IMG-LOGO

2025 මාර්තු මස 05 වන බදාදා


අනෝතත්ත විල නෙළුම නෙලාලා

මගේ රටට දළදා හිමි සරණයි
මගේ රටට දළදා හිමි සෙවණයි
සැපතින් සපිරුණු නිවහල් දෙරණයි
උපතින් මා හට මේ හැම උරුමයි

මේ ගීතය එදා පමණක් නොව අද ද ගුවන්විදුලි, රූපවාහිනී නාළිකාවලත් දළදා මාලිගය අභියසත් සුවහසක් රසික ජනයාගේ මුවගෙහිත් කොපමණ වාර ගණනක් ගායනා වන්නට ඇතිදැයි ගණනය කළ නොහැක. එය ඒ තරමට මුළුමහත් සමාජයෙහිම හද බැඳ ඇති බැවිනි.

මේ ගීතය රචනා කළේ ප්‍රවීණ ගීත පද රචක සුනිල් සරත් පෙරේරාය. මේ ගීතය මතු නොව නූතන සිංහල ගීත සාහිත්‍යය‍ට සදා අමරණීය ගීත රැසක් දායාද කළ සුනිල් සරත් පෙරේරා උසස් රසිකත්වයක් මෙරට සමාජයේ තහවුරු කිරීම සඳහා දශක කිහිපයක් පුරා තම නොමඳ දායකත්වය ලබා දෙමින් සිටින ප්‍රතිභාසම්පන්න නිර්මාණ රචකයෙකි. විශිෂ්ට කවියෙකි. භාෂා විශාරදයෙකි.

අනෝතත්ත විල නෙළුම නෙළාලා, ඔබ මා සමග අතිනත ගන්නා දවස, ඈත එපිට ගම්මානෙන් නැග එන, පෙර දිනයක මා පෙම් කළ යුවතිය, ඔබ ඇසේ මුදු පහස, ඇය යන්න ගියා මැකිලා, කන්දෙන් ලන්දෙන්, සැන්දෑ අහසේ ඉරට මුවාවෙන්, සරා සඳට අප අමතක වුණාවේ, මහ වරුසාවට පසුව නැගෙන සඳ, රා රා රා බොම්බියේ ආදිය සුනිල් සරත් පෙරේරා ලියූ සුමධුර ගීත අතරින් අතළොස්සක් පමණි. මෙම ලිපියෙහි අරමුණ වන්නේ සුනිලු‍න්ගේ එවන් ගීත අතරින් කිහිපයක අත්දැකීම් පිළිබඳ ඔහුගේ මතක පාඨක ඔබ සමග බෙදා ගැනීමය.

ප්‍රතිභාපූර්ණ ගීත රචකයකුගේ ලක්ෂණය නම් විවිධාකාර ගීත ලිවීමේ හැකියාවයි. සුනිල් සරත් පෙරේරා රචනා කළ ගීතාවලිය තුළ දැකිය හැක්කේ එබඳු විවිධ ස්වරූප සහිත එකතුවකි. පරිසරය කෙරෙහි වඩා වැඩි අවධානයක් යොමුකළ රචකයකු වන ඔහු ඕසෝන් ගීතය පවා ලියන්නේය. ජාතික ක්‍රීඩා ගීතය, ධීවර ගීතය, සිරිමා බණ්ඩාරනායක විදුහලේ පාසල් ගීතය, මහ බැංකු තේමා ගීතය ආදිය ද ඔහුගේ නිර්මාණ දායකත්වයට ඇතුළත්ය.

සුනිල් සරත් පෙරේරාගේ සෑම ගීතයකම පාහේ දැකිය හැකි විශේෂ ලක්ෂණය නම් එහි කිසියම් දර්ශනයක්, පැහැදිලි අරමුණක් දක්නට ලැබීමයි. සුනිල් සරත් පෙරේරා ගීත රචනයෙහි භාෂාත්මක වික්‍රමයක් කළ අයකු ලෙස මහාචාර්ය විමල් දිසානායකයෝ සඳහන් කරති.

ගීත රචනයේදී තමන් ගන්නා ප්‍රයත්නයන් සුනිල් සරත් පෙරේරා අප සමග පැහැදිලි කළේ මෙලෙසිනි.

 

මම ගීතයකදී උපයෝගී කරගන්නට උත්සාහ ගන්නේ නාම පද හා ක්‍රියා පද එක් කරන රූපක ප්‍රයෝගයක්. මහාචාර්ය විමල් දිසානායකයන් විග්‍රහ කරනවා ඇත්තේ මේ නව සම්මිශ්‍රණ ක්‍රියාවලිය විය හැකියි.

විමල් දිසානායකයන්ට අනුව සුනිල් සරත් එරන්දතිය එනවා වැනි ගීතයක භාෂාව කෝමල ගමනක යොදවයි. ඇය යන්න ගියා මැකිලා, පෙර දිනයක මා පෙම් කළ යුවතිය වැනි ගීතවලදී ඔහු භාෂාව හඬවයි. කලාත්මක ගීතයකට අප මුලින් කී භාෂා සම්මිශ්‍රණ ක්‍රියාවලිය ඉතා වැදගත් වූවකි. එය සාර්ථක ගීත රචනා කරන්නට උත්සාහ ගන්නා ආධුනිකයන්ට වුවද ඉතාමත් වටිනා කාරණයකි. සුනිල් සරත් පෙරේරාගේ ඇතැම් ගීතවල අත්දැකීම් මගින් මෙය විමසා බැලිය හැකිය.

ඔහු ඒ සම්බන්ධයෙන් කීවේ මෙවැන්නකි.

 

වික්ටර් දළුගමගේ සංගීත නිර්මාණයක් අනුව අමිතා වැදිසිංහ සහ පණ්ඩිත් අමරදේව ගයන අනෝතත්ත විල නෙළුම නෙළාලා ගීතයේ නිධාන කතාවෙන් මම මේක පැහැදිලි කරන්නම්.

අනෝතත්ත විල ගීතය ලිවීමේදී වින්දන මූලය ලැබුණේ විදුර ජාතකය පිළිබඳ ගැමියකු අතින් ලියැවුණු කුඩා පොත් පිංචක් කියැවීමෙන්. රඹුක්කන ගම්පියස නිලට නැමුණු කඳුවැටිවලින්ද ගලන නදී ඇළ දොළින්ද රමණීය වූ උඩරට ගමක්. එම ගම්පියසේ ඔයේ වතුර නාගෙන මිටියාවත දිගේ කෝමල ගමනින් යන ගැමි ලිය මගේ කල්පනා ලෝකයට පිවිසුණු රූපිනියයි. මේ මාගේ කල්පනා ලෝකයෙන් බැස ඔය දියෙන් දිය නා මිටියාවතේ වෙල් එළිය දිගේ ගිය ගැමි ලියකගේ නාරිලතා වැනුමයි.

අනෝතත්ත විල ගීතයේ මුල් පද පෙළ ලියැවුණේ බස් ටිකට් එකක. මහාචාර්ය සිරි ගුනසිංහ මහතා සඳහන් කර තිබුණේ ඔහු කැමතිම පෙම් ගීය අනෝතත්ත විල ගීතය බවයි. මහාචාර්ය සිරි ගුනසිංහ එය ප්‍රේම ගීයක් වශයෙන් හැඳින්වීම ගැන පසු දවසක මා මහාචාර්ය විමල් දිසානායකයන්ගෙන් විමසුවා. ඔහු මා සමග කීවේ එරන්දතිය ගීතයෙන් විදග්ධ ප්‍රේමය මතු කරන බව සිරි ගුනසිංහයන් පැවසූ බවයි.”‍

ප්‍රේමය යන වදන මේ ගීතයේ එකම තැනෙකවත් දකින්නට නැත. එහෙත් සිරි ගුනසිංහයන් එය තම ප්‍රියතම ප්‍රේම ගීතය සේ සලකයි.

 

අනෝතත්ත විල නෙළුම නෙළාලා
පීරා වරලස මල් ගවසාලා
නාග ලොවින් බැස නාලිය ගමනින්
වරගන පිරිවරිනා
එරන්දතිය එනවා

හෙළ හවුලේ නයු ශ්‍රීනාත් ගනේවත්තයන් මෙහි කියැවෙන විදග්ධ ප්‍රේමය පිළිබඳව මෙවැන්නක් සඳහන් කරයි.

කලාත්මක ගීතයේ සම්මිශ්‍රණය මට්ටම් කිහිපයකින් සිදුවෙන්න පුළුවන්. භාෂාත්මක සම්මිශ්‍රණය, සංකල්ප රූප සම්මිශ්‍රණය, ඓතිහාසික සම්මිශ්‍රණය හා ස්ථානික විඥානය වශයෙන් එය හඳුනා ගන්න පුළුවන්. එරන්දතිය ගීතය තුළ ගැමි කටබහ වහර, සම්භාව්‍ය සාහිත්‍ය භාෂාව හා සංකල්ප රූප සම්මිශ්‍රණය මනාව පිළිබිඹු වෙනවා.”‍

රෝහණ වීරසිංහයන්ගේ තනු නිර්මාණයකට අනුව සුනිල් එදිරිසිංහයන් ගායනා කරන රා රා රා බොම්බියේ ගීතය සුනිල් සරත් පෙරේරාගේ ගීත අතර විශේෂ එකකි. එම ගීතයේද යම්

පර් යේෂණාත්මක අත්හදා බැලීමේ ගුණයක් දැකිය හැකිය.

 

රා රා රා බොම්බියේ
මුවාවෙයන් නංගියේ
ජපන් මැන්ඩලින් නද කර
අවුරුදු එයි හන්දියේ

අලු‍ත් අවුරුදු සමයට නිතරම ඇහෙන මේ ගීතය බිහිවීමේ පසුබිම කුමක්ද? අපි ඒ සම්බන්ධයෙන් සුනිල් සරත් පෙරේරාගෙන් විමසා සිටියෙමු. ඔහු මේ අත්දැකීම විස්තර කළේ මෙසේය.

සමහර ගීතවලට ඓතිහාසික සිද්ධි මානව කැටපත් වෙලා තියෙනවා. මේක එවැනි අත්දැකීමක්. බෝයර්වරුන් යනු බ්‍රිතාන්‍ය යුගයේ මෙහි එළිමහන් කඳවුරු කිහිපයක සිරකර සිටි දකුණු අප්‍රිකානු ජන කොටසක්. අම්බලම්ගොඩට නුදුරු ඌරුගස්මංකඩ එළිමහන් සිරකඳවුරක සිටි මෙම ජනයා හැන්දෑ යාමයට මේ ප්‍රදේශවලට බහුලව ඇවිත් රා බී වෙරි මතේ රූබර වනිතාවන් සිටි ගෙවල්වලට තට්ටු කළ පුවතක් අප අසා තිබෙනවා. ඒ ඇසුරින් ගොඩනැගී ඇති ගැමි සැහැල්ලක් මෙම ගීතයේ ආකෘතියට බලපාලා තිබෙනවා.

මේ සැහැල්ල අපේ අම්මා නිතරම ගායනා කරන එකක්. මෙම ප්‍රදේශවල පැවැති බොන්ඩි යන පදය කාන්තාව ආමන්ත්‍රණය කිරීමට යෙදූ වචනයක්. ගීතයට සරිලන පරිදි මේ වදන බොම්බියේ යනුවෙන් මා සුඛනම්‍ය කර ගත්තා. ස්ථානික විඥානය හා ඓතිහාසික විඥානය මෙහිදී සම්මිශ්‍රණය කෙරෙනවා. කොළඹට නුදුරු පාමංකඩ එදා දක්නට ලැබුණු බයිලාවකට සම්මිශ්‍රණය වීමක් මෙහි දකින්න පුළුවන්. කටබහ වහරේ පැරැණි සැහැල්ලකට ඓතිහාසික පුවතක්ද සම්මිශ්‍රණය වෙලා තියෙනවා.”‍

 සුනිල් සරත් පෙරේරා රචනා කළ පෙර දිනයක මා, ඔබ මා සමග අතිනත ගන්නා දවස, කන්දෙන් ලන්දෙන්, ඈ යන්න ගියා මැකිලා වැනි බොහෝ ගීතවල දැකිය හැකි ප්‍රබල යටිපෙළ ප්‍රකාශනයක් තිබේ. එනම් කාලය, සුන්දරත්වය හා අනිත්‍යතාවයි. ගීත රචකයාගෙන් අපි ඒ පිළිබඳව විමසා සිටියෙමු.

ඔබ කියන දේ සත්‍යතාවක් තිබෙනවා. ඒ තුළ ඇත්තේ කාලය, සුන්දරත්වය හා අනිත්‍යතාව තමයි. ඒක සංකේත, සැබෑව හා කල්පිතය අතර මතු කරන සම්මිශ්‍රණයක් බව තේරුම් ගන්න පුළුවන්.

ගම්බද සොබාව මගේ ගීතවලට බොහෝ සෙයින් බලපෑ වින්දන මූලයක් බව කියන්න පුළුවන්. මා ප්‍රියාව විසුවේ කෑගලු‍ දිස්ත්‍රික්කයේ කඳුකර ගම්මානයක. ගම ඉස්මත්තෙන් පරපේ කඳු වළල්ලත් අලගල්ල කඳු මුදුනත් දිස්වෙනවා. ගම පහළින් ගලා යන ඔය ගමට ගෙනෙන්නේ අපූරු සොබාවක්. මා බිරිඳ තරුණ වියේ කන්ද බැස ඔයට ගිය කඩිසර සොබාව කන්දෙන් ලන්දෙන් ගීතයේ රිද්ම රටාවට බලපාලා තිබෙනවා. මෙහි පවත්නා රිද්ම ලතාව අමරදේවයන් කදිමට රසවින්ද බවත් වැටහෙනවා.”‍

සුනිල් සරත් පෙරේරා පද රචනා කළ පෙර දිනයක මා පෙම් කළ යුවතිය ගීතය එකල මෙන්ම අදත් මෙරට රසික ජනයා මහත් ආදරයෙන් වැළඳගන්නා ගීතයකි.

 

පෙර දිනයක මා පෙම් කළ යුවතිය
සිය පුතු නළවනවා
මගේම ගීයක් නැළැවිලි ස්වරයෙන්
ඈතින් මතු වෙනවා

මේ ගීතය පිළිබඳව එදා මෙදා කාලය තුළ රසිකයන් හා විචාරකයන් ලියූ කියූ විචාර අදහස් බොහොමයකි. ඉදිරියටද එය එසේම වනු ඇත. මෙම ගීතය එදා මෙන්ම අදත් විශ්වවිද්‍යාල සිසුන් අතර වඩාත් ජනප්‍රිය වූවකි. ඔවුහු එම ගීතයට වඩාත් ඇලුම් කළහ. ඒ නිසාම ඔවුහු මෙම ගීතයට තමන්ගේ අත්දැකීම්වල වචන යොදාගනිමින් එම අත්දැකීම් තමන්ගේ කර ගත්හ.

පණ්ඩිත් අමරදේවයන් දේශීය හා විදේශ ප්‍රසංග කිහිපයකදීම මේ රසබර අත්දැකීම විස්තර කර තිබිණ. එහිදී පණ්ඩිත් අමරදේවයන් කියා ඇත්තේ මෙවැන්නකි.

පේරාදෙණියෙ ශිෂ්‍යයන් කවදත් හොඳ කවියන්. අපි ගීයක් ගැයුවාම ඔවුන් ඒකට තව ගීයක් හදනව. පේරාදෙණියෙ ශිෂ්‍යයන් පෙර දිනයක ගීතය මෙහෙම වෙනස් කරල තිබුණා.

පෙර දිනයක මා පෙම් කළ හැතිරිය
තවෙකෙක් දක්කනවා
මගේම කලිසම ගජේට ඇඳගෙන
උගේ වගේ යනවා

කැලණියේ ශිෂ්‍යයන් මේකට තව එකක් හදල තිබුණා. ඒ මෙහෙමයි.

 

පෙර දිනයක මා පෙම් කළ යුවතිය
රටකජු විකුණනවා
මගේම ලියුමක ගොටුවක් හදලා
රටකජු මට දෙනවා
රටකජු කන්නද ලියුම බලන්නද
මගෙ හිත විමසනවා
මගේම ලියුමේ මොනව බලන්නද
මම රටකජු කනවා

පණ්ඩිත් අමරදේවයන් පෙර දිනයක මා පෙම් කළ යුවතිය ගීතය ගායනා කරන විට මෙය කාගේ අත්දැකීමක්දැයි රසිකයෝ විමසති. එහිදී අමරදේවයන් කියන්නේ “මේ වගේ අත්දැකීම් කාට වුණත් තියෙන්න පුළුවන්. මේක පොදු අත්දැකීමක්” කියාය. එය හරියටම දන්නේ ගීතයේ රචකයා බැවින් අපි මේ සාකච්ඡාවේදීම පෙර දිනයක අත්දැකීම ලැබුණේ කෙසේදැයි සුනිල් සරත් පෙරේරාගෙන්ම විමසා සිටියෙමු. එහිදී ඔහුගේ පිළිතුර වූයේ මෙයයි.

ඒක සත්‍යයත් කල්පිතයත් අතර එකක්”‍ බවයි.

සුනිල් සරත් පෙරේරාගේ මන බඳින මේ ගීතාවලිය පිළිබඳ සෑම පරම්පරාවක්ම මේ තරම් කතා කිරීමෙන් රසවිඳීමෙන් එම ගීතවල පවත්නා අගය වටහා ගත හැකිය.

 

(*** සටහන ගාමිණී කන්දේපොළ)



අදහස් (0)

අනෝතත්ත විල නෙළුම නෙලාලා

ඔබේ අදහස් එවන්න

 

විශේෂාංග

පාතාලය මැඬීමේ යුද්ධය
2025 මාර්තු මස 04 109 1

දශක තුනකට ආසන්න කාලයක් පුරා පැවති නොනවතින ලේ වැගිරීම්වලින් පසු, 2009 මැයි මාසයේදී ශ්‍රී ලංකා හමුදාවන් කොටි ගරිල්ලන්ට එරෙහිව ඓතිහාසික මිලිටරි ජයග්‍රහණය


අනෝතත්ත විල නෙළුම නෙලාලා
2025 මාර්තු මස 04 136 0

මේ ගීතය එදා පමණක් නොව අද ද ගුවන්විදුලි, රූපවාහිනී නාළිකාවලත් දළදා මාලිගය අභියසත් සුවහසක් රසික ජනයාගේ මුවගෙහිත් කොපමණ වාර ගණනක් ගායනා වන්නට ඇතිදැයි ගණ


අයවැයේ අනාගත පණිවිඩය
2025 මාර්තු මස 04 77 0

අයවැය යනු රටක වාර්ෂිකව ආදායම් සහ වියදම් පිළිබඳව ඇස්තමේන්තු කරමින් ඉදිරිපත් කරන නීත්‍යනුකූල ලියවිල්ලකි. රජයේ අදායම් සහ වියදම් සම්බන්ධයෙන් විස්තරාත්


නුදුටු කුමරතුඟුන්ගේ අගේ
2025 මාර්තු මස 03 54 0

කුමරතුඟු‍ මුනිදස් මහ සුබැසියාණන්ගේ ඊයේට (2) යෙදුණු 81 වැනි ගුණ සමරුව නිමිත්තෙනි.


ස්වාධීන අභිවෝදක මිථ්‍යාව යථාර්ථය
2025 මාර්තු මස 03 41 0

අපරාධ නඩුකටයුතු මහජනතාව දැඩි උනන්දුවක් දක්වන තීරණාත්මක කරුණකි. නඩුකටයුතුවල ප්‍රතිඵලය කුමක් වුවත්, පුරවැසියකු අපරාධ නඩුකීමට ලක් කිරීම, අපරාධ නඩුවක වි


ජාතික ආරක්ෂාව අනතුරේද?
2025 මාර්තු මස 01 326 1

පසුගිය 19 වැනිදා අලුත් කඩේ අධිකරණ සංකීර්ණයේ මහේස්ත්‍රාත් අධිකරණ ශාලාවක් තුළ දී පාතාල නායකයෙකැයි සැලකෙන ගනේමුල්ලේ සංජීව වෙඩි තබා ඝාතනය කිරීම ඒ ආකාරයට ම


වැඩි දෙනා කියවූ පුවත්



රනිල් මැතිසබයට?
2025 පෙබරවාරි මස 20 20052 50



මේවාටත් කැමතිවනු ඇති

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 127 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක 2025 පෙබරවාරි මස 19 448 0
රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක

නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 531 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

Our Group Site