IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


අපේ ක්‍රමය නිෂ්පාදන ආර්ථිකයක්

ජනාධිපතිවරණ රේස් එක, අයි.එම්.එෆ්. හොරෙන් හමුවුණාද? රට හදන ක්‍රමය කුමක්ද යනාදී කරුණු සම්බන්ධයෙන් ජ.වි.පෙ. පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ප්‍රචාරක ලේකම් විජිත හේරත් සමග කළ සාකච්ඡාව මෙවර සඳුදා හමුවෙන් මෙසේ එළිදක්වමු.

 

ප්‍රශ්නය:- පළාත් පාලන මැතිවරණ රේස් එකක් දිව්වත් වැඩක් වුණේ නැහැ. දැන් ජා.ජ.බ. ජනපතිවරණ රේස් එක දුවනවා. තරගය අවසන් වනවිට හාවාට අත්වූ ඉරණම අත්වේවිද?

පිළිතුර:- ආණ්ඩුව හිතාමතාම පළාත් පාලන ඡන්දය කල් දැම්මා. හැබැයි ජනාධිපතිවරණය එහෙම කල්දාන්න බැහැ. ව්‍යවස්ථාව අනුව අනිවාර්යයෙන්ම මේ වසරේ සැප්තැම්බර් 17 ත් ඔක්තෝබර් 17 ත් අතර ජනාධිපතිවරණය පවත්වන්නම ඕන. ජනාධිපතිවරණයට වංගු ගහන්න, කල්දාන්න, අවලංගු කරන්න ජනාධිපතිට බැහැ. අනිවාර්යයෙන්ම පවත්වන්න වෙනවා. ඒ රේස් එකෙන් අපි අනිවාර්යයෙන්ම දිනනවා.

ප්‍රශ්නය:- දැනට තනියම රේස් එක දුවන නිසා ඔහොම කියන්න පුළුවන්. අනෙක් අයත් ආවාම ඔය කියන තත්වය වෙනස් වෙන්නේ නැතිද?

පිළිතුර:- අනෙක් තරගකරුවන් කවුද කියා දැනටමත් ප්‍රකාශ වී තිබෙනවා. රනිල්, සජිත් එන බව කියා තිබෙනවා. අපේ ස්ථාවරය කියා අවසන්. පොහොට්ටුව පමණක් තවම කියා නැහැ. ඒ නිසා රේස් එකේ ජොකියො කවුද කියා රටම දන්නවා. පොහොට්ටුව මොන ජොකිය දැම්මත් පරදිනවා. ඒක ඒ අය දන්නවා. දැනට ඉන්න ජොකියො තුන්දෙනාගෙන් ඉදිරියෙන්ම ඉන්නේ ඒ.කේ.ඩී. තමයි.

ප්‍රශ්නය:- විධායක ජනපති ධුරයට විරුද්ධ ජ.වි.පෙ. එය අහෝසිකරන පොරොන්දුවකට තම අපේක්‍ෂකත්වය පවා ඉවත් කරගත්තා. විධායක ජනපති ක්‍රමය අහෝසි කරන කතා දැන් දැන් කරළියට එමින් තිබෙනවා. එවන් තැනකදී ජා.ජ.බ. ස්ථාවරය කුමක්ද?

පිළිතුර:- විධායක ජනපති ක්‍රමය අහෝසි කරන්න අපි ඉතිහාසයේ උපරිම උත්සාහ ගත්තා. විවිධ කැපකිරීම් කළා. එහෙත් පත්වූ අය ඒ පොරොන්දු කඩ කළා. නැවත වතාවක් එවැනි බොරු පොරොන්දු දෙන කෙනකුට අපේ සහය ලැබෙන්නේ නැහැ. මෙවර අපිම එන්නේ මේ ක්‍රමය අහෝසි කළ හැකි එකම කණ්ඩායම මාලිමාව කියා විශ්වාස කරන නිසයි.

ප්‍රශ්නය:- වත්මන් ජනපති රටේ ප්‍රශ්න ක්‍රමයෙන් විසඳමින් යනවා. එනිසා ජනතාව ඒවටා එකතු නොවී සිටීවිද?

පිළිතුර:- රනිල් රටේ ප්‍රශ්න වැඩි කළා. එයා එන්න කලින් බිත්තරයක් රුපියල් 12 යි. දැන් බිත්තරයක් රුපියල් 45 යි. එදා රු. 105 ට තිබූ ඩීසල් ලීටරය අද රු. 359යි. රු. 117ක් වූ පෙට්‍රල් ලීටරය අද රු. 366 යි. ලයිට් බිල සියයට 400 කින් වැඩි වුණා. සියයට 18 ක් වැට් ගැසීම නිසා බඩු මිල වේගයෙන් ඉහළ ගිහින්. ජනතාවගේ වියදම් හතර පස් ගුණයකින් වැඩි වෙලා. ආදායම් ශත පහකින්වත් වැඩි වුණේ නැහැ. රටේ ජාතික සම්පත් කුණු කොල්ලයට විකුණනවා. රනිල් ඇවිත් කළේ ඕව තමයි. ජනතාව තවත් අගාධයට තල්ලු කළා. එයා ඇවිත් හදපු දෙයක් නැහැ. එක ඩොලරයක්වත් ප්‍රතිව්‍යුහගත කළේ නැහැ. පොලීවලට සහන අරගෙනත් නැහැ. ඒ නිසා විරෝධය තවත් වැඩි වෙමින් තිබෙනවා.

ප්‍රශ්නය:- එහෙත් ආර්ථිකය යහපත් වෙමින් පවතින බව අයි.එම්.එෆ්. එක පවා කියනවා. යම් ප්‍රතිසංස්කරණ කළ යුතු බව ඔවුන් කියනවා. ඔවුන් එහෙම කියන්නේ නිකම්මද?

පිළිතුර:- රට අමාරුවේ වැට්ටුවේ අයි.එම්.එෆ්. පදේට නටන්න ගිහින්. බදු වැඩි කරන්න සම්පත් විකුණන්න යෝජනා කළේ ඔවුන්. ජනතාව පීඩාවෙන් පීඩාවට පත්කර ආර්ථිකය හොඳයි කියන්නේ කොහොමද? අයි.එම්.එෆ්. එකත් පැහැදිලිව කිව්වේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම හොඳයි. ඒත් විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම තවම ප්‍රමාදයි කියලයි. ඊළඟ වාරිකය දීම තීන්දු වෙන්නේ මේ කටයුතු කළොත් පමණයි කියා ඔවුන් කියා තිබෙනවා. මේච්චර බදු ගහලත් බඩුමිල වැඩි කරලත් මදි බොහෝදේ කෙරී නැති බව අයි.එම්.එෆ්. එක කිව්වා. 

ප්‍රශ්නය:- දැනට අයකරන බදු ප්‍රමාණවත් නොවන බව අයි.එම්.එෆ්. මතය වී තිබෙනවා. මෙතරම් බදු බර නොපටවා ජනතාවට සහන දෙන ක්‍රමයක් ඔබලට තිබෙනවද?

පිළිතුර:- මේ රටේ ආර්ථිකය වැටෙන්න හේතු දෙකක් බලපෑවා. වංචාව, දූෂණය, හොරකම, නාස්තිය ආර්ථිකයේ සියයට පනහක් කඩා වැටීමට හේතු වූවා. නිෂ්පාදන ආර්ථිකය බිඳවැට්ටවීම දෙවැන්නයි. අද අල්පෙනෙත්තේ ඉදිකටුවේ පටන් සියල්ල පිට රටින් ගේනවා. බිත්තරයත් පිටරටින් ගේනවා. අපේ නිෂ්පාදනය වැට්ටවීම නිසා අපට රුපියලුත් ඩොලරුත් නැති වුණා. ජනතාව මත බදු බර නොපටවා මේ රට හදන එකම ක්‍රමය හොරකම, වංචාව නැති කර නිෂ්පාදනය මත පදනම් වූ ආර්ථිකයක් ගොඩනැගීමයි. කෙටි කාලීන මධ්‍ය කාලීන සහ දිගුකාලීන සැලසුම් සහගත ආර්ථිකයක් ඇතුලේ ජනතාවට සහන දෙන වැඩේ කරන්න පුළුවන්.

ප්‍රශ්නය:- එදා ඇඟලුම් කම්හල් ගිනි තැබූ ජ.වි.පෙ. අද රට හදන්න යන්නේ ගණිකා වෘත්තිය නීතිගත කිරීමෙන් මුදල් උපයලාදැයි විපක්‍ෂය නගන ප්‍රශ්නයට දෙන පිළිතුර කුමක්ද?

පිළිතුර:- එවැනි නීතිගත කිරීමක් කොහෙත්ම කරන්නේ නැහැ. අද වනවිට අපේ රටේ කාන්තාවො රැකියා නැතිකම, ජීවත්වීමට ක්‍රමයක් නැති නිසා ඔය කියන වෘත්තියට පෙළඹිලා. අපේ පාලනයකදී ගණිකා වෘත්තිය සම්පූර්ණයෙන් නැති කරනවා. අපේ ප්‍රතිපත්තිය එයයි. ඒ අයට ගෞරවාන්විතව ජීවිත් විය හැකි පරිසරය සකස් කළාම ඔවැනි කටයුතුවලට යොමු වන්නේ නැහැ. ආර්ථික පීඩනය හේතුවෙන් ඔය වෘත්තියට යන බොහෝ අය අත්අඩංගුවට ගන්නේ දැනට තිබෙන අයාලේ නීතිය පාවිච්චි කරලා. මේ නීතිරීති වෙනස් කරන්න ඕන. හැබැයි ගණිකා වෘත්තිය නීතිගත කරනවා කියන ප්‍රතිපත්තියක් අපට නැහැ. මාලිමාවේ පාලනයක් යටතේ ගණිකා වෘත්තිය මුළුමනින්ම නැති කරනවා. අපේ ප්‍රතිපත්තිය එයයි.

ප්‍රශ්නය:- කවුරු බලයට ආවත් අයි.එම්.එෆ්. නැතිව මේ රට හදන්න බැහැ කියා මහ බැංකු අධිපති කියා තිබෙනවා. ජා.ජ.බ. බලයට ආවත් මේ වැඩපිළිවෙළේම යනවද?

පිළිතුර:- අයි.එම්.එෆ්. එකත් එක්ක දැන් ගිවිසුම් ගසා අවසන්. අපි කැමැති වුවත් අකැමැති වුවත් දැන් එය නීත්‍යනුකූල ගිවිසුමක්. අපේ පාලනයක් යටතේ අයි.එම්.එෆ්. ගිවිසුමේ ජනතාව පීඩාවට පත්කරන කොන්දේසි සාකච්ඡා මාර්ගයෙන් ඉවත් කරනවා. අසාධාරණ බදු ගැසීම්, රාජ්‍ය දේපල විකිණීම ආදිය අපි අනුමත කරන්නේ නැහැ. මේ ගිවිසුම සමාලෝචනය කර අපි ඉදිරියට යනවා. ඒකට අපි ජනමතයක් ඉල්ලා සිටිනවා. රනිල් මේවා කළේ ජනමතයක් නැතිව. ජනතාව පීඩාවට පත් නොවන ආකාරයට ණය ප්‍රතිව්‍යුහගත කිරීම පමණක් ඉලක්ක කර මේ ගිවිසුම ඉදිරියට ගෙන යනවා. අපේ ක්‍රමවේදය එයයි.

ප්‍රශ්නය:- අයි.එම්.එෆ්. නියෝජිතයන් ජ.වි.පෙ. හමුවූ බව ආරංචියි. ඇත්තටම ඔවුන් හමුවුණාද? කතා කළේ මොනවාදැයි රටට නොකියන්නේ ඇයි?

පිළිතුර:- ඔව් අයි.එම්.එෆ්. එක අපි හමුවුණා. අපි විවෘතව ඔවුන් සමග සාකච්ඡා කළා. ජනතාව පීඩාවට පත්කරන බදු පැනවීම, රාජ්‍ය සම්පත් විකිණීමට අපි එකඟ නැති බව කිව්වා. ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර සහ ද්වී පාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගත කිරීමට එකඟ බව පෙන්වා දුන්නා. ඒ අයගේ අදහස් වැඩපිළිවෙළ අපට පැහැදිලි කළා. අපේ ස්ථාවරය ප්‍රතිපත්තිය ඔවුන්ට කිව්වා. හංගන්න දෙයක් නැහැ. බොහොම විවෘතව කළ සාකච්ඡාවක්.

ප්‍රශ්නය:- හැබැයි ජ.වි.පෙ. නායකයා මුණගැසුණේ නැහැ නේද?

පිළිතුර:- අපේ ආර්ථික කවුන්සිලයේ ප්‍රධාන නියෝජිත කණ්ඩායමක් හමුවුණා. නායකයාම හමුවන්න අවශ්‍ය නැහැ. අපේ විවිධ වැඩවලට විවිධ කණ්ඩායම් සිටිනවා. අපේ ආර්ථික කවුන්සිලයක් තිබෙනවා. ඔවුන් හමුවුණා.

ප්‍රශ්නය:- වැඩ වර්ජන රැල්ලක් හරහා රටේ ආර්ථිකය යළි විනාශ කරන්නට ජ.වි.පෙ. සැරසෙන බවට නැගෙන චෝදනාවට දෙන පිළිතුර කුමක්ද?

පිළිතුර:- විදුලිබල මණ්ඩලය, තෙල් සංස්ථාව, ටෙලිකොම්, රක්ෂණය, ඉඩම් ඇතුළු ජාතික සම්පත් විකිණීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටිනවා. එතාකොට අපට අත පය බැඳගෙන ඉන්න කියලද කියන්නේ. රටට ආදරය කරන ඇත්ත දේශප්‍රේමීන් හැටියට අපට කට වහගෙන අත් බැඳගෙන  ඉන්න  බැහැ. ඒ සම්පත් බේර ගන්න සටන් කරන්න ඕන. රටේ පොදු යහපත වෙනුවෙන් වෘත්තීය සමිති අරගල කරනවා. ජාතික සම්පත් රැකගැනීමේ මේ සටනේදී අපි ඉදිරියෙන්ම සිටිනවා. අපි නායකත්වය දෙනවා.

ප්‍රශ්නය:- මේ ඔක්කොම නරක නම් රට හදන වැඩ පිළිවෙළ මොකක්ද? ඒක රටට නොකියන්නේ ඇයි?

පිළිතුර:- ඒක හංගන්න දෙයක් නැහැ. අපි පැහැදිලිව ඒක කියනවා. වංචාව දූෂණය මුළුමනින්ම නවත්වා කෙටිකාලීන වැඩපිළිවෙළ යටතේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයා නගා සිටුවන්න කටයුතු කරනවා. ඒ සඳහා රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය හදනවා. මෙරට නිෂ්පාදනය වැඩි කිරීමට ඔවුන්ට විශේෂ සහන ලබාදෙනවා. මධ්‍යකාලීන වැඩසටහනේදී මධ්‍ය පරිමාණ නිෂ්පාදන නගා සිටුවීමට මූලිකත්වය දෙනවා. විදේශගත ලාංකිකයන් ලක්ෂ 30කට වැඩිය සිටිනවා. ඔවුන් උපයපු ධනය ලංකාවට ගෙනැවිත් ව්‍යාපාර, නිෂ්පාදන අරඹන ලෙස ඔවුන්ට ආරාධනා කරනවා. ඒ අනුව ලාංකිකයන්ගේම ආයෝජන මත රට තව අඩියක් ඉදිරියට තබනවා. දිගුකාලීන වැඩසටහන යටතේ මහා පරිමාණ ආයෝජන, නිෂ්පාදන නගා සිටුවනවා. ජාත්‍යන්තර මහා පරිමාණ ආයෝජකයන් කැඳවා ගන්නවා. ඒ හැකියාව අපට තිබෙනවා. අපේ රට නවීන තාක්ෂණයත් සමග නූතන ලෝකයට ගැළපෙන කාර්මීකරණය හා බද්ද වූ නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනගනවා. වසර පහක් දහයක් ඇතුළත මේ රටේ ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීම අපේ වැඩපිළිවෙළයි.

ප්‍රශ්නය:- ජ.වි.පෙ. යන පාරේ ගිය කියුබාවට අද අත්වී ඇති ඉරණම ගැන බොහෝ කතා තිබෙනවා. ජ.ජ.බ බලයට ආවොත් ඒ ඉරණම අපටත් අත් වේවිද?

පිළිතුර:- කියුබාවේ ක්‍රමය කියුබාවට අදාළයි. චීනෙ ක්‍රමය චීනයට අදාළයි. රුසියාවේ ක්‍රමය රුසියාවට අදාළයි. ඒවා ලංකාවට අදාළ නැහැ. රුසියන් සපත්තුව අපට ලොකු වැඩියි. චීන සපත්තුව අපට පොඩි වැඩියි. චීන ක්‍රමයවත් රුසියාවෙ ක්‍රමයවත් කියුබාවෙ ක්‍රමයවත් අපි අනුගමනය කරන්නේ නැහැ. අපේ තිබෙන ආර්ථික සංස්කෘතික වටපිටාවට ගැළපෙන ලංකාවට ආවේනික ක්‍රමයක් අපි අනුගමනය කරනවා. ලංකාවේ අද පවතින තත්වයට අනුරූප වන ආකාරයට අපේ ආර්ථික දේශපාලන මොඩලය සකසනවා.

අපි ආවොත් උතුරු කොරියාවේ, කියුබාවේ ක්‍රමය කරාවි යැයි සමහරු කියනවා. එහෙම එකක් නැහැ. අපි ඇමරිකාව, ඉන්දියාව, චීනය, ජපානය, මැදපෙරදිග, අප්‍රිකා, ලතින් ඇමරිකා ආදී සෑම රටක් සමගම රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පවත්වනවා. ලෝකයේ සෑම රටක් සමගම ගනුදෙනු කරනවා. ඒ සියලු දෙනාගේ සහයෝගය මත අපටම ආවේනික ආර්ථික ක්‍රමයක් ගෙනයනවා. හුදකලා වී තනිව නැගිටින කතාවක් නැහැ.

ප්‍රශ්නය:- පිල් මාරුවීම නව වසර ආරම්භයේදීම ඇරඹුණා. හැබැයි ජා.ජ.බ. පැත්තට එන කෙනෙක් නැහැ නේද?

පිළිතුර:- එක එක පක්ෂවලින් එළියට වැටිච්ච අය අහුලගන්න ප්‍රතිපත්තියක් අපට නැහැ. ජා.ජ.බ හොරකම්, වංචා, දූෂණ නොකරන ප්‍රගතිශීලි ජනතාවට විවෘතයි. පක්ෂවලින් එළියට වැටෙන කුණු ගොඩවල් එකතු කරන්න අපි ලෑස්ති නෑ. ඒ කුණු ගොඩවල් ස.ජ.බෙ. එකතු කර ගත්තාවෙ. හැබැයි අපි එකතු කරන්නේ ප්‍රගතිශීලි ජනතාව පමණයි. ඒකට අපි ඕන වෙලාවක විවෘතයි.

(*** සාකච්ඡා කළේ - චමින්ද මුණසිංහ)



අදහස් (8)

අපේ ක්‍රමය නිෂ්පාදන ආර්ථිකයක්

Kumara Monday, 22 January 2024 03:25 PM

නිෂ්පාදන ආර්ථිකයකට යන එක තමා එකම විසඳුම​.

:       9       21

මෝඩයොWednesday, 31 January 2024 01:35 PM

ඔබලා වගේ මෝඩයෝ. දැන් ඔය ආර්ථිකේ ඇතුලේ නිෂ්පාදන කරන්නේ රජයෙන්ද?

:       1       3

Sanath Monday, 22 January 2024 03:26 PM

මාලිමාවට ජය...!

:       20       16

Chandana Monday, 22 January 2024 03:29 PM

SJB හර්ෂ ද සිල්වා කියන්නේ එයාලාගේ ආර්ථික ප්‍රතිපත්තියත්, රනිල්ගේ එකම තමා කියලා. ණය ගන්න එකයි, බදු ගහන එකයි, විකුණන් කන එකයි ඇරෙන්න එයාලාට මොනවාද තියෙන විකල්ප​..?.

:       17       18

ශීතල සමාජවාදියා Tuesday, 23 January 2024 09:00 AM

කවුද අර ජෙප්පා කෙරුමෙක් චීනයේ ආරාධිත සම්මේලනයකට ගිහිල්ලා අවසාන දවසේ රාත්‍රියේ භෝජන සංග්‍රහයේදී අධි මාත්‍රාවෙන් අතිවිශේෂ පානය බී අඩ අඳුරේ මේසය උඩ ඔලුව ගහගෙන ඉන්න කොට සන්ධාන නිලධාරියාට කියලා තියෙන්නේ ශීතල නිසා පානය කළා කියලා. එයා මෙයාව වත්තං කරගෙන අරං ගිහිල්ලා. ශීතල සමාජවාදියාට ජයවේවා...!!!...

:       6       9

City Saturday, 27 January 2024 06:53 AM

ඔබට අමතක කරන්න පුළුවන් කමක් නෑ ගෝලිය ආර්ථිකය සහ ආසියානු දැවැන්තයින්...!

:       0       3

Kumara Sunday, 28 January 2024 08:43 AM

කතාව ඉවරයි, ජීවිතේට ජොබ් එකක් කරලා නැහැ. පොල් පැලයක්, කෙහෙල් පැලයක් ඉන්දලා නැහැ... කතාව නම් කර්මාන්ත කරලා රට දියුණු කරන්න.

:       4       4

Lelwala Wednesday, 31 January 2024 08:14 AM

රට දැය වෙනුවෙන් කිසිම දෙයක් නොකර හවසට බීලා කෑගහන කෙනෙක් විදියටයි අපට දැනෙන්නේ...!

:       1       3

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ඡන්දයේදී උතුර කොයිබටද?
2024 සැප්තැම්බර් මස 07 1037 0

ලබන 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ දී උතුරේ ප්‍රධාන දෙමළ දේශපාලන පක්ෂය ලෙස සැලකෙන ඉලංගයි තමිල් අරසු කච්චි පක්ෂය සමඟි ජන බලවේගයේ නායක සජිත්


ඕස්ට්‍රේලියාවේ යළි ඉපදුණ එංගලන්තයේ ඩයනා කුමරිය
2024 සැප්තැම්බර් මස 06 4539 1

බිලී කැම්බල් ඕස්ට්‍රේලියාවේ, ඇඩිලේඩ් නගරයේ ජීවත් වන අට හැවිරිදි පොඩ්ඩෙකි. දිනක්, බිලී ඔහුගේ මවටත් පියාටත් පැවැසුවේ පෙර ආත්මභවයේ තමන් බ්‍රිතාන්‍යයේ ඩ


ජනපතිවරණ සාකච්ඡා තේමාව
2024 සැප්තැම්බර් මස 06 124 0

ජනාධිපතිවරණයට තවත් ඇත්තේ දින 15ක් පමණ කාලයකි. තැපැල් ඡන්දය පාවිච්චි කිරීම අදින් අවසන් වීමට නියමිතය. සාපේක්ෂක වශයෙන් මෙවර ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා ක


පාන්තිය විහාරය හැඩකළ සාර්ලිස් මාස්ටර්
2024 සැප්තැම්බර් මස 05 510 1

බස්නාහිර පළාතේ, කළුතර දිස්ත්‍රික්කයේ බටහිර පස් යොදුන් කෝරලයේ ඉද්දගොඩ පත්තුවේ, මතුගම සුළු නගර සභා සීමාව තුළ “පාන්තිය’’ නමැති සුප්‍රසිද්ධ ග්‍රාමවරයෙහ


ඡන්දයේ ජනමතය ප්‍රභූමතය
2024 සැප්තැම්බර් මස 05 410 0

මේ වසර අපේ රටේ පමණක් නොව ලෝකයේ බොහෝ රටවල මැතිවරණ පැවැත්වෙන වසරක් බවට පත්ව තිබේ. මෙම මස 21 වැනිදා අපේ රටේ ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ සමාජ ආර්ථික දේශපාලන ව


බොරැල්ලේ කෝවිද හිමි
2024 සැප්තැම්බර් මස 04 1679 1

අපවත් වී වදාළ බොරැල්ලේ කෝවිද හිමියන්ගේ ආදාහන පූජෝත්සවය අද (4) සවස 4.00ට කොළොන්නාව පුරාණ රාජමහා විහාරස්ථානයේ දී සිදු කෙරේ.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site