තේ තමිල්නාඩු මහ ඇමතිනි ජය ලලිතාගේ වාරයයි. කොකාට වාරයක් තිබේ නම් තිත්තයාට ද වාරයක් තිබිය යුතුය. එය මේ වන විට ජයලලිතාට අදාළ වී තිබේ.

මානව හිමිකම් සැසිවාරය තුළ ලංකාවට එරෙහිව ඇමෙරිකා යෝජනාව සම්මත කරගත් ඉකුත් සතියෙන් පසුව කරළියට ඇය පැමිණෙන්නේ ඉන්දීය සාගර කලාපයේ මුතු ඇටය වන ශ්‍රී ලංකාවට කදිම දුස්රා දඟ පන්දුවක් කරකවමිනි. ඒ දුස්රාව වූයේ ඉන්දීය ප‍්‍රිමියර් ලීග් ක‍්‍රිකට් තරගාවලිය හෙවත් අයි.පී.එල්ය.ඒ ඉන්දියාවේ ප‍්‍රධානතම විස්සයි විස්ස ක‍්‍රිකට් තරගාවලිය වන අයි.පී.එල්. තරගාවලියට සහභාගි වන කිසිදු ශ්‍රී ලංකා ක‍්‍රීඩකයකුට චෙන්නායිහිදී තරග කිරීමට තමන් අවසර නොදෙන බව තමිල්නාඩු මහ ඇමතිනිය ඉන්දීය අගමැති ආචාර්ය මන්මෝහන් සිං වෙත ඉකුත් 26 වැනිදා ලිපියක් යවමිනි.

තමිල්නාඩු ප‍්‍රාන්ත රජයේ මෙම තීරණය ඉන්දීය රජය වෙත ලිඛිතව දන්වා යැවීමත් සමගම තමිල්නාඩු ප‍්‍රාන්තයේදී පැවැත්වීමට නියමිත සියලූම තරග වලින් ශ්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩකයින් ඉවත් කරන ලෙස අයි.පී.එල්. තරග සංවිධායකයින්ට දැන්වීමට ද ජයලලිතා අමතක නොකළාය.

කරුණානිධි

මෙරට ක‍්‍රිකට් ක‍්‍රීඩකයින් ඩොලර් නෝට්ටු වලින් ආදායම් ලබන අයි.පී.එල්. තරගාවලිය ලාංකික ක‍්‍රිකට් ක‍්‍රීඩකයින්ට මෙම තහනම පැනවීමට හේතු වූයේ ශ්‍රී ලංකාවේ දෙමළ ප‍්‍රශ්නය සම්බන්ධයෙන් මේ දිනවල තමිල්නාඩු ප‍්‍රාන්තයේ පවතින නොසන්සුන් තත්ත්වය නිසා බැව් ජයලලිතා ඉන්දීය අගමැතිවරයා වෙත යැවූ ලිපියේ සඳහන්ව තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා රැසක් සඳහන් කර තිබිණි. එසේම ලාංකික ක‍්‍රීඩකයින්, විනිසුරුවරුන් හෝ පුහුණුකරුවන් තමිල්නාඩු ප‍්‍රාන්තයේ තරඟ සඳහා යොමු නොකරන ලෙස ඉන්දීය ක‍්‍රිකට් පාලක මණ්ඩලයට උපදෙස් දෙන ලෙස ඉන්දීය අගමැතිවරයාගෙන් ජයලලිතා ඉල්ලා ඇත.

ශ්‍රී ලංකා රජයේ ක‍්‍රියාකලාපයන් ගැන මේ දිනවල තමිල්නාඩුවේ පවතින දැඩි විරෝධය නිසා තමිල්නාඩු රජයේ අදහස වන්නේ ශ්‍රී ලාංකික ක‍්‍රීඩකයින් තමිල්නාඩුවට නොපැමිණිය යුතු බව යැයිද සිය ලිපියෙන් තමිල්නාඩු මහ ඇමතිනිය පෙන්වා දී ඇත.

මෙවැනි විරෝධාකල්ප පවතිද්දීත් ශ්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් තමිල් නාඩුවේ ක‍්‍රීඩා කිරීම දැනටමත් පවතින උණුසුම් තත්ත්වය වඩාත් උත්සන්න කරන්නක් විය හැකි බැවින්, තමිල්නාඩුවේදී අයි.පී.එල්. තරග පැවැත්වීමට අවසර දෙන්නේ එම තරගාවලියට ශ්‍රී ලාංකිකයින් යොදා නොගන්නා පොරොන්දුව තරග සංවිධායකයින් විසින් තමන්ට දෙනු ලබන්නේ නම් පමණක් යැයිද ජයලලිතා ප‍්‍රකාශ කළ බව ඉන්දියාවේ ”හින්දුස්ථාන් ටයිම්ස්” පුවත්පත වාර්තා කර සිටියේය.
මීට පෙරද තමිල්නාඩු ප‍්‍රාන්තයේ පාපන්දු තරගාවලියක් සඳහා චෙන්නායි ගිය ශ්‍රී ලංකා පාසල් පාපන්දු කණ්ඩායම් දෙකක් එහිදී හරවා එවීමට ජයලලිතා කටයුතු කළාය.

අපේ‍්‍රල් 4 වැනිදා ආරම්භ වන අයි.පී.එල්. තරගවලිය සඳහා කණ්ඩායම් 8ක් සහභාගි වන අතර ඊට නුවන් කුලසේකර, අඛිල ධනංජය, මහේල ජයවර්ධන, ජීවන් මෙන්ඩිස්, සචිත‍්‍ර සේනානායක, ලසිත් මාලිංග, අජන්ත මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, කුසල් ජනිත් පෙරේරා, මුත්තයියා මුරලිදරන්, තිලකරත්න ඩිල්ෂාන්, කුමාර් සංගක්කාර හා තිසර පෙරේරා යන ලාංකික ක‍්‍රිකට් ක‍්‍රීඩකයින් 13 දෙනා සහභාගීවීමට නියමිතව සිටියහ.

ශ්‍රී ලංකා විරෝධී රැල්ල මෙලෙස තව තවත් උණුසුම් වීම පසුපස තිබෙන්නේ කරුණානිධි පරයා ජයලලිතාට සිය දේශපාලන ප‍්‍රතිරූපය සිය ජනතාව තුළ ගොඩනඟා ගැනීමය. ඊට කදිම තෝතැන්නක් බවට පත්ව ඇත්තේ ශ්‍රී ලාංකික දෙමළ ජනතාව බව ජයලලිතා මෙන්ම කරුණානිධි ද අපූරුවට වටහාගෙන සිටිති.ඉකුත් දිනවලදී ඉන්දීය මධ්‍යම රජයෙන් ඉවත් වෙමින් කරුණානිධි කළ බලපෑම් සම්බන්ධයෙන් තමිල්නාඩු මහ ඇමතිනිය චෝදනා කළේ ඞී.එම්.කේ. පක්ෂය ඇතුළු කරුණානිධි විසින් සිදු කළේ ප්‍රෝඩාවක් බවත්, ලාංකික දෙමළ ජනතාව වෙනුවෙන් දැන් කිඹුල් කඳුළු සළන බවය.

කෙසේ නමුත් ජයලලිතාට ද ශ්‍රී ලාංකික දෙමළ ජනතාව වෙනුවෙන් කටයුතු කිරීමේ කීර්තිමත් ඉතිහාසයක් නොමැති බව අප වටහා ගත යුතුය. කරුණානිධිගේ පක්ෂයේ ජනප‍්‍රියත්වය තමිල්නාඩුව තුළ පල්ලම් බසිමින් සිටින අවස්ථාවක එහි වාසිය තමන්ට ඇද ගැනීමේ උත්සාහයක ජයලලිතා නිරත වෙමින් සිටී.

ඊට හොඳම දුස්රා පන්දුව වූයේ අයි.පී.එල්. ක‍්‍රිකට් තරගාවලියයි. පවතින තත්ත්වය හමුවේ එම තරග සංවිධායකයින්ට ගත හැකි තීරණය වූයේ චෙන්නායි හිදී පැවැත්වෙන අයි.පී.එල්. තරග සඳහා කිසිදු ලාංකික ක‍්‍රීඩකයකු සහභාගී නොකරවා ගැනීමට බව අයි.පී.එල්. සභාපති රජීව් ශුක්ලා ඉකුත් 26 වැනි දා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

ක‍්‍රීඩාවට දේශපාලනය ඈඳා ගනිමින් තමිල්නාඩු මහ ඇමතිනියගේ ක‍්‍රියා කලාපය මත හා ක‍්‍රීඩකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සහතිකයක් නොලැබෙන්නේ නම් අයි.පී.එල්. තරගාවලියට ක‍්‍රීඩකයින් සහභාගී නොකරන බව ක‍්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මහතා දැනටමත් ප‍්‍රකාශ තිබේ.
එබැවින් මෙවැනි තත්ත්වයක් උඩ තවදුරටත් ක‍්‍රීඩකයින්ට තමිල්නාඩුවේ ක‍්‍රීඩා කිරීමට සුදුසු පරිසරයක් නොමැති නම් ඔවුන්ටද මේ පිළිබඳව සිතා බැලීමේ කාලය එළැඹ තිබේ. ඉකුත් දිනවලදී භික්ෂූන් වහන්සේ දෙදෙනකු ඇතුළු ලාංකික වන්දනා නඩවලට එල්ල වූ හිරිහැර හමුවේ අයි.පී.එල්. තරඟ වර්ජනය කිරීම කළ යුතුව ඇත.

භික්ෂූන් වහන්සේට ප‍්‍රහාර

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩකයින්ට අයි.පී.එල්. තරග චෙන්නායි හි තහනම් කළ ජයලලිතා දිනෙන් දින ශ්‍රී ලංකා විරෝධි ආකල්ප තමිල්නාඩුව තුළ ගොඩනඟමින් සිටී.

ශ්‍රී ලංකාවේ දෙමළ වැසියන්ට සාධාරණයක් ලැබෙන තෙක් ශ්‍රී ලංකාවට එරෙහිව ආර්ථික සම්බාධක පැනවිය යුතුයැයි පවසමින් ජයලලිතා සිය දෙවැනි දුස්රා පන්දුව ශ්‍රී ලංකාව දෙසට එල්ල කරනු ලැබුවේ ඉකුත් බදාදා (27)ය. එය යෝජනාවක් ලෙස තමිල්නාඩු ප‍්‍රාන්ත සභාවට ඉදිරිපත් කිරීමට තමිල්නාඩු මහඇමතිනිය අමතක නොකළාය.

ශ්‍රී ලංකාව මිත‍්‍ර රටක් ලෙස සැලකීමෙන් වළකින ලෙසට ඉන්දිය මධ්‍යම රජයට බලකරන යෝජනාවක් වූ එය එදිනම තමිල්නාඩු ප‍්‍රාන්ත සභාවේදී ඒකමතිකව සම්මත කරගැනීමට ද ජයලලිතා කටයුතු කළාය.

එම යෝජනාව ප‍්‍රාන්ත සභාවට ඉදිරිපත් කළ අවස්ථාවේදී මහ ඇමතිනි ජයලලිතා වැඩිදුරටත් ප‍්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකාවේ වෙසෙන දෙමළ වැසියන් වෙනුවෙන් සහ ශ්‍රී ලංකාවෙන් පිට වෙසෙන දෙමළ ජනතාව වෙනුවෙන් ඔවුන් අපේක්ෂා කරන වෙනම ඊළාම් රාජ්‍යයක් පිහිටුවීමට බලකරන එක්සත් ජාතීන්ගේ සංවිධානයට යෝජනාවලියක් ඉදිරිපත් කළ යුතු බවය.

එසේම ශ්‍රී ලංකාවේ අවසන් යුද සමයේ දෙමළ වැසියන් සමූල ඝාතනය වූ බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් සිදුකළ යුතු යැයි ද තමිල්නාඩු මහ ඇමතිනි සිය යෝජනාවෙන් ඉදිරිපත් කර තිබේ.

සිය ප‍්‍රාන්ත ජනතාවට කුසට අහරක් නොමැතිව වීදි වල ජීවත්වන පසුබිමක් තුළ ලංකාවේ දෙමළ ජනතාව වෙනුවෙන් ඇයට පහළ වූ කැක්කුම සමස්ත දෙමළ ජාතිය වෙනුවෙන් බැව් සිතනා මෝඩ රැුළක් ද තමිල්නාඩුවේ සිටිති. ජයලලිතාගේ මෙවැනි දේශපාලන ප‍්‍රලාපයන් විශ්වාස කරන තමිල්නාඩු වැසියන් තමන්ගේ අවශ්‍යතා නොසැපිරූව ද ඊළඟ ප‍්‍රාන්ත මැතිවරණයේදී ජයලලිතා බලයට පත් කිරීම අනිවාර්යය.

දකුණු ඉන්දියාව තුළ තරගයට ශ්‍රී ලංකා විරෝධී මානසිකත්වයක් නිර්මාණය කරන ජයලලිතා හා කරුණානිධි නමැති තමිල්නාඩු දේශපාලනඥයින්ට සම්බන්ධ අන්තවාදී, ජාතිවාදී පිරිස් අතරේ සිටි වයිකෝ ගැන ඉන්දීය මාධ්‍ය වාර්තා වලින් කිසිවක් වාර්තා නොවීම විශේෂත්වයකි.

නූගත් අන්තවාදී පිරිස් තමිල්නාඩුව පුරා ආරම්භ කළ ශ්‍රී ලංකාවට එරෙහි සංග‍්‍රාමය පසුගිය දා ඇමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කරන ලද මානව හිමිකම් යෝජනාවලියට පක්ෂව ඉන්දියාව ඡුන්දය භාවිතා කිරීමෙන් පසුව පවා තත්ත්වය පාලනය නොවීමට හේතුවී ඇත්තේ එකිනෙකා පරයා දේශපාලන කරළිය තුළ මතුවීමේ අභිප‍්‍රාය තමිල්නාඩු දේශපාලනයේ ස්වභාවය වීම නිසාය.

යළිත් වරක් ජයලලිතා කච්චතිව් දුපත සම්බන්ධයෙන් ද විවිධ වාග් ප‍්‍රහාර එල්ල කරමින් සිටී. කච්චතිව් දුපත ශ්‍රී ලංකාවට අයත් බවට 1974 වසරේදී ඉන්දියාව වෙනුවෙන් ඇමතිනී ඉන්දිරා ගාන්ධි විසින් ලියා අස්සන් කර දෙනු ලැබූ ගිවිසුම ඉවත් කරගන්නා ලෙස ජයලලිතා ජයරාම් ඉන්දීය මධ්‍යම රජයෙන් ඉල්ලීමක් කළාය. තමිල්නාඩු ප‍්‍රාන්ත රජයේ පැවති විශේෂ රැුස්වීමකදී ඇය මේ බව යළිත් වරක් කියා සිටියාය.

ඉන්දීය ධීවරයින්ට හිරිහැර සිදුවන බවට අවධාරණය කරමින් මෙම විශේෂ රැුස්වීම කැඳවූ තමිල්නාඩු මහඇමතිනිය වැඩිදුරටත් කියා සිටියේ කච්චතිව් දුපත පවරා ගැනීමට ඉන්දීය රජය අසමත් වුවහොත් තමිල්නාඩු රජය ඒ සම්බන්ධයෙන් නීතිමය ක‍්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බවය.

ජයලලිතාගේ තර්ජනංගුලිය එසේ තිබියදී ඒවා සතපහකට වත් ගණන් නොගෙන ඞී.එම්.කේ. පක්ෂ නායක එම්. කරුණානිධි සිය පෞද්ගලික ප‍්‍රතිරූපය පුම්බාගනිමින් ඊළාම් හිතවාදීන්ට ආධාර හා අනුබල දෙමින් කටයුතු කරමින් සිටී.

මේ අතරේ ශ්‍රී ලංකාව ගැන තමිල්නාඩු ප‍්‍රාන්තය පුරා පවතින්නේ පෝස්ටර් යුද්ධයකි. ඒ පිළිබඳ වාර්තා කරන ඉන්දීය මාධ්‍ය සඳහන් කර තිබුණේ තමිල්නාඩුවේ ප‍්‍රධානතම ප‍්‍රතිවාදී දේශපාලන පක්ෂ වන ඞී.එම්.කේ. සහ ඒ.අයි.ඒ.ඞී.එම්.කේ. අතර මෙම පෝස්ටර් යුද්ධය හටගෙන තිබෙනවය. මෙම ප‍්‍රතිවාදී දේශපාලන පක්ෂ දෙකේ පෝස්ටර් සඳහා එකම ඡායාරූපය යොදා තිබීම විශේෂත්වයකි.බි‍්‍රතාන්‍ය චැනල් ෆෝ නාලිකාව මගින් ප‍්‍රසිද්ධියට පත් කළ මියගිය එල්ටීටීඊ නායක ප‍්‍රභාකරන්ගේ 12 හැවිරිදි පුත් බාලචන්ද්‍රන්ගේ ඡායාරූපයක් ශ්‍රී ලංකාව පිළිබඳව එම පෝස්ටර් බොහොමයකට යොදා තිබූ බව සඳහන්ය. තමිල්නාඩුවේ ශ්‍රී ලංකා විරෝධි ශිෂ්‍ය උද්ඝෝෂණ වලදී එම ඡුායාරූපය යොදා ගැනුණා.ශ්‍රී ලංකාව මුල් කරගත් තමිල්නාඩු පෝස්ටර් යුද්ධය චෙන්නායි නුවර පමණක් නොව තමිල්නාඩුවේ අනෙක් ප‍්‍රදේශවල ද දක්නට ලැබෙන බව ඉන්දීය වාර්තා කියා සිටී. මෙහිදී කරුණානිධිගේ ඞී.එම්.කේ. පක්ෂය ශිෂ්‍ය උද්ඝෝෂණ සමග මතුවී ඇති වාතාවරණයෙන් ප‍්‍රයෝජන ගැනීමට මාන බලමින් සිටී.

2009 වසරේ මෙරට යුද්ධයේ අවසන් සමයේදී තමිල්නාඩුවේ පාලන බලය හිමිව තිබුණේ කරුණානිධිගේ ඞී.එම්.කේ. පක්ෂයටය. බලයේ ඉන්න තාක් කල් ශ්‍රී ලාංකික දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් ලබාදීමට කටයුතු නොකළ කරුණානිධි දැන් කිඹුල් කඳුළු සළමින් සිටින්නේ යැයි ජයලලිතා චෝදනා කර සිටින්නේ බොරදියේ මාළු බාමින්ය. කරුණානිධිගේ පක්ෂයේ ජනප‍්‍රියත්වය බිඳ වැටීමේ වාසිය දැන් දැන් ජයලලිතාට හිමිවෙමින් පවතින අවස්ථාවක් තුළ අයි.පී.එල්. තරග තමිල්නාඩුවේදී ලාංකික ක‍්‍රීඩකයින්ට තහනම් කිරීම, ලංකාවට එරෙහිව සම්බාධක පැනවිය යුතු බවට යෝජනා සම්මත කර ගැනීම, කච්චතිව් දුපත ඉන්දියාවට පවරා ගැනීම ආදී එකී මෙකී නොකී සියලූ දෑ කරමින් සිටී.

සැබවින්ම ඔවුන් ලාංකික දෙමළ ජනතාවගේ අයිතීන් සුරැුකීම ගැන ගැටලූවක් පවතින්නේ නම් එම ජනතාවට වෙනම රාජ්‍යයක් ලබාදිය යුතුය යන්න තදින්ම අඟවන ජයලලිතා සහ කරුණානිධි පැවති යුද ගැටුම් වලදී එල්ටීටීඊ බෝම්බ ප‍්‍රහාර වලින් දෙමළ, මුස්ලිම් ඇතුළු ලාංකිකයින් ඝාතනය වෙද්දී හඬ මතු නොකළේ ඇයි දැයි  යන්න ගැන කුකුසක් මතුවේ.

තට්ටු මාරු ක‍්‍රමයට වරින් වර තමිල්නාඩු ප‍්‍රාන්ත බලය හිමිකරගන්නා කරුණානිධිගේ ඞී.එම්.කේ. පක්ෂයත්, ජයලලිතාගේ ඒ.අයි.ඒ.ඞී.එම්.කේ. පක්ෂයත් ගෙන යන දේශපාලනය මේ වන විට තමිල්නාඩු ජනතාවට ද එපාවී ඇත. දෙන්නං කාසි වලට සිය ඡුන්ද දායකයින්ට පොරොන්දු ලබා දී ඔවුන්ගේ ඡුන්දය ලබාගන්නා ජයලලිතා සහ කරුණානිධි බලයට පත්වූ කවරදාකවත් ඡන්දදායකයින්ට වූ පොරොන්දු ඉටු නොකරන බව ප‍්‍රසිද්ධ රහසකි.

රූපවාහිනි, රත්තරන්, නිවාස වලින් සමන්විත ටොන් ගණනක් බර පොරොන්දු බලයට පත්වන සෑම අවස්ථාවකදීම ඔවුන් තමිල්නාඩු ජනතාවට ලබාදුන්නේ නම් තමිල්නාඩුව අද වන විට සුපිරි දේශයක් බවට පත්වනු නොඅනුමානය.

ඉන්දියාවේ ප‍්‍රබල දේශපාලන පක්ෂයක් වන එම්. කරුණානිධිගේ නායකත්වයෙන් යුතු ඞී.එම්.කේ. පක්ෂය තුළ අභ්‍යන්තර අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින බව ඉන්දීය නවතම වාර්තා සඳහන් කර සිටී. එරට හින්දු පත‍්‍රයට අනුව පක්ෂයේ මීළඟ නායකත්වයට සුදුසු පුද්ගලයා නම් කිරීම සම්බන්ධයෙන් මෙම අර්බුදය ගොඩනැෙඟමින් පවතින බව වාර්තාවේ.

නායකත්වය සම්බන්ධයෙන් මෙම අර්බුදය නිර්මාණය වී ඇත්තේ කරුණානිධිගේ විවාහයන් දෙකක පුතුන් දෙදෙනෙකු වන එම්.කේ. අලගිිරි සහ එම්.කේ. ස්ටාලින් අතරය. ඞී.එම්.කේ. පක්ෂයේ මීළඟ නායකයා ස්ටාලින් බවට ඉකුත් දා කරුණානිධි ප‍්‍රකාශ කර තිබිණි. ඊට ප‍්‍රතිචාරයක් ලෙස ඔහුගේම තවත් පුතකු වන අලගිරි කියා සිටියේ ඞී.එම්.කේ. පක්ෂය යනු ජ්‍යෙෂ්ඨ නායකයින්ට නව නායකයින් පත් කිරීමට ඉඩ දෙන මෝඩ පක්ෂයක් නොවන බව යැයි හින්දු පුවත්පත කියා සිටී.

ඇති වී තිබෙන ගැටුම්කාරී තත්ත්වය මත ඉකුත් 26 වැනිදා පැවති ඞී.එම්.කේ. පක්ෂයේ විධායක කමිටු රැස්වීම ද අලගිරි විසින් වර්ජනය කර තිබේ.
මෙම විධායක කමිටු රැස්වීමේදීත් ඞී.එම්.කේ පක්ෂය යෝජනා 16 ක් සම්මත කරගෙන ඇති අතර සම්මත කරගනු ලැබූ එම යෝජනා අතරේ මීළඟ මානව හිමිකම් කවුන්සිල සැසිවාරයකදී ශ්‍රී ලංකාවට එරෙහිව ඉන්දියාව ශක්තිමත් යෝජනාවක් ගෙනඒම, ලංකාවේ පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව අවලංගු කළ යුතු බවට යෝජනාවක්ද ශ්‍රී ලංකාවේ සිදුවූ බව කියන මානව හිමිකම් උල්ලංඝනයවීම් සම්බන්ධයෙන් ජාත්‍යන්තර ස්වාධීන කමිටුවක් මගින් විමර්ශනය කළ යුතු බව ද විය.

අලි මදිවට හරක් කීවාලූ යන සිංහල පිරුළ සිහිගන්වමින් තමිල්නාඩු අන්තවාදී දේශපාලනඥයින්ගේ මුග්ධ ක‍්‍රියාකලාපයන්ට සහාය දක්වන එල්ටීටීඊ හිතවාදී සංවිධාන අතරට එක්වූ නවතම සංවිධානය වී ඇත්තේ දකුණු ඉන්දීය චිත‍්‍රපට රංගන ශිල්පීන්ගේ සංගමයයි. ඔවුන් අපේ‍්‍රල් 02 වැනිදා ශ්‍රී ලංකාවට එරෙහි උපවාස ක‍්‍රියාමාර්ගයක නිරතවීමට තීරණය කර තිබෙන බව චෙන්නායි ආරංචි මාර්ග කියා සිටී.

දකුණු ඉන්දියාවේ ජනප‍්‍රිය රංගන ශිල්පීන් දෙදෙනකු වන කමල් හසන් සහ රැුජිනි කාන්ත් මෙම උපවාසයට සහභාගි වන අතර දකුණු ඉන්දීය චිත‍්‍රපට රංගන ශිල්පීන් මෙන්ම චිත‍්‍රපට අධ්‍යක්ෂවරුන් සහ නිෂ්පාදකවරුන් ද මෙම උපවාසයට සහාය දැක්වීමට සූදානමින් සිටිති. ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවට හිරිහැර සිදුවන බවට තමිල්නාඩු දේශපාලනඥයින් ගෙනයන ව්‍යාජ ප‍්‍රචාර වලට ආධාර හා අනුබල දෙමින් කටයුතු කරන දකුනු ඉන්දීය නළු නිළියන් විසින් සිදු කළ යුත්තේ උපවාස නොව එම ජනතාවට මිල මුදලින් ආධාර කිරීමය. උපවාස වලින් ලංකාවේ දෙමළ ජනතාවගේ පමණක් නොව සමස්ත තමිල්නාඩු වැසියන්ගේ ගැටලූ විසඳෙන්නේ නැත.

ඉන්දියාවේ ශ්‍රී ලාංකිකයින්ට එරෙහිව සිදු කෙරෙන විරෝධතා හේතුවෙන් තමිල්නාඩු ප‍්‍රාන්ත සංචාරක කර්මාන්තයට ඍජු බලපෑම් එල්ල වී ඇතැයි ඉන්දීය සංචාරක මෙහෙයුම් සම්මේලනය කියා සිටින්නේ මෙවැනි තත්ත්වයක් යටතේය. ශ්‍රී ලංකා විරෝධී ආකල්ප තමිල්නාඩුව පුරා පැතිරයාමත් සමග ඉකුත් පෙබරවාරි සිට මාර්තු මාසය දක්වා ශ්‍රී ලංකාවෙන් තමිල්නාඩුවට පැමිණෙන සංචාරකයින් සංඛ්‍යාව සියයට 10 ත් 15 ත් අතර ප‍්‍රමාණයකින් අඩුවී තිබෙන බව ඉන්දීය සංචාරක සම්මේලනය කියා සිටී.

ඉකුත් වසරේ පෙබරවාරි හා මාර්තු මාසවල තමිල්නාඩුවට පැමිණ ඇති ලාංකික සංඛ්‍යාව සැසඳීමේදී එය ශීඝ‍්‍ර අඩුවීමක් යැයි ඔවුහු කියා සිටිති. දේශපාලන අරමුණු ඉටුකර ගැනීම සඳහා ක‍්‍රියාත්මක ශ්‍රී ලංකා විරෝධී උද්ඝෝෂණ ප‍්‍රධාන වශයෙන් තමිල්නාඩු සංචාරක කර්මාන්තයට දැඩිව බලපෑම් එල්ල කර ඇති බවද ඉන්දීය සංචාරක මෙහෙයුම් සම්මේලනයේ විධායක අධ්‍යක්ෂ ගෞර් කංජිලාල් කියා සිටී.

පවතින ගැටලූකාරී තත්්්ත්වය මත කොළඹ හා චෙන්නායි අතර සිදු කෙරෙන ගුවන් ගමන් වාර ද හරි අඩකින් සීමා කිරීමට විවිධ ගුවන් සේවා සමාගම් කටයුතු කර තිබෙන්නේ මතු ආරක්ෂාව පිණිසය.

තමිල්නාඩුව පුරා ඉති ශීඝ‍්‍රයෙන් වෙලා ගනිමින් තිබෙන මෙම ශ්‍රී ලංකා විරෝධී රැුල්ල ක්ෂණික නූඞ්ල්ස් වැනි බව අතීතයේ සිදුව ඇති දෑ සිහියට ගැනීමෙන් තහවුරු වේ. තම තමන්ගේ පෞද්ගලික දේශපාලන න්‍යාය පත‍්‍රයන් තුළ ප‍්‍රතිරූප ගොඩනඟා ගැනීමට උත්සාහ දරන ජයලලිතා සහ කරුණානිධිගේ මේ කියුම් කෙරුම් තමිල්නාඩු මහ ඇමති ධුරය නමැති ඔටුන්න හිමිකරගන්නා තුරු පමණක් බව අප සැම සිහියේ තබාගත යුතුය.

 

සටහන තිළිණි ද සිල්වා

 



අදහස් (0)

අද චණ්ඩි පාට්දාන එදා දමිළ තිරේ බොළඳ පෙම්වතිය

චින්තක Monday, 01 April 2013 10:49 AM

පුදුම කැක්කුමක් තියෙන්නේ ලංකාවේ දෙමල ජනතාව ගැන (දී)

:       0       0

ඉරන්ත Saturday, 06 April 2013 01:12 PM

හොඳ ලිපියක්... ඉංග්‍රීසි බසිනුත් දැම්මනම් හොඳයි... (ස)

:       0       0

සමීර Friday, 05 April 2013 08:06 AM

මම හිතන්නේ තමිල්නාඩුව නටන්න යන නාඩගම එච්චර හොද එකක් නොමෙයි. (නි)

:       0       0

සේරිෆ් Monday, 01 April 2013 12:30 PM

ලංකාව නැති කරන්න හැම දෙයක් ම කරනවා (දී)

:       0       0

බංඩාර Wednesday, 03 April 2013 09:35 AM

ඇත්තටම හොද පුවටක් මේක ඉංග්‍රීසි භාෂාවෙනුත් පල කරන්න පුලුවන්නම් ගොඩක් හොදයි. මොකද ඇත්ත තත්වය මුළු ලෝකයටම දැක බලාගන්න පුළුවන්.(නදී)

:       0       0

ලීල් ගුණවර්ධන Friday, 05 April 2013 11:25 PM

තමිල් නඩුව මේකේ දිගටම කරගෙන ගියොත් භයානක තත්වයක් ලංකාවේ ඇතිවෙන්න පුළුවන් (ත)

:       0       0

සිරිල් Monday, 01 April 2013 11:12 PM

මේ ලිපිය ඉංග්‍රීසියෙනුත් පළකරන්න පුළුවන් නම් හොදයි. (නි)

:       0       0

ශාන්තලාල් Friday, 05 April 2013 05:30 PM

මෙය ජාත්‍යන්තරව පල කළ හැකි කාලෝචිත වැදගත් ලිපියක්. මෙය මැදපෙරදිග පුවත් පත් වලට යොමු කරන්න.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

අපේ යටගියාවේ අග මුල සෙවූ ආචාර්ය සිරාන් දැරණියගල
2024 ඔක්තෝබර් මස 05 70 0

හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සිරාන් දැරණියගල මහතා අභාවප්‍රාප්ත වී අදට (05) තෙවසරක් සපිරේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 5778 2

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 836 4

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1426 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 127 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 209 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39167 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25594 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 326 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1090 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 381 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site