IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


අරුත්බර නිදහසක ශක්තිමත් පදනම

 

අධිරාජ්‍යවාදී ග්‍රහණයෙන් මිදී 1948 පෙබරවාරි 04 වැනිදා ලැබූ නිදහස 73 වැනි වසරටත් අපි මෙසේ සමරමින් සිටිමු. එහෙත් පොදුවේ ගත්කල මෙය අප දේශපාලන, ආර්ථික, සමාජයීය සහ සංස්කෘතික වශයෙන් ලැබූ පූර්ණ නිදහසක් ලෙස ශාස්ත්‍රීය අවකාශයක් තුළ අර්ථ ගන්වන්නට ඇතැම් විද්වතුන් මැළිකමක් දක්වන බව පෙනේ. ඊට හේතුව කුමක්දැයි සොයා බැලීම වැදගත් වේ.

අධිරාජ්‍යවාදී පාලන සමය සලකා බැලුවොත් එය මෙරටට පමණක් නොව පෙරදිග බොහෝ රටවලට බලපෑ කාරණයක් බව අපි දනිමු. එවකට ලෝකයේ බලවත් යුරෝපීය ජාතිකයෝ පෙරදිග රාජ්‍ය බොහොමයක් මෙසේ අත්පත් කර ගැනීමට සමත්වූහ. ඒ අනුව 1919 වනවිට ලෝක ජනගහනයෙන් සියයට හැත්තෑවක්ම ජීවත්වූයේ යටත්විජිත ප්‍රදේශවලය. එසේම ලෝක භූමි ප්‍රමාණයෙන් සියයට හැත්තෑ දෙකක්ම පැවැතුණේ යටත්විජිත ප්‍රදේශ හැටියටය.

එහෙත් එදා සිට අද දක්වා සොයා බැලුවොත් මේ තත්ත්වය බොහෝ සෙයින් වෙනස්වී තිබේ. අද වනවිට ලෝක ජනගහණයෙන් යටත්විජිත පාලනයකට නතුව පවත්නේ සියයට 0.3 ක් පමණි. සමස්ත ලෝක භූමි ප්‍රමාණයෙන් එය සියයට 0.7 ක ප්‍රමාණයකි.

යටත්විජිතවාදී සංකල්පය මෙසේ වෙනස්වීමට ප්‍රධාන කාරණා කීපයක් බලපෑ බව පෙනේ. ඉන් එකක් නම් අධිරාජ්‍යවාදීන් මේ රටවල් තුළ සියවස් ගණනක් ඔවුන්ගේ ආර්ථිකය, සංස්කෘතිය, දේශපාලනය පතුරුවා හැරීම තුළ ඊට එරෙහිව ස්වදේශිකයන්ගේ අරගල පැනනැගීමය. ඉන්දියාව, චීනය, ලතින් ඇමෙරිකාව ඇතුළු බොහෝ රටවල් මෙම අභ්‍යන්තර අරගල අධිරාජ්‍යවාදීන්ට එරෙහිව පැනනැගුණු බව පෙනේ. එය ඇත්තටම සංවිධානාත්මක අරගලයකි. එහෙත් අධිරාජ්‍යවාදී ග්‍රහණයෙන් සම්පූර්ණයෙන් මිදීමට ඒ අභ්‍යන්තර අරගලය පමණක් ප්‍රමාණවත් වූවායැයි කිව හැකි නොවේ.

මේ අතර 20 වැනි ශත වර්ෂයේ තීරණාත්මක පිබිදීමක් ඇති කළ කාරණයක් වූයේ රුසියානු විප්ලවයයි. මේ පිබිදීමත් සමග රුසියාව තුළ ලෝක අධිරාජ්‍යවාදයෙන් මිදී ගිය කම්කරු හා ගොවි බලවේගයක්ද සහිත පාලනයක් බිහිවීම මෙහිදී සිදුවිය. ඒ වනවිට ඉන්දියාව, චීනය වැනි රටවල ක්‍රියාත්මක වෙමින් තිබුණ නිදහස් අරගල සඳහා මෙය යම් දෘෂ්ටිමය සහ ආධ්‍යාත්මික ශක්තියක් ඇති කරන්නක් බවට පත් වුණි. ඉන්දියාව, චීනය වැනි රටවල නිදහස් සටන් ව්‍යාපාරයේ මේ නැඟීම අපේ රටේ ජාතික නායකයන්ටද යම් බලපෑමක් හා පෙළඹවීමක් ඇති කරවන්නක් විය. එක්දහස් නවසිය හතළිස් ගණන් පමණ වනවිට අධිරාජ්‍යවාදීන්ට තම පාලනය තවදුරටත් නිරවුල්ව පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් ඇතිකරන තරමට මේ රාජ්‍යවල අරගල උත්සන්න විය. දේශපාලනමය හා යුදමය වශයෙන් පමණක් නොව ජනගහණ ආර්ථිකය සමාජ ක්ෂේත්‍රවල පවා මේ කියන අභ්‍යන්තර අර්බුදකාරීත්වය පැනනැගී තිබුණි. හතළිහේ දශකයේ අවසන් භාගය වනවිට අධිරාජ්‍යවාදී පද්ධතිය බිඳ වැටෙන්නට වූයේ මෙහි ප්‍රතිඵලයක් හැටියටය. 1947 දී ඉන්දියාවටත් 1948 දී ලංකාවටත් නිදහස ලැබෙන්නට මේ කරුණු බලපෑ බව පෙනේ.

මීට පෙර නොපැවැති අලුත් රාජ්‍ය පද්ධතියක් මේ අනුව බිහිවන්නට විය. මෙම රටවල් අර්ධ නිදහස ලැබූ රටවල් ලෙසින් නම්කොට තිබුණේ. මේ රටවල් නිදහසින් පසු විවිධ අභියෝගවලට මුහුණ දෙන්නට විය. එම රාජ්‍යවල එවකට පැවැති තත්ත්වය සහ අනාගත අභියෝග ජයගන්නේ කෙසේද යන ප්‍රශ්නය ඒ අතර මූලික විය. ඒ ඒ රටවල දේශපාලන පන්තියේ හැකියාව හා ශක්‍යතාව මත මේ ප්‍රශ්නයට මුහුණ දුන් බව පෙනේ. අපේ රටේද එවැනි කැපකිරීම් බොහොමයක් සිදු වූ බව අමතක කළ යුතු නැත.


දේශපාලන
යටත්විජිතකරණයට ගොදුරුවූ සෑම රටකම පාහේ නිදහසින් පසු ප්‍රධාන අභියෝග කීපයක් නිර්මාණයවූ බව පෙනේ. ඉන් ප්‍රමුඛ වූයේ දීර්ඝ කාලීනව යටත්විජිතවාදයට ගොදුරුවීම නිසා ස්වදේශීය රාජ්‍ය පාලන ව්‍යුහය බිඳ වැටීමයි. පශ්චාත් නිදහස් අවධිය තුළ ඔවුන් මුහුණ දුන් ගැටලුව වූයේ කෙබඳු ආකාරයේ පාලන ව්‍යුහයක් ඇති කළ යුතුද යන්නය. ඇතැම් විට මෙය අදට පවා බලපාන ප්‍රමුඛ ගැටලුවක් තරමට එය සංකීර්ණවී තිබේ. අපේ රටට පවා මේ කියන කාරණය අදාළය. ඒ පිළිබඳව විවිධ සාකච්ඡා ප්‍රතිවිරෝධතා තවමත් වරින් වර මතුවී එන්නේ මේ හේතුව මතය.

එහෙත් ඉන්දියාව, චීනය වැනි රටවල් තමන්ට ගැළපෙන පාලන ව්‍යුහය කුමක්ද යන්න තෝරා බේරා ගැනීමට සමත්වූ අතර ඔවුහු ඒවා ක්‍රියාත්මක කළහ. එය අද වනවිට සාර්ථකවී තිබේ. එහෙත් අපට තවමත් නිසි පරිදි විසඳාගත නොහැකිව තිබෙන මේ ගැටලුව නිදහස් රටක අනාගත අභියෝගයක් සේ දැකිය හැකිය. මේ ගැන විවෘත කතිකාවක් නිර්මාණය වීම අත්‍යවශ්‍යය.

අපට මෙන්ම ඉන්දියානුවන්ට නිදහස ලැබෙන කාලයේ ඇත්තේ කුඩා වෙනසකි. එහෙත් ඉන්දියානුවෝ අද වනවිට රටක් හැටියට විවිධ ජයග්‍රහණ අත්පත් කරගනිමින් සිටිති. නිර්මාණාත්මක නූතන රාජ්‍යයක් ගොඩනැගීමේ ක්‍රියාවලිය ඔවුහු තේරුම් ගෙන සිටියහ. එබඳු රාජ්‍යයක් ගොඩනැගීමේදී පුරවැසි සමාජය, ප්‍රබුද්ධ සමාජය, දේශපාලනය නැමැති ප්‍රධාන ප්‍රවාහයන් නිවැරැදිව ගලපා ගැනීමට ඔවුහු සමත්වූහ. පුරවැසි සමාජයට අවශ්‍ය ගතිකයන් ගොඩනගා ගැනීමට යාන්ත්‍රණයක් දෘෂ්ටිවාදයක් නිර්මාණය කිරීමට මූලික වූයේ ඉන්දියානු ප්‍රබුද්ධ සමාජයයි. එම තත්ත්ව දේශපාලන පන්තිය ගොඩනැගීමට ප්‍රබල වශයෙන් හේතුකාරක විය. බටහිර රාජ්‍යයන් සමඟ පැවැති සම්බන්ධතාව නව ආකාරයකට වර්ධනය කරගැනීමටත් මේ ක්‍රමය හේතුවිය. මේ කරුණ මා සඳහන් කළේ නිදහසින් පසු ලංකාවේ ඉදිරි මග සකස් කර ගැනීමේදී මේ කියන කාරණා යම් යම් අවස්ථාවලදී තවමත් අපට ගළපා ගත හැකිව ඇති බැවිනි.

ශ්‍රී ලංකාවේ මේ තත්ත්වය ගතහොත් යුරෝපීය යටත්විජිත සංකල්පවල ඓතිහාසිකත්වයෙන් සම්පූර්ණම නිදහස්වීමට හැකිවූ බවක් පෙනෙන්නට තිබුණේ නැත. ඒ නිසාම අපට කිසියම් රඳා පැවැත්මක් මත ක්‍රියාත්මක වීමට සිදුවිය. කෙසේ වෙතත් නිදහස සමරන මේ මොහොතේ දේශපාලනික වශයෙන් අප අවධානය යොමු කළ යුත්තේ කවර අංශ කෙරෙහිද, ඊට මුහුණදීමට ඇති අභියෝග කවරේද යන්න ගැන අවධානය යොමු කිරිම වටී.

දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව ඇරඹුණු ගෝලීයකරණ ක්‍රියාවලිය අද වනවිට බිඳවැටී ඇති බව පැහැදිලියි. එසේම අද වනවිට ලෝක ආර්ථික අර්බුදයක් නිර්මාණය වෙමින් තිබේ. කොරෝනා වසංගතයත් සමඟ මෙය ප්‍රබල ලෙස දැනෙන්නට පටන්ගෙන ඇත. මේ නව ලෝක තත්ත්වයත් සමඟ අපට අපේ ආර්ථිකය, පාලන තන්ත්‍රය ආදිය ගැන නැවත සිතා බලන්නට සිදුවෙමින් තිබේ. පැරැණි සම්ප්‍රදායික දේශපාලන කෝණයෙන්ම බැලීමෙන් පමණක් මේ අර්බුදවලට විසඳුම් සෙවීම දුෂ්කර බව අපි මේ මොහොතේ කල්පනා කළ යුතු වෙමු.


ආර්ථිකය
පැරැණි ගෝලීය පටිපාටිය බිඳවැටී ඇති සැටිත් ලෝකයේ ආර්ථික ආධිපත්‍යය වෙනස්වී ඇති සැටිත් මූලිකව මේ මොහොතේ අපි තේරුම් ගත යුතුව ඇත්තෙමු. ලෝකයේ ආර්ථික බලවතුන් වෙනස් වෙමින් තිබෙන සැටිත් ඊට මුහුණ දියයුතු අන්දමත් ගැන සැලකිලිමත්විය යුතුව ඇත්තෙමු. වැදගත්වන්නේ මේ අලුත් ගෝලීය තත්ත්වය දේශපාලන බලධාරීන් තේරුම් ගැනීමය. එසේම ප්‍රබුද්ධ සමාජය තේරුම් ගැනීමය.
මේ මාහොතේ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ යුතු මූලික කාරණා කීපයකි. ඉන් එකක් නම් ලෝක වෙනස්වීම් මත කලාපීයකරණය ප්‍රබලවීමය. අනෙක් පැත්තෙන් ස්වදේශීකරණය ශක්තිමත් කිරීමය. මේ කාරණා දෙක කෙරෙහි අවධානය යොමු කිරීම ප්‍රධාන වශයෙන් ආර්ථිකය හමුවේ පමණක් නොව දේශපාලන සමාජ, සංස්කෘතික වශයෙන්ද වැදගත්වනු ඇත.

මේ සඳහා මෙරට පාලක පන්තිය මෙන්ම ප්‍රබුද්ධ සමාජයද අනුකූල නොවුණහොත් අප රටක් හැටියට අපේක්ෂා කරන දේශපාලන ආර්ථික ප්‍රතිපත්ති ඇද වැටීමට හේතු වනු ඇත. එබඳු ශක්තිමත් අඩිතාලමක් ගොඩනැගීමක් සිදුනොවුණහොත් අප ලබාගත් නිදහස කෙසේ වත් අර්ථසම්පන්න වන්නේ නැත. එසේ වුවහොත් සිදුවන්නේ පවත්නා නිදහසද අහිමිකර ගැනීම පමණකි.

අනෙක් අතට අන්තර්ජාල සමාගම් අද වනවිට ලෝකයට කරන බලපෑම ආර්ථික දේශපාලන මෙන්ම සංස්කෘතික නිදහසද අභියෝගයකට ලක්කෙරෙන මට්ටම දක්වා පැමිණ තිබේ. ස්වදේශිකත්වය ගැන අවධානය යොමු නොකළ හොත් මේ ආක්‍රමණය තවදුරටත් ඉක්මන්වීම වැළැක්විය නොහැකිය. එදා අප ධනේශ්වරයට යටවී සිටියේ යම් සේද අද අප යටවී සිටිනුයේ ජාලේශ්වරයටය. ඒ ජාල මගින් ලෝකය පාලනය කිරීමට අලුත් පන්තියක් බිහිවෙමින් තිබේ. එය එදාටත් වඩා රටවල් මුහුණ දෙන බරපතළ අභියෝගයක් වනු ඇති. එබැවින් නිදහස සැමරිය යුත්තේ මේ කියන ප්‍රධාන අභියෝග අප ඉදිරියේ ඇති වග හොඳින් සිහිතබාගෙනය.

අනෙක් අතට මේ මොහොතේ අප ආනයන ආර්ථික කේන්ද්‍රයක් මතම යැපීම යෝග්‍ය නොවේ. එසේ වුවහොත් අනාගතයේ දරුණු තත්ත්වයක් ඇතිවීමට එය හේතුවනු ඇත. එබැවින් මේ කාලයේ අපට වැදගත් වන්නේ නිෂ්පාදන ආර්ථික ප්‍රතිපත්තියකි. නිෂ්පාදනය කළ හැකි සියල්ල මෙරට නිෂ්පාදනය කිරීමේ වෑයම සොයාබැලීමය මේ මොහොතේ වැදගත්වන්නේ. අනාගත නිදහසක් ගැන අප කතා කළයුතු නම් මේ කරුණ ගැන අවධානය අත්‍යවශ්‍යය. ලෝකයේ ඇතිවී තිබෙන මේ තත්ත්වය කලාපීය කරණයත් දේශීයකරණයත් පදනම් කොට ගැනීමට ස්වර්ණමය අවස්ථාවක් වී ඇතැයි අප කියන්නේ එබැවිනි.


සමාජ - සංස්කෘතික
රටක සංවර්ධනය මැනීමේදී මූලිකව වැදගත්යැයි සැලකුණු දේශපාලනය සහ ආර්ථික ක්ෂේත්‍රවලටත් වඩා අද වනවිට සංස්කෘතික ක්ෂේත්‍රවල වර්ධනයේ අවශ්‍යතාව ගැන ලොවපුරා සාකච්ඡා වෙමින් තිබේ. සමාජයක හරපද්ධතිය සහ පරමාදර්ශ ගොඩනැගීමේ මූලික පදනම ලෙස සැලකිය හැක්කේ සංස්කෘතික ක්ෂේත්‍රයයි. පසුගිය දශක ගණනාවක් පුරා අපේ පැවැති වටිනාකම, සිරිත්-විරිත් ශික්ෂණය හා අධ්‍යාපනය අද වනවිට බිඳවැටී ඇති බව අපි පිළිගතයුත්තෙමු. එහෙත් එය අතීත සමාජය තුළ දක්නට ලැබිණ. විශේෂයෙන් විනයගරුක ශික්ෂණයෙන් යුතු පුරවැසියා බිහිකිරීමේ වගකීම අධ්‍යාපනය හරහා ඉටුවිය. යටත්විජිත අධ්‍යාපනය තුළ පවා මේ ශික්ෂණය දක්නට ලැබුණත් එහි ප්‍රතිඵල හිමිවුණේ ස්වදේශිකයන්ට නොව අධිරාජ්‍යවාදීන්ටය.

එබැවින් අපේ සංස්කෘතික ප්‍රතිපත්ති ගැන නැවත අවධානය යොමු කළයුතු කාලයක් ලෙස මෙය සැලකිය හැක. එයින් අදහස් කරන්නේ අප යළිත් ගල්යුගයට යන බවක් නොවේ. අද නූතනවාදය පැහැදිලිවම අර්බුදයට ලක්ව අවසන්ය. ඒ වෙනුවට ඔවුහු පශ්චාත් නූතනත්වය යෝජනා කළහ. දැන් එයද අර්බුදයට ගොසිනි. දැන් ඉතිරිවී තිබෙන්නේ පූර්ව නූතනයයි. ඒ නිසා දැන් කළ යුතුව ඇත්තේ අප පෞරාණික නූතනත්වය වෙත ගමන් කිරීමයි. මේ අර්බුදවලට බොහෝ විසඳුම් එහිදී ලැබෙන්නට පුළුවන. ඒ පෞරාණික නූතනත්වය තුළ ආර්ථිකය නිර්මාණය වන්නේ සංස්කෘතිය පදනම් කොටගෙනය. සියල්ල තීරණය වන්නේ ආර්ථිකය මත බව එක්තරා කාලයක සිතා සිටියත් එය අද බොරුවක් වෙමින් තිබේ. එබැවින් අනාගත නිදහස් රටක් නිර්මාණය විය යුත්තේ සංස්කෘතිය, අධ්‍යාපනය හා ශික්ෂණය යන කරුණු මත පදනම්වය. ඒ අභියෝගය දිනා නොගන්නා තාක් අපි නව යටත්විජිතවාදයේ ගොදුරු බව මතක තබාගත යුතුවෙමු. ඒ නව මොඩලය නිර්මාණය කර ගැනීමට දායකත්වය සැපයීමය නිදහස සමරන මේ මොහොතේ අප කළ යුතු වැදගත්ම කාර්යය වන්නේ. ඒ මොඩලයේ කේන්ද්‍රය විය යුත්තේ මනුෂ්‍යත්වයයි.

 

ආචාර්ය - ටියුඩර් වීරසිංහ

(*** සටහන – ගාමිණී කන්දේපොළ)

 



අදහස් (0)

අරුත්බර නිදහසක ශක්තිමත් පදනම

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රගතිශීලී පෑන අත රැඳි පියදාස වැලිකන්නගේ
2024 නොවැම්බර් මස 27 135 0

ප්‍රවීණ ගත්කරුවකු සහ ලේඛකයකු වූ පියදාස වැලිකන්නගේ මහතා ඉකුත් 25 වැනිදා අභාවප්‍රාප්ත විය. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


අයි.එම්.එෆ්. එකඟතා ජනවරමට ගැළපේද?
2024 නොවැම්බර් මස 27 138 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම නොවැම්බර් මස 17 වැනිදා සිට 23 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ණය ගිවිසුම සම්බන්ධයෙන් පැවැති සමාලෝචනය අවසන් වී තිබේ. ඒ අ


ඊ.පී.එෆ්. එකේ ට්‍රිලියන 3.9ක මුදලක් අනතුරේ
2024 නොවැම්බර් මස 26 1002 0

පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවය කරන විශ්‍රාම වැටුප් ක්‍රමයකට හිමිකම් නොමැති සේවක පිරිස් සඳහා අනිවාර්ය විශ්‍රාම දායක මුදල් ක්‍රමයක් ලෙස 1958 අංක 15 දරන


ආර්ථිකයේ අයි.එම්.එෆ්. සාධකය
2024 නොවැම්බර් මස 26 193 1

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය


උතුර-දකුණ එකට එක්කළ ඡන්දයක්
2024 නොවැම්බර් මස 23 469 3

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව


මාලිමාවේ ජයෙන් ඔබ්බට
2024 නොවැම්බර් මස 22 1117 3

මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 563 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 765 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2146 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site