හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන අධිකාරියෙහි හිටපු අධ්යක්ෂ ජෙනරාල් අනුෂ පැල්පිට යන දෙදෙනාට ජනාධිපති මැතිවරණ සමයෙහි සිල් රෙදි බෙදාදීම සඳහා රජයේ මුදල් යෙදවීම සම්බන්ධයෙන් මහාධිකරණය දුන් තීන්දුව තවමත් රටතොට කතාබහින් බැහැර ව නැත. දෙදෙනාටම වසර තුනක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් සහ මිලියන දෙකක දඩයක් නියම වීය. ඊට අමතරව රජයට රුපියල් මිලියන 600ක පාඩුව වෙනුවෙන් රුපියල් මිලියන 100 බැගින් ගෙවන්නට ද නියම කැරිණි.
මෙවන් වරදකට එවන් රජයේ උසස් නිලදරුවනට මින් පෙර දඬුවම් පමුණුවා නැත. එහෙයින් කාගේත් අවධානය ඒ දෙස යොමු වීම ස්වාභාවික ය. වඩා වැදගත් වන්නේ මෙම පුද්ගලයන් දෙදෙනාට අත් වූ ඉරණමට වඩා මෙම නඩු තීන්දුවෙන් සමාජයට සහ විශේෂයෙන් ම රජයේ සේවකයන්ට දෙන පණිවිඩය යි.
මෙම තීන්දුව මඟින් එක් කරුණක් අප අවධානයට ලක් කැරැ ඇත. එනම් පසු ගිය දශක ගණනාවක් පැවැති දේශපාලන සංස්කෘතිය සහ භාවිතය නීතියට පටහැනි පමණක් නොව සදාචාරය අතින් ද වැරැදිසහගත බව ය. කවුරුත් දන්නා පරිදි එකල රජයෙහි සේවකයෝ දේශපාලකයන් ගේ සුවච කීකරු ගෝලයන් ව ඔවුන් සතුටු කරවන්නට පරිපාලන නීතිරීති පවා උල්ලංඝනය කළහ. අල්ලස, දුෂණය සහ වංචාව රජ කෙළේ එහෙයිනි. නඩු තීන්දුව කියා දුන් පාඩම වන්නේ ‘‘ඉහළින් ආ අණක්’’ කියා රජයේ සේවකයනට වරදෙන් ගැලැවිය නොහැකි බවය. රටෙහි සහ රාජ්‍ය පරිපාලනයෙහි නීතිරීති සුරැකීමත් ඒ අනුව කටයුතු කිරීමත් ඔවුන් ගේ වගකීම හෙයිනි. ඔවුන් එසේ නොකරන කල ජනතාව මුහුණ දෙන්නේ ‘‘වැටත් නියරත් ගොයම් කා’’ ඇති තත්ත්වයකට ය. දේශපාලනඥයෝ කපටි හෙයින් ලිඛිත නියෝග නොදෙත්. රජයේ සේවකයා වරදෙහි බැඳෙන්නේ එම නියෝග නීතියට පටහැනි වුව ක්‍රියාවට නැඟීමෙහි දීය.
මෙම නඩු තීන්දුව රාජ්‍ය සේවාවට යහපත් බලපෑමක් ඇති කරනු නියතය. නීතිගරුක නිලදරුවනට එයින් නව ශක්තියක් සහ විශ්වාසයක් සැපැයෙනු ඇත. එහෙයින් නීති විරෝධී ‘‘ඉහළ අණ’’ නොතැකීමට ඔවුන් පෙළැඹෙනු ඇත. අධිකරණ නියෝගය නොතකා දේශපාලකයන් නීතිියට පටහැනි ‘‘නියෝග’’ ඉදිරියටත් දෙන්නට ඉඩ ඇත. එහෙයින් රාජ්‍ය සේවාව පිරිසුදු කිරීමට ප්‍රබල ජනමතයක් ගොඩනැඟිය යුතු වෙයි. නඩු තීන්දුව ඒ සඳහා හොඳ ආරම්භක ලක්ෂ්‍යයකි.
එහෙත් නඩු තීන්දුවට අකැමැති මැති ඇමැත්තෝ රජය තුළද වෙත්. ඇතැම් ආණ්ඩු පක්ෂ මහ ඇමැතියෝද එම මතය ම දරත්. ඔවුන් පවසන්නේ නඩු තීන්දුවෙන් රජයේ සේවකයන් අධෛර්යයට පත්ව රාජ්‍ය සේවාව අකර්මණ්‍ය වනු ඇති බවෙකි. වෙනත් වචනවලින් කිව හොත් එයින් කියැවෙන්නේ නීතිගරුක වුව හොත් රාජ්‍ය සේවය අඩපණ වනු ඇති බවෙකි. මෙය අවනීතියට අත වැනීමක් නොවේ ද?
සියල්ලෝම සතුටට පත්ව නැත්තාහ. ඒකාබද්ධ විපක්ෂය සහ එහි නඬේ ගුරු අසතුටු පිරිසෙහි පෙරමුණෙහිම වෙත්. දඬුවම් ලද දෙදෙනා කිසිදු වරදක් නොකළැයි ඔවුහු කියත්. අපේ කුරුණෑගල දිසා මන්ත්‍රීවරයා වහසි බසින් කියන්නේ තමා ජනාධිපති ලෙස කී දෙයක් නීත්‍යනුකූල නියෝගයක් බවය. එය ලිඛිතව දිය යුතු නැතැයි ඔහු තර්ක නඟයි. ලිඛිත භාෂාවට පෙර පැවැති ගෝත්‍රික යුගයට මෙරට ගෙන යන්නට ඔහු තැත් කරන්නේ ද? අපේම ඉතිහාසය හෝ ශිෂ්ට ජාතීන් ගේ භාවිත ඔහු නොදන්නේ ද? පෙර දින අපේ රජවරු ශිලා ලිපිවල නියෝග සටහන් නොකළෝ ද?
ඒකාබද්ධ විපක්ෂය නඩු තීන්දුව පිළිගන්නේ නැත. ඔවුන් එය දකින්නේ විදේශීය බලවේග සහ රාජ්‍ය නොවන සංවිධාන එක්ව අප රට ස්වෛරීත්වය නැති කරන්නට කළ කුමන්ත්‍රණයක් ලෙසය. එසේ කිරීමට නම් මෙරට නීතිය විදේශීය නිෂ්පාදිතයක් විය යුතුය. ඔවුන් කියන්නේ අපේ අධිකරණය විදේශ බලවේගවලට සේවා කරන බවද? ඔවුන් නඩු තීන්දුව පට්ටා ගසනු පමණක් නොව ඊට අධිකරණය අවමානයට ලක්කිරීම හෝ විධායකය සහ අධිකරණය අතර භේදයක් ඇති එරෙහිව ජනතාව පෙළ ගස්වති. යමෙකු නඩු තීන්දුවට පක්ෂ හෝ විපක්ෂ විය හැකිය. එය ඔවුන්ගේ නිදහසකි. එහෙත් විධායකය සහ අධිකරණය අතර භේදයක් ඇති කිරීම යනු රට අස්ථාවර කිරීමෙහි මාවතකි.
හිටපු ජනාධිපති කියන්නේ සිල් රෙදි බෙදන්නට තීරණය කෙළේ මැතිවරණයට පෙර මාර්තුවෙහි නිසා එය නීත්‍යනුකූල බවය. තීරණය කලින් ගත්ත ද මැතිවරණ සමයෙහි සිල් රෙදි බෙදීම අල්ලසකි. එය ප්‍රතිවාදියාට අවාසිදායක ක්‍රියාවකි. එහෙයින් වරදකි. හැරත් විදුලි සංදේශ නියාමන අධිකාරයෙහි මුදල් ඒ සඳහා යෙදවීම වරදකි. ඔහු සැබැවින්ම කරන්නේ ජනතාව මුළා කිරීමකි. එයින් ද නතර නොවන ඔහු හඟවන්නේ සිල් රෙද්දක් වත් බෙදන්නට ආණ්ඩුව විරුද්ධ වන බවත් එය බුද්ධාගමට කරන හතුරුකමක් බවත්ය. බුද්ධාගම උගන්වන්නේ නීතිය කඩන්න ද?
ආගම සහ රාජ්‍ය පාලනය පටලවා ගැනීම ඔහුගේ මෙන්ම තවත් බොහෝ දේශපාලකයන් ගේ සිරිතක්ව තිබේ. ඒ අතර ඇතැම් භික්ෂූන් වහන්සේලා ද එම මතයම දරති. කවුරුන් කළත් එය මුසාවකි. පිඩු සිඟා වැඞීම මුදල් සිඟා වැඞීමට පරිවර්තනය කොතෙක් විනයානුකූලදැයි උගත් සිල්වත් යතිවරයාණන් විසින් පැහැදිලි කිරීම යෙහෙකි. පසුගිය දා හිටපු ජනාධිපතිවරයා මාධ්‍ය ඉදිරියේ අභීතව ප්‍රකාශ කෙළේ සිල් රෙදි බෙදීමෙහි වගකීම තමා භාරගන්නා බවත් වැරදිකරුවන් වූ දෙදෙනා අහිංසකයන් බවත්ය. එසේ නම් නඩු විභාගයට මැදිහත්ව අධිකරණයට නොගොස් සිය ශ්‍රී මුඛය වසා සිටියේ මන් ද?
රාජපක්ෂ පාලනය උසස් රාජ්‍ය නිලධාරීන් දේශපාලන කටයුතු සඳහා යොදා ගත්තේය. එපමණින් නොනැවැතී ඇතැම් ක්ෂේත්‍ර නිලධාරීන් දේශපාලන සහ විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලන වැඩවලට මහා පරිමාණයෙන් යොදා ගත්හ. ඒ ආකාරයෙන් රාජ්‍ය සේවාව විනාශ කිරීමට ඔහු බොහෝ දේ කෙළේය. ප්‍රථම වරට උසස් රාජ්‍ය නිලධාරියකු දේශපාලනයට ප්‍රසිද්ධියේ ගෙන එන ලද්දේ නියෝජ්‍ය පොලිස්පති කොටකදෙනිය මහතාට විද්‍යුත් මාධ්‍ය ඔස්සේ දේශපාලන ප්‍රකාශයක් කරන්නට අවසර දීමෙනි. ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ද ප්‍රසිද්ධියේ දේශපාලන කටයුතුවල නිරත වීය. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව හමුදාපති සරත් ෆොන්සේකා ද ඒ සඳහා යොදා ගත් අතර හතුරකු ලෙස ඔහු ‘‘මාලිගාව’’ විසින් හංවඩු ගසන ලද්දේ පසුවය. ප්‍රකට පරිදි ඊට හේතු වූයේ ඔහු ජනාධිපතිවරණයට තරග කිරීමට නීත්‍යනුකූලව තීරණය කිරීම සමඟය.
ඒකාබද්ධ විපක්ෂය පමණක් නොව ආණ්ඩුවෙහි මැති ඇමැත්තන් ඇතුළු වෙනත් උදවිය ද වරදකරුවන් දෙදෙනා ‘‘සොරකම්’’ නොකළ බව පුන පුනා කියමින් ඔවුන් සුදනන් කරන්නටත් අධිකරණ තීන්දුව වැරැදියැයි මතයක් ඇති කරන්නටත් වෙහෙසෙත්. ඔවුන්ට දඬුවම් දී ඇත්තේ සොරකමකට නොව රජයේ මුදල් අවභාවිතය නිසා සහ මැතිවරණ නීතිය උල්ලංඝනය කිරීම නිසා ය. රජයේ ඉහළතම නිලධාරියා වූ ලලිත් වීරතුංග මහතා ඒ බව නොදැන සිටි බව ඇදහිය නොහැකිය. නොදත්තා වුව නීතියෙන් ගැලැවීමක් නැත්තේ නීතිය නොදැනීම නිදහසට කරුණක් නොවන හෙයිනි. අනෙක් තැනැත්තා ද ඒ බව දැන සිටිය යුතු ඉහළ නිල දරුවෙකි.
කවුරුන් කුමක් කීවද මහාධිකරණ තීන්දුව යහපාලනය තහවුරු කරන සහ අධිකරණයෙහි කීර්ති නාමය ඉහළට ඔසොවා තබන වැදගත් ඓතිහාසික විනිශ්චයකි. එය මතුවටත් අනු යා හැකි පූර්වාදර්ශයකි. අධිකරණ ක්‍රියාවලියට මැදිහත් නොවීමෙන් ආණ්ඩුවද වැදගත් ආදර්ශයක් සපයා ඇත. මෙම නඩු තීන්දුවෙන් නිමා වූ දීර්ඝ සහ වෙහෙසකර විමර්ශන සහ අධිකරණ ක්‍රියාවලිය මෙහෙය වූ නීතිය බලාත්මක කිරීමෙහි ආයතන නිලධාරීන්ට ජනතාවගේ ප්‍රණාමය හිමි විය යුතු ය. මෑත කාලයෙහි බොහෝ ගැරැවුම් ඇනුම් බැණුම්වලට මුහුණ දුන් නීතිපති දෙපාර්තමේන්තුවට ද සිය කාර්යය ගැන තෘප්තිමත් විය හැකි ය.
ජයතිලක ද සිල්වා
පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවය කරන විශ්‍රාම වැටුප් ක්‍රමයකට හිමිකම් නොමැති සේවක පිරිස් සඳහා අනිවාර්ය විශ්‍රාම දායක මුදල් ක්‍රමයක් ලෙස 1958 අංක 15 දරන
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අනාගතයට ආදර්ශයක්
Deepal Nisosh Thursday, 21 September 2017 07:21 AM
මේ සාධාරණ තීන්දුවෙන් කවුරු පීඩාවට පත් වුණත් සමස්ත රාජ්‍ය සේවයේ උන්නතියට මෙන්ම රාජ්‍ය සේවකයාගේ රාජකාරි නිදහසටත් ඉතා බලාත්මක වන්නා වූ තීන්දුවක්.
Ajith NissankaSaturday, 23 September 2017 09:34 PM
ඔය මේ රාජ්‍ය සේවකයාගේ රාජකාරි නිදහස කියල කියන්නේ රජයේ සේවකයන් දෙසපාලුවන්ට ඔලුව නවලා ඔවුන්ගේ අවශ්‍යතා ඉටු කරන්න තියන නිදහසටද? මොකද ඔය තීන්දුව දීල තියෙන්නේ දෙසපාලුවන්ගේ අණ ඉටු කරන්න ගිහිල්ල මිස රජයේ සේවකයන් තමන්ට නිදහසේ තීරණ ගත්ත නිසා නොවේ!
sam Thursday, 21 September 2017 07:46 AM
ඉහත ලිපිය පක්ෂ, පාට වලින් තොරව ඇත්ත තත්වය පහදා දෙන්නක්. පසුගිය රජය කිසිදිනක පරාජය නොවී බලයේ ඉන්න හිතාගෙන සියලුම කටයුතු සිදු කළා. ඒ කාලේ හිටපු රාජ්‍ය සේවකයන්ටත් ඒ මානසිකත්වය ඇති කළා. ඒ විතරක් නොවේ. මොන වැරදි කරලා අහු වුණත් ආණ්ඩුවට කඩේ යන්න ලැහැස්ති නම්, මහාධිකරණ තීන්දුත් ආපසු හරවා වැරදිකරුවන් නිදොස් කොට නිදහස් කළා. හොඳම උදාහරණය ලෙස ඒ නඩු තීන්දුව දැක්විය හැකියි. අපේ රටේ දැන් තියෙන තත්වයත් සතුටුදායක නැහැ. නමුත් වැරදි කළවුන්ට අඩුම ගානේ උසාවි යන්නවත් සිදු වීම හොඳ ආරම්භයක්...
Senarath Thursday, 21 September 2017 08:47 AM
මේ මිනිස්සු හොරු නෙමෙයි. නියම හොරු ඉන්නේ දැන් ආණ්ඩුව ඇතුළේ...
daham Thursday, 21 September 2017 09:27 AM
මේකෙන් පක්ෂ, පාට මාරු කරන වාසි අතට හෝයියා කියලා බඩ වඩා ගන්න කෙනෙක්. ගාණක් අතට ගන්න ලියනවා. මෙයා මහින්දගේ කාලේ ලේක් හවුස් එකට පත්වෙලා හිටියා නේද? අභියාචනයේදී මේ නිලධාරින් දෙදෙනා නිදහස් වෙනවා. පාස්කරලිංගම් මහා භාණ්ඩාගාරයෙන් කෝටි ගාණක චෙක් ලියාගෙන කොටින්ට දුන්න ඒ කාලේ. එයා දැන් අගමැති ළඟ යහමින් වැජඹෙනවා. ජයතිලක උන්නැහේ, ලියන්නකෝ ඒ ගැන මොනවා හරි....
ROHAN Thursday, 21 September 2017 10:32 AM
ඔව් අලිබබා සහ හොරු කවුද කියලා මහජනයා දන්නවා.. වංගෙඩියයි මෝල්ගහයි .. මිනීමැරුමකට වැරදිකරු වී හිරේට ගිය රටක් මේක...
sensa Friday, 22 September 2017 03:09 AM
ඇතැම් හාමුදුරුවරු බෞද්ධ ආගමට අගෞරව වන ආකාරයට හැසිරෙනවා. මහා වංචාවක් පියවන්න පිඩුසිඟා වඩින තරමට ඔවුන්ගේ අරමුණු වෙනස් වෙලා.....දේශපාලඥයන්ගේ උප්පරවැට්ටි වලට අහුවෙන්න හොද නෑ හාමුදුරුවනේ. වටිනා කියන සංඝරත්නයට ලංකාවේ මින්ස්සු ගරුකරනවා හාමුදුරුවනේ.
athula Friday, 22 September 2017 03:18 AM
මේවා වසර 69 ක කරපු විහිලු රටේ දුප්පතාට පමණක් දඩුවම් කරන තවත් එක ජවනිකාවක්. රුපියල් 20 ක් හොරකම් කරපු එකා අවුරුදු 10 කට හිරේ කෝටි 60 ක් විනාශ කරපු හොරකම් කරපු අය එළියේ... දෙපැත්තට බෙදිලා දෙගොල්ලගෙම හොරකම් ජනතාව ඉදිරියේ වෙන්දේසි කරලා දෙගොල්ලම මාරුවෙන් මාරුවට බෙර ගන්නවා අරක් ශා කර ගන්නවා
shan saudi Friday, 22 September 2017 08:37 AM
රටටම ආදර්ශමත් විය යුතු සංඝරත්නය විසින් මහ දවල් එළිපිට කොල්ල කෑම.... බුදුන් වැඩ උන්නම උන් වහන්සේ මොනවා කර ගනීද කියන්න බෑ.......
rohan Saturday, 23 September 2017 04:28 PM
රාජ්‍ය සේවකයෝ නෙමෙයි කම්බා හොරු.