IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


ආණ්ඩුවේ ආචාර ධර්ම මාධ්‍යයේ යහපතටද?

ජනමාධ්‍යයට ආචාරධර්ම පද්ධතියක් හඳුන්වාදීමට ආණ්ඩුව කටයුතු කරමින් තිබේ. මේ සම්බන්ධයෙන් දැනටමත් නොයෙක් අදහස් ඉදිරිපත් වී තිබේ. ආණ්ඩුව හදිසියේම මෙවැනි ආචාරධර්ම පද්ධතියක් හඳුන්වාදීමට යාම බෙහෙවින්ම ගැටලූ සහගත කාරණයක් බව පැහැදිලිව පෙනෙන්නට තිබෙන කාරණයකි.

ආණ්ඩුව මේ ආචාරධර්ම පද්ධතිය හඳුන්වාදීමට යන්නේ යම්කිසි යටි අරමුණකිනි. ඒ වගේම එය නිෂ්ඵල ක‍්‍රියාදාමයක් වශයෙන් හඳුන්වාදීමට පුළුවන. එයට හේතු තිබේ. පසුගිය වසර කීපයේදී ජනමාධ්‍ය මර්දනයට ගත් පියවර කවරාකාරද යන්න සියලූ දෙනා දන්නා කාරණයකි. එවැනි පසුබිමක් තිබියදී ජනමාධ්‍යට ආචාර ධර්ම ගෙන ඒමට කටයුතු කරන්නේ කවර අරමුණකින් දැයි සිතා ගැනීම අපහසු නැත.
 

පසුගිය කාලයේදී ඇතැම් මාධ්‍ය අයාතනවලට පහර දුණි. මේවා සම්බන්ධයෙන් නිසි ලෙස පරීක්‍ෂණ කර අපරාධකරුවන් නීතිය හමුවට ගෙනැවිත් නැත.

පසුගිය කාලයේදී ජනමාධ්‍යවේදීන් සෑහෙන සංඛ්‍යාවක් ඝාතනය වී තිබේ. මේ එකක්වත් සම්බන්ධයෙන්වත් මේ දක්වා සාධාරණ පරීක්‍ෂණයක් පවත්වා නැත.

ඒ වගේම ජනමාධ්‍ය ක‍්‍රියාකාරීන් විසිපස් දෙනකුට වඩා වැඩි සංඛ්‍යාවකට රටේ සිටීමට නොහැකි තත්ත්වයට පත්කර ඔවුන් රට හැර යන තත්ත්වයට පත්කර ඇති බවද අමතක නොකළ යුතුය. ඒ වගේම අද වන විට ඇතැම් මාධ්‍ය ආයතනවල ප‍්‍රවෘත්ති කර්තෘ කවුරුන්දැයි තීරණය කරන්නේ රජයේ මැදිහත් වීමෙනි.

වෙබ් අඩවි ලියාපදිංචි කළ යුතු බවට නීතියකි. මාසයකට වරක් මාධ්‍ය ආයතන ප‍්‍රධානීන් ජනාධිපතිවරයා හමුවට කැඳවනු අපි දැක ඇත්තෙමු. මෙහිදී නොයෙක් කරුණු සාකච්ඡා කෙරෙන බවද කියැවෙයි. කෙසේ වෙතත් මේ සියල්ල තුළම දක්නට ලැබෙන කරුණු තිබේ. එනම් එක්කෝ ජනමාධ්‍ය පාලනයට බලහත්කාරයෙන් මැදිහත්වීමය. නැතිනම් ජනමාධ්‍යයට ස්වයං පාලනයක් කර ගැනීමට බලපෑම් කිරීමය. එහෙත් රාජ්‍ය මාධ්‍යවලට මේ කිසිදු පාලනයක් නැත.

ඉතාමත් පහත්, කුහක ආකාරයෙන් කටයුතු කරන මාධ්‍ය රටාවක් රාජ්‍ය මාධ්‍යවල තිබේ. සාමාන්‍යයෙන් ජනමාධ්‍ය කටයුතු නොකරන තත්ත්වයට පවා ගොස් ද්වේෂ සහගත ලෙස රටේ පුරවැසියන්ට, ආයතනවලට පහරදෙන මාධ්‍ය භාවිතාවක් මේ වායේ දැක ගන්නට පුළුවන. එහෙත් මේවායේ කිසිම ආකාරයක පාලනයක් නැත. එනිසා මේ ආචාරධර්ම හඳුන්වාදීම සද්භාවයෙන් කරන්නේ නම් මුලින්ම මේ පාලනය රාජ්‍ය මාධ්‍යවලට ගෙනා යුතුය. වෙනත් ආකාරයකට කියන්නේ නම්, රාජ්‍ය මාධ්‍යවල මේ සදාචාරය හඳුන්වාදීමෙන් ඔවුන්ගේ සද්භාවය ඔප්පු කිරීමට පුළුවන. එහෙත් ආණ්ඩුවට එවැනි වුවමනාවක් ඇති බවක් පෙනෙන්නට නැත.

කෙසේ වෙතත් ආණ්ඩුව එවැනි පියවරකට නොගොස් මේ කිරීමට යන්නේ වෙනත් දෙයකි. අද යන්තම් හෝ ඉතිරි වී තිබෙන පෞද්ගලික මාධ්‍යවලට ඇති ඉඩකඩ ඇහිරීමට ගන්නා උත්සාහයක් වශයෙන් ආචාරධර්ම පද්ධතියක් හඳුන්වාදීමට කටයුතු කිරීම හඳුනාගන්නට පුළුවන.

ආණ්ඩුව හඳුන්වාදීමට යන මාධ්‍ය ආචාරධර්මවල අන්තර්ගතය තවම නිශ්චිත වශයෙන් පැහැදිලි නැත. යම් කරුණු කීපයක් ප‍්‍රකාශ වී තිබේ. ඒවා කොතරම් දුරට එලෙසම පවතීදැයි නිශ්චිතවම කීම අපහසුය. එහෙත් ඒවායේ ඇති භයානක කම එයින් බැහැර වන්නේ නැත. මාධ්‍යවලට ආචාරධර්ම ගෙන එනවා යැයි කීම කාලයෙන් කාලයට තිබෙන්නකි. එහෙත් ආචාරධර්ම පද්ධතිය කවරේද යන්න සම්බන්ධව සාකච්ඡුාවක් නැත. මෙය ඉතා විවෘතය. කිසිවකුත් දන්නේ නැත. එක් දෙයක් හැඟවෙනු ඇත. එනම් ආචාරධර්ම මුවාවෙන් පෞද්ගලික මාධ්‍ය පාලනයකට සූදානම් වන බවය. එහි ඇති බැ?රුම්කම් ඉහත කී කාරණා දෙස බැලීමේදී හොඳින්ම වටහා ගන්නට පුළුවන.

ජනමාධ්‍යයට ආචාරධර්ම පද්ධතියක් අවශ්‍යද යන්න ප‍්‍රශ්නයක් මතු කළ හැකිය. සෑම වෘත්තියකටම ආචාරධර්ම පද්ධතියක් අවශ්‍යය. ඒ සම්බන්ධයෙන් කිසිදු තර්කයක් නැත.  ඕනෑම වෘත්තියකට ආචාරධර්ම අවශ්‍ය වන්නාසේම එම වෘත්තියේ ගෞරවයත් ආරක්ෂා විය යුතුය.  ඕනෑම වෘත්තියකට ආචාරධර්ම පද්ධතියක් හඳුන්වා දෙන්නේ ජනතාවගේ හිතසුව පිණිසය. ආණ්ඩුවේ හිතසුව පිණිස නොවේ. නීතිඥවරුන්ට, ගණකාධිකාරීවරුන්ට ආචාරධර්ම පද්ධතියක් තිබෙන්නේ ඒ වෘත්තියේ යෙදෙන්නන් ගේ ගෞරවය සඳහා පමණක් නොවේ. ජනතාවට එය අත්‍යවශ්‍ය කාරණයක් නිසාය. අදාළ වෘත්තියේ තත්ත්වය මෙන්ම එයින් අපේක්‍ෂිත අභිලාෂ තිබේ. එයද වටගාහත යුතු කරුණකි.

ලෝකයේ ජනමාධ්‍ය ආචාරධර්ම හඳුන්වාදීමේ එක් අරමුණක් වන්නේ ජනතාවට සත්‍යය හෙළිකර ගැනීමට මාධ්‍ය මගින් අපක්‍ෂපාතී ලෙස ජනතාවට තොරතුරු ලබාදීමය. ඒ වගේම යම්කිසි නීතිමය සීමාවක සිටින නමුත් ගෞරවාන්විත වෘත්තියක් හඳුන්වාදීමටය. එනිසා වෘත්තීය සදාචාරය වෙනුවෙන් මේ ආචාරධර්ම හඳුන්වාදීමට යන්නේ නම් එවැනි අරමුණක් තිබිය යුතුය. ඒ අරමුණ විනිවිදභාවයකින් යුක්තව සමාජයට දැන ගැනීමට හැකියාව තිබීමද අත්‍යවශ්‍ය සාධකයකි. එවැනි පසුබිමක් අද වන විට මේ සමාජයේ ස්ථාපිත වී තිබේදැයි කා හමුවෙත් ඇති ප‍්‍රශ්නයකි. ඒ වගේම ආණ්ඩුව හඳුන්වාදීමට යන ජනමාධ්‍ය ආචාරධර්මවල ඉහත කී සාධක කොතරම් දුරට විද්‍යමාන වෙනවාදැයි ගැටලූවකි.

ගවේෂණාත්මක මාධ්‍යවේදීන් අද කටයුතු කරන්නේ කොතරම් අමාරුවෙන්ද යන්න අප දන්නා කරුණකි. යම් යම් ක්ෂේත‍්‍රවලදී එය ජීවිතයත් මරණයත් අතර සටනකි. ඒ වගේම ගවේෂණාත්මක වාර්තාකරණයේ යෙදෙන මාධ්‍යවේදීන්ට තොරතුරු ලබාගැනීම බරපතළ ප‍්‍රශ්නයක්ව තිබේ. ඇතැම් අයට තොරතුරු ලබාගැනීමේ ක‍්‍රමයක් නැති නිසා තොරතුරු ඇති අය පසු පස වැඳ වැටීමට සිදුව තිබේ. ඔවුන් මත රඳා පැවතීමට සිදුව තිබේ. මේ ආකාරයේ බරපතළ කාරණා තිබේ. ආචාරධර්ම මෙන්ම වෘත්තීය ගරුත්වය ආරක්‍ෂා කිරීමට ස්වයං පාලනයක් අවශ්‍යයය. ස්වයං හික්මීමක් වගේම අන් අයට තිබෙන ගෞරවයත් අත්‍යවශ්‍ය සාධකයකි. එම ගෞරවය රඳා පවතින්නේ තොරතුරු ලබාදෙන ක‍්‍රමවේදය මත පමණක්ම නොවේ. ඒ සඳහා තොරතුරු ලබාගැනීමේ දක්‍ෂතාව, හැකියාව, වෘත්තීමය තත්ත්වය යනාදිය වැදගත්ය.

ඒ වගේම කිසිම සත්‍යතාවක් නැති පුවත් මාධ්‍යවලින් ඉදිරිපත් කරන අවස්ථා තිබේ. කිසිම සොයා බැලීමකින් තොරව, මූලාශ‍්‍රයක් නැතිව පළවන ප‍්‍රවෘත්ති තිබෙන බව අමතක නොකළ යුතුය. මෙවැනි දේ තුරන් කිරීම ඇතැම්විට ආචාරධර්මවලින් බලාපොරොත්තු වන්නකි. ආචාරධර්ම පද්ධතියක් නැති වුවද වෘත්තියට පිවිසෙන විට මේ කරුණු සම්බන්ධව යම්කිසි දැනුමක් තිබිය යුතුය. විශේෂයෙන්ම ප‍්‍රවෘත්ති ඉදිරිපත් කරන විට ඒවා ඇත්තද නැත්තද කියා සොයා බලා ජනතාවට ඉදිරිපත් කළ යුතුය. බොහෝ රටවල ආචාරධර්ම පද්ධතිවල මේ කාරණය අන්තර්ගත කර තිබේ.

තොරතුරු දැන ගැනීමේ අයිතිය බොහෝ රටවල සුරක්‍ෂිත කර තිබේ. මේ කාරණය සම්බන්ධව මෙරටේද අවස්ථා කීපයකදී අවධානය යොමු වුවද පුළුල් කතිකාවක් හෝ සංවාදයක් ඇති වූයේ නැත. මාධ්‍ය ආචාරධර්ම පද්ධතියක් හඳුන්වාදීම ආණ්ඩුව සද්භාවයෙන් කරනවා නම් ක‍්‍රම දෙකක් තිබේ. තොරතුරු දැන ගැනීමේ නිදහස පුළුල් කිරීම සඳහා අවශ්‍ය නීතිමය සහ පරිපාලනමය රාමුවක් ඇති කිරීම ඉන් එකකි. යෝජිත ජනමාධ්‍ය වෘත්තීය ආචාරධර්ම රාජ්‍ය මාධ්‍යවලට යොදා ආණ්ඩුවේ කැපවීම පෙන්නුම් කළ හැකි වීම දෙවැන්නය. මාසයක් දෙකක් මේ පියවර අනුගමනය කළහොත් වෙනස හඳුනාගැනීමට පුළුවන. එනිසා මුලින් අවශ්‍ය වන්නේ ආණ්ඩුවේ සුජාතභාවය ඔප්පු කිරීමය.

ජනතාවට යම් තොරතුරක් හෝ ලබා ගැනීමට අවකාශ ඇත්තේ මාධ්‍ය කීපයක් මගිනි. ඒවාටද නොයෙක් බලපෑම් නැතැයි කිසි ලෙසකින්වත් සිතිය නොහැක. එහෙත් අනෙක් රටවල ජනතාවට තොරතුරු දැනගැනීමේ අයිතිය ලබාදී තිබේ. විවේචනයට ඉඩකඩ විවර කර දී තිබේ. ඒ වගේම ගැටලූ සහගත තැන් ප‍්‍රශ්න කිරීමට පුළුවන. මාධ්‍යයට ඇති මේ අයිතිය සත්‍ය ලෙසම අප රටේ ස්ථාපිත වී තිබේ දැයි අප හමුවේ මතුවන ප‍්‍රශ්නයකි.

මාධ්‍ය සඳහා වන ආචාරධර්ම පද්ධතියක් මාධ්‍යයෙන්ම ගොඩනැෙඟන්නේ නැති නම් ස්වාධීන අධිකාරියක් මගින් එවැනි දෙයක් නිර්මාණය කර ගැනීම වඩා ප‍්‍රායෝගික ක‍්‍රමයයි. මාධ්‍ය මගින් මාධ්‍යයට ආචාරධර්ම පද්ධතියක් සකසා ගන්නේ නම් ප‍්‍රධානම කරුණ වන්නේ එයයි. එසේ නොවන තැනක ඉහත කී ස්වාධීන අධිකාරියකට යොමු වීමට පුළුවන. එහෙත් ලංකාවේ සිදුවෙමින් පවතින්නේ කුමක් ද? ස්වාධීන නොවන ඉතාමත් පක්‍ෂග‍්‍රාහීව ආණ්ඩුවකින් ආචාරධර්ම හඳුන්වාදීමට කටයුතු කිරීමය. විරෝධතා මතුව තිබෙන්නේ එහි ප‍්‍රතිඵලයක් වශයෙනි. ආණ්ඩුවක් මාධ්‍යයට ආචාරධර්ම පද්ධතියක් හඳුන්වාදීමට කටයුතු කරන්නේ නම් එයින් කියැවෙන්නේ ආණ්ඩුව මාධ්‍ය සම්බන්ධයෙන් යම්කිසි අවබෝධයකින් කටයුතු කරනවාට අමතරව යම් දේශපාලන අරමුණක් ක‍්‍රියාත්මක කිරීමට සැලසුම් කරන බවය. මෙය මාධ්‍යයටත් සමාජයටත් හිතකර තත්ත්වයක් වශයෙන් හඳුනාගත නොහැක. කෙසේ වෙතත් මාධ්‍යයෙන්ම ආචාරධර්ම පද්ධතියක් සැකසෙන්නේ නැතිනම් ස්වාධීන අධිකාරියකට යොමුවිය යුතු බව යළිත් අවධාරණය කළ යුතුය. ලංකාවේ එවැනි තත්ත්වයක් නොතිබීම බෙහෙවින්ම කනගාටුදායකය.

දැනට කර්තෘ සංසදයෙන් ගොඩනඟාගත් ආචාරධර්ම පද්ධතියක් තිබේ. ඒ වගේම පසුගිය කාලයේ අත්දැකීම් පදනම් කර ගනිමින් ස්වයං වාරණයක්ද මාධ්‍ය අනුගමනය කරන ආකාරයක් දැක ගන්නට පුළුවන. මෙවැනි තත්ත්වයක් තිබියදීත් මාධ්‍යයට ආණ්ඩුවේ ආචාරධර්ම අවශ්‍යදැයි ප‍්‍රශ්න කරන්නට පුළුවන. ආණ්ඩුවේ ආචාරධර්ම පද්ධතියක් මාධ්‍යයට අවශ්‍ය යැයි මා සිතන්නේ නැත. ඒ වගේම  ඕනෑවට ස්වයං වාරණයක් අනුගමනය කරන්නේ නම් එයද රටේ මාධ්‍ය සදාචාරයට පටහැනිය. සත්‍යය ජනතාවට ලබාදීමට ඉදිරිපත්වීම ජනමාධ්‍යවේදීන්ගේ සහ ජනමාධ්‍යයේ පරම යුතුකමය. එය කාටවත් යටත් නොවී කිරීමට හැකි විය යුතුය. රජයට යටත් නොවී කළ හැකිවිය යුතුය.

එහෙත් අද ඇතැම් මාධ්‍ය සිතන්නේ එසේ නොවේ. රටේ තිබෙන තත්ත්වය අනුව නැතිනම් රජය අපහසුතාවට පත් කිරීම, ජාත්‍යන්තර ප‍්‍රජාව නිසාය යනාදී වශයෙන් විවිධ නම් යොදාගනිමින් තොරතුරුදීම සීමා කරමින් තිබේ. එය ජනමාධ්‍යයේ කර්තව්‍ය නොවේ. විවේචනයට ලක්වීමට කිසිම ආණ්ඩුවක් කැමැති නැත. එහෙත් ජනමාධ්‍ය එම කණ්ඩායම්වලට අයිති නොවිය යුතුය. ඒ නිසා  ඕනෑවට වඩා වැඩියෙන් පනවාගෙන තිබෙන ස්වයං වාරණයෙන් ඔබ්බට ගොස් තොරතුරු වාර්තාකරණයට මාධ්‍ය ආයතන යොමුවීමේ අවශ්‍යතාවක් තිබේ.

මාධ්‍ය ස්වයං වාරණයකට යොමුවන්නේ මාධ්‍යයට පහරදුන් නිසාය. මාධ්‍යවේදීන් ඝාතනය කළ නිසාය. තර්ජනය කළ නිසාය. එවැනි අවස්ථාවකදී වුවත් ජනමාධ්‍යවේදීන් එක හඬකින් කතා කළේ නැත. එයට හේතුව ඔවුන්ද රටේ දේශපාලනඥයන් සහ අනෙකුත් කොටස් මෙන් බෙදී සිටීමය. මේ නිසා ජනාමධ්‍ය ආචාරධර්ම ගෙන ඒමට හෝ මාධ්‍ය ආරක්‍ෂා කර ගත යුතු යැයි එක්ව හඬ නැඟීමේ හැකියාවක් මොවුන්ට නැත. ඉතා ඉහළ ගණයේ ජනමාධ්‍යවේදීන් වගේම බෙදීගිය ජනමාධ්‍ය කලාවක්ද දැක ගන්නට පුළුවන. මේ වෘත්තියට එකල පිවිසුණු අයට හොඳ අවස්ථා තිබුණි. ප‍්‍රවෘත්ති කර්තෘවරයකු වීමට ක්ෂේත‍්‍රයේ සෑහෙන කලක් කටයුතු කිරීම සහ පිළිගැනීමක් අවශ්‍යවුණි. ඒ පිළිගැනීම ඔවුන්ට ලැබුණේ ආණ්ඩුව නිසා නොවේ. කවුරුන් හෝ හඳුනන නිසා නොවේ.

එහෙත් අද ඉහළ ගණයේ ජනමාධ්‍යවේදීන් සිටින්නේ අතලොස්සකි. විවිධ වෘත්තීන්වලට කාලයෙන් කාලයට පාඨමාලා විවිධ රටවල තිබේ. ඇතැම් රටවල තිබෙන එවැනි පාඨමාලා ජනමාධ්‍යවේදීන් අනිවාර්යයෙන්ම හැදෑරිය යුතුය. එහෙත් ලංකාවේ ජනමාධ්‍යවේදීන්ට එවැනි අවස්ථා විවර වී නැත. එය විශාල පාඩුවකි. ඒ වගේම ජනමාධ්‍යවේදීන්ට ජනමාධ්‍ය කලාව පිළිබඳ සහ කැපවීම පිළිබඳ අඩුවක්ද දක්නට තිබේ. රජය මත යැපෙන ජනමාධ්‍යයක් දැකගන්නට පුළුවන. ලැප්ටොප් එක උදාහරණයකි. ඇමැතිවරුන් ඉහළ නිලධාරීන් සමඟ ඇති සබඳතා නිසාම මාධ්‍යකරණයට යොමු වූ අයද සිටිති. ඒ වගේම ඉතාම දුෂ්කර ගමන් යන මාධ්‍යවේදීන් ද මේ අතර සිටින බව කිව යුතුය. අද ජනමාධ්‍ය ක්ෂේත‍්‍රය ඉතිරි වී තිබෙන්නේ මාධ්‍යයයටම කැපවූ කීප දෙනකු නිසාය. කෙසේ වෙතත් අද පවතින තත්ත්වයට මාධ්‍ය පත් වී තිබෙන්නේ පසුගිය කාලයේ ඇති වූ තත්ත්වය සහ ඉහත කී කරුණු හේතුවෙනි. මේ සියලූ අඩු ලූහුඬුකම් ආණ්ඩුවට තම ක‍්‍රියාවලිය පහසු කරවීමේ අවකාශයක් නිර්මාණය කරදී ඇති බව පැහැදිලිය.

ලංකාවේ හැමෝටම ආචාරධර්ම පද්ධති අවශ්‍යය. ජනමාධ්‍යයට ආචාරධර්ම හඳුන්වාදීමට කතා කරන දේශපාලනඥයන්ට විශේෂයෙන්ම ආචාරධර්ම පද්ධතියක් අවශ්‍යය. මේ රටේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට ආචාරධර්ම පද්ධතියක් නැත. එහෙත් ලෝකයේ බොහෝ රටවල මන්ත‍්‍රීවරුන්ට ආචාරධර්ම තිබේ. ආයතන සංග‍්‍රහයෙන් රජයේ සේවකයන්ට යම් ආචාරධර්ම හඳුන්වා දී තිබේ. මේ ආකාරයට සාමාන්‍ය වෘත්තිකයන්ට යම් යම් ආචාරධර්ම පද්ධති පැවතියද අනෙක් අයට ආචාරධර්ම හඳුන්වාදිය යුතුයැයි කියන අයට ආචාරධර්ම නැත. පවතින තත්ත්වය එයින්ම වටහාගත හැකිය.

මාධ්‍යයට ආචාරධර්ම පද්ධතියක් හඳුන්වාදීමට යන්නේ ඇයිද යන්න සම්බන්ධයෙන් කිසිම හේතුවක් ආණ්ඩුව ඉදිරිපත් කර නැත. වෙබ් අඩවි ලියාපදිංචි කළ යුතු යැයි කියන විට එයට හේතුව වශයෙන් ඉදිරිපත් කළේ රටේ නායකයන්ට මඩ ගැසීමය. සාධාරණ නොවූවද කුමන හෝ හේතුවක් තිබුණි. එහෙත් හදිසියේ මාධ්‍ය ආචාරධර්ම පිළිබඳ කතා කරන්නේ ඇයි? දැනටමත් පාලනය වී තිබෙන  ඕනෑවට වඩා බියෙන් කටයුතු කරන මාධ්‍ය අතර අතලොස්සක් හෝ ස්වාධීන ලෙස තොරතුරු ලබා දෙන මාධ්‍යවේදීන් හා මාධ්‍ය ආයතන තවදුරටත් පාලනය කිරීමේ වුවමනාව නිසාය. මේ වුවමනාව විග‍්‍රහ කළ හැක්කේ දේශපාලනමය වශයෙන් පමණි. රජයේ බලය තහවුරු කර ගැනීම, එයටවන අභියෝග වැළැක්වීම, බල තරගයේ කොටසක් යනාදී වශයෙන් එය අර්ථ දක්වා ගන්නට පුළුවන. මේ ආචාරධර්ම ගෙන එන්නේ ජනමාධ්‍ය ආරක්‍ෂා කර ගැනීමට හෝ ජනමාධ්‍යවේදීන්ගේ තත්ත්වය ඉහළ දැමීමට නොවන බව නම් පැහැදිලිය.

 

සටහන - චමින්ද මුණසිංහ

 



අදහස් (0)

ආණ්ඩුවේ ආචාර ධර්ම මාධ්‍යයේ යහපතටද?

මල්කා Thursday, 11 July 2013 01:41 AM

මේක අයිසින් දාපු අටමගලයක්.මොකෝ මාධ්‍ය වලට අචාර ඡර්ම කියන්ට කලින් ආණ්ඩුවට එහෙම ඒවා තියනවද. ප්‍රශ්සේ දුෂිත දේශපාලුවෝ සාක්කි සහිතව ඔප්පු කලොත් මාධ්‍ය වලට බලේ තියනවා ඔවුන් පහ කරන්න.අන්න එහෙම එකක් ගෙනෙන්න නිකන් කොලේ වහන්නේ නැතිව. (අ)

:       0       0

චානක Thursday, 11 July 2013 08:20 AM

මම නම් කියන්නේ මාධ්‍යයට නෙමෙයි, කලින්ම මේ දේශපාලකයන්ට සදාචාර සම්පන්න විදියක් ගැන කියලා දෙන්න. අනිත් මිනිස්සුන්ට උපදෙස් දෙන්න කලින් (නි)

:       0       0

අස්මිත් Wednesday, 10 July 2013 01:48 PM

ආචාර ධර්ම සෑම මාධ්‍යයකටම සෑම සෑම පුරවසියෙක්ටම අත්‍යවශ්‍යයි.නමුත් මුලින්ම ආණ්ඩුවට ආචාර ධර්ම පද්ධතියක් තිබීම අවශ්‍යයි නේද?කොයි ආයතනයද අද ආචාර ධර්ම පිළිපදින්නේ.මෙම ලිපිය කාලීන මාතෘකාවකි. අද රටේ සිදුවෙන සෑම සිද්ධියකම සත්‍ය පවසන මාධ්‍ය තිබෙන අතලොස්ස විනාශ කිරීමේ පටන් ගැන්මයි.මුලින් රජයේ මාධ්‍ය ඉටු කරන ජනතා සේවය කුමක්ද?ඒවා පාලන වෙන ක්‍රමය නිවැරදිද?අනික් මාධ්‍යයත් ඒ තත්වයට පත්විය යුතුද? (දී)

:       0       0

අසාද් Friday, 19 July 2013 07:41 PM

ආන්ඩුවට ආචාර ධර්ම තියෙනවද?(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

අපේ යටගියාවේ අග මුල සෙවූ ආචාර්ය සිරාන් දැරණියගල
2024 ඔක්තෝබර් මස 05 24 0

හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සිරාන් දැරණියගල මහතා අභාවප්‍රාප්ත වී අදට (05) තෙවසරක් සපිරේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 5620 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 802 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1385 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 124 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 209 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39137 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25587 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 324 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1089 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 379 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site