IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


අසමත් අතීතයෙන් අනාගතයට

අද අප සමරන්නේ නිදහසේ 73 වැනි සංවත්සරයයි. අභ්‍යන්තර කැරලි කෝළාහල හා බෙදුම්වාදී ත්‍රස්තවාදී සටන් මර්දනය කළ ද ලංකාව අද සමාජර්ථික වශයෙන් සිටින්නේ නිදහස ලැබූ යුගයේ සිටියාට වඩා පහළ මට්ටමකමය. ඊට අමතරව ජාත්‍යන්තර අර්බුද රැසකට ද අද රට ගොදුරුව සිටියි. මෙම ලිපිය ඒ පිළිබඳව කෙරෙන විමසුමකි.

මේ විමර්ශනය කරන්නේ අපේ රටේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයකු වන බර්නාඩ් ගුණතිලක මහතාය. ඇමෙරිකාවේ හා චීනයේ හිටපු ශ්‍රී ලංකා තානාපති වරයකු ද වන ඒ මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ලෙස ද කටයුතු කර තිබේ. ලංකාව හා විදේශ රටවල් අතර සබඳතා පිළිබඳ විශේෂඥ මණ්ඩලයක් ලෙස කටයුතු කරන පාත්ෆයින්ඩර් පදනමේ සභාපතිවරයා ලෙස දැන් කටයුතු කළත් තමා මේ දක්වන කරුණු පාත්ෆයින්ඩර් පදනමේ මතවාද නියෝජනය නොකරන බව ගුණතිලක මහතා කියයි.

නිදහස ලබන විට ලාංකික අප ආර්ථික හා සමාජීය වශයෙන් ලෝකයේ අනෙක් රටවල් අතර සිටියේ වැදගත් තැනකය. යටත් විජිතයක්ව සිට නිදහස ලැබු රටක් වුවත් ආර්ථික හා සමාජීය වශයෙන් එදා අප සිටියේ සිංගප්පූරුව, කොරියාව හා ජපානය වැනි රටවලට වඩා හොඳ තත්ත්වයකය. එහෙත් අද වන විට සමාජාර්ථික අතින් අපේ රට තිබෙන්නේ ඒ රට වලට බොහෝ පහළිනි. අපි බරපතළ පසුබෑමක සිටින බව පැහැදිලිවම පෙනෙන්නට තිබේ. එසේ වුණේ ඇයි දැයි විමර්ශනය කිරීම අපේ වගකීමකි.

අපේ පසුබෑමට බලපෑවේ ජාත්‍යන්තර හේතු ද නැතිනම් අභ්‍යන්තර හේතු කාරණා ද නැතහොත් රටේ උන්නතියට ගත යුතු තීරණ නිසි වෙලාවට නොගැනීමේ ප්‍රමාද දෝෂයක් නිසාද කියා නුවණින් විමසා බැලීම අපේ වගකීමකි. එසේම එය බරපතළ අවශ්‍යතාවකි. එයට හේතුව අද ලංකාව සිටින්නේ බරපතළ තත්ත්වයකය. අවසන් වරට පැවැති ජනාධිපතිවරණයේදී හා පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී අප ලෝකයට ප්‍රදර්ශනය කළේ නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය අප හොඳින් අභ්‍යාස කරන බවය. එහෙත් ආර්ථික වශයෙන් ලංකාව දැන් සිටින්නේ ඉතාමත් තීරණාත්මක තත්ත්වයකය. රටක් වශයෙන් අප ගෙවීමට තිබෙන විදෙස් ණය ප්‍රමාණය ඇමෙරිකන් ඩොලර් බිලියන 50 කට ආසන්නය. මේ 2021 දී ගෙවිය යුතු ණය වාරික හා පොලිය පමණක් ඇමෙරිකන් ඩොලර් බිලියන පහකට අධික බවද කියැවෙයි. මේ ණය ගෙවීමට ඩොලර් සොයා ගන්නේ කෙසේ ද යන්න ගැන අපට නිශ්චිත වැඩපිළිවෙළක් නැත. මේ ණය ගෙවන්නේ ඉපයීම් මගින් ද නැතිනම් තවත් ණය ලබා ගෙන ද කියා තාමත් නිශ්චිත නැත. එසේ නම් ආර්ථික අර්බුදය මේ අවුරුද්දේදී උත්සන්න වන බව මගේ නිරීක්ෂණයයි.

ජාත්‍යන්තර වශයෙන් ගත් විට මේ පෙබරවාරි මාසයේ අවසන් භාගය වන විට ජගත් මානව අයිතිවාසිකම් කවුන්සිලය හමුවේ පෙනී සිටීමට අපට සිදුවෙයි. එහිදී එල්ල වන අභියෝග වලට මුහුණ දීමටද සිදුවෙයි. එය ද බරපතළ ප්‍රශ්නයකි. හේතුව ඒ කවුන්සිලය ජාත්‍යන්තර වශයෙන් රටට බලපැම් කළ හැකි ආයතනයක් වීමය. ඒ කවුන්සිලය ලංකාව සම්බන්ධයෙන් මෙතෙක් කටයුතු කළ ආකාරය, අපේ රට සම්බන්ධයෙන් මෙතෙක් නිකුත් කළ වාර්තා, ඒ රටවල් අපට කරන බලපෑම් යනාදියට මුහුණ දීමට සිදුවෙයි. වර්තමානයේ අපට තියෙන ආසන්නතම ජාත්‍යන්තර අභියෝගය මානව අයිතිවාසිකම් කවුන්සිලයෙන් එල්ල වන බලපෑම් වලට මුහුණ දීමය. ඒ කවුන්සිලය සමඟ ලංකාව රටක් ලෙස ගනුදෙනු කළ ආකාරය ගැන ජාත්‍යන්තරයේ සේම රට අභ්‍යන්තරයේද විවිධ මතාන්තර තිබේ. කව්රු කෙසේ කුමක් කීවත් ඇති වී තිබෙන ප්‍රශ්න අවුල් කර ගන්නේ නැතිව වඩා වර්ධනය කර ගන්නේ නැතිව විසඳා ගැනීම අපේ වගකීමකි. අප සිටින තත්ත්වය අනුව ප්‍රශ්න වවා ගැනීම කිසිසේත් නුවණක්කාර නොවේ.

කවර ප්‍රශ්නයක් විසඳා ගැනීමේදී වුවද අප අසලම සිටින්නේ ඉන්දියාව බව අමතක නොකළ යුතුය. අපේ නව ජනාධිපතිවරයා පත් වූ පසු ගත වූ කාලයේදී ඉන්දියාවේ විවිධ ඇමැතිවරුන් හා නිලධාරීන් රැසක් මෙරටට පැමිණ අපේ ජනාධිපතිවරයා සමග සාකච්ඡා කළහ. රට ඇතුළේ තියෙන ජාතිවාදී අරගල, ලංකාව හා චීනය අතර පවතින සබඳතා ගැන සේම ඉන්දියාව ලංකාවේ කරන ආයෝජන ගැන ද ඉන්දු ලංකා සාකච්ඡා වල දී කතා බහ කර තිබේ. මෙහිදී ඉන්දියාවේ වැඩි අවධානය යොමු වෙනවා ඇත්තේ ලංකාව හා චීනය අතර පවතින සබඳතා පිළිබඳව විය හැකිය. එය සහේතුකය. ඉන්දු චීන අරගල ආරම්භ වූයේ දැනට අවුරුදු 60 කට පමණ පෙරදීය. ඒ ප්‍රශ්නය නිරාකරණය වන තුරු ලංකාවට ඉතා පරිස්සමෙන් කටයුතු කිරීමට සිදුවෙයි. ලංකාව හා චීනය අතර පවතින සබඳතා හා කෙරෙන ගනුදෙනු ගැන ඉන්දියාව බලන්නේ කුතුහලයකිනි. චීනය ලංකාවෙහි තබන පා සටහන (Foot Print) හෙවත් කාටත් තේරෙන සරල භාෂාවෙන් කිවහොත් චීනය ලංකාවෙහි තම ආධිපත්‍යය පැතිරීම විශාල වීම ඉන්දියාවට බරපතළ කාරණයකි. එසේ වනවාට ඉන්දියාව කැමැති නැත. ඉන්දියාව හා චීනය අතර දැනටත් පවතින්නේ බරතළ ගැටුම්ය.

ඉන්දියාව සේම ඇමෙරිකාව සමඟ ද අපට ප්‍රශ්නයක් තිබේ. ඇමෙරිකාව ලංකාවේ අහල පහළ තිබෙන රටක් නොවුණත් ඇමෙරිකාව ද ලංකාව අහල පහළ සිටියි. ඔවුන් ද ලංකාව ගැන උනන්දුය. ඇමෙරිකාව හා චීනය අතර වෙළෙඳමය පමණක් නොව දේශපාලන වශයෙන් ද ප්‍රශ්න පවතී. වසර 2030 වන විට චීනයේ ආර්ථික තත්ත්වය අමෙරිකා එක්සත් ජනපදයේ ආර්ථිකයට සමාන තත්ත්වයකට පැමිණෙන බවට ඒ පිළිබඳ විද්වතුන් පුරෝකථනය කර තිබේ.

වසර 2030 න් පසු චීනය ආර්ථික අතින් ඇමෙරිකාව අභිබවා යන බව දැන් පිළිගත් කාරණයකි. චීනය පළමු තැනට එන විට ඉන්දියාව දෙවැනි තැනට එන බවට ද පුරෝකථන තිබේ. තමන් සිටින තැනින් පහළට වැටෙන බව දන්නා ඇමෙරිකාව උත්සාහ කරන්නෙත් කටයුතු කරන්නෙත් තමන් සිටින තැන රැක ගැනීමටය. එයද ස්වභාවිකය. ඒ අනුව ඇමරිකාව හා චීනය අතර පවතින ගැටුම් තව තවත් ඉහළ යන බව සක්සුදක් සේ පැහැදිලිය.

අද හා අනාගතයේ තත්ත්වය එසේ වුවත් 1950 සිට 80 දක්වා දශක වල ඇමෙරිකාව හා ඉන්දියාව අතර පැවතුණේ අදට හාත්පසින්ම වෙනස් තත්ත්වයකි. ඒ යුගයේ ඉන්දියාව බර වී සිටියේ සෝවියට් දේශය පැත්තටය. සෝවියට් දේශය බිඳ වැටුණේ 1991 දීය. නූතන ඉන්දියාවේ පවතින වෙනසට බලපෑවේ සෝවියට් දේශයේ බිඳ වැටීමය. අනතුරුව වෙළෙඳ පොළ පවතින්නේ බටහිර රටවල බව ඉන්දියාව තේරුම් ගනියි. ආරක්ෂක වශයෙන් බලගතු රට ඇමෙරිකාව බව තේරුම් ගත්තාට පසුව ඉන්දියාව ඇමෙරිකාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට පටන් ගනියි. අනතුරුව ඉන්දියාව හා ඇමෙරිකාව අතර දේශපාලන සබඳතා වර්ධනය වෙයි. ඉන් අනතුරුව 2000 දශකයේ මුල් කාලයේ න්‍යෂ්ටික බලය පිළිබඳ ගිවිසුමකට ද ඒ දෙරට අත්සන් කරයි. ඉන් පසුව ඉන්දු ඇමෙරිකා සබඳතා බොහෝ වැඩි විය. ඒ නිසා දැන් ඇමෙරිකාව හා ඉන්දියාව සිටින්නේ එක පිළකය. ඒ දෙරට එනම් ඇමෙරිකාව සේම ඉන්දියාව ද චීනය සමග යහපත් සබඳතා නොපවත්වයි. ඒ අනුව චීනය ලංකාවේ කරන කටයුතු ගැන ඉන්දියාවට අමතරව ඇමෙරිකාව ද දැඩි උනන්දුවක් දක්වයි. ඒ උනන්දුව ආර්ථික කරුණු සම්බන්ධයෙන් පමණක් නොවේ. දේශපාලන හා මිලිටරිමය කරුණු සම්බන්ධයෙන් ද ඒ උනන්දුව එලෙසම හෝ ඊට වැඩියෙන් තිබෙන බව අප තේරුම් ගත යුතුය.
 
ලංකාවේ අපේ අවශ්‍යතාව වන්නේ අප සිටින ආර්ථික තත්ත්වයෙන් සරලව කිවහොත් දැනට සිටින වළෙන් ගොඩ ඒමය. ඒ වළෙන් ගොඩ ඒමට අත දිය හැකි රටවල් තිබනේනේ අතළොස්සකි. ඇත්තෙන්ම අතළොස්සක් කීමද වැරැදිය. කීපයක් කියා එය නිවැරැදි විය යුතුය. ඒ අතරින් චීනය ඉහළම තැනක සිටින බව අපට පෙනෙයි. එහෙයින් අප ලෝකයට පහදා දිය යුත්තේ අප චීනය සමග පවත්වන්නේ ආර්ථිකමය සබඳතා මිස දේශපාලනමය හෝ මිලිටරිමය සබඳතා නොවන බවය. ඒ සමගම මේ ආර්ථික සබඳතා දේශපාලනමය හා මිලිටරිමය සබඳතා දෙසට යොමු නොවීමට හා නොකිරීමට අප වග බලා ගත යුතුය. රටක් හැටියට කළයුත්තේ ආර්ථිකමය වශයෙන් වැටී සිටින වළෙන් ගොඩ ඒමට සහාය ගන්නවා මිස දේශපාලන හා යුදමය කරුණු සම්බන්ධයෙන් චීනය සමග ගනුදෙනු නොකර සිටීමය. එය අපේ නාකයන්ට පැවරෙන බරපතළ වගකීමකී. ලංකාවේ ජනාධිපතිවරයා අවස්ථා කීපයකදීම පවසා තිබෙන්නේ රටක් හැටියට ලංකාව පිල් නොබෙදී මධ්‍යස්ථ රටක් ලෙස සිටින බවය.

ඒ කී ලෙසම අප යම් පිළකට හෝ කඳවුරකට හේත්තු නොවී බර නොවී මධ්‍යස්ථව සිටියොත් අපට යම් ගමනක් යාමට පුළුවන් වෙයි. අප එසේ කීවාට අපට ආර්ථික ආධාර හා සහයෝගය දෙන රටවල් අප ලවා තම වුවමනා පිරිමසා ගැනීමට කටයුතු නොකරනු ඇතැයි අප විශ්වාස නොකළ යුතුය. එහෙයින් අප කටයුතු කළ යුත්තේ අවස්ථාවෝචිතවය, කල්පනාකාරීවය. ඔවුන්ගේ පැත්තෙන් බැලුවොත් ඔවුන් වෙත අප නම්මා ගැනීම ඔවුන්ගේ වගකීමකි. ඔවුන්ගේ වුවමනාවකි. ඒ පිළිබඳ අප නියම අවබෝධයකින් හා නිවැරැදි තක්සේරුවකින් සිටිය යුතුය. අවස්ථාවෝචිතව කටයුතු කළ යුතුය. එසේ නොකර අපට අපේ පැවැත්ම තහවුරු කර ගත නොහැකිය. සරල උදාහරණයක් ගනිමු. මේ අවුරුද්දේදී විදෙස් ණය වාරික හා පොලිය ලෙස ඇමෙරිකන් ඩොලර් බිලියන පහක් ගෙවිය යුතුය. ඒ සඳහා අප ඩොලර් හොයන්නේ කොහෙන්ද? ඩොලර් වලින් නොව යුවාන් වලින් ණය දිය හැකි බව චීනය කියයි. ඩොලර් වලින් ණයක් නොව ගනුදෙනුවක් කිරීමට ඉන්දියාව සමඟ සාකච්ඡා කරගෙන යයි.  

චීනයේ යුවාන් වලින් ඩොලර් වලින් ගෙන තිබෙන ණය ගෙවිය නොහැකියි. එහිදී යුවාන් ඩොලර් කිරීමට අපට සිදුවෙයි. එහෙත් එය ප්‍රශ්නකාරීය. ඉතින් එවැනි ප්‍රශ්න රැසක් දෙසට ලංකාව දැන් ගමන් ගනිමින් සිටියි. මේ අවුරුද්ද මැද වන විට අපට ඒ ප්‍රශ්න වලට නිසි පිළිතුරු දීමට සිදුවෙයි. නිසි පිළියම් යෙදීමට සිදුවෙයි. ඒ ප්‍රශ්න වලට නිසි පිළිතුරු දීමට හා නිසි පිළියම් යෙදීමට අප සූදානම් දැයි දැන් සිටම කල්පනා කළ යුතුය. ප්‍රශ්නය නහය ළඟටම පැමිණ හුස්ම ගැනීමට බැරිවන තෙක් නොසිට දැන් සිටම කල්පනා කළ යුතුය. කටයුතු කළ යුතුය. මගේ අවබෝධය හා තක්සේරුව අනුව නම් ඒ සඳහා තව තිබනේනේ මාස පහකට අඩුකාලයකි. සාමාන්‍ය පුරවැසියන් වන අපට වැටහෙන ඒ සත්‍ය තීරණ ගන්නා තැන් වල සිටින උසස් නිලධාරීන්ට අපට වඩා වැඩියෙන් වැටහෙනු ඇතැයි අපි කල්පනා කරමු.

ප්‍රබල රටවල් සමග ගනුදෙනු කළ යුත්තේ පරිස්සමිනි. නුවණක්කාර ලෙසය. රාජ්‍යතාන්ත්‍රිකවය. ඒ ප්‍රබල රටවල් සමග හැප්පෙන්නට ගියොත් රිදෙන්නේ අපටය. මෙවැනි අවස්ථා වල පාවිච්චි කළ යුත්තේ මොළයේ බලය විනා ශරීර මාංශපේශි බලය නොවේ. මේ සම්බන්ධයෙන් මගේ සිහියට බයිබලයේ සඳහන් කතාවක් මතක් වෙයි. ගොලායස් නමැති යෝධයකු සමග සාමාන්‍ය මිනිසකු හැප්පෙන කතාවක් එහි සඳහන් වෙයි. ඒ සටනින් දිනන්නේ විශාල ශරීරයක් තියෙන යෝධයා නොව පුංචි සිරුරක් හිමි සාමාන්‍ය මිනිසාය. ඒ පුංචි මිනිසා දිනුවේ ශරීර ශක්තිය නිසා නොව මොළයේ බලය පාවිච්චි කිරීම හේතුවෙනි. එසේම පුංචි රටක් ලෙස අපද මහ බලවතුන් සමග ගනුදෙනු කළ යුත්තේ මොළයෙනි. එසේ කළ හොත් බොහෝ ප්‍රශ්න විසඳා ගැනීමට හැකිවෙතැයි මට සිතෙයි. ලොකු රටවල් සමග හැප්පෙන්නට ගියොත් අප දැන් සිටිනවාට වඩා අමාරු තත්ත්වයකට පත්වන බව මගේ විශ්වාසයයි. මක් නිසාද යත් ලංකාව නමැති අපේ රට පිටරටවලින් ණය ලබා ගෙන, පිටරටවලට අපේ බඩු විකුණා, රට රැකියාවලට අපේ මිනිසුන් යවා ඔවුන් උපයා එවන සල්ලි වලින් ජීවත් වන රටක් වන බැවිනි.

එහෙයින් ප්‍රබල රටවල් සමග ගැටීම අපේ විනාශයට හේතුවෙයි. අපට අප ගැන හා අපේ ශක්තීන් පිළිබඳ හොඳ අවබෝධයක් තිබිය යුතුය. ලංකාව පුංචි රටක් නොවේ. අහවල් අහවල් දේවල් අප කර තිබේ. ඒ නිසා මේවත් වැඩද කියා අධිතක්සේරුවකට ගියොත් එසේ සිතුවොත් ඒ අනුව කටයුතු කළහොත් ලංකාව තව තවත් අමාරුවේ වැටෙනවා නිසැකය. එහෙත් කල්පනාකාරීව, ස්ථානෝචිතව රාජ්‍ය තාන්ත්‍රිකව කටයුතු කළාහොත් වැටුණු වළෙන් ගොඩ ඒමටද හැකිවනු නිසැකය.

උදාහරණයකට ජගත් මානව හිමිකම් කවුන්සිලයෙහිදී අපට අවාසිදායක වෙතැයි කල්පනා කරන්නේ නම් ඊට මුහුණ දීමට දැන් සිටම සූදානම් විය යුතුය. මානව හිමිකම් කවුන්සිලයේදී අපට අවාසිදායක තත්ත්වයකට මුහුණ දිමට සිදු වන්නේ අපේම අඩුපාඩුකම් නිසාය. 2011 දී අප විසින්ම ඇති කළ යාන්ත්‍රණයක් වන එල්.එල්.ආර්.සී. යෝජනා ක්‍රියාත්මක නොකිරීම උදාහරණයකි. ඒ කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කළා නම් දැන් උද්ගතව තිබෙන බොහෝ ප්‍රශ්න ඉස්මතු වන්නේ නැත. මානව හිමිකම් කටයුතු සම්බන්ධයෙන් ලංකාව උද්යෝගිමත්ව කටයුතු කරන්නේ ජගත් මානව හිමිකම් කමිටුව රැස්වන කාලයේදී පමණකි. ඉන් පසුව වෙනත් දේවල් වලට සිහි යොමු කර මානව හිමිකම් අමතක කර දමයි.

අනෙක් කාරණය ශරීරයක රෝගාබාධයක් ඇතිවුවහොත් ඊට බෙහෙත් කළ යුත්තේ ඒ රෝගාබාධ ඇති වන කාලයේමය. එහෙත් එසේ නොකර රෝගය ඔඩු දුවන තත්ත්වයකට ගිය පසු බෙහෙත් කරන්නට යාමෙන් ලෙඩාට හා වෙදාට පමණක් නොව අවට සිටින්නන්ට ද අමාරුවෙයි. වෙලාවට බෙහෙත් නොකිරීම ද අපේ බරතපළ අඩුපාඩුවකි. එය අද ඊයෙක සිට පවතින තත්ත්වයක් නොව චිරාත් කාලයක සිට පවතින්නකි.

ඇතැම් විට කාලයාගේ ඇවෑමෙන් ප්‍රශ්න විසඳෙතැයි සිතයි. ඇතැම් විට කළ හැකිව තිබියදීත් යමක් නොකර සිටින්නේ නැති ප්‍රශ්න ඇති වෙතැයි බියෙනි. ඒ නිසා රෝගය අමතක කර කාලය ගෙවීමට අපි පුරුදු වී සිටිමු. අවසානයේ බෙහෙත් කරන්නට සැරසෙන්නේ පිළිකාවක් සේ ශරීරය පුරා පැතිරුණු පසුවය. එය සෑහෙන කාලයක සිට පවතින ප්‍රශ්නයකි. මානව අයිතිවාසිකම් පිළිබඳව අපේ රට ඇතුළේ තිබෙන ප්‍රශ්න ජාත්‍යන්තරයෙන් අපට කියා දිය යුතු නැත. එල්.එල්.ආර්.සී. නිර්දේශ වලින් පෙන්වා දුන්නේ රට ඇතුළේ එවැනි ප්‍රශ්න තිබෙන බවය. ඒ තුවාල වලට මේ මේ පිළියම් කළ යුතු බවද ඒ වාර්තාවේ සඳහන් විය. අපම පත් කළ අපේම කණ්ඩායමක් කළ නිර්දේශ ක්‍රියාත්මක නොකළ නිසා දැන් අපේ කටයුතු වලට පිටස්තරයෝ ඇඟිලි ගසති. ඔවුනට ඒ ඉඩ  සකසා දුන්නේ අපමය. ඒ අපේ මිනිසුන් කී දේවල්වත් නොකිරීම හේතුවෙනි.
මානව අයිතිවාසිකම්වලට මුවා වී රටවලට ඇඟිලි ගැසීමේ න්‍යායකුත් ලෝකයේ ක්‍රියාත්මක වෙයි.

2009 දී අභ්‍යන්තර අරගලය නිම වූ පසුව බටහිර අපට එරෙහිව කටයුතු කර තිබෙන්නේ ඒ න්‍යායෙනි. ලංකාවට වඩා මානව හිමිකම් උල්ලංඝනය වූ රටවල් බොහෝමයක් තිබේ. එහෙත් ඒ රටවල් පැත්තකට දමා 2013 සිට 2015 දක්වාම ලංකාවට එරෙහිව මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමේ චෝදනා ගෙනඒමට මානව හිමිකම් කවුන්සිලයට සිදුවුණේ රට ඇතුළේ තිබූ ප්‍රශ්න නිසාම නොව වෙනත් කාරණා ද හේතුකොටගෙනය. එහෙයින් අප ඒවා ගැන ද තුලනාත්මකව අධ්‍යයනය කර බාහිර බලවේග වලට අපේ රටට ඇඟිලි ගැසීමට තිබෙන ඉඩකඩ අවම කළ යුතුය. එය නොකිරීම අපේ වරදකි. කළ හැකිව තිබියදීත් අප එසේ නොකළ බව පිළිගත යුතුය.

(*** සාකච්ඡා සටහන - ගුණසිංහ හේරත්)



අදහස් (0)

අසමත් අතීතයෙන් අනාගතයට

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ළමයින්ට මුල් තැන දෙන්න
2024 ඔක්තෝබර් මස 01 37 0

ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා


මැදපෙරදිග හෙල්ලුම් කෑ නසරැල්ලා ඝාතනය
2024 සැප්තැම්බර් මස 30 1246 0

ලෙබනනයේ ෂියා මුස්ලිම් හිස්බුල්ලා සංවිධානයේ මහ ලේකම්වරයා, එසේත් නැතිනම් නායකයා ෂෙයික් හසන් නසරැල්ලා ඝාතනය කිරීමට ඊශ්‍රායලය සමත් විය. 64 හැවිරිදි නසරැල


දේශපාලනයේ පෙරළිකාරයා - කළුගංතොට සිංහයා
2024 සැප්තැම්බර් මස 30 586 0

හිටපු අමාත්‍යවරයකු අභාවප්‍රාප්ත කුමාර වෙල්ගම මහතාගේ අවසන් කටයුතු අද (30) සවස මතුගම ආදාහනාගාරයේ දී සිදු කෙරේ මේ ලිපිය ඒ නිමිත්තෙනි.


අලුත් දැක්මක නව යුගයක ආරම්භය
2024 සැප්තැම්බර් මස 30 189 0

නිදහසට පසු යුගය තුළ ශ්‍රී ලාංකික දේශපාලන ඉතිහාසයේ පළමු වතාවට සාම්ප්‍රදායික වම හෝ දකුණ හෝ බලයට එන දේශපාලනය වෙනුවට අලුත් බලවේගයක් නිර්මාණය වී තිබේ. ඉකුත


උපන්ගෙයි අවලංගු වන පුහු තර්ක
2024 සැප්තැම්බර් මස 28 4554 2

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස


මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 12915 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38450 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25330 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 269 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 903 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 326 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site