මහනුවර දළදා මැදුරේ තැන්පත් කර ඇත්තේ බුදුරජාණන් වහන්සේගේ යටි හනුවේ වම් දන්ත ධාතුන් වහන්සේය. හේමමාලා කුමරිය සහ දන්ත කුමරු ගෙන ආ කුඩා කරඬුව මැදිකර මේ වන විට කරඬු හතකින් දළදා වහන්සේ වසා තිබේ. ක්‍රිස්තු වර්ෂ 362 දී දළදා වහන්සේ ලක්දිවට වැඩම කරවූ තැන පටන් අවුරුදු 701 ක් අනුරාධපුර රාජධානියේ වැඩ වාසය කළ දළදා වහන්සේ අනුරාධපුර රාජධානිය බිඳවැටුණු පසු පොළොන්නරුවේ වඩා හිඳුවන ලද්දේ මහා විජයබාහු රජතුමා විසිනි.
පොළොන්නරු යුගයේදී මහා විජයබාහු රජතුමා දළදා මැදුර සහ දළදා වහන්සේ ආරක්ෂා කිරීම භාර කළේ ‘වේලයික්කාර හමුදාවටය.’ මෙම වේලයික්කාර භට හමුදාව සම්පූර්ණයෙන්ම දකුණු ඉන්දීය දෙමළ කුලී හේවායන්ගෙන් සැදුණු සේනාංකයකි. රජතුමා රැකවල් කිරීමට දිවුරුම් දී බැඳී සිටි ඔවුන් වැඩිදෙනා තෙලිඟු ජාතිකයන් බව සඳහන් වේ. මහා පරාක්‍රමබාහු රජු ද විජයබාහු රජ කළ පරිදිම දළදා වහන්සේ රැකීම භාර කළේ වේලයික්කාර හමුදාවටය.
පොළොන්නරුව පූජා නගරයේ දළදා මළුවෙහි පිහිටුවා ඇති ‘වේලයික්කාර සෙල්ලිපිය’ 12 වැනි සියවසේ පිහිටුවන ලද්දකි. මහා විජයබාහු රජුගේ මුල් රාජ්‍ය කාලයේදී රජතුමා සිය පෞද්ගලික ආරක්ෂකයන් වූ වේලයික්කාර භටයන්ට දළදා මැදුරේ ආරක්ෂාව භාර කර තිබූ බව එම සෙල්ලිපියේ සඳහන් වේ. රටේ කවර තත්වයක් ඇති වුවද තමන් ධාතුන් වහන්සේට දිවිහිමියෙන් ආරක්ෂාව සලසන බවට වේලක්කාර භටයන් මෙම සෙල්ලිපියෙන් ශපථ කර ඇත.
පොලොන්නරු රාජ්‍ය සමයේ දළදා මාලිගාව වූයේ අටදාගෙයයි. අටදාගෙය පිහිටි උස්බිම හඳුන්වන්නේ දළදා මළුව ලෙසය. අටදාගෙය එතරම් විශාල නොවූ දෙමහල් මැදුරකි. දළදා වහන්සේ සහ පාත්‍ර ධාතුන් වහන්සේ තැන්පත් කර තිබුණේ ඉහළ මාලයේය.
මහා විජයබාහු රජතුමා නුවරගල් දේව සේනාපතියා ලවා මෙම දළදා මැදුර කරවා දළදා පූජා මහෝත්සවයක් ආරම්භ කළේය. පොලොන්නරු යුගයේදී තැනූ තවත් දළදා මැදුරක් වන්නේ හැටදාගෙයයි. මෙය දිගින් අඩි 120 ක් හා පළලින් අඩි 90 ක් පමණ වන කැටයමින් යුතු ගල් බිත්තියෙන් සැදුණු ගොඩනැගිල්ලකි. එම මැදුරේද දන්ත ධාතුව, පාත්‍රා ධාතුව හා වෙනත් ධාතුන් වහන්සේ ඉහළ මාලයේ තැන්පත් කර තිබූ බව ඉතිහාසයේ සඳහන් වෙයි. හැටදාගෙය මහා පරාක්‍රමබාහු රජතුමාගේ නිර්මාණයකි.
රජකමට නියම අයිතිය ලැබෙන්නේ දළදා වහන්සේ අත්පත් කරගෙන සිටින කුමාරයකුටය යන විශ්වාසය මෙරට තහවුරු වූයේ පොලොන්නරු යුගයේදීය. මහා පරාක්‍රමබාහු රජතුමා රජවන විටද දළදාව ඔහුට අයත් වූයේ නැත. දළදා වහන්සේ එකල රෝහණ දේශයේ රජවරුන්ගේ වස්තුවක් විය.
මහ සටන් ගණනාවකින් පසු රුහුණේ දී දළදාව අත්පත් කරගත් පරාක්‍රමබාහු රජතුමා සටන පවතිද්දීම දළදාව පොලොන්නරුවට ගෙන්වා මාහැඟි දළදා මැදුරක් තනවා රටවැසියාට වන්දනයට අවස්ථාව සැලසීය. ‘ලංකා විශ්වවිද්‍යාලයේ ලංකා ඉතිහාසය’ කෘතියේ ඒ පිළිබඳව මෙසේ සඳහන් වෙයි. ‘දළදා වහන්සේ තැන්පත් කර තිබුණේ සිදුරු කර සුවඳ සුණු කවන ලද මාහැඟි මැණිකක් තුළ ය. මේ මැණික රුවන්මුවා කරඬුවක තබා ඒ කරඬුව ද තවත් මාහැඟි රන් කරඬුවක් තුළ තැන්පත් කරන ලදී. මේ අවස්ථාවේ මහත් හාස්කම් සිදුවූ බව චූලවංශයේ කියා තිබේ. එය වැසි කාලය නොවූ නමුත් ධාතුන් වහන්සේ නගරයට වැඩම කරත්ම වැසි වට බව එහි සඳහන් වේ. වැසි වැස්සේද උත්සව ස්ථානයෙන් බැහැරය. නියම කාලයේ වැසි ලබාදීම රජුගේ කටයුතුවලින් එකකැයි පුරාණ කාලයේ මිනිස්සු විශ්වාස කළහ. දළදා වහන්සේ රජු සතුව තිබීම වැදගත් කොට සලකන ලද්දේද මේ නිසාය. පරාක්‍රමබාහු රජතුමා දළදා උළෙල අවුරුදු පතා පැවැත්වීය. නිශ්ශංකමල්ල රජතුමා වීරබාහු නමැති පුත් කුමරුවාත් සර්වාංග සුන්දරී නමැති දූ කුමරියත් දළදා වහන්සේට පූජා කළේය. හෙතෙම රන්මුවා දාගැබක් පුත් කුමරුගේ සහ දූ කුමරියගේ මිල හැටියට පූජා කොට ඔවුන් නිදහස් කර ගත්තේයැ’ යි එහි සඳහන් වේ.
කාලිංග මාඝගේ ආක්‍රමණය නිසා පොලොන්නරු රාජධානිය බිඳ වැටුණු පසු මහා සංඝයා වහන්සේ දළදා හා පාත්‍ර ධාතුන් කොත්මලේ පුසුල්පිටි විහාරයට ගෙන ගොස් රැක ගත්හ. තුන්වැනි විජයබාහු රජු දඹදෙණියේ රජවීමට පෙර ඔහුගේ මුල් ගම වූ වත්මන් අලව්වට නුදුරු බෙලිගල පර්වතයේ දළදා මැදුරක් තනවා කොත්මලේ සිට බෙලිගලට දළදා වහන්සේ වැඩමවා ගෙනැවිත් තැන්පත් කළහ. එම රජුගේ පුත් දෙවැනි පරාක්‍රමබාහු රජතුමා දඹදෙණියේ දළදා මැදුරක් තනවා දළදාව එහි තැන්පත් කළහ. මහනුවර යුගයේ දී අලුත්වැඩියා කළ එම දළදා මැදුර දැනුත් දඹදෙණිය රජමහා විහාරයේ දී දැකගත හැකිය.
ඉන්පසුව පළමු බුවනෙකබාහු රජ සමයේ යාපහුවට ද ඉන්පසු ඔහු පුත් දෙවැනි බුවනෙකබාහු රජු කුරුණෑගල ද දළදා මන්දිර ඉදිකරවා දළදා වහන්සේ එහි තැන්පත් කළහ. ඉන්පසු ගම්පොළ රාජධානි සමයේ ගම්පොළ නියම්ගම්පාය රජමහා විහාරයේද රාජ්‍යය කෝට්ටේට මාරු වූ පසු කෝට්ටේ ද දළදා මැදුරු තැනිණි. මහනුවර රාජධානි සමයේ පළමු විමලධර්මසූර්ය රජතුමා සිය මාලිගය අසලම දෙමහල් දළදා මැදුරක් කරවා දළදා වහන්සේ එහි තැන්පත් කරවීය. සතුරු ආක්‍රමණ ඇතිවූ අවස්ථා කිහිපයක එම ස්ථානයෙන් තාවකාලික ආරක්ෂා ස්ථාන කරා දළදා වහන්සේ ගෙනගිය ද මහනුවර යුගයේ දී රජවාසල අසලම ස්ථීර පූජා ස්ථානයක දළදා වහන්සේ තැන්පත් කෙරිණි.
පළමුවැනි විමලධර්මසූරිය රජතුමා කරවූ දළදා මැදුර ශ්‍රීවීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජුගේ කාලය වන විට දිරාපත්ව තිබුණේ යයි ද ඒ රජු විසින් පැරණි තෙමහල් මන්දිරය දෙමහල් මන්දිරයක් කර නැවත ඉදිකරවූයේ යැයිද මහාවංශයේ සඳහන් වේ.
මහනුවර රජකළ රජවරු විසින් පුදන ලද යම් යම් පූජා භාණ්ඩ අදත් මාලිගය සතුය. කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් පුදන ලද අටපිරිකර දෙකක්, මැණික් ඔබ්බවා රනින් කරන ලද විජිනිපතක් හා එම රජ විසින්ම පුදන ලද රන් මිටකින් යුත් චාමරයක්ද සුරක්ෂිතව තිබේ. කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ මව විසින් පූජා කරන ලදැයි සටහන් කර ඇති තනි රත්තරනින් සාදා මැණික් එබ්බවූ දළු මුර තට්ටුවක් ද (බුලත් හෙප්පුවක්) මාලිගයේ ඇත. මල් බන්දේසි දෙකක් - මෙයින් කුඩා මල් බන්දේසිය කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් පුදන ලද තනි රත්රනින් නිමවන ලද්දකි. එය බදාදා තේවාවේදී පාවිච්චි කරනු ලැබේ. සෙසු දිනවල තේවාවේදී පාවිච්චි කරන ලොකු බන්දේසිය රන් හා රිදී මිශ්‍රව සාදන ලද්දකි. මෙම බන්දේසිය 1824 – 1831 දක්වා ඉංග්‍රීසි ආණ්ඩුකාරයා වූ එඩ්වඩ් බාන්ස් විසින් පූජා කරන ලද්දකි.
(*** ප්‍රේමකීර්ති රණතුංග)
මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය වාර්තා කරන ආකාරයට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය බෙහෙවින් සාර්ථක එකක් විය. අප්‍රේල් 4 වැනි සිකු
ප්‍රවීණ ගීත රචක බණ්ඩාර ඇහැළියගොඩ මහතාගේ ගීත විමර්ශනය කරමින් ගෝනදෙණියේ විමලජෝති හිමියන් විසින් රචනා කරන ලද “නොනිවෙන පහන් සිළ-බණ්ඩාර ඇහැළියගොඩ නිර්මා
ගෝනදෙණියේ විමලජෝති හිමි මීට පෙරද නිර්මාණාත්මක සාහිත්‍යය සම්බන්ධයෙන් මෙන්ම බුද්ධ ධර්මය සම්බන්ධයෙන් ද කෘති කිහිපයක්ම ලියා පළ කළ යතිවරයාණන් වහන්සේ නම
මහනුවර දළදා මැදුරේ තැන්පත් කර ඇත්තේ බුදුරජාණන් වහන්සේගේ යටි හනුවේ වම් දන්ත ධාතුන් වහන්සේය. හේමමාලා කුමරිය සහ දන්ත කුමරු ගෙන ආ කුඩා කරඬුව මැදිකර මේ වන ව
ජනතා විමුක්ති පෙරමුණ කේඩරවාදී දේශපාලන පක්ෂයකි. එම පක්ෂය බිහි වෙන්නේ කිසියම් දුරට චීන කොමියුනිස්ට්වාදය නැතිනම් මාඕවාදය පදනම් කරගෙනය. මේ සන්දර්භයේ ඉන්
පාස්කු ඉරිදා සංහාරයට අදට වසර හයකි. මෙම ප්‍රහාරය පිරිමින්, කාන්තාවන් සහ ළමුන් ඇතුළු ජීවිත 269 ක් බිලිගත් ඛේදවාචකයක් වන අතර, එම අවස්ථාව වන විට ඔවුන්ගෙන් බොහ
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
අනුරපුර සිට මහනුවරට දළදා වහන්සේ වැඩි ගමන් මග