උද්ධමනය පිළිබඳ අපි බොහෝ කතා අසා ඇත්තෙමු. ආර්ථික විශ්ලේෂකයන් සහ දේශපාලකයෝ ආර්ථික උද්ධමනය පිළිබඳ බොහෝ තොරතුරු වරින්වර ප්‍රකාශ කරති. එහෙත් ආර්ථික උද්ධමනය යනු කුමක්දැයි ඇඟට දැනුණේ පසුගිය මාස කිහිපය තුළදීය. උද්ධමනයේ බරපතළ ප්‍රතිවිපාක සිරුරේ ඇට මිදුළු තුළටම කාවදින විට එහි ප්‍රතිවිපාකවලින් ගැලවීමට කිසිවකුටත් නොහැකිය. අද රට මුහුණදී සිටින ආර්ථික උද්ධමනයේ යථාර්ථය එයයි.
කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සිරිමල් අබේරත්න ප්‍රකාශ කරන්නේ ශ්‍රී ලංකාව දැන් අධි උද්ධමන රටක් හැටියට සැලකෙන බවය. පසුගිය 2021 වසරේ ජූනි මාසයේදී සියයට 5.2 ක් වූ උද්ධමනය 2022 ජූනි මාසය වනවිට සියයට 54.6 දක්වා වර්ධනය වීමෙන් රටට මේ අධි උද්ධමන තත්ත්වයට මුහුණ දීමට සිදුව තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාව දැන් ලොවේ ඉහළම උද්ධමන අනුපාතය සහිත රටවල් 10 අතරට වැටී තිබෙන අතර ආසියානු කලාපයේ අධිකම උද්ධමනය සහිත රට බවට පත්ව සිටී.
වසරක් ඇතුළතදී රටේ උද්ධමනය සියයට 50කින් ඉහළ යාමේ අර්ථය පසුගිය වසරේ මේ කාලය තුළදී ශ්‍රී ලාංකික පුරවැසියකු තම භාණ්ඩ හා සේවා සඳහා රුපියල් 25,000ක් වැය කළානම් එය මේ වනවිට රුපියල් 50,000ක් දක්වා දෙගුණයකින් වැඩිවී ඇති බවය. මේ කාලසීමාව තුළදී රුපියලේ අගයද හරි අඩකින් පහත වැටීම තත්ත්වය වඩාත් උග්‍ර තත්ත්වයට හරවා තිබේ. මුළු රටේම ජනතාවට අධි උද්ධමනයේ පීඩනය තදින්ම දැනෙන්නේ මේ පසුබිම යටතේය.
අපේ රටට මෙහෙම වුණේ ඇයි? රැකියාවෙන් හෝ කෘෂිකර්මාන්තයෙන් හෝ ස්වයං රැකියාවකින් ලබාගත්ත ආදායමට සරිලන සරල ජීවිතයක් තිබූ රටේ බහුතරයක් ජනතාව මේ වනවිට දකිමින් සිටින්නේ නපුරුම සිහිනයකි. රටේ ජනතාවගෙන් සුළු පිරිසක් අතට ලැබෙන මුදලට වඩා වියදම් කිරීමටත් නාස්තිකාර වියදම්වලට හුරුවී සිටියත් බහුතර ජනතාව එසේ නොවේ. ඔවුන් එදිනෙදා ගතකළ සරල ජීවන රටාව ඔවුන්ගෙන් උදුරාගත් රට පාලනය කළ දේශපාලන නායකයන් පිරිසකගේ තකතීරු තීන්දු තීරණ සහ රටේ අනාගතයට ගැළපෙන සැලසුම් හදනවාට වඩා ඊළඟ ඡන්දය දිනාගැනීමට අවශ්‍ය බොරු සෝබන සංවර්ධන වැඩ සහ සුබසාධන ආර්ථිකයකට ජනතාව හුරු කිරීම මේ විනාශයට පාර කැපුවේය. බොහොමයක් රටවල් ලොවේ පවතින ආර්ථික ප්‍රවණතා හඳුනා ගනිමින් ඒවාට අනුගත වෙද්දී ලංකාවේ නායකයන් වැඩි දෙනකු කළේ ජනතාව සුබසාධන රාජ්‍යයක සිහිනයේ රඳවා තැබීමය. රටට ඉසිලිය නොහැකි ආර්ථික බරක් සහිත පාඩු ලබන රාජ්‍ය ආයතන බිහිවීම එහි එක් ප්‍රතිඵලයකි.
දැන් මේ තත්ත්වය ආපසු හරවා ගැනීම පහසු නැත. ආපසු හැරෙන ගමනේදී ජනතාවට බොහෝ දුෂ්කරතාවලට මුහුණ දීමට සිදුවීම නියතයකි. මෙහිදී පාර්ලිමේන්තුව නියෝජනය කරන මැති ඇමැතිවරුන්ගේ කැපවීමද ඉහළින්ම අපේක්ෂා කෙරේ. එහෙත් තමන්ගේ වරප්‍රසාද සහ වරදාන කැප කරමින් එවැනි වෙහෙසක් දැරීමට බොහොමයක් මැති ඇමැතිවරුන්ගේ සූදානමක් තිබෙන බවක් පෙනෙන්නට නැත. තවමත් මේ වැඩි දෙනකු භාවිත කරන්නේ අධි සුඛෝපභෝගී වාහනය. යන්තම් හෝ බුරුලක් ලැබුණොත් සියලු සැප සම්පත් ලබා ගැනීමටත් විවිධ ‘ඩීල්’ හරහා අති විශාල ධනයක් උපයා ගැනීමටත් මේ අය කටයුතු කරනු ඇතැයි යන්න රටේ බහුතරයකගේ පිළිගැනීමය. මේ තත්ත්වය සැබෑ ලෙසම වෙනස් විය යුතු බවට නැගුණු හඬ අරගලයක් දක්වා වර්ධනය වී එම අරගලයට රටේ අති බහුතර ජනතාවකගේ සහාය ලැබුණේ මේ හේතුවෙනි. ඊළඟට බලයට පත්වන තාවකාලික රජය හෝ පවතින මේ ප්‍රවණතා හඳුනා ගනිමින් නිවැරදි තීරණ ගැනීමට ක්‍රියා කළ යුතුය. එසේ නොවීම මහා විනාශයකට මග පෑදීමක් වනු ඇත.
මේ රට ඉතිහාසයේ දරුණුම ආර්ථික අර්බුදයට මුහුණදී එහි ප්‍රතිඵලයක් වශයෙන් ලොවේ අධි උද්ධමනය සහිත රටවල් 10 අතරට වැටුණේ රටට ඩොලර් ගලා ඒම හොඳටම අඩුවීමත් එම තත්ත්වය නිසි පරිදි කළමනාකරණය කර ගැනීමට අපොහොසත් වීමත් හේතුවෙනි. මෙවැනි දැඩි අර්බුදයක සියලු පෙරනිමිති පහළ වෙද්දීත් රුපියල් බිලියන ගණන් වැයවන සංවර්ධන යෝජනා ක්‍රම අත්නොහැරීම ආර්ථිකය සැලසුම් කිරීමේදී ආණ්ඩුව දැක්වූ දුර්වල කළමනාකරණයට හොඳම උදාහරණයකි.
අඩුම තරමින් දැන්වත් නිසි ආර්ථික කළමනාකරණයකට සැලසුම් සකස් කිරීමට ප්‍රමුඛත්වය දිය යුතුය. ඒ වෙනුවට දැඩි මර්දනකාරී අණ පනත් හඳුන්වා දෙමින් ආර්ථික අර්බුදය හේතුවෙන් හටගත් ජන අරගලය මර්දනය කිරීමට ප්‍රමුඛත්වය ලබා දෙන්නේ නම් රටේ ඇතිවූ දේශපාලන වෙනසින් අපේක්ෂිත ප්‍රතිඵල ලබාගැනීම ඉතා දුෂ්කර වනු ඇත. අප කියන්නේ අරගලයට මුවාවී සිදුකරන ප්‍රචණ්ඩකාරී සහ කලහකාරී සිදුවීම් පාලනය කිරීමට නීතිමය ක්‍රියාමාර්ග නොගත යුතු බව නොවේ. එවැනි අරගලයක් ඇතිවීමට හේතු වූ මූලික කාරණා අමතක කර කටයුතු නොකළ යුතු බවය.
අධි උද්ධමන තත්ත්වයෙන් රට බේරාගත හැකිවන්නේ පවතින තත්ත්වය පිළිබඳ අවබෝධයකින් සියලු පක්ෂ එකතුවී හඳුන්වා දෙන සැබෑ ආර්ථික වැඩපිළිවෙළකින් පමණි. ඒ සඳහා සියලු දේශපාලන පක්ෂවල උපරිම කැපවීම අවශ්‍ය මොහොත උදාවී තිබේ. අවශ්‍යම පියවර අප්‍රමාදව නොගතහොත් දේශපාලනය කරන්නත් රටක් ඉතිරි නොවනු ඇත.
(***)
දිසානායක මුදියන්සේලාගේ රංබණ්ඩා සහ ඔහුගේ බිරිඳවන සීලවතීගේ දෙවැනි දරුවා ලෙස 1968 වසරේ නොවැම්බර් මස 24 වැනිදා ගලේවෙල මකුල්ගස්වෙල මාතෘ නිවාසයේදී ඔහු උපත ලැබ
2024 ජනාධිපතිවරණය ඉතාමත්ම උණුසුම් මෙන්ම තරගකාරීත්වය අතින් ඉහළම ජනාධිපතිවරණයක් වශයෙන් හඳුනාගත හැකිය. මෙකී ජනාධිපතිවරණයට පසුබිම සැකසෙන්නේ රට ආර්ථික වශ
මීට පෙර ලිපියක අප සඳහන් කළ ආකාරයට අද පැවැත්වෙන ශ්රී ලංකාවේ නව වැනි ජනාධිපතිවරණය මෙතෙක් පැවැත්වුණු ජනාධිපතිවරණ අටටම වඩා කරුණු ගණනාවකින් වෙනස්ය.
මාතලේ, නාලන්ද ගෙඩිගේ යනු මෙරට මධ්‍ය කේන්ද්‍රය ලෙස සලකනු ලබන ස්ථානයේ පිහිටි පෞරාණික මෙන්ම සුන්දර පරිසර පද්ධතියකින් හෙබි හරි අපූර්වතම ස්ථානකි. නාලන්ද
අඹගහපිටිය වලව්ව හෙවත් සහබන්ධු වලව්ව බලපිටිය මුදලි පෙළපතේ පැරැණිම වලව්වකි. විහාරස්ථානයට පූජා කළ ලංකාවේ මුල්ම වලව්ව ලෙස මෙය සැලකේ. උපසම්පදාව ජනසතු කරම
නීතියේ ආධිපත්‍යය යනු සියලුම පුද්ගලයන්, ආයතන සහ සංවිධාන නීතියට යටත් බවත් එහි නිර්දේශවලට වගකිව යුතු බවත් සහතික කරන මූලික මූලධර්මයකි. එසේම රටක් පාලනය ව
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
අධි උද්ධමනයට සැබෑ විසඳුම් ඕනෑ