ශ්රී ලංකාව නැවුම් ආර්ථික හා දේශපාලන අත්දැකීමක් සඳහා සූදානම්ව සිටියි. එනම් සමාජවාදී නැඹුරුව සහිත දේශපාලන සන්දර්භයක් යටතේ ඉදිරිපත් වන පළමු අයවැය ලේඛනය මගින් ඉදිරිපත් වන ආර්ථික ප්‍රතිපත්තිය කෙසේ ක්‍රියාත්මක වන්නේ ද යන්නයි. එහිදී ජාතික ජන බලවේග රජයක් යටතේ ඉදිරිපත් වන පළමු අයවැය ලේඛනය සමාජවාදී ප්‍රතිපත්තිවලින් සැලකිය යුතු ලෙස බැහැරවීමක් සනිටුහන් කරයිදැයි ආර්ථික විද්‍යාඥයෝ අවධානයෙන් බලා සිටිති.
ලිබරල්වාදී අයවැයක් සාමාන්‍යයෙන් නිදහස් වෙළඳපොළ ප්‍රතිපත්ති මගින් පෞද්ගලික අංශයේ වර්ධනයක් මෙන්ම අවම රාජ්‍ය මැදිහත්වීම සහිත ආර්ථික ක්‍රමයක් ඇති කිරීම සඳහා ක්‍රියා කරයි. කෙසේ නමුත් ලෝකයේ කිසිම ආර්ථිකයක් පූර්ණ ධනේශ්වර හෝ පූර්ණ සමාජවාදී ආර්ථික ප්‍රවේශ ඔස්සේ ගමන් නොකරයි. ප්‍රායෝගික තත්වය වනුයේ මිශ්‍ර ආර්ථික ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීමයි. විශේෂයෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවල තත්වය මෙහිදී කැපී පෙනේ. එහිදී ආර්ථිකයේ සමහර සංවර්ධන ගැටලු සහ අවශ්‍යතා සම්පූර්ණ කර ගැනීම සඳහා පෞද්ගලික අංශය ප්‍රමුඛ කොටගත් ආර්ථික වැඩපිළිවෙළක් මෙන්ම සමාජ සමානාත්මතාව තහවුරු කරගැනීම සඳහා රාජ්‍ය පිස්‌කල් ප්‍රතිපත්තිය සහ වැඩසටහන් ක්‍රියාවට නංවනු ලබයි.
මෙවැනි පසුබිමක ජාතික ජන බලවේග ආණ්ඩුවේ පළමු අයවැය කෙසේ සකස් වේද යන්න පිළිබඳව මෙන්ම වත්මන් ආර්ථික සහ දේශපාලන ප්‍රවණතා හමුවේ නව අයවැය සකස් කිරීමේ දී අවධානය ලක් කළ යුතු මූලික කරුණු කිහිපයක් පිළිබඳව කෙටි විමසුමක් මෙම ලිපිය මගින් ඉදිරිපත් කිරීම අරමුණ වේ.
අයවැයක් යනු ඉදිරි වර්ෂය සඳහා රජයේ අපේක්ෂිත ආදායම සහ වියදම් දක්වන මූල්‍ය සැලැස්මකි. එය අධ්‍යාපනය, සෞඛ්‍ය සේවා, යටිතල පහසුකම් සහ ආරක්ෂක වැනි විවිධ අංශ සඳහා සම්පත් වෙන් කිරීමට යොදා ගනියි. එසේම එය ඉදිරි කාල පරිච්ඡේදයේ ආර්ථිකයේ දිශානතිය මැනවින් විදහා දක්වන ලියවිල්ලකි. ආර්ථික වර්ධනය සහ සංවර්ධනය ඇතුළු රජයේ ඉලක්ක මෙන්ම එම ඉලක්ක වෙත රජය ගමන් කිරීමට අපේක්ෂා කරන ආකාරය ද අයවැය විදහා දක්වයි.
එබැවින් රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ආර්ථික ක්‍රියාකාරීත්වය කෙරෙහි අයවැය ලේඛනයක් තීරණාත්මක බලපෑමක් සිදුකරන බව පැහැදිලිය. එසේම නව රජයේ අයවැය ලේඛනය වසර ගණනාවක ආර්ථික දුෂ්කරතාවලින් පසු ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා තීරණාත්මක මෙවලමක් වන බව ද පැහැදිලිය.
මෙවර අයවැය ලේඛනයේ දී රජයේ විශේෂ අවධානය යොමු වී ඇති කරුණු කිහිපයක් පිළිබඳව ජනාධිපතිවරයා විවිධ අවස්ථාවල දී අදහස් දක්වා තිබේ. විශේෂයෙන් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් තීරණාත්මක ලෙස ඉහළ දමන බව ප්‍රකාශ කර ඇත. එසේ වෘත්තිකයන් දිගින් දිගටම ඉල්ලා සිටින උපයන විට අයකරන බදු වෙනස් කිරීම සඳහා කටයුතු කරන බවට ද පැහැදිලි ප්‍රකාශ ලබා දී ඇත.
මීට අමතරව රාජ්‍ය සේවයේ පවතින ඇතැම් පුරප්පාඩු පිරවීමට මෙවර අයවැය හරහා රජය කටයුතු කරන බවට ද ඉඟි ඉදිරිපත්ව ඇත. ඉදිරිපත් වීමට නියමිත මෙවැනි ධනාත්මක යෝජනා සමඟ රාජ්‍ය සේවක කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා වන ක්‍රියාමාර්ග ද සමඟම ගතයුතු බව අවධාරණය කරනු කැමැත්තෙමි. විශේෂයෙන් දැනට රාජ්‍ය සේවයෙහි පවතින අකාර්යක්ෂමතා නිවැරැදි කිරීම සඳහා නව තාක්ෂණය මෙන්ම රාජ්‍ය සේවකයන්ගේ කාර්ය සාධනය ඇගයීම සඳහා වන ප්‍රතිසංස්කරණ හඳුන්වාදීම වැදගත් වේ. එසේ නොමැති වුවහොත් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ඉහළ දැමීම ආර්ථිකයට දැඩි අනතුරක් ඇති කරනු ඇත.
මෙවැනි යෝජනා ක්‍රියාත්මක කිරීම වැදගත් වන අතරම උග්‍ර ආර්ථික අර්බුදයෙන් ක්‍රමිකව මිදෙමින් පවතින අවධියක අයවැය ලේඛනය හරහා අවධානයට ලක් කළ යුතු තවත් කරුණු කිහිපයක් සාකච්ඡා කිරීම වැදගත් වෙයි. විශේෂයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගෙන තිබෙන එකඟතා තවදුරටත් පවත්වාගෙන යෑමටත් එම එකඟතා මත ආර්ථිකය ශක්තිමත් කිරීමට අවශ්‍ය යෝජනා මෙවර අයවැය හරහා ඉදිරිපත් කිරීමත් අත්‍යවශ්‍යය. විශේෂයෙන් ආර්ථික අර්බුදය හමුවේ දැඩි අභියෝගයකට මුහුණපා සිටින සමාජ කණ්ඩායම් ආරක්ෂා කිරීම සඳහා සමාජ ආරක්ෂණ ජාලය පුළුල් කිරීම අත්‍යවශ්‍ය වේ.
කාර්යක්ෂම සමාජ ආරක්ෂණ ජාලයක් විවිධ ආදායම් කණ්ඩායම් අතර පරතරය පියවීමට උපකාරී වන අතරම රජය කෙරෙහි විශ්වාසය ගොඩනඟයි. කෙසේ නමුත් දැනට ක්‍රියාත්මක සමාජ ආරක්ෂණ වැඩසටහන් තුළ හඳුනාගත හැකි මූලික ව්‍යුහාත්මක ගැටලු ගණනාවක් පවතින බව පැහැදිලිය. ඒ අතර සමාජ ආරක්ෂණ ජාලා හරහා ප්‍රතිලාභ ලැබිය යුතු නිශ්චිත ජන කොටස් හඳුනා ගැනීමත් මේ වනවිටත් නොහැකි වී ඇත. තම ජීවන තත්වය පවත්වා ගැනීම සඳහා ප්‍රමාණවත් ආදායම් ලබන සමාජ කණ්ඩායම් පවා දේශපාලන සහ වෙනත් වංචනික ක්‍රම හරහා මෙම සමාජ ආරක්ෂණ වැඩසටහන් හරහා ප්‍රතිලාභ ගැනීම ප්‍රමුඛ ලක්ෂණයකි. එබැවින් ආරක්ෂණයක් අවශ්‍ය ජනකොටස් නිවැරැදිව හඳුනා ගැනීමටත් ඔවුන්ට ඉහළ සමාජ ආරක්ෂණයක් ලබා දීම සඳහා ප්‍රතිලාභ වර්ධනය කිරීමත් අත්‍යවශ්‍ය වේ. එසේම එම ජන කණ්ඩායම් ජීවනෝපාය සංවර්ධන වැඩසටහන් සඳහා යොමු කිරීමත් අත්‍යවශ්‍යය.
එසේම මෙවර අයවැය මගින් අවධානයට ලක් කළ යුතු තවත් ක්ෂේත්‍රයක් වනුයේ වෙළෙඳපොළ කාර්ය සාධනය ප්‍රවර්ධනය කිරීමයි. ආර්ථික වර්ධනය වේගවත් කිරීම සඳහා රජය වඩාත් ගතික සහ තරගකාරී වෙළෙඳපොළ පරිසරයක් නිර්මාණය කිරීම කෙරෙහි අවධානය යොමු කළ යුතුය. නියාමන ක්‍රියා පටිපාටි සරල කිරීමත් නිලධාරිවාදී බාධක අඩු කිරීමත් ව්‍යවසායකත්වය සහ නවෝත්පාදනය සඳහා දිරිගැන්වීම් ලබා දීමත් මගින් වෙළෙඳපොළ කාර්ය සාධනය ඉහළ නැංවීමට පියවර ගත යුතුය.
විශේෂයෙන් මෑතක දී වාර්තා වූ සහල් සම්බන්ධ ගැටලුව මෙන්ම බිත්තර සහ අනෙකුත් අත්‍යවශ්‍ය නිෂ්පාදන සම්බන්ධයෙන් පවතින වෙළෙඳපොළ ඒකාධිකාරී තත්වය පාලනය කිරීම සඳහා ප්‍රතිපත්තිමය තීරණ කඩිනමින් ගත යුතුය. එහිදී පෞද්ගලික අංශයේ ආයෝජන සහ ව්‍යාපාර බිඳවැටීමකින් තොරව වෙළෙඳපොළ තරගකාරීත්වය වර්ධනය කිරීම සඳහා වන ක්‍රියාමාර්ග වෙත යොමුවීමේ අවශ්‍යතාව පවතී. රජය මගින් සහල් වෙළෙඳපොළ හෝ බිත්තර වෙළඳපොළ පාලනය කිරීම සඳහා රජය එම ක්ෂේත්‍ර සඳහා යොමුවීමට වඩා වෙළඳපොළ තරගකාරීත්වය ඇති කොට ඒ හරහා ප්‍රතිලාභ සමස්ත සමාජයටම ලබා ගත හැකි පරිදි නියාමන රාමුවක් ඇති කිරීම රජයේ වගකීම වෙයි.
නව අයවැය මගින් අවධානයට ලක් කළ යුතු තවත් ප්‍රමුඛ ක්ෂේත්‍රයක් වනුයේ ව්‍යපාරික මුහුණුවරකින් ක්‍රියාත්මක රාජ්‍ය ආයතනවල කාර්ය සාධනය වර්ධනය කිරීම සඳහා ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමයි. විශේෂයෙන් පාඩු ලබන රාජ්‍ය ආයතන තවදුරටත් පවත්නා තත්වයෙන් ගෙන යෑම කිසිසේත් අපේක්ෂා නොකරයි. විශේෂයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය වැනි රාජ්‍ය ආයතන නවීකරණය කිරීමත් ඒ සඳහා පෞද්ගලික අංශය සම්බන්ධ කර ගැනීමත් අත්‍යවශ්‍ය කරුණකි. පාඩු නොලබන රාජ්‍ය ආයතන වුවත් තවදුරටත් කාර්යක්ෂම කිරීම සඳහා පෞද්ගලික ආයෝජන හඳුන්වාදීම අත්‍යවශ්‍ය කරුණකි.
විශේෂයෙන් විදුලිබල ක්ෂේත්‍රය සහ මූල්‍ය ක්ෂේත්‍ර සංවර්ධනය කිරීම සඳහා පෞද්ගලික අංශය සම්බන්ධ කර ගැනීම ප්‍රමුඛ අවශ්‍යතාවකි. මෙම ක්ෂේත්‍ර තවදුරටත් ප්‍රවර්ධනය කිරීම සඳහා රජයේ ආයෝජන මත පමණක්ම සිදුකළ නොහැකි බව පැහැදිලිය. සමස්ත ආයෝජන රාජ්‍ය අංශය පමණක් සිදු කිරීම කිසිසේත් ආර්ථික විද්‍යාත්මකව නිවරැදි ක්‍රියා පටිපාටියක් නොවන බව පැහැදිලි කරගත යුතුය. මෙම ක්ෂේත්‍ර සංවර්ධනය කිරීම සඳහා සෘජු විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා වන ක්‍රියාමාර්ග හඳුන්වා දිය යුතුය. විශේෂයෙන් මෑතකදීම එකඟතාවලට පැමිණ තිබු ඇතැම් සෘජු විදේශ ආයෝජන පවා මගහැරී යාමක් වාර්තා වෙමින් පවතී. එනම් පුනර්ජනනීය විදුලි නිෂ්පාදන හා සම්බන්ධ ආයෝජන සහ ඛනිජ තෙල් නිෂ්පාදන හා සම්බන්ධ ආයෝජන ශ්‍රී ලංකාව අතහැර යෑමක් මෑතක දී වාර්තා වෙයි.
මේ සඳහා බලපා ඇති කරුණු නිවැරැදිව අධ්‍යයනය කර ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග ගත යුතුය. එසේ නොමැති වුවහොත් විදේශීය ආයෝජන තවදුරටත් අපේ ආර්ථිකයට ලබා ගැනීම දුෂ්කර වනු ඇත. විදේශීය ආයෝජකයන්ගේ විශ්වාසය තහවුරු කරන ප්‍රතිසංස්කරණ යෝජනා ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය වේ. පවතින ආර්ථික තත්වයෙන් ඉදිරියට යෑම සඳහා ආර්ථිකය නොකඩවා වර්ධනය වීම අත්‍යවශ්‍ය වේ. ඒ සඳහා සෘජු විදේශ ආයෝජන සුවිශේෂ කාර්යභාරයක් ඉටු කරනු ඇත. ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ දී සහ සේවා සැපයීමේදී අකාර්යක්ෂම සහ නිලධාරිවාදය ප්‍රමුඛ කරගත් රාජ්‍ය ආයතන පද්ධතිය දිගු කලක් තිස්සේ බාධකයක් වී ඇත. රාජ්‍ය ආයතන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තුළ කාර්යක්ෂමතාව මෙන්ම විනිවිදභාවය සහ වගවීම වැඩි දියුණු කිරීම කෙරෙහි අවධානය යොමු කළ යුතුය. විනිවිද පෙනෙන පාලනය දූෂණය අවම කරන අතර ආයෝජක විශ්වාසය ගොඩනැංවීමට මග හෙළි කරයි.
සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස ශ්‍රී ලංකා ආර්ථිකය ඉහළ මට්ටමකට ගෙන යෑම සඳහා නිවැරැදි අධ්‍යාපන ක්‍රමයක් පැවතීම ද අත්‍යවශ්‍ය වේ. විදේශ රටවල්වලට අවශ්‍ය පුහුණු ශ්‍රමිකයන් සහ විශේෂඥයන් බිහි කරන අධ්‍යාපන ක්‍රමයක් වෙනුවට ආර්ථිකය ශක්තිමත් කරන අධ්‍යාපන ක්‍රමයක් පැවතීම අත්‍යවශ්‍යය. ශ්‍රී ලංකාවේ අධ්‍යාපන පද්ධතියෙහි ඇතැම් ක්ෂේත්‍රවල ඓතිහාසිකව ශක්තිමත් වුවද වේගයෙන් වෙනස් වන ගෝලීය ආර්ථිකයක ඉල්ලීම් සපුරාලීම සඳහා එය නවීකරණය කිරීම අවශ්‍ය වේ. එහිදී විවේචනාත්මක චින්තනය මෙන්ම ව්‍යවසායක කුසලතා පෝෂණය කිරීම කෙරෙහි අවධානය යොමු කළ යුතුය. නවීන අධ්‍යාපන ක්‍රමයක් ගෝලීය රැකියා වෙළඳපොළේ ඉල්ලීම් සඳහා වඩා හොඳින් සූදානම් උපාධිධාරීන් බිහි කරයි. වැඩිදියුණු කළ අධ්‍යාපනය සියලු සමාජ ආර්ථික පසුබිම්වල පුද්ගලයන් සඳහා අවස්ථා නිර්මාණය කරන අතර එය වඩාත් සාධාරණ සමාජයකට මග පාදයි. මේ සඳහා රාජ්‍ය අධ්‍යාපනය ශක්තිමත් කිරීමේ වැඩසටහන් සහ ප්‍රතිසංස්කරණය සඳහා මුලපිරිම මෙවර අයවැය මගින් අපේක්ෂා කරේ.
මීට අමතරව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූලික එකඟතා යටතේ මෙවර අයවැය හරහා අත්පත් කරගත යුතු ප්‍රමුඛ එකඟතා කිහිපයක් ද ඇත. විශේෂයෙන් අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට5 දක්වා අඩු කිරීමට උත්සාහ කිරීම වැදගත්ය. ඉහළ අයවැය හිඟය මගින් රජය ණය ගැනීම වැඩි කිරීමට හේතු වේ. අයවැය හිඟය අඩු කිරීම ආයෝජක විශ්වාසය යථා තත්වයට පත් කිරීමටත් ජාත්‍යන්තරය අපගේ ආර්ථික ප්‍රතිසංස්කරණ සඳහා සහාය වීමට දිරිමත් කිරීමට උපකාරී වේ. එසේම රාජ්‍ය ආදායම වැඩි කිරීමට කාර්යක්ෂම වැඩපිළිවෙළක් හඳුන්වාදීමේ අවශ්‍යතාවක් පවතී. ශ්‍රී ලංකාවේ බදු ආදායම අනෙකුත් මධ්‍යම ආදායම් ලබන රටවලට සාපේක්ෂව අඩු මට්ටමක පවතී. එබැවින් මූල්‍ය තිරසාරභාවය සහතික කිරීම සඳහා නව අයවැය මඟින් රාජ්‍ය ආදායම වැඩි කිරීමට ප්‍රමුඛත්වය දිය යුතුය.
දූෂණ විරෝධී වැඩපිළිවෙළ රටක යහපත් ආර්ථික විනයක් ඇති කිරීම සඳහා ප්‍රමුඛ වශයෙන් බලපායි. එහෙත් එමඟින් පමණක් ම රටක ආර්ථික වර්ධනය වේගවත් කිරීම සඳහා ප්‍රමාණවත් නොවේ. ඒ සඳහා සුදුසු ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැන්වීම අත්‍යවශ්‍ය වේ. පුළුල් පරාසයක ක්‍රියාත්මක ප්‍රතිසංස්කරණ ශක්තිමත් ආර්ථිකයක් බිහි කර ගැනීම සඳහා ප්‍රබල ලෙස හේතුවනු ඇත.
(***)
ඩිජිටල් තාක්‍ෂණය අද වන විට අප සියලු දෙනාගේ එදිනෙදා ජීවිතයට අත්‍යවශ්‍ය කරුණක් වී ඇත. සමහරකුට එය තම ජීවිතයේ ම අංගයක් වී අවසානය. අද වන විට ලෝක ජනගහනය ආසන්න
සමහරු අතුරුදන් ය. සමහරු හිරගෙදර සිය ජීවිතයේ අවසාන කාලය ගත කරමින් සිටිති. සාමාන්‍යයෙන් පාතාල නායකයන් සැඟවුණු ජීවිත ගත කරන්නේ ඔවුන්ට තිබෙන ජීවිත අවදානම
2025 වර්ෂය සඳහා අයවැය ඉදිරිපත් කෙරුණු මෙම අවස්ථාවේ රටේ පවත්නා පොදු ආර්ථික තත්වයත් රාජ්‍ය මූල්‍ය තත්වයත් සම්බන්ධයෙන් ජනතාව තුළ යම් අවබෝධයක් තිබීම අවශ්
ජාතික ජන බලවේග රජයේ ප්‍රථම අයවැය ලේඛනය පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය. “පොහොසත් රටක්, ලස්සන ජීවිතයක්” සහිත නව ආර්ථික පුනරුදයක සමාරම්භය
ජාතික ජන බලවේග ආණ්ඩුවේ මංගල අයවැය පාර්ලිමේන්තුවේදී ඊයේ ඉදිරිපත් කරනු ලැබීය. ඒ 2025 වර්ෂය වෙනුවෙනි. ජනාධිපතිවරයා ඉදිරිපත් කළ අයවැය ලේඛනය නිරීක්ෂණය කිරීම
මේ දිනවල කාගේත් අවධානය යොමු වී තිබෙන්නේ ඉන්දියානු ප්‍රකෝටිපති ගෞතම් අදානි විසින් ආරම්භ කරන ලද ‘‘අදානි ග්‍රීන් එනර්ජි සමාගම’’ පසුගිය දිනක ශ්‍රී ලංකාව
නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස
ශ්රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
අයවැයේ දිශානතිය කොයි අතටද?