මෑත කාලයේ පාඨකයන් අතර වඩාත් ජනප්‍රිය වූ එමෙන්ම පාඨක ප්‍රසාදයට ලක්වූ කෘති ගණනාවක්ම ලාංකික සාහිත්‍ය ක්ෂේත්‍රයට දායාද කළ චන්දන මෙන්ඩිස් මහතා අප අතර සිටින සම්මානලාභී පරිවර්තකයෙකි. චන්දන මහතාගේ අලුත්ම පරිවර්තන කෘතිය ‘වෙඩික්කාරයා’ නමින් පසුගියදා නිකුත් කෙරිණි. මතු දැක්වෙන්නේ ඔහු සමග අප කළ සංවාදයක සටහනකි.
• ඔබේ නවතම කෘතිය වන ‘වෙඩික්කාරයා’ පරිවර්තන කෙටිකතා සංග්‍රහයට විවිධ රටවල ප්‍රකට ලේඛකයන්ගේ කෙටි කතා ඇතුළත් වෙනවා. මේ තෝරාගත් විදෙස් කෙටිකතාවල ඔබ දුටු විශේෂතා මොනවාද?
මෙවැනි පරිවර්තිත කෙටිකතා එකතුවක් පාඨකයන් වෙත ඉදිරිපත් කිරීමේදී විචාරකයන් අප වෙත එල්ල කරන පළමුවැනි ප්‍රශ්නය තමයි මේ. මා තෝරාගත් සමහර කතා ගැන ඇතැම් විචාරකයන් පුදුමය පළ කරනවා. අනෙක් අතට සමහර ලේඛකයන්ගේ කතා තෝරාගැනීම ගැන ද ඔවුන් පුදුමය පළ කරනවා.
මගේ වයස අවුරුදු දොළහේදී පටන් පසුගිය අවුරුදු හැටක පමණ කාලයක් තිස්සේ අඩු වැඩි වශයෙන් මම විදේශීය ලේඛකයන්ගේ කෙටිකතා කියවනවා. එහෙම කියවද්දී සමහර ලේඛකයන්ගේ කෙටිකතාවලට මගේ හිත තදින්ම ඇදී ගිහින් තිබෙනවා. එතකොට මා ඒ ලේඛකයන් ලියූ අනෙකුත් කෙටිකතාත් සොයාගෙන රසවිඳිනවා. මෙවැනි කතා තෝරාගත්තේ ඇයි කියලා කවුරු හරි ප්‍රශ්න කළොත් මට ඊට ඍජු පිළිතුරක් දීමට අමාරුයි. ඒත් එම කතාවල කතා රසයේ ඇති සුවිශේෂී බව, ලේඛකයන්ගේ ශෛලිය එනම් කතාව ගලායන ආකාරය, සිතේ කුතුහලයක් ඇති කරන ස්වභාවය ඊට හේතුවන බව කෙටියෙන් කියන්න පුළුවන්.
ඊට හොඳ උදාහරණයක් මම ඔබට කියන්නම්. රුසියානු ලේඛක ඇලෙක්සාන්දර් පුෂ්කින්ගේ ‘ඉස්කෝප්ප රැජින’ නම් කතාව මගේ වයස අවුරුදු දොළහේදී මාව අමන්දානන්දයට පත් කළා. ඊට පස්සෙ මා පුෂ්කින් රසිකයෙක් වුණා.
මෙම කෙටිකතාව අඩංගු පොතක් 2008 වසරේදීත් මට කොළඹින් සොයාගැනීමට හැකිවුණේ නෑ. ඉතින් එය ඉංග්‍රීසි පරිවර්තනයකින් උපුටාගෙන එය සිංහලට පරිවර්තනය කරලා මා මගේ ‘සොඳුරු සිතුවම්’ නම් කෙටිකතා සංග්‍රහයට ඉදිරිපත් කළා. ඒ එවැනි ලේඛකයන්ගේ කතා සදාකාලිකවම රසවිඳිය හැකි ඒවා නිසා.
• ‘වෙඩික්කාරයා’ පරිවර්තන කෙටි කතා සංග්‍රහය වගේම ඔබ මීට පෙර පළ කළ පරිවර්තන කෙටි කතා සංග්‍රහ අරගෙන බැලුවත් ඔබේ තෝරාගැනීම්වලට නිතරම ලක්වන්නේ එකම කතාකරුවන් පිරිසක් බවයි පෙනෙන්නේ. ඇන්ටන් චෙකොෆ්, නිකොලායි ගොගොල්, ගී ද මෝපසාන්, සමසෙට් මෝම් වැනි කතාකරුවන් ඒ අතර කැපී පෙනෙනවා. ඔබ මේ කතාකරුවන් ගැනම වැඩි අවධානයක් යොමු කරන්නේ ඇයි?
පසුගිය ශතවර්ෂ දෙකක දෙක හමාරක කාලය තුළ විශ්ව සාහිත්‍යයට බිහිවූ කෙටිකතා ගැන විමසා බලන්න. කෙටි කතා නිර්මාණයේ විශිෂ්ටයන් හැටියට පාඨකයන් හා විචාරකයන් විසින් තෝරාගනු ලැබූ පිරිසක් ඉන්නවා. ඔවුන්ගේ නිර්මාණ අති විශිෂ්ටයි. අද්වීතීයයි. එම ලේඛකයන් අතලොස්සක් දෙනා මමත් මගේ නිර්මාණ සඳහා අනිවාර්යයෙන්ම නිරන්තරයෙන්ම තෝරාගන්නවා. ගී ද මෝපසාන්, ඇන්ටන් චෙකොෆ්, පුෂ්කින්, එඩ්ගා ඇලන්පෝ, රබීන්ද්‍රනාත් තාගෝර්, සමසෙට් මෝම්, දොස්තයෙවුස්කි, අකුදගාව ආදීන් ඒ අතරට අයත් වෙනවා. ඔබ අහන්නේ ඔවුන්ම තෝරා ගැනීමට විශේෂ හේතුවක් තියෙනවද කියලා. නිශ්චිත කාරණ එකක් හෝ දෙකක් කියන්න අමාරුයි. ඒත් ඒ කාරණ මොනවා වුණත් ලොව පුරා පාඨකයන් මිලියන ගණනකින් අවුරුදු සිය ගණනක් තිස්සේ මේ ලේඛකයන්ගේ කෙටි කතාවලට ඇබ්බැහි වී ඉන්නවා. දැඩි රුචිකත්වයක් දක්වනවා.
මගේ කතා එකතුවලට මා කලින් සඳහන් කළ ලේඛකයන්ට වඩා දෙවැනි මට්ටමේ යැයි සැලකෙන ලේඛක ලේඛිකාවන් රාශියකුත් වරින්වර එකතු කර ගන්නවා. රිං ලාඩ්නර්, ජෝන් ස්ටයින්බෙක්, වොෂිංටන් අර්විං, බර්නාඩ් ෂෝ, ඇල්බටෝ මොරේවියා, රඩ්යාඩ් කිප්ලිං, ගාසියා මාර්කේස්, ඇලෙක්සාන්දර් කුප්රින්, නැතෑනියෙල් හෝතෝන්, ප්‍රේම් චාන්ද්, ජේම්ස් ජොයිස්, පර්ල් එක් බක්, මුල්ක් රාජ් ආනන්ද්, ෆ්ලැනරි ඕ කොනර් ආදීන් ඒ අතරට ගැනෙනවා.
මෙවර මා පළ කළ ‘වෙඩික්කාරයා’ කතා සරණියට වෙනදා මා තෝරා නොගත් ලේඛකයන් දෙදෙනකු සහ ලේඛිකාවක් තෝරාගත්තා. ඒ, විලියම් ෆෝක්නර්, මොන්ටෙරෝ මචාඩෝ නම් ලේඛකයන් දෙදෙනා සහ තවමත් ජීවතුන් අතර සිටින අසූතුන් වියැති ජොයිස් කැරොල් ඕට්ස් මහත්මිය. ඇය ඇගේ 44 වැනි නවකතාව මේ ළඟදි ලියා නිම කළ බවයි අපට අහන්න ලැබුණේ.
කෙටිකතා සරණියට අප ඉදිරිපත් කරන කෙටිකතා ගණන 17 සිට 25 දක්වා වෙනවා. මේ අනුව ලේඛකයන් ගණනත් ඒ අයුරින්ම වැඩිවෙනවා. කෙටිකතා වුණත් අසංක්ෂිප්තව ඉදිරිපත් කළ යුතු නිසා පොතක පිටු සංඛ්‍යාව 350 කට කිට්ටු වෙනවා. ඒත් කතාවල ඒකාකාරී බවක් නොවෙන්න මං හැමවිටම විවිධ රටවලින් අප්‍රකට ලේඛකයන්ගේ හොඳ කතාත් තෝරාගන්න උත්සාහ දරනවා. මා සඳහන් කළ ජොයිස් කැරොල් ඕට්ස් මහත්මියගේ කෙටිකතාව ‘දොස්තර මෝසෙස්ගේ කෞතුකාගාරය’ නම් අපූර්ව කෙටිකතාවක්. මෙවැනි කෙටිකතාවක් මං මීට පෙර කවදාවත් කියවලා තිබුණේ නෑ. ඒක අර්ධ වශයෙන් උමතු යැයි සිතිය හැකි වයස් ගත වෛද්‍යවරයකු පිළිබඳ කතාවක්. ඇමරිකානු සහ බ්‍රිතාන්‍ය සඟරාවල මේ ගැන පළවූ විචාර කියවීමෙන් තමයි මා මේ කතාවට ඇදී ගියේ.
• කොහොම වුණත් දැන් විශ්ව කෙටිකතා පැරැණි සීමා මායිම් අතික්‍රමණය කරමින් නව මාවතකට පිවිසී තිබෙනවා. ඒ නව ප්‍රවණතා ඔබ දකින්නේ කොහොමද?
ඒ ප්‍රශ්නය කාලෝචිතයි. ඒ මොකද, මේක විචාරකයන් පමණක් නොවෙයි, පාඨකයන් ද ලේඛකයන් ද මගෙන් අහන නිසා. ඒත් ඇත්ත කිව්වොත් මට ඒ ගැන දීර්ඝ විස්තරයක් කරන්න බැහැ. මට කියන්න තියෙන්නේ කරුණු ස්වල්පයයි. අලුත් පරපුරේ නවක තරුණ ලේඛකයන් ඉදිරිපත් කරන ඔබ කියන ආකාරයේ කෙටිකතා මට නම් තේරුම් ගන්නත් අමාරුයි. ඒ නිසාම ඒවා කියවා විනෝදාස්වාදයක් රසවිඳීමක් ලබන්නත් අමාරුයි. මෑත කාලවල සම්මාන ලැබූ මහාචාර්ය පියසීලි විජේමාන්න හෝ ජයතිලක කම්මැල්ලවීර ආදීන්ගේ කෙටිකතා ගැන නොවෙයි මම මේ කියන්නේ. ඔවුන්ගේ කෙටිකතා එදා වගේම තවමත් රසවත්.
එදා අපි රසවින්ද මාර්ටින් වික්‍රමසිංහ, ඩබ්ලිව්.ඒ. සිල්වාගේ සිට ගුණදාස අමරසේකර, කේ. ජයතිලක, ගුණදාස ලියනගේ, ජී.බී. සේනානායක, මහාචාර්ය ඒ.වී. සුරවීර ආදීන්ගේ කෙටිකතා ඉතා විශිෂ්‍ට බවයි මගේ අවංක හැඟීම. අලුත් කෙටිකතා පොත් සිය ගණනක් බිහි වෙන්න පුළුවන්. ඒත් මං කලින් සඳහන් කළ ලේඛකයන්ගේ කෙටිකතා අබිබවා යන්න මෑත කාලයේ නවීන කෙටිකතාවලට හැකිවේදැයි යන්න ගැන මගේ සිතේ සැකයක් තියෙනවා.
අපි ගම්බදව ඉපදී ගම්වල ජීවත්වුණු මිනිස්සු. වර්තමානයේ සිදාදියේ පදිංචි වූ බව ඇත්තයි. ඒත් ගම්බද අපට හුරුපුරුදු බතුයි, පොල් සම්බෝලයි, කිරි කොසුයි, පොළොස් මාළුවයි, බල කරවලයි, බතල මයියොක්කා වගේ කෑම. ඒත් නගරයේ පීට්සා, පැස්ටා, හැම්බේකන්, හරක් වලිග සුප් වගේ කෑම බීමට මගේ නම් පිරියක් නැහැ. නව ප්‍රවණතා සහිත නව මාදිලියේ කෙටිකතා ගැන කියන්න තියෙන්නෙත් ඒ ටිකමයි.
• ෂර්ලොක් හෝම්ස් කතා මාලාව වැනි කෘති පරිවර්තනය කිරීම හරහා ඔබ මේ රටේ නව පාඨක පිරිසක් බිහි කිරීමට දායකවුණා. තරුණ පරපුරෙන් කියැවීම ඈත්වී ඇතැයි නිතර චෝදනා නගනවාට වඩා පොතපත කියැවීම තරුණ පරපුර අතර බහුල කරවීමට ඔබ කරන යෝජනා මොනවාද?
අප කුඩා කාලයේ එනම් 1950, 60 දශකවල අපට කියැවීමට දැන් තරම් පොත් පත් තිබුණේ නෑ. ළමා පුවත්පත් සඟරා තිබුණෙත් නෑ. ඒ ඔක්කෝටම වඩා රූපවාහිනී හෝ වෙනත් තාක්ෂණික මෙවලම් තිබුණෙත් නෑ. ඉතින් කියැවීමට යමක් හොයාගැනීම කියැවීම රුචි කරන ළමයින්ට ලොකු ප්‍රශ්නයක් වුණා. එදා දැන් තරම් පුස්තකාල පහසුකම් තිබුණෙත් නෑ.
මගේ මව පාසල් ගුරුවරියක් වීම නිසා පාසල් පුස්තකාලයෙන් පොත් කීපයක් වරින් වර ගෙදර ගෙන ඒමට එතුමියට හැකිවුණා. මගේ ඥාති සොහොයුරු සොහොයුරියන් ඔවුන්ගේ පාසල් පුස්තකාලවලින් පොත් ඉල්ලාගෙන ආවා. ඒ නිසා පොත්වල අඩුපාඩුව අපට සෑහෙන තරම් පිරිමැසුණා. ඊට අමතරව මගේ පියාණන් කියැවීම ප්‍රිය කළ කෙනකු නිසා ඔහුද පොත් මිලදී ගත්තා.
ෂර්ලොක් හෝම්ස් කතා මාලාවේ කොනන් ඩොයිල් ශ්‍රීමතාණන් නිර්මාණය කළ කතා ගණන හැටයි. ඒත් එයින් සිංහල පමණක් දන්නා පාඨකයන්ට කියැවීමට තිබුණේ ‘රුදුරු බල්ලා’ගේ කතාව අඩංගු එකම පොතක් පමණයි. හොඳ ඉංග්‍රීසි දැනුමක් තිබූ කොළඹ ඉහළ පෙළේ පවුල්වල යොවුන් පරපුරට පොත්පත්වල හිඟයක් තිබුණේ නෑ.
ඒත් දැන් ෂර්ලොක් හෝම්ස් කතා ඇතුළුව තව තවත් පොත් සිංහලට පරිවර්තනය වීම නිසා ළමයින් අතර කියැවීම ජනප්‍රිය වී ඇති බව සත්‍යයක්. එදා දුෂ්කර යැයි කියූ මොනරාගල, බිබිල, කහටගස්දිගිලිය වැනි ප්‍රදේශවල ළමයින් පවා පොත පත කියැවීමෙන් යම් අවබෝධයක් ලබා ඇති බව හිතාගන්න පුළුවනි. ස්කොට්ලන්ඩ්යාඩ් පොලිසිය හා ලන්ඩනයේ වීදි ගැන විමසා ඔවුන් එවන ලියුම්වලින් ඒ ගැන අපට හිතාගන්න පුළුවන්.
යොවුන් පරපුර අතර කියැවීම ජනප්‍රිය කරවීමට කළ යුත්තේ කුමක්ද කියලයි ඔබ විමසන්නේ. එයට මා යෝජනා කරන්නේ දැන් පොත්පත් බහුලව මුද්‍රණය වන නිසාත් ප්‍රවාහන අපහසුකම් එතරම් නොමැති නිසාත් ලංකාව පුරා පාසල් පුස්තකාලවල පොත්පත් සුලභ කළ යුතු බවයි. ගුරුවරුන්ගේ අධීක්ෂණය යටතේ පොත් බැහැර ගෙන යාමට අවසර දිය යුතුයි. මීට අමතරව නගරබදව හා ගම්බදව ප්‍රාදේශික පුස්තකාලවල ළමයින් කියැවීමට රුචි කරන පොත් සුලභ කළ යුතුයි. ඒවා බැහැර ගෙන යාමට අවසර දිය යුතුයි.
ඒ කාලයේ සිටම අප ප්‍රිය කළ ටී.බී. ඉලංගරත්න, කරුණාසේන ජයලත් ආදීන්ගේ පොත් ඉහත කී පුස්තකාලවල සුලභව තියෙනවද කියන කරුණ මා හරිහැටි දන්නේ නෑ. කියැවීම මිනිසා සම්පූර්ණ කරයි කියන පඬි වදනේ ඇති වටිනාකම දරුවන්ට ලාබාල වයසේ සිටම අවබෝධ කරදිය යුතුයි. කොතරම් තාක්ෂණික මෙවලම් ආවත් උසස් දරුවකු, මිනිසකු බිහිකළ හැක්කේ ඔවුන් පොතපතට හුරු කිරීමෙන් පමණයි.
(*** සංවාද සටහන - ගාමිණි කන්දේපොළ)
පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවය කරන විශ්‍රාම වැටුප් ක්‍රමයකට හිමිකම් නොමැති සේවක පිරිස් සඳහා අනිවාර්ය විශ්‍රාම දායක මුදල් ක්‍රමයක් ලෙස 1958 අංක 15 දරන
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අලුත් පරම්පරාව ලියන දේවල් තේරෙන්නේ නෑ
සමන් Tuesday, 24 August 2021 11:23 AM
අලුත් පරම්පරාව ලියන දේවල් තේරෙන්නෙ නැහැ කියන එක කුහක ප්‍රකාශයක්. මම පරණ පරම්පරාවේ කෙනෙක් හැටියට, අලුත් පරම්පරාව අලුත් අනුභූතීන් කරා යොමුවීම අගය කරනවා. ඒ අය ගම, කුලය, වලව්ව, ප්‍රේමය, දුප්පත්කම වගේ සුලභ මාතෘකා වලින් බැහැර වෙලා පශ්චාත් නූතන ලක්‍ෂණ පෙන්වන ලිවීම් වලට යොමුවෙලා බව පේනවා.
Senarath Tuesday, 24 August 2021 03:06 PM
තේරෙන්නේ නෑ නම් ගිහින් ඉගෙනගෙන එනවලා.... නැතිනම් පැන්ශන් යන්න වද නොදී...!!!
jayanthi silva Tuesday, 24 August 2021 07:13 PM
''අපි ගම්බද ව ඉපදී.................මේ ඡේදය වර්තමාන සාහිත්‍ය ක්ෂේත්රයේ දී ඉතා වැදගත්.
සිරි Wednesday, 25 August 2021 09:14 AM
වෙනත් ලේඛකයෙක්ගේ කෘති පරිවර්තනය කරමින් නමක් හදාගත් කෙනෙක් තම පරිකල්පනයෙන් ස්වතන්ත්‍ර නිර්මාණ කරන තරුණ ලේඛකයන් විවේචනය කිරීම සදාචාරාත්මද ?