IMG-LOGO

2024 නොවැම්බර් මස 23 වන සෙනසුරාදා


අයි.එම්.එෆ්. අහිතකර බලපෑම්

ජාතික ප්‍රමුඛතා පදනම් කරගෙන වඩාත් ඵලදායී ආකාරයකින් සංචිත සහ සම්පත් වර්ධනය කිරීම උදෙසා යෙදූ උපක්‍රම වැරදී ගොස් හෙම්බත් වූ කල වර්තමානයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව තුළ නිරත වන කාර්යය බලධාරීන්ගේ අතිශය භයානක ආරාධනයක් මත සිදුවන්නකි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි, ඓතිහාසික වශයෙන් බැලූ කල දැඩි නීති පනවන ස්වභාවයේ ඒවාය. ඔවුන් දියත් කරන ලද සියලුම වර්ගයේ ණය සහන සැපයීම්, වේදනාවට පැරසිටමෝල් දෙන්නා වගේ කෝකටත් තෛලය වැනි ප්‍රවේශයකි. 2016 ශ්‍රී ලංකාවේ වැඩ සටහනේ පැවතියේද එවැනිම කොන්දේසිය. ඒවනවිට වසංගත, යුක්රේන යුද්ධ වැනි බාහිර කම්පන නොතිබිණි.

විශාල පරිමාණයේ කිසිදු ආර්ථික අර්බුදයක් වෙත පවා නොයා පුනරාවර්තන වියදම් කළමනාකරගන්නට ප්‍රමාණවත් සංචිත එවකට අපට තිබිණි. 2015 දී දළ ජාතික නිෂ්පාදිතයේ වාර්ෂික වෙනස සියයට 4.8 ව තිබිණි. එය 2018 දී සියයට 2.3 දක්වා දැඩි පහත වැටීමකට ලක්ව 2019 දී ව්‍යසනය කරා ගියේය. මෙම අසමත් භාවයට මුල්වූ කරුණු හුවා දැක්වීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට වැදගත් වනු ඇත. (ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන ආරම්භ වූයේ 2016 දීය) එය ජාතික ආර්ථීකයට අදාළ සිද්ධි අධ්‍යයනයක් ලෙස ප්‍රසිද්ධියට පත් කිරීමද ඇතැම්විට වැදගත් විය හැකිය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන් ආර්ථීක අභියෝගවලට විසඳුම් සෙවීම සඳහා සැලසුම් කරන අතරම, ඒවායින් සංවර්ධනය වෙමින් පවතින රටවලට අහිතකර බලපෑම් ඇතිවීමද සිදුවිය හැකිය. මේ වනවිට ඒ සම්බන්ධයෙන් අත්විඳ තිබෙන පොදු විවේචන හා කනස්සල්ලට කාරණා පහත දැක්වේ.

දැඩි පියවර

මූල්‍ය සහාය දැක්වීම සඳහා නිතරම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් කොන්දේසි ලෙස නියම කරනුයේ දැඩි පියවර ගැනීමය. ශ්‍රී ලංකාව ආශ්‍රයෙන් ක්‍රියාත්මක කර ඇති පියවර අතරට, පොදුවේ (රාජ්‍ය) මහජන වියදම් අඩු කිරීම, සහනාධාර කපා හැරීම, බදු වැඩි කිරීම් ක්‍රියාත්මක කිරීම ඇතුළත් වේ. මූල්‍ය විනය යළි ස්ථාපිත කිරීමේ අරමුණෙන් නියමකොට ඇති මෙකී දැඩි පියවර සමාජ අසීරුතාවක් ඇති කිරීමට හේතුවී තිබේ. විශේෂයෙන් මෙම අසීරුතාවලට මධ්‍යම පන්තියේ ජනතාව ගොදුරු වී සිටිති. විශේෂයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අංක 13 යටතේ, 13 වැනි පිටුවේ 23/16 ලිපියේ සඳහන් කොට ඇති සමාජ ආරක්‍ෂණ ජාල රටාවට අදාළ නිර්දේශවලට ඒවායින් හානි වී තිබේ. සුබසාධන උපකාර මණ්ඩලයක් ක්‍රියාත්මක නොවීම ද ඊට දායක වන සාධකයකි.

සමාජමය බලපෑම

ශ්‍රී ලංකාව තුළ අවධානයට ලක්කොට ඇති මූල්‍ය සහන සහ ආර්ථික ප්‍රතිසංස්කරණ කටයුතුවල දී විශාල වශයෙන් සමාජ සංවර්ධනයට ප්‍රමුඛතාව දීම නොසලකා හැර තිබේ. මහජන වියදම් අවම කිරීමට පෙළඹීම ඔස්සේ විශේෂයෙන්, සෞඛ්‍ය හා අධ්‍යාපන වියදම් අඩුකිරීම ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල මානව සංවර්ධන දර්ශකවලට දීර්ඝකාලීනව අහිතකර බලපෑම් ඇති කරවන සුළුය.

ආදායම් අසමානතාව

තවදුරටත් ආදායම් විෂමතාව පුළුල් කිරීමට වර්තමාන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන දායකවී තිබේ. මැද පන්තියේ උදවිය, දරිද්‍රතා මට්ටම කරා (රේඛාව කරා) තල්ලුවී යන ලකුණු මේවන විටත් පහළ වී තිබේ. මාසික වැටුප් උපයන්නන්ගේ වියදම් කිරීමේ හැකියාව (ක්‍රය ශක්තිය) වේගයෙන් පහළ බසිමින් පවතී. පහළ ආදායම් ලබන කණ්ඩායම්වලට මේ දැඩි පියවර ඉතා දරුණු ලෙස බලපෑම් කරමින්, රටතුළ දැනට පවතින සමාජ ආර්ථික විෂමතා වඩාත් උග්‍ර තත්වයට අවුස්සා දමා තිබේ.

කුඩා පරිමාණයේ අපරාධ වැඩිවීමෙන්, මේ වනවිට දරිද්‍ර ජනයා, ධනවතුන් වෙත එල්ල කොට ඇති ද්වේෂයෙන් සහ දැනට ඉහළ යමින් පවතින වංචා සහ සොරකම්, පැහැර ගැනීම්වලින් මේ බව අපට සාක්ෂාත් වේ.

විනිමය අනුපාතික ප්‍රතිපත්ති

මූල්‍ය අගය සහත වැටීමට ඉඩ සලසන්නා වූ විශේෂිත විනිමය අනුපාතික ප්‍රතිපත්ති අනුගමනය කරන ලෙස බොහෝවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන් ඔස්සේ රටවලින් ඉල්ලා සිටිය හැකිය. මෙම පියවර ශ්‍රී ලංකාවට අදාළව අනුගමනය කිරීම විවාදයට තුඩු දෙන්නකි. භාණ්ඩ හා සේවා උදෙසා දැඩි ලෙස ආනයනවලට නැඹුරුව පවතින විට, ආනයන භාණ්ඩවල වියදම් වැඩිවී ඇතිවිට එම තත්වය පාරිභෝගික ජනතාවට අහිතකර බලපෑම් ඇති කරයි. 2020 වසර හා සැසඳූ විට සාපේක්‍ෂ වශයෙන් තුන් ගුණයක තරමේ උද්ධමන වැඩි වීමකට එය බලපා තිබේ. මෙම තත්වය අපගේ අපනයන තරඟකාරීත්වය වර්ධනය කිරීමට හේතුවී යයි තර්ක ඉදිරිපත් කළද ගෝලීය වෙ​ෙළඳ පොළේ ශ්‍රී ලංකාවේ තරඟකාරීත්වයේ හැකියාව වර්ධනය වේ යැයි කීමද විවාදයට තුඩු දෙන්නකි. කෙටි කාලීන ලාබ ඉපයීම් උදෙසා, පහළ මට්ටමේ වෙළෙඳ උපක්‍රම යොදා ගන්නා විට එකී තරඟකාරීත්වය රටකට හිමිවේ ද යන්න සැක සහිතය.

ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා වගවීම

දේශීය ජනතාවගේ ප්‍රමුඛ අවශ්‍යතා සමග එක්ව නොයන්නා වූ (නොසැසඳෙන) ආර්ථික ප්‍රතිපත්ති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන් ඔස්සේ බලෙන් පැටවීම නිසා රටක ප්‍රජාතන්ත්‍රීය වගකීම නොසලකා හැරේ යැයි විචාරකයෝ කියති. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල බලවත් ජාතීන්ට සලකන ආකාරයෙන් සහ එය ශ්‍රී ලංකාවට සලකන ආකාරයෙන් එය පැහැදිලි ලෙස ප්‍රත්‍යක්‍ෂ වේ.

මූල්‍ය සහන දීම උදෙසා පනවන කොන්දේසි ඔස්සේ රටකට ප්‍රතිපත්ති සකසා ගැනීමට ඇති නිදහසට බාධා එල්ලවන ආකාරය මේ වනවිට අපි අත්විඳිමින් සිටින්නෙමු. එහිදී පනවන සෑම කොන්දේසියකටම යටත්වීම හැරෙන්නට රජයට වෙනත් විකල්පයක් නැත. කේවල් කිරීමේ බලය නැති තැන රටකට කළ හැක්කේ එම කොන්දේසි පිළිගැනීම පමණකි.

මූල්‍ය ස්ථාවරත්වයේ අවදානම

ඇතැම්විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පනවන කොන්දේසි මූල්‍ය අස්ථාවර භාවයට දායක වන ඒවා විය හැකිය. උදාහරණයකට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන් ඔස්සේ දිරිමත් කරනු ලබන මහා පරිමාණ මූල්‍ය ලිබරල්කරණය, අස්ථාවර ප්‍රාග්ධන ගලායාම් හා බැඳුණු අවදානම් සහගත තත්වයට රටවල් විවර කර දමන ඒවා විය හැකිය. ඒ ඔස්සේ විවිධ වාසි ගෙන එන්නේ වුව ද එයින් සාර්ව ආර්ථික අසමතුලිතතා ඇතිවි හැකිය. ඇතැම් මූල්‍ය අසීරුතාවලට ඒ ඔස්සේ ගොදුරු වීමේ හැකියාව වැඩිවේ. කෙසේ වුවද එයින් ශ්‍රී ලංකාවට ඇතිවිය හැකි බලපෑම විස්තර කිරීමට ප්‍රමාණවත් ප්‍රබල අනුභාවික සාක්‍ෂි සොයාගත නොහැකිය.

සාර්ව ආර්ථික බලපෑම

කෙටිකාලීන සාර්ව ආර්ථීක සමතුලිතතාව ඇති කිරීම සියලු රටවලට එකසේ යෝග්‍ය නොවේ යයි විචාරකයෝ කියති. ඇතැම් විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිර්දේශ කරන ප්‍රතිපත්ති, ආර්ථික ක්‍රියාකාරකම් සංකෝචනය වීමට හා දීර්ඝ කාලීන සංවර්ධන අපේක්‍ෂා මොට කිරීමට හේතුවිය හැකිය. ශ්‍රී ලංකාව තුළ ආයෝජන ප්‍රාග්ධනය හිඟ වූ කල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන් ක්‍රියාත්මක කරද්දි, දීර්ඝකාලීන සංවර්ධන වැඩසටහන් හිටිහැටියේ නතරවන බවට සැක නැත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගෝලීය වශයෙන් මූල්‍ය අර්බුදවලට විසඳුම් ඉදිරිපත් කරමින් ආර්ථික ප්‍රතිසංස්කරණවලට සහයෝගය දෙනවිට, විවිධ, විශේෂ තත්ව යටතේ පවතින රටවලට එම වැඩසටහන්වල බලපෑම් හෝ ප්‍රතිඵලය වෙනස් විය හැකිය. තමන් විසින්ම සකසා ගනු ලැබූ විනාශයේ උගුලක සිරවී සිටින ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගත්විට රජය මෙරටට ආවේනික සමාජ, ආර්ථීක, දේශපාලනික කරුණු දෙස විශේෂ සැලකිල්ලක් යොමුකොට පිළියම් සෙවිය යුතුය.

ඊට හොඳම උදාහරණය ඉන්දියාවේ 1986 සහ 1990 වසරේ ගෙවුම් ශේෂ අර්බුදයයි. එය පැහැදිලිව හඳුනාගත් ආර්ථික වශයෙන් යථාතත්වයට පත්වීමේ ජාතික උපාය මාර්ග සැලැස්මක් ඒ වනවිට ඉන්දියාවට තිබිණි. අපට තවමත් එවැනි සැලැස්මක් නැත. ඒ වෙනුවට අපි, රජයේ නියෝජිතයන් දියවන්නාවේ කියන සුරංගනා කතා අසා සිටින්නෙමු.

අපගේ ආර්ථීකය 2020, 2021 සහ 2022 වර්ෂයේ පවා පෙර නොවූ තරම් අහේනියට භාජන විය. එකක් පාසා එකක් පැමිණි ආණ්ඩු එම තත්වය කල්තියා පැහැදිලිව හඳුනා නොගෙන විශාල පරිමාණයේ ණය ගනිමින් පැලැස්තර විසඳුම් යොදාගත් නිසාත්, ආර්ථීක සම්පත් අවභාවිත කළ නිසාත්, දැඩි සත්කාර ඒකකයේ වැටී සිටි අපගේ ආර්ථිකය ගොඩ ගන්නට ප්‍රමාණවත් සහයක් නොලැබිණි. ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර වලින් 2015 – 2019 අතර කාලයේ ගත් ඩොලර් බිලියන 12 ක ණය මුදලත්, 2009 – 2014 කාලයේ ගත් ඩොලර් බිලියන 5 ක ණය මුදලත් එම අදූරදර්ශී ක්‍රියාමාර්ගවලට උදාහරණය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පැන වූ කොන්දේසි හා එහි නිර්දේශවල අහිතකර බලපෑම දැන් දැන් දිස්වෙමින් පවතී. බොහෝ සුළු පරිමාණ ව්‍යවසාය මේ වනවිට වැසී ගොසිනි. බදු අයකිරීම් ඉහළ යාම නිසාත්, එදිනෙදා වියදම් ඉහළ යාම නිසා ආදායම් පහත වැටීම නිසාත්, රට හැර යන ප්‍රවීණ වෘත්තිකයන්ගේ සංඛ්‍යාව ඉහළ යමින් පවතී. මධ්‍යම පාන්තිකයන්ගේ ක්‍රය ශක්තිය පහත වැටෙමින් පවතී. ඕනෑම ආකාරයේ ආර්ථීක උන්නතියකට මැද පන්තියත් ඔවුන්ගේ පරිභෝජන රටා අතිශය වැදගත්ය. මේවනවිට කුඩා පරිමාණ ව්‍යවසාය 2000 කට වඩා වැසී ගොස් ඇති බව වාර්තා වේ.

දේශපාලන ස්ථාවරත්වය නැවත ඇති කිරීමේ කීර්තිය, ලෙඩ වූ ආර්ථීකයට සත්කාර කිරීමේ රජයේ ක්‍රියාමාර්ගයට හිමිවිය යුතුය. එය සමාජ ආර්ථික ස්ථාවරභාවයට ද හේතු වූවකි. මෙකී සත්කාර වෑයමට, ශ්‍රී ලංකා මහ බැංකුවට, මූල්‍ය මණ්ඩලයට සහ මුදල් අමාත්‍යාංශ ලේකම්හට ඔල්වර හඬ නැංවිය යුතුය. කොටින් කිවහොත් ජනාධිපතිවරයා සහ රජය, නිදහසේ කඩා වැටීම වළක්වාලීමට තිරිංග යෙදුවේය. කෙසේ වුවද, කඩා වැටීම තවමත් නතරවී නැත. කඩා වැටීම තවමත් සිදුවෙමින් පවතී.

තවමත් වැඩිවන බලශක්ති පිරිවැය, ජීවන වියදම, වෙළඳ මාෆියාව, වෘත්තිය සමිති මාෆියාව, වැඩිවන අපරාධ සංඛ්‍යාව ස්ථාවර ආර්ථීකයට අහිතකර බලපෑම් ඇති කරයි. මැද පන්තියේ පොදු ජනයා, සාමාන්‍ය මිනිසා වෙත එල්ලවන පීඩනය අතිමහත්ය. අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවාවල මිල නිරන්තරයෙන් වැඩිවෙමින් පවතී. පමණට වැඩි වක්‍ර බදු තවදුරටත් ව්‍යාපාරවලටත්, පරිභෝජනයටත් සෑම අංශයක් තුළම පීඩා කරන බව වැසීයන ව්‍යවසායවලින් පෙනේ. පරිභෝජනයෙන් අනතුරුව බදු ගැසීම පැමිණෙන බව සෑම දෙනා දනිති.

රජය විසින් ක්‍ෂණිකව විසඳුම් දිය යුතු ගැටලුව වන්නේ විශාල ආදායම් විෂමතාව පිළිබඳ ගැටලුවටයි. දැඩි අභිරුචියකින් අනුගමනය කරන බදු ක්‍රමයකින් පමණක් ඊට විසඳුම් සෙවිය නොහැකිය. නව ක්‍රම ක්‍රියාත්මක කිරීමෙන් හා සම්ප්‍රදායික ආදායම් මූලාශ්‍ර නැවත ඇති කිරීමෙන් එය කළ හැකිය. එම නිසා මැද පන්තියේ පරිභෝජනය නැවත වර්ධනය කිරීම, කුඩා පරිමාණ ව්‍යවසාය නැවත නගා සිටුවීම උදෙසාත්, බදු පැනවීමෙන් ඇතිකරන අහිතකර බලපෑම සමනය කිරීම කෙරෙහිත් අවධානය යොමු කළ යුතුවේ.

 

(***)
Daily FT පුවත්පතේ පෙබරවාරි 28 වැනිදා පළවූ
IMF  Prescription, Sick economy and governmat Nursing
ලිපියේ පරිවර්තනය - සමන් පුෂ්ප ලියනගේ



අදහස් (0)

අයි.එම්.එෆ්. අහිතකර බලපෑම්

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

මාලිමාවේ ජයෙන් ඔබ්බට
2024 නොවැම්බර් මස 22 457 1

මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්


එලොව පොල් පෙන්වන පොල් මිලේ රහස
2024 නොවැම්බර් මස 21 465 0

බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන


ජයග්‍රහණ ජනසතුවේ අභියෝග
2024 නොවැම්බර් මස 21 103 0

ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ


පෙරදිග ධාන්‍යාගාරයේ සහල් අර්බුදය
2024 නොවැම්බර් මස 20 372 1

පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම


ආණ්ඩුවට භාරදූර වගකීමක්
2024 නොවැම්බර් මස 19 543 0

ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ


ජයග්‍රහණය අබියස අභියෝගය
2024 නොවැම්බර් මස 18 908 0

ජ.වි.පෙ මූලිකත්වය ගත් මේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජා.ජ.බ නැතිනම් “මාලිමා” ජයග්‍රහණය සැබවින්ම ඓතිහාසික ජයග්‍රහණයකි. ඔවුන්ගේ දේශපාලනය මා නොපිළිගත්තද, ඔ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 489 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 708 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1987 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site