‘‘වළාකුළු විසිර ගොස් එක් වන්නා සේ මානව වර්ග සියල්ල නිදහසේ දෙමුහුන් වෙමින් අනතුරුව එකිනෙකා වෙන්ව නැවත කවලම්ව ආපසු එකමුතු විය හැකි බව අපි මතක් කරගත යුතු වෙමු. මානව වර්ගයා නැවත එක් නොවන සේ බෙදී ගිය ගසක අතු ඉති සේ බෙදී නොයන්නේ ම ය.” ඉහත දැක්වෙන්නේ එච්.ජී වේල්ස් ගේ A short History of World නම් ග්‍රන්ථයේ ප්‍රාථමික නියෝලිතික ශිෂ්ටාචාරය නම් පරිච්ඡේදයේ එන කියමනක සිංහල පරිවර්තනයකි.
පෘථිවියේ ප්‍රභවයට අදාල මතවාදවල පටන් කරුණු තාර්කිකව ගෙනහැර පාන එච්.ජී. වේල්ස්, සත්ව හා මානව පරිණාමයත්, ශිෂ්ටාචාරය පුරා මානව වර්ග එකිනෙකා මිශ්‍ර වෙමින් ලෝක ශිෂ්ටාචාරය ඉදිරියට ඇදී ආ අයුරුත් සිය කෘතිය තුළ විග්‍රහ කරයි.
යම් යම් විෂයයන් හොඳින් හදාරා ඒවා අතැඹුලක් සේ දැන සිටියත්, අන්‍ය සංස්කෘතීන් දිරවා ගන්නට නොහැකිව තමාට උරුම යැයි සිතා ඉන්නා ජනවර්ග ගති ලක්ෂණම උතුම් යයි උදම් අනමින් අන් ජාතීන්ට එරෙහිව සටන් වදින්නට සූදානම් වූවෝ මෙරට ද නැත්තෝ නොවෙති.
ලොවෙහිත් එවැන්නෝ බහුල වෙත්. අන්‍ය සංස්කෘතීන් නොඉවසීම නිසා මානව ඉතිහාසය පුරා නහුතයක් මිනිස්සු එකිනෙකා කා කොටාගෙන මිය ගියහ. නොබෝදා ඇවිළුණු ඊශ්‍රායල පලස්තීන (හමාස්) ගැටුම්වලට මුල් වී ඇත්තේ ද තමන්ගේ ජන වර්ගය ම උතුම් යයි සිතන මුග්ධ ආකල්පයයි.
තිස් අවුරුද්දක් පුරා මෙරට පැවති ජනවාර්ගික යුද්ධයේ දී රටේ මානව සම්පත් හා ද්‍රව්‍යමය සම්පත් වනසා දැමීම උදෙසා දෙපාර්ශවයේම මූනිස්සම් කෝටි ගණනක් පුළුස්සා දමනු ලැබුවේය. රටේ මිනිස්සුන්ගේ සුබ සාධනයට වැය කළ හැකිව තිබූ ධනසම්පත් ගිනි අවි මිලදී ගැනීමට වැය කරන්නට සිදු විය. එකී මිලට ගත් ගිනි අවි වලින් කළේ ද රට තුළ මානව සම්පත් හා අනෙකුත් සම්පත් වනසා දැමීමයි. එවැනි ජාතියක් ආර්ථික වශයෙන් බංකොලොත් භාවයට පත් වූ පසුවත් එකිනෙකාගේ ජාති භේද, ආගම් භේද ඇදගෙන කුලල් කා ගන්නේ නම් අන් රටවලට ණයවී මෙරට සංවර්ධනයට ධන සම්පත් වැය කිරීමේ අරුතක් තිබේද?
”රට සංවර්ධනයට කලින් ජාතික සමගිය නංවන්න ඕනෑ” යනුවෙන් ජනාධිපතිවරයා මඩකලපුවේ දී කළ ප්‍රකාශයක් පසුගිය දිනෙක අප පුවත්පතේ පළ වූයේය. ජනවාර්ගික හා ආගමික ගැටලුවලට විසඳුම් ලබා නොදී රටක් ලෙස ඉදිරියට යා නොහැකි බව එහි දී ජනාධිපතිවරයා නොවලහා කියා සිටියේය.
මෙරට ජනවාර්ගික හා ආගමික ගැටුම් මතුවෙන ප්‍රවණතාවක් පවතින හැම වතාවකම රටේ ප්‍රගතිශීලී ආර්ථික විද්වතුන් ද එකී මතය හොඳින් විග්‍රහ කර තිබිණි.
මෙරට ජනවාර්ගික අර්බුදය සාමකාමීව විසඳා ගැනීමට තිබූ සෑම අවස්ථාවක්ම ගිලිහී ගියේ පොදු ජනතාවගේ වරදින් නොවේ. යම් පාර්ශවයක් ඊට දේශපාලන විසඳුම් දීමට පෙළඹෙන සෑම අවස්ථාවකදීම, මෙරට ජනතාවගේ ආගමික හා වාර්ගික හැඟීම් අවුස්සා ඡන්ද ලබා ගත්තෝ දේශපාලකයෝ ය.
මේ රට සිංහල දමිළ මුස්ලිම් බර්ගර් ජනයා, එකිනෙකා කෙරේ සහෝදරත්වයෙන් බැඳී සිටියහ. මුස්ලිම් ජනයා ඉතා විශ්වාසවන්ත ලෙස සිංහල රජවරුන් සමග කටයුතු කළ බවට සාක්ෂි එමටය. හින්දූන් මෙරට සංස්කෘතිය හා කෙතරම් යහපත් ලෙස බැඳී සිටියේ ද යන්න පොලොන්නරුවේ ඉතිහාසයෙන් පැහැදිලිය.
කිසිම ආගමක ශාස්තෘවරයකු මිනිසා මිනිසාට මෛත්‍රිය පෑම ආදරය දැක්වීම ප්‍රතික්ෂේප කොට නැත. ශාස්තෘවරුන් ප්‍රතික්ෂේප කොට ඇත්තේ එකිනෙකාට වෛර කිරීමයි. එම නිසා ආගමේ නාමයෙන් එකිනෙකාගේ සංස්කෘතීන්ට ගරහා ගැනීමත් තමන්ගේ සංස්කෘතිය අනිකාට වඩා අගනේ යැයි හුවා දැක්වීමත් මුග්ධ ක්‍රියාවකි. මෙකී මුග්ධ අදහස් මුල් කොටගෙන හටගන්නා වාර්ගික ගැටලු දුරදිග යාම නිසා මානව සම්පත් හා අනෙකුත් සම්පත් විනාශ කර දැමීම අතිශය අමනෝඥ ක්‍රියාවක් බව අමුතුවෙන් කිව යුතු නැත.
ලෝකයට ණය වී ඒ ණය ගෙවා ගත නොහැකිව අවාසනාවේ පතුලට වැටී ඉන්නා බංකොලොත් ජාතියක් කළ යුත්තේ එකිනෙකා පරයා තමන්ගේ ආගම් ජාති කුල ගොත් හුවා දැක්වීම නොව, සැවොම එකා මෙන් බැඳී සංවර්ධනයට උර දීමයි.
(***)
පාස්කු ඉරිදා සංහාරයට අදට වසර හයකි. මෙම ප්‍රහාරය පිරිමින්, කාන්තාවන් සහ ළමුන් ඇතුළු ජීවිත 269 ක් බිලිගත් ඛේදවාචකයක් වන අතර, එම අවස්ථාව වන විට ඔවුන්ගෙන් බොහ
පාස්කු ඉරිදා ඛේදජනක ප්‍රහාරයට වසර හයක් ළඟා වන අවස්ථාවේදී, ශ්‍රී ලංකාව තවමත් පැටළී සිටින්නේ පිළිතුරු නොලැබෙන ප්‍රශ්න, ප්‍රමාද වූ නඩු පැවරීම්, දේශපාලන ම
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සියලු රටවලට අප්‍රේල් 05 වැනි දා සිට බලපාන ලෙස ඔවුන්ගේ ආනයන තීරු බදු සියයට 10 දක්වා ඉහළ දැමීමේ නිල විධානයකට මෙම අප්‍රේල් 02 වන දි
කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ බෝධිය ආසන්නයේ නවතා තිබූ කාර් රථයක අටවන ලද අධිබලැති බෝම්බයක් පුපුරා ගියේ 1987 වසරේ අප්‍රේල් මස 21 වැනිදා සවස් යාමයේය.
ට්‍රම්ප්ගේ වෙෙළඳ කම්පනය ගෝලීය පිළිවෙලට දැවැන්ත පහරකි. එය නියෝජනය කරන්නේ 1970 ගණන්වලදී බ්‍රෙට්න්වුඩ්ස් ක්‍රමය අවසන් වීමෙන් පසු ඇති වූ විශාලතම බිඳවැටීමය
ශ්රී සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ පන්සාළිස් වසරක් මුළුල්ලේ දේශනා කොට වදාළ ස්වාසුදහසක් ශ්‍රී ධර්මස්කන්ධයේ පහස ලැබුවුවා වූ පරම පූජනීය අතිඋ
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
අන්‍යයන්ගේ සංස්කෘතිවලට අවමන් කිරීම මිනිස්කමට නිගාවක්
ආධුනික පාඨකයෙක් Thursday, 19 October 2023 07:27 PM
මෙම කතුවැකිය උගත්, බුද්ධිමත්, තුන්කල් දක්නා නුවණකින් සන්නද්ධ කතුතුමාගේ දාර්ශනික ස්පර්ශය මොනවට පිළිිඹිබු කෙරේ.