නව රජය බලයට පත් කිරීමට ජනතාව සලකා බැලූ කරුණු අතර ප්‍රධානතම සාධකය ආර්ථික ගැටලුවය. ඕනෑම රජයක් පරාජයට පත්වන්නේ ද මේ ආර්ථික ගැටලුව මුල්කරගෙනය. ජනතාව අතර ද එදිනෙදා සාකච්ඡා වන ප්‍රධාන මාතෘකාව ද මේ ආර්ථික ප්‍රශ්නයමය.
එහෙත් කාගේත් අවධානයට යොමු නොවූ අත්‍යවශ්‍යම කලාපයක් වනුයේ අධ්‍යාපනයයි. හේතුව රටක අධ්‍යාපනය කඩා වැටීමෙන් අනෙකුත් සියල්ල ද දිගුකාලීනව කඩා වැටීම නොවැළැක්විය හැකිවීමය. එබැවින් අධ්‍යාපනය අමතක කර දමා ආර්ථික සංවර්ධනය ගැන පමණක් සිතීම මුළාවකි. මේ නිසා සියල්ලටම පෙර අධ්‍යාපනයට පූර්වතාවක් දිය යුතු තත්වයකි මේ වන විටත් උදාවෙමින් තිබෙන්නේ.
අධ්‍යාපන ක්ෂේත්‍රයේ සියලු අංශ අගමැතිනිය වෙත පවරා ගැනීමෙන්ම ප්‍රත්‍යක්ෂ වී ඇත්තේ රජය මේ පිළිබඳව බැරෑරුම් ලෙස සලකා ඇති බවය. එසේ ඇප කැපවීම අතිශයින්ම සාධනීය කරුණකි. මන්ද මීට පෙර අධ්‍යාපනය විවිධ ක්‍ෂේත්‍ර හරහා අමාත්‍යාංශ ගණනාවකට බෙදා දී තිබුණද කැපී පෙනෙන වෙනසක් සිදුකිරීමට සමත් නොවූ අතර ඒවා හුදෙක්ම අධ්‍යාපන ක්‍රමයේ ගැඹුරු වෙනසක් කිරීමට වඩා එදිනෙදා ප්‍රශ්න විසඳීමකට එහා වැඩපිළිවෙළක් තිබූ බවක් පෙනෙන්නට නොවීය. පසුගිය සමයේ අධ්‍යාපනයේ භෞතික සංවර්ධන කාර්යයේ දී කිසියම් මට්ටමක ප්‍රගතියක් පෙන්වුවද අධ්‍යාපන ක්‍රමයෙහි ප්‍රමිතියේ සැලකිය යුතු වෙනසක් කිරීමට අසමත්ව ඇත. විශේෂයෙන්ම අධ්‍යාපනය ලැබූවන්ට රැකියා නොමැතිවීම නිසා අපේක්‍ෂාභංගත්වයෙන් පිරි සමාජයක් එක් පැත්තකින් ද විනය රහිත සාරධර්මවලින් තොර නිස්සාර සමාජයක් දශක ගණනාවක් පුරා තවත් පැත්තකින් බිහිවීමෙන්ද කූටප්‍රාප්තියට පැමිණ ඇති බව පැහැදිලි කරුණකි.
රටකට අවශ්‍ය ප්‍රධානතම කාරණය රටට නිශ්චිත දැක්මක් තිබීමය. ඒ දැක්ම ළඟා කර ගැනීමට ඉලක්ක කරගත් සමාජයක් සකස් කළ යුතුය. එය රාජ්‍ය අධිකාරිත්වය මෙන්ම පෞද්ගලික අංශයද විය හැකිය. එම යාන්ත්‍රණය සඳහා රජය මැදිහත්වීමේ දී උක්ත ඉලක්ක සඳහා අමාත්‍යාංශ ද ඒ ඒ අමාත්‍යාංශවල ඉලක්ක සඳහා දෙපාර්තමේන්තු, ආයතන ද එකකට එකක් සම්බන්ධවීම වැදගත් වේ. එවිට රටේ කුඩාම ආයතන පවා රටේ පොදු ඉලක්කය සපුරා ගැනීමට නිතැතින්ම දායක වේ. මේ වනවිට අමාත්‍යාංශ එක්තරා මට්ටමකට විද්‍යාත්මක පදනමකින් බෙදා ඇති බව පෙනේ. රටේ සමස්ත සංවර්ධනය සඳහා මූලිකව සලකා බැලිය යුත්තේ එය කෘෂිකර්මයෙන්ද තාක්ෂණික අංශයෙන්ද, කාර්මික අංශයෙන්ද, දේශීය හෝ විදේශීය වෙළෙඳපොළට යොමුකරන සේවා අංශවලින්ද එසේ නැත්නම් මේ සියල්ලගෙන්මද, කවර ප්‍රතිශතවලින්ද යන්නයි.
අපගේ අධ්‍යාපනය සකස් විය යුත්තේ මේ ඉහත අංශවලින් ඉහළ ඵලදායකත්වයකින් යුත් නිර්මාණශීලී වගවිය හැකි මානව සම්පතක් නිර්මාණය කිරීමටය. එම නිසා මෙහි ඇති බැරෑරුම්කම අවතක්සේරු කළ නොහැකිය. මොන්ටිසෝරි සිට පාසල් මට්ටම්, කාර්මික විද්‍යාල, විශ්වවිද්‍යාල තාක්‍ෂණික ආයතන මේ රටේ ඕනෑවටත් වඩා ස්ථාපිත කර ඇත. ඊට අතිරේකව විවිධ මට්ටම්වල පෞද්ගලික අධ්‍යාපන ආයතන හතු පිපෙන්නාක් මෙන් බිහිවී ඇත. එම අංශවලින් සහතිකධාරීන් වාර්ෂිකව බිහිවුවද ඒවායේ ප්‍රමිතියේ ප්‍රමාණය පිළිබඳ නිසි තක්සේරුවක් නොමැතිවීමෙන් දිනෙන් දින රැකියා ඉල්ලමින් පාර දෙපස උද්ඝෝෂණ වැඩි වී ඇත. පෞද්ගලික ආයතන ද බොහෝ විට ධනය රැස් කිරීම විනා සමාජ වගකීම බරපතළ ලෙස ගණන් ගත් බවක් පෙනෙන්නට නොමැති තරම්ය. පාළු ගෙවල්වල දැනටමත් පිහිටුවා ඇති ඇතැම් ජාත්‍යන්තර විශ්ව විද්‍යාල හොඳ උදාහරණයකි.
අධ්‍යාපනයේ දැනට පවතින ගැටලුවක් නම් ඒවායේ ප්‍රමිතිය පිළිබඳ නියාමනයක් නොමැතිවීමය. එක්කෝ නියාමනය දී ඇත්තේද බොහෝවිට එම ආයතනවලටමය. ඇතැම් ආයතනවල ප්‍රමිතිය සොයා බැලීමට යොදා ගන්නා ප්‍රාමාණිකයන්ගේ කාර්යභාරය ද ඉතා දුක්ඛිත තත්වයක පත්වී ඇති බව පෙනේ. අධ්‍යාපනයේ දී වෙනත් රටවල දී නම් වැඩි බරක් දී ඇත්තේ පෙරපාසල් අධ්‍යාපනයටය. හේතුව දරුවා මුලින්ම අධ්‍යාපනය ස්පර්ශ කරන සහ එයින් නිර්මාණය කර ගන්නා ආකල්ප පෞරුෂයට බලපාන බැවිනි. අනික් අතට එය අනාගත ආයෝජනයක්ද වේ. එහෙත් අපේ රටේ ඉතා අසංවිධිතම අංශයත් පෙරපාසල් අධ්‍යාපනය ම ය. ඉන්පසුව එළඹෙන පාසල් අධ්‍යාපනය ද තවමත් යොමුවී ඇත්තේ වෛද්‍යවරයකු හෝ ඉංජිනේරුවකු වීමට මිස ඉන් එහා බරපතළ දැක්මක් නැත.
සෑම දරුවකුගේම හැකියා විවිධය. එහෙත් අප රටේ පවතින්නේ කැමති වුණත් නැතත් මේ ඉහත ඉලක්ක වෙත හඹා යාමය. මවුපියන් යොමු කරන්නේද මේ අංශවලටය. එහෙත් අන්තිමේදී ඉලක්කය සපුරා ගන්නේ ඉතාම අතළොස්සකි. එවිට එතෙක් රජයේ වියදම් ගඟට කැපු ඉනි මෙන් අපතේ ගොසිනි. අනෙක් අතට මේ ශිෂ්‍යයා දශක එක හමාරක් පමණ එකම එල්ලයක් සඳහා යොමුවීම නිසා වෙනත් ක්‍ෂේත්‍රයකට මනස සකස් කර ගැනීමටද අපහසුය. මේ නිසා ප්‍රාථමික ද්විතික පාසල් අවධියේ සිටම හැකියාවන් අඳුනාගෙන ඒ ඔස්සේ ගමන් කරවීමේ ක්‍රමවේදයක් ස්ථාපිත කරන්නේ නම් එය ශිෂ්‍යයාට ද නිකරුණේ කාලය කා දැමීමක් අවශ්‍ය නොවේ. එයින් රජයට ද අනවශ්‍ය වැය බරක් දැරීමට අවශ්‍ය නොවනු ඇත. දැනටමත් පහේ ශිෂ්‍යත්වය පිළිබඳ ගැඹුරින් රජය සිතන බවක් පෙනෙන්නට තිබෙන අතර එය සාධනීය කරුණක් වනු ඇත.
තාක්‍ෂණික ක්‍ෂේත්‍රය ද බරපතළ ලෙස නියාමනය කළ යුතු අංශයකි. බොහෝ තාක්‍ෂණික ආයතනවල ප්‍රමිතිය නියාමනය කිරීම දුර්වල මට්ටමක පවතින බව පෙනේ. එකම පාඨමාලාවේ ඇතැම් ආයතන ඉහළ ප්‍රගතියක් පෙන්නුම් කරයි. ඇතැම් ආයතනවල ප්‍රගතිය දුර්වලය. මේ නිසා එකම පාඨමාලා සඳහා පොදු ප්‍රශ්න පත්‍රයක් පිළියෙළ කිරීමෙන් මේ තත්වය එක්තරා දුරකට සමනය කරගත හැකිය. රජය මැදිහත්වී මෙවැනි තාක්‍ෂණික ක්‍ෂේත්‍රයේ විදේශ රැකියා ලබාගැනීම සඳහා වැඩපිළිවෙළක් සකස් කර ඔවුන් තෝරා ගැනීමට විදේශීය ප්‍රාමාණිකයන්ටම භාරදීමෙන් මෙවැනි නිද්‍රාශීලී ආයතනවලට වග උත්තර බැඳීමේ ක්‍රමවේදයකට යා යුතු කාලයකි දැන් පවතින්නේ.
විශ්වවිද්‍යාල අධ්‍යාපනය ද මීට වඩා නිර්මාණශීලී විය යුතුව ඇත. මේ නිසා හැටේ දශකයෙන් පසු බිහිවූ අතිබහුතරයක් විභාග සමත් සහතිකධාරීහු වෙති. සබුද්ධික නිර්මාණශීලී පිරිසක් වෙනුවට සහතිකයෙන් පරිබාහිර ඔවුන්ගේ වපසරිය ඉතාම සරල කාරණා වෙත පමණක් රාමුගත වී ඇත. විශේෂයෙන්ම ගෝලීය මට්ටමේ අවශ්‍යතා හඳුනාගත් හා රටේ සංවර්ධනයට ද ඍජුවම දායක විය හැකි පරිදි නිර්මාණශීලී සැලසුම්ගත පාඨමාලා මිස කිසිදු ශක්‍යතා අධ්‍යයනයකින් තොරව පාඨමාලා ආරම්භ කිරීම දැන්වත් නතර කළ යුතුය.
අනෙක් අතට ප්‍රධානම කාරණය නම් හරි හෝ වැරැදි අධ්‍යාපනයක් ලබාදුන්න ද මේ වන විට කූටප්‍රාප්තියට පැමිණ ඇති සදාචාර පරිහානියට උත්තර සෙවීමට කාලය එළඹ ඇත. උදේ සිට රාත්‍රිය තෙක් දිනපතා සිදුවන මානව ක්‍රියාකාරකම්වල තරම සමාජයෙන් මොනවට පැහැදිලි වේ. මේ නිසා අඩුම තරමින් අවම සදාචාරත්වයක් නඩත්තු කළ හැකි ආකල්ප පිළිබඳව නොසලකා කරන කුමන මට්ටමේ අධ්‍යාපනයකින්ද ප්‍රතිඵලයක් නැත. අවශ්‍ය වනුයේ වෘත්තිය දක්‍ෂතා ඇති සදාචාර සම්පන්න නිර්මාණශීලී වගවිය හැකි පිරිසක් සකස් කිරීමය.
තරාතිරම නොසලකා නීතිය දශමයට ක්‍රියාත්මක කර සදාචාර සම්පන්න විනයගරුක සමාජයකින් රට සංවර්ධනය කිරීමට රටේ බහුතරය කැමති නමුත් ඒ තමුන්ට හැර අනික් අය ලවාය යන ප්‍රශ්නය තමුන්ට එන විට වංගු දහ අටත් මදිය. ඕනෑම රජයක් බලයට පත්වී මාධ්‍යවල වහසි බස් දොඩන්නේ දේශපාලන බේදයකින් තොරව සමානව කටයුතු කරන බවය. එහෙත් ඔවුන් නොකරන්නේද එයමය. ලෝකයේ දියුණු රටවල නිරන්තරයෙන්ම අධ්‍යාපනය යථාවත් වුවද අපට තවමත් ඇත්තේ පිට්ටු බම්බු අධ්‍යාපන ක්‍රමයමය. මේ වන විට දිනපතා වැඩිවන අපරාධ රිය අනතුරු, වංචා දූෂණ මිනීමැරීම් අපේ අධ්‍යාපනයේ හොඳ ලිට්මස් පරික්‍ෂාවකි. පසුගිය දශකයේ දී ලෝකයේ මානව සම්පත සූදානම් කළේ විද්‍යාව, තාක්‍ෂණය, ඉංජිනේරු විද්‍යාව හා කළමනාකරණය මුසු කරගත් (STEM) අධ්‍යාපන ක්‍රමයයි.
මෑතකදී පළවූ සඟරාවක ප්‍රකාශ වූයේ 2025 පසු ලෝකයට මේ වන විටත් නිර්මාණය කර ඇත්තේ නිර්මාණශීලී බව සංකීර්ණ ගැටලු විසඳීමට ඇති හැකියාව හා විශ්ලේෂණාත්මක තීන්දු ගැනීමේ හැකියාව වැනි ප්‍රධාන කරුණු පදනම් කරගත් මානව සම්පතකි. විෂය ක්ෂේත්‍රය එයට අදාළ නැත. එසේ තිබියදී අපි තවමත් අඩ සියවසක පෙර තිබූ පරිදිම විද්‍යා කලා වාණිජ විෂය ධාරා පාඨමාලාවට දමා අඳුරේ අත පත ගාමින් සිටිමු. අනෙක් අතට ගුරු කේන්ද්‍රීය අධ්‍යාපනයෙන් තවමත් බැහැරවී නැත. ගුරුවරයකුගෙන් ප්‍රශ්න කිරීමට ක්‍රමවේදයක් තවමත් ශිෂ්‍යයාට නැත. ප්‍රධාන විභාගවල පිළිතුරු පත්‍රවල කොතරම් තර්කානුකූල පිළිතුරු සැපයුවද නිර්දේශිත පිළිතුරු නැත්නම් අසමත්ය. අන්තිමට අතිබහුතරයක් හිස් අතින් සමාජයට එක් වෙති. පසුව අපරාධවලට නිරායාසයෙන්ම ඇදී යන්නේ අපේක්‍ෂාභංගත්වයකට පත්වූ මෙවැනි පිරිසක්ය. නීතියට හසුවී දඬුවම් ලැබුණ පසු සමාජය විසින් ඔවුහු අපරාධකරුවන් ලෙස හංවඩු ගසනු ලබති. අන්තිමේදී සිදුවී ඇත්තේ විශාල වියදමක් දරා අපරාධකරුවන් නිර්මාණය කිරීමය. සමාජය උත්සහ කරන්නේද තමාගේ දරුවා කෙසේ හෝ තරගයට දමා දිනවීමය. අන්තිමට අතිබහුතරයක් අපේක්‍ෂා භංගත්වයට පත්වෙති.
තමුන්ගේ වූ පලියට අතට අහුවෙන ට්‍රෝජන් ප්‍රාමාණිකයන් මර්මස්ථානවල දඩිබිඩියේ ස්ථානගත කිරීමේ සාම්ප්‍රදායික ප්‍රතිපත්තිවලින් මේ දක්වා ජනතාව ඇති තරමට බැට කා ඇත. එබැවින් එයින් බැහැරව නිර්මාණශීලී අභියෝග භාරගත හැකි මෙන්ම වගවිය හැකි පිරිසක් රටේ සමස්ත ජාලයටම අන්තර්ග්‍රහණය කර ඉදිරි දශක කීපය පුරෝකතනය කළ හැකි පිරිසකට අධ්‍යාපන කාර්යය පැවරිය යුතුය. එසේ නොවුණහොත් ප්‍රජාතන්ත්‍රීය දේශපාලනය කෙරෙහි සමාජයේ ඇති අන්තිම අපේක්‍ෂාවද බිඳ වැටෙනු ඇත. ඉන්පසු ඉච්ඡාභංගත්වයට පත්වෙන සමාජයේ හැසිරීම පිළිබඳ පූර්ව නිශ්චය කිරීම පවා අසීරුය. අධ්‍යාපනඥයන් දාර්ශනිකයන් වියයුතු බවට සියවස් ගණනාවකට පෙර ප්ලේටෝගේ කියමන අදටත් නිශ්ප්‍රභා කිරීමට අපට තවමත් හැකිවී නැත. එබැවින් අනුන්ට අධ්‍යාපන සහතික ඇද්ද නැද්ද යන්නට වඩා තමන්ගේ දැනටමත් වලංගු සහතිකයේ ඇති අධ්‍යාපනය හා ප්‍රමිතිය සොයා බැලීමට පක්‍ෂ ප්‍රතිපක්‍ෂ සියලුදෙනාම උත්සුක වන්නේ නම් එය වඩාත් වැදගත් වනු ඇත. සියවසක අධ්‍යාපන ක්‍රමය තුළ සමාජය දැනුවත් කිරීමේ සාර්ථකත්වය කෙසේද යත් සුනාමියේ දී මුහුද හිස්වන විට මාළු ඇල්ලීමට පොර කෑ එකම රටේ අපේ අධ්‍යාපනය පිළිබඳ කවර කතාද? දේශපාලනඥයන් මෙන්ම සාමාන්‍ය සමාජයද බරපතළ ලෙස අධ්‍යාපනය ගැන සලකා බැලිය යුත්තේ එබැවිනි. අවාසනාවකට මේ දක්වා සිදු නොවුණේ ද එයයි.
(***)
වත්මන් ආණ්ඩුව බලයට පත්වී දින සියයක් ගතවී හමාරය. මේ කාලයේ ප්‍රගතිය පිළිබඳව විවිධ සාකච්ඡා මේ දිනවල මතු වෙමින් තිබේ. ඒවා අතරින් වැඩියෙන් තියෙන්නේ ආණ්ඩුව
2020 වසර වන විට සිමෙන්ති සංස්ථාවට ඉතිරිව තිබුණේ කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්ත ශාලාව පමණි. මීට අමතරව අරුවක්කාලුවල පිහිටි අක්කර 5000ක ඉඩම සහ කොල්ලුපිටියේ
නව රජය බලයට පත් කිරීමට ජනතාව සලකා බැලූ කරුණු අතර ප්‍රධානතම සාධකය ආර්ථික ගැටලුවය. ඕනෑම රජයක් පරාජයට පත්වන්නේ ද මේ ආර්ථික ගැටලුව මුල්කරගෙනය. ජනතාව අතර ද එ
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතාට එරෙහිව ජාතික ජන බලවේග රජය දෝෂාභියෝග යෝජනාවක් ගෙන ඒමට සුදානම් වන බව ලංකාදීප පුවත්පතේ
නුවරඑළිය තැපැල් කාර්යාලය තරම් කතාබහට ලක් වූ වෙනත් තැපැල් කාර්යාලයක් මෑත භාගයේ මෙරට නොතිබිණි. පසුගියදා අවසන් වූ ජනාධිපතිවරණයේ දී නුවරඑළිය දිස්ත්‍රික
රජයේ පාසල්වල ගුරුවරුන් විසින් තමන් උගන්වනු ලබන සිසුන් සඳහා මුදල් අයකර උපකාරක පන්ති පැවැත්වීම තහනම් කරමින් බස්නාහිර පළාත් සභාවේ අධ්‍යාපන අමාත්‍යාංශ
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
අධ්‍යාපනයට ප්‍රමිතියක් අවශ්‍ය ඇයි?