ලෝක සන්දර්භයක් තුළ දී නූතනවාදී කලා සාහිත්‍යය හා සංස්කෘතික සංකලනය සඳහා පදනම වැටෙනුයේ පළමුවන ලෝක යුද්ධය පසුබිම් කොටගෙනය. විශේෂයෙන්ම සාහිත්‍ය නිර්මාණකරණයේ දී විඥාන ධාරා රීතිය අධියථාර්ථවාදී ලේඛන සම්ප්‍රදාය වැනි නව සංකල්පනාවන් බිහිවූයේ මෙකී පසුබිම තුළ ය. ජේම්ස් ජොයිස් යන ලේඛකයා විසින් රචිත යුලිසිස් (ULYSSES) නම් නවකතාව විඥානධාරා නවකතා සම්ප්‍රදායයේ පාරප්‍රාප්තිය ලෙස සැළකේ.
වර්ජිනියා වුල්ෆ් සහ ෆ්‍රාන්ස් කෆ්කා යන ලේඛක ලේඛිකාවෝ අධියථාර්ථවාදී ලේඛන සම්ප්‍රදාය ගුරු කොට ගත් ලේඛකයන් අතර ප්‍රමුඛස්ථානයක සිටිති.
විඥානධාරා ලේඛන රීතිය හා අධියථාර්ථවාදී ලේඛන රීතිය යනු එකක් අනෙකෙන් පැහැදිලිව වෙන් කළ නොහැකි ලේඛන රීතී දෙකක් බවත් මේ ලේඛන රීතී ද්වය අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙක සමපාත වන ලේඛන රීති ද්වයක් බවත් අරුත් ගන්වන විචාරකයෝ ද සිටිති.
ලාංකීය සන්දර්භයක් තුළ දී සිරි ගුනසිංහ විසින් රචිත ‘හෙවනැල්ල’ නවකතාව විඥාන ධාරා රීතිය ගුරු කොට ගනිමින් රචිත නවකතාවක් සේ සැලකෙන අතර ගුනසිංහයන්ගෙන් පසු මේ රීතිය අනුගමනය කළ කිසිදු නවකතාකරුවකු ලාංකීය නවකතා ක්ෂේත්‍රය තුළ හමු නොවේය යනු මගේ මතයයි.
අධියථාර්ථවාදී ලේඛන රීතිය ගුරුකොට ගනිමින් කෙටිකතාකරණයේ යෙදුණු අජිත් තිලකසේන මේ ලේඛන සම්ප්‍රදායයේ රුව ගුණ නිසියාකාරව හඳුනාගනිමින් කෙටිකතාකරණයේ යෙදුණු ලේඛකයෙකු ලෙස අරුත් ගැන්විය හැකිය.
කෆ්කාගේ ලේඛන රීතිය අනුගමනය කරමින් කෙටිකතාකරණයේ යෙදීමට උත්සාහ කරන ලේඛකයෙකු ලෙස සැලකෙන කපිල කුමාර කාලිංගගේ කෙටිකතා තුළ දැකිය හැකිවන මූලික දුබලකම නම් ඔහු කෆ්කාගේ ලේඛන රීතියේ බාහිර ආකෘතික රටාව ගැන සිය අවධානය යොමු කරනු මිස ඔහු කෆ්කාගේ සාහිත්‍යමය දර්ශනය විෂයයෙහි නැඹුරුතාවක් හෝ සැලකිල්ලක් නොදැක්වීමයි.
කෆ්කා නමැති ලේඛකයා හැදෑරීම සරල පහසු කරුණක් නොවේ. කෆ්කා නම් ලේඛකයා බිහි වූ සමාජ ආර්ථික හා දේශපාලනය පසුබිමෙන් වියුක්ත කොට ඔහු ගැන නිසි විශ්ලේෂණයක් සිදු කළ නොහැක.
කෆ්කාට ද එම යුගය තුළ සිටි සෑම ලේඛයින්ටම බල පෑ පොදු සාධකයක් එලෙසින්ම බලපෑවේ ය. මීට අමතරව කෆ්කාට අනන්‍ය වූ පෞද්ගලික කරුණු කාරණා ද විය.
කෆ්කා යනු අහඹු ලෙස බිහි වූ ලේඛකයකු නොවේ. ඔහු මනාව නීට්ෂේගේ දර්ශනය අධ්‍යයනය කළ කෙනෙකි. ඩොස්ටොවුස්කි නම් ලේඛකයා කෙරෙහි ඔහු දැක්වූයේ අසීමිත ඇල්මකි. ඔහුට විශ්ව සාහිත්‍ය ඉතිහාසය පිළිබඳවද වූයේ මනා දැනුමකි. රොමෑන්තික ජර්මානු ලේඛකයකු වූ හීන්රිච් වොන් ක්ලීස්ට් (Heinrich von kliest-1777-1811) නම් ජර්මානු ලේඛකයාගේ මිකයිල් කෝල්හාස් (Michael Kohlhaas) නම් කෙටි නවකතාව ඔහු කියවා ඇත්තේ කඳුළු සලමින් බව මට අනාවරණය වූයේ මේ පිළිබඳ මා කියවූ විවිධ ලිපි ලේඛන තුළිනි.
ලාංකීය සාහිත්‍ය ක්ෂේත්‍රය ගැන කතා කිරීමේදී හෙළිදරව් වන කරුණක් නම් නූතනවාදී ලේඛන සම්ප්‍රදාය ගැන ලියවුණු Christopher Buttler නම් ලේඛකයාගේ Early Modernism නම් කෘතියවත් තවමත් සිංහලයට පරිවර්තනය වී නොමැති බව ය. එමෙන්ම අධියථාර්ථවාදී ලේඛන සම්ප්‍රදායයේ පුරෝගාමී න්‍යායාචාර්යවරයෙකු ලෙස සැළකෙන ආන්ඩ්‍රේ බ්‍රෙටන් (Andre Breton – 1896 – 1966) ලේඛකයා විසින් රචිත Surrealistic Manifesto – I II යනුවෙන් ශීර්ෂගත වී ඇති අධියථාර්ථවාදය හා සම්බන්ධ ප්‍රතිපත්ති ප්‍රකාශන ද්වයවත් තවමත් සිංහලයට පරිවර්තනය වී නොමැත.
මෙවැනි පසුබිමක කෙසේ නම් ලාංකීය ලේඛකයන් අධියථාර්වාදී ලේඛන සම්ප්‍රදායයේ න්‍යායාත්මක පසුබිම නොදැන කවරාකාරයකින් මෙම සාහිත්‍ය ශානරය අනුගමනය කරමින් නිර්මාණකරණයේ නියළිය හැකිද?
දෙවන ලෝක යුද්ධය හා පසුබිම් කොට ගනිමින් උත්පාදනය වූයේය යනුවෙන් සැළකෙන පශ්චාත් නූතනවාදී ව්‍යාපාරය පොදුවේ දේශපාලන කලාව සාහිත්‍යය ආර්ථිකය සංස්කෘතිය යනාදී වූ සමස්ත ක්ෂේත්‍රවලට බලපෑම් එල්ල කළේය. මායා යථාර්ථවාදී ලේඛන රීතිය ගුරු කොටගත් නිර්මාණ සුවිශේෂය බිහිවූයේ ද මෙය පසුබිම් කොට ගෙනය.
ලාංකීය සන්දර්භයක් තුළදී සනිටුහනට හසුවන කරුණක් වනුයේ මෙම සාහිත්‍ය ප්‍රවණතාව පිළිබඳව අප විශ්වවිද්‍යාල තුළින් මූලික අධ්‍යයනයන් හෝ පර් යේෂණයක් සිදු කොට නොතිබීමය. මෙම ව්‍යාපාරය ලංකාවට සේන්දු වූයේ අයාලේ යන තරුණ කණ්ඩායම් විසින් විටින් විට ඉදිරිපත් කළ අසංවිධිත ලේඛන හා සෙසු මාධ්‍ය හරහාය. මාධ්‍ය ප්‍රකාශන හරහාය. එය කියන්නා වූ 56 සංස්කෘතික විප්ලවය මගින් බිහි කළ ඒක භාෂික ඇදුරන්ගෙන් උගතුන්ගෙන් ශ්‍රී ලාංකික විශ්වවිද්‍යාලවල ශාස්ත්‍ර පීඨ සමන්විතවීම මේ සඳහා බල පෑ ප්‍රධාන සාධකය සේ මම දකිමි. ඔවුනට විශ්ව සාහිත්‍ය හැදෑරීමේ වුවමනාවක් තිබුණේ නොවේ. එසේ නොමැති නම් හැකියාවක් තිබුණේ නොවේ. අයාලේ යන තරුණ කණ්ඩායම්වල සාවද්‍ය හරසුන් ප්‍රලාප කේන්ද්‍රීය කොටගත් පශ්චාත් නූතනවාදී කතිකාව යනුවෙන් අරුත් ගැන්වෙන කතිකාවක ආධිපත්‍යයට ලාංකීය සමාජය හසුවූයේ මේ අයුරිනි.
ශිෂ්‍යත්ව ලැබ ඇමෙරිකානු විශ්වවිද්‍යාලවලින් ආචාර්ය උපාධිය ලබා පෙරළා සිය රටට පැමිණි විශ්වවිද්‍යාල ඇදුරන්ගේ මූලික කාර්යය විය යුතුව තිබුණේ අඩුම වශයෙන් පශ්චාත් නූතනවාදී කතිකාව අලළා ලියවුණු පහත කෘතීන්වත් සිංහලයට පරිවර්තනය කිරීමය.
Jaques Lacan (1901-1981)
E Crists
Jean Francois Lyotard (1924-1998)
Post Modern Fables
Michel Foucault (1926-1984)
Madness and Civilization
Jaques Derrida (1930-2004)
Of Graumatology
අඩුම වශයෙන් රෝලන්ඩ් බාත් නම් ලේඛකයාගේ The Death of the Author නම් ලිපියවත් නිවැරදිව සිංහලයට පරිවර්තනය වී තිබේද යන්න සැක සහිතය.
මෙවැනි කාර්යයක නියළෙමින් හා වැරදි මාවතකට පිවිස සිටි තරුණයන් නිසි මං තීරුවක් වෙත යොමු කරනු වෙනුවට මේ මහැදුරන් කළේ ඒ ඒ තරුණ කණ්ඩායම් හා අත්වැල් බැඳ ගනිමින් ඔවුනට උඩ ගෙඩි දෙමින් ගැලරිය පිනවීමය.
මෙවන් පසුබිමක ලෝකයේ සිදුවන විවිධ සාහිත්‍ය ප්‍රවණතා පිළිබඳව යම් පමණක් හෝ දැනුමක් පාඨකයාට ලබා ගැනීම සඳහා ඉවහල් වූයේ මහාචාර්ය විමල් දිසානායකයන් විසින් රචිත ‘නව විචාර සංකල්ප හා පශ්චාත් නව්‍යවාදය’ යන කෘති ද්වය පමණක්ය යනුවෙන් මම අදහස් කරමි.
එමෙන්ම ඉමහත් දුෂ්කරතා මධ්‍යයේ විශ්ව සාහිත්‍ය ප්‍රවණතා පිළිබඳව පුළුල්ව අධ්‍යයනය කරමින් මායා යථාර්ථවාදී ලේඛන කලාවේ සැබෑ හැඩ රුව හඳුනා ගනිමින් නිර්මාණකරණයේ යෙදුණු සයිමන් නවගත්තේගම සූරීන්ගේ සාහිත්‍ය සේවාව අපගේ වෙසෙසි පැසසුමට ලක්විය යුතුය.
ලාංකීය සන්දර්භයක් තුළදී නූතනවාදය හා පශ්චාත් නූතනවාදය පිළිබඳවත් නිවැරදිව වැටහීමක් හා සංකථනයක් නොමැති පසුබිමක ලෝක සාහිත්‍ය හා සංස්කෘතික මණ්ඩපය තුළ මේ වන විට පශ්චාත් නූතනවාදී කතිකාව සමතික්‍රමණය කරමින් නව නූතනවාදි කතිකාව ද ඇරඹී හමාරය. ජර්ගන් හබමාස්, ඇග්නස් හෙලර්, වික්ටර් ග්රූවර්, ගේබ්‍රියල් ඔමවායෝ වැනි දාර්ශනිකයන් ඒ සඳහා පදනම දමා ඇත. ශ්‍රී ලාංකීය විශ්වවිද්‍යාල ඇදුරන් හා සෙසු උගතුන් හා බුද්ධිමතුන් මේ සඳහා උනන්දුවක් දක්වන බවක් නොපෙනේ. ඒ ඔවුන්ගේ අනවබෝධය ද? නැතිනම් ඔවුන්ගේ උදාසීනභාවය ද? යන්න උභතෝකෝටිකයකි.
සංවාදයට විවෘතයි.
(*** සත්‍යපාල ගල්කැටිය)
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
ජ.වි.පෙ මූලිකත්වය ගත් මේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජා.ජ.බ නැතිනම් “මාලිමා” ජයග්‍රහණය සැබවින්ම ඓතිහාසික ජයග්‍රහණයකි. ඔවුන්ගේ දේශපාලනය මා නොපිළිගත්තද, ඔ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අයාලේ ගිය පශ්චාත් නූතනවාදී කතිකාව
aLPONSO Friday, 17 May 2024 06:32 PM
අර නිවේදකයා ඕවා දන්න කෙනෙක් කියලා එයා කියන්නේ...
ශාන් Sunday, 19 May 2024 08:58 PM
මම කියවන්න පොඩ්ඩක්වත් අකැමැති නමුත් මොහාන් රාජ් මඩවල මහතාත් අධි යථාර්තවාදි සංකල්පය ඔහුගේ පොත්වල යොදාගෙන තියෙනවා නේද?