IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


ආණ්ඩුව ඉන්නේ මරණ මංචකේ

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක මහතා ”සඳුදා හමුව” සමග එක්වෙමින් දැක්වූ අදහස් මෙසේ සටහන් තබමු. ප‍්‍රශ්නය: 2012 දෙසැම්බර් පළමුවැනිදා සිරිකොත මූලස්ථානයේ පැවැත්වෙන  එක්සත් ජාතික පක්ෂ ජාතික මහ සමුළුව කලින් හඳුනාගත්, නම් කරනු ලැබූ සහ විශේෂ අවසරය සහිත නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් පවත්වන්නේ කවුරුන් හෝ ගල්මුල් ප‍්‍රහාර එල්ල කරාවි යන බිය නිසාද? පිළිතුර: එක්සත් ජාතික පක්ෂයේ 54 වැනි ජාතික මහ සමුළුව සඳහා පිරිස් සහභාගි කරවන්නේ කෘත්‍යාධිකාරි මණ්ඩල ඒ සම්බන්ධයෙන් ඒකමතිකව අනුමත කළ නිර්නායක පද්ධතියට, වැඩ පිළිවෙළට සහ ප‍්‍රතිපත්තියට අනුවයි. කෘත්‍යාධිකාරි මණ්ඩලය මේ තීරණය ගන්නේ මහ සම්මේලනය ඉතාම විධිමත්ව, සාර්ථකව, ආරක්ෂාකාරිව සහ අරමුණක් ඇතිව පැවැත්විය යුතු නිසයි. මීට පෙර අපේ මහ සම්මේලනය සඳහා පිරිස් සහභාගි කරවීම ඇතුළු සංවිධාන කටයුතු සිදුකළේ මහ සම්මේලන සංවිධාන කමිටුව වන නමුත් මේ සැරේ එම වැඩකටයුතු ප‍්‍රධාන වශයෙන් කෘත්‍යාධිකාරියට පැවැරුවේ සම්මේලනය වඩාත් ප‍්‍රබල සහ සාර්ථක කර ගැනීම සඳහායි. ඒ ඒ ආසන සංවිධායකවරුන්ගේ සංවිධාන ක‍්‍රියාකාරිත්වය අනුව ඒ ඒ සංවිධායකවරුනට මහ සම්මේලනය සඳහා සහභාගි කරවිය හැකි නියෝජිතයින් සංඛ්‍යාව තීරණය කෙරෙනවා. ඒ අනුව ආසනයේ ශාඛා, යොවුන් සහ ලක් වනිතා සමිති පිහිටුවා ආසන බල මණ්ඩලය ගොඩනගා නව සාමාජික සාමාජිකාවන් බඳවා ගනිමින් සංවිධාන වැඩකටයුතු 100%ක් අවසන් කළ සංවිධායකරුන්ට නියෝජිතයින් 55ක් සම්මේලනයට සහභාගි කරවීමට අවස්ථාව දී තිබෙනවා. එම වැඩකටයුතු 2/3ක් අවසන් කළ අයට නියෝජිතයින් 40ක් ද, 50%ක් අවසන් කළ අයට නියෝජිතයින් 30ක් ද, සංවිධාන කටයුතු 50%ට අඩුවෙන් කර ඇති අයට නියෝජිතයින් 25ක් ද සහභාගි කරවීමට ඉඩ දී තිබෙනවා. එම වැඩ කටයුතු කිසිවක් කර නොමැති අයට පවා, එම ආසනයේ නියෝජනයේ වැදගත්කම සලකා නව සමාජික ප‍්‍රවේශ පත‍්‍ර 500ක් මිලදී ගත යුතුය යන කොන්දේසියට යටත්ව නියෝජිතයින් 20ක් සහභාගි කරවීමට අවසර දී තිබෙනවා. එක්සත් ජාතික පක්ෂයේ ජයග‍්‍රහණය වෙනුවෙන් ඇප කැප වී වැඩකරන අය අගය කිරීමක් සහ දිරි ගැන්වීමක් වශයෙන් ඒ අයට වැඩි අවස්ථාවක් ලබාදීම අසාධාරණද? සම්මේලනයට සහභාගි කරවන නියෝජිතයන්ගේ වගකීම ඒ ඒ සංවිධායකවරුන් භාරගත යුතු අතර ආරක්ෂාව සහ විනය වෙනුවෙන් දැඩි ස්ථාවරයක සිට අප කටයුතු කරනවා.   ප‍්‍රශ්නය: එක්සත් ජාතික පක්ෂය රට පුරා වැඩ කරන ආසන 130න් ආසන 62ක සංවිධායකවරුන් සිය ආසනයේ ශාඛා, යොවුන් සහ ලක්වනිතා සංවිධාන පිහිටුවා ආසන බල මණ්ඩලය ගොඩනඟා නොමැති බවට මේ වන විට කරුණු හෙළිදරව් වී තිබෙනවා. මේ අතර එජාප නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතා ද සිටින බව ජනමාධ්‍ය ඔස්සේ වාර්තා වුණා. මේ ආසන සංවිධායකවරුන් සම්බන්ධයෙන් දැඩි ස්ථාවරයක සිට කටයුතු කරන බව ඔබ ප‍්‍රකාශ කර තිබුණා. මේ කියන දැඩි ස්ථාවරය නියෝජ්‍ය නායකයාටත් වලංගුද? මහ කකුළුවා ඇදේට  යන ගමන් පැටවුන්ට කෙළින් එන්න කිව්වාම හරිද? පිළිතුර: සෑම සංවිධායකවරයකුම එක්සත් ජාතික පක්ෂය සහ කෘත්‍යාධිකාරි මණ්ඩලය දී තිබෙන උපදෙස්, ඉලක්ක සහ වැඩපිළිවෙළ අනුව ක‍්‍රියා කළ යුතුයි. එසේ නොමැතිව ආණ්ඩු විරෝධී සටන රට පුරා අවුලූවාලමින් මේ ආණ්ඩුව පෙරළා අපේ ආණ්ඩුවක් ගොඩනඟන්නේ කෙසේද? ගම් මට්ටමේ සහ බිම් මට්ටමේ සංවිධාන ගොඩනැගීම නොකර දේශපාලන වේදිකාවේදී ආණ්ඩු පෙරළීමට කතා කිරීමෙන් පළක් නැහැ. රට පුරා අප වැඩ කරන ආසන 130න් ආසන 62ක ඔබ සඳහන් කළ පරිදි සංවිධාන කිසිවක් පිහිටුවා නොමැති බව අපේ ප‍්‍රාදේශීය සංවිධාන කමිටුව අපට වාර්තා කර තිබුණා. සමහර සංවිධායකවරුන් ජනතාව හමුවීම සඳහා සිය ආසනයේ දේශපාලන කාර්යාලයවත් පිහිටුවා නැහැ. ජනතාව මේ තත්ත්වය හොඳින් තේරුම් ගත යුතුව තිබෙනවා. උපදෙස් සහ ඉලක්ක අනුව සමිති පිහිටුවමින් ආසන බල මණ්ඩල ගොඩනඟා නව සාමාජික සාමාජිකාවන් බඳවාගෙන ජනතාව ඒකරාශි කර ජනතාවට නායකත්වය ලබාදීමට අපොහොසත් වූ සංවිධායකයින් සම්බන්ධයෙන් දැඩි ස්ථාවරයක සිට කටයුතු කිරීමට අප තීරණය කර තිබෙනවා. 2013 නව ආසන සංවිධායක පත්වීම් ලබාදීමේදී මේ කරුණු කාරණා සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමුකරන අතර ජනතාවට නායකත්වය ලබාදී සංවිධානය කිරීමට නොහැකි අයට නැවත එම පත්වීම් ලබාදීමේ හැකියාවක් නැහැ.   ප‍්‍රශ්නය: මේ ජාතික මහ සමුළුවේදි රැඩිකල් දේශපාලන වැඩපිළිවෙළක් සම්මත කර ඉදිරියේදී ඒ අනුව කටයුතු කිරීමට  තීරණය කර තිබෙන බවට තොරතුරු වාර්තා වී තිබෙනවා. හදිසියේම මෙසේ  රැඩිකල් වීමට තීරණය කළේ ඇයි? පිළිතුර: රැඩිකල් දේශපාල වැඩපිළිවෙළක් වහාම ක‍්‍රියාත්මක කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කළේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධි, ඒකාධිපති, ජනතා විරෝධි සහ දුෂිත ආණ්ඩුව පෙරළා දැමීම සඳහායි. ඒ සඳහා අපේ ප‍්‍රතිපත්ති, වැඩපිළිවෙළ සහ දර්ශනය කාලයට උචිත ලෙස යාවත්කාලීන කරමින් පක්ෂ අභ්‍යන්තරයේ රැඩිකල් සංශෝධන ඇති කළ යුතුව තිබෙනවා. මේ සියල්ල අප කරන්නේ බලය ලබාගැනීම සඳහා වන අතර ඒ සඳහා වන වැඩපිළිවෙළ සහ අනුගමනය කරන ක‍්‍රියාමාර්ග මේ රැඩිකල් දේශපාලන ප‍්‍රකාශය මගින් පැහැදිලි කර තිබෙනවා.   ප‍්‍රශ්නය: ඉදිරියේදී  ගැනීමට යන මේ රැඩිකල් දේශපාලන ක‍්‍රියාමාර්ග කවරේද? පිළිතුර: ප‍්‍රජාතන්ත‍්‍රවාදය, නීතිය, සාමය, මානව හිමිකම්, ජාතික ප‍්‍රශ්නයට අදාළ විසඳුම, රටේ ආර්ථිකය, ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව, ජනතා සහන, අධ්‍යාපනය, සෞඛ්‍යය, යහපාලනය ඇතුළු ජාතික වැදගත්කමකින් යුතු සියල්ලන් පිළිබඳ අපේ ස්ථාවරය, ප‍්‍රතිපත්තිය, වැඩපිළිවෙළ මේ රැඩිකල් ප‍්‍රකාශය ඔස්සේ අප රටට ජනතාවට ඉදිරිපත් කරනවා. එම ප‍්‍රතිපත්ති, දර්ශනය සහ වැඩපිළිවෙළ ඇතුළත් රැඩිකල් ප‍්‍රකාශනය ප‍්‍රථමයෙන්ම අඟහරුවාදා පැවැත්වෙන කෘත්‍යාධිකාරි මණ්ඩලයට අප ඉදිරිපත් කරනවා.   ප‍්‍රශ්නය: සරත් ෆොන්සේකා මහතාගේ පාර්ශ්වයේ ස්ථාවරය වී තිබෙන්නේ ඒකාධිපති ක‍්‍රමය අහෝසි කරන ආණ්ඩු විරෝධි සැබෑ පොදු විපක්ෂය ඒ අය බවයි. නමුත් ඔබලා කියා සිටින්නේ ආණ්ඩු විරෝධි එකම පොදු විපක්ෂය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් යුතු ”විපක්ෂයේ විරෝධය” සංවිධානය බවයි. ඇත්ත කුමක්ද? පිළිතුර: පොදු විපක්ෂයේ නායකත්වය දැරිය යුත්තේ  ඕනෑම මොහොතක සහ වාතාවරණයකදී 35%ක ස්ථාවර ඡන්ද පදනමක් තිබෙන, රට පුරා සංවිධාන ජාලයක් තිබෙන සහ විපක්ෂයේ ලොකුම දේශපාලන පක්ෂය වන එක්සත් ජාතික පක්ෂයයි. අපේ පක්ෂය හැරුණු කොට එවැනි ඡුන්ද පදනමක් සහ සංවිධාන ජාලයක් තිබෙන ප‍්‍රධාන දේශපාලන පක්ෂයක් ඇත්තේ නැහැ. ඒකාධිපති, දුෂිත සහ ජනතා විරෝධි ආණ්ඩුව පෙරළා ප‍්‍රජාතන්ත‍්‍රවාදී සහ ජනතාවාදි ආණ්ඩුවක් ගොඩනැගීම සඳහා ජනතාව ඒකරාශි කරමින් අප ගොඩනඟා තිබෙන ඒකාබද්ධ විපක්ෂය සමග ද්‍රවිඩ ජාතික සන්ධානය, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතා පෙරමුණ, නව වාමාංශික පෙරමුණ, නව සිහල උරුමය, රුහුණු ජනතා පක්ෂය, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතා පෙරමුණ, මව්බිම ලංකා පෙරමුණ සහ එක්සත් සමාජවාදී පක්ෂය යන දේශපාලන පක්ෂ ද, සිවිල් සංවිධාන ද, ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය ද එක්ව සිටිනවා. සියලූ පාර්ශ්ව අප සමග එකට එක්ව පොදු බලවේගයක් ලෙස ආණ්ඩු විරෝධි සටන ගෙන යද්දි මෙසේ පොදු විපක්ෂය යැයි කියා තවත් පෙරමුණු ගැසීමෙන් වක‍්‍රව වාසි වන්නේ ආණ්ඩුවට නොවේද?   ප‍්‍රශ්නය: සැබෑ පොදු විපක්ෂය කුමක්ද යන කාරණය සම්බන්ධයෙන් රටේ මතුකර තිබෙන කතිකාවෙන් සිදුවන්නේ රටේ උද්ගත වී තිබෙන ප‍්‍රශ්න සම්බන්ධ ජනතා අවධානය වෙනතකට යොමුවීම නොවේද? පිළිතුර: රටේ එකම පොදු විපක්ෂය එක්සත් ජාතික පක්ෂය ප‍්‍රධාන ”විපක්ෂයේ විරෝධය” වන නිසා පොදු විපක්ෂය කුමක්ද කියන කාරණය සම්බන්ධයෙන් කිසිදු විවාදයක් සහ කතිකාවක් ඇත්තේ නැහැ. ආණ්ඩු විරෝධී මේ පොදු විපක්ෂය සමග එකට එකතුවන ලෙස අප සියලූ පාර්ශ්වයන්ට ඉතාම සද්භාවයෙන් යුතුව විවෘතව ආරාධනා කර තිබෙනවා. එම ආරාධනය සරත් ෆොන්සේකා මහතාටත් වලංගුයි. අපේ උපනායක ජෝශප් මයිකල් පෙරේරා මහතා ද, මම ද මේ ආරාධනය සරත් ෆොන්සේකාට අවස්ථා ගණනාවකදීම කර ඇතත් ඔහුගෙන් මෙතෙක් යහපත් ප‍්‍රතිචාරයක් ලැබී නැහැ. කෙසේ නමුත් මේ කාරණය සම්බන්ධයෙන් අදහස් හුවමාරු කර ගැනීමේ සාකච්ඡුාවල දෙපාර්ශ්වයේ ඇතැම් ප‍්‍රධානීන් මේ වන විටත් යෙදී සිටිනවා.   ප‍්‍රශ්නය: 2010 ජනාධිපතිවරණයේදී සරත් ෆොන්සේකාගේ පහනින් එළිය බැලූ එජාපයත්, ජනතා විමුක්ති පෙරමුණත් අද ඔහු මඟ හලල යනවා යැයි සමහරුන් චෝදනා කරනවා නේද? පිළිතුර: එම පදනම් විරහිත අභූත සහ අසත්‍ය චෝදනාව අප තරයේ හෙළා දකිනවා. එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ ප‍්‍රතිපත්තිමය වශයෙන් වෙනස් වුණත් යුද්ධය විකුණමින් එම ජනාධිපතිවරණයට ආ මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව ජනමතය ගොඩනැගීම සඳහා සරත් ෆොන්සේකා මහතා පොදු අපේක්ෂකයා ලෙස අප ඉදිරිපත් කළේ පොදු අරමුණක් ඇතිවයි. අප අතර තිබූ පොදු එකඟතාව වූයේ සරත් ෆොන්සේකා ජනාධිපති කරවා හය මසකින් විධායක ජනාධිපති ධුරය අහෝසි කර ඊට පසුව මහ මැතිවරණයකට ගොස් එම මැතිවරණයෙන් ජයගන්නා දේශපාලන පක්ෂයට ආණ්ඩු බලය ලබාදීමයි. එහෙත් එම ව්‍යාපෘතිය අසාර්ථක වූ අතර රනිල් වික‍්‍රමසිංහ මහතා 2005 ජනාධිපතිවරණයේදී ලබාගත් ඡුන්ද ලක්ෂ 48වත් ගැනීමට සරත් ෆොන්සේකාට නොහැකි වුණා. ඊට පසුව පැවැති පාර්ලිමේන්තු මැතිවරණයට එක්සත් ජාතික පක්ෂය සමග එක්ව තරග කරන්නැයි සරත් ෆොන්සේකාගෙන් අප ඉල්ලා සිටියා. ඒ වන විට ඔහු සිටියේ හමුදා අත්අඩංගුවේ වන අතර ඔහුට පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීමට අධිකරණයෙන් අවසර ලබාගැනීමට ක‍්‍රියා කළේ එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ මහතායි. එහෙත් එක්සත් ජාතික පක්ෂයට නොපැමිණි සරත් ෆොන්සේකා මහතා ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානය ගොඩනඟා ජනතා විමුක්ති පෙරමුණ සමග එක්ව එම මැතිවරණයට තරග කළා. ඒ අනුව අපි සරත් ෆොන්සේකාගෙන් ඈත්වුණේ නැහැ. නමුත් ඔහු අපෙන් ඈත් වුණා. සරත් ෆොන්සේකා අත්අඩංගුවට ගත් මොහොතේ සිට ඔහු නිදහස් කර ගැනීමට දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් දේශපාලන සහ නීතිමය පියවර ගත්තේ කවුද? ඔහු සිරගත කර සිටින තුරු අප ඔහුගේ සියලූම සුවදුක් සහ අවශ්‍යතා පිළිබඳව සොයා බැලූවා.   ප‍්‍රශ්නය: හිටපු අග විනිසුරු සරත් එන්. සිල්වා මහතා  ඔහු දුන් තීන්දු තීරණ පිළිබඳව මෑතකදී කර ඇති ප‍්‍රකාශ මගින් පැහැදිලි වන යථාර්ථය ගැන ඔබේ විග‍්‍රහය කුමක්ද? පිළිතුර: ”හෙල්පින් හම්බන්තොට” නඩුව මූලික අයිතිවාසිකම් පෙත්සමක් මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට ගෙන්වාගෙන ඔහු දුන් තීන්දුව ගැන දැන් කියන කතා ඉතාම හාස්‍ය ජනක සේම බරපතළ තත්ත්වයක් බව කිව යුතුයි. පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට  ඕනෑම අවස්ථාවක දේශපාලන වශයෙන් පිල් මාරු කිරීමට අවසර දීම ඇතුළු ඔහුගේ තීන්දු නිසා දේශපාලන පක්ෂ අභ්‍යන්තර ගැටුම් ඇති වී විනය පිරිහී ජාතික දේශපාලනය සම්පූර්ණයෙන්ම කඩා වැටුණා. ඔහු දුන් නඩු තීන්දු සම්බන්ධ පාපොච්චාරණයෙන් හෙළිවන්නේ ඔහු අධිකරණ බලය පාවිච්චි කරමින් රටට ජනතාවට කළ අපරාධයේ තරමයි. අගවිනිසුරු ධුරයට මුවා වී අධිකරණ බලය පාවිච්චි කරමින් විධායකයේ දෑත් ශක්තිමත් කිරීමට තීන්දු දුන් සරත් සිල්වා අද විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමේ වේදිකාවට නැඟ සිටීම ඇත්තටම හාස්‍ය ජනකයි. සිය තීන්දු තීරණ සම්බන්ධයෙන් රටට ජනතාවට සිදුවූ විනාශයේ පාපයෙන් සරත් සිල්වාට ගැලවීමට හැකියාවක් නැහැ.   ප‍්‍රශ්නය: අයවැය යෝජනාවලියෙන් සියලූ සේවක වැටුප් වැඩිකිරීම ඇතුළු ජනතාව වෙනුවෙන් එජාපය ඉල්ලූ සහන ලැබේවිද? එසේ නොවුණ හොත් ඊට එරෙහිව ගන්නා පියවර කවරේද? පිළිතුර: අයවැයෙන් සියලූ සේවක වැටුප් වැඩිකර ජනතාවට සහන ලබාදීමට හැකියාව තිබුණත් ආණ්ඩුවේ දුෂණ, වංචා සහ අක‍්‍රමිකතා නිසා එම කිසිදු සහනයක් මේ අයවැය මගිනුත් ජනතාවට හිමිවන්නේ නැහැ. මේ ආණ්ඩුව ක‍්‍රියා කරන්නේ පළමුවත් හොරකම.... දෙවනුවත් හොරකම.... තෙවනුවත් හොරකම යන ස්ථාවරයේ සිටයි. ඛණිජ තෙල් අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී කළ කතාව අනුව නම් අපේ රටේ ජනතාවට තෙල්වලින් නම් කවදාවත් කිසිදු සහනයක් නැහැ. රටත් ජනතාවත් මුහුණ දී සිටින ප‍්‍රශ්න සඳහා කිසිදු විසඳුමක් නොමැති ආණ්ඩුව රටේ ජාතිවාදී රැල්ලක් ඇතිකර එමගින් වාසිගෙන ජනතා අවධානය වෙනතකට යොමුකිරීම සඳහා 13 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීම ගැන කතා කරනවා. මේ තත්ත්වය තේරුම් ගෙන ජනතා විරොධි සහ ප්‍රෝඩාකාරි ආණ්ඩුවට එරෙහිව අප රට පුරා ගෙන යන අරගලය සමග එක්වන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. අයවැය යෝජනාවලියෙන් වැඩිම මුදලක් රට දියුණු කර ජනතාවට සහන සැලසීමට නොව ආරක්ෂක අමාත්‍යංශය වෙනුවෙන් යොදවා තිබීමෙන් ආණ්ඩුව අන්තිමට කරන්න යන්නේ කුමක්ද කියා පැහැදිලිවනවා.   ප‍්‍රශ්නය: 2014දී ආණ්ඩුව පෙරළා නව ආණ්ඩුවක් ගොඩනඟන බවට එජාප නායක සහ විපක්ෂනායක රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රකාශ කර සිටින්නේ කිනම් පදනමක් යටතේද? පිළිතුර: රටේ උද්ගත වී තිබෙන උග‍්‍ර ආර්ථික අර්බුදය, ජනතාව මුහුණ දී සිටින ජීවන ප‍්‍රශ්න, දුෂණය, භීෂණය සහ මර්දනය, ජාත්‍යන්තර බලපෑම්, අධ්‍යාපනය සහ සෞඛ්‍යය කඩාවැටීම ඇතුළු  මහමෙරක් මේ ප‍්‍රශ්න සමග ආණ්ඩුවට තවදුරටත් යන්න බැහැ. ඒ වගේම ආණ්ඩුවේ මැති අමැතිවරුන් බහුතරය කලකිරී සිටින අතර ආණ්ඩුවේ අභ්‍යන්තර දේශපාලන අර්බුදය තීව‍්‍ර වෙමින් පවතිනවා. මේ තත්ත්වය යටතේ ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් ගණනාවක් අප සමග අදහස් හුවමාරු කර ගනිමින් සිටිනවා. ඒ අය ආණ්ඩුවට එරෙහිව එළියට බැස අප සමග එක්වීමට සූදානමින් සිටිනවා. ඒ අනුව මේ ආණ්ඩුව මරණ මංචකයට පැමිණ සිටින බව කිවයුතුයි.

 

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක

සංවාදය:   සුජිත් මංගල ද සිල්වා



අදහස් (0)

ආණ්ඩුව ඉන්නේ මරණ මංචකේ

අචිනි Monday, 05 November 2012 05:34 PM

මොන පිස්සුද

:       0       0

සේනක Tuesday, 30 October 2012 07:25 PM

අනේ තාම එක්සත් ජාතික පක්ෂයක් තියෙනවාද (අ)

:       0       0

රාජා Tuesday, 30 October 2012 02:05 PM

යූඑන්පී ය දුකට ඔහේ දොඩවනවා. (නි)

:       0       0

තිස්ස Tuesday, 30 October 2012 02:39 PM

ආණ්ඩුව නම් මරන මංචකේ හරි ඉන්නව අපි ඉන්නෙ වලේ කියල මට තාම තෙරෙන්නෑ නේ (ස)

:       0       0

shantha lal jeddah Monday, 29 October 2012 08:57 PM

එක්සත් ජාතික පක්ෂය පරාජය කරමෙහෙයවපු පුරෝගිමින් අතරින් පෙරමුණ ගන්නේ ඔබයි. (අ)

:       0       0

නන්දේ Friday, 02 November 2012 02:36 PM

යූඑන්පී ය දැන් ඉන්නේ පෙට්ටිය ඇතුළේ. (නි)

:       0       0

ජිනා Tuesday, 30 October 2012 12:03 AM

ඔහේලා සරත් ෆොන්සේකාට බනින්න. පුලුවම් තරම් පක්ෂ වලට බෙදී යන්න. වැඩකට නැති තනතුරුවල ප්‍රතිපත්තිවල එල්ලිලා ඉන්න. ආණ්ඩුව ඒ මෝඩකම්වලින් උපරිම ප්‍රයෝජන ගනීවි. (නි)

:       0       0

සෙනෙරත් Tuesday, 30 October 2012 01:07 AM

යු.එන්.පී එක මිය ගිහිල්ලා ගොඩක් කල් (ස)

:       0       0

ඩැඩ්ලි Wednesday, 31 October 2012 11:54 AM

දවල් හීන දැකීමක්.... (නි)

:       0       0

වරුණ Tuesday, 30 October 2012 04:58 PM

යූඑන්පීය විනාශ වුණේ නායකත්වයට තියෙන කෑදරකම නිසයි. (නි)

:       0       0

අරුණ Monday, 29 October 2012 03:49 PM

යූඑන්පී එක ඉන්නේ ගජබා අවධියේ නිසා හැමදේම හොදට පෙනෙනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

ශ්‍රී ලංකාව ගෝලීය වෙළෙඳ කම්පනය
2025 අප්‍රේල් මස 18 173 0

ට්‍රම්ප්ගේ වෙෙළඳ කම්පනය ගෝලීය පිළිවෙලට දැවැන්ත පහරකි. එය නියෝජනය කරන්නේ 1970 ගණන්වලදී බ්‍රෙට්න්වුඩ්ස් ක්‍රමය අවසන් වීමෙන් පසු ඇති වූ විශාලතම බිඳවැටීමය


දළදා වහන්සේ සියැසින් දැකගැනීමේ ආනිශංසය
2025 අප්‍රේල් මස 18 645 0

ශ්‍රී සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ පන්සාළිස් වසරක් මුළුල්ලේ දේශනා කොට වදාළ ස්වාසුදහසක් ශ්‍රී ධර්මස්කන්ධයේ පහස ලැබුවුවා වූ පරම පූජනීය අතිඋ


මාගේ දෙවියනි ඔබ මා අත්හැරියේ මක්නිසාද?
2025 අප්‍රේල් මස 18 168 0

ක්‍රිස්තුන් වහන්සේගේ මුළු මහත් මෙලෝ දිවිය, මනුෂ්‍ය පුත්‍රයකු සේ අත් විඳි ජීවිතය හමාර වන හෝරාව ක්‍රමිකව පැමිණෙමින් තිබේ. කල්වාරිය මත සිදුවෙමින් පැවති


භාරත ආසියා මොඩලය
2025 අප්‍රේල් මස 18 157 0

සිංහල හා හින්දු අලුත් අවුරුදු උණුසුම තවමත් පහව ගොස් නැත. කුමන ආර්ථික ගැටලුකාරිත්වයක් තිබුණත් අපේ රටේ ජනතාව අලුත් අවුරුද්දට සූදානම් වූයේ ඒ සියලු අගහිඟ


ගොවියා රවටන පාරිභෝගිකයා සනසන ස්වයංපෝෂිත කිරි නාඩගම
2025 අප්‍රේල් මස 17 358 0

ලෝකයේ ඉතාම ජනප්‍රිය එසේම පෝෂණීය පානයක් වන්නේ දියර කිරිය. එය ජනප්‍රිය වීමට හේතුව වන්නේ එහි ඇති පෝෂණීය ගුණය සහ විශ්වාසවන්ත භාවය නිසාය. එහෙත් ශ්‍රී ලංකාව


පම්බන් පාලම ඉන්දු-ලංකා යාකරන මුහුදු මාවතේ ඇරැඹුමද?
2025 අප්‍රේල් මස 17 682 0

ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා එම නිල සංචාරය නිමකර අනුරාධපුර ගුවන්තොටුපොළෙන් ඉන්දියාව බලා පිටත්ව ගියේ තවත් සුවිශේෂ කටයුත්තක


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 348 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 261 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 414 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site