IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


අල්කයිඩා පවුලට සහාය දෙන්නේ මන්ත්‍රී හාමුදුරු කෙනෙක්

 

  • කොටදෙණියාවේ අල්කයිඩා පවුල ගැන  විශේෂ  අනාවරණයක්
  • ‘අල්කයිඩා’ පවුලේ මව දේශපාලනය කරන හාමුදුරුවන්ගේ පන්සලේ  උයන්නත් ගිහින්. 
  • ලොකු දරුවට කොටපන් කියා සිවුරු හැඳගත් දෙන්නෙක් ගෙට ආවා 

 

කොටදෙණියාව සුන්දර ගම්මානය අසුන්දර කළ ආන්දෝලනාත්මක සිදුවීම් රැසක් විටින් විට වාර්තා වීමත් සමඟ කොටදෙණියාව යනු කාගෙත් දැඩි අවධානයට ලක්වූ ප්‍රදේශයක් බවට පත්ව තිබේ. 2015 වසරේදී සේයා සදෙව්මිණි දැරියගේ ඝාතනයෙන් පසු කතාබහට ලක්වූ කොටදෙණියාව නැවතත් සියල්ලෙන්ගේම අවධානයට ලක්වන්නේ පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී මහත් ආන්දෝලනයට පත්වූ තවත් දරුවන් දෙදෙනෙකුගේ අතුරුදන් වීමත් සමඟය. ඒ සිදුවීම අප කාටත් අමතක නැත.

ඒ කොටදෙණියාව පොලිස් වසමේ වත්තේමුල්ල, බාඳුරාගොඩ ලිපිනයේ පදිංචි දොළොස් හැවිරිදි අකිල දේදුණු සහ දස හැවිරිදි කවීෂ සඳකැළුම් යන දරුවන්ය. කෙසේ නමුත් පොලිස් විමර්ශන සිදුකරමින් සිටින අතරතුර දරුවන්ගේ ඡායාරූප මාධ්‍යයට මුදා හැරීමත් සමග අතුරුදන්ව දින 43 කට පසු දරුවන් දෙදෙනා මීරිගම නගරයේ වෙළඳසලක සිටියදී පොලිස් භාරයට පත්වන්නේ පසුගිය මස පස්වෙනිද‌ාය. තවමත් එහි විමර්ශන සිදුවෙමින් පවතී.   

 

මේ දරුවන් නව දෙනාම අපරාධකරුවන් වෙලා ඉන්නේ මවගේ වරදෙන්.

කොටදෙණියාව පොලිස් ස්ථානාධිපති පුෂ්පකුමාර


එම සිදුවීමේ උණුසුම යන්නටත් මත්තෙන් මිනිසුන් කපා කොට දමන ‘අල්කයිඩා කල්ලියක්’ නිසා මේ වන විට කොටදෙණියාව වත්තේමුල්ල ප්‍රදේශයේ ජනතාව දැඩි භීතියෙන් පසුවන ආසන්නම පුවත වාර්තා වන්නේ ඉකුත් 15 වැනිද‌ාය. ඒ වත්තේමුල්ල ගම්මානයේ වෙසෙන වයස අවුරුදු 6 ත්, 3 ත් වයසැති එකම පවුලේ දැරියන් දෙදෙනෙකු කපා කොටා ඝාතනය කිරීමට තැත්කිරීමයි.   


‘අපි කඩෙන් පාන් ගෙඩියක් ගෙනැල්ලා ඒක කන්න කුස්සියට ගියා. එකපාරට ගේ ඇතුළට සිවුරු ඇඳගත්ත දෙන්නෙක් ආවා. ලොකු දරුවට කොටපන් කියාගෙන තමයි ගෙට ආවේ. ඔක්කොම හතර දෙනෙක් හිටියා. සිවුරු ද‌ාගෙන ඉන්න දෙන්නයි මහත එක්කෙනෙකුයි, තව එක්කෙනෙකුයි හිටියා. එයාලා ආවේ කුස්සියේ දොරෙන්. එයාලා අතේ තිබුණේ කඩු, ඒ වෙලාවේ අපේ ගෙදර ටීවී බලන්න ගෙදර කිට්ටුව ඉන්න ආච්චි අම්මයි, සීයායි ඇවිල්ලා හිටියා. ආච්චි අම්මයි, සීයයි මාව බේරගන්න එයාලා ඉස්සරහට පැන්නා. පැන්නම අර ආපු කට්ටිය ආච්චි අම්මටයි, සීයටයි කඩුවෙන් කෙටුවා. එයාලා හරි නපුරු කට්ටියක්. මට ඉස්කෝලේ යන්න බයයි. ඒ නිසා මම දැන් ඉස්කෝලේ යන්නෙත් නෑ.’ එසේ පැවසුවේ කොටදෙණියාවේ පදිංචි දැරියකි. එම දැරිය මෙලෙස අනාවරණය කළේ පසුගිය පහළොස්වෙනිද‌ා තමන් මුහුණ දුන් බියජනක අත්දැකීමකි. දැරිය මෙම බියජනක අත්දැකීමටම මුහුණ දුන්නේ ඔවුන් ජීවත් වන කොටදෙණියාව වත්තේමුල්ල ප්‍රදේශයේ අණසක පතුරුවමින් සිටින ‘අල්කයිඩා’ නමින් හඳුන්වන ද‌ාමරික කල්ලියක් පොලිසියට කොටුකර දීම සඳහා කුඩා දියණියගේ පියා මැදිහත් වීම නිසා බව වැඩිදුර තොරතුරු සොයා බැලීමේදී අනාවරණය විය. මෙම සිදුවීමෙන් පසු බියට පත්වූ වත්තේමුල්ල ගම්මානයේ සියලුම වැසියන් දිවි ගෙවන්නේ නිවෙස් තුළට වී සැඟවෙමිනි.   
මෙම සිදුවීම සැලවීමත් සමග කොටදෙණියාවේ අල්කයිඩා භීතිකාව පිළිබඳ සොයා බැලීමට ඉරිද‌ා ලංකාදීප අප වත්තේමුල්ල ප්‍රදේශයට යන විටත් ගම්වාසීන් නිවෙස් තුළට වී දොරගුළු ලා භීතියෙන් දවස ගත කරන අයුරු දැකගත හැකි විය.   


මෙම ‘අල්කයිඩා’ නමින් හඳුන්වනු ලබන පවුලේ චීවරයක් දා ගත් පුද්ගලයකු සහ ඔහුගේ මිතුරෙකු ඇතුළු, සහෝදරයින් දෙදෙනෙකු විසින් ඉකුත් 15 වැනිද‌ා බීමත්ව ගමේ අසල්වාසින්ට ගල්ගසමින්, බැනවදිමින් හිරිහැර කරමින් සිටි අවස්ථාවේ ඒ පිළිබඳව ගම්වාසීන් සහ ගමේ තවත් ස්වාමීන්වහන්සේ නමක් හා එක්ව මෙම සිදුවීම පිළිබඳ කොටදෙණියාව පොලිසියට දන්වා ඇත. ඒ අනුව පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට පැමිණ ඇති අතර ඒ අවස්ථාවේ ‘අල්කයිඩා’ පවුලට සම්බන්ධ චීවරයක් පොරවා ගත් පුද්ගලයා ඇතුළු අනෙක් තිදෙනා නිවෙසින් පැන යාබද කැලෑබද ප්‍රදේශයේ සැඟවී තිබේ. මේ අතර චීවරධාරියා සමග ඔහුට හිතවත් තවත් චීවරධාරියකු ද සිට ඇත. පසුව පොලිස් නිලධාරීන් ගම්වාසීන්ගේ සහාය ඇතිව මෙම ද‌ාමරිකයන් සොයා ගම්මානයේ සැරිසැරූ අතර එහිදී සිදුව ඇත්තේ කිසිවකුටත් ​ සිතා ගැනීමට නොහැකි ඛේදනීය සිදුවීමකි.   


ගම්වාසීන් පොලිසියට සහාය දෙමින් අල්කයිඩා ද‌ාමරිකයන් සොයා ගම පුරා සැරිසැරූ අවස්ථාවේ කැලෑබදව සැඟව සිටි චීවරධාරියා ඇතුළු අනෙක් තිදෙනා නිවසට පැමිණි පසු මෙම ද‌ාමරිකයන්ගේ මව ‘අන්න උඹලව අල්ලන්න පොලිසියට ඔත්තු දුන්නේ ගමේ එවුන්.’ කියා ඔවුන්ගේ කෝපය දෙගුණ තෙගුණ කරන්නට උඩගෙඩි දී පිටත් කර යවා ඇත. චීවරය ඇඟලාගත් දෙදෙනා සහ අනෙකුත් සහෝදරයන් දෙදෙනා කෝපයට පත්ව ඔවුන්ව පොලිසියට කොටුකර දීමට එක්වූ කණ්ඩායමේ සිටි පුද්ගලයකු වන නවරත්න මහතාගේ නිවසට ක්ෂණිකව ඇතුළු වී එම නිවසේ සිටි වයස අවුරුදු 3 ක සහ 6 ක දැරියන් දෙදෙනා කපා කොටා ඝාතනය කිරීමට තැත්කර ඇත.   


එම අවස්ථාවේ නිවසේ රැදී සිටි යාබද නිවසක වයෝවෘද්ධ යුවළක් දැරියන් දෙදෙනා බේරා ගැනීමට උත්සාහ කර තිබේ. ඊට උරණ වූ අදාළ චීවරධාරීන් දෙදෙනා සහ ‘අල්කයිඩා’ පවු​ෙල් අනෙක් සහෝදරයින්​ දෙදෙනා මෙම අඹුසැමි යුවලට කඩුවලින් අමානුෂික ලෙස පහර දී බරපතළ තුවාල සිදුකර ඇති අතර බරපතළ තත්ත්වයේ පසුවූ ඊ.කේ. කුසුමාවතී කොළඹ ජාතික රෝහලට මාරුකර යැවිණි. පී.ජී. වික්‍රමසිංහ මහතා වතුපිටිවල රෝහලේ මේ වන විටත් ප්‍රතිකාර ලබයි.   


පහර කෑමට ලක්ව තවමත් ප්‍රතිකාර ලබන පී.ජී. වික්‍රමසිංහ මහතා එම සිදුවීම අපට විස්තර කළේ මෙලෙසය.   


‘ඔය අල්කයිඩා ගෙදර ළමයින්ගෙන් ගමේ අයට කරදර හිරිහැර වෙන්නේ අදක ඊයෙක ඉඳලා නෙමෙයි. කාලයක් තිස්සේ ඉඳලම වෙනවා. පහළොස් වෙනිද‌ාත් ගෙවල් කීපයක් එක්ක රණ්ඩු වෙලා ගෙවල් වලට ගල්ගහලා තියෙනවා. රණ්ඩුව බේරන්න බැරි තැන ගමේ පන්සලේ හාමුදුරුවොත් ආවා. හාමුදුරුවන්ටත් ගල් ගහලා. අපි නවරත්න පුතාලගේ ගෙදරට ගියා. ඒ වෙලාවේ පොලිසියෙන් ආවා හත් අට දෙනෙක් ඒ එනකොට උන් ටික කැලේ පැන්නා. ගමේ අය පොලිසිය එක්ක එයාලව හොයන්න එහාට මෙහාට ගියා. නවරත්න පුතාගේ බිරිඳ කීවා මට බයයි අනේ මාමේ යන්න එපා ටිකක් ඉඳලා යන්න කියලා. විනාඩි 10ක් විතර යනකොට තොපිව කපනවා කියාගෙන ‘ධර්මේ’ කියන​ කෙනා ගෙට ආවා. ‘ධර්මේ’ මාව හොඳට අඳුරනවා. දරුවෝ දෙන්නව ඇඳලා ගන්න හදනකොට මම පැන්නා මැද්දට. කඩුවෙන් මට තුන්පාරක් කෙටුවා. මගේ පවුලටත් කෙටුවා පවුලගේ ඇඟිලි හතරක් වෙන්වෙන්න කොටලා තිබුණා. එතකොටම කට්ටිය එන සද්දේ ඇහිලා මුං ටික පැන්නා ආයේ කැලේට. මායි මගේ බිරිඳයි මැදට නොපැන්නා නම් පොඩි දරුවෝ දෙන්නව මරනවා.’ යැයි ඔහු පැවසීය. 


ඉකුත්ද‌ා දරුවන් දෙදෙනෙකු අතුරුදන් වී යළි හමුවූයේ ද මේ පවුලෙනි. 

 
එලෙස කොටදෙණියාවම භීතියට පත්කරමින් මංකොල්ලකෑම්, තියුණු ආයුධ ප්‍රහාර ඇතුළු අපරාධ ක්‍රියා රැසක්ම සිදුකරන්නේ එලෙස අතුරුදන් වූ දරුවන් දෙදෙනා අයත් නවදෙනෙකුගෙන් සමන්විත පවුලේම සිව්දෙනෙකු විසිනි. ඊට අමතරව තවත් කිහිප දෙනෙකුම එම කණ්ඩායම සමග එක්ව විවිධ ද‌ාමරික ක්‍රියාවන්, මංකොල්ලකෑම් සිදුකරන බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.   


ප්‍රථමයෙන්ම මෙම දරුවන් දෙදෙනා අතුරුදන් වූ බවට පොලිසියට පැමිණිල්ල ලැබෙන්නේ පවුලේ අයකුගෙන් නොවන අතර පැමිණිල්ල ලද පසු පොලිසිය දරුවන්ගේ මවගෙන් ඒ පිළිබඳ විමසූ විට දරුවන් ගෙදර නැති බව පිළිගෙන තිබේ.   


මෙම දරුවන් දෙදෙනාම පාසල් අධ්‍යාපනය නොලබන අතර ඔවුන් මව සමඟ වෙ​ෙළඳ‌ාම් කටයුතුවල නිරත වන බවට විමර්ශනවලදී අනාවරණය වී ඇත.   

 

දැරියන් බේරා ගැනීමට මැදිහත් වූ වික්‍රමසිංහ මහතා ප්‍රතිකාර ලබමින්.

 

මෙම අල්කයිඩා පවුලේ පිරිමි දරුවන් 6 කි. ගැහැණු දරුවන් 3 කි. දේවාලවලට විවිධ උත්සව, පෙරහැර ආදී දේ පවතින කාලයන්හි ඒ අවට සෙල්ලම් බඩු වෙ​ෙළඳ‌ාම් කටයුතු කිරීම මේ මවගේ ජීවිකාවය. ඇගේ පළමු විවාහක සැමියා මිය යන විට ඇයට දරුවන් හය දෙනෙකි. ඉන්පසු තවත් දරුවන් තිදෙනෙකු ලැබී ඇත. දරුවන් 9 දෙනාගෙන් දෙදෙනෙකු අඩු මානසික වර්ධනයක් ඇති දරුවන්ය. මෙම දරුවන්ගේ මව වෙ​ෙළඳ‌ාමේ නොයන දිනයන්හි ආබාධිත දරුවන් සිඟමනේ යන අයට දවස් කුලියට විකුණා මුදල් උපයන බවද තොරතුරු අනාවරණය වූ අතර ආබාධිත දරුවන් පෙන්වා ඇය ද බොහෝ දිනවල මුදල් උපයාගෙන ඇත.   
මිථ්‍යා විශ්වාස වලම එල්බගෙන සිටින හතළිස් හත්හැවිරිදි ඇය ද නිසි අධ්‍යාපනයක් නොලැබූ තැනැත්තියකි.   
දරුවන් දෙදෙනා අතුරුදන් වූ මොහොතේ ඇය පොලිස් විමර්ශනවලට සහාය ලබා දුන්නේ ද නැත. දරුවන් සම්බන්ධයෙන් මවගේ ප්‍රකාශය වී තිබුණේ මෙය කවුරුන් හෝ කළ ඇස්බැන්දුමක් නිසා සිදුවූවක් බවය. ඔවුන්ගේ නිවස ආසන්නයේම කොතැනක හෝ දරුවන් සිටින බව ද ඒ අය සොයන්නට යන සියලු දෙනා අතුරුදන් විය හැකි බව ද ඒ නිසා එසේ සොයන්නට යාම තේරුමක් නැති දෙයක් බව ද දරුවන්ගේ මව පොලිසියට ප්‍රකාශ කර සිටියාය.   


කෙසේ නමුත් මවගේ පරස්පර ප්‍රකාශ හමුවේ පසුගිය මස පස්වෙනි දින මීරිගම නගරයේදී සොයාගත් පසු දරුවන් පොලිසියට පවසන්නේ නිවසින් බැහැරව ගියේ කන්න දෙයක් නැති නිසා බවත් මවගෙන් තාඩන පීඩන සිදුවන නිසා බවත්ය. එහෙත් අප මෙම ‘අල්කයිඩා’ පවුල සමඟ සමීප සම්බන්ධතා පවත්වන පුද්ගලයකු සමග කතාබහ කිරීමේදී හෙළිවූයේ දරුවන්ගේ මව මෙම දරුවන් දෙදෙනා රුපියල් ලක්ෂ 30 කට යම් අයකුට විකුණා මුදල් ලබාගත් බවය. මෙම දරුවන් නව දෙනාවම කුඩා කල සිට නීති විරෝධී ව්‍යාපාරයන්ට මංකොල්ල කෑම් වලට පොලඹවා ඇත්තේ ද දරුවන්ගේ මව බව ගම්වාසීහු කියති.   


කොටදෙණියාවම භීතියට පත්කරමින් මංකොල්ලකෑම්, තියුණු ආයුධ ප්‍රහාර ඇතුළු අපරාධ ක්‍රියා සිදුකරන මෙම ‘අල්කයිඩා’ පවුලේ ප්‍රබලයා වන්නේ 27 හැවිරිදි ‘ධර්මේ’ සහ ‘සිඟිති’ යන නම් වලින් පෙනී සිටින පුද්ගලයායි. ඔහු කෝච්චිවල යන කතුන්ගේ චේන් කැඩීමට නම්දරාපු අයෙකි. මීරිගම නගරයේ ෆෝන් කඩයක් කැඩීම සහ ගෙවල් බිඳීම, තියුණු ආයුධ වලින් කපා කොටා තුවාල සිදුකිරීම ආදී දරුණු අපරාධ රැසකට නම් දැරූ ‘ධර්මේ’ නැමැත්තා මෙහෙයවන්නේ පාතාල නායකයකුගේ ගෝලයකු විසින් බවට ද අනාවරණය කෙරිණි.   


පිරිමි දරුවන් 6 දෙනෙකුගෙන් සතර දෙනෙකුම දරුණු අපරාධ රැසකට සම්බන්ධ අය වන අතර ගැහැනු ළමයි තිදෙනාගෙන් දෙදෙනෙකු වැඩිමල් සහෝදරයන්ගේ අපරාධ ක්‍රියාවලට සහයෝගය දක්වන බව ගම්වාසීහු පවසති.   


එමෙන්ම අල්කයිඩා පවුලේ තරුණයින් ප්‍රදේශයම භීතියට පත්කරමින් කොල්ලකෑම්, කඩු කිණිසි වලින් කපා කොටා බරපතළ තුවාල සිදුකිරීම් ඇතුළු අපරාධ රැසකටම සම්බන්ධව පොලිස් අත්අඩංගුවට පත්ව රක්ෂිත බන්ධනාගාර ගතව සිටි අය බව ද වාර්තා වේ.   

 

දරු දෙදෙනෙක් අතුරුදන් වුණෙත් මේ පවුලෙන්. අම්මා දරු දෙදෙනාව ලක්ෂ 
30 කට විකුණලා

ප්‍රදේශවාසීන්ගෙන් චෝදනා


ඒ හේතුව නිසා මෙම පවුල ‘අල්කයිඩා’ පවුල නමින් කොටදෙණියාව, මීරිගම ඇතුළු ප්‍රදේශ ගණනාවක ප්‍රසිද්ධියට පත්ව ඇති බව ද ප්‍රදේශවාසීහු පවසති. ගණේමුල්ල ප්‍රදේශයේ පාතාල නායකයකුගේ ගෝලයන් විසින් මොවුන්ව පාලනය කරමින්, අපරාධ හා නීතිවිරෝධී ක්‍රියාවන්ට මොවුන්ව යොමුකර මත්ද්‍රව්‍ය ප්‍රවාහනය මොවුන් හරහා සිදුකරන බව ද විශේෂ තොරතුරු සපයන්නෙකු මගින් අපට අනාවරණය විය. මෙම අල්කයිඩා පවුලේ චීවරයක් දරා සිටින තැනැත්තාද චීවරය මුවාවෙන් කලක් තිස්සේම මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කර ඇති බව ද අනාවරණය විය.   


එමෙන්ම මෙම ‘අල්කයිඩා’ පවුලේ ද‌ාමරිකයන් විසින් සිදුකර ඇති අපරාධ ක්‍රියා වලට නීතිය ක්‍රියාත්මක කිරීමේදී මෙම අපරාධකරුවන්ට වාසි වෙන ලෙස පාතාල අතපෙවීම් වගේම චීවරධාරී දේශපාලන ප්‍රබලයෙකුගේ සහාය ද මේ සිදුවීම් පිටුපස තිබෙන බවට ද අපගේ තොරතුරු සපයන්නා අනාවරණය කළේය. මන්ද, එම චීවරධාරි දේශපාලන ප්‍රබලයාගේ ඡන්ද ව්‍යාපාර කටයුතුවලදී අල්කයිඩා පවුලේ අපරාධවලට සම්බන්ධ සිව් දෙනා සහයෝගය දක්වා ඇති අතර මව එම විහාරස්ථානයේ ඉහුම් පිහුම් කටයුතුවල සහයෝගය ලබාදී ඇති බව ද අපට තොරතුරු ලැබිණි.   


කෙසේ නමුත් පසුගිය 15 වැනිද‌ා කුඩා දැරියන් දෙදෙනා කපා කොටා ඝාතනයට තැත්කිරීමේදී බේරා ගැනීමට මැදිහත් වූ වයෝවෘද්ධ යුවළට කඩුවලින් කොටා බරපතළ තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් ගම්වාසීන් සහ කොටදෙණියාව පොලිසියේ නිලධාරීන් කළ සෝදිසි මෙහෙයුම් වලදී සැකකරුවන් සිව්දෙනාගෙන් චීවරධාරීන් දෙදෙනා ප්‍රදේශයේම කොහුමෝලක සිවුරක් එලා ඒ මත නිදා සිටියදී අත්අඩංගුවට පත් වූ අතර අනෙක් සැකකරුවන් දෙදෙනා පලාගොස් ඇත. මේ වන විට චීවරධාරීන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව බන්ධනාගාරගත කෙරුණු අතර 12 දෙනෙකුගෙන් යුත් පොලිස් කණ්ඩායමක් විසින් ඉකුත් 22 වැනිද‌ා අල්කයිඩා පවුලේ ප්‍රබලයන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව කොටදෙණියාව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පී.එන්. පුෂ්පකුමාර මහතා පැවසීය.   


බියටපත් වත්තේමුල්ල ජනතාව ‘අල්කයිඩා’ නමින් හඳුන්වන මෙම දාමරිකයින් පිළිබඳ විස්තර කළේ මෙලෙසය.   


ඝාතනය කිරීමට තැත්කළ දැරියන් දෙදෙනාගේ පියා : ‘මේ ගමේ දවසකට හොරකම් තුන හතරක් වෙනවා. ඒ හොරකම්වලට සැකපිට පොලිසිය එන්නේ මේ ගෙදරට. ගමේ මිනිස්සු පොලිසියට කතා කරනවා කියලා තමයි ගමේ අය එක්ක වෛර බඳින්නේ. මීරිගම, පල්ලේවෙල, කොටදෙණියාව ගම් තුන හතරේ අය අල්කයිඩා පවුල කිව්වාම හොඳට දන්නවා. ඒ තරමට හොරකම්, විවිධ අපරාධ කරලා තිබෙනවා. මීට කලින් මම පොලිසියේ පැමිණිලි ගණනක් ද‌ාලා තියෙනවා. ඔය සිවුරු ද‌ාගෙන ඉන්න කෙනා හැමදාම අරක්කු බීලා අඳනකඩේ පිටින් කුණුහරපයෙන් කෑගහනවා. දරුවන්ට ඉගෙන ගන්න විදිහක් නෑ. අන්තිමට ඔන්ලයින් පන්ති නතර කළා. පොලිසියට කිව්වට වැඩක් වුණේ නෑ. පොලිසියට කීප වතාවක්ම කීවාම පොලිසියෙන් ආවා. සිවුර ද‌ාගෙන ඉන්න මනුස්සයා බීලා කෑගහනවා කියලා පොලිසි ගියා කියලා ‘ධර්මේ’ කියන මනුස්සයා මාව මරන්න ආවා කඩුවක් අරගෙන. එද‌ා හවස 4 ට ද‌ාපු පැමිණිල්ලට පොලිසිය ආවේ රෑ 12 ට. කොටදෙණියාවේ පොලිසියේ ලොකු මහත්තයා ගණන් ගත්තේ නෑ. සිවුර ද‌ාගෙන ඉන්න කෙනා කරන්නේ මල්ල ඇතුළේ මත්ද්‍රව්‍ය ටික ගෙනියනවා. සල්ලි ටික ගන්නවා අරක්කු බෝතලේ අරන් ඇවිත් බීලා වත්ත වටේට කුණුහරුප කියාගෙන කඩු අරගෙන මිනිස්සු බයකරනවා. මේ අයගෙන් ගමට තියෙන කරදර ගැන පල්ලේකැලේ කොටදෙණියාව පොලිසියේ මේ අවුරදු 2 කට පැමිණිලි 100 වඩා ද‌ාලා තියෙනවා. මේ වත්තේමුල්ල ගමේ අවුරුදු 2 කට පහළොස් දෙනෙකුට කොටලා තියෙනවා මේ අය. දැනට පවුල් දෙක තුනක් මේ ගම අතහැරලා ගිහින් තියෙනවා. 
මගේ දරුවෝ දෙන්නා ලොකු මානසික කඩාවැටීමක ඉන්නේ. ඉස්කෝලේ යන්න බෑ කියනවා. පිරිමි අය දැක්කම බයවෙලා අඬනවා. අපි දැන් මේ ගමේ ගෙවල් අතෑරලා ගිහින් ඉන්නේ. ඔය කාලකණ්ණි කොච්චර හිරේ ගියත් නිදහස් වෙලා ඇවිත් ආයෙම ගමේ අයට කරදර කරනවා. ගමේ අය ඉන්නේ හරිම බයෙන්. ඔහු කීවේය.   


පී. ඒ. චන්ද්‍රපාල මහතා : මේ ද‌ාමරික පවුල ගමටම කරදරයක්. මේ අහල ගම් දෙක තුනේම කොල්ලකෑම් කරන්නේ ගේම් ගහන්නේ ඔය අය. මට ඉන්නේ දුවලා දෙන්නෙක්. කළුවර වැටෙනකොට බයයි. කුණුහරුප කියන ඒවා අවුරුදු ගාණක් ඉවසගෙන හිටියා. ඒත් ගහන්න කපන්න කොටන්න එනකොට ඉවසන්න බෑනේ. හිරේ ගිහින් නිදහස් වෙලා ආවම අර වෛරය වැඩියි. මේ පවුලේ අය ළඟ කඩු ගොඩක් තියෙනවා. පොලිසියෙන් එකපාරක් ගෙදර තිබිලා කඩු හතරක් අරගෙන ගියා. ඒත් කොහෙන් හරි ආයෙත් කඩු අරගෙන එනවා පොලිසිය මේ අයගේ කැරැට්ටුව හොඳට දන්නවා. ගමට වෙන හිරිහැරත් දන්නවා. හැබැයි පොලිසිය දන්නේ නෑ වගේ ඉන්නවා. අපි ද‌ාන පැමිණිලි සමහර ඒවා විභාග කරන්නෙත් නෑ.   


ඩී. පී. මංජුල මහතා : මේ පුද්ගලයින් මොන ක්‍රියාව කළත් පොලිසියට රාජකාරි හරියට ඉෂ්ට කරන්න බැරි තත්ත්වයක් තියෙනවා කියලා අපිට පේනවා. මේ ගමේ හැම කෙනාම දන්නවා දේශපාලනය කරන හිමිනමක් මේ පවුලේ අම්මයි දුවයි එක්ක සම්බන්ධතාවක් තියෙනවා කියලා. මේ අයත් බීපු වෙලාවට ඒ ප්‍රබල චීවරධාරි දේශපාලකයාගේ නම කියලා ඔවුන්ගේ බලය පෙන්වනවා. මේ දේවල් එක්ක අපට පේන්නේ කොටදෙණියාව පොලිසියේ නිලධාරීන්ට රාජකාරි කරන්න බැරි වෙලා තියෙනවා කියන එකයි. 

 
මෙම අල්කයිඩා පවුලේ මැර ක්‍රියාකලාපයට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකරන බවට චෝදනා කරමින් බාඳුරාගොඩ වත්තේමුල්ල ප්‍රදේශවාසීහු පසුගියදා විරෝධතාවකද නියැලුණහ. මේ පිළිබඳව අපි කොටදෙණියාව පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාගෙන් ද විමසීමක් කළෙමු. 

 
‘මේ සිදුවීම සම්බන්ධයෙන් සැකකරුවන් ඉක්මනින් නීතියට හමුවට ගේනවා කියලා මම ගම්වාසීන්ට පොරොන්දු වුණා. මේ වෙනකොට වයෝවෘද්ධ දෙපළ කපා තුවාල සිදුකළ සිව්දෙනාම අත්අඩංගුවේ ඉන්නේ. අනිත් කාරණය මේ ගමේ අය කරලා තියෙන පැමිණිලි සියල්ල විභාග කරලා තියෙන්නේ. ඒවාට අධිකරණ ක්‍රියාමාර්ග අරගෙන නඩු පවරලා තියෙනවා. කැපීම් තුවාල සිදුකිරීම්. කඩු තබා ගැනීම්. කොල්ලකෑම් මේ සියල්ලට නඩු පවරලා තියෙනවා.   


ඒ මව අත්අඩංගුවට අරගෙන නැහැ. මීට පෙර අතුරුදන් වූ දරුවන් පරිවාස ගත කරලා ඉන්නේ. මේ පරික්ෂණවලට කවුරුත් ඉහළින් අතපෙවීම් කරලා නෑ. අපි නීතිය හරියට ක්‍රියාත්මක කරනවා. කෙනෙක් කියනවා නම් ඒ පැමිණිලි අපි විභාග කරලා නෑ නීතිය ක්‍රියාත්මක කරලා නෑ කියලා හොයලා බලන්න පුළුවන්. නීතිය මම ක්‍රියාත්මක කරලා නැත්නම් මට ඕනම දඬුවමක් ලබා දෙන්න. පැහැදිලි ලෙසම දෙයක් කියන්න ඕනෑ මේ ළමයි 9 දෙනාම ද‌ාමරිකයන් ලෙස සමාජයට අපරාධකරුවන් වෙලා තියෙන්නේ මේ දරුවන්ගේ මවගේ වරදින්. අමු දර කෝටුව ඕන විදිහට පොඩිකාලේ අපිට රවුම් කරලා හදන්න පුළුවන්. හැබැයි කෝටුව දිරුවට පස්සේ නවලා හදන්න බෑ. පොඩි හොරකමට පුංචි කාලේ දඬුවම් කළා නම් අද ඔය වගේ ද‌ාමරිකයෝ බිහිවෙන්නේ නෑ. මේ වෙනකොට පොලිසිය පැත්තෙන් ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම අරගෙන තියෙනවා. ඒ වගේම නීතිය උපරිම ක්‍රියාත්මක කරලා තියෙනවා යැයි කොටදෙණියාව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පී. එන්. පුෂ්පකුමාර මහතා පැවසීය.   


කෙසේ වුවත් මෙලෙස කුඩා මැර කල්ලි පෝෂණය කරන්නේ කවුරුන්ද යන්න ප්‍රශ්නාර්ථයකි.

 

නදීෂා අතුකෝරල
ජායාරූප : චානුක කුලසේකර

 



අදහස් (3)

අල්කයිඩා පවුලට සහාය දෙන්නේ මන්ත්‍රී හාමුදුරු කෙනෙක්

fairoos Sunday, 27 February 2022 02:17 PM

අල්කයිඩා...? මේ මොන නමක්ද?

:       0       5

අල පාත්තිය Tuesday, 01 March 2022 10:57 AM

මේ වෙලාවට තමයි සුදු වෑනුත් හොඳයි කියලා හිතෙන්නේ...!

:       3       1

Nuwan Tuesday, 01 March 2022 12:28 PM

කෙසේ වුවත් මෙලෙස කුඩා මැර කල්ලි පෝෂණය කරන්නේ කවුරුන්ද යන්න ප්‍රශ්නාර්ථයකි.

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

උපන්ගෙයි අවලංගු වන පුහු තර්ක
2024 සැප්තැම්බර් මස 28 3070 2

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස


මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 12234 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


මීළඟ පොරය කොයිබටද?
2024 සැප්තැම්බර් මස 27 564 0

මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත


ශාස්ත්‍රීය දියුණුවට දිරිදුන් හාරඹ වලව්ව
2024 සැප්තැම්බර් මස 26 939 2

හාරඹ වලව්ව බලපිටියේ පිහිටි වලව් අතරින් පැරැණිතම වලව්වකි. සිංහල, පාළි, සංස්කෘත, ඉංග්‍රීසී හා ලතින් භාෂා මැනැවින් දැන සිටි ලු‍වී ද සොයිසා විජයසේකර ජයතිල


​ඡන්දයෙන් රටට දුන් පණිවිඩය
2024 සැප්තැම්බර් මස 26 1017 1

මෙවර ජනාධිපතිවරණය මෙරට මැතිවරණ ඉතිහාසයෙහි පැවැති ඉතාම සාමකාමී මැතිවරණයකි. ඒ නිසාම එම සාමකාමී පරිසරය ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයන්ගේ ප්‍රසාදයට ලක්


පැවිදි දිවියේ 36 වසර සපුරන තලල්ලේ චන්දකිත්ති හිමියෝ
2024 සැප්තැම්බර් මස 25 495 1

විචිත්‍ර ධර්ම දේශකයාණන් වහන්සේ නමක වන තලල්ලේ චන්දකිත්ති හිමියන්ගේ පැවිදි දිවියට අදට (25) වසර 36ක් සම්පූර්ණ වේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38093 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25080 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 248 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 810 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site