IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


අධිවේගී පාරේ හැප්පෙන චීන්නු සහ ගම්වැසියෝ

  10_SLMA_P16_Back

 

චීනය හා ශ්‍රී ලංකාව අතර මිත්‍රත්වය ඈත අතීතයේ සිටම පැවතගෙන එන්නකි. රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් ශක්තිමත් සම්න්ධතාවයක් ඇති නිසාම අප රටේ යෝධ සංවර්ධන ව්‍යපෘතිවල ප්‍රමුඛයා බවට පත් වීමට ද අද වනවිට චීනය සමත්ව ඇත. මේ නිසා අනාගතයේදී ශ්‍රී ලංකාව චීනයේ තවත් එක් කොලණියක් බවට පත්වීමට ඉඩ ඇති බව මත පළ කරන්නෝද සිටිති.


 කෙසේ වෙතත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා  අතින් රටවල් දෙක ඉතා හොඳ ස්ථාවරයක සිටිය ද අදවනවිට බිම්  මට්ටමේ හොඳ හිත ටිකෙන් ටික පළුදුවීමට පටන්ගෙන තිබේ. ඊට ප්‍රධාන හේතුව චීනුන් පිළිබඳව දකුණේ ජනතාව තුළ නොරිස්සුම් සහගත ස්වභාවයක් ඇතිවී තිබීමය. මෙම චීන ඇලජික් එක නිසාම දෙපාර්ශ්වය අතර දැන් ආරවුල් වර්ධනයවී තිබේ. 


මාතර-කතරගම නව දුම්රිය මාර්ග ව්‍යාපෘතිය හා මාතර-හම්බන්තොට දක්‍ෂිණ අධිවේගී මාර්ගය  දිගු කිරීමේ ව්‍යාපෘතිය යන මහා පරිමාණ සංවර්ධන යෝජනා ක්‍රම දෙකේම වැඩ මේ දිනවල දකුණු පළාත තුළ සිදුකරන නිසා චීන ජාතිකයින් වැඩි පිරිසක් දැකබලා ගත හැකිය.

2
 අදාළ ව්‍යපෘතීන් සඳහා කළුගල් පස්, වැලි ආදී දේශීය අමුද්‍රව්‍ය පෞද්ගලික උප කොන්ත්‍රාත් සමාගම් යටතේ චීන ජාතිකයින් ලබාගැනීමට කටයුතු කර තිබේ. මේ නිසා ඉවක් බවක් නොමැතිව සිදුකරන ක්‍රියා හේතුවෙන් දකුණේ ජනතාව අධි පීඩාවකට පත්ව සිටිති. 


උදාහරණයක් ලෙස මාතර කොකාවල ප්‍රදේශයේ මහා පරිමාණ ගල් කොරි දහයකට ආසන්න ප්‍රමාණයක් පවත්වාගෙන යයි. ඒ බොහෝ ගල් කොරි වලින් තරගයට කළු ගල් සපයන්නේ මාතර-කතරගම දුම්රිය මාර්ගය හා මාතර-හම්බන්තොට අධිවේගී මාර්ගය ඉදිකිරීමේ කටයුතුවලටය.


 නිසි බලපත්‍ර ඇතිව හා නැතිව සංවර්ධනය නාමයෙන් පවත්වාගෙන යන මෙම ගල් කොරි නිසා කොකාවල ප්‍රදේශයේ ජීවත්වන ජනතාවට ගෙවල් අතහැර යාමේ තත්ත්වයක් උදාවෙමින් තිබේ. දැනට ද ගෙවල් කිහිපයක් අතහැර පවුල් ගමෙන් ඉවත්ව ගොස් ඇත. ඊට හේතුව බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කරමින් ප්‍රමිතියකින් තොරව එම කටයුතු සිදුකරන නිසාය. 


ඒවාට එරෙහිව රාජ්‍ය නිලධාරීන්ද ඉදිරිපත් වීමට මැලිමක් දක්වන්නේ ඇතැම් අය ධනබලය හා දේශපාලන බලයට යටවී තිබෙන නිසා විය හැකිය.
කළුගල් ප්‍රවාහනය කරන ටිපර් රථ ද විදුලි වේගයෙන් ධාවනය කෙරෙන නිසා පාරේ ගමන් කිරීම ද මරුවා සමඟ ජීවත්වීම සමානය. එමෙන්ම දූවිල්ලෙන් මුළු ගමම වෙලාගෙන තිබේ.


අනෙක් පැත්තෙන් අපරැක්ක තඹගල ප්‍රදේශයේද කළුගල් ඇඹරීමේ වැඩපොළක් පවත්වාගෙන යන අතර එය නිසාද දැඩි පාරිසරික හානියක් හටගෙන ඇත. සංවර්ධනයට මුල් තැන දිය යුතු නිසා ජනතාව ඒ සියල්ල විඳ දරා ගැනීමට පුරුදුව සිටී. බැරිම අවස්ථාවලදී ඔවුන් පාරට බැස මාර්ගය අවහිර කර උද්ඝෝෂණ ද කරති.  


පසුව බලධාරීන් පැමිණ ක්ෂණික විසඳුම් ලබාදුන්න ද එය තුවාලයකට අලවන තාවකාලික පැලැස්තරයක් වැනිය.


 එමෙන්ම ගම්මාන රැසක පාලම් හා බෝක්කු බර වාහන යාම නිසා කැඩී අබලන්වී තිබේ. පෞද්ගලික කොන්ත්‍රාත්කරුවා තමාගේ මුදල තරකර ගැනීම වෙනුවෙන් එම කටයුතු සිදුකළ ද  ගම්වල  පදිංචි ජනතාව සිතාගෙන සිටින්නේ මේ චීනුන්ගේ ක්‍රියා කලාපය නිසා සිදුවන දෙයක් ලෙසයි.


 ඊට හේතුව අදාළ ව්‍යාපෘතීන්වල වැඩ කරන්නේ චීන ජාතිකයන් බව ඔවුන් හොඳින් දන්නා නිසාවෙනි. මේ නිසා ඇලජික් එක තවත් වැඩිය. මේ නිසා ගම්වාසීන්  හැමවිටම චීන ජාතිකයන් දෙස බලන්නේ වැරදි දෘෂ්ඨි කෝණයකිනි.


මාතර-හම්බන්තොට අධිවේගී මාර්ගය හා මාතර කතරගම නව දුම්රිය මාර්ගය යන ව්‍යාපෘතීන් දෙකේම සිදුකෙරෙන මහා පරිමාණ ජාවාරමක් වන්නේ ඒවායෙහි වැඩ කරන වාහනවල ඉන්ධන සොරකම් කිරීමය. ටිපර් රථ ඇතුළු විවිධ වර්ගයේ වාහනවල ඩීසල් ටැංකිවලට බට දමා ඉන්ධන සොරකම් කිරීම නතර කිරීමට කොපමණ ක්‍රියා මාර්ග ගත්තද එය ලෙහෙසි පහසු දෙයක් නොවේ.


 ඊට අමතරව වැඩ බිම්වල තිබෙන යන්ත්‍ර සූත්‍ර හා යකඩ ආදී දේපොල සොරකම් කිරීමද මහා පරිමාණයෙන් සිදුවෙයි. චීන ජාතිකයින් නවාතැන් ගෙන සිටින නිවාස හා නේවාසිකාගාර තුළට පැමිණ ඔවුන්ගේ මුදල් දේපොල සොරකම් කිරීමද බහුලව සිදුකෙරෙමින් පවතී. 


මේ හිරිහැර නිසා චීන ජාතිකයින් තුළද ශ්‍රී ලාංකිකයින් පිළිබඳව ඇලජික් එකක් ඇතිවීම පුදුමයක් නොවේ.


 ඉකුත් 05 වැනි දින මාතර, හම්බන්තොට අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ චීන ජාතික වැඩබිම් පරිපාලක කළමනාකරුවකු නැවතී සිටි තිහගොඩ කඩවැද්දුව ප්‍රදේශයේ නේවාසිකාගාරයක ජනේලය කඩා ඇතුළුවී තිබූ සොරෙකු එහි තිබූ රුපියල් හතළිස් හත් දහසක මුදලක් සොරකම් කර තිබුණි. 


එදිනම මාතර-කතරගම නව දුම්රිය මාර්ග ව්‍යපෘතියේ සෙවය කරන, දික්වැල්ල අලුත්ගොඩ ප්‍රදේශයේ නිවසක නවාතැන්ගෙන සිටින චීන ජාතිකයෙකුට අයත් රුපියල් අසූදහසක මුදලක්ද සොරකම් කර තිබේ. ඊට සම්බන්ධ සැකකරු කවුරුන්දැයි දැනටමත් හඳුනාගෙන ඇත. 


 එම මාර්ගයේම සේවය කරන භූවිද්‍යා ඉංජිනේරුවරයකු හා සේවකයින් පිරිසක් තාවකාලිකව නවාතැන් ගෙන සිටින මාතර වේරදුව ප්‍රදේශයේ නිවසක් තුළට ද මහ රෑ ඔවුන් නිදාගෙන සිටියදී ජනේලයකින් ඇතුළුවී ඇති සොරුන් පිරිසක් එහි තිබූ ලැප්ටොප් පරිගණක දෙකක් හා ජංගම දුරකථනයක් සහ මුදල් පසුම්බියක් සොරාගෙන ගොස් තිබේ.

 

1


 නාකුට්ටියගම වැඩ බිමේ තිබූ රුපියල් පනස් හත් දහස් පන්සීයක් වටිනා පස්තලන යන්ත්‍රයක් හා ඉටිරෝල් හතරක්ද සොරකම් කර ඇත. 


මාතර-හම්බන්තොට අධිවේගී මාර්ගයේ සේවය කරන චීන ජාතිකයෙකුට අයත් ඩොලර් 4800ක් හෙවත් රුපියල් හත්ලක්‍ෂ තිස් නව දහස් දෙසීයක මුදලක්ද අත්තුඩාව වැඩබිමේ තිබියදී ඉකුත්දා සොරකම් කර තිබුණි. 


මේ ආකාරයට සොරකම් සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව සිය ගණනකි. එම නිසා මෙවැනි සිද්ධීන් නිසා චීන ජාතිකයින් තුළ ද ශ්‍රී ලාංකිකයින් පිළිබඳව වඩා හොඳ ආකල්පයක් නොමැති බව අමුතුවෙන් කිව යුතු නොවේ.


 මේ බොහෝ සොරකම්වලට එම ව්‍යාපෘතිවල වැඩකරන සේවකයින්ම සම්බන්ධවී තිබෙන බව පොලිස් පරීක්‍ෂණවලදී හෙළිවී තිබේ. මේ නිසා තම සේවකයින් පිළිබඳව වඩා සුපරීක්‍ෂාකාරී වීමට චීන ජාතිකයින්ද පියවර ගෙන ඇත.


සුළු සුළු සිද්ධීන් නිසා පළුදුවී තිබෙන සිත් වඩාත් වර්ධනය වී ගැටුමක් බවට පත් වූයේ ඉකුත් 28 වැනිදාය. ඒ කැකණදුර නාඔටුන්න ප්‍රදේශයේ දී චීන ජාතික  ඉංජිනේරුවන් සිව් දෙනෙකුට ප්‍රහාරයක් එල්ල කිරීමත් සමඟය.


ප්‍රහාරයට ලක්වූයේ චීන ජාතික සාමාන්‍ය කම්කරුවන් නොවේ. මාතර-බෙලිඅත්ත දුම්රිය මාර්ග ව්‍යාපෘතියේ නියෝජ්‍ය ව්‍යාපෘති කළමනාකරු ජේසන් ක්ෂේත්‍ර කළමනාකරු යන නිලධාරීන් ඇතුළු ඔවුන් යටතේ සිටින තවත් ඉංජිනේරුවන් දෙදෙනෙකි.


 එම සිව් දෙනාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා මාතර නගරයේ පෞද්ගලික රෝහලකට ඇතුළත්කර තිබුණි. අතීතයේ සිට ආගන්තුක සත්කාරයට මුල්තැන දී ක්‍රියා කරන ජාතියක් ලෙස සැලකෙන අපේ රටේ වැසියන්ගෙන් කිහිප දෙනෙකු එදින චීන ජාතික ඉංජිනේරුවන්ට සලකා තිබුණේ ශරීරය නිල් පැහැ ගැන්වෙන ආකාරයටය. ප්‍රහාරයෙන් බේරීම සඳහා චීන ජාතිකයින්ද ඔවුන්ට පහරදීමට උත්සාහ කර තිබුණි.


කෙසේ වෙතත් එහි ප්‍රතිඵලයක් ලෙස අපේ රටේ ජනතාව පාරට බැස මේ දිනවල සිදු කරනා අරගල ආකාරයටම වෘත්තීය ක්‍රියා මාර්ගයක් ගැනීමට මාතර බෙලිඅත්ත දුම්රිය මාර්ග ව්‍යපෘතියේ සියලුම චීන ජාතිකයින් තීරණය කර තිබේ. ඔවුහු ඊට පසු දිනම දුම්රිය මාර්ගය ඉදි කිරීමේ කටයුතුවලින් ඉවත් වූහ.
සවස 3.00 පමණ වනවිට සියලුම චීන ජාතිකයින් මාතර නගරයේ පිහිටි මාතර කතරගම නව දුම්රිය මාර්ග ව්‍යාපෘති කාර්යාලය ඉදිරිපිටට පැමිණ උද්ඝෝෂණය කරන්නට පටන් ගත්හ.


 තමන්ගේ ආරක්‍ෂාව තහවුරු කරන ලෙසත් ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙසත් ඔවුහු රජයට බලකර සිටියහ. අපේ රටේ ජනතාව සිදුකරන උද්ඝෝෂණ සාමන්‍ය දෙයක් බවට පත්ව තිබුණද චීන ජාතිකයින් අපේ රටේම හිඳගෙන උද්ඝෝෂණයක් කිරීම බොහෝ අයට නුහුරු නුපුරුදු අත්දැකීමක් විය. 


ඒ පිළිබඳව අදහස් දැක්වූ චයිනා රේල්වේ පෞද්ගලික සමාගමේ නිෂ්පාදන කළමනාකාර රංග බණ්ඩාර මහතා මෙසේ කීය.


‘මේ චීන ජාතිකයින් ඇවිත් ඉන්නේ අපේ රටේ සංවර්ධන ව්‍යාපෘතියක් වෙනුවෙන්. ඔවුන්ට අමානුෂික ලෙස පහරදීම ගැන ඔවුන් ඉන්නේ දැඩි සිත් වේදනාවකින්. තමන්ට ආරක්‍ෂාවක් නැත්නම් මේ ව්‍යාපෘතියේ වැඩ කරන්න බැහැ කියලා ඔවුන් කියනවා. මේක අපේ රටට ලොකු පාඩුවක් වගේම අවමානයක්.  සාකච්ඡා මාර්ගයෙන් මේකට විසඳුමක් ගන්නයි අපි උත්සාහ කරන්නේ.


 කෙසේ වෙතත් චීන ජාතිකයින් හා අදාළ බලධාරීන් අතර පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව ප්‍රහාරය සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කිරීමටත් ඔවුන්ගේ ආරක්‍ෂාව තහවුරු කිරීමටත් පොරොන්දු වීමෙන් පසු චීන ජාතිකයන් සිය වෘත්තිය අරගලය අත්හැර දැමීමට තීරණය කළහ.


ඒ සමඟම ක්‍රියාත්මක වූ ගන්දර පොලිසියේ ස්ථානාධිපති පී.එන්. පුෂ්පකුමාර මහතා ඇතුළු කණ්ඩායම අදාළ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් පස්දෙනාම සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. ඔවුන් මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත්කොට රිමාන්ඞ් භාරයට ද පත් කළේය.


ඒ අතර දුම්රිය මාර්ග ව්‍යාපෘතියේ වැඩ පරීක්‍ෂකවරයෙකුද විය. තම චීන ජාතික ප්‍රධානියා ඇතුළු පිරිසට පහරදීම එම සැකකරු විසින් මිතුරන් පිරිසක් යොදාගෙන සිදුකර තිබෙන බව පොලිස් පරීක්‍ෂණවලදී හෙළිවී ඇත. ඊට නිශ්චිත හේතුව මේ දක්වා අනාවරණය වී නොමැත.


 මේ අතර චීන ජාතිකයින් හා ගම්වාසීන් අතර පවතින ගැටුමේ ප්‍රතිඵලයක් ලෙස පසුගිය සතියේදී මාතර තිහගොඩ පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ඩී.ජී.එස්. සංජීව මහතාට තම ස්ථානාධිපති පුටුව අහිමි වීමටද හේතුවක් විය.


 සංජීව මහතා ගම්වාසීන් සමඟ දැඩි සහයෝගයකින් ක්‍රියා කළ දක්‍ෂ පොලිස් නිලධාරියෙකි. එහෙත් තිහගොඩ-කඩවැද්දුම ප්‍රදේශයේදී අධිවේගී මාර්ග  ව්‍යාපෘතියේ සේවය කරන චීන ජාතිකයින් පිරිසකට ගම්වාසීන්ගෙන් එල්ල වූ හිරිහැර සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමේදී ප්‍රමාදයක් සිදුව ඇති බව ඔහුට චෝදනා එල්ල විය.


 “චීන ජාතිකයින් පිරිසක් දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාට ඒ ගැන පැමිණිලි කිරීමත් සමඟ එය සාමාන්‍ය සිද්ධියක් විය නොහැකි බවට ඔහු අවබෝධ කර ගත්තේය. ක්‍රියා මාර්ගයක් නොගතහොත් ජාත්‍යන්තරය දක්වා යාහැකි සිද්ධියක් බවට තේරුම් ගත් ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා ඒ බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට දුරකථනයෙන් දැනුම් දී දැනුවත් කළේය.


 ඒ සමඟම තිහගොඩ පොලිසියේ ස්ථානාධිපති ඩී.ජී.එස්. සංජීව මහතා තංගල්ල නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට තාවකාලිකව ස්ථාන මාරු කරනු ලැබීය. තිහගොඩ පොලිසියේ වැඩ බලන ස්ථානාධිපතිවරයා ලෙස මාතර කොට්ඨාස බුද්ධි තොරතුරු ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක එච්.කේ. කමල් මහතා පත්කරන ලදී. 


පොලිස් පරීක්‍ෂක සංජීව මහතා යළි එම තනතුරට පත් කරන්නැයි ඉල්ලා තිහගොඩ පොලිස් වසමේ විහාරස්ථාන 28ක නායක හිමිවරුන් නීතිය හා සාමය දක්‍ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා හමුවී ඉල්ලීමක් කළ ද මේ වනතෙක් යහපත් ප්‍රතිචාරයක් ලැබී නොමැත. සාගල රත්නායක මහතා එම හිමිවරුන්ට දකුණු පළාත භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා සමඟ සාකච්ඡාවක් පැවැත්වීමට අවස්ථාව සලසා දුන්නේය.


 කෙසේ නමුදු අදවනවිට ඒ තරමටම දෙපාර්ශවය අතර හොඳ හිත පළුදුවී තිබේ. චීන ජාතිකයින් රාත්‍රී කාලයේ ගම්මාන තුළට ගොස් සුනඛයින්, ගැරඬින්, ඉබ්බන් ආදී සතුන් මස් පිණිස ආහාරයට ගැනීමට සොයන බව ගම්වාසීන් චෝදනා කරති. එමෙන්ම ඔවුන් රාත්‍රී වනතෙක් සින්දු කියමින් විනෝදවීම තමන්ට හිරිහැරයක් බවද ගම්වාසීහු පවසති.


එහෙත් චීන ජාතිකයින් ඒ සියලු චෝදනා ප්‍රතික්‍ෂේප කරයි. ඒ පිළිබඳව අදහස් දැක්වූ චයිනා රේල්වේ ඉංජිනියරින් සමාගමේ පිරිස් පාලන කළමනාකරු ලී ෂැශින්ග් මහතා මෙසේ කීය.


“ අපි හැමටම ගම්වාසීන් සමඟ සහයෝගයෙන් කටයුතු කරනවා. පාසල්  දරුවන්ට පොත්පත් ආදී උපකරණ ලක්‍ෂ ගණනින් පරිත්‍යාග කරනවා. ලංකාවේ නීතිය ගැන හැම චීන ජාතිකයෙකුම දැනුවත් කරලයි වැඩට යොදවා තිබෙන්නේ. අපේ සංස්කෘතික ආහාර පාන විදි ලබා ගන්නේ අපේ රට තුළදී විතරයි. මේ රටට ඇවිත් එවැනි දේවල් කරන්නේ නැහැ. ඒත් අපි ශ්‍රී ලංකාවේ සංස්කෘතියට ගරු කරනවා. අපි මේ රටට වගේම මිනිසුන්ටත් ආදරෙයි. හැම විටම ඔවුන් සමඟ එකතුවෙලා සුහදතාවයෙන් කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා.


  මෙම ව්‍යාපෘතීන් සඳහා නිසි ක්‍රමවේදයකින් තොරව සේවකයින් බඳවා ගැනීමද බොහෝ සිද්ධීන්වලට හේතුවී තිබේ. චීන ජාතික ප්‍රධානීන් සමඟ හිතවත්කමක් ඇතිකර ගෙන සිටින කිහිප දෙනෙකු ඔවුන්ගේ අවශ්‍යතාවය මත සේවකයින් බඳවා ගැනීම මෙන්ම වාහන කුලී පදනම මත ලබාගැනීම ද සිදුකරන බව කියති.


 එම කටයුතුවල විනිවිද භාවයක් නොමැතිවීම ද මෙම සිද්ධීන් ඇතිවීමට හේතුවී තිබේ. චීන ජාතිකයින් පිරිසක් ගමන් කරමින් සිටි වාහනයක් එනවිට ගසක් කපා දමා පාර අවහිර කර ඔවුන්ට පහරදීමේ සිද්ධියක් ද වාර්තාවී ඇත.


 තවද චීන ජාතිකයින් බොහෝ දෙනෙකුට කතා කළ හැක්කේ චීන භාෂාව පමණි. ඉතා සුළු පිරිසකට  පමණක් ඉංග්‍රීසි භාෂාව ද කතා කළ හැකිය. ගම්වල සිටින බොහෝ දෙනෙකු දන්නේ සිංහල පමණි. මේ නිසා දෙපාර්ශවය අතර භාෂා ප්‍රශ්නයක් තිබෙන බැවින් එකිනෙකා තේරුම් ගැනීමට නොහැකිවීම තුළින්ද ප්‍රශ්න නිර්මාණය වී තිබේ.


 කඩවැද්දුව පදිංචි හේමසිරි කොඩිතුවක්කු මහතා මෙසේ කීය.


“මාතර - හම්බන්තොට අධිවේගී මාර්ග ව්‍යාපෘතිය නිසා අද අපේ ගමේ පාරවල් හා බෝක්කු විනාශ වෙලා. මුලු ගමම දූවිල්ලෙන් වැහිලා. චීන සමාගමට ගිහින් කීවත් වැඩක් නැහැ. ටික දවසක් වතුර දමනවා. ඊට පසු නගර වෙනවා. රැකියාවලට බඳවා ගැනීමේදීවත් ඔවුන්ගේ නිසි ක්‍රමවේදයක් නැහැ. හිතෙන හිතෙන අය බඳවා ගන්නවා. ඒ නිසා ප්‍රශ්න මතුවෙනවා. ඒ හැර කියන්න වරදක් නැහැ.


මාතර කොකාවල චන්ද්‍රසේන මුණවීර (63) මහතා : 
“මේ සංවර්ධනය නිසා අද අපිට අපේ ගම්වල ඉන්න  බැරිවෙලා. මිනිස්සු නැතිව සංවර්ධනයක් කරලා වැඩක් නැහැ. කළු ගල් කොරි ගම හැම තැනම ඒවා නිසි ප්‍රමිතියකට නැහැ. රජයේ නිලධාරීන් ගල් කොරි අයිතිකරුවන්ට යටවෙලා. ඒ නිසා අපි දුක් විඳිනවා. චීනා කවදාවත් අපේ රටට ආදරේ නැහැ. උන්ට ඕනෑ අපේ සම්පත් ටික විනාශ කරලා කාලා දාන්න. මේක අපේ බලධාරීන්ට තේරෙන්නේ නැහැ. දැනටමත් ගමේ පවුල් ගණනාවක් ගෙවල් අතහැරලා ගිහින්. මේ කොන්ත්‍රාත්කාරයින්ටත් මිනිස්සු මැරුණත් කමක් නැහැ. චීනාගේ සල්ලි තමයි ලොකු”

 


“චයිනා රේල්වේ ඉංජිනියරින් සමාගමේ නිරාපද කළමනාකරු තුෂාර ගුණරත්න මහතා මෙසේ කීය.
චීන මුල්‍ය ප්‍රතිපාදන යටතෙයි මේ ව්‍යාපෘතිය සිදුකරන්නේ. ඒ සඳහා චීන ජාතික ශ්‍රමිකයන්ගේ මෙන්ම මෙරට ශ්‍රමිකයන්ගේ සහායත් ලබාගෙන තිබෙනවා. මේ සෑම කටයුත්තක්ම කරන්නේ ශ්‍රී ලංකා රජයේ අදාළ ආයතනවල බලධාරීන්ගේ අධීක්‍ෂණය යටතේයි. පාරවල් අබලන්වීම දූවිලි පැතිරීම ආදී පැමිණිලි ගණනාවක් අපිට ලැබී තිබෙනවා. අපි ඒවා අවම කර ගන්නයි උත්සාහ කරන්නේ. සංවර්ධනය සිදුවෙද්දී ඒවා සාමාන්‍ය දේවල්.


 ඒත් අපේ ව්‍යාපෘතිය නිසා අබලන්වෙන පාරවල් බෝක්කු සියල්ල නැවත සකස් කර දෙනවා. ඒ ගැන ප්‍රශ්නයක් ඇතිකරගත යුතු නැහැ. දැනට මේ අයගේ  ආරක්‍ෂාවත් තහවුරු කර තිබෙනවා.


 කෙසේ වෙතත් ශ්‍රී ලාංකීය ඉතිහාසය වෙනස් කිරීමටද අද වනවිට චීනා සමත්ව සිටී. ශ්‍රී ලංකාවේ දිගම දුම්රිය  උමං මාර්ගය ඔවුන් දැනටමත් මාතර කැකනදුර නාකුට්ටියගම ප්‍රදේශයේ ඉදිකර තිබේ. එහි දිග මීටර් 615කි. උමං මාර්ගය තැනීම සඳහා වසර දෙකහමාරක කාලයක් ගතවී ඇත.


උද්ගතව තිබෙන තත්ත්වය හමුවේ චීන ජාතිකයින්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාගේ උපදෙස් මත මාතර හා හම්බන්තොට දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සුමිත් එදිරිසිංහ සහ මාතර පොලිස් අධිකාරි ජී.එච්. මාරපන යන මහත්වරු විශේෂ ආරක්‍ෂක වැඩ පිළිවෙළක් සකස්කර තිබේ.


ඒ යටතේ චීන ජාතිකයින්ගේ වැඩ කරන ස්ථානවල පොලිස් ජංගම සංචාර පා මුර සංචාරක අධීක්‍ෂණ කටයුතු වැඩිකර ඇත.


කෙසේ නමුදු දකුණේ ගම්වැසියන්ට සංවර්ධනයේ අගය කියා දී ඔවුන් මුහුණදෙන දුෂ්කරතා සොයා බලා ඒවාට විසඳුම් දී චීන ජාතිකයින් සමඟ ඇති කරගෙන සිටින ගැටුම්කාරී තත්ත්වය සමථයකට පත් කිරීම සඳහා අදාළ බලධාරීන් ක්‍රියා කළ යුතුව තිබේ.

m



අදහස් (0)

අධිවේගී පාරේ හැප්පෙන චීන්නු සහ ගම්වැසියෝ

අජිත් Tuesday, 12 July 2016 02:30 PM

නිසි ක්‍රමවේදයක් නැතිකමේ ප්‍රතිපල තමයි. ගෝඨාට දුන්නනම් සියලුම ආරක්ෂාව සපයයි නියමෙට. එතකොට වැඩෙත් හොදට කෙරෙනවා හොද හිතත් තියෙනවා. (බ)

:       0       0

සුසිල් Wednesday, 13 July 2016 05:13 AM

චීනා කියන්නේ මහා පුදුම ජාතියක්. ඔය වැඩ බිම්වල ඉන්න ගොඩාක් චීන්නු එහෙ දීර්ඝකාලින සිරකරුවෝ. එහෙ තියාගන්න බැරිතරමට ඇට්ටර සිරකරුවෝ. මෙහෙ අාවහම ගමේ ඉන්න පූසෝ, බල්ලෝ, කුකුල්ලු විතරක් නොවෙයි හරක් පවා චීන්නු හොරකම් කරගෙන යනවා. බලු සුප් එකක් හදපු දවසට ඔක්කොම චීන්නු විතරක් නොවෙයි ඔවුන්ට පන්දම් අල්ලන අපේ සිංහලයොත් ඒ සුප් එක බොනවා. (නි)

:       0       0

පියදාස - හම්බන්තොට Wednesday, 13 July 2016 05:29 AM

සමහර චීන්නු හැන්දෑවට ගම්වල ඇවිදිනවා. අපේ කෙල්ලන්ට බැල්ම දානවා. හැබැයි මම දැන්මම කියලා තියෙන්නේ ගමේ ඔක්කොම කෙල්ලන්ට, එකෙක්හරි චීනෙක් එක්ක සම්බන්ධයක් ඇතිකර ගත්තොත් දෙන්නවම ගමෙන් ගහලා එළවනවා. (නි)

:       0       0

පද්මප්‍රිය Saturday, 16 July 2016 06:45 PM

මට පෙනෙන්නේ ලංකාව සංවර්ධනය කරනවා කියන්නේ ලාංකික හොරුන් බිහිකිරීමක් වගෙයි. මෙවන් දියුණුවක් ලංකාවටම පිළිකාවක් වගේය. මම දකින්නේ මෙය ලංකා ආණ්ඩුවේ වරදක් මිස චින්නුන්ගේ වරදක් ලෙස නොවේ. හේතුව ලංකා ආණ්ඩුව මේවා ගැන දැනගත යුතුය. (නි)

:       0       0

සංජය Wednesday, 13 July 2016 12:33 PM

චීන්නුන්ගේ කොලණියක් වෙයි අන්තිමට.(හේ)

:       0       0

දනුෂ්ක Wednesday, 13 July 2016 02:43 PM

අනේ මෙහෙමත් මානසික ලෙඩ්ඩු.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 1776 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 295 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 931 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 82 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 175 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 230 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38893 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25515 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 304 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1021 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 364 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site