IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


අලි - රිළා ප්‍රශ්නයේ පැල්ස්තර උත්තර

“අපි ගොවිතැන් කරලා ජීවත් වෙන මිනිස්සු. කුඹුරු කරනවා වගේම කජු, ඉරිඟු, කුරක්කන්, මුංඇට වගේ ධාන්‍යත්, කෙසෙල්, ගස්ලබු වගේ පලතුරු වර්ගත්, එළවළු වර්ගත්, බතල, මඤ්ඤොක්කා වගේ අල වර්ගත් වගා කරනවා. ඊට අමතරව වගා අතර පොල් වගාවත් කරනවා. අපි කන්නේ හම්බ කරන්නේ මේ වගාවලින්. හැබැයි දැන් අපිට මඤ්ඤොක්කා අලත් කඩෙන් ගන්න වෙලා.

වස විස නැතුව දරුවන්ට දෙන්න ඕනෑ නිසා පලතුරු වැව්වාට දැන් පලතුරු ගන්න වෙලා තියෙන්නෙත් කඩෙන්. ඒ වගේම තමයි පොල්. වතුවල මෙච්චර පොල් ගස් තිබිලත් ගිනි ගණන්වලට පොල් කඩෙන් ගන්න වෙලා. කිසිම වගාවක් බේරගන්න බෑ වල් ඌරො, ඉත්තෑවෝ, රිළවු, වඳුරො, මොනරු නිසා. කොච්චර පරෙස්සම් කළත් කොහොම හරි ඇවිල්ලා කාලා යනවා. ඒ වගේම තමයි අලින්ගෙන් තියෙන කරදරේ. වගාව විතරක් නෙමෙයි අලින්ගෙන් අපිත් පරෙස්සම් වෙන්න ඕනෑ. දවල් දවසෙම පොළොව එක්ක හැප්පිලා අපිට රෑටවත් ගෙදර පවුලෙ අය එක්ක ඉන්න වෙන්නේ නෑ. එක රැයක් හරි හේනට යන්න බැරි වුණොත් වගාවම විනාශයි. මේ සත්තු නිසා අපිට කිසිම වගාවක් කරගන්න බෑ.” අපි සමග මේ කතාව කිව්වේ තණමල්විල හම්බේගමුව ප්‍රදේශයේ ගොවි මහතෙකි.

මේ ඔහුගේ කතාව පමණක් නොව වර්තමානයේ සෑම දිශාවකින්ම නැගෙන පොදු ප්‍රශ්නයකි. මහා පරිමාණ වගාකරුවන්ට මෙන්ම ගෙවතු ආශ්‍රිත වගා කටයුතු කරන සියලු‍ දෙනාටම මෙම අත්දැකීමට මුහුණ දීමට සිදු වී තිබේ. ගොවීන්ට අස්වැන්න යනු ඔවුන්ගේ ජීවනෝපාය පමණක් නොව ඔවුන්ගේ සිහින ද නියෝජනය කරන්නකි. ඔවුන්ගේ වගාව, ඔවුන්ගේ ආර්ථිකයේ මූලික කොටස වේ. බෝග සශ්‍රීක වීම පටන්ගන්නා විට වන සතුන්ගේ තර්ජන එල්ල වීම සිදු වේ. වන අලි, ඌරන්, ඉත්තෑවන්, මොනරුන්, රිළවුන්, වඳුරන්, ලේනුන් වැනි සතුන් නිසා වගාව තර්ජනයට ලක්වී ඇත. වල් ඌරකු මුළු භෝගයක්ම උදුරා දැමීම පරිසර පද්ධතියේ ස්වාභාවික කොටසක් ලෙස පෙනුණ ද, ගොවියාට මෙය බොහෝ විනාශකාරිය. වන සතුන් යනු සම්පතකි. ජෛව ගෝලයේ සමතුලිතතාව උදෙසා වන සතුන්ගේ පැවැත්ම අවශ්‍ය වේ. පරිසර පද්ධතිය නඩත්තු කිරීම සඳහා වනජීවීන්ගෙන් විශාල කාර්යභාරයක් ඉටු වේ.

වනජීවින් සහ බෝග අතර සම්බන්ධය පුරාණ එකක් වන නමුත්, මෑත වසරවලදී මෙම අන්තර්ක්‍රියාව වඩාත් සංකීර්ණ වී තිබේ. මිනිසා වගාවන් සඳහා වනගත ප්‍රදේශ ආක්‍රමණය කිරීම මෙම ගැටුම තීව්‍ර කිරීමට ප්‍රධාන වශයෙන් බලපා ඇත. වන සතුන්ගෙන් තම වගාව ආරක්ෂා කරගැනීමේ අභියෝගය දිනෙන් දින දැඩි වන බැවින් ගොවීන්ට ආදායම් අහිමි වීමේ අසරණභාවයට මුහුණ දීමට සිදු වේ. මෙම වනජීවි ගැටලු‍වට මුහුණ දීමට ගොවියෝත් අපොහොසත්ව සිටිති.

සමීක්ෂණ සහ පර්‌යේෂණ වාර්තාවලට අනුව, වාර්ෂික අස්වැන්නෙන් දළ වශයෙන් සියයට 40ක් පමණ වන සතුන්ට බිලි වේ. එහි වාර්ෂික පාඩුව දළ වශයෙන් රුපියල් බිලියන 18ක් පමණ වේ. වසරකට දළ වශයෙන් එළවළු හා පලතුරු මෙට්‍රික් ටොන් 30,000කට අධික ප්‍රමාණයක් වන සත්ව හානි නිසා රටට අහිමි වේ. රිළවුන් විසින් වසරකට කා දමා විනාශ කරන පොල් ගෙඩි ප්‍රමාණය මිලියන 200 ද ඉක්මවයි. වසර ගණනාවක් මුළුල්ලේ සමස්ත කෘෂිකර්මාන්තයටම වන සතුන්ගෙන් සිදුවන මෙතරම් විශාල හානිය වළක්වා ගැනීම සඳහා මෙතෙක් අනුගමනය කරන ලද සියලු‍ උපායමාර්ග අසාර්ථක වී ඇත. වසරින් වසර වන සතුන්ගේ බෝ වීම වැඩි වන අතර, ඊට සාපේක්ෂව වගාවන්ට වන හානිය ද වැඩි වේ. එලෙසම, වන සතුන් සහ ගොවි ජනතාව අතර ඇති වන ගැටුම ද නරක අතට හැරෙමින් පවතී. ගොවීහු දෛනිකව මෙම ගැටලු‍ව බලධාරීන්ට සහ දේශපාලනඥයන්ට ඉදිරිපත් කරති. එහෙත් පෙනෙන තෙක් මානයක ස්ථිර විසඳුමක් නැත.

වගාව ආරක්ෂා කිරීමට යැයි වන සතුන් මරා දැමීම ද කළ නොහැකි වේ. එය 1937 අංක 2 දරන වන සත්ව සහ වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත යටතේ සීමාවන්ට ලක් වී තිබේ. එහෙත්, තම වගා ද රැකගත යුතුය. වගාවට හානි කරන වන සතුන් කළමනාකරණය කිරීම හෝ පලවා හැරීම සඳහා මේ දක්වා උපක්‍රම රාශියක් ගොවීන්, රාජ්‍ය ආයතන සහ වෙනත් සංවිධාන භාවිතයට ගෙන ඇත. ඒවායින් ඇතැම් ඒවා සාම්ප්‍රදායික ක්‍රමවේද වේ. තවත් ඒවා නවීන විද්‍යාත්මක ක්‍රමවේදයන්ය. වන අලි පලවා හැරීම සඳහා රතිඤ්ඤා, ගිනි මැළ, අලි වෙඩි, හක්කපටස්, වනාන්තරවලට පලවා හැරීම යනාදි ක්‍රමවේද මුලින් භාවිත කළේය. පසුව විදුලි වැට භාවිතයට ගැනිණි. එහෙත්, මෙම එක් ක්‍රමයක්වත් මේ වන විට නිශ්චිත වශයෙන් සාර්ථක වී නැත. දෛනිකව වන අලි වගා පමණක් නොව ගෙවල් සහ මනුෂ්‍ය ජීවිත ද බිලි ගනිති. අලි මිනිස් ගැටුම වසරින් වසර නරක අතට හැරෙමින් පවතී. ඒ නිසා වන අලින්ගෙන් වගාවන්ට, මිනිස් ජීවිතවලට සහ ගෙවල්දොරවල්වලට වන හානිය වැළැක්වීම සඳහා ස්ථිර විසඳුමක් සෙවීම අත්‍යවශ්‍යතාවකි. එමෙන්ම, රිළවුන් මර්දනය සඳහා වායු රයිෆල් ලබා දීම, රිළවුන් වන්ද්‍යකරණය කිරීම, රිළවුන් විදේශ රටවලට යැවීම වැනි විසඳුම් ක්‍රියාත්මක කළ ද තවමත් වගාවන්ට රිළවුන්ගෙන් සිදුවන හානිය අඩු වී නොමැත.

ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා මේ පිළිබඳව දැක්වූයේ මෙවැනි අදහසකි.

“අක්කර තුන් ලක්ෂ විසි දහසක (3,20,000) බහු වාර්ෂික සහ කන්න භෝග වන වී, පොල්, බඩඉරිඟු‍, කෙසෙල් සහ එළවළු වගාවල අස්වැන්න රිළවුන්, මොනරුන්, වල් අලින්, දඬුලේනුන් විනාශ කරලා තියෙනවා. වැඩිම හානිය වෙන්නේ රිළවුන්ගෙන්. සමස්ත කෘෂි නිෂ්පාදන ආර්ථිකයෙන් වෙන වන සත්ව හානිය සියයට 32ක්.

වැඩිම හානිය කර තිබෙන්නේ පොල් වගාවට. රිළවුන් සහ දඬුලේනුන් අක්කර 1,44,500ක් හානි කර තිබෙනවා. එය සමස්ත පොල් වගා භූමි ප්‍රමාණයෙන් සියයට 45ක්. පොල් වගාවට කළ හානියෙන් එක මුරයකට පොල් ගෙඩි මිලියන 86.7ක් රට අහිමි කරලා තියෙනවා. එහි වටිනාකම පොල් ගෙඩියක මිල රුපියල් 60 ගාණේ ගත්තොත් රුපියල් බිලියන 5.2ක්. අක්කර 79,805ක වී වගාවට වන අලි සහ මොනරුන් හානි කරලා තියෙනවා. එය ප්‍රතිශතයක් ලෙස සියයට 25ක්. අහිමි වූ අස්වැන්න එක් කන්නයකට කිලෝ මිලියන 13.2ක්. එහි වටිනාකම රුපියල් බිලියන 13.2ක්.

රිළවුන් සහ වන අලින් බඩඉරිඟු‍ අක්කර 34,450ක් විනාශ කරලා තියනවා. මෙය සියයට 11ක අස්වනු හානියක්. එමගින් රුපියල් බිලියන 10.3ක් වටිනා අස්වැන්න කිලෝ මිලියන 6.8ක් රටට අහිමි වෙලා තියෙනවා. වන අලින් සහ රිළවුන් අක්කර 23,900ක රුපියල් බිලියන 4.5ක් වටිනා එළවළු කිලෝ බිලියන 4.5ක් හා වන අලින් සහ රිළවුන් අක්කර 11,332ක කෙසෙල් වගා වනසා තියෙනවා. එය ප්‍රතිශතයක් ලෙස සියයට 88ක්. කෙසෙල් කිලෝ මිලියන 169ක් කා දැමීමෙන් රටට අහිමි වූ මුදල රුපියල් බිලියන 22.1ක් වේ. ප්‍රධාන භෝග වර්ග හැර සෙසු භෝගවලට රිළවුන්, දඬුලේනුන්, වන අලින්, මොනරුන් කළ හානිය ගණනය කරලා නෑ. වැඩිම සත්ව හානි වයඹ පළාතේ අක්කර 96,250කට වී තිබේ. ඌව පළාතේ අක්කර 45,000ක්, දකුණු පළාතේ අක්කර 35,500ක්, මධ්‍යම පළාතේ අක්කර 30,000ක්, උතුරු මැද පළාතේ අක්කර 29,000ක්, නැගෙනහිර පළාතේ අක්කර 28,750ක්, සබරගමුව පළාතේ අක්කර 25,250ක්, උතුරු පළාතේ අක්කර 16,000ක් සහ බස්නාහිර පළාතේ අක්කර 14,000ක් වන සත්ව හානිවලින් විනාශයට පත්වෙලා තියෙනවා.”

පොල් වගා කිරීමේ මණ්ඩලයේ ව්‍යාපෘති හා සංවර්ධන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරවරයා පොල් වගාවට සිදු වූ හානිය පිළිබඳව දැක්වූයේ මෙවැනි අදහසකි.

“දළ වශයෙන් ඇස්තමේන්තු අනුව වසරකට ගෙඩි මිලියන 300කට ආසන්න ප්‍රමාණයකට වන සතුන් හානි කරනවා. ඒ අනුව මේ හානිය ගස් මිලියන 6කට වගේ බලපෑමක් තියෙනවා. වාර්ෂික අස්වැන්න ගෙඩි මිලියන 3000යි. ඒකෙන් මිලියන 300ක් විනාශ වෙනවා. මූල්‍ය හානිය ගත්තාම ගෙඩියක් රුපියල් 100 මිල ගාණේ ගත්තොත් රුපියල් මිලියන 30,000ක් වගේ හානි වෙනවා. පොල් වගාවට හානි කරන සත්තු ගත්තාම ඵල දරන ගස්වල ගෙඩිවලට හානි කරන්නේ රිළවා සහ දඬුලේනා. පැළ වගාවට හානි කරනවා වල් ඌරා සහ ඉත්තෑවා. වන අලියා ඵලදාවට වගේම පැළ වගාවටත් හානි කරනවා. වැඩිම හානි වූ ප්‍රදේශ වන්නේ කෑගල්ල, මහනුවර, රත්නපුර, මාතලේ, කුරුණෑගල, අනුරාධපුර, පොලොන්නරුව යන දිස්ත්‍රික්ක.

මේ සඳහා විසඳුමක් ලබා ගන්න නම් සත්ව ගහණයේ පාලනයක් කරන්න ඕනෑ. මොනයම් හෝ ක්‍රමයක් මගින් සත්ව පාලනයක් කරන්න ඕනෑ. එම පාලනය ඉතා කෙටි කාලීනවත් කළ යුතුයි. දිගු කාලීන විසඳුමක් ගන්නවා නම් මේ සතුන් ගම් වදින්නේ වනයේ සතුන්ට කෑම නැති නිසා නම් සතුන්ට ප්‍රමාණවත් තරම් කෑම ලබා ගන්න වනයේ වගා කරන්න ඕනෑ ආයතන සමග එකතු වෙලා. ඒ වගේම ඔවුන් ගම් වදින මාර්ග අවහිර කිරීම් කරන්න ඕනෑ. මේ මොන විසඳුම ගන්නත් කලින් සත්ව ගහණය පාලනය කරන්න ඕනෑ.”

පරිසරවේදි නයනක රන්වැල්ල මහතා මේ පිළිබඳව දැක්වූයේ මෙවැනි අදහසකි.

“සත්තු නිසා යම් පරිසර හානියක් වන බව අපි පිළිගන්නවා. ඒකට අදාළ නිශ්චිත සංඛ්‍යාලේඛන දත්ත කිසිදු පාර්ශ්වයක් නිවැරැදි විද්‍යාත්මක ක්‍රමවේදයකට ඉදිරිපත් කරලා නෑ. හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්‌යේෂණ ආයතනයත් අපිත් එක්ක සාකච්ඡාවකදී දත්ත ඉදිරිපත් කළා. අපි එයාලාගෙන් ප්‍රශ්න කළේ, එම පර්‌යේෂණය සිදු කළ ආකාරය පිළිබඳව. එනම්, දත්ත එක්රැස් කළ ක්‍රමවේදය ගැන. එහෙත්, එහෙම නිසි ක්‍රමවේදයක් යටතේ සිදු කළ පර්‌යේෂණ වාර්තාවක් තාම ලැබිලා නෑ. ඒවා ඉදිරිපත් කළත් නැතත් අපි විශ්වාස කරනවා එවැනි වගා හානි වෙනවා කියලා.

රිළව් ගැන ගත්තාම රිළව් ඇයි වගා භූමිවලට එන්නේ කියලා මුලින්ම හොයන්න ඕනෑ. වනජීවි සං‍රක්ෂණ සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට වගේම ගොවීන්ට සහ මහජනතාවටත් ඒ පිළිබඳව දැනුවත්භාවයක් නෑ. ඒක තමයි මේ ගැටලු‍ ඇති වෙන්න මූලික හේතුව. අනෙක් වැරැද්ද තමයි ප්‍රශ්නේ මතුපිටින් විතරයි බලන්නේ. ඊට පස්සේ රිළව් රට පැටවීම, රිළව් වන්ද්‍යාකරණයට ලක්කිරීම වැනි යෝජනා ඉදිරිපත් කරනවා. ඒත් රිළව් රට පැටවීමට ලංකාව තුළ නීතිමය තත්වයක් නෑ. රිළව් ලංකාවට ආවේණික සතෙක්. ඒ වගේම සතුන් වෙළෙඳාමට යොදා ගන්නේ නෑ කියලා සයිටීස් (CITES) නමින් ගිවිසුමකට අත්සන් කරලා තියෙනවා. ඒ වගේම වන සත්ව සහ වෘක්ෂලතා ආඥා පනත අනුවත්, සයිටීස් සම්මුතිය අනුවත් රිළව් රට යැවීමට නීතිමය ප්‍රතිපාදනයක් නෑ.

රිළවු වන්ද්‍යකරණය ගත්තාම ඒක ප්‍රායෝගිකව කරන්න පුළුවන් ද කියන ගැටලු‍ව තියෙනවා. එකක් ඒකට අවශ්‍ය කරන මූලික සම්පත් නෑ. එනම් පශු වෛද්‍යවරු නෑ. එමෙන්ම ඉන්න රිළවු ප්‍රමාණයට වඳ සැත්කම් කරන්න පුළුවන්කමකුත් නෑ. ඒ වගේම රිළවෙකුගේ ආයු කාලය අවුරුදු 20-30ත් අතර. රිළව් වන්ද්‍යකරණය කරන්න යෝජනා කරන අය රිළවුන්ගේ ආයු කාලය ගැන දැනුවත්භාවයක් නැති අය. වඳ සැත්කමක් කළත් රිළවෙක් තවත් අවුරුදු 10ක්වත් වගා විනාශ කරමින් ජීවත් වෙනවා. එතකොට මේ ප්‍රශ්නය තව අවුරුදු 20කින්වත් ඉවර වෙන්නේ නෑ. අවුරුදු 20කට පස්සේ තමයි රිළා ගහණය අඩු වෙන්නේ. ඒ වගේම එක රංචුවකින් රිළා ගෑනු සතෙක් ගත්තොත් ඒ සතා ඒ ගත්ත රංචුවටම නැවත දාන්න ඕනෑ. එහම නැතුව වෙන රංචුවකට දැම්මොත් ඒ සතාව අනෙක් රිළව් මරනවා. වන්ද්‍යකරණය මේකට විසඳුමක් නෙමෙයි. මුලින්ම ඒක තේරුම් ගන්න ඕනෑ.

ඇයි රිළවු ගම් වැදෙන්නේ කියලා මුලින්ම හොයන්න ඕනෑ. රිළව් එන්න ප්‍රධාන හේතුවක් තමයි වනාන්තර හායනය වීම. මිනිස්සු කැලේ කපනකොට කැලේ අතුළේ ඉන්න රිළවු ගම් වදිනවා. ඒ වගේම ආගමික ස්ථානවලින්, ප්‍රාදේශීය සභාවලින්, නිවෙස්වලින් කැළි කසළ නිසි ලෙස බැහැර නොකිරීම රිළව් ගම් වැදීමට මූලික් හේතුවක්. මේ රිළා ගැටලු‍ව විසඳන්න නම් කැළි කසළ නිසි ලෙස බැහැර කිරීම, වනාන්තර හායනය වැළැක්වීම, බෝග විවිධංගීකරණය කිරීම. එනම්, රිළව් ආකර්ෂණය නොවන බෝග සිටුවීම සිදු කළ යුතුයි. මෙවැනි ක්‍රියාමාර්ග ඔස්සේ මෙම ගැටලු‍ව සියයට 30කින් වගේ අවම කරන්න පුළුවන්. මෙම ගැටලු‍වට දිගු කාලීන, මධ්‍ය කාලීන සහ කෙටි කාලීන විද්‍යාත්මක විසඳුම් තියෙනවා. ඒත් ඒවා ක්‍රියාත්මක කිරීමට අවබෝධයක් නැතිකමයි තියෙන්නේ.

රජය කියන යෝජනාවලින් මෙම ගැටලු‍ව විසඳන්න බෑ. ඒවා යල්පැන ගිය විකල්ප. වන අලි සම්බන්ධයෙන් සාර්ථක යෝජනාවලියක් පරිසර සං‍රක්ෂණවේදීන් සකස් කළා. ඒ වගේම පරිසර යුක්ති කේන්ද්‍රය නඩුවක් හරහා වනජීවි සං‍රක්ෂණ දෙපාර්තමේන්තුවට වාර්තාවක් ලබා දුන්නා. එවැනි වාර්තාවල තියෙනවා මෙම අලි ගැටලු‍ව සියයට 85ක් වගේ අඩු කරන්න පුළුවන් යෝජනා සහ ක්‍රමවේද පිළිබඳ. ඒවා වහාම ක්‍රියාත්මක කරන්න ඕනෑ.

මෙම ප්‍රශ්නෙට විසඳුම් නැත්තේ නෑ. විද්‍යාත්මක විසඳුම් තියෙනවා. බලධාරීන්ට අවබෝධයක් නැතිකම තමයි ගැටලුව. මේ ගැටලු‍ව සම්බන්ධයෙන් ඕනෑම වේලාවක පරිසරවේදින් මැදිහත් වෙන්න ලෑස්තියි.

වන සතුන්ගෙන් වගාවට වන හානිය පිළිබඳව සමීක්ෂණයක් හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්‌යේෂණායතනය මගින් සිදු කළ බවට තොරතුරු ලැබුණ ද, ඔවුන්ගෙන් මේ පිළිබඳව විමසූ විට එම ආයතනයේ ප්‍රධානියකු ප්‍රකාශ කළේ, වන සතුන්ගෙන් වගාවන්ට සිදුවන හානිය පිළිබඳව සහ එම වගා හානිය හේතුවෙන් රටේ ආර්ථිකයට සිදුවන බලපෑම පිළිබඳව ගණනය කිරීමක් සිදු කර නොමැති බවයි.

මෙම වන සත්ව ගැටලුව අදක ඊයෙක මෙරට ඇති වූවක් නොවේ. මෙය වසර ගණනාවක සිට ක්‍රියාත්මක වූ විසඳුමක් නොමැති ගැටලුවකි. රට තුළ කෘෂිකර්මාන්තයට මෙතරම් අභියෝගාත්මක වාතාවරණයක් නිර්මාණය වී තිබියදී මෙරට පවතින ගොවි පර්‌යේෂණායතනය මේ පිළිබඳව ගණනය කිරීමක් කර නොමැති යැයි පැවැසීම ද ගැටලුවකි. ජෛවගෝලයේ පැවැත්මට සතුන් ද අවශ්‍ය වේ. එහෙත්, වන සතුන්ගෙන් වන හානිය ද අවම කරගත යුතුය. මේ සඳහා බලධාරීන්ගේ විසඳුම් පමාවත්ම සිදු වන්නේ රටේ අර්ථිකයට බලපෑම් එල්ල වීමයි.

 

(*** ශෂිකා අබේරත්න)



අදහස් (2)

අලි - රිළා ප්‍රශ්නයේ පැල්ස්තර උත්තර

AB Thursday, 02 January 2025 06:39 AM

අලි ගැටලුව ව්ද්යතමක විසදුමක් සමග - රිළා ප්‍රශ්නයේදී පැල්ස්තර උත්තර නොව පරිසර හිතකාමී මානුෂිය විසදුමක් මාස 6ක් වැනි කාලයක් තුල ලබාදිය යුතුව ඇත. අලියා සහ රිළවා- වදුරා වෙනත් සතුන් මෙන් නොව මනස දියුණු සතුන් වේ. දසක ගණනාවක සිට පවතින වනසතුන්ගෙන් ගොවීන්ට වන හානියට විසදුමක් ලබාදීමට පරිසරවේදීන්, දේශපාලකයන්, මෙවැනි ගැටළු නිරාකරණය සදහා විසදුම් ඉදිරිපත් කළහැකි රාජ්‍ය අංශ බෝලය පාස් කරමින් ඔවු නොවනට චෝදනා කරගනිමින් සිටිනවා හැර වෙනත් ප්‍රයෝගික විසදුම් ඉදිරිපත් නොමැත. මෙම සතුන් මරණයට පත් කිරීම විසදුම නොවේ.තය උවද එවැනි ක්‍රියාත්මක කළනොහැකි ප්‍රයෝගික නොවන විසදුම් පිළිබද අදහස් පලකරනාවූ නිලධාරීන් සිටිනා විට මෙම ගැටලුවට විසදුම් ලබාදිය නොහැක. ගම්වලට වනසතුන් පැමිණ හනිකරමින් සිටිනා අවදියක වනසතුන් ජිවත්වන කැලැවේ වගා කරන්නේ මොනවද කෙසේද යන්න ගැටලුවකි. ගොවීන්ට පමණක් නොව සමස්ත ප්‍රජාවටම බලපන්වූ ගැටළුවක් වන රිලවුන් මොනරුන් උරන් වැනි සතුන් ගෙන් වන හානිය වලක්වා ගැනීමට විසදුමක් ( සතුන් මැරීම විසදුම නොව ) ඉදිරිපත් කලවිට සියල්ලන්ගේ සහයෝගය ලබාදිය යුතුව ඇත.

:       1       1

himal Thursday, 02 January 2025 03:16 PM

වන අලි ගම් වදිනවා කියනවා, ඒත් ඒ ගම් වල මිනිස්සු කැළේ ඉඩම් අල්ලගන්නවා නම්, අලි එන විල්ලු කපලා ගිනිලනවා නම්, රක්ෂිතයට හරක් දිගේලි කරනවා නම්, අලි වටේ කම්බි කපලා විකුණනවා නම් ඕක නවත්වන්න බෑ...

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 

විශේෂාංග

හිරි වැටුණු සමාජයක සංස්කෘතික නිදහස අභියෝගයක්
2025 පෙබරවාරි මස 04 49 0

ප්‍රවීණ ගීත පද රචකයකු, ගුවන්විදුලි සන්නිවේදකයකු, විචාරකයකු ලෙස නූතන පරපුරේ සම්භාවනාවට පත් සුගත් සෝමවීර මහතාගේ නවතම ගේය කාව්‍ය සංග්‍රහය “මතක මඩකඩ” නම


දිනාගත් නිදහස අර්ථවත්ද?
2025 පෙබරවාරි මස 04 90 1

වසර 1948 පෙබරවාරි 4 වැනි දින හිමි වූ නිදහස අර්ථාන්විත ද යන්න ගැන විවාදයක් තිබේ. නිදහස ලැබීම යන්න ශාස්ත්‍රීය සාකච්ඡාවකට ලක් කිරීමේ දී සැලකිල්ලට ගත යුතු කාර


ක්ලීන් ශ්‍රී ලංකා කාටද? කුමටද?
2025 පෙබරවාරි මස 03 170 0

“සමාජීය, පාරිසරික සහ සදාචාරාත්මක පුනර්ජීවනයක් තුළින් සමාජය ඉහළ තලයකට ඔසවා තැබීමේ” අරමුණින් ක්ලීන් ශ්‍රී ලංකා මුලපිරීම දියත් කරන බව ජනාධිපති අනුර කුම


වසර 07කට පෙර දැයෙන් සමුගත් බෙල්ලන්විල මහා යතිවරයාණෝ
2025 පෙබරවාරි මස 03 247 0

බෙල්ලන්විල රාජමහා විහාරස්ථානයේ අනු නායක, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති හා කෝට්ටේ කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක වශයෙන් කටය


සහල් අර්බුදයේ සුළ මුල
2025 පෙබරවාරි මස 01 693 0

පසුගිය මාස කිහිපය තුළ රටේ ඇති වී තිබෙන සහල් අර්බුදයට තම ආණ්ඩුව වගකිවයුතු නැතැයි ජාතික ජනබලවේගයේ නායකයන් කරන ප්‍රකාශ සත්‍යය.


ජනවරම රැකීමේ අභියෝගය
2025 ජනවාරි මස 31 378 1

මෙවර කිවිදා දැක්ම ලියන්නේ රටේ දේශපාලනයේ කිසියම් වෙනස් තත්වයක් පෙනෙන්නට තිබෙන පරිසරයකය. ‘‘වෙනස් තත්වයක්’’ යැයි මා කියන්නේ දේශපාලන බලයේ වෙනසක් සිදු වෙ


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 87 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 761 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 737 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site