IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


අනාගත වර්තමාන අභියෝග

2024 වර්ෂය ආරම්භ වී ගතවී ඇත්තේ සතියක් පමණය. රටේ දේශපාලන සාකච්ඡා ලහි ලහියේ ජනාධිපතිවරණයක් වෙත ගොනු වෙමින් පවතී. කොහොමටත් 2024 වර්ෂය, ව්‍යවස්ථාවට අනුවම බැලුවත් ජනාධිපතිවරණය පැවැත්විය යුතු වර්ෂය බව පැහැදිලිය. ඒ අනුව මේ වර්ෂයේ සැප්. 17 සහ ඔක්. 17 අතර ජනාධිපතිවරණයක් පැවැත්විය යුතුය. ඒ කියන්නේ මේ වර්ෂයේ ජූලි මාසයේ සිටම රටේ මූලික අවධානය යොමු වන්නේ මීළඟ විධායක ජනාධිපතිවරයා තෝරා ගැනීමේ සංවාදය වෙතටය.

මෙවර කිවිදා දැක්මෙන් මා ලියන්නේ එළඹෙන ජනාධිපතිවරණයේදී ආමන්ත්‍රණ කළ යුතු රට හමුවේ ඇති අභියෝග කීපයක් පිළිබඳවය. මෙහිදී විශේෂයෙන් තේරුම් ගත යුතු කාරණයක් වන්නේ මෙවර ජනාධිපතිවරණය අන් කවරදාකටත් වඩා අතිශයෙන් වැදගත් සහ තීරණාත්මක එකක් බවය. වෙනත් ලෙසකින් කිවහොත් 1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව යටතේ පවත්වන වඩාත්ම තීරණාත්මක ජනාධිපතිවරණය මෙවර පැවැත්වෙන එක යැයි පැවසීම නිවැරදිය.

මේ දක්වා රටේ ජනාධිපතිවරණ 08ක් පවත්වා ඇත. ඊට අමතරව පාර්ලිමේන්තුවෙන් ජනාධිපතිවරු දෙදෙනෙක් පත් වී ඇත්තාහ. පසුගිය වසර 46 පමණ කාලයට (1978 ව්‍යවස්ථාව සම්මත වූ දින සිට) විධායකයේ බලය පාර්ලිමේන්තුවෙන් පිටත සිටින පුද්ගලයකු වෙනම ඡන්දයකින් තෝරා ගැනීමේ ක්‍රමයක් හරහා තෝරා ගන්නා බව අපි දන්නා කාරණයක්ය. මුළු රටම එකම ඡන්ද කොට්ඨාසයක් බවට පත් කිරීම නිසා මෙම ක්‍රමය විධායක බලය සඳහා පුද්ගලයකු තෝරා ගැනීමේ සාධාරණ ක්‍රමයක් යැයි පිළිගැනීමක් ද මුලදී රට තුළ තිබුණි. එහෙත් වසර 46 ඉතිහාසය මගින් මේ පිළිගැනීම අභියෝගයට ලක්වී ඇති බවද සැබෑවක්ය. මෙරට ජනාධිපතිවරණ ඉතිහාසය කියන්නේම යම් ආකාරයක ප්‍රශ්න සහගත ක්‍රියාවලියක්ය.

ජනාධිපතිවරණ ඉතිහාසයෙන් පෙනී යන්නේ ජයවර්ධන පාලනය වට දෙකක් ද (වසර 11), චන්ද්‍රිකා බණ්ඩාරනායක පාලනය වට දෙකක් (වසර 11) සහ මහින්ද රාජපක්ෂ පාලනය වට දෙකක් (වසර 10) යනුවෙන් ප්‍රධාන පුද්ගල චරිත (හෝ ප්‍රධාන පවුල්) තුනක් යටතේ වසර 32ක පාලනයක් තිබූ බවය. මේ වසර 32ට අමතරව වසර 05 එක දිගට ජනාධිපතිකමේ සිටියේ මෛත්‍රීපාල සිරිසේන පමණය. ප්‍රේමදාස මහතා ජනාධිපති වී වසර 04කින් ඝාතනය වූ අතර ගෝඨාභය මහතා ජනපති වී වසර දෙකහමාරකින් ඉල්ලා අස්විය. ඊළඟට ඉතිරි වන දෙදෙනා වන විජේතුංග සහ වික්‍රමසිංහ ජනාධිපතිවරුන් අන්තර් කාලවල අනුප්‍රාප්තික ජනාධිපතිවරුය.

 

ජනාධිපතිරණයේ මූලික සටන් පාඨය

බොහෝ අය දන්නා පරිදි ජනාධිපතිවරණයක දී අවධානයට ලක්වන කරුණු රාශියක් තිබුණද එක් ප්‍රධාන මාතෘකාවක් මූලික වේ. උදාහරණ  වශයෙන් ගත් විට 1994 චන්ද්‍රිකා මැතිනිය ජය ගත් ජනාධිපතිවරණයේ ප්‍රධාන මාතෘකාව වූයේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ ඇති කිරීමය. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙනෙන්නට එතුමිය පොරොන්දු වූයේ ඒ අනුවය.

2005 මහින්ද රාජපක්ෂ මහතා ජයගත් ජනාධිපතිවරණයේ ප්‍රධානතම මාතෘකාව වූයේ ත්‍රස්තවාදය වැළැක්වීමය. මෛත්‍රීපාල මහතා ජයගත් 2015  මාතෘකාව වූයේ නැවතත් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණය. යහපාලනය යැයි කීවේ ඒ න්‍යාය පත්‍රයටය. මෙවර ජනාධිපතිවරණයේ දී මාතෘකාව වන්නේ රට ආර්ථික කඩා වැදීමෙන් ගොඩ ගන්නේ  කෙසේද යන කාරණයය.

මෙහිදී සඳහන් කළ යුතු තවත් වැදගත් කාරණාවක් ඇත. මේ ආර්ථික ආර්බුදය විසඳීම යනු හුදු තාක්ෂණික කාරණයක් පමණක් ලෙසින් නොගත යුතු බවය. එය පළල් දේශපාලන ආර්ථික වැඩසටනක් මිස හුදකලා ගණන් හැදීමක් නොවන බවය.

 

ආර්ථික ගැටලුව

රටේ ආර්ථික ගැටලුව තේරුම් ගැනීම එය විසඳීමේ ප්‍රධාන පියවරකි. IMF නියෝජිතයන් වශයෙන් පෙනී සිටින සමහර දේශපාලනඥයන් කියන්නේ 2022 අප්‍රේල් 22 දින රටේ ණය ගෙවීම නැවැත්වීම ගැටලුව බවය. තවත් සමහරුන් මේ ගැටලුව තේරුම්  කරන්නේ පසුගිය වසර 75ක කාලය පුරා වර්ධනය වූ ගැටලුවක් වශයෙනි.

මේ තේරුම් ගැනීම් දෙකම අර්ධ වශයෙන් සත්‍යය. එහෙත් සම්පූර්ණ ගැටලුව තේරුම් ගන්නේ නැතිව විසඳුමක් යෝජනා කිරීමේ හැකියාවක් නැති බව මගේ අදහසය.

මේ වනවිට රටේ ආර්ථික ගැටලුව ක්ෂේත්‍ර කීපයකම පැතිරී ගිය සංකීර්ණ අර්බුදයක් බවට පත්වී ඇත. එයින් පළමු එක වන්නේ රටේ විදේශ මූල්‍ය අර්බුදයක් ඇතිවීමය. එය සමහරුන් දකින්නේ සංචිත නොමැතිවීම හරහා පමණක්ය. එහෙත් එහි සම්පූර්ණ ගැටලුව ඊට වඩා සංකීර්ණය. රටේ සංචිත කඩා වැටුණට අමතරව ජංගම ගිණුමේ පෙන්නුම් කෙරෙන වෙළඳ ශේෂය බරපතළ ලෙසින් සෘණ අගයක් ගනු ලැබීය. 2008  සිටම මේ තත්ත්වය කළමනාකරණය කරන්නට ඒ ඒ ආණ්ඩු කළේ මූල්‍ය වෙළඳපොළට ස්වෛරී බැඳුම්කර නිකුත් කරමින් ගිනි පොලියට ණය ගැනීමය.

ආර්ථිකයේ දෙවැනි ගැටලුව වූ ණය අර්බුදය වර්ධනය වූයේ ඒ අනුවය. සෑම වර්ෂයකම ගෙවන්නට බැරි තරමේ ණය වාරිකයක් නිර්මාණය වූ අතර ඒ ණය ගෙවීම සඳහා තව තවත් ණය ගන්නට විය. 2015-19 ආණ්ඩුව මේ අතින් කප් ගැහුවේය. ඩොලර් බිලියන 12ක් පමණ ඒ වසර 04ට ස්වෛරී බැඳුම්කර (ISB) හරහා විදේශ ණය ලබාගෙන ඇත.

තුන්වෙනුව, රටේ ආර්ථික අර්බුදයේ ඊළඟ ගැටලුව වන්නේ ආණ්ඩුවේ වියදම ලැබෙන ආදායමට වඩා බරපතළ ආකාරයෙන් විශාල වීමය. අය-වැය  හිඟය කියන්නේ ඒකටය. මේ අර්බුදය ඒ ඒ ආණ්ඩු විසඳා ගත්තේ මහ බැංකුව සමග එකතු වෙමින් භාණ්ඩාගාර බිල්පත් හරහා මුදල් මවා ගැනීමෙන්ය. සමහරුන් මෙයට කියන්නේ සල්ලි අච්චු ගැසීම කියාය. එහි අර්ථය වන්නේ රටේ මූර්ත වටිනාකම් කෘතිමව වැඩි කිරීමය. මුදලේ අගය අඩු වන්නටත් උද්ධමනය වැඩි වන්නටත් මේ තත්ත්වය බරපතළ ආකාරයෙන් හේතු විය.

මේ මූලික කරුණු 03 හේතුවෙන් රටේ සාමාන්‍ය ආර්ථික ක්‍රියාකාරකම් (economic activities) බරපතළ ආකාරයෙන් සංකෝචනය විය. කොවිඩ් වසංගතය පාස්කු ඉරිදා ප්‍රහාරය, යුක්රේන් අර්බුදය වැනි සිදුවීම් මේ තත්ත්වය තවත් වර්ධනය කළේය. 2019 සිට ගෝඨාභය පාලනය යටතේ ගත් සමහර අමනෝඥ තීරණ හේතුවෙන් රජය සතුව තිබූ සංචිත සියල්ල නිමා වනතුරු වෙළඳ ශේෂය පියවීමටත්, ණය වාරික ගෙවීමටත් විනිමය අනුපාතිකය බලෙන් අල්ලාගෙන සිටීමට ඩොලර් මුදා හැරීමටත් සිදුවිය.

 

IMF විසඳුමක් ද?

මේ තත්ත්වය හමුවේ හදිසි මූල්‍ය සහායක් ලබා ගැනීමට ගෝඨාභය රජය නිසි අවස්ථාවේ දී IMF එකට යාමේ හැකියාව තිබුණි. එහෙත් ඒ ආණ්ඩුවේ ආර්ථික ප්‍රධානීන් පෙන්නුම් කළේ IMF නොගිහින් ඉන්දියාවෙන් හෝ චීනයෙන් (නැති නම් ඒ රටවල් දෙකෙන්ම) ‘අත මාරුවක්’ ලබාගෙන අර්බුදය මගහැර ගන්නවා වැනි අදහසක්ය. එයට අමතරව සමහරුන් උත්සාහ කළේ මේ ආර්ථික අර්බුදය ඇතුලේම තමන්ගේ හතුරන් කැබිනට් එකෙන් එළියට යවා ගැනීමටය. තෙල් ඇමැති ගම්මන්පිල ‘බිත්තියට හේත්තු කිරීම’ එහි එක් පියවරක් විය. ඒ වැඩේ සාර්ථක විය. තෙල් ඇමති විසිවී ගියේය. ඉන් අනතුරුව මාස 04 තුළ සියලුම ඇමතිලාත් ජනාධිපතිත් සියල්ලෝම විසිවී ගියෝය.

IMF නොගිහින් ළඟ රටකින් අතමාරුවක් ගැනීමේ උත්සාහය යම් පමණකට සාර්ථක වූ බවත්  පෙනෙන්නට තිබුණි. ඉන්දියාවෙන් ඩොලර් බිලියන 4 පමණ ණයක් අනුමත වූයේ ඒ අනුවය. එහෙත් ‘මුදල් ඇමැතිවරයා එක ක්‍රීඩාවක් කරද්දී ජනාධිපතිවරයා තවත් ක්‍රීඩාවක් කරන්නා සේ එකිනෙකා තම තම නැණ පමණ වැඩ කරන්නට ගොස්’ සම්පූර්ණ ආණ්ඩුවත් (මා ඉහතින් සඳහන් කළ) ආර්ථික අර්බුදයත් යන දෙකම පුපුරා හැර ගත්තෝය.

වත්මන් ජනාධිපතිවරයාගේ පැමිණිමත් IMF ණය සාකච්ඡා පටන් ගැනීමත් ආරම්භ වන්නේ එතැන් සිටය. IMF රෙගුලසිවලට අනුව රටේ සියලුම වැඩකටයුතු කෙරෙන තැනට තල්ලු වී ඇත්තේ මේ තත්ත්වය යටතේය.

මීළඟ ජනාධිපතිවරණයට IMF නියෝජිතයන්ගේ බලපෑම විශාල වශයෙන් ඇතිවිය හැකි තත්ත්වය මේ වනවිට මතුවෙමින් පවතින බවද මෙහිදී පෙනී යන කරුණක්ය. IMF එක කැමති කෙනෙක් රටේ ජනාධිපතිධුරයට පත් කළ යුතු යැයි සමහරුන් තර්ක කරන්නටත් පටන් ගනු ඇති බව පැහැදිලිය. එවැනි තර්කයක කිසිදු පදනමක් නැතුවා පමණක් නොව එය රටේ ස්වෛරීත්වයටද බරපතළ තර්ජනයක් වන තර්කයක් බවද මගේ අදහසය.

IMF සහාය ලබා ගැනීම පිළිබඳව පැහැදිලි විග්‍රහයක් නොමැතිව මේ ජනාධිපතිවරණ සංවාදයට සහභාගිවීම භයානක වරදක් බව විපක්ෂයේ  අපේක්ෂකයන් අවධානයට ගැනීම අනිවාර්ය අවශ්‍යතාවකි. රටේ වත්මන් ගැටලුව (ආර්ථික ගැටලුව) විසඳා ගැනීමේ දීර්ඝ කාලීන ක්‍රියාමාර්ගයට IMF මැදිහත් වීමෙන් එතරම් සහායක් ලැබෙන්නේ යැයි මා සිතන්නේ නැත. එහෙත් මේ ආර්ථික ගැටලුවේ වත්මන් තත්ත්වයෙන් ‘ඉස්පාසුවක් ගැනීමට’ කෙටිකාලීන සහායක් IMF එක මගින් ලබාගත හැකිය. මෙතන තිබෙන්නේ ‘සංකීර්ණ ගේම්’ එකකි. බංකොලොත්භාවයෙන් මිදෙන්නට ක්ෂණිකව IMF හි සහාය අවශ්‍යය. එහෙත් IMF ත්‍යාග පත්‍රය ක්‍රියාත්මක කරන්නට ගියහොත් දීර්ඝ කාලීනව රට නැවත නැවතත් බංකොලොත් වෙමින් ණය කන්දක හිරවී යෑමද අනිවාර්යය.

ඒ නිසා මම ‘සංකීර්ණ ගේම්’ එකක් යැයි කියන්නේ මේ විසංවාදය තුළ රටේ පැත්තෙන් මේ දේශපාලන ක්‍රීඩාව කළ යුතුය යන අදහසින්ය.

මීළඟ ජනාධිපති පත්විය යුත්තේ මේ තත්ත්වය තේරුම් ගත් අයෙක් බව ඒ නිසා ඉතාමත් පැහැදිලිය. ඒ කියන්නේ IMF සහාය ගත යුතුය. ඒ වගේම දීර්ඝ කාලීන යහපත සඳහා ඔවුන්ගේ න්‍යාය පත්‍රය උපක්‍රමිකව පරාජයට පත් කළ යුතුය, යන පසු  චින්තනයෙන් යුතු ප්‍රතිපත්ති සැකසිය යුතු බවය. සංක්ෂිප්තව මගේ මෙවර කිවිදා දැක්ම වන්නේ කරුණු තුනක්ය. 1.  ජනාධිපතිවරණයේ මාතෘකාව ආර්ථිකයය. 2. ආර්ථික අර්බුදයේ පැති 03 තම එකිනෙකට සම්බන්ධ පද්ධතිමය විසඳුමකින් විසඳිය යුතුය.  3. ඒ සඳහා IMF සහාය යනු උපක්‍රමිකව ගත යුතු සහායක් පමණක් විය යුතුය යන කරුණු 3ය.

 

(***)

මහාචාර්ය චරිත හේරත්



අදහස් (0)

අනාගත වර්තමාන අභියෝග

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

පාස්කු දා ප්‍රහාරයේ මහ මොළකරුවා මත දෙකක්
2025 අප්‍රේල් මස 21 208 0

පාස්කු ඉරිදා සංහාරයට අදට වසර හයකි. මෙම ප්‍රහාරය පිරිමින්, කාන්තාවන් සහ ළමුන් ඇතුළු ජීවිත 269 ක් බිලිගත් ඛේදවාචකයක් වන අතර, එම අවස්ථාව වන විට ඔවුන්ගෙන් බොහ


සත්‍යය යුක්තිය සංහිඳියාව වෙනුවෙන් තවමත් බලාසිටී
2025 අප්‍රේල් මස 21 39 0

පාස්කු ඉරිදා ඛේදජනක ප්‍රහාරයට වසර හයක් ළඟා වන අවස්ථාවේදී, ශ්‍රී ලංකාව තවමත් පැටළී සිටින්නේ පිළිතුරු නොලැබෙන ප්‍රශ්න, ප්‍රමාද වූ නඩු පැවරීම්, දේශපාලන ම


නව ලොවට නව සංවර්ධන ආකෘතියක්
2025 අප්‍රේල් මස 21 75 0

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සියලු‍ රටවලට අප්‍රේල් 05 වැනි දා සිට බලපාන ලෙස ඔවුන්ගේ ආනයන තීරු බදු සියයට 10 දක්වා ඉහළ දැමීමේ නිල විධානයකට මෙම අප්‍රේල් 02 වන දි


ජීවිත 114ක් බිලිගෙන 750 කට බරපතළ තුවාල කළ පිටකොටුව කාර්බෝම්බය
2025 අප්‍රේල් මස 21 163 0

කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ බෝධිය ආසන්නයේ නවතා තිබූ කාර් රථයක අටවන ලද අධිබලැති බෝම්බයක් පුපුරා ගියේ 1987 වසරේ අප්‍රේල් මස 21 වැනිදා සවස් යාමයේය.


ශ්‍රී ලංකාව ගෝලීය වෙළෙඳ කම්පනය
2025 අප්‍රේල් මස 18 222 0

ට්‍රම්ප්ගේ වෙෙළඳ කම්පනය ගෝලීය පිළිවෙලට දැවැන්ත පහරකි. එය නියෝජනය කරන්නේ 1970 ගණන්වලදී බ්‍රෙට්න්වුඩ්ස් ක්‍රමය අවසන් වීමෙන් පසු ඇති වූ විශාලතම බිඳවැටීමය


දළදා වහන්සේ සියැසින් දැකගැනීමේ ආනිශංසය
2025 අප්‍රේල් මස 18 864 0

ශ්‍රී සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ පන්සාළිස් වසරක් මුළුල්ලේ දේශනා කොට වදාළ ස්වාසුදහසක් ශ්‍රී ධර්මස්කන්ධයේ පහස ලැබුවුවා වූ පරම පූජනීය අතිඋ


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 495 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 289 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 440 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site