IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


අනාගතය වරදින්නට පෙර පාඩමක්

ශ්‍රී ලංකාව බරපතළ ආර්ථික ඛේදවාචකයකට මුහුණ දෙමින් සිටින බවට කනස්සල්ල පළ කරමින් පසුගිය දිනවල විවිධ මාධ්‍ය වාර්තා පළවූයේය. එය එසේ වීමට හේතු වූ මූලික කාරණා මෙම ලිපියෙන් විග්‍රහ කෙරේ.

අප ආර්ථික දියුණුව ළඟා කරගන්නේ කෙසේද? මේ සඳහා පිළිතුරු දීමට අප එසේ කරනුයේ ඇයි, කුමකටද, කවුරු විසින්ද, කෙසේද යන්නට පිළිතුරු සොයාගත යුතුය.

 බොහෝ අය නිතරම ඇයි සහ කුමකටද යන ප්‍රශ්න පිළිබඳ සාකච්ඡා කරති. ඇයි යන්න සාකච්ඡා කරනුයේ එදිනෙදා ජීවිතයට අවශ්‍ය සීමිත සම්පත් වර්ධනය කරමින් මතු පරපුරට ඒවා සුරැකිව භාවිතයට ගැනීම උදෙසා යයි මම විශ්වාස කරමි. ඒ සඳහා අප භාණ්ඩ හා සේවා, රැකී රක්ෂා යන විවේකී කාර්යයන් වැඩි දියුණු කළ යුතුය.

කුමකටද යන්න පිළිතුරු නම්, අවසාන අරමුණ ජයගැනීම උදෙසා අදාළ ප්‍රතිපත්ති සහ සැලසුම් ඔස්සේ ප්‍රමුඛතාවලට හා ඉලක්කවලට ළඟාවීම සඳහාය යන්නය. මෙකී ඇයි සහ කුමකටද යන ප්‍රශ්න හැර මෙම ලිපියෙන් ශ්‍රී ලංකාව තුළ වඩාත් අඩුවෙන් සාකච්ඡාවට ලක්වූ කවුරු? කෙසේද? යන ප්‍රශ්න කෙරේ අවධානය යොමු කෙරේ.

කවුරු?

ඇයි සහ කුමකටද යන ගැටලුවලට විසඳුම් සෙවීම සඳහා වෙහෙසෙන නිපුණ වෘත්තිකයන් පිරිසකගේ සහයෝගයෙන් නායකත්වය දැරිය හැකි අයකු, කවුරු යන්නට පිළිතුරු සෙවීමේදී අවශ්‍ය වේ. ඉන් පසු එම විසඳුම් ක්‍රියාත්මක කිරීම, පසු විපරම් කිරීම, ඇගයුම් කිරීම සහ තවදුරටත් ඒ සම්බන්ධයෙන් ක්‍රියා කිරීම එම තැනැත්තා කළ යුතු වේ. මෙම නිසා ආර්ථික වර්ධනය නායකත්ව හැකියාවෙන් වෙන් කළ නොහැකිය.

දක්ෂ නායකයෝ විකල්ප තෝරා දැඩි තීරණය ගනිති. අනාගතයේ වාසි අත්විඳගනු පිණිස අසීරුතාවලට මුහුණ දිය යුතු බව ඔවුහු ජනතාවට ඒත්තු ගන්වති. අවංකව හා විචක්ෂණ බුද්ධියෙන් යුතුව ඔවුහු ප්‍රවීණ වෘත්තිකයන්ගේ උපදෙස් තෝරා බේරා ගනිති. වැඩදායී සාධාරණ විවේචන ඔවුහු පිළිගනිති. තමන් වෙත ලැබෙන විචාරාත්මක තොරතුරු ඔවුහු අධ්‍යයනය කරති. තොරතුරුවලින් සන්නද්ධව ඔවුහු තීරණ ගනිති. ඔවුහු ක්‍රියාත්මක කිරීමේ කාර්ය පද්ධතිය ශක්තිමත් කරති. ඒවා ක්‍රියාත්මක කොට ඒවා ඇගයුම් කරති. ඇගයුම් කරන ලද ප්‍රතිඵල අනුව නැවත ක්‍රියාකාරී වෙති.

මෙම කාරණා සිත්හි තබාගෙන අපි අද දවසේ ශ්‍රී ලංකාවේ නායකත්වය උදාහරණ කිහිපයක් සමග ඇගයුම් කරමු.

 

නොදැනුවත්කම සහ වගකීමෙන් තොර බව

2015 පටන් ආණ්ඩු දෙකක් යටතේ පැවති පාර්ලිමේන්තු අධීක්ෂණ කමිටුවල රැස්වීම්වලදී සිදුවූ දේ මම අත්විඳ ඇත්තෙමි. ඒවායේ බොහෝ සාමාජිකයන් රැස්වීම්වලට පැමිණියේ නැත. පැමිණි සිටි වැඩි දෙනා අදාළ විෂය ගැන දැනුවත් නැත. දැනුමැති සාමාජිකයන්ට වඩා සිටියේ නොදැනුවත් අයයි. රැස්වීමේදී අදාළ පනත සමච්චලයට ලක්විය.

 

උපදේශකවරුන් පිළිබඳ දුර්වල තීන්දු

විශිෂ්ට රාජ්‍ය නිලධාරීන් කිහිප දෙනකු අපට හිමිය. එහෙත් අපගේ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් තම දේශපාලන නායකයන්ගේ නොදැනුවත්කමේ ගොදුරු බවට පත්වනු මම දැක ඇත්තෙමි. රටට මහත් වියදමක් වැයවෙන වාසිදායක තනතුරු ඔවුහු හොබවති. එහෙත් අපගේ නායකයන් තෝරා ගන්නේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ අවංකබව හා දක්ෂතාව අභිබවා ගිය පක්ෂපාතී භාවයයි.

 

ප්‍රමුඛතා සහ සැලසුම් නොමැතිකම

රජය බලයට පැමිණි සැනෙකින්ම ඔවුහු 20 වැනි සංශෝධනය සම්මත කර ගත්හ. ක්‍රියාකාරී වන්නට අවශ්‍ය සියලු බලතල එයින් ඔවුනට ලැබිණි. කෙසේ වුවද හඳුනාගත් යම් ප්‍රමුඛතා ඇති බවක් හෝ අපගේ ආර්ථික අභියෝගවලට මුහුණ දෙනු පිණිස කිසියම් සැලැස්මක් ඇති බවක් නොපෙනේ. උදාහරණ ලෙස, බදු - ඔවුහු අපේක්ෂිත ප්‍රතිඵල නොලැබෙන බදු ප්‍රතිපත්ති හඳුන්වා දුන්හ.

(උදා:- උපයනවිට ගෙවීමේ සහ WHT බදු) ඒවා සම්බන්ධයෙන් ජනතා ඉල්ලීමක් හෝ ඒවා සම්බන්ධයෙන් විරෝධයක් ද නොතිබිණි. බදු අඩු කළ විට රජයේ ආදායම් බිඳ වැටුණේය.

සෞඛ්‍ය - අත්දැකීම් ලත් මහජන සෞඛ්‍ය නිලධාරීන් නොව කොරෝනා මර්දන වැඩසටහනට නායකත්වය දෙන්නේ හමුදාවේ අයෙකි. දිනෙන් දින ඉහළ යන මරණ සංඛ්‍යාව දෙස අපි බලා සිටිමු. තැනින් තැන එහෙන් මෙහෙන් එන්නත්කරණය සිදුවන අතර එන්නත්කරණ සැලසුමක් නැත.

කළමනාකරණ අර්බුද - නාවික හා මුහුදු ආශ්‍රිත ව්‍යසන අවම කිරීමේ දේශීය විශේෂඥ දැනුම තිබියදී ගිනි ඇවිළුණු නැවක් අපගේ මුහුදු සීමාව පුරා විෂ රසායනික ද්‍රව්‍ය හලා ගියේය.

වෙළඳ කටයුතු - අක්‍රමවත් ලෙස හා අහඹු ලෙස ක්‍රියාත්මක වන ව්‍යාපාර අදහස්ය. ඒවා කෙතරම් විකාර සහගත වුවත් නායකත්වයට කන් යොමාගෙන ඉන්නා අභ්‍යන්තර කවයක අය ඒවා කන වැකුණු සැනින් ක්‍රියාකාරී වෙති. මහත් අවුලක් ඇති කරමින් පාම් තෙල් සහ රසායනික පොහොර ආනයනය තහනම් කරන ලදී.

 

පරිසරය -

කිසිදු පාරිසරික සංවේදීභාවයක් නොමැතිව රක්ෂිත ප්‍රදේශවල තැනින් තැන ගොඩනැගිලි සහ හෝටල් ඉදිකිරීම සඳහා කිසිදු පිළිවෙළකින් තොරව අනුමැතිය ලබා දුනි. සීගිරිය, දකුණු වෙරළ බඩ හා නුවරඑළියේ මෙම අනුමැතිය දීම් සිදුවිය. දැවැන්ත ඖෂධ ව්‍යාපෘතියක් හම්බන්තොට ක්‍රියාත්මක කිරීමට සූදානම් වන අතර අපගේම පරිසර බලධාරීන් කියා සිටින්නේ එයින් අපගේ භූමියටත්, පරිසරයටත් මහත් හානියක් සිදුවීමේ විභවතාව ඇති බවයි. මේ මගින් සිදුවිය හැකි පරිසර හානිය ගිනිගත් නැවෙන් සිදුවූ හානියටත් වැඩි විය හැකි බව ඔවුහු කියති.

සන්නිවේදනය - අද දින නිකුත් කරනු ලබන නිල නිවේදන හෙට දින වෙනස් කෙරේ. නිල සංඛ්‍යාලේඛනවල පරස්පරතා හා අසංගත භාවයක් පවතින අතර ඒවා ලැබීමේ ප්‍රමාදයක් ද සිදුවන බව පෙනේ.

 

තමන්ගේ අභිමතාර්ථ මුදුන්පත් කරගැනීම

තමන්ගේ අභ්‍යන්තර කවයේ සහ තම තමන්ගේ පෞද්ගලික අභිමතාර්ථ මොනවාද යන්න මෙම නායකත්වය පැහැදිලිව දනී. ඔවුන් බලයට පැමිණි විගස අධිකරණයේ පැවති නඩු කිහිපයක්ම විසිකර දැමීම හෝ ඉල්ලා අස්කර ගැනීම සිදුවිය. වරදකරු බවට තීන්දුවීම් සහ ඇතැම් චෝදනා අහෝසි කර දැමීම හෝ බහා තැබීම සිදුවිය.

අපගේ ණය කන්දරාව අහස උසට නගින විට, ආදායම් බිඳ වැටී තිබුණ ද සුඛෝපභෝගී වාහන ගෙන්වීම සඳහා ඔවුහු ප්‍රමුඛතා දුන්හ. 2021 අයවැය විකට නාටකයක් බවට පත්විය.

එහෙත් පෞද්ගලික ව්‍යාපාරිකයෝ පලිගැනීමට ඇති බිය නිසා හෝ උදව් ලැබීමේ බලාපොරොත්තුවෙන් එය වර්ණනා කළහ. ඔවුන්ගේ ආත්මාර්ථකාමී පෞද්ගලික අභිමතාර්ථ මුදුන් පමුණුවා ගන්නා අතරතුර ජාතික අවශ්‍යතාවලට ප්‍රමුඛතාව දී ගැටලුවලට විසඳුම් සොයා යාමේ හැකියාවක් ඔවුනට නොවීය.

 

විපක්ෂයේ අවධානය යොමු නොවීම

විපක්ෂයෙන්ද ප්‍රමාණවත් පියවර ගෙන ඇති බවක් නොපෙනේ. ආහාර සහ එන්නත් බෙදාහැරීම අවුල් සහගත වී, මිනිසුන්ට ආහාර සහ රැකී රක්ෂා පවා අහිමිව තිබියදී, අපගේ මුහුදු හා වෙරළ පරිසරය විනාශව තිබියදී විපක්ෂව ප්‍රමුඛතාව දී ඇත්තේ ඉන්ධන මිල වැඩිකළ අමාත්‍යවරයාට විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමටය. සෞඛ්‍ය, ආහාර බෙදාහැරීම, ආපදා කළමනාකරණ හා වරාය භාර අමාත්‍යවරුන් සම්බන්ධයෙන් විරුද්ධ පක්ෂයේ විශ්වාසය කෙසේ වේද?

කොටින්ම කිවහොත් ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීම පිණිස ආර්ථික අභියෝග ජය ගැනීම සඳහා ශ්‍රී ලාංකික නායකත්වයට ඇති නොහැකියාවත්, අදක්ෂභාවය සහ නොදන්නාකමත් තව තවත් වැඩි වෙමින් පවතින බව පෙනී යයි.

 

කෙසේද?

කෙසේද යන්නට දෙන පිළිතුරෙන්, රටේ පරිපාලනය උදෙසා ඵලදායී ක්‍රමෝපාය භාවිතය ජනතාව වෙත භාණ්ඩ හා සේවා බෙදා හැරීම, මේවායේ ප්‍රතිඵල පසුවිපරම් කිරීම සහ ඒවා වර්ධනය කිරීම කෙසේ තහවුරු කොට පවත්වා ගන්නේද යන්න අනාවරණය වේ. එහෙත් ඡන්දයෙන් පත්වූ ජනතා නියෝජිතයන් ජනතාවගේ අවශ්‍යතා පිරිමැසීමට දෙන්නේ අවම ප්‍රමුඛතාවකි.

අපගේ ශ්‍රම බළකායෙන් සියයට 50 අවිධිමත් අංශයේ සේවය කරන්නෝ වෙති. අද පවතින වාතාවරණය තුළ ඔවුහු නේකවිධ අභියෝගවලට මුහුණ දෙති.

උදාහරණයකට සතිපතා අපගේ ගෙවතුවල වැඩ කරන තැනැත්තා සහ ඔහුගේ සීයාගෙන් පෝෂණය වන සත් දෙනෙකි. නිල නොවන ඇඳිරි නීතිය සමයේ තමාගෙන් යැපෙන අය පෝෂණය කරන්නට මුදල් උපයා ගැනීම ඔවුනට කළ නොහැකි විය. මෝසම් වැසි සමයේ ඔවුන්ගේ නිවසේ වහලෙන් දිය කාන්දු වී ගෙතුළ තෙමේ. පසුගියදා යම් මුදලක් සොයා ගන්නට අතුරු පාරවල් පුරා ඔහු ඇවිද්දේය. අපි හැකි තරමින් ඔහුට උදව් කළෙමු. අපේ ප්‍රදේශයේ ගෞරවනීය ලෙස තම වෙළඳාම කරගෙන සිටි එළවළු වෙළෙන්දා දැන් අන්ත අසරණ තත්ත්වයට වැටී සිටී.

සෑම සතියකම සඳුදා දිනවල තොග වෙළඳසැල්වලින් එළවළු මිලදී ගෙන පාරිභෝගිකයන්ට බෙදා හැරීමට ඔවුන්ට අවසර දී තිබිණි. එක් සඳුදා දිනයක, ඔවුන් නොදැනුවත්ව සිටියදීම තොග වෙළඳසැල් වසා දැමිණි. එළවළු තොග අඟහරුවාදා (පාන්දර හතරට) මිලදී ගන්නා ලෙස ඔවුන්ට දැනුම් දෙනු ලැබීය. ඔවුහු එසේ කර බෙදාහැරීම සඳහා එම එළවළු පොළට ගෙන ගියහ. සැනෙකින් පොලිසිය පැමිණ පොළේ සියලු අලෙවි සැල් වසා දමමින් කියා සිටියේ ඒ සඳහා ඉහළින් නියෝගයක් පැමිණි බවය. මෙම වෙළඳුන්ට සිදුවූයේ මිලට ගත් තොග රැගෙන ගෙදර යන්නටය.

හිටි ගමන් ඉහළින් එන මෙම අහඹු නියෝගවලින් පෙනී යන්නේ මෙම දෛනික කම්කරුවන් වැනි රැකියා කරන වුන් කබලෙන් ළිපට වැටෙන බවයි. හිතුමතේ හදිසියේ ගන්නා තීරණවලින් ඔවුන් ආරක්ෂා කර ගන්නා ක්‍රමවේදයක් නැත. ඔවුන් මේ දුක කාට කියන්නද? ග්‍රාම නිලධාරීන්ට හෝ ඔවුන්ගේ මැතිවරණ කොට්ඨාසයේ ඡන්දයෙන් පත්කළ නියෝජිතයාට ඒවා කියන්නද?

 

ඡන්දයෙන් පත් කළ නියෝජිතවරු

ඡන්දයෙන් ජනතා නියෝජිතයෙක් පත් කරන ක්‍රමය තවදුරටත් ජනතාවගේ අවශ්‍යතා සපුරාලන කාර්යක් නොවේ. 2015-2020 කාලය තුළ මම සීමා නිර්ණ කොමිසමේ කටයුතු කර ඇත්තෙමි. පළාත් සභා උදෙසා වූ නිර්ණය කමිටුවේද මම 2017 දී කටයුතු කළෙමි. මා එම කමිටුවල කටයුතු කොට අවසන් වාර්තාවේ අත්සන් තැබුවේ මහත් ආඩම්බරයකිනි. අපගේ වාර්තාවෙන් කුඩා කුඩා ඡන්ද බලප්‍රදේශවලට පවා ජනතා නියෝජිතයන් පත් කිරීම තහවුරු කොට තිබිණි. එම වාර්තාව පිළිබඳව කිසිම විවේචනයක් අපට නොඇසිනි. එහෙත් එම වාර්තාව සියලු පක්ෂවල ඡන්දයෙන් පාර්ලිමේන්තුවේ පරාජයට පත්විය. සමහරු කියා සිටියේ තමන්ට ඉන් වාසියක් අත් නොවන නිසා එය පදනම් විරහිත වාර්තාවක් බවය. සියලු දේශපාලන පක්ෂ ඊට විරුද්ධව ඡන්ද දුන්හ. අපගේ ජනතා නියෝජිතයන් එබඳුය.

 

පරිපාලනය හා සේවා සැපයුම්

මෙම කාර්ය පද්ධතීන් වඩා තර්කාන්විතව සකස් කළ යුතුය. අප ජීවත්වන ග්‍රාම නිලධාරී වසම් අපි සැවොම දනිමු. ග්‍රාම නිලධාරීවරුන්ට සහ අනෙකුත් රාජ්‍ය නිලධාරීන්ට නාගරික හා ග්‍රාමීය ග්‍රාම නිලධාරී වසම්වලට තමන්ට පැවරුණ විවිධ වගකීම් තිබේ. ඒවායේ වෙසෙන ජනතාවගේ පරිපාලන ආරක්ෂක, සෞඛ්‍ය හා අධ්‍යාපන අවශ්‍යතා, මෙන්ම ගංවතුර උවදුරු, නීති විරෝධී ඉඩම් අල්ලා ගැනීම්, ජල දූෂණ, අනවසර දැව කැපීම් සහ වනාන්තර හෙළි කිරීම් යන කාරණාවලට අදාළ රාජකාරී කටයුතු ඔවුන්ට බාර වේ. ශ්‍රී ලංකාවේ ග්‍රාම නිලධාරී වසම් 14,000කි.

සාමාන්‍යයෙන් වර්ග කිලෝමීටර් 5ක් සහ ජනයා 1500ක සංඛ්‍යාවක් (පවුල් 300-400ක්) එක් ග්‍රාම නිලධාරී වසමකට අයත් වේ. එහෙත් ප්‍රායෝගිකව මිනිසුන් 28,000ක් සිටිනා වර්ග කිලෝමීටර 500කින් යුක්ත තනි ග්‍රාම නිලධාරි වසම් නැත. එවැනි වගකීමක් තනි රාජ්‍ය නිලධාරියකුට ඉසිලිය නොහැකිය. එබැවින් සීමා නිර්ණය කිරීමේ කොමිසම, ජන සංඛ්‍යාව, භූගෝලීය භූමි ප්‍රදේශය පදනම් කොටගෙන වඩා තර්කාන්විත වූ සහ වඩාත් දියුණු ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදයක් සැකසීමට කටයුතු කළේය. එය ක්‍රියාත්මක කළේ නම් ග්‍රා.නි. වසම් මට්ටමින් වඩාත් හොඳ සේවා සැපයුම් එයින් පිරිනැමෙන්නට ඉඩ තිබිණි. ඇත්ත වශයෙන්ම එවැනි ක්‍රමයකින් සෞඛ්‍ය, අධ්‍යාපන, පොලිස් සහ ආපදා කළමනාකරණ සේවා ඊට මනාව සම්බන්ධ වනවා පමණක් නොව හදිසි අවශ්‍යතාවලදී දෛනික වැටුප් උපයන්නන්ද ග්‍රාම නිලධාරීන්ගේ විමසුමට ලක්වනු ඇත. සීමා නිර්ණ කමිටුව මෙම ක්‍රමවේදය සහ සැලසුම ඉහළ මට්ටමේ බලධාරීන්ට, පසුගිය ආණ්ඩු දෙකේදීම භාර දෙන ලද්දේය. ඔවුන්ගෙන් එක් අයකු හෝ එය කියවා ඇතැයි මම නොසිතමි.

රාජ්‍ය අංශය:- මේ වනවිට රාජ්‍ය අංශයේ ප්‍රධාන ආයතන 1200ක් පමණ තිබෙන අතර ඒවා යටතේ කුඩා ඒකක 30,000ක් පමණ වේ. අපගේ ශ්‍රම බළකායෙන් සියයට 15ක් පමණ එනම් මිලියන 1.2ක් දෙනා රාජ්‍ය අංශයේ සේවය කරති. දැනට මෙරට කැබිනට් ඇමැතිවරු 30 දෙනෙක් හා රාජ්‍ය ඇමැතිවරු 40 දෙනෙක් සිටිති. වගකීම් එකිනෙකා වෙත හරස්ව වැටෙන (එකම වගකීම දෙදෙනකු වෙත වැටෙන) අවස්ථා බොහෝය. දකුණු අත කරනා දේ වම් අත දන්නේ නැත. අමාත්‍යාංශ මට්ටමේ සහ ආයතන මට්ටමේ එකම වගකීම දරන තනතුරු තෝරා නායකත්වය විසින් ඒවා අවම කළ යුතුය.

කෙසේද යන්නේ වැදගත්කම අවබෝධ කර නොගෙන නායකත්වය ආර්ථික අභියෝග ජය ගන්නේ කෙසේද? මෙම මැතිවරණ කොට්ඨාසවල ප්‍රමුඛතාව දිය යුතු කාරණා සහ සේවා බෙදාහැරීම් ක්‍රම නායකත්වය විසින් සකසන්නේ කෙසේද?

අප මුලින්ම මේ සියලු දෑ ශුද්ධ පවිත්‍ර කළ යුතුය. ප්‍රතිසංස්කරණය කරනු ලැබූ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට, පසුවිපරම් කිරීමට සහ ඇගයුම් කිරීමට සමත්, අත්දැකීම් සහිත ප්‍රවීණ වෘත්තිකයන් අපට අවශ්‍යය. ක්‍රියාකාරී, ප්‍රබල ක්‍රමවේදයකට නායකත්වය දිය යුතු වූවෝ ඔවුහුය.

වඩාත් හොඳම ක්‍රමය ලෙස මා සිතන්නේ කුසලතාව පදනම් කොටගෙන ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට තනතුරු හා වගකීම් බාරදීමේ ක්‍රමයයි. මේ මගින් මුළු රාජ්‍ය අංශයටම වෘත්තීය ප්‍රවීණත්වයත්, වගවීමත්, නිසි පිරික්සුමත් නැවත එක්වෙනු ඇත.

 

ක්‍රියාත්මක වීම

විධායකයත්, සියලු පක්ෂත්, පාර්ලිමේන්තුවත්, ඔවුන්ගේ ගිලිහී ගිය ප්‍රතිරූප නැවත නංවාගනු සඳහා වඩා සක්‍යතාවෙන් යුතුව හා ජනතාව උදෙසා කැපවීමෙන් යුතු බව ප්‍රදර්ශනය කළහොත් මිස කිසි දෙයක් වෙනස් නොවනු ඇත. සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තම ජනතාව වෙත පවතින වගකීම අගේකොට සලකන්නේ නම් වඩාත් වගකීමෙන් යුතුව ක්‍රියා කළ යුතුය. පාර්ලිමේන්තු අධීක්ෂණ කමිටුවල උපදෙස් වඩා බැරෑරුම්ව සලකා බැලිය යුතුය.

වඩා වැඩදායී විවේචනවලට කන් දෙන්නට රජයත් විපක්ෂයත් සූදානම් වේ නම්, සෑම ක්ෂේත්‍රයක් සම්බන්ධවම නායකත්වය දෙමින් ශ්‍රී ලංකාවේ ආර්ථික අභිවෘද්ධිය තකා ආයතන යළි නගාසිටුවීමේ සමත්කම් දක්වන දක්ෂ වෘත්තිකයන් බොහෝ සිටිති. තවමත් ඒ සඳහා ප්‍රමාද නැත. එසේ නොකළහොත් තවත් ඉදිරියට යාමක් නැත. සිදුවන්නේ අවසානයේ ශ්‍රී ලංකාව පුපුරා විනාශව යනතුරු දැන් සිදුවන්නා සේම සියල්ල වරද්දා ගැනීම පමණකි.

 

(***)
Lessons from Lockdown - The Need for Able Leadership and Effective Systems
ලිපියේ පරිවර්තනය
සමන් පුෂ්ප ලියනගේ

 



අදහස් (3)

අනාගතය වරදින්නට පෙර පාඩමක්

දූරදර්ශී Wednesday, 30 June 2021 02:51 PM

උගත් යැයි කියන අය පවා තමන්ගේ කෙනෙක්ට හෝ තමාට වාසියක් සැලසීමට දේශපාලකයන් පත්කර ගැනීම දශක 07ක් පමණ මෙරට විනාශයට හේතුවී ඇත. විපක්ෂයේ සිටින විට මානුෂිකව කථා කරන දේශපාලකයින් ආණ්ඩු පක්ෂයට පැමිණිවිට ඔලුව ඉදිමී සිටින්නේ ව්‍යාපාරිකයන් පවා රැස්කමින්, ළඟවාසිය සොයා ඕනෑම පහත් දේශපාලකයෙක් ළඟ වැටෙන බැවිනි. බලයට ආ දින සිට මීලග ඡන්දයට මුදල් සොයන ඔවුන්ට මිනිසුන්ගේ ඇස් පාදා ජන ජීවිතය නගා සිටුවීමට වඩා ඡන්දයට වැඩකළ අයට කලගුණ සැලකීම වැදගත් බව ඔප්පු කොට ඇත. අතීතයේදී පවා අප දේශපාලකයින්ට දොස් කීවද, නව පරපුරේ දේශපාලකයින්ගේ ක්‍රියා පිළිවෙලද වෙනස් නොවන්නේ බොරුව හා ආත්මාර්ථකාමීත්වය නිධන්ගත කල සිස්ටම් එකකට රටක් ලෙස බහුතරය දායක වී ඇති බැවිනි. ‘කවුරුත් හොරකම් කරනවා යැයි’ කියමින් සමස්ත ක්‍රියා පිළිවෙත වෙනස් නොකර, පටු අරමුණු උදෙසා බොරුව සහ වාසියට වැඩ කළ මේ රටේ බහුතරය වන අප, රටක් ලෙස මේ තරමින් හෝ ඉතිරිව සිටින්නේ ජීවිත පූජාවෙන් කැපකිරීම් කල සුළුතරය වූ ලක්පුරවැසියන් නිසාවෙනි. එහෙත් සෑම ක්‍රියාවකම ප්‍රතික්‍රියාවක් ඇති බව සෑම දෙනාටම ධර්මය විසින් කොරෝනා තත්වය තුළ පසක් කර ඇත.

:       0       115

Rohana Wednesday, 30 June 2021 11:09 PM

රටේ දියුණුව ඇතිකිරීම වෙනුවට තමන්ට ඇති ඡන්ද ගොඩ ඉහළ දැමීම මුල්කරගත් ප්‍රවීණයින්ගේ උපදෙස් පවා පිළිනොගෙන හිතුවක්කාරී ලෙස ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කරන රටක ආර්ථික හා සමාජ සංවර්ධනයක් කිසිදා බලාපොරොත්තු විය නොහැක. මේ ලිපියෙන් එවැනි පසුබිමක ඇති ගැටළුවලින් කොටසක් විස්තර කර ඇත...

:       0       0

වර්ණකුලසූරිය Wednesday, 30 June 2021 11:57 PM

වර්තමාන තත්ත්වය හොඳින් පැහැදිළි කර ඇත. ශ්‍රී ලංකාවේ දේශපාලන වේදිකාවේ සිටින බහුතරය වෘත්තීයෙන් නීතිඥයෝ වෙති. ඒ වගේම එතනෝල් මුදලාලිලා, කුඩු මුදලාලිලා, ටියුෂන් මුදලාලිලා, රේස් බුකී හිමිකරුවන් සහ දූෂණ චෝදනාවලට ලක් වුවන්ද බොහෝ ඇත. තවදුරටත් මැතිවරණවලට මහපරිමාණයෙන් වියදම් කරන ගජමිතුරු කල්ලිද අඩුවක් නැත. මේ කවුරුත් තමන්ගේ පැවැත්ම සඳහා මිස රටක්, ජනතාවක් ගැන කිසිදිනක සිතන්නේ නැත. තමන්ට ඇති අයිතියෙන් ඇත්ත, බොරුව කර, බොරුව ඇත්ත කර මුදල් උපයන නීතිඥයින් මෙන් අද දේශපාලකයින්ද පැවැත්ම ගෙන යති. මේ තත්වය ජනතාව හොඳින් තේරුම් ගන්නා තෙක් රට නිවැරදි මාවතකට පිවිසෙන්නේ නැත. රටට, ජනතාවට ආදරය කරන අවංක, බුද්ධිමත් දේශපාලන කණ්ඩායමක් සොයා ගැනීමට ජනතාව සූදානමක් පේනතෙක් මානයක නැත...

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ඊ.පී.එෆ්. එකේ ට්‍රිලියන 3.9ක මුදලක් අනතුරේ
2024 නොවැම්බර් මස 26 120 0

පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවය කරන විශ්‍රාම වැටුප් ක්‍රමයකට හිමිකම් නොමැති සේවක පිරිස් සඳහා අනිවාර්ය විශ්‍රාම දායක මුදල් ක්‍රමයක් ලෙස 1958 අංක 15 දරන


ආර්ථිකයේ අයි.එම්.එෆ්. සාධකය
2024 නොවැම්බර් මස 26 117 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය


උතුර-දකුණ එකට එක්කළ ඡන්දයක්
2024 නොවැම්බර් මස 23 423 2

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව


මාලිමාවේ ජයෙන් ඔබ්බට
2024 නොවැම්බර් මස 22 1061 2

මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්


එලොව පොල් පෙන්වන පොල් මිලේ රහස
2024 නොවැම්බර් මස 21 1542 0

බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන


ජයග්‍රහණ ජනසතුවේ අභියෝග
2024 නොවැම්බර් මස 21 250 0

ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 552 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 751 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2111 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site