IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


අප කරන්නේ රට ගොඩදැමීම : එදා වගේම අදත් පොජපෙ ප්‍රබලයි

එජාප මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර

ජනාධිපතිවරයාට එල්ලවන ප්‍රහාර, දෙපාර්ශ්වය අතර එකඟතා බිඳී ගිහින්ද, ඉහළයන බදු, විදුලි බිල, අයවැය සම්බන්ධයෙන් දරන ස්ථාවරය කුමක් ද යනාදී කරුණු පිළිබඳව එජාප මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් යන මහත්වරු දැක් වූ විවේචනාත්මක අදහස් මෙවර සඳුදා හමුවෙන් මෙසේ එළිදක්වමු.

ප්‍රශ්නය:– වැට් බදු, විදුලි බිල්, ඉන්ධන, ගෑස් යනාදියේ මිල යළි වැඩි කිරීමට ආණ්ඩුව කටයුතු කර තිබෙනවා. අයවැයත් ළඟ එනවා. ජනතාවට බර පැටවීම හැරෙන්න වෙන දෙයක් නැතිද කියා පීඩිත ජනතාව ප්‍රශ්න කරනවා නේද?

පිළිතුර:– ආණ්ඩුව කරන්නේ ජනතාවට බර පැටවීමක් නෙමෙයි. ජනතාවට වැටී තිබූ තොන්ඩුවෙන් ඔවුන් ගලවා ගැනීමට කටයුතු කරමින් සිටිනවා. මේ තත්ත්වයට රට පත් කළේ එ.ජා.ප. ය නෙමෙයි. අර්බුදයට ගිය රට කවුරුවත් බාර නොගෙන මගහැරී අවස්ථාවක ඒ අභියෝගය බාරගෙන පීඩාවට පත් ජනතාව  ඉන් මුදාගැනීමට එජාප නායකයාට සිදුවුණා. ඒ වෙනුවෙන් කටයුතු කළා. බංකොලොත් කර තිබූ ආර්ථිකය ජාත්‍යන්තර සහාය නැතිව ගොඩගන්න බැහැ. ඒ අභියෝගය ජයගැනීමට යාමේ දී ජනතාවට කැප කිරීම් කරන්න සිදුව තිබෙනවා. වැරැද්ද කළේ කවුද කියන එක එතැනදී වැදගත් නැහැ. මොකද මේ වැරැද්ද කරන තත්ත්වයට රට පත් කළේ රටේ බහුතර ජනතාවගේ එකතුවෙන් නිසා. පලපුරුද්දක්, කළ පුරුද්දක් නැතිව, රට විනාශයට යන බව කියද්දිත්  ඒ ගැන නොතකා දිගින් දිගටම විනාශකාරීන් බලයට ගෙනාවේ එජාප පාක්ෂිකයන් නෙමෙයි. රටේ බහුතර ජනතාවයි. ඒ ජනතාව ගත් තීරණවල ප්‍රතිඵල ඔවුන්ටම විඳවන්න සිදුව තිබෙනවා.

ප්‍රශ්නය:– ඇමැති මාරුවත් සමග පොදුජන පෙරමුණේ මහ ලේකම්වරයා ජනාධිපතිවරයාට දැඩි විවේචන ප්‍රහාර එල්ල කරනව නේද? මොකද විවාහය දෙදරලාද?

පිළිතුර:– විවේචන කරන්න, ප්‍රහාර එල්ල කරන්න ඕන කෙනකුට පුළුවන්. හැබැයි විසඳුම් දෙන්න කවුරුවත් නැහැ. මේ රටට අත්වී තිබූ අවාසනාවන්තම ඉරණමත් ඒකයි. ඉතිහාසයේ ඉඳන්ම කළේ බෙදීමයි. විවේචනයයි. දැනුත් ඒකම කරනවා. කවුරුත් විකල්පයක් කියන්නේ නැහැ. ඇමැති මණ්ඩලය පත් කළේ පොදුජන පෙරමුණේ එකඟතාවෙන්. චෝදනා එල්ලවෙලා තිබුණේ ඒ අයටමයි. පසුගිය මැතිවරණයෙන් ජනතාව වරම දුන්නේ එවැනි කණ්ඩායමකටයි. එල්ලවෙන චෝදනා  ගැන කතා කරන්නට සියලු දෙනාටම ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය  දුන්නා. හොඳ නරක ගැන තර්ක විතර්ක කළා. ඇතිවූ ප්‍රශ්න සමනය කිරීමට එතැනින් ඔබ්බට පියවරක් ගත යුතුව තිබුණා. ගත හැකි පියවර මේ වනවිට ජනාධිපතිවරයා ගෙන තිබෙනවා. ඇමැති සංඛ්‍යාව වැඩිකර නැහැ. ඒ වගේම ඇමැති මණ්ඩලයෙන් පිට කාටවත් ඇමැතිධුර දුන්නෙත් නැහැ. මේක හරි නැත්නම් ඔය විවේචනය කරන අයට පුළුවන් විසඳුමක් ගේන්න. එහෙම නැතුව අතන මෙතන කියෙව්වාට වැඩක් නැහැ.

ප්‍රශ්නය:– මහ බැංකු හොරකම වෙලාවෙත් රනිල් ඇහැකන පියාගෙන සිටි බවට පොදුජන පෙරමුණෙන් චෝදනා නැගී තිබුණා. දිගටම ජනපතිට ගහන්නේ දෙපාර්ශ්වයේ එකඟතාවෙන් වැඩ නොවෙන නිසාද?

පිළිතුර:– ඉතිහාසය පුරාම සිදුවුණේ ශක්තිමත් කෙනාට දුර්වලයා ප්‍රහාර එල්ල කිරීමයි. මේ අය දුර්වල බව රට හොඳින්ම දැක්කා. ගෝඨාභයට මේක කරගන්න බැරිවෙන විට රට බාර ගන්න තරම් ශක්තිමත් වෙන කෙනෙක් සිටියේ නැහැ. ඔය සියලුම කයිවාරුකාරයෝ ඒ වෙලාවේ මග හැරියා. ඉන්න හිටින්න තැනක් නැතුව ගියා. ඔය අයට පාරට බහින්නවත් බැරි තත්ත්වයක් ඇති වුණා. ඒත් රනිල් ජනාධිපතිවරයා මේ සියල්ලටම බය නැතිව කර ගසා සියලු දෙනා බේරාගත්තා. ලංකාවේ මිනිස්සුන්ට ඕන දෙයක් මතක තිබෙන්නේ සතියක් කියා කොටි නායකයත් කියා තිබුණා. වැටී තිබූ වැටිල්ල, මුහුණ දුන් සිදුවීම් දැන් ඔය අයට අමතක වෙලා. මොකද දැන් පොඩ්ඩක් එළියට බැහැල යන්න හැකියාව උදාකර දී තිබෙන නිසා. අතීතය අමතක කර විවිධ කයිවාරු ගහනවා. ඒවට ඒතරම් කලබල වෙන්න ඕන නැහැ. තිබෙන ප්‍රශ්නවලට මුහුණ නොදී ඉදිරියට යන්න බැහැ. අනන්න වෙන්නේ එකම කූට්ටමේ කොළනේ. වෙලාවේ හැටියට වෙන කරන්න දෙයක් නැහැ.

ප්‍රශ්නය:– හිසරදයට කොට්ට මාරු කරනව වගේ ඇමැති මාරුව හරහා රටේ ප්‍රශ්න යට ගහන්නද මේ උත්සාහ කරන්නේ?

පිළිතුර:– රටේ ප්‍රශ්න යට ගහන්න මේ ජනාධිපතිවරයාට කිසිම වුවමනාවක් නැහැ. රට මුහුණදී ඇති තත්ත්වය පිළිබඳව ජනාධිපතිවරයා බොහොම පැහැදිලිව ජනතාවට කියා තිබෙනවා. ජනතාව ලබාදී තිබෙන මතය අනුව වැඩ කරන්න ජනාධිපතිවරයාට සිදුව තිබෙනවා. එයින් පිට ගිහින් වැඩ කරන්න හැකියාක් නැහැ. ප්‍රශ්න යට ගැහීම වෙනුවට ක්‍රමිකව ප්‍රශ්න විසඳමින් රට ඉදිරියට ගෙන යාමට කටයුතු කරමින් සිටින බව කරුණු හොඳින් විමසා බලන කෙනකුට පෙනෙනවා.

ප්‍රශ්නය:– ඔබ එහෙම කිව්වට සුහුරු රටක් නිර්මාණය කරන බව කිව්වත් ජනතාවට  තව තවත් බර පටවමින් ජනතාව නොමරා මරන තැනට තල්ලු කරමින් සිටින බවට විපක්ෂය චෝදනා කරන්නේ ඇයි?

පිළිතුර:– ඔය චෝදනා කරන විපක්ෂ නායකවරයාට තිබුණනේ එදා මේ රට බාරගන්න. එහෙම අරන් ඔහු කියන සුන්දර රට හදන්න තිබුණනේ. මැද පෙරදිගින් නිකම් තෙල් අරගෙන රටේ ප්‍රශ්න විසඳා ජනතාවට සුහුරු රටක් නොහදා දැන් කයිවාරු ගහනවා. අභියෝගයක් ආවම පැනල දුවලා දැන් ලොකු ලොකු කතා කීම විහිළුවක් නෙමෙයිද? ඔය කාටත් තිබෙන්නේ කයිවාරු විතරයි. වැඩක් කරන්න බැහැ.

ප්‍රශ්නය:– ඡන්ද ක්‍රමය සංශෝධනය, විධායක ජනපති ක්‍රමය අහෝසියට ආණ්ඩුව සැරසෙන්නේ ඉදිරි ඡන්දත් අතුරුදන් කිරීමේ උප්පරවැට්ටියක් හැටියටද?

පිළිතුර:– උප්පරවැට්ටි දමා ඡන්ද කල් දමන්න එජාපයට හෝ ජනාධිපතිවරයාට කිසිම වුවමනාවක් නැහැ. ඡන්ද ක්‍රමය වෙනස් විය යුතු බවට හැමෝම කතා කළා. සාකච්ඡා කර සුදුසු ක්‍රමවේදයක් හදන්න අවස්ථාව ලබාදී තිබෙනවා. එහෙම ක්‍රමයක් හැදුවාට යෝජනා ඉදිරිපත් කළාට ඉදිරි මැතිවරණයක දී ඒක යොදාගන්න බැරි වේවි. එහෙත් මේ ක්‍රමය වෙනස් කරන්න ඕන කියන මතයක් රටේත් ජනතාව අතරත් තිබුණා. ඒ වෙනස කරන්න නම් කවුරු හෝ අවශ්‍ය පියවර ගත යුතුයි. මේ ජනාධිපතිවරයා ඒ වැඩකටයුතු ආරම්භ කර තිබෙනවා. ඒකෙ ඇති වැරැද්ද මොකක්ද? එජාපය කියන්නේ හැමදාම අභියෝග බාරගත් පක්ෂයක්. කිසිම අභියෝගයක් හමුවේ එජාපය පලායන්නේ නැහැ.

ප්‍රශ්නය:– මේ ආණ්ඩුව රට විකිණීමට කටයුතු කරනවා හැරුණු කොට වෙන විසඳපු ප්‍රශ්නය මොකක්ද කියා ජාතික ජනබලවේගය ප්‍රශ්න කරනවා නේද?

පිළිතුර:– පෝලිම් යුගය අවසන් කර ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ ගෙනත් දුන්නේ ජවිපෙ ප්‍රමුඛ ඔය අයද කියලා අහන්න කැමතියි. පාර්ලිමේන්තුවේ තුන් දෙනෙක් ඉන්න ජවිපෙ නායකයාට ලෝකෙ වටේ කරක් ගසමින්  කතන්දර  කියනවට වඩා මේ අභියෝගය බාරගන්න තිබුණනේ. එදා අභියෝගය හමුවේ හැංගිලා අද ලොකුවට කයිවරු ගහනවා. ජනතාවට තවම අමාරු බව අපිත් දන්නවා. තව ටික කලක් මෙහෙම කැප කිරීම් කරන්න වේවි. එහෙම නොකරන්න නම් කළ යුතු විසඳුම මොකද්ද කියලා ඒ අය කියන්න ඕන. ඔය ඔක්කොම කයිවාරුකාරයෝ. ගම්වල නම් කියන්නේ පූච්චානම්කාරයෝ කියලා. ඒ අය වගේ දන්න කියන මිනිස්සු ලෝකෙ කොහේවත් නෑ. ඒත් වැඩ බැහැ.

ප්‍රශ්නය:– තව ටික දිනකින් අයවැය ඉදිරිපත් වෙනවා. ඒකෙන්වත් සහනයක් ලැබෙයිද

පිළිතුර:– වැඩ කරන ජනතාව මුහුණදී සිටින තත්ත්වය අවබෝධ කරගෙන වැටුප් වැඩිවීමක් කරන බව ජනාධිපතිවරයා පැහැදිලිව කියා තිබෙනවා. පෞද්ගලික අංශයේ වැටුප් වැඩි කරන ලෙස දැනුම් දීමක් කරනවා. අයවැයෙන් සහන ලැබෙන බව දැන් දන්නවා. ජවිපෙ ඇතුළු අය ඒකෙ දේශපාලන වාසිය ගන්න දැන් දඟලනවා. ඒවා මෝඩ චූන්.

==================================================================================

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්  නීතිඥ සාගර කාරියවසම්

ප්‍රශ්නය:– පොදුජන පෙරමුණ හත්වැනි සංවත්සරය දින දෙක තුනකට පෙර සැමරුවා. සංවත්සරයක් සමරන්න තරම් පක්‍ෂයක් රටේ ඉතුරු වෙලා තිබෙනව කියල සිතනවද?

පිළිතුර:– පක්‍ෂයක් ඉතුරුවෙලා නෙමෙයි අදටත් ලංකාවෙ තිබෙන සංවිධානාත්මක පක්‍ෂය පොදුජන පෙරමුණ බව ගම් නියම්ගම්වලට ගියාම දැකගන්න පුළුවන්. කිසිදු විවාදයකින් තොරව ඒක කවුරුත් පිළිගන්න කාරණයක්. මේ පක්‍ෂයට දිගටම පහර දුන්නේ සමාජ මාධ්‍ය හරහා. අදටත් ඒ දේ කරනවා. කවදාවත් ඡන්දයෙන් බලය ගන්න බැරි සියයට තුන හතර තිබෙන කණ්ඩායම් කරන්නේ ශක්තිමත් පක්‍ෂවලට සමාජ මාධ්‍ය හරහා පහර ගැසීමයි. මුදල් වියදම් කරමින් වෙනම කණ්ඩායමක් රැකියාවේ යොදවා මේ පහරදීම කරනවා. සයිබර් අවකාශයේ එහෙම වුණාට පොළොවේ පයගැසුවාම අදටත් ලංකාවේ ශක්තිමත්ම දේශපාලන පක්‍ෂය පොදුජන පෙරමුණ බව අවිවාදයෙන් කියන්න පුළුවන්.

පසුගිය පළාත් පාලන ඡන්දය නියමිත වෙලාවෙ ඒ ඡන්දය ඉල්ලා සිටියේ අපි විතරයි. ඡන්දය කල්දාල දෙන්න කියලා ජ.වි.පෙ නායක අනුර තමන්ගෙන් ඉල්ලා සිටි බව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී අනුර ඉදිරියෙම කිව්වා. අද වෙනතුරුත් අනුර කුමාර ප්‍රතික්ෂේප කළේ නැහැ. හැමෝම ඡන්දයට බය වෙලාවලත් බය නැතිව ඡන්දයක් ඉල්ලුවේ අපි විතරයි. අපේ ජනපදනම, ඡන්දදායකයන්, ප්‍රතිපත්ති සම්බන්ධ විශ්වාසයක් තිබෙන එකම පක්‍ෂය පොදුජන පෙරමුණ බව නිර්භීතව කියන්න පුළුවන්.

ප්‍රශ්නය:– ආණ්ඩුව කරන්නේ පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම. ආණ්ඩුව කරන වැඩ බැලුවම ඔය කියන ජනතා විශ්වාසයක් තිබේද? මේ වනවිට ජනතා විරෝධය පාරට ඇවිත් නේද?

පිළිතුර:– ආණ්ඩුව කරන්නේ පොදුජන පෙරමුණ කියන එකට සියයට සියයක් එකඟ වෙන්න බැහැ. එ.ජා.පයේ සිටි එකම මන්ත්‍රීවරයා රටේ ජනාධිපති. මහජන එක්සත් පෙරමුණේ නායකයා අගමැතිවරයා. ස.ජ.බ මන්ත්‍රීවරු දෙදෙනෙක් ප්‍රබල ඇමැතිධුර දෙකක් දරනවා. ටිරාන් අලස් අපේ පක්‍ෂයේ කෙනෙක් නෙමෙයි. නිමල් සිරිපාල, මහින්ද අමරවීර අපේ පක්‍ෂයේ නෙමෙයි. ඇමැති මණ්ඩලයේ සිටින කීප දෙනෙක් ගෝඨාභය ජනපති කාලේ පටන් පක්‍ෂයත් සමග සහයෝගයෙන් කටයුතු නොකළ අය. ඒ අනුව මේ ආණ්ඩුව පොදුජන පෙරමුණේ ආණ්ඩුවක් කියා කවුරු හෝ කියනව නම් ඒක වැරැදියි. හැබැයි පොදුජන පෙරමුණ නියෝජනය කරන ඇමැතිවරු කීප දෙනෙක් ඉන්නවා. නියම තත්ත්වය එයයි.

ජනමතය තිබෙන්නේ කොතැන ද කියා අපි ඡන්දෙකින් පෙන්වන්නම්. ඒක තමයි අපට තිබෙන විශ්‍වාසය.

ප්‍රශ්නය:– ඇමැති සංශෝධනයත් සමග ඔබ ජනාධිපතිවරයාට ප්‍රහාර එල්ල කරනවා. මේ අර්බුද අතරෙත් ඔබලා ඇමැතිකම් පස්සෙ දුවනවද?

පිළිතුර:– යම් කාරණයක් තේරුම් ගන්න බැරි අඥාන කීප දෙනෙක් එහෙම ප්‍රකාශ කර තිබුණා. මම ජනාධිපතිට දොස් කියූ බව ඇත්ත. මම දොස් කිව්වේ අලුතෙන් ඇමැතිකම් ඉල්ලලා නෙමෙයි. සන්ධාන ආණ්‍ඩුවක් ගෙනයන විට එක් එක් පක්‍ෂයට යම්කිසි බලයක් ලබාදිය යුතුයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ ආණ්‍ඩුවට ලබාදෙන ශක්තියට සමාන අනුපාතයකින් අපට සලකනව කියල අපි සිතන්නේ නැහැ. අපට දක්වන සැලකිල්ල ගැන තෘප්තිමත් නැහැ. ආණ්ඩුවට සහය දෙන ස.ජ.බ මන්ත්‍රී දෙන්නටම ඇමැතිකම් දෙකක් දී තිබෙනවා. ශ්‍රී.ල.නි.ප පස්දෙනා අතරින් දෙදෙනකුට ඇමැතිකම් දී තුන්දෙනකුට රාජ්‍ය ඇමැතිකම් දී තිබෙනවා. සුදුසු අනුපාතය අනුව කටයුතු නොකිරීම අපේ පක්‍ෂය නොසලකා හැරීමක්. එතැනදී පක්‍ෂයේ ලේකම්වරයා හැටියට ඒ ගැන ප්‍රකාශ කර අපේ නොසතුට, අප්‍රසාදය පළ කරන්න සම්පූර්ණ අයිතිය මට තිබුණා. එතැනදී අලුතෙන් ඇමැතිවරු පත්කරන්න කියන ඉල්ලීමක් අපි කිසිවිටෙක කළේ නැහැ, කිව්වේ ඇමැතිධුර මාරුවේදී ඒ කාර්යභාරය පොදුජන පෙරමුණේ කෙනකුට පවරන්න කියා පමණයි.

ප්‍රශ්නය:– හැබැයි ඉන්පසුවත් ඔබ ජනාධිපතිවරයාට වාග් ප්‍රහාර එල්ල කළා. මේවා වෙන්නේ එකඟතාවක් නැති නිසාද? හොඳ හිත පළුදු වෙච්ච නිසාද?

පිළිතුර:– නැහැ. සමහර දේවල් එකඟතාවෙන් කෙරෙනවා. එකඟතාව නැති වෙච්ච වෙලාවට අපි ඒ ගැන කියනවා. ජනාධිපතිතුමාට බයේ පක්‍ෂපාතව ඉන්න අපට බැඳීමක් නැහැ. අපි මේ රටේ ජනතාවගේ ඡන්දය ගත්තේ රට වෙනුවෙන් අපේ ප්‍රතිපත්තියක් ඉදිරිපත් කරලා.

මහින්ද චින්තනයේ දිගුවක් ජනතාවට ඉදිරිපත් කළා. රනිල් වික්‍රමසිංහ තනි ආසනයට බස්සලා අපට තුනෙන් දෙකක බලයක් දුන්නේ ඒ ප්‍රතිපත්තිය ඉදිරියට ගෙනයන්න මිස රනිල් වික්‍රමසිංහට අවශ්‍ය ප්‍රතිපත්තිය ඉදිරියට ගෙන යන්න නෙමෙයි. ජනතාව අපේක්‍ෂා කළ ප්‍රතිපත්තියෙන් ඉවතට යන වෙලාවකදී ජනාධිපතිට ඇඟිල්ල දිගුකර කරන වැඩ වැරැදියි කියන්න පක්‍ෂයක් හැටියට අපට අයිතිය තිබෙනවා. වැරැදි නිවැරැදි කරන්න කියා කීමේ වගකීම අපට තිබෙනවා. නැති නම් අපි විරුද්ධ වෙනවා කීමේ ශක්තිය අප සතුයි. අපි එසේ කිරීම ඡන්දය දුන් ජනතාව වෙනුවෙන් ඉටුකරන යුතුකමක්.

ප්‍රශ්නය:– ජ.වි.පෙ ඇතුළු විපක්‍ෂ බලවේග විරෝධය පාමින් පීඩිත ජනතාව වෙනුවෙන් පෙනී සිටින වෙලාවේ ඔබලා ඒ ජනතාව වෙනුවෙන් පෙනී ඉන්නේ නැති ද?

පිළිතුර:– පීඩිත ජනයා වෙනුවෙන් අපි හැම විටම පෙනී ඉන්නවා. හැබැයි අපි ඒක කරන්නේ ජ.වි.පෙ හරි තවත් ඒ වගේ කණ්ඩායමක් හරි කරන විධියට විනාශකාරීව නෙමෙයි. මේ තරමින් හෝ අපට සහනයක් ලැබී තිබෙන්නේ සංචාරක ව්‍යාපාරයේ යම් පිබිදීමක් තිබෙන නිසයි. එහෙත් ජ.වි.පෙ කරන්නේ ඒ ටිකත් නැති කර මේ රට තවත් අඳුරේ හෙළන වැඩක්. රටේ ඇති වී තිබෙන විදුලිබල අර්බුදයට ප්‍රධාන හේතුව වුණේ ජ.වි.පෙ ක්‍රියාදාමයයි. විදුලි බිල වැඩිකිරීමට විරුද්ධව මාර්ගවල උද්ඝෝෂණය කරන්න ජ.වි.පෙට කිසිදු සදචාරාත්මක අයිතියක් නැහැ. එදා මහින්ද ජනාධිපතිවරයා ඉතිහාසයේ ප්‍රථම වතාවට විදුලි බිල අඩු කළා. ඒ නොරොච්චෝලේ බලාගාරය ඉදි කරලා. ඉදිරි වසර පහට අවශ්‍ය විදුලි බලය සපයන්න ජනන සැලැස්මක් එතුමට තිබුණා. එහි පළමු අදියර හැටියට සාම්පූර් බලාගාරයෙන් මෙගාවොට් 900ක් එක් කිරීමට සැලසුම් තිබුණා.

නොරොච්චෝලේ හතර වැනි අදියර යටතේ තවත් මෙගාවොට් 300ක් නිපදවීමට සැලසුම් කළා. ගල් අඟුරුවලින් විදුලි ඒකකයක් නිපදවීමට යන වියදම රු. 30කට අඩුයි. එහෙත් අද වැඩි වී තිබෙන විදුලි ඉල්ලුම සපයන්නේ ඩීසල් බලාගාරවලින්. ඩීසල් වලින් විදුලි ඒකකයක් නිපදවීමට රු. 107ක් යනවා. මේ තත්ත්වය ඇති කළේ සාම්පූර් බලාගාරය සහ නොරොච්චෝල හතරවැනි අදියරට එරෙහිව නඩු පවරා බොරු විරෝධයක් මතුකර ඒ වෙලාවේ ජ.වි.පෙ මේ සියල්ල කඩාකප්පල් කළා. අද විදුලි අර්බුදයට වගකියන්න ඕන ජ.වි.පෙත් එවකට සිටි ජනපති සහ අගමැතියි. අද ජ.වි.පෙ බොරු සටන් පාඨයක් අතට අරගෙන විදුලි බිල වැඩියි කියනවා. මේ රටේ ජනතාව විදුලි බිලට ගෙවන හැම සතේකටම වගකියන්න ඕන ජ.වි.පෙ බව කියන්නම ඕන.

ප්‍රශ්නය:– ජනාධිපතිවරයාට රට බාර දුන්නේ ඔබලාට රට කරන්න හැකියාවක් නොතිබූ නිසා බව එ.ජා.ප මහ ලේකම්වරයා කියනවා. දැන් ඔබලා මුල අමතක කරලා ජනපතිට පහර දෙන බවත් ඔවුන් කියනවා?

පිළිතුර:– ඕකෙ දෙපැත්තක් කියන්න පුළුවන්. රනිල් ජනපති කරන්න ඔය අය අවුරුදු 20ක් විතර උත්සාහ කළා. ඔවුන්ට අන්තිමට හැකි වුණේ එතුමා ජාතික ලැයිස්තුවේ තනි මන්ත්‍රීවරයකු හැටියට පාර්ලිමේන්තු යවන්න විතරයි. ඔය කට කියවන අයගේ කෙරුවාව එහෙමයි. හැබැයි අපි එතුමව මේ රටේ ජනපති කළා. එහෙම කරන්නත් හේතුවක් තිබුණා. මේ රටේ නීතියේ ආධිපත්‍යය සහ ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් ලොකු ප්‍රශ්නයක් ඇති වුණා. ද. ආසියානු රටවල් අතර නිදහසින් පසු විවිධ කුමන්ත්‍රණවලින් ආණ්‍ඩු බිහි නොවී ප්‍රජාතන්ත්‍රවාදය නොකඩවා ගලාගෙන යන්නේ ලංකාවේ සහ ඉන්දියාවේ පමණයි.

එහෙත් 2022දී ජ.වි.පෙ සහ පෙරටුගාමීන් මේ රටෙත් විනාශකාරී තත්ත්වයක් නිර්මාණය කළා. මීට පෙර මෙවැනි නැගිටීම් වූ විට ඒවා මර්දනය කළේ මිනිස් ඝාතන ආදිය හරහා. එහෙත් රාජපක්‍ෂවරු ත්‍රස්තවාදයට එරෙහිව අවි ගත්තට තමන්ට විරුද්ධ ප්‍රජාතන්ත්‍රවාදී රැලි මර්දනයට ආයුධ අතට ගත්තේ නැහැ. කොහොම වූවත් ඒ වෙලාවේ රටේ ඇති වූ තත්ත්වය පාලනය කරන්න වැඩිම පළපුරුද්දක් තිබු කෙනා අපි තෝරා ගත්තා. අපේ තීරණය නිවැරැදියි. එතුමා රාජ්‍ය බලය අතට අරන් සතියකදී සියල්ල පාලනය කළා.

ප්‍රශ්නය:– අයවැයත් ළඟ එනවා. මොකක්ද ස්ථාවරය?

පිළිතුර:– අපේ ස්ථාවරය ගැන වාචිකවත්, ලිඛිතවත් ජනාධිපතිවරයා දැනුවත් කළා. ජනතාවට ජීවත් විය හැකි පරිසරයක් ඇති කිරීම එතුමගේ වගකීමක්. ඊට අමතරව එතුමාගේ අවධානයෙන් මගහැරෙයි කියා සිතෙන කරුණු කීපයක් ගැන විශේෂයෙන් දැනුවත් කළා.

සාකච්ඡා කළේ - චමින්ද මුණසිංහ



අදහස් (5)

අප කරන්නේ රට ගොඩදැමීම : එදා වගේම අදත් පොජපෙ ප්‍රබලයි

nina Monday, 06 November 2023 05:18 PM

රට හදන්න තරම් මොලයක් ඔහේලාට නැහැ. වෙන වෙන දේවල් වලට නම් මොලේ ඇති...!

:       0       14

සමන්ත Monday, 06 November 2023 08:25 PM

සමන්ත​ ඔය සාගර කාරියවසම්ට කියන්න තියෙන්නේ එක දෙයයි. ඔබලාගේ පොහොට්ටු අට්ටාලය අපේ රටට කරපු දේවල් ඇති. දැන් ගිහින් රාජපක්ෂලාගේ ගෙදර හරි ඔයාගේ ගෙදර හරි ගිහින්, ගෙදර තියෙන වැඩක් බලාගන්න. අපි අපේ රට ගැන බලාගන්නම්...!

:       0       0

Nimal Tuesday, 07 November 2023 05:50 AM

රට ගොඩදැමූ ආකාරය හොඳින් පේනවා. ජනතාවට හරියට කෑමවේලක්වත් කන්න වත්කමක් නෑ. නීතිඥයෙක් වුණත් තේරුමක් ඇතිව කතා කරන්න...

:       0       0

de silva Tuesday, 07 November 2023 07:44 PM

කියන තරම් ප්‍රභල නම් පළාත්පාලන මැතිවරණ තබන්න බිය වෙන්නේ කුමටද?

:       0       8

Perera Thursday, 09 November 2023 06:46 AM

එකම කාසියේ දෙපැත්තක් මොවුන් දෙන්නා...

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 663 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


මීළඟ පොරය කොයිබටද?
2024 සැප්තැම්බර් මස 27 297 0

මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත


ශාස්ත්‍රීය දියුණුවට දිරිදුන් හාරඹ වලව්ව
2024 සැප්තැම්බර් මස 26 726 0

හාරඹ වලව්ව බලපිටියේ පිහිටි වලව් අතරින් පැරැණිතම වලව්වකි. සිංහල, පාළි, සංස්කෘත, ඉංග්‍රීසී හා ලතින් භාෂා මැනැවින් දැන සිටි ලු‍වී ද සොයිසා විජයසේකර ජයතිල


​ඡන්දයෙන් රටට දුන් පණිවිඩය
2024 සැප්තැම්බර් මස 26 627 1

මෙවර ජනාධිපතිවරණය මෙරට මැතිවරණ ඉතිහාසයෙහි පැවැති ඉතාම සාමකාමී මැතිවරණයකි. ඒ නිසාම එම සාමකාමී පරිසරය ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයන්ගේ ප්‍රසාදයට ලක්


පැවිදි දිවියේ 36 වසර සපුරන තලල්ලේ චන්දකිත්ති හිමියෝ
2024 සැප්තැම්බර් මස 25 417 1

විචිත්‍ර ධර්ම දේශකයාණන් වහන්සේ නමක වන තලල්ලේ චන්දකිත්ති හිමියන්ගේ පැවිදි දිවියට අදට (25) වසර 36ක් සම්පූර්ණ වේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


රටට අහිමි වූ අසහාය බැලරිනාව වජිරා
2024 සැප්තැම්බර් මස 25 433 1

ජගත් නර්තන කලාව හා සමසුන් ගත හැකි විශිෂ්ට නර්තන කලාවක් බිහිකළ අසහාය බැලරිනාව - වජිරා චිත්‍රසේන අද (25) ජාතියෙන් සමුගෙන යන්නීය. ඇය පුරා වසර හැටකට අධික කාලය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37797 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24914 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 738 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 263 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site