IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


අර්බුදයේ උරුමකරුවෝ කරඇරීම

 

අප රටේ ආර්ථිකය සම කළ හැක්කේ බහු-අවයව අකර්මණ්‍ය තත්ත්වයකට පත් කෙරෙමින් අසාධ්‍යව රෝහල්ගත කෙරුණු රෝගියකුටය. අක්මාව නරක් වී ඇත. වකුගඩු අකර්මණ්‍ය වී ඇත. පෙනහලු‍ ඇහිරී ඇත. හෘදය ද දුර්වල වී ඇත. එවන් තත්ත්වයක සිටි රෝගියාගේ වර්තමාන අසාධ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් රෝහලට ඇතුළු කරන විට වාට්ටුවේ සිටි වෛද්‍යවරයාට පූර්ණ වගකීම පැවැරිය හැකි ද ?  වැරැදි බෙහෙත් බොමින්. වැරැදි උපදෙස් පිළිපදිමින්, වැරැදි ජීවන රටාවක නියැළෙමින් පසුගිය 40 වසරක් තුළ රෝගියා තම සෞඛ්‍යයට කරගත් හානිය පහසුවෙන් සුව කළ හැක්කක් නොවේ.

‘‘දොස්තර ගෙදර යනු”‍ කියන්නන් පසුගිය 40 වසරක් තුළ රෝගියාව මේ තත්ත්වයට පත් කළ, වැරැදි බෙහෙත් නිර්දේශ කළ, වැරැදි සැත්කම් කළ, වැරැදි ජීවන රටාවකට හුරු කළ මෙතෙක් ඒ සා කාලයක් රෝගියාව බලා කියාගත් සහ හැසිර වූ දොස් ‘‘තර”ලාට වගකීම නොපවරන්නේ ඇයි ? ඒ දොස්තරලා දැන් ‘‘දොස්තොර”‍ ලා ලෙස පෙනී සිටිති. ඔවුන් දැන් වර්තමානයේ සිටින දොස්තරවරුන්ගේ වැරදි මහ හඬින් කියන්නේ මේ රෝගියාගේ වර්තමාන අභාග්‍යසම්පන්න තත්ත්වයට ඔවුන්ගේ කිසිදු සම්බන්ධයක් නැතිවාක්මෙනි.  සත්‍යය නම්, මේ තත්ත්වයට වඩාත්ම වගකිව යුත්තේ වර්තමාන දොස්තරවරුන් නොව දොස්තොරලා වෙන්න හදන පැරණි දොස්“තර” ලා බවයි. පසුගිය කාලයේ අප දුටුවේ  ඒ පැරණි දොස්තරලා යළිත් මේ රෝගියාට බෙහෙත් දීමට වාට්ටුවට පැමිණි බව හා පවත්නා තත්වය දඩමීමා කරගනිමින් තව තවත් පැමිණෙමින් සිටින බවයි. ඒ සම්බන්ධයෙන් නම් වර්තමාන පාලනය පිළිබඳව මට ද ඇත්තේ බරපතළ විවේචනයකි.

මහපාරේ කෑ ගසන අහිංසක ජනතාව වැරැදි යැයි මම නොකියමි. එහෙත්, මේ තත්ත්වය ගැන ගැඹුරු කියවීමක් ඔවුනට නැති බව මගේ අදහසයි. තමන් මුහුණ දී සිටින දුෂ්කරතා නිසා ඒ ජනතාව සිටිනුයේ බලවත් පීඩාවකිනි. ඒ නිසා පොදු ජනතාවගෙන් නැඟෙනුයේ වේදනාවේ නිර්ව්‍යාජ හඬකි. එහෙත්, ‘‘ගෙදර පල”‍ කියමින් කෑ මොර දෙන කොළඹ මධ්‍යම හා ඉහළ පාන්තික පිරිස් මේ තත්ත්වය හමුවේ කිසි සේත් සුදනෝ නොවෙති. කාර් එක නැතිව යාම් ඊම් බැරි, මතක ඇති කාලෙක බස් එකක දුම්රියක නොගිය - වායු සමනය නැතිව දහඩිය නිසා නින්ද නොයන, ඉහළ ආදායම් පන්තිය හා ඒ තත්ත්වය දකිමින් තමන් ද එතැනට තල්ලු‍ වීමට කැස කවන ප්‍රදර්ශනාත්මක පරිභෝජනය පස්සේ දුවන සමහර මධ්‍යම පාන්තිකයන් අපේ ආර්ථිකයේ ආනයන සූක්ෂ්මතාවට බරපතළ ලෙස වගකිවයුතු වුවත්, මේ රටේ ජනගහනයෙන් හරි අඩකට කිට්ටු අඩු ආදායම් ලාභීන් ඊට වගකිවයුතු නැත.

අතමිට නැති අය යන්තමින් ලෙව කා ජීවත් වෙති. ඔවුන්ට කාර් නැත. ඒසී නැත. ආනයනිත දේ මිල දී ගැනීමට මුදල් හදල් ද නැත. මේ රට විනාශ කරමින් ආර්ථිකය ණය කරමින් ඉදි කරන ලද අධිවේගී මාර්ග මරාලය පාවිච්චි කරන්නේ ද නැත. ඒ ඔවුන්ගේ පාපැදියට ඒ අධිවේගී මාර්ගය තහනම් බැවිනි. එහෙත්, ඩොලර් ණය කන්දට රට යට කරමින් ඉදි කෙරුණු ඒ අධිවේගී මාර්ග රකුසන් ඒ ඩොලර් ණය හා පොලී ගෙවීමට අවශ්‍ය පමණට විදෙස් වත්කම් උපයන්නේ නැත. ඒ අධිවේගී මාර්ග යහමින් භාවිත කරමින් තම සුඛෝපභෝගී වාහන වලින් ඉගිලෙන පොද්ගලික කාර් හා වෑන් වලින් යන සල්ලිකාර පන්තියෙන් අදාළ අධිවේගී මාර්ගවල සැබෑ පිරිවැය අය කෙරෙන්නේ ද නැත. ඒ නිසා තමන් භාවිත නොකළත් ඒ බරෙන් කොටසකට කර ගැසීමට අර දුගී දුප්පත් ජනතාවට සිදු වී ඇත. ඒ දුප්පතුන්ගේ වර්තමාන අහේනිය මත කොරේ පිටට මරේ වී සැපයුම් හිඟයට හා මිල ඉහළ යාමට ‘‘ගෙදර පල”‍ සටන් පාඨය ඉදිරිපත් කරන නාගරික අධි පරිභෝජනවාදීන් ද බරපතළ ලෙස දායක වී ඇති බව මගේ කියැවීමයි. ඔවුන් වර්තමාන තත්ත්වයට වගකිවයුත්තන් සොයා යන්නේ නම් කැඩපතක් ඉදිරියට ගියහොත් එවැනි වග කිවයුත්තකු බලාගත හැකි වීමට ඉඩ ඇතැයි මට හැඟෙන්නේ එබැවිනි.

මේ අර්බුදයට වර්තමාන පාලනය කෙරෙහි ද මගේ ඇඟිල්ලක් දිගු වෙයි. එසේ වන්නේ කරුණු කීපයක් නිසා ය. ඉහතින් සඳහන් කෙරුණු ණය සංස්කෘතිය පිටු දැකීමට අවශ්‍ය දිගු කාලීන සාධනීය පියවර ප්‍රමාණවත් පරිදි ගැනීමට වර්තමාන පාලනය අසමත් වී ඇත. වාහන වැනි යම් යම් දේ ආනයනය නතර කිරීම සුබවාදී බව සැබෑ නමුත් ඩොලර් ගිලින. ඩොලර් ඉපැයීමට හෝ ඉතිරි කිරීමට අසමත් සහ අනාගත පරපුර ණය කරන මහාපරිමාණ ව්‍යාපෘති සංස්කෘතියෙන් මේ රජයට ද මිදීමට නොහැකි වී තිබීම ඛේදවාචකයකි. මධ්‍යම අධිවේගී මාර්ගය, උතුරු දුම්රිය මාර්ග පුනරුත්ථාපනය වැනි තරගකාරී මිල කැඳවුම් රහිත, අධික පිරිවැය සහිත ව්‍යාපෘති මෙන් ම උතුරු මැද ඇළ හා බිම් ගෙය වැනි ව්‍යාපෘති එසේ ණය මත යැපෙයි. ඩොලර් ඉපැයීමට හෝ ඉතිරි කිරීමට ඒවාට ඇති හැකියාව හා එහි ප්‍රමාණවත් බව අධ්‍යයනය කර ඇති බවක් මම නම් නොදනිමි. 

වර්තමානයේ අප අත්දකින ණය බරට එසේ අලු‍තින් ගන්නා ණය පාදක නොවුව ද, ඒවා අනාගත රජයක් මත හා අනාගත මහජනතාව මත හිසේ පාත්වන මරාල බව නම් නිසැක ය. දීර්ඝ කාලීනව ණය උගුලෙන් ගැලවීමට සැබෑ වුවමනාවක් ඇති ණයකරුවකු නම් ඔහුගේ හෝ ඇයගේ වර්තමාන පරිභෝජන රටාවෙන් ඒ බව නිරූපණය විය යුතුය. ශ්‍රී ලංකා රජයේ හැසිරීම එසේ ණය උගුලෙන් ගැලවීමට සැබෑ වුවවමනාවක් ඇති සකසුරුවම් බවක් නොපෙන්වීම වර්තමාන ආර්ථික කළමනාකරණය සමඟ එකඟ වීමට මට නොහැකි වීමට පාදක වන ප්‍රධාන සාධකයයි. ඒ තුළම ඇත්තේ ව්‍යාජත්වය පිළිබිඹු වීමක් නිසා ම රජයට මහජනතාව ඉදිරියේ සැබෑ තත්ත්වය කියා පා විශ්වාසය දිනාගෙන සාමූහිකව රටේ ආර්ථිකය ගොඩ දැමීමට අවශ්‍ය පියවර ගැනීමට නොහැකි වී ඇති බව මගේ අදහසයි.

එසේම, මහ බැංකුවේ මෑත ක්‍රියාකාරකම් ද මේ තත්ත්වයට අවසාන මොහොතේ දිය යුතු හදිසි ප්‍රතිකාර ලබා දීමට අසමත් වී තිබෙන බව පෙනී යයි. අභ්‍යන්තර රුධිර වහනය සහිත රෝගියකුට ප්‍රතිකාර කිරීමේ දී තාර්කික වන්නේ තවදුරටත් රුධිර ගැලීම් උත්සන්න වීමට තුඩු දිය හැකි බෙහෙත් නොදීමයි. එසේ වුව ද පසුගිය කාලය තුළ අපගේ මහ බැංකුවේ ක්‍රියාකලාපයෙන් පිළිබිඹු වූයේ ආර්ථිකයේ රුධිර වහනය තව දුරටත් තීව්‍ර කිරීමට තුඩු දී මේ අර්බුදය ඉක්මන් කර ගෙන ඇති බවකි.

වර්තමාන පාලනය පිළිබඳව මේ විවේචන සහිතවම වුව ද පසුගිය වසර 40 ක් පුරාවට අපේ ආර්ථිකය විදේශ ණය කන්දකට යට කිරීමේ සමස්ත පාපය මේ පාලනයට පමණක් පැවරීමේ අසාධාරණ නිගමනයට මට දායක විය නොහැක. අප රටේ අවසන් වරට වෙළඳ ශේෂය (අපනයන හා ආනයන අතර පරතරය) වාසිදායකව තිබී ඇත්තේ 1977 වර්ෂයේය. එදා මෙදා තුර හැම වසරකම අපි අපනයන ආදායමට වැඩියෙන් ආනයන සඳහා වියදම් කර ඇත්තෙමු. එවැනි තත්වයක් තුළ රටේ විදෙස් ණය බර ක්‍රමයෙන් වර්ධනය වීම අරුමයක් නොවේ. යම් ඉදිරි දිනක මේ ණය කන්ද අප හිස මත කඩා වැටීම පුදුමයක් නොවේ.

 මෙතෙක් අප කර ඇත්තේ රෝග මූලයට ප්‍රතිකාර කිරීම හෙවත් අපනයන ආදායම තුළ ආනයන සීමා කරමින් ණය බර පාලනය කිරීම වෙනුවට දිගින් දිගටම ගෙවුම් ශේෂ හිඟය පවත්වමින් තව දුරටත් ණය වීමයි. ණය ගෙවිය යුතු වන විට විට වඩ වඩාත් ණය ගෙන පරණ ණය ගෙවීමයි. ඩොලර් බැඳුම්කර ඔස්සේ ණය ගැනීමයි. ජාතික සම්පත් බදු දී ඒ ඔස්සේ ලැබෙන ආදායම් වලින් අවම වශයෙන් ණය ගෙවීමවත් නොකොට ඒවා ද සංචිතවලට දමා තව තවත් නිදහසේ ආනයනය කිරීමයි. ඒ තත්ත්වයට වර්තමානයේ පාර්ලිමේන්තුවේ සිටිය ද නොසිටිය ද,1977න් පසු අප රටේ රාජ්‍ය බලය හෙබැවූ සියලු‍ දේශපාලන පක්ෂ හා දේශපාලනඥයන් වගකිව යුතු ය. ඒ පවුකාරයන් දැන් දොස්තොරලා වී වර්තමාන පාලනයට ‘‘ගෙදර පල”‍ කීම ජුගුප්සාජනක ය. ඊට දායක වීමට මට නොහැකි ය.

කොළඹ මහාමාර්ගවල උද්ඝෝෂණය කරන ඉහළ හා මධ්‍යම පාන්තික සංදර්ශන පරිභොජනවාදීන් තම හෘදය සාක්ෂියට ආමන්ත්‍රණය කළ යුතු ය. පසුගිය වසරක් පුරාවට මේ රටේ කුඹුරුවල දහ දුක් විඳි ගොවීන් පොහොර ඉල්ලා උද්ඝෝෂණය කරන විට අද මේ කොළඹ අරගලකරුවන් සිටියේ කොහි ද? ඔවුන්ට ඒ ගැන කිසිදු හැඟීමක් තිබුණු වගක් පෙනුණේ නැත. ඔවුන් තම සකසුරුවම් විරහිත පරිභෝජනයේ යෙදී සිටියේ තමන්ට අවශ්‍ය හාල් ටික ඉන්දියාවෙන් - චීනෙන් හෝ අඟහරු ලෝකෙන් ආවත් ඔවුන්ට ගැටලු‍වක් නැති සෙයිනි. ඒ තුළ රට ණය කෙරෙන බව වටහා ගැනීමට දැනුමක් ඔවුනට තිබිය යුතු නමුත් එසේ කිරීමට ඔවුන්ට අවශ්‍යව තිබූ බවක් දිස් වූයේ නැත.

ඒ අපේ රට හා අනාගතය ගැන ඔවුන්ට වගේ වගක් නැති නිසා ද?  ඔවුනට ඉන්ධන ගෙන ඒමට, රට කෑම-බීම ගෙන ඒමට පමණක් නොව විදේශීය වැසිකිළි උපකරණ ගෙන ඒමට පවා විදේශ වත්කම් වැය කළ හැකි නම් එසේ කරන්නේ හම්බන්තොට වරාය උගස්කිරීමෙන් ද යන්න ඔවුනට වැදගත් නැති නිසා ද? නො එසේ නම් ‘‘ගෙදර පල”‍ කියමින් ඔවුන් මහපාරට ආ යුත්තේ හම්බන්තොට වරාය බදු දුන් අවස්ථාවේ ඊට එරෙහිව නොවේ ද?. එසේ ජාතික දේපළක් උගස් කර ඉපැයූ ඩොලර්වලින් අවම වශයෙන් වරාය ඉදිකිරීමට ගත් ණය කපා දැමීමට හෝ එවක ඇමැතිවරුන් වූ අද සුදනන් ලෙස පෙනී සිටින්නන් පියවර නොගත් විට නොවේ ද?.

 නැගෙනහිර පර්යන්තය බදු දීමට වර්තමාන පාලනය කැස කැවූ විට නොවේ ද? - යුගදනවි බලාගාරය විදේශයකට බදු දීමට මහ රෑ දොළහට අත්සන් කිරීමට එරෙහිව නොවේ ද? චීනවරායේ තෙල් ටැංකි විදෙස්කරණයට එරෙහිව නොවේ ද? ඒ කිසිවකට එරෙහිව මේ සටන්කරුවන් විවිධ පාට පක්ෂවල අදාළ වගකිවයුත්තන්ට ‘‘ගෙදර පල”‍ කීවේ නැත. ඔවුන් රට ගැන හිතන දිග පළල අවබෝධ කර ගැනීමට මොළේ ඇත්තන්ට  විශේෂයෙන්ම මේ ඉන්ධන, කිරිපිටි, ගෑස්, විදුලිය හිඟයෙන් පීඩාවට පත් වී සිටින හා ඒ තත්ත්වයට වගකිවයුතු නැති මේ මහ පොළව සමඟ පොරබදන සහ වැඩකරන අඩු ආදායම්ලාභී ජනතාවට හැකි විය යුතුය.

වර්තමාන තත්වයෙන් අනාගත පරපුර මුදවා ගැනීමට අප සැම පෙළ ගැසිය යුතු ය. ඒ උදෙසා අත්‍යවශ්‍යයෙන් ගත යුතු පියවර වෙත රජය පෙළඹවිය යුතු ය. විදේශ ණය මත ඉදි කෙරෙන මහා පරිමාණ ව්‍යාපෘති නැවත විමර්ශනය කළ යුතු ය. ණය ගත යුත්තේ ඒ ණය ගෙවා දැමිය හැකි පමණටවත් විදේශ සම්පත් ඉපැයීමට හෝ ඉතිරි කිරීමට සමත් ව්‍යාපෘතිවලට පමණක් බවට නීති සම්පාදනය කළ යුතු ය. ජාතික ක්‍රම සම්පාදන ක්‍රියාවලියට වහාම වෘත්තීය ස්වාධීනත්වය ලබා දිය යුතුය. ව්‍යාපෘතිවල ශක්‍යතාව, විශේෂයෙන් ණය ගෙවීමේ හැකියාව, අධ්‍යයනය කර තහවුරු වී නැති කිසිදු ව්‍යාපෘතියකට අවසර නොලැබිය යුතු ය. රාජ්‍ය ආදායම් වහා ඉහළ නංවාගත යුතු ය. අදූරදර්ශී ලෙස ඉවත් කෙරුණු උපයන විට ගෙවීමේ බදු හා රඳවා ගැනීමේ බදු යළි පැනවිය යුතු ය. බදු ක්‍රමය වහාම ඍජු බදු කොටස ඉහළ නැංවීමේ දිශා නතියට යොමු විය යුතු ය. රාජ්‍ය වියදම් සකසුරුවම වහාම ඇති කළ යුතුය.

 උපාය මාර්ගික රාජ්‍ය ආයතන ස්වාධීන හා වෘත්තීයමය කළමනාකරණයකට යොමු කිරීම තුළින් ඒවායේ ඵලදායීතාව තහවුරු කළ යුතු ය. ඒ සඳහා අවශ්‍ය ආයතනික ව්‍යුහ සකසා නීතිගත කළ යුතු ය. දූෂණය, නාස්තිය වහාම පිටු දැකිය යුතුය. රාජ්‍ය පිරිවැය සකසුරුවම අත්‍යවශ්‍යතාවකි. වර්තමාන ජනාධිපතිවරයාගෙන් අපේක්ෂා කෙරුණේ එවන් ප්‍රතිසංස්කරණ විනා ජාතික සම්පත් විදේශවලට උගස්කිරීම නොවේ. ණය ගෙවීමට ජාතික සම්පත් බදු දීම හෝ විකිණීම ප්‍රශ්නයට දිගුකාලීන විසඳුමක් නොවන අතර එය වත්ත බද්දට දී ඇස්සට නියවන පියවරක් පමණක් බවත් එය සම කළ හැකි වන්නේ මුට්ටිය බේරා ගැනීමට එළුවාගේ බෙල්ල කැපීම වැනි මහදැනමුත්තාගේ විසඳුම්වලට පමණක් බවත් සඳහන් කළ යුතුව ඇත.

දිගු කාලීනව රට දෙපයින් නැගිටුවීමට අවශ්‍ය උපායමාර්ගික පියවර ගැනීමට ඇති ඉඩකඩ කෙටිකාලීන විසඳුම් උදෙසා අහුරා නොගැනීමට ද අප පරෙස්සම් විය යුතු ය. ඒ අවදානම වළකා ගැනීමට නම් මේ අර්බුදකාරී අවස්ථාවේ ආර්ථික ශල්‍යාගාරය භාර දිය යුත්තේ ජාතික ස්වෛරීත්වය කිසි ලෙසකින්වත් පරදුවට නොතබන තරමට ශක්තිමත් ආත්මීය දේශීයත්වයක් ද සහිත දක්ෂ ආර්ථික ශල්‍ය වෛද්‍යවරයන්ට විනා දක්ෂ වෙන්දේසිකරුවන්ට නොවේ. ආර්ථිකයේ කොඳු නාරටිය වන ගොවියාගේ ආදායම නඟා සිටුවීමට අවශ්‍ය පියවර වහා ගත යුතු ය. ආනයන ආදේශනය හැකි උපරිම මට්ටමට ක්‍රියාත්මක කළ යුතු ය. ඩොලර අගය අදූරදර්ශී ලෙස පාලනය කිරීමෙන් සිදුවන්නේ ආනයන පාලනයට හා අපනයන ප්‍රවර්ධනයට ආර්ථික විභවයන්ගෙන්ම ලැබෙන ස්වභාවික උදව්ව අහිමි කර ගැනීමක් බවත් ඒ තුළ දේශීය කර්මාන්ත ප්‍රවර්ධනය දුර්වල කෙරෙන වගත් වටහා ගැනීම අවශ්‍ය වෙයි.

 ඩොලර අගය ඉහළ යාමෙන් අඩු ආදායම්ලාභීන්ට ඇතිවිය හැකි අහිතකර බලපෑම් පිළිබඳව සැලකිල්ල දැක්වීම ද අතිශය වැදගත් ය.  එවැනි බලපෑම් අවම කිරීමට ඉලක්කගත සුබසාධනමය පියවර දියත් විය යුතු ය. එසේ ලබා දෙන සුබසාධන දීමනා ඇති-හැකි අයට ද හිමි විය යුතු නැත. අවම පරිභෝජන රටාවක් අඩු ආදායම්ලාභීන්ට තහවුරු කිරීමට සලාක ක්‍රමයක් යළි හඳුන්වා දිය හැකි ය. 1973 පමණ ඇති වූ විදේශ විනිමය අර්බුදයෙන් ආර්ථික රෝගියා ගොඩ දැමීමට ඇන්.ඇම්. පෙරේරා නමැති විශේෂඥ ආර්ථික වෛද්‍යවරයා විසින් අනුගමනය කරන ලද උපායමාර්ග අතර මේ සලාක ක්‍රමය ද වූ බව යළි සිහි කැඳවීම වැදගත් වෙයි. දේශීය කර්මාන්ත හා නවෝත්පාදන දිරිගැන්වීම දිගු කාලීන උපාය මාර්ගික ප්‍රවේශයේ අත්‍යවශ්‍ය අංගයකි. ජාතික සංවර්ධන ආයෝජන බැංකුවක අවශ්‍යතාව කලක පටන් පැවති සෑම රජයකටම පෙන්වා දී ඇති නමුත් පැවැති සංවර්ධන බැංකු වාණිජකරණය කිරීම විනා ඉන් ඔබ්බට සිදු වුණු දෙයක් නැති වීම අභාග්‍යයකි. රාජ්‍ය ප්‍රසම්පාදනයන්හි දී දේශීය සැපයුම් උදෙසා ප්‍රමුඛත්වය ලැබෙන ක්‍රමවේදයන් යළි සැකැසිය යුතු ය. එසේ නොමැති තත්වයන් තුළ රාජ්‍ය ව්‍යාපෘති සඳහා කෙරෙන ආයෝජන වලින් දේශීය කර්මාන්ත සංවර්ධනයට සඵල ඉල්ලු‍මක් ජනනය නොකරන බැවින් ඉන් සිදුවන්නේ ජාතික ආර්ථිකය තුළ එකතු කළ අගය ඉහළ දමා ගැනීමට ඇති ඉඩකඩ අහුරා දැමීමකි.

පිටරටින් ගෙනැවිත් කමින් දිගින් දිගටම අතමාරු මත යැපිය නොහැකි ය. එසේ ණය ගනිමින් අපගේ රට තබා කුටුම්භයක්වත් පවත්වා ගෙන යා නොහැකිය.  ඔබත් මාත් එකතු විය යුත්තේ වර්තමාන අර්බුදයෙන් ආර්ථිකය මුදවා ගන්නා අතර දිගුකාලීනව ජාතික ස්වෛරීත්වය ද තහවුරු කෙරෙන පරිදි උපාය මාර්ග තේරීමට යි. විදුලිය කප්පාදුව - ඉන්ධන හිඟය - ගෑස් පෝලිම - බෙහෙත් හිඟය දුරු කරගත යුතු බව ඇත්තකි. එහෙත්, ඒ උදෙසා ජාතික ආර්ථික ස්වෛරීත්වය කැප නොකිරීමට ද අප වග බලාගත යුතු ය. ආර්ථික ස්වෛරීත්වය පරදුවට තබා ලබා ගන්නා විදුලියෙහි කිසිදු ආලෝකයක් නැත.

(***)



අදහස් (3)

අර්බුදයේ උරුමකරුවෝ කරඇරීම

සොරිසේන Monday, 18 April 2022 08:51 AM

LRT සැහැල්ලු දුම්රිය නුසුදුසු වන්නේ එහි කන්ටේනර් පැටවිය නොහැකි නිසා බව පැවසූවන් විසින් කරන ලද විග්‍රහයකි.

:       3       20

siran Monday, 18 April 2022 06:20 PM

ඔව්...මහාපරිමාන අර්ථ විරහිත ව්‍යාපෘති කර රටට මෙපමණ කෙලවී තිබියදීත් තවත් සුදු අලින් බිහිවීම වැළැක්වීමට ඔහුකළ කැපවීම හා දුර දක්නා නුවණ අගය කිරීමට කටයුතු නොකිරීම අභාග්‍යයකි. තව වුණා මදි.. මොවුන්ට වැටහෙන්න නම්...!

:       17       6

akalanka Friday, 22 April 2022 12:17 PM

මෝඩ කතා කියන්න එපා සිරාන්...!

:       0       2

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

උපන්ගෙයි අවලංගු වන පුහු තර්ක
2024 සැප්තැම්බර් මස 28 2848 2

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස


මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 12025 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


මීළඟ පොරය කොයිබටද?
2024 සැප්තැම්බර් මස 27 550 0

මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත


ශාස්ත්‍රීය දියුණුවට දිරිදුන් හාරඹ වලව්ව
2024 සැප්තැම්බර් මස 26 930 1

හාරඹ වලව්ව බලපිටියේ පිහිටි වලව් අතරින් පැරැණිතම වලව්වකි. සිංහල, පාළි, සංස්කෘත, ඉංග්‍රීසී හා ලතින් භාෂා මැනැවින් දැන සිටි ලු‍වී ද සොයිසා විජයසේකර ජයතිල


​ඡන්දයෙන් රටට දුන් පණිවිඩය
2024 සැප්තැම්බර් මස 26 1004 1

මෙවර ජනාධිපතිවරණය මෙරට මැතිවරණ ඉතිහාසයෙහි පැවැති ඉතාම සාමකාමී මැතිවරණයකි. ඒ නිසාම එම සාමකාමී පරිසරය ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයන්ගේ ප්‍රසාදයට ලක්


පැවිදි දිවියේ 36 වසර සපුරන තලල්ලේ චන්දකිත්ති හිමියෝ
2024 සැප්තැම්බර් මස 25 491 1

විචිත්‍ර ධර්ම දේශකයාණන් වහන්සේ නමක වන තලල්ලේ චන්දකිත්ති හිමියන්ගේ පැවිදි දිවියට අදට (25) වසර 36ක් සම්පූර්ණ වේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38077 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25067 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 246 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 805 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 287 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site