යොවුන් පිරිස් සම්බන්ධ කොමිෂන් සභාව පිළිබඳ ප්‍රත්‍යාවලෝකනය
කොළඹ විශ්වවිද්‍යාලයේ උප කුලපති ලෙස මාගේ ධූරකාලය අප රටේ විශ්වවිද්‍යාල පද්ධතියේ ඉතිහාසයෙහි වඩාත්ම දරුණු කාලපරිච්ඡේදය හා සමපාතව පැවතිණි. සියලු පද්ධති මුළුමනින්ම පාහේ බිඳවැටීමක් පැවති අතර, ජීවිත අහිමි වීම, රාජ්‍ය සහ පෞද්ගලික දේපල විනාශ වීම සහ ජන ජීවිතයේ සියලු අංශවලට බාධා පැමිණවීම අනුව ගත් කළ පිරිවැය සීමාන්තික්‍රාන්ත විය.
මෙම බලවත් කැළඹිලිසහගත යුගය අවසානයට ළඟා වෙද්දී, 1989 ඔක්තෝබර් මසදී රජය, අනෙකුත් දේ අතර “නොසන්සුන් බව, අසහනය සහ අතෘප්තිය පවත්නා ආයතන ප්‍රතික්ෂේප කිරීම සහ ප්‍රචණ්ඩ ක්‍රියාවලින් විද්‍යමාන වීමට හේතු” විමසා බැලීම පිණිස ජනාධිපති කොමිෂන් සභාවක් පත් කළේය.
කොමිෂන් සභාවේ සාමාජිකයන් 7 දෙනා අතරින් එක් අයකු ලෙස මම කොමිෂන් සභා කාර්යයන්හිදී සහ එහි වාර්තාව පිළියෙළ කිරීමේදී සක්‍රීය කාර්යභාරයක් ඉටු කළෙමි. මෑතකදී එහි අන්තර්ගතය නැවත බලන විට, එහි ප්‍රධාන තේමා සහ නිර්දේශවල, සහ ඒවාට පාදක චින්තනයෙහි ඇති අපගේ වර්තමාන සමාජයේ ප්‍රමුඛ අභියෝගවලට අනන්තර අදාළ බව මගේ සිතට කා වැදිණි.
දේශපාලනීකරණය ප්‍රධාන ව්‍යාධියකි
“දේශපාලනීකරණය සහ දේශපාලන බලය අවභාවිතය පිළිබඳ අනුබෝධයන් සමකාලීන ශ්‍රී ලංකාවේ තරුණ අසහනයට ප්‍රධාන හේතු අතර වන බවට අතථ්‍ය ඒකමතිකබව කොමිෂන් සභාව වෙත කරන ලද වාචික සහ ලිඛිත නියෝජනයන් හැඟවීය.” ප්‍රධාන ගැටලුව ලෙස “ප්‍රජාතන්ත්‍රවාදී ආයතන පීඩාවට පත් කරන දේශපාලන බලය අවභාවිතය” හඳුනාගත් කොමිෂන් සභා වාර්තාවේ පළමු වාක්‍යය මෙය විය.
“(අ) ඇතැම් තීරණාත්මක ක්ෂේත්‍ර තුළ බඳවාගැනීම, උසස් කිරීම, ස්ථාන මාරු කිරීම සහ සේවයෙන් පහ කිරීම වෙනුවෙන් වගකීම උසුලන වැදගත් කොමිෂන් සභා; සහ (ආ) තෝරාගත් ක්ෂේත්‍රවල ප්‍රතිපත්ති සම්පාදනය වෙනුවෙන් වගකීම උසුලන කොමිෂන් සභාවල සාමාජිකත්වය සංස්ථාපනය කරනු ඇත්තාවූ තැනැත්තන්ගේ නම් ජනාධිපතිවරයාට නිර්දේශ කරනු ඇත්තාවූ” නාමයෝජනා කොමිෂන් සභාවක් පිහිටුවීම කොමිෂන් සභාවේ නිර්දේශ අතර විශිෂ්ට එකකි. නාමයෝජනා කොමිෂන් සභාවේ සංයුතිය පාර්ලිමේන්තුවේ දේශපාලන පක්ෂවල සමතුලිතතාව පිළිබිඹු කළ යුතු විය. දිවයිනේ නන් දෙසින් පැමිණ කොමිෂන් සභාව ඉදිරියේ සාක්ෂි දුන් මුළාවෙන් මිදුණු තරුණ තරුණියන් අවධාරණය කළේ ජාතියේ ඉතිහාසයේ ඇතැම් වකවානුවල නියත වූ විපත්ති කාල පිළිගැනීමට ඔවුන් විරුද්ධ නොවූ නමුත්, ඔවුන් තදබල ලෙස ප්‍රතික්ෂේප කර කැරලි ගසනු ඇත්තේ පැහැදිලි අසාධාරණය හා අනුබද්ධ අහිමිකිරීමට එරෙහිව බවයි.
ආයතනික ප්‍රතිචාරයක්: ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව
මෙම නාමයෝජනා කොමිෂන් සභාවක සංකල්පය 2001 වසරේදී දාහත්වැනි සංශෝධනය මගින් අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හඳුන්වදෙනු ලැබූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ මූලය සහ අනුප්‍රාණය විය. “ජයග්‍රාහකයා සියල්ල අත්කර ගනී” යන මානසිකත්වයට විරුද්ධව යමින් සහ දක්ෂතාව සහ සාධාරණත්වය රීති පාදක රාජ්‍ය පරිපාලන ක්‍රමයක ප්‍රධාන ප්‍රතිෂ්ඨාවන් ලෙස ස්ථාපනය කිරීම අරමුණු කරගනිමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසිපස් වසරක් තිස්සේ දේශපාලන සිදුවීම් මත ආධිපත්‍යය පැතිරවීය.
ප්‍රගතිය කරාත් ආපස්සටත් පුදුම සහගත ලෙස මාරුවීම් මෙම කාලපරිච්ඡේදය මුළුල්ලේ ඇතිවූ තත්වයට ආවේණික ලක්ෂණය විය. දාහත්වැනි සංශෝධනය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනකුගෙන් (කථානායක, අග්‍රාමාත්‍ය සහ විපක්ෂ නායක) සහ පාර්ලිමේන්තුවේ දේශපාලන පක්ෂ විසින් නාමයෝජනා කරනු ලබන සිවිල් සමාජ නියෝජිතයන් 7 දෙනකුගෙන් සමන්විත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවක් බලාපොරොත්තු විය. 2010 වසරේදී, දහඅටවැනි සංශෝධනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙනුවට පාර්ලිමේන්තු සභාවක් ගෙන ආ අතර, සාමාජිකයන් 5 දෙනකුගෙන් - ව්‍යවස්ථාදායකයෙන් තිදෙනකු සහ ඉන් බැහැර දෙදෙනකු - සමන්විත වූ පාර්ලිමේන්තු සභාවට පත්කිරීම් බලධරයා වන ජනාධිතිපතිවරයාට නිර්දේශ ලබා දීම පමණක් කළ හැකි වූ නමුත්, පත්වීම් වලංගුවීම වෙනුවෙන් කොන්දේසියක් ලෙස ඔවුන්ගේ එකඟතාව අවශ්‍ය නොවීම හේතුවෙන් එයට පෙර පැවති සභාවේ භූමිකාවෙන් මෙහි භූමිකාව තීරණාත්මක ආකාරයෙන් වෙනස් විය. එබැවින් එය සාපේක්ෂ වශයෙන් දුර්වල මෙවලමක් වූයේය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් හත් දෙනකුගෙන් සහ බැහැරින් තිදෙනකු ලෙස සාමාජිකයන් 10 දෙනකුගෙන් සමන්විත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවක් නැවතත් ඇති කළ 2015 දහනවවැනි සංශෝධනය, සභාවට සැබෑ අධිකාරී බලය ලබාදීමෙන් ප්‍රතිවිරුද්ධ දිශාවට ගමන් කිරීමක් නියෝජනය කළේය. 2020 වසරේදී හුදු උපදේශක මණ්ඩලයක් ලෙස ක්‍රියාත්මක බොහෝ සෙයින් බෙලහීන පාර්ලිමේන්තු සභාව ප්‍රතිෂ්ඨාපනය කළ ප්‍රතිගාමී විසිවැනි සංශෝධනය මගින් තත්වය තවත් අතකට හැරවීමක් සනිටුහන් කෙරිණි.
2022 වසරේදී වර්තමාන නීතිය අන්තර්ගත විසිඑක්වැනි සංශෝධනයත් සමඟ චක්‍රය සම්පූර්ණ වටයක් කැරකී අවසන් වීම සිදු විය. මෙය, මැතිවරණ, රාජ්‍ය සේවය, ජාතික පොලීසිය, විගණනය, මානව හිමිකම්, අල්ලස් හා දූෂණ, මූල්‍ය, සීමා නිර්ණය සහ ජාතික ප්‍රසම්පාදන සම්බන්ධයෙන් කටයුතු කරන තීරණාත්මක කොමිෂන් සභාවල පිරිස් සභාව විසින් කරනු ලබන පැහැදිලි නිර්දේශයකින් තොරව පත් කිරීමෙන් ජනාධිපතිවරයාව වළක්වයි.
තවද, වැදගත් නිලධරයන් ගණනාවක් - නීතිපතිවරයා, මහබැංකු අධිපති, පොලිස්පති, ඔම්බුඩ්ස්මන්වරයා සහ පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා - ජනාධිපතිවරයා විසින් කරන ලද නිර්දේශයක් මත සභාව විසින් පත්කිරීම අනුමත කරනු ලැබ ඇත්නම් හැර වලංගු ලෙස පත්කරනු ලැබිය නොහැකි විය.
වැදගත්ම දෙය අවදියෙන් සිටීමයි
පාලනයේ වඩා ඉහළ මට්ටම් තුළ පක්ෂග්‍රාහී දේශපාලන බලපෑම වෙනුවෙන් අවකාශය සීමා කිරීමේදී මේවා අතිශයින් වැදගත් ජයග්‍රහණ වේ; ආයතනවල සුපිළිපන්බව කෙරෙහි ජනතා විශ්වාසය ශක්තිමත් කිරීමට ඒවා දායක වෙයි.
කෙසේ වෙතත්, සෑහීමකට පත්ව සිටීමට ඉඩක් නොමැත. විධායකයේ කාර්යයන් ඉටුකිරීමට බාධා කිරීමක් සිදු කළ බව කියමින් ධූරය උසුලන ජනාධිපතිවරයකු පාර්ලිමේන්තු සභා ගැබේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට අවලාද නැගීමේ අශෝභන දර්ශනය ජාතියට බලා සිටීමට සිදු විය. ජාතික පොලිස් කොමිෂන් සභාව සහ වැඩ බලන පොලිස්පතිවරයා අතර වර්තමානයේ පවතින මතභේදයට මුලින් කී ආයතනය එහි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් පැවරී ඇති වගකීම් ක්‍රියාවේ යෙදවීමෙන් වැළැක්වීමේ විභවය ඇත. ස්වාධීනත්වයේ සහ විෂය මූලික භාවයේ ආයතනික සම්මතයන් මෙහෙයුම් පාලනයේ අවදානම් තත්වය මගින් අතුගා දමනු ලැබිය නොහැකිය.
ව්‍යවස්ථාදායක පරමාධිපත්‍යය සහ අධිකරණ අධීක්ෂණය
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කටයුතු අමාත්‍ය ධූරයේ මාගේ සම්භාවනීය පූර්වගාමියා වූ දිවංගත ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනයෙහි බොහෝ සමර්ථකම් ඇති චරිතයක් වීය. ව්‍යවස්ථාදායකයේ පරමාධිපත්‍යය පිළිබඳ ඔහු තරයේ දැරූ ස්ථාවරයෙන් දරදඬු ලෙස නොවෙනස්ව සිටිමින්, පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක කාර්යයන් මත කවර හෝ ආකාරයක අධිකරණ ආවේක්ෂණයට ඔහු ප්‍රතිපත්තිමය වශයෙන් දරුණු ලෙස ප්‍රතිරෝධය එල්ල කළේය. 1968 දී ලංකා එක්සත් ජාතීන්ගේ සංගමය අමතා ඔහු කළ කථාවක මෙම මතයට පදනම් වූ තර්කය ඔහු විසින් මැනැවින් පැහැදිලි කරනු ලැබ ඇත. “පරමාධිපත්‍යය සහිත ව්‍යවස්ථාදායකයක් අපට වුවමනාද, නැතිද? සැබෑම ප්‍රශ්නය මෙයයි. නීතියක වලංගුභාවය නීති සම්පාදනය කරන ආයතනයෙන් බැහැර කවරකු හෝ විසින් තීරණය කරනු ලැබිය යුතු යැයි ඔබ කියන්නේ නම්, එසේ නම් එයින් ඔබ පවසන්නේ ඔබේ නීති සම්පාදන ආයතනය සම්පූර්ණයෙන්ම නීති සම්පාදන ආයතනය නොවන බවයි.” 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිර්මාණ ශිල්පියා මෙම ස්ථිර විශ්වාසය කොතරම් නොවෙනස්ව දරා සිටියේද කිවහොත්, සීමිත කාර්ය සහිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණයක් වෙනුවෙන් විධිවිධාන සැලැස්විය යුතු වූ විට පවා, පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා එම අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා ලෙස ක්‍රියා කළ යුතු බවත්, එහි සභාවාර හල්ෆ්ස්ඩෝෆ්හිදී නොව පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට අයත් භූමිභාගය තුළ පවත්වනු ලැබිය යුතු බවත් ඔහු තරයේ කියා සිටියේය.
මෙම මතය අප රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්ප්‍රදාය තුළ මුල්බැස නොතිබීම තෘප්තියට කරුණකි. ඒ වෙනුවට, පුරවැසි ආරක්ෂාවේ යහපත වෙනුවෙන්, පාර්ලිමේන්තුවේ ශක්නුවත් බව මත ප්‍රතිබාධනයක් ලෙස විනිශ්චය විෂයක මූලික අයිතිවාසිකම් පිළිගැනීමට අප තෝරාගෙන තිබේ. මෙය, අසීමිත බලයේ සහ වරදට පෙළඹවීමේ ආකර්ෂණයෙහි අන්තරාය පිළිගනිමින් ගත් ක්‍රියාමාර්ගයකි. වර්තමාන අත්දැකීම් මෙම තීරණයේ නැණවත්බව පෙන්නුම් කරයි.
මෙම අදහසම අපගේ නීති සංස්කෘතියට නුහුරු වූවක් නොවේ. 1948 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා රාජ සභා ආඥාව අධිකරණ සමාලෝචනය වෙනුවෙන් පැහැදිලි විධිවිධාන සැලැස්වීමක් නොකළ නමුත්, 1948 පුරවැසි පනත, 1956 රාජ්‍ය භාෂා පනත සහ 1962 අපරාධ නීතිය (විශේෂ විධිවිධාන) පනත ඇතුළු වැදගත් නීති ස්වාධීන අධිකරණ සමාලෝචනයේ නිරත වීමට අපගේ අධිකරණ කිසිදු පසුබටබවක් නොපෙන්වීය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික පරික්‍රමයට ප්‍රතිකූලතාව යන පදනමින් ප්‍රිවි කවුන්සිලයේ අධිකරණ කමිටුව විසින් අවසානයට සඳහන් කරන ලද නීතිය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන ලදී. එසේහෙයින්, නීති අධිකරණ සමාලෝචනයට ලක් කිරීම අපගේ නීති පද්ධතියේ එක් නිර්වචක මූලධර්මයකි. කෙසේවෙතත්, එය ආදේශ කෙරෙන අයුරු දෙආකාරයකින් යුක්තිසහගත විවේචනයට නිරාවරණය වෙයි.
(අ) මූලික අයිතිවාසිකම් අන්තර්ගතය
ආර්ථික, සමාජ සහ සංස්කෘතික අයිතිවාසිකම් අනම්‍ය ලෙස බැහැර කරමින් සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පමණක් අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ආරක්ෂා කිරීම වටිනා ලෙස සලකනු ලැබ තිබීම කලකිරීමට හේතුවන කරුණකි. වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ III වැනි පරිච්ඡේදය තුළ තවදුරටත් ප්‍රකාශනය ලබන මෙම ප්‍රවේශය, විශේෂයෙන්ම සංවර්ධනය වෙමින් පවතින ලෝකය යන සන්දර්භය තුළ පෙර සඳහන් කරන ලද අයිතිවාසිකම් කාණ්ඩය අන් සියල්ල ඉක්මවා වැදගත් බවට වන කාලීන ජාත්‍යන්තර පිළිගැනීමට ප්‍රතිවිරුද්ධව යයි.
(ආ) පැනවීමෙන් පසු සමාලෝචනය බැහැර කිරීම
අපගේ ක්‍රමය තුළ නීති අධිකරණ පරිනිරීක්ෂණය පැනවීමට පෙර සිදු කරන සමාලෝචනයට පමණක් සීමා වේ. පනත් කෙටුම්පත් ගැසට් කිරීම සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විධිවිධාන හා ගැටීම යන පදනම මත මහජනතාව විසින් අභියෝග කරනු ලැබීම වෙනුවෙන් විධිවිධාන පවතී. ශේෂ්ඨාධිකරණයේ නිශ්චය කථානායකවරයා වෙත ලැබෙන තෙක් යෝජිත නීතිය පාර්ලිමේන්තුවේදී විවාද කිරීම හෝ සම්මත කිරීම කළ නොහැක. නීතිය හෝ ඉන් කොටසක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරන්නේද සහ එසේ නම්, එය පැනවීම සඳහා විශේෂ බහුතරයක් (සභාවේ මුළු මන්ත්‍රීවරයන් සංඛ්‍යාවෙන් තුනෙන් දෙකක්) ප්‍රමාණවත් වන්නේද, නැතහොත් ජනමත විචාරණයකදී මහජනතාව විසින් අනුමත කරනු ලැබීමත් අවශ්‍ය වන්නේද යන්න, නියම කරනු ලැබ ඇති කාලසීමාවක් තුළදී අධිකරණය නිශ්චය කිරීම අවශ්‍ය වේ. අධිකරණය අවශ්‍ය බව සඳහන් කරන සංශෝධන වලංගුභාවය වෙනුවෙන් කොන්දේසියක් ලෙස කාරක සභා අවස්ථාවේදී අනිවාර්යයෙන් ඇතුළත් කරනු ලැබිය යුතුය (78 වැනි සහ 121 වැනි ව්‍යවස්ථා).
මෑත කාලීන සිදුවීම් මගින් බරපතළ අඩුපාඩුවක් හෙළි කරනු ලැබිණි. අනිවාර්ය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය ක්‍රමයට බරපතළ නිග්‍රහයක් කරමින්, ආණ්ඩුව, මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත සම්මත කරගැනීමේදී, අධිකරණය අවශ්‍ය බවට අවධාරණය කරන ලද සියලු සංශෝධන ඉදිරිපත් කිරීමෙන් තොරව, තුන්වැනිවර කියැවීමේදී නීතිය පැනවීම සම්මත කරගත්තේය. මෙහි ප්‍රතිඵලයක් ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව චේතනාන්විතව උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් විරුද්ධ පක්ෂය කථානායකවරයාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් කළේය. ව්‍යවස්ථාදායක ක්‍රියාවලිය අතිශයින් නින්දිත ලෙස අපයෙදුම සිදු කරන ලද තවත් අවස්ථා තිබී ඇත. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබ ශේෂ්ඨාධිකරණය විසින් විනිශ්චය කරන ලද පළාත් සභාවල කාන්තා නියෝජනය සම්බන්ධයෙන් වූ පනත් කෙටුම්පතක්, අධිකරණ පරිනිරීක්ෂණයෙන් පසුව කාරක සභා අවස්ථාවේදී කරන ලද සංශෝධන ගණනාවක් හරහා අන්තර්ගතය මූලික වශයෙන්ම වෙනස් කිරීමට භාජන කරන ලද්දේ පළාත් සභා මැතිවරණ කිසිසේත්ම පැවැත්විය නොහැකි තත්වයක් ඇති කරමිනි.
නීති පැනවීමෙන් පසු සමාලෝචනය සීමාරහිත ලෙස බැහැර කිරීම හේතුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල ක්‍රියාපටිපාටි නොපිට හැරවීමට හැකියාව ලබා දෙන මෙම ආකාරයේ හැසිරවීම්වලට පිළියම් යෙදීම සිදු නොවේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 80 (3) ව්‍යවස්ථාව මගින් පනවන ලද නිශ්චිත ඇවුරුම වෙතින් මෙය ව්‍යුත්පන්න වේ: “කථානායකවරයාගේ සහතිකය පනත් කෙටුම්පතක් මත සටහන් කරනු ලැබූ පසු එය නීතිය බවට පත් වන අවස්ථාවක ඒ පනතෙහි වලංගුභාවය පිළිබඳව පරීක්ෂා කිරීම, ඒ පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීම හෝ කවර වූ හෝ ආකාරයකින් ප්‍රශ්න කිරීම කිසිම අධිකරණයක් හෝ විනිශ්චය සභාවක් හෝ විසින් නොකළ යුත්තේ ය.”
නුදුරු අනාගතයේ කිරීමට අපේක්ෂිත සමස්ත ප්‍රතිසංස්කරණයේදී, මෙම විෂමතාව ප්‍රධාන ගැටලුවක් ලෙස සලකා එයට හදිසි අවධානය යොමු කිරීම අවශ්‍යව ඇත.
රාජ්‍ය සේවය: මධ්‍යස්ථභාවයද පාලනයද?
රජයේ නිලධාරීන්ට ස්වාධින හැඟීමකින්, සමාන හා සාධාරණ ආකාරයෙන් ඔවුන්ගේ වගකීම් ඉටුකිරීම සඳහා ආධාරක වටපිටාවක් වෙනුවෙන් විධිවිධාන සැලැස්වීම ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදයක අත්‍යවශ්‍ය ලක්ෂණයක් ලෙස පොදුවේ සලකනු ලැබේ. කෙසේවෙතත්, අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ඉතිහාසයේ සෑම අදියරකදීම මෙය ස්වයං ප්‍රත්‍යක්ෂ ලෙස සලකනු ලැබ නොමැත. එයට ප්‍රතිවිරුද්ධ ලෙස, රාජ්‍ය සේවය මත දේශපාලනික පාලනය කේන්ද්‍රීය ගුණාංගයක් ලෙස එයට ශුද්ධ වූ තත්වයක් ආරෝපණය කර එය වැඩිදියුණු කිරීම අනලස්ව ප්‍රවර්ධනය කරනු ලැබ ඇත.
දේශපාලන අධිකාරයට ස්පර්ශ කළ නොහැකි රාජ්‍ය සේවයක් පිළිබඳ අදහසට මුළුමනින්ම විරුද්ධවීමට 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් උදාහරණ දැක්විය හැකි අතර, එයට ප්‍රධාන ආධාරකය වූයේ “ජාතික රාජ්‍ය සභාව ජනරජයේ රාජ්‍ය බලයෙහි පරම යාන්ත්‍රණය වන්නේ ය” (5 වැනි ව්‍යවස්ථාව) යන මූලධර්මයයි. රාජ්‍ය සේවය මත දේශපාලනික පාලනය අවශ්‍ය උපසිද්ධාන්තයක් ලෙස සලකන ලදී.
“සියලු රාජ්‍ය නිලධරයන් සම්බන්ධයෙන් පත්කිරීමේ, ස්ථාන මාරු කිරීමේ, සේවයෙන් පහ කිරීමේ සහ විනය පාලන බලතල අමාත්‍ය මණ්ඩලය සතු විය යුත්තේ ය” (106 (2) ව්‍යවස්ථාව) යන ප්‍රබල ප්‍රකාශනය තුළ මෙය ප්‍රකට විය. මෙම බලය ක්‍රියාවේ යෙදවීම පිණිස, අමාත්‍ය මණ්ඩලය ‘‘ජාතික රාජ්‍ය සභාවට වගකිව යුත්තේ ය” (106 (1) ව්‍යවස්ථාව) යනුවෙන් ප්‍රකාශ කරන ලදී.
ජනාධිපතිවරයා විසින් පත් කරන ලද තැනැත්තන් 3 දෙනකුගෙන් සමන්විත වූ රාජ්‍ය සේවා උපදේශක මණ්ඩලය එහි නාමයෙන් පැහැදිලි වූ ආකාරයෙන්ම උපදේශක මණ්ඩලයක් හැර එයට වැඩි අන් කවරක් හෝ නොවිණි. 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ පිහිටුවන ලද අධිකරණ සේවා උපදේශක මණ්ඩලය සම්බන්ධයෙන්ද මෙය සැබැවින්ම සත්‍ය විය: “අධිකරණ සේවා උපදේශක මණ්ඩලයේ නිර්දේශය ලැබීමෙන් පසුව විනිශ්චයකාරවරයන් පත් කිරීම අමාත්‍ය මණ්ඩලය විසින් සිදු කරනු ලැබිය යුත්තේ ය” (126 ව්‍යවස්ථාව). මෙම මණ්ඩලය ලැයිස්තුවක් යැවිය යුතු වූ නමුත්, අදාල වන හේතු ජාතික රාජ්‍ය සභාවේ සභාගත කරමින් ලැයිස්තුවේ නොමැති තැනැත්තන් පත් කිරීමේ පූර්ණ බලය අමාත්‍ය මණ්ඩලය සතු විය.
එවිට, ව්‍යවස්ථාදායකය, එහි අභිනියෝජිත ලෙස අමාත්‍ය මණ්ඩලය සහිතව, 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ අධිකරණ නිලධරයන් ඇතුළුව සියලු රාජ්‍ය නිලධරයන් මත පැහැදිලිව හඳුනාගත් බලතලවල ප්‍රභවය බවට පත් විය. බිජුවට වපුරනු ලැබ තිබිණි; පසුව එළඹි වර්ෂවලදී අධික අස්වැන්නක් නෙළා ගනු ලැබිණි.
සතුට දනවන අයුරින්, අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය සාරධර්ම මෙම සම්ප්‍රදාය අත්හැර දමමින් වෙනස් ගමන්පථයකට අවතීර්ණ විය. 2000 වසරේදී ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග වෙනුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කටයුතු අමාත්‍යවරයා ලෙස මා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ සම්මත නොකර අත්හැර දමන ලද ආණ්ඩ්‍රක්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම්පත මෙම ප්‍රවණතාව ඍජුවම ආපස්සට හැරවීමට අපේක්ෂා කළේය.
රාජ්‍ය සේවය මත දේශපාලනික පාලනය යන ප්‍රතිපත්තිමය ස්ථාවරයෙන් විප්ලවවාදී අපගමනයක යෙදෙමින්, වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මෙම බලතල “රාජ්‍ය සේවා කොමිෂන් සභාවට වෙත පවරා දිය හැක්කේ ය” යනුවෙන් ඉතා පැහැදිලි ලෙස විධිවිධාන සලස්වයි (55 (3) ව්‍යවස්ථාව). දෙපාර්තමේන්තු ප්‍රධානයන් සම්බන්ධයෙන් ව්‍යතිරේකයක් පනවා ඇති අතර ඔවුන් සම්බන්ධයෙන් අනුරූප බලතල අමාත්‍ය මණ්ඩලය වෙත පැවරේ (55 (2) ව්‍යවස්ථාව). යුද හමුදාවේ, නාවුක හමුදාවේ සහ ගුවන් හමුදාවේ ප්‍රධානයන් පත් කිරීමේ බලය ජනාධිපතිවරයාට පවරනු ලැබ ඇත (61 ඉ ව්‍යවස්ථාව). මේවා සාධාරණ ව්‍යතිරේකයන් වේ
නියෝගයට එරෙහිව ආදර්ශය
දක්ෂ ලෙස සකස් කරන ලද නීති නොබික්‍ෂෙන සහතික කිරීම් ලබා දීම සිදු නොකරයි. ඒවා හුදෙක් හොඳහිත හා කුසලතාව ඇති තැනැත්තන්ට පීඩනයට යටත් නොවී සිය රාජ්‍ය වගකීම් ඉටුකිරීම පිණිස සහෝපකාරී පරිසරයක් සපයනවා පමණි: ඉතිරිය භාර වන්නේ පුද්ගල හෘදය සාක්ෂියටයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විධිවිධාන විනිසුරුවරුන්ගේ ධූරකාලයට ආරක්ෂාව ලබාදීම, ඔවුන් ධූරය උසුලන කාලය තුළදී වැටුප සහ අනෙකුත් ප්‍රතිලාභ අඩුකිරීම වැළැක්වීම සහ ඔවුන්ගේ නිලයෙහි අභිමානයට හානිකර ප්‍රහාරවලට එරෙහිව ඔවුන්ව ආරක්ෂා කිරීම සිදු කරයි. පොදු හැඟීමෙන් යුතු නීති වෘත්තියෙහි සාමාජිකයන්ගෙන් සැදුම් ලබන නීතිඥවරුන්ගේ සාමූහිකය, විනිසුරුවරුන් විශ්‍රාම ගැනීමෙන් පසුව බලයේ සිටින රජයට ප්‍රදානය කළ හැකි වාසි සහිත පත්වීම් පිළිගැනීමේ අන්තරායය පසුගිය සතියේ පෙන්වා දුන්නේය. මෙම ක්ෂේත්‍රයේ ප්‍රමුඛ සාධකය වන්නේ ජනතා අනුබෝධයයි. නොසැලකිලිමත් වීම යනු බෙලහීන කරවන සුළු දුබලතාවලට ඇරයුම් කිරීම සහ ක්‍රියාකාරී ප්‍රජාතන්ත්‍රවාදයක පදනම් කෙරෙහි විශ්වාසය බිඳී යාමේ අවදානම ඇතිකර ගැනීමයි.
(***)
සිංහල නාට්‍ය කලාවේ අමරණීය යුගයක් නිර්මාණය කරමින් එහි සන්ධිස්ථානයක් ඇති කළ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහතාගේ නාට්‍යාවලිය තුළ නිශ්ශංක දිද්දෙනිය න
මෙම වසරේ මැයි මස 6 වැනි දින පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය ශ්‍රී ලංකාවේ මැතිවරණ ඉතිහාසයේ සුවිශේෂ මැතිවරණයක් ලෙස හැඳින්විය හැකිය.
ලොව පුරා වෙසෙන මුස්ලිම් ජනතාව මහත් හරසරින් සමරන රාමසාන් උත්සවය අදට (31) යෙදී ඇත. ඒ නිමිත්තෙන් මෙම ලිපිය පළ වේ.
අතීතයේ බුරුමය ලෙසින් හැඳින්වුණු මියන්මාරය, ථෙරවාදී බෞද්ධ රාජ්‍යයකි. 2021 වසරේ සිට මියන්මාරයේ යළිත් වරක් පවතින්නේ හමුදා ජුන්ටාවකි; එසේත් නැතිනම් හමුදා ප
කොළඹ විශ්වවිද්‍යාලයේ උප කුලපති ලෙස මාගේ ධූරකාලය අප රටේ විශ්වවිද්‍යාල පද්ධතියේ ඉතිහාසයෙහි වඩාත්ම දරුණු කාලපරිච්ඡේදය හා සමපාතව පැවතිණි. සියලු පද්ධත
ශ්‍රීධර වින්සන්ට් සුබසිංහයන්ගේ 119වැනි ජන්ම දිනය අදට (29) යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අභියෝග