IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


අඳුරෙන් එළියට යන්න මගක්

මෙවර කිවිඳු දැක්ම ලියන්නට වී තිබෙන්නේ රටේ වෙන කවරදාටවත් නැති තරම් සංකීර්ණ ගැටලු ගණනාවක් මතු වී තිබෙන අවස්ථාවකය.  ඉතාමත් සරළව කිවහොත් ඩොලර් හිඟය නිසා මතු වූ බරපතළ ප්‍රශ්න ගණනාවක්ම මුළු රටම බරපතළ හිරවීමකට තල්ලු කර ඇත. එක පැත්තකින් ඩොලර් හිඟවීම නිසා ඉන්ධන නොමැතිවීමෙන් ගමනා ගමනයට බරපතළ ගැටලුවක් මතුවී ඇත. එහිම දිගුවක් වශයෙන් විදුලි බලය නිපදවන්නට ඉන්ධන නොමැතිවීම නිසා පැය 05 කටත් වැඩි කාලයක් විදුලිය කපන්නට සිදුවී ඇත.

පැය ගණන් විදුලිය කැපීමෙන් රටේ අනෙකුත් ක්ෂේත්‍ර ගණනාවක්ම බරපතළ ගැටලුවලට මුහුණ දෙමින් තිබෙන බව ඉතාමත්ම පැහැදිලිය. මේ ගැටලුව පිළිබඳව කතා කිරීම හැර වෙන දෙයක් පිළිබඳව අවධානය යොමු කරන්නට නොහැකි තරමට ආර්ථික ක්ෂේත්‍රයේ තත්ත්වය වර්ධනය වී ඇත. ඒ නිසාම මෙවර කිවිදා දැක්මෙන් ලියන්නේ අපි මුහුණ දෙමින් සිටින අර්බුදය පිළිබඳවය. ඒ කියන්නේ ආර්ථිකයේ මතුවී තිබෙන ගැටලුකාරිත්වය පිළිබඳව සහ එයින් එළියට යාම සඳහා ගත හැකි පියවර පිළිබඳවය.

 

අර්බුදයේ තරම

බොහෝ අය දන්නා පරිදි රටක ආර්ථිකයක් කියන්නේ හුදකලා ක්‍රියාදාමයක් නොව එකිනෙකට ගැටගැසුණු ක්‍රියාදාමයක්ය. රටේ සිදු වෙමින් පවතින දේවල් මෙන්ම ලෝකය තුළ සිදු වෙමින් පවතින දේවල්ද ඒ අනුව ආර්ථිකයට සම්බන්ධය.

අපේ රටේ ආර්ථකය යම් ආකාරයක අලුත් අර්බුදයකට මුහුණ දුන්නේ 2015 ආරම්භයේ පටන් බව මගේ තේරුම් ගැනීමය. රටේ ආර්ථික වර්ධන වේගය පහතට වැටෙන්නට ගන්නේ එතැන් පටන්ය. මා උත්සාහ කරන්නේ ප්‍රශ්නයේ අතීතයට ගොස් වගකීම කාටහරි බාරදී චෝදනා කරමින් සිටින්නට නොවේ. 2015 සිට 2022 දක්වා පසුගිය වසර 07 තුළ ආණ්‍ඩු දෙකක් පාලනයට සම්බන්ධ වී ඇති බව පැහැදිලිය. එයින් එකක් වන්නේ 2015-2019 දක්වා පැවැති එජාප මුල් කරගත් ආණ්‍ඩුවය.

අනෙක වන්නේ 2019 ජනාධිපතිවරණයෙන් පසුව ආරම්භ වූ අපේ ආණ්ඩුවය. ආර්ථිකයේ අද තිබෙන ගැටලුවට මේ ආණ්ඩු දෙකේම ප්‍රතිපත්ති සම්පාදකයන් වගකිවයුතුයැයි සාමාන්‍ය සමාජයෙන් මතු වෙන විවේචනවලට පිළිතුරක් දිය හැක්කේ ගැටලුවේ තරම වාස්තවිකව තේරුම් ගැනීමෙන් බව මගේ අදහසය. යමක් වාස්තවිකව තේරුම් ගන්නවා කියන්නේ ඒ ප්‍රශ්නය පිළිබඳව ඇත්ත ඇති සැටියෙන් වග විභාග කර තේරුම් ගැනීම්ය. ප්‍රශ්නයට අපේ පැත්තේ හෝ එහා පැත්තේ සම්බන්ධතාව ගැන සිතන්නේ නැතිව ගැටලුව තේරුම් ගැනීමය.

රටේ විදේශීය මුදල්වල හිඟය අද ඇති වී තිබෙන අර්බුදවල ප්‍රධානතම හේතුව බව හැමෝම දන්නා කාරණයක්ය. රටට විදේශ මුදල් ලැබෙන ක්‍රම සහ මාවත් ලෝක පරිමාණව හැකිලී ඇති බව සත්‍යයක්ය. කොවිඩ් 19 වසංගත තත්ත්වය මෙහිදී ප්‍රධානතම බලපෑම් සාධකයක් වූ බවත් සැබෑවක්ය. ඒ කුමන හේතුව එයට සම්බන්ධ වූවත් සාමාන්‍ය මහජනතාවට ඒ තත්ත්වය ඒ ආකාරයෙන් තේරෙන්නේ නැත. ඒ අය බලන්නේ ජාත්‍යන්තරව කුමන හේතුව බලපෑවත් රට තුළ තිබෙන්නේ ජීවිතය පහසුවෙන් කරගෙන යාමට ඉඩ ලබාදිය යුතු යැයි කියාය. ඉන්ධන පෝලිම්, විදුලි කප්පාදුව වැනි දේවල් හේතුවෙන් ඒ මොහොතේ පාලන රජය ගැන බරපතළ විවේචන සමහර අය කරන්නේ ඒ හේතුව නිසාය.

ඩොලර් හිඟය නිසා ඩොලර් ගෙවා ලබා ගන්නා භාණ්ඩ සහ සේවා එක්කෝ හිඟ වී තිබෙන අතර නැත්නම් මිල වැඩි වී තිබේ. ඉන්ධන, ගෑස්, තිරිඟු පිටි වැනි දේවල් සම්පූර්ණයෙන්ම ගෙන්වන්නේ පිටරටින්ය. ඒ කියන්නේ ඩොලර්වලටය. එසේම සීනි, කිරිපිටි, සිමෙන්ති වැනි දේවල්වලින්ද වැඩි හරිය ගෙන්වන්නේ පිටරටින්ය. ඒ කියන්නේ ඩොලර්වලටය. ඒ නිසා අපේ රටේ සාමාන්‍ය ජන ජීවිතයේ විශාල කලාපයක් ගැට ගැසී ඇත්තේ ඩොලර් ගෙවා ලබා ගන්නා භාණ්ඩවලටය. ඩොලර් ගෙවා ලබා ගන්නා සේවා වලටය.

තත්ත්වය මෙවැනි පදනමක තිබෙන විට රටේ විදේශ මූල්‍ය ශක්තිය වර්ධනය කර ගැනීමේ කාර්යය අංක එකේ අවශ්‍යතාව බවට පත්වී ඇති බව ඉතාමත් පැහැදිලිය. ජනතාවගේ පැත්තෙන් තියෙන්නේ අවශ්‍යතාව සහ බලාපොරොත්තුව පමණය. ප්‍රතිපත්ති සහ උපක්‍රම (Policey and Stratorgy) තේරිය යුත්තේ ඒ ඒ කාලවලට සාපේක්ෂව ආණ්ඩු විසින්ය. ජනතාව රජයට ඇඟිල්ල දිගු කරන්නේ මේ හේතුව පදනම් කරගනිමින් නිසා රජයේ පැත්තෙන් ශක්තිමත් ප්‍රතිපත්තිය තේරීමකට යාම අත්‍යවශ්‍යය.

කැබිනට් මණ්ඩලය සාමූහික වගකීමක් ගැනීමත් ආණ්‍ඩුව එක හඬකින් කතා කිරීමත් අවශ්‍යය. එසේම මෙවැනි අර්බුදජනක අවස්ථාවක තේරිය යුතු නිවැරදිම විසඳුම සොයා ගැනීමට පහසු වන්නේ පළල් ප්‍රජාතන්ත්‍රීය අවකාශයක් තුළ ප්‍රශ්නය සාකච්ඡා කිරීමෙනි. විදුලි අර්බුදය පිළිබඳව ජනාධිපතිතුමා විසින් පසුගියදා පැවැත්වූ සාකච්ඡාව ඒ පැත්තෙන් ඉතාමත් ධනාත්මක හා ඉදිරිගාමී පියවරක්ය. ඩොලර් ගැටලුව හෙවත් විදේශීය මුදල් සම්බන්ධ ගැටලුව පිළිබඳවත් පළල් හා වෘත්තීය මට්ටමේ සාකච්ඡාවක් ගොඩනගා ගැනීම ඉතාමත් වැදගත්ය.

ඩොලර් වැය කරන ආකාරය නිවැරදි ද?

මේ සංවාදයටම සම්බන්ධව පසුගිය දිනවල මතුවූ අදහසක් වන්නේ අපේ රටේ විදේශ මුදල් වැය කරන ආකාරයේ ගැටලුවක් තිබෙන බවයි.
ඉන්ධන ගෙන්වීමට වඩා ඇපල් ගෙන්වීම ප්‍රධාන වී ඇතැයි සමහරුන් කියන්නේ මේ කාරණය පිළිබඳවය. මේ කාරණය සත්‍ය කරුණක් දැයි මා දන්නේ නැත. එහෙත් විවෘත ආර්ථිකයක් ඇති රටක ආනයනය පිළිබඳව නීති රීති දැමීමේදී සැලකිල්ලට ගත යුතු පැති ගණනාවක් තිබෙන බව පැහැදිලිය. අපේ රටේ ආනයනය පිළිබඳව දැනටමත් පනවා ඇති නීති පිළිබඳව වෙළෙඳ සබඳතා ඇති සමහර රටවල් විරෝධය පළ කර ඇත.
යුරෝපියානු සංගමය මේ පිළිබඳව නිශ්චිතවම කරුණු දක්වා තිබූ බව සත්‍යයක්ය. මේ පිළිබඳව රජයේ තීරණය පළල් අවධානයකින් ගත යුතු බව සත්‍යයක්ය. එසේම ඩොලර් හිඟ කාලයේ ආනයනය කරන්නේ මොනවාද යන කාරණය පිළිබඳව අවම වශයෙන් කැබිනට් මණ්‍ඩලය තුළවත් යම් එකඟතාවක් ගොඩනගා ගැනීම ඉතාමත් වැදගත්ය.

පසුගිය 2021 වර්ෂයේ මෙරට අපනයනයෙන් ලැබූ ඩොලර් ආදායම ඩොලර් මිලියන 12502 කි. ඒ කියන්නේ ඩොලර් කෝටි 1250 කි. එම වර්ෂයේ මෙරටට පිටරටින් ආනයනය කරනු ලැබූ භාණ්‍ඩ සඳහා සිදු කර තිබෙන වියදම ඩොලර් මිලියන 20,637 කි. ඒ කියන්නේ ඩොලර් කෝටි 2063 කි. මේ වියදම තුළ ඉන්ධන, බෙහෙත් වැනි දේ තිබෙන බව සැබෑවක්ය. එහෙත් ඒ තුළ විදේශවලින් ගෙන්වන එළවළු පලතුරු ඇතුළු ආහාර වර්ග සඳහා ඩොලර් මිලියන 1.666 ක් පමණ වැය කර ඇති බව මහ බැංකු වාර්තාවෙන් පෙනී යන කාරණයයි. විවෘත වෙළෙඳපොළ ආරක්ෂා කරන අතරම අප සතුව තිබෙන ඩොලර් සකසුරුවමින් යොදවන පරිදි ප්‍රතිපත්ති සහ නීති සකස් කිරීම මේ අමාරුසහගත අවස්ථාවේ ඉතාමත් අවශ්‍ය කාරණයක්ය.

කළ යුත්තේ කුමක්ද?

අපේ රටේ ආර්ථිකයේ බරපතළ ගැටලුවක් පැමිණි පළමු අවස්ථාව මෙය නොවේ. වසර 30 යුද්ධය, සුනාමිය වැනි බරපතළ අවස්ථා පාලනය කර ගැනීමටත් ඒවා මතින් සාර්ථකව නැගී සිටීමටත් රටක් ලෙසින් අපට හැකි වී ඇත. ඒ නිසා මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමේ හැකියාව සහ බලාපොරොත්තුව අවුල් කර ගැනීමේ කිසිදු අවශ්‍යතාවක් නැත. එහෙත් මෙවැනි අර්බුදවලින් ගොඩයාමේ හැකියාව තිබෙන්නේ ආර්ථික ක්ෂේත්‍රය පිළිබඳව රටේ තිබෙන විශේෂඥයන්ගේ මැදිහත්වීමෙන් ගොඩ නගන ශක්තිමත් සැලැස්මක් තුළින්ය. දේශපාලන වශයෙන් පක්ෂවලට සහ කණ්ඩායම්වලට බෙදී සිටීම සාමාන්‍ය තත්ත්වයකදී නිවැරදි නමුත් මෙවැනි තීරණාත්මක තත්ත්වයකදී ඒ දෙපැත්තට බෙදී සිදුකරන දේශපාලනය පසෙකින් තැබිය යුතු බව මගේ යෝජනාවය.

දෙවනුව මේ ගැටලුව සම්බන්ධව විසඳුම් සෙවීමේ ප්‍රජාතන්ත්‍රීය ඉඩ වඩාත් ධනාත්මකව පාවිච්චි කළ යුතුය. මේ ගැටලුවට විසඳුම තිබෙන්නේ තාක්ෂණික සහ විශේෂඥ දැනුම යන දෙපැත්තෙන් නිර්මාණය කරන පිළිතුරක් මත මිස හුදු තීරණ ගැනීම මත නොවේ. ඒ නිසාම මහ බැංකුව, මුදල් අමාත්‍යාංශය සහ මෙම විෂය සම්බන්ධ විශේෂඥ දැනුම්සහගත ආයතන පද්ධතිය තුළ උපදේශනාත්මකව මැදිහත්වීම් (Cansultative interventions) හරහා බුද්ධිමත් හා ප්‍රායෝගික විසඳුම් මාලාවක් නිර්මාණය කරගැනීම ඉතාමත් අවශ්‍යය. අපේ රටේ 1948 සිටම දේශපාලන තීරණ ගැනීමේ ක්‍රමවේදයේ තිබූ බරපතළම වැරැද්දක් වූයේ ‘‘රටේ ප්‍රශ්නයක් තිබේ. අපේ ළඟ උත්තරය තිබේ’’ යන අදහසින් වැඩ කිරීමය. අනෙක් ක්ෂේත්‍රවලට වඩා ආර්ථික ක්ෂේත්‍රයේ ගැටලුවලට පිළිතුරු සෙවීමේදී විශේෂඥ උපදේශනය අත්‍යවශ්‍යය බව ලෝකයේ දියුණු රටවලින් අපි ලබා ගත යුතු ආදර්ශයක් බව මගේ යෝජනාවය.

තුන්වෙනුව මේ ආර්ථික ගැටලුව විසඳා ගැනීමට අවශ්‍ය තවත් එක් පූර්ණ කොන්දේසියක් ලෙසින් ශක්තිමත් සාකච්ඡා අවකාශයක් කැබිනට් මණ්‍ඩලය තුළ, පාර්ලිමේන්තුව තුළ සහ රට තුළ ඇති කිරීම ඉතාමත් අවශ්‍යය. එයින් අදහස් කරන්නේ කිසිදු තීරණයක් නොගෙන හැමෝගේම අදහස්වලට ඇහුම්කන් දෙමින් සිටිය යුතු බව නොවේ. තීරණ ගන්නා යාන්ත්‍රණයේ කොටසක් බවට සියලු කොටස්කරුවන් පත් කිරීමය. එවැනි උත්සාහයක් තුළින් සිදුවිය හැකි යහපත් දේවල් රාශියකි. එනම් 1. විසඳුම් සෙවීමේදී ඉතාමත් නිවැරදි විසඳුමක් සකසා ගැනීමේ අවකාශය වැඩිවීම 2, දැනට භාවිත කරමින් සිටින විසඳුම් වඩාත් නිවැරදිව සකසා ගැනීමේ හැකියාව 3, ගැටලුවට විසඳුම් සෙවීමේදී සිදුවිය හැකි ප්‍රතිපත්ති ගැටලු නිරාකරණය කර ගැනීමේ හැකියාව වැනි දේවල් ඒ අතරින් ඉතාමත් වැදගත්ය.

එපමණක් නොව ආර්ථිකය වැනි සංවේදී විෂයක ජනතාවකගේ පැත්තෙන් නිවැරදි මතවාදයක් සහ සත්‍ය තොරතුරු සමාජ ගතවීම මෙවැනි උපදේශනාත්මක මැදිහත්වීම් හා සංවාදය තුළින් සිදුවිය හැකි වැදගත්ම ඒවාය. ආර්ථිකය සංවේදී කලාපයක් යැයි කීවේ රටේ බැංකු පද්ධතිය සහ මුදල් පද්ධතිය පිළිබඳ ජනතා විශ්වාසය තබා ගැනීම ඉතාමත් අවශ්‍ය කාරණයක් නිසාය. ග්‍රීසියට සිදුවූයේ ඒ රටේ මුදල් ගැන සහ බැංකු පද්ධතිය ගැන ජනතා විශ්වාසය කඩා වැටීමය. ඒ නිසා මේ රටේ මාධ්‍ය අවකාශයේ හැසිරෙන මිථ්‍යා මතවාද සහ කරුණු විකෘති කිරීම් අවම කිරීම ඉතාමත් අවශ්‍යය. ඒ සඳහා සංවාදය ශක්තිමත් කිරීම ඉතාමත් වැදගත්ය.

හතරවෙනුව මේ ආර්ථික ගැටලුව සමහන් කර ගැනීමේ ක්‍රියාදාමයට විශේෂඥ පිළිතුරක් නිර්මාණය කිරීමේදී වැදගත් විය යුතු යැයි සැලකෙන කරුණු අතර ප්‍රමුඛතා හඳුනා ගැනීම ඉතාමත් අවශ්‍යය. එම ප්‍රමුඛතාව මත ගොඩ නගන ක්‍රියාකාරී උපක්‍රමික සැලැස්මක් (practical Stratergic plan for recovcry) හරහා මේ අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ගමන් කිරීම රාජ්‍යය පැත්තේ ප්‍රධාන වගකීම බවට පත්වී ඇති බව මගේ අදහසය.

මහාචාර්ය චරිත හේරත්



අදහස් (4)

අඳුරෙන් එළියට යන්න මගක්

NM Saturday, 05 March 2022 07:38 AM

ආර්ථික අර්බුදයෙන් ගොඩඒමේ හැකියාවක් සහ බලාපොරොත්තුවක් වර්තමාන රජයට නොතිබෙන බව මේවනවිට රට තුළ සිදුවන සහ ජනතාව දිනපතා මුහුණදෙන ගැටළු නිසා රටේ ජනතාවටම අවබෝධ වී තිබේ. රජය ආර්ථික අර්බුදය විසඳීම සඳහා කිසිඳු උත්සාහයක් හෝ නොගැනීම තුළ ශ්‍රී ලංකාවේ ආර්ථික කලමනාකරණය දෙස ප්‍රශ්නාර්ථයක් මතුව තිබේ. මේ වනවිට රටතුළ පවතින්නා වූ දේශපාලන අර්බුද නිසා සහ දේශපාලන අස්ථාවර තත්වයන්ට විසඳුම් ලබාදීමට නොහැකි රජයක් ආර්ථිකය වැනි සංකීර්ණ අර්බුදයට විසඳුම් ලබා දෙන්නේ කෙසේද යන ගැටලුව ජනතාව ඉදිරියේ පවතියි. ආර්ථිකය කඩා වැටීම නිසා රටේ සියලු ක්ෂේත්‍රයන් අඩු වැඩි වශයෙන් කඩාවැටී තිබේ. මේ වනවිට රටක ආර්ථිකය රඳා පවතිනුයේ දේශීය ආර්ථිකය මත නොව ගෝලීය ආර්ථිකය මතවේ. ගෝලීය ආර්ථිකයක් මත ලෝකය ගනුදෙනු රදා පවතින නිසා ලෝකයේ රටවල් ද්විපාර්ෂික සහ බහුපාර්ෂික අවබෝධතා මත ඔවුනොවුන්ගේ ආර්ථිකය ගෝලීය ආර්ථිකය සමග ගලපාගෙන තිබේ. FTA, NAFTA , TPP වැනි ගිවිසුම් සඳහා එකඟතාවයන් ඇතිකරගෙන තිබෙනුයේ ආර්ථිකය පමණක් කළමනාකරණය කිරීමට හෝ වෙළඳ ගිවිසුම් පමණක්ම නොවේ...

:       0       2

NM Saturday, 05 March 2022 07:52 AM

ආර්ථික ගිවිසුම් මගින් එම කලාපයම අවශ්‍ය පරිදි නිහඬ හැසිරවීමක් පවා කළ හැකිවේ. ඒ අනුව ගෝලීය ආර්ථිකයෙන් ලෝකයේ රටවල් පාලනය කරන්නා වූ ප්‍රධානතම මෙවලමක් බවටද වර්තමානයේ පත්ව තිබේ. මේ වනවිට පවතින රුසියානු සහ යුක්රේන අර්බුදය ගෝලීය ආර්ථිකයේ සෙලවීම පිළිබඳව හොඳම උදා හරණයකි. ලෝකයේ ධනවත්, බලවත් රටවල් සියල්ල එකඟත්වයකට පැමිණ රුසියාව වෙත ප්‍රබල ආර්ථික සම්බාධක පනවා තිබේ. චීනය නිහඬ පිළිවෙතක් අනුගමනය කරමින් සිටියි. ඕනෑම රටක් ආර්ථික වශයෙන් ඉහළට ගැනීමේ සහ සමතලා කිරීමේ හැකියාව සහ රටක ගමන් කරන දිශාව පමණක් නොව පවතින රාජ්‍යයන් එම රටේ ජනතාව ලවාම වෙනස් කිරීමේ ප්‍රබල හැකියාවක් ගෝලීය ආර්ථිකයට තිබේ. මේ වනවිට ලංකාවේ අපටද සිදුවෙමින් පවතිනුයේ ගෝලීය ආර්ථිකයේ අපට එල්ලවන්නා වූ නිහඬ බලපෑම හෝ පීඩනය වේ. මෙය ලංකාවේ දේශපාලකයින් කොතරම් දුරට කියවාගෙන අධ්‍යයනය කර හෝ අවබෝධ කරගෙන තිබේද කියා සැක සහිතවේ... ලංකාව පිහිටා තිබෙනුයේ ලෝකයේ ඉතාම වැදගත් තැනෙක බව කියමින් අපඅපටම තර්ක ඉදිරිපත් කරනවා වෙනුවට ගෝලීය දේශපාලනය හොඳින් විශ්ලේෂණය කළහොත් හෝ ගැඹුරුබව කියවා ගැනීමක් කළහොත් ලංකාව ගෙනයා යුතු තැන සහ සිටගත යුතුවන්නේ කා සමගද කියා නිවැරදිව වැටහෙනු ඇත...!

:       0       1

NM Saturday, 05 March 2022 07:58 AM

පක්ෂ දේශපාලනයෙන් තොර ආර්ථික ක්ෂේත්‍රය පිළිබඳව රටේ තිබෙන ගැටළු පිළිබදව පුළුල් කියවීමක් සහිත ආර්ථික විශ්ලේෂකයින් සහ විශේෂඥයින්ගේ ශක්තිමත් සැලැස්මක් මත පමණක් නොව රටේ ජනතාව ඔවුන්ගේ රට වෙනුවෙන් සහ අනාගත පරපුර වෙනුවෙන් ප්‍රබල කැපකිරීමක් කිරීමට මැදිහත් වුවහොත් රටට කෙටිකාලීන පීඩනයක් දැනුණද දිගු කාලීන සාර්ථක විසඳුමක් ලබාදීමට හැකියාවක් තිබේ. ඒ සඳහා අවංකත්වය, විශ්වාසය සහ කැපවීම අත්‍යාවශ්‍ය වේ. එසේ නොවන්නට ලෝකෙන් උතුම් රට ලංකාව බව පවසමින් සිටීම තවදුරටත් අප අපම රවටා ගැනීම නම් එය අනුවණ ක්‍රියාවකි..

:       0       2

NM Saturday, 05 March 2022 08:04 AM

අඳුරෙන් එළියට යන්න මගක්... ආර්ථික සහ දේශපාලන විග්‍රහය අගය කරමු...

:       0       2

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

උතුර-දකුණ එකට එක්කළ ඡන්දයක්
2024 නොවැම්බර් මස 23 316 2

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව


මාලිමාවේ ජයෙන් ඔබ්බට
2024 නොවැම්බර් මස 22 937 1

මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්


එලොව පොල් පෙන්වන පොල් මිලේ රහස
2024 නොවැම්බර් මස 21 1425 0

බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන


ජයග්‍රහණ ජනසතුවේ අභියෝග
2024 නොවැම්බර් මස 21 220 0

ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ


පෙරදිග ධාන්‍යාගාරයේ සහල් අර්බුදය
2024 නොවැම්බර් මස 20 440 1

පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම


ආණ්ඩුවට භාරදූර වගකීමක්
2024 නොවැම්බර් මස 19 608 0

ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 531 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 743 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2067 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site